Showing posts with label ලොවක බැඳුම්... Show all posts
Showing posts with label ලොවක බැඳුම්... Show all posts

Wednesday, May 29, 2024

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට... සිත් විය කප් අග හිරු පායන තුරු...

ඔහු හමුවන දින වනවිට බොහෝ යුවතියන් මෙන්ම මා ද යෞවන ප්‍රේමය අත්විඳ තිබිණ.

ප්‍රේමය යයි මා සිතූ මා පැතූ සියල්ල ප්‍රේමය නොවන බව ඉතා වේදනාත්මක අත්දැකීම්වලින් වටහා ගෙන සිටි නමුත් ඒවා වේදනාත්මක අත්දැකීම් මිස ජීවිතයට සහකරුවකු උවමනා නොවන බව සිතීමට තරම් ඒවා මසිත රිදවා, මා බිඳවා දැමූයේ නැත.

නමුත්, මට ඔහුව මුලින්ම මුණගැහුණේ ඉතාම සාම්ප්‍රදායික ලෙසින් මංගල යෝජනාවක් සමගිනි. අඳුරුපැහැ සමක් හා බැඳුනු සුන්දරත්වයට කවදත් ආශා කළ මසිත මුලින්ම ඔහුගේ රුවට ඇලුණු බව සඟවාගන්නට මට ඇවැසි නැත. රුවට බැඳෙන බාහිර ආකර්ෂණයක් ප්‍රේමයම විය යුතු නැති බව මා දන්නා නමුත් අද ද ඔහු රුවට ඇති ඇල්ම මා සිත එලෙසින්ම පවතී. 

රුවට ඇළුන සිත ඔහුට බැඳුනේ, ඉතාම පැහැදිලි අයුරින් නමුත්, පුරසාරම් දෙඩවීමක් නොවන ලෙසින් ඔහු සිය අනාගත බලාපොරොත්තු මා සමග බෙදා හදාගත් මොහොතේය. සිය දිවිය මා හා, මගේ සහකරු ලෙසින් ඉදිරියට ගෙනයාමේ ඔහුගේ අප්‍රකාශිත සිතුවිලි ඔහු තුළින් මා කියවූ බැවිනි. 

කවදත් ඉතා නිදහස් ලෙස ජීවත් වූ, මගේ ජීවන වියදම මා විසින් ඉපයූ මා, කිසිදින මා වෙනුවෙන් ස්වාමි පුරුෂයෙකු බලාපොරොත්තු වූයේ නැත. මා සෙවූයේ ජීවන ගමන යන්නට සහකරුවෙකි. ඔහු මා සෙවූ ජීවන ගමන යන්නට සුදුසු ම සහකරු බව ඔහු මට නිහඬවම ඒත්තු ගන්වා තිබිණ. නිදහසේ ජීවත් වීමේ මගේ ආශාව හොඳින් අවබෝධ කරගත් ඔහු මා අකමැති කිසිවක් මගේ ජිවිතය තුළ මා කළ යුතු යයි නොසිතීය...අද ද නොසිතයි.

ඔහු එතරම් දොඩමළු මිනිසෙක් නොවේ. ප්‍රේමය උත්කර්ශයට නංවා මා ආකර්ෂණය කරගත් මිනිසකු ද නොවේ. නමුත් ඔහු සහකාරියකට විය යුතු පරිද්දෙන් ආදරය හා ගෞරවය දැක්වූ මිනිසෙක් විය. ඔහු හා නොබියව තුන් මසකින් විවාහ වීමට මා පෙළඹුනේ ඇයිදැයි මා අද ද නොදන්නා නමුදු ඔහු නිහඬවම මසිත විශ්වාසය ජනිත කළ බව මම අද ද සිතමි. 

අප හමුවූයේ මංගල යෝජනාවක ප්‍රථිඵලයක් ලෙස වුණු නමුත්, අප විවාහවන බව තීරණය කළේ එක්තරා දිනෙක තනිව හමුවූ අප දෙදෙනා විසිනි. තුන් මසක ඇසුරකින් විවාහයකට ගිය අප වෙනුවෙන් ඉන් ඉදිරියට විවාහ ජීවිතයක් ගොඩනගා ගැනීමේ දරුණු අභියෝග සහිත  කාලච්ඡේදයක් ගොඩනැගෙමින් තිබිණ. 

මාත් ඔහුත් අතර විවාහය සිදුවුණේ ඔහුගේ ජීවිතයේ විශේෂිත කාලපරිච්ඡේදයක් තුළය. ඒ වනවිට රටින් පිටව යාමේ අදහසින් සිය රැකියාවෙන් ඉල්ලා අස්වී සිටි ඔහු සිය ජීවිතයේ ආර්ථිකව අස්ථාවර කාලයක් ගතකරමින් සිටියේය. අපගේ විවාහයත් සමගින් ඒ අදහස අත්හළ ඔහුට නව රැකියාවක් සෙවීමට සිදුවිය. විවාහයෙන් දෙමසක් තුළ ඔහු නව රැකියාවක් සොයා ගත්තත් ඉතා කාර්යබහුල ජීවිතයක් ඉන් ඇරඹිණ. 

රැකියා ස්වභාවය නිසාම මසකට වරක්වත් නිවසට නො එන සහකරුවකු හා මම ජීවන ගමන ඇරඹුවේ මන්දැයි ඉන් අනතුරුව මා සිතූ වාර ගණන අනන්තය. ජීවිතය කිසි විට රෝස මල් යහනක් නොවීය. නමුත් විවාහය යනු එක් වරක් පමණක් මා ඊට ඇතුළත් විය යුත්තකැයි සිතා තිබූ මා ජීවිතය යහපත්ව ගොඩනගා ගැනීමේ අපමණ සටනට ඇතුළත් වුණෙමි. හඳුනන නොහඳුනන බොහෝ දෙනෙක් ඒ සටනට උදව් දුන් බව මා සටහන් කළ යුතුය...

නමුත් විවාහයක් ගොඩ නැගීම විවාහයකට ඇතුළත්වීමට වඩා බොහෝ අපහසු විය... එකම සැනසීම වූයේ විවාහය ගොඩනැගීමේ ලා ඔහු දැක්වූ අවංක උත්සාහය පමණි.




Tuesday, May 28, 2024

ආලය ප්‍රේමය රාගය නැති දා... මේ මනුලෝකය කෙලෙස ද පවතින්නේ...

චේජනාගේ පිටුව ඇරඹුනේ ද ජීවිතයේ එක පරිච්ඡේදයක මා තනිව ජීවිතය ගතකරන මොහොතකයි... නැවත ද ජීවිතයේ මා තනිව ගතකරන පරිච්ඡේදයක මගේ සිතුවිලි අකුරු කර නිමවන සොඳුරු මතක සටහනක් නිර්මාණය කරගැනීමේ ලා චේජනාගේ පිටුව නැවතත් ලියන්න මට සිතිලා... 

තනිව ජීවිතය ගත කිරීම එක්තරා විටෙක භාවනාවක් මෙන් ද තවත් විටෙක දුෂ්කර ක්‍රියාවක් මෙන්ද දැනෙනවා... නමුත් තනිව ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් ජීවිත ගමන ඉදිරියට යද්දී ගැටළු අභිමුව නොසැලී හිඳීමේ පන්නරය ද ලබාදෙනවා... ලොව ඇති සෑම දෙයක් මෙන්ම එයද සොබාදමේ නීතියට යටත්... එය සම්පූර්ණ්යෙන් ම ධනාත්මක නොවන අතර එය සම්පූර්ණයෙන්ම ඍනාත්මක වන්නේත් නෑ...

පාළුව, තනිකම වැනි හැඟීම් ද නිවිසැනසිල්ලේ විඳිය හැකියි... අනිත් අතින් සියළු මානව හැඟීම්වල පොදු ලක්ෂණය වන්නේ ඒවා එක් මොහොතක විඳිනු ලබන තීව්‍රතාවය කාලයත් සමග අඩුවීයාමයි... මේ හැඟීම් මෙම මෙහොතේ විඳින තීව්‍රතාවය අද සටහන් නොකළහොත් පසුව ඒවා කාලච්ඡේද ලෙස මතකයේ පවතිනු මිස එදා විඳි හැඟුම් ලෙසින් දැනී යාම නවතිනවා... 

 කෙසේ නමුත් විවාහයක් අරඹා පුරා දසවසරකටත් වඩා පවත්වා ගෙන යාමෙන් පසු මා නැවතත් තනිව... 

මා හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ ඔහු ලෝකයේ ඈත කෙළවරක තනිවත්... ඔහු හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ මා ලෝකයේ තවත් කෙළවරක තනිවත් ජීවන ගමන ගෙනයනවා...

සන්නිවේදනය බොහෝ දියුණු බැවින් එදා චේජනාගේ පිටුව අරඹන දිනවල තිබූ තනිකම අද නොදැනුනත්... ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු ළඟ නැතිවිට දැනෙන තනිකම අද මසිත වෙලාගෙන...

එසේ තනිව සිටින අනන්ත සහකාරියන් අතරින් මා එක් අයෙකු පමණයි...

එනමුත් ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු අතපොවන මානයේ නොමැති තනිකම සහ විවාහයක් පවත්වා ගෙන යාමේ රෝසමල් අතුළ මාවතක නොපැමිණි අනාගතයේ ද නොපැමිණෙන බව දන්නා ජීවන කතාවේ සටහන් මෙහි ලියවෙනවා...

හරියටම ඔහු හමුවී තුන්මසකින් මාසිත බැඳුනු ඔහු හා විවාහ වී දසවසරක් අනේක සිදුවීම් මැද ගතව ගිය විවාහ ජීවිතයක මතක සටහන් මෙහි සටහන් වනු ඇති...

අනෙක් අතින් කවදා හෝ දිනක අප නැවත එක්ව සිටින විටෙක අප වෙන්ව සිටි කාලයේ මට දැනුන තනිකම මට සිහිකරන සටහනක් ලෙසත් එය වෙබ් අවකාශයේ රෑඳී පවතිනු ඇතයි මා සිතනවා...

ඔහුත් මාත් වසර කිහිපයකට වෙන්ව සිටීම මගේ අකමැත්තෙන් ඔහු ගත් තීරණයක් නොවේ... විවාහයකින් දෙදෙනෙක් බැඳෙන නමුත් ඒ දෙදෙනා  තම ජීවිතය පිළිබඳව තවත් බලාපොරොත්තුත් ඇති දෙදෙනෙක් බව අවබෝධ කර ඔහු මා හා විවාහවීමට පෙර සිටම සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමේ කඩයිමක් ලෙස මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් සඳහා අප වෙන්ව සිටීමක් පමණයි... 

ඒ තීරණය ගැනීමේදී ඔහුට එකඟවීම හෝ නොවීමේ තීරණය ගැනීම සඳහා මට බලපෑවේ ද කරුණු දෙකක් පමණයි... ඒ මගේ වෘත්තියට ආදරය කරන මා මගේ වෘත්තීය සාර්ථකත්වය ළඟා කරගැනීමට ගත් පියරවල්වලදී ඔහු සැබෑම සහකරුවෙකු ලෙසින් මා දිරිමත් කළ බවත්... දිනෙක සිය වෘත්තීය සාර්ථකත්වය ලැබූ, ජීවිතය පිළිබඳව තෘප්තිමත් මිනිසෙකු ලෙසින් ඔහු සිය දිවිය අවසන් කරනු දැකීමේ මගේ ආශාවත්...

එබැවින් මා ගත් තීරණය පිළිබඳ පසුතැවිල්ලක් නැතත් ඉන් පාළුව තනිකම හා එහි වේදනාව නැති වන්නේ නෑ...නමුත් එය මිහිරියාවක් පිරුනු නිරන්තර වේදනාවක්...

ප්‍රේමය සැමවිටම උත්කර්ෂයට නංවා ප්‍රදර්ශනය කරන හැඟීමක් වියයුතුම නෑ... එදිනෙදා ජීවිතයේ ඉතා කුඩා ක්‍රියාවකින් හෝ එක් ආදරණීය ඇමතුමකින් ඉතා උත්කර්ශවත් යමකින් ලබාදිය නොහැකි තෘප්තිමත් බවක් කෙනෙකුට ලබාදිය හැකියි...

ප්‍රේමය වයින් වැනියයි මා කොතැනක හෝ කියවා තිබෙනවා... පරණ වන තරමට ප්‍රේමය රසවත්...



Thursday, December 13, 2012

මං හැඬුවා... නුඹ දුටුවේ නෑ...



වැව් දිය තලය රඟ නගයි
නිල් කඳු වළලු නිසසලයි
විලෝ රිකිලි අතරින් සඳ
පුරා'න ආවා

පාළු අහස්කුස පාමුල
තනි තරු කැටයක් වුණ මට...
අමාවකේ සඳ වී නුඹ...
අඳුර ගෙනාවා

මං හැඬුවා... නුඹ දුටුවෙත් නෑ...

රිදී දිය මතට අහසින්
ගලාන ආ තරු එළියක
අහස දෑලවර හිමිකම්
සරි කර ආවා

අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...
අමාවකේ දුන්නු දුකම
නුඹට ගෙනාවා...

සිනා කැකුළු නුඹට හිමිත් නෑ...

Monday, March 26, 2012

සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්...

හුරුනැති රටක නෙක විසිතුරු මැද උන්නත්
සංවේදනා නොදැනෙන දන නෙත ගැ‍ටුණත්
කඳුළෙන් සිනාවෙන් විසිතුරු සිත තාමත්
සිතක සිතුම් කවිකර ලීවලු මෙහෙමත්

සොඳුරුම මිතුදම් ගිලිහී යද්දී නාඳුනනා නිල් අහස යටින්
කඳුළට සතුටට එක ලෙස ළංවෙන මිතුදම් අරගෙන ඔබ ඇවිදින්
සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්
සකුරා මල් මත සොඳුරු වසන්තය ආයෙම නාවත් කිමද ඉතින්

 වසන්ත ශිශිරය ගිම්හානය වී කාලය අපි පහුකරන් ගිහින්
සිතුම් අකුරු වී ලියවුණු ලියවිලි මතක අතීතයෙ ලැගුම් අරන්
ඉසිඹු වෙලාවක අතීතයේ පිටු අතරින් මතක අරන්
මේ කවි ලීවේ ඒ මිතුදමටයි ඉඳහිට තාමත් රණ්ඩු කළත්


Wednesday, December 14, 2011

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ





කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බැඳලනු ලැබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පැතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඇති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා ගිහින්.

"සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විශමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

අහම්බෙන් කණට වැටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත කාලය තුල එක් වරක් ඇසිය යුතුම බවට හිත තුළ ඒ පද පැලපදියම් වුනේ මමත් නොදැනම ද මන්දා...
ඉටුකරගැනීම අපහසු බව තේරුම් ගැනීම වැඩිවත්ම තදින් බදාගනීම වැඩිවීම හිතෙත් හැටි.
ඒ නිසාම මාව හොඳින් දන්න හැම යාලුවෙක්ම මම මේ ගීය අසන්නට පෙරුම් පුරන බව දැනන් උන්නා.
මගේ ආශාව වෙනුවෙන් "රෑ ඉර පාන" වැඩ සටහනින් මේ ගීතය ඉල්ලල දුන්න "සිතඹර" බ්ලොග් අඩවිය ලියන මගේ ආදරණීය සොයුරියටත්, මේ ගීය සොයල එහි ප්‍රචාරය කළ බන්දුල නානායක්කාරවසම් මහත්මයාටත් බොහෝමත්ම පින්.
සුන්දර පූර්විකාවක් ද සමගින් දෙරණ වෙබ් අඩවියේ සබැඳියෙන් ගිහින් මේ ගීය අහන්න පුලුවන්.

http://www.fmderana.lk/index.php?route=programs/reeirapana
Ra Ira Paana 2011-12-11 | Part 04

Saturday, October 29, 2011

පොළවෙන් අහසට...

පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පු‍ටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර සබඳතාව බිඳී යමින් පවතින නිසා දෝ වරින් වර කපා කොටමින් වුව ද කොළය මතම සටහන තබන්නට සිත් දේ. මා හිස ඔසවා බලමි. ඉදිරිපස ජනෙල් වීදුරුව මත මගේම ඡායාවක් පිළිඹිබු වේ.
කාලය විසින් ජීවිත පොතේ තවත් අළුත් පි‍ටුවක් පෙරලා ඇත. බොහෝ හැලහැප්පීම් මැද්දේ දිගු මාවතක් ඔස්සේ ගිය අධ්‍යාපනයේ ගමන තවත් නැවතුම්පළක් සොයා ගොස්ය. එය එහි සුන්දර වූද සාර්ථක වූද නිමාව දු‍ටුවෙන් මා නැවත මව්බිමට ද නිවසට ළඟාවී සිටිමි. ඉපල් මතින් ඇද හැලෙන් හිම වැස්ස නොව පොල් කරටි මතින් ඇද හැලෙන නිම්හිම් නැති මහ වැස්ස දකින සිත සතුටින් ඉපිළේ. ජපානය පසිගිය යුගයක මතක සටහනක් වී මතක පොතේ තවත් පි‍ටුවකට උරුමකම් කියයි. මගේ නෙත්මානයෙන් ඔබ්බේ ලෝකයේ ඇත ඉමක ජපානය තවමත් ජීවමාන බවද තදින් සිත බැඳුනු මිතුදම් කෙරේ ඇති ආශාව හා සබඳතා ද හැර, දමා ආ කිසිවක් කෙරේ ආශාවක් ද මගහැරුණු හෝ දමා ආ කිසිවක් ගැන පසුතැවිල්ලක් ද නොවේ.
උණුසුම් දකුණු ආසියාවේ ජීවන සුසුමක උණුසුම වඩාත් තදින් දැනෙන, ජීවිතය බදා වැළඳ ජීවත් වන මිනිසුන් අතර ජීවත් වෙමි. බස් රථය පුර පැතිරෙන රේඩියෝවක පාලනයෙන් තොර නාදය අපහසුවක් වූව ද ගමන කෙළවර නිවසට ළඟාවන හෙයින් ඒ ඉවසා දරන්නට හුරුව සිටිමි. උණුසුම් සෙනෙහස පිරුණු, තනිකම නොදැනෙන නිවසක විඳින, පොළවෙන් අහසට ඔසවා තැබුවාක් මෙන් දැනෙන, සුවිසල් සතුට හා සැනසුම අත්විඳිමින් සිටිමි. පෙරදා තනිකම අකුරු කරනට ලියූ 'චේජනාගේ පි‍ටුව' වසා දමනු නොරිසියෙන් ඉඳහිටවත් සටහනක් තබන බලාපොරොත්තුවෙන් පණපොවා මේ සටහන නිමවමි.


Monday, August 1, 2011

සොයුරු බැම්මක බැඳී ආ මග...


කුඩාවුන් මල් වැනියයි බොහෝ දෙනා කීවද සමස්තයක් වශයෙන් ගත්කළ මම කිසිවිටක ඔවුනට ප්‍රිය කළේ නැත. ඊට පැහැදිලි හේතුවක් නැත ද, මා ඉතා කුඩා කල සිටම මගේ අම්මා බාලාංශ පන්තියේ නොකඩවා වසර විස්සක් පමණ උගැන්වීම ඊට හේතුව යයි බොහෝවිට මට හැඟේ. ඒ පන්තියේ කුඩාවුන් මට හැමවිටම පෙනුනේ මගේ අම්මා මගෙන් සොරාගන්නා කරදරකාරී සත්ව කොට්ඨාශයක් ලෙසමය. මට වයස දහසයක් පමණ වෙද්දී ද, ඔවුන් මගේ අම්මාගේ සාරිපොටෙහි දැවටෙනු දකිද්දී මට දැනුනේ ඊර්ෂ්‍යාවකි.

එවන් වූ කුඩාවුන් අතරින් සම්පූර්ණයෙන්ම මගේ ලෝකයට මුලින්ම ඇතුළු වූවේ මගේ මල්ලී ය. මට වඩා වසර පහකින් බාල ඔහු මගේ යයි හැඟීම ද, කුඩා කල මට වඩා හැමතින්ම දුර්වල සත්වයකු ද වූ නිසා ඔහු පිළිබඳව මට කිසිම ඊර්ෂ්‍යාවක් නොවීය. අම්මාට මල්ලී ලැබෙන්නට සිටි කාලය පිළිබඳව මතකයක් හෝ අවබෝධයක් නැත ද, අම්මා රෝහලේ නතර කළ තාත්තා පසුදින රෝහලට ගොස් පැමිණ අපිට මල්ලි කෙනෙක් සීටින බැව් කී හැටිද රෝහලට ගොස් අම්මාද මල්ලී ද ගෙදර ගෙනා හැටිද ගැන පුංචි මතකයක නොපැහැදිලි සටහනක් ඡායාවක් ලෙස හිතේ ඇඳී මැකී යයි. ඉතාම කුඩා කල මා අනුකරණය කරමින් මා සමග බෝනික්කන් සමග සෙල්ලම් කරමින් වැඩුන ඔහු තරමක් ලොකු වෙද්දී, මගේ සෙල්ලම් බඩු කඩා දමන්නට ද, රණ්ඩු සරුවල් වෙන්නට ද, ඉනුත් පසු යුගයක දෙදෙනා අතර රණ්ඩු බේරන්නට කිසිවෙක් මැදිහත් නොවන තරමට ද අප දෙදෙනා එකේනෙකා වෙත බැඳෙමින් වැඩුනි.

උසස්පෙළ පංතියට ඇතුළු වීමත් සමග ම මා නිවස හැරයන විටදීත් මල්ලී වසර එකොළහක කුඩා කොලුවෙකි. එ නිසාම අප දෙදෙනා සොයුරන් අතර බැඳීම හඳුනාගත්තේ එකිනෙකා ඇසුරේ නැතිව වැඩීමෙනි. අප සොයුරු සොයුරියන් වීමේ හැඟීම දැනෙන දා වනවිට අප දෙදෙනා එකිනෙකාගෙන් ඈත්ව ගොස් බොහෝකලක් ගතව ගොස් තිබුණත්, එය ලෙයින් බැඳුනු බැම්මක් නිසාදෝ එහි ගැඹුර අප ද නොදැනම හද පතුලේ නිදන්ව තිබිණ. නිවසේ කෙනෙකු තදින්ම අසනීප වූ විට ද, යමකට තදින් කම්පා වූ විට ද සොයුරු බැම්මක අගය වටහාගන්නට ද, රහස් කියන්නට හා රකින්නට ද කාලයත් සමගම සොයුරු පෙම අප දෙදෙනාටම උගන්වා තිබිණ.

හෙටට, බිළිඳකු ලෙස ඔහු අපේ ලොවට ඇතුළු වීමෙන් පසු ගතවී යන තවත් වසරක් සපිරේ. මල්ලියෙක් වී මගේ ලෝකයට පැමිණි ඔහුත් සමග යන මා දකින බොහෝ අයට ඔහු මගේ අයියා ලෙස පෙනෙන තුරු ම,  කාලය බොහෝ වෙනස්කම් සිදුකරමින් අප අතරින් ගලාගොස්ය. බොහෝවිට නැවතත් අප දෙදෙනා එක වහලක් යට ජීවත්වන්නට ලැබෙන දිනයක් උදානොවනු ඇත. ඉඳහිට සියල්ලන් නිවසේ හමුවන දිනයක පමණක් බොහෝ කාලයක එකතු කරගත් තොරතුරු කියාගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත් තවමත්, ඇතැම් දිනෙක ඔහුගේ සුරතේ එල්ලී හෝ මෝටසයිකලයක පිටුපස ගාල්ලේ හෝ කොළඹ නගරයේ සැරිසරද්දී ඔහුත් මාත් ඔබට ද මුණ ගැසෙන්නට ඉඩ ඇත.



Thursday, May 19, 2011

ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!




නුදුටු ඔබ වෙනුවෙන් දෙනයන
නලියනා කඳුලක් කැටිකොට
පතන්නම් මෙලෙසින් ඔබ වෙත
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!


Friday, February 25, 2011

දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...


......... කොහෙද ඉන්නෙ.. ?

ගෙදර ඉන්නෙ, ඇයි ඒ ?

උඹ ඉන්නෙ ඉඳගෙනද , හිටගෙනද?
පොඩි ප්‍රශ්නයක්.. මේක කිව්වාම උඹ ඇදගෙන වැටෙයිද දන්නෑ නෙ, ඒකයි

කියපන් ඉතින්
මොකද්ද දැන් ඔය මම ඇදගෙන වැටෙන ප්‍රශ්නෙ

ඉඳගෙන නෙ ඉන්නෙ? ෂුව‍ර් නෙ  
ඔව් බොල 
හොඳා, උඹ නැන්ද කෙනෙක් වෙන්ඩ යන්නෙ :)

ආ  :-o

.......................................................

ඒක නෙවෙ
  ..........යි බබයි කොහොමද ?
එළ, බබා දැං දෙනවා පාරවල්
 ආ, එයාට දැන් මාස කීයක්ද ?

 5
 නෑ
7
 නෑ
 6
.......................................................

දුවෙක් ද පුතෙක් ද .... ?
ඇයි මම කිව්වෙ නැද්ද ?
නෑ නේ,  ඒක නෙ අහන්නෙ.. ?
කවුරු වෙන්න ඇති කියල ද උඹට හිතෙන්නෙ...?
දුවෙක් වෙන්න ඇතියි...

දුවෙක්,

:)
.......................................................

බාලොලි ලොලි ලොලී - බාලොලි ලොලි ලොලී
ම්ම්...ම්ම්...ම්ම්
දෙව් දූවරු සහසක් ළංවී- නළවයි මගෙ දූ මල් කැකුලී
පායා සුව දි සඳ කොමළී- සැනහෙයි දූ සිහිනෙක ගුලිවී

නාඬා ඇහැරී සිනාසෙන්න නිදි දෙව් සිහිනෙට සමුදී
දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...

සිනහව අමතක වුණ ලෝකේ දූ හිනැහෙන තුරු බලා හිඳින්නේ
දූගෙ සිනාවෙන් මැවෙනා පාරාදීසේ සිනාසිසී ජීවත් වෙන්නයි...

හඬ ගිලිහී ගොලු වුන ලෝකේ දූ අමතනතුරු බලා හිඳින්නේ
දූගේ වදනින් මැවෙනා පාරාදීසේ සොඳුරු හඬින් දූ අමතන්නයි



සුබ පැතුම් යෝගී... 
මේ සටහන යෝගිගෙ අලුත උපන් ආදරණීය දූ පැටිය වෙනුවෙන්...
----------
2011.FEB.20


Sunday, December 12, 2010

මටත් හොරා දිවගිය මගෙ සිතුවිලි මුදු වෙරළේ වැතිරේ...


පොල් රුප්පාවට ඔබ්බෙන්
අහසේ රෝස වළා අතරේ...
නිල්ල නිලන පැලපත පිස හමනා
මුදු පවනැලි වැතිරේ...

දෙපා දොවන්නට රන්වන් වැල්ලට
දිව එන රළ අතරේ...
මටත් හොරා දිවගිය මගෙ සිතුවිලි
මුදු වෙරළේ වැතිරේ...

දින දින අඩුවන දින ගණිනා
මගෙ සිහින පැතුම් අතරේ
සෙනේ පිරුනු දෙසතියකට පැතුමන්
නැගී බිඳී විසිරේ...

Monday, December 6, 2010

Shimmering thoughts to be in the home!



Sleepless nights
With Full of hopes
Shimmering thoughts
To be in the home
Be surrounded
By my folks
House hold chaos
Do this
Do that
Amma’s food
Wow nice...!
Life is sweet
With love of all
Few more days
Be patient...!!!

Wednesday, December 1, 2010

මන්දාකිණියක තරුවක් වූ නුඹ....




මතක ද මේ කවි පද ටික...
වසන්තය ඇරඹුමේ වෙබ් පි‍ටුවක් හරහා දවසක් ඔයා ආව හැටි...

සකුරා මල් පිපි සොඳුරු වසන්තය ඇරඹුනු ගමන්ම නේද??ඉතින්
කවියක් ලියන්න සිතුවා පමණයි සකුරා මල් පෙති පාට අරන්
මල් පාවඩ මත පිය මැන ගිය ඒ අතීතයේ මතකයන් අරන්
කොහේට පියඹා යන්න හදනවද කියන්න පුලුවන් නේද ඉතිං
April 1, 2010 8:34 AM

නාඳුනන මගෙ හිතට දැනනව ඇති කියල හිතුන දුකට සංවේදී වුණ ඔයා....

මේ තරම් රිදෙන හිත
සඟවාන ඔබ ඔහොම
කොයිතරම් කාලයක්
තව ඉන්න හිතනවද
සැලෙන එක කොලයටත්
හමන මඳ පවනටත්
වහින මහ වැස්සටත්
නොරිදවාගෙන සිත
ඉන්න හැදුවොත් ලොව
පහසුවෙයි ජීවිතය
මීට වැඩියෙන් ඔබට
ඒ මිසක් මේ ලෙසට
කඩා ගෙන වැටුනු විට
දින ගණන් අපරාදේ
ඔබේ මහඟු කාලයේ
සිතමි මම සැබෑවට
විය යුතුයි මෙය මෙලෙස
පතන්නම් රිදුනු සිතට
සමාධිය ලං වෙන්න ඉක්මනින්....
April 23, 2010 8:07 PM

වසන්තයෙ අවසානෙ... මේ කියනව  වගෙම

හිතාගන්නවත් බැරි ඉක්මනකින් කාලය අපි පසු කරන් ගියත්
"යෝගී" කියන ලෙස බැඳුනු මිතුදමත් හරිම අපූරුයි නොවෙද උවම්
කොහේ ගියත් අපි අත්වැල් අල්ලන් ඉන්නට හැකිවෙයි නේද ඉතින්
මටත් ඔහොම වෙන බව සිහිවී මම කඳුලු සැලිමි මෙය දුටුව ගමන්
April 1, 2010 8:34 AM


කලින් ම ඔයා කිව්ව වගෙම හිතාගන්න බැරි තරම් ඉක්මනට කාලය අපිව පහුකරන් ගිහින් නෙ...
හිතාගන්න බැරි තරම් ඉක්මනින් ළංවුණ ඔයාට සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරන්නම්...
ඔයාව දකින තුරු  දින ගනින ගමන් ම....

කවිකාරියේ පද අමුණනා
දුර ඉඳන් හිත ළඟ හිනැහෙනා
සොයුරියක් මේ තරම් සොඳුරු ව
දැනෙන්නේ කිම කිව මැනා






Wednesday, November 24, 2010

ශිශිරය උණුසුම් වේවි අම්මගේ ආදරෙන්...


අද ලස්සන ම ලස්සන දවසක්...
මේ දවස්වල කොහොමටත් හරිම සිසිල් සුවයක් වට පිටාවෙ තියෙනව... දවසෙම ප්‍රාණවත්... ඉර ප්‍රතාපවත් වුණත් ඉර ගින්නෙ දවන්නෙ නෑ....
වටාපිටාව හරිම සුන්දරයි, කහපාට රතු පාට කොළ හැලිල, හමන පුංචි හුළඟට ත් කොළ එහෙ මෙහෙ පාවෙනව...
ඒත් ඒ තවත් ගිම්හානයක නිමාවෙ මියෙන ගහකොළවල පණ අදින කෙඳිරිය නිසා ද මන්ද... මට ශරත් සමයේ සුන්දරත්වය, වසන්තයේ සුන්දරත්වය තරම්ම සතුටක් ගේන්නෙ නෑ...
ආපහු ෆුජි කන්ද උඩට අයිසිං ඉහල වගේ... හිම හැදීගෙන එනව...ඒක දැක්කම ආයෙම ෆුජි ගිනිකන්දක් බව මට අමතක වෙලා ... උදේටයි හවසටයි දෙකටම මම ෆුජි දිහාවෙ එබිල බලනව ජනේලෙන්...
ගෙවිල යන ශරත් සමයෙ කහපාට රතු පාට දෙකෙන් හැඩ වෙච්ච වටපිටාවයි, කටුක ශීතල දරාගෙන සදාහරිත ව ජීවත් වෙන පයිනස් ගසුයි...

සකුරා ගස්



වසන්තය වගේ ම ගිම්හානය ත් නිමයි...
ශරත් සමයෙ අග භාගෙ ගෙවිල යනව...
සීතල ම ශිශිරය එලිපත්තට ම ඇවිත්...
ඒත්...
ශිශිරය උණුසුම් වේවි අම්මගේ ආදරෙන්...
මේ අවුරුද්දෙත්...



Sunday, November 14, 2010

සිත්තම් කළ සිත්...

සිත්තම් කළ සිත අන්සතු වීලලු
ආයෙත් නෑ එව්වේ...
මුදු හස‍රැල්ලක සනහස පොදි
බැඳ ඔබ පමණයි ආවේ...

සඳවත වී සිත හිමිකරගන්නයි
මා පැතුමන් ‍රැඳුනේ...
නීල ගගන තල වී ඔබ සඳවත
හිමිකරගනු නෑ දැනුනේ...

සමනළ හීනෙක දැවටී ඔබ සිත
පුරා හිඳින්නයි ආවේ...
මටත් හොරා සිත් අරණ අරා
ඔබ රැඳෙන යුරා පමණයි දුටුවේ...

ඔබ ළඟ රැඳෙනා පැතුමන් පුරවා
පිබිදෙන හෙට දවසේ..
ළයතුර සඟවා උණුසුම් සෙනෙහස
පුද දෙනු මැන සිත් සේ...


Monday, November 8, 2010

ආදර සොයුරිය මේ කවි නුඹටයි


දයාව සෙනෙහස එක ලෙස රඳවා
එදා සොයුරියක් වූව ලෙසේ
ඊයේ හවසත් නුඹගේ වදනේ ‍රැඳුනි
සෙනේ සිත පෙර විලසේ

බොහෝම කලකින් නුදු‍ටුව මුත් ඔබ
නුඹේ සතුට මා සිතට දැනේ
ආදර සොයුරිය මේ කවි නුඹටයි
නුඹ අම්මා වුණ අද දවසේ

පුතුට බැ‍ඳෙන සෙනෙහස් සිත
සමගින් සැමදා සතුටින් හිඳිනු මැනේ
හෙට දවසේ නුඹ නෙතින් දකින තුරු
මගේ පැතුම මම එවමි මෙසේ

Wednesday, October 27, 2010

ඇරයුම හා අභියාචනය

කලු අහස...
පාට නැති පොද වැස්ස එව්වාට
සී කඩක සීරුවට
හෝ අනෝරා වැහි සතක්
චුරු චුරුව එකදිගට වැ‍ටුණාට
දැණුනෙ නැහැ
සිහිලසක් ඒ හැටිම
වැහි බින්දු..
උන් ඔහේ ගලනවා
විඩෙන් විඩ අතරමග නැවතුණත්
උන් දිනක මහ මුහුද දකිනවා
ලද සිහිල ගිනි අව්ව දවනවා
නැවත මා පිපාසෙන් පෙළෙනවා

ටික කලක් මගේ හිත රවටන්න
හිම පොරෝනය ඇතුළෙ ගුලි වෙන්න
හිරි වැටෙන තුරු දෙවුර තෙරපන්න
නිහඬවම හෑල්ලුවෙ පාවෙමින්
ඔබ ඉතින් මා වෙතට පැමිණෙන්න
වැහි සේම හිරු ‍රැසක තෙද බෙලෙන්
ගියත් මා හැරපියා ඔබ දිනෙක
හිරි වැ‍ටුණ හිත මවෙත තිළිණ දුන් නිසාවෙන්
දැනෙණු නැහැ ඒ තරම් ලතැවුලක්

ගිනි වැදුණු හදවතින් ලියන්නෙම්
මම ඔබේ මහ පොළොව සෙනෙහසින්...

http://nethu-ulpatha.blogspot.com/2010/10/blog-post.html
------------------------------------------------

පමාකළ මැන පළමු හිම පතනය...

අනේ උඹ පොද වැස්ස මොනතරම් සුන්දර ද...
උඹ ඔහේ ගලනවා සිහිලසින් තෙමාගෙන
මුලු හිතම, මුලු ගත ම....
තෙද බිඳුන ගිනි අව්ව බලාගෙන ඉන්නවා
අසරණව....මම වගෙම
ආයෙමත් වසන්තය එනතුරා....
සිපගන්න පොද වැස්ස...

කළු අහස මට එව්ව
පොද වැස්ස පණ පෙව්ව
සුන්දරම වසන්තය
නිමාවේ හිම පියලි
සැහැල්ලුවෙ පාවෙලා
ඇවිත් සිපගත් නමුත්
දෙකපොලම දවාලන රුදුරුවූ සීතලක් !!
ලස්සනට පේන උඹ, හිරිවට්ටවන හිතම
එපා උඹ මට එපා මගේ හිත රවටන්න
හිරි වැ‍ටුණ හිත හැඟුම් මුදාලූ නිසාවෙන්
ඒ තරම් ලතැවුලක් නොදැනුණත්

ගිනි වැදුනු හදවතින් ලියන්නම් ඉතින් මම
නුඹේ කියා හිතාගෙන මුලු හිතම මිරිකෙව්ව
නුඹෙ නොවුණ, මහ පොළව.... කම්පාවෙන්

-------------------------------

නෙතු අක්කට....

කාලෙකින් එකම එක
කවක්වත් ලියන්නට
නොහිතිච්ච මගේ හිත
එක කවක් නොව දෙකක්
ලියන්නට පෙළඹෙව්ව
අක්කෙ, අහගෙන ඉන්න

සීතලට කැමති නෑ
පොඩිත්තක්වත් මම
හිම වැස්ස සිහිවුණත්
හිතලෙන් ගැහෙන මම
කම්මැලිම කම්මැලියි
කිසිම කිසි වැඩකට
ගෙදරමයි මගෙ හිතට
එන්නේම එතකොට...
ඒ වෙලාවට ඉතින්
හොර කෙල්ල තමයි මම
ඔයා කියනව වගෙම...
හිම වැස්ස දිහාවේ
ඔහෙ බලාගෙන ඉන්න...
ඔන්න ආයෙම ඉතින්
පළමු හිම පතනයට
ඇරයුමක් නම් එපා...
ඒ නිසාවෙන් හොඳ ද...

Thursday, September 16, 2010

ඈත් ඔහුත්... (ඉස්සර වගෙ... නෑ දැන්)

පායන සඳවත - නෑ නුඹ ගැන හිත
මා නොදකින ඈ -  නුඹ දකිනා හින්දා...

සුදු මුදු රළ පෙළ - නෑ නුඹ ගැන පෙම
අප පිය සටහන් - මකා දැමූ හන්දා...

දිදුලන තරුකැට -  නෑ නුඹ ලස්සන
ඇගෙ තරු ඇස් දැක - ඔච්චම් කළ හින්දා...

නීල ගගන තල - නෑ නුඹ මනකල්
ගුවන් සැතපුමක් - බොහෝ ම දිග හන්දා

නිශා ගගන තල- තරු ඇතිරිලි යට
අප හමුවන - එක ලස්සන දවසක
සුදු මුදු රළ පෙල සොඳුරුයි
ආයෙම හිතේවිදෝ මන්දා...

Sunday, August 22, 2010

මා තව ම කන්ද පාමුලයි...


නෙතු මානේ - ඈත ඉමේ
සැඟවී යන - හිරු සිඹිනා
සේයාවට - පෙම් බඳිනා
මගේ සිතට - නුඹ ළඟ පාතයි

නිසල විලේ - දිය මත්තේ
සිතුවම් වුණ - රූ සිත්තම
දිය ‍රැල්ලක - බොඳ වෙද්දී
මතක් වුණා - නුඹ දුර ඈතයි

ළං වෙන්න බෑ දුර ඈතයි- බැඳි සිතට නුඹ ළඟ පාතයි
හිරු සිඹින නුඹ නිසල ගිරි මුදුනයි- මා... තව ම කන්ද පාමුලයි

Photo : http://images.cdn.fotopedia.com/flickr-3052002881-image.jpg



Friday, July 30, 2010

හිත පරෙස්සමින්...


සැඳෑ අහස රටා මවන
රෝස වළා වියමන් මැද
නිල් තරු කැට රහස් කියයි
නෙතු විමසිල්ලෙන්

මල් මුවරද මිහිර උරා
ළදළු සලන මද පවනේ
වරා මලක් සේ පාවෙයි
හිතත් ඇසිල්ලෙන්

කන්ද උඩින් ගලන අඳුර
සඳ කිරණින් රටා අඳින
නිමේශයක රුසිරු ලඳුන්
බැලුවත් හො‍රැහින්

කප්පරකට පෙරුම් පුරා
හීන පැතුම් දෝත දරා
‍රැක ගන්නට නුඹට දුන්න
හිත පරෙස්සමින්


 Photo : http://images.artwanted.com/large/07/30501_464807.jpg


Friday, July 2, 2010

පහන් ටැඹක් වී මා දිවි ගමනේ...

තාත්ත මම දැක්ක දවසෙ ඉඳල ම ඒ වගෙමයි කියලයි මට හිතෙන්නෙ...
වෙනසක් පේන්නෙ ඒ දෙන්නගෙ wedding photo එකත් එක්ක සංසන්දනය කළාම විතරයි..
ඒ හින්ද ම ඒ පින්තූරෙ ඉන්න තාත්තව තමා මට තාත්ත තරුණ කාලෙ කියල මතක් කරගන්න පුළුවන් එක ම විදියත්...

කොහොමටත් මම තාත්තට හුඟක් ආදරෙයි... මම ගොඩක් ම තාත්ත වගෙ කියලයි කියන්නෙත්.. තාත්තගෙ  වගෙම පියවෙන දෙතොලකුත් ඒ වගෙම නාහෙත් මට එහෙම්ම පිහිටල තියෙනව... ඒ හින්ද වෙන්න ඇති...

"ඇහි පිල්ලමක් යට" මාව ගෙනගිය අතීතයත් එක්ක පිළිමතලාව ගුරු විද්‍යාලයෙත් නුවරඑළියෙ බෝපත්තලාවෙ ඉස්කෝලෙත් ඔහුගෙ ගුරු ජීවිතයෙ එක යුගයක් ගත වෙලා තියෙනව..
අනික් යුගය ගාල්ලෙ දිස්ත්‍රික්කෙ, ගාල්ලෙ කිව්වට ගාල්ලෙ ඉඳන් ගොඩක් ඈත අපේ ගමේ...ඒ ඉස්කෝලෙ නම් මමත් ඉගෙන ගෙන තියෙනව...

ඔහුගෙ අවුරුදු 32 ක විතර ගුරු ජීවිතේ ඔය පාසල් දෙකේ විතරයි.. දෙකම දුෂ්කර පාසල්.. ඒවට ආවම දිගටම ඒවයෙ ‍රැඳිල මිස කිසිම දවසක ඔහු මාරුවීම් ලබලවත් ඉල්ලලවත් දෙකම නෑ...

තාත්ත අපිට උගන්නල නැති ම තරම්.. ඒත් ඔහුගෙ ජීවිත දර්ශනය වුණේ තමන් උගන්නන අනුන්ගෙ දරුවන්ට හරියට කැපවෙලා උගන්නනව නම් තමන්ගෙ දරුවො ඉගෙනගනියි කියන එක...ඔවුන් දෙන්නගෙ ම විශ්වාසය වුනේ එහෙම...ඒ හින්ද ඒක ඉශ්ට කරන්න ම ද මන්ද මම මගේ අධ්‍යාපනයේ දි ප්‍රාතිහාර්ය සිද්ද වෙනව දැකල තියෙනව...

ඒත් තාත්ත අපිට ආදරය කළා... අපිව සංවේදි කළා... අපිට ජීවත් වෙන්න ඉගැන්නුව...


මේ ඔක්කොම දේවල් ලිව්වෙ අද ඔහුගෙ ජීවිත ගමනෙ තවත් විශේෂ දවසක්...

ඔහුගෙ උපන්දිනේ...අදත් ළඟ නැති මගේ ආදරේ දුරකථන ඇමතුමකිනුත් මේ සටහනෙනුත්... සයිබර් අවකාශය මගේ සටහන් ‍රැක ගනීවි.. මම ගෙදර යනකන්...

මගේ පැතුම ඔහු වෙනුවෙන්...

නිරෝගී සුවය හා දීර්ඝායුෂ...!!!


Photo: http://www.nvo.com/beaulier/nss-folder/scrapbook/FL_31.JPG

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic

තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි. එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස ම...