Thursday, February 25, 2010

නින්ද




සුවයහන පලය කිමද නිදි නැති නම් ‍රැය පුරාම..
මල් යහනක සුව අවැසිද සැනසිල්ලේ නිදා ගන්න..
වීදි කොනේ අගුපිල්වල ගතවෙන මුලු ජීවිතයම..
සැනසිල්ලේ නිදා ගන්නෙ ඒ මිනිස්සු විතරක්මද..?

පන්පැදුරක මැටි ගෙබිමක
ඒ නැත්නම් වීදි කොනක
කලබල සීතල අභියස
නින්ද සදන රහස කිමද..?
යහනක් මුදලට ගත්තට
නින්ද ගන්න බැරි නිසාද..?

Wednesday, February 24, 2010

මාල දිවයින් වෙරළේ සුන්දර සේයා රූ දෙකක්..



සිඳු අහස සිපගනී..
ක්ෂිතිජ ඉම හමුවෙලා..
රළ වෙරළ සිපගනී..
සුමුදු වැලි කළඹලා..
ඇසිල්ලක හමුවෙලා..
මිරිඟුවක් නෙත මවා..


Saturday, February 20, 2010

ජීවිතයයි සැමවිටම වටින්නේ.


සෙනෙහස පොදි බැඳ හදවත් පතුලේ
සුදු මල් පියවිලි අතුල මාවතේ..
අත් වැල් පටලා අනන්තය කරා
පිය මැන යන්නට සිහින දකින්නී..

පිපුන මලේ රුව නුඹ නොම දන්නී..
මල වට බමරිඳු ‍රැඟුම් රඟන්නේ..
මිලින වුනොත් මල බමරිඳු හැර යයි
නුඹට තවම නෑ එය වැටහෙන්නේ..

සොඳුරු යොවුන් සිත රාගය නො‍රැඳේ..
නොඉඳුල් නුඹ සිත නුඹ ‍රැකගන්නේ..
රුව සේ සුවඳ ද සු‍රැකි කුසුමමයි
සැමදා ලොව තුළ අගය ලබන්නේ..


(බිඟුවා ගෙ පෝස්ට් එක දැකල තමයි මේ සිතිවිල්ල මගේ හිතට ආවෙ..
ගොඩක් වෙලාවට ආදරේ සුන්දරයි කියල දැකල ලස්සන හීන මවල කවුරුන් හෝ අතින් විනාශ වෙන නව යොවුන් මල් කැකුලු ගැන මගේ හිතට දැනෙන්නෙ වේදනාවක්..පිපෙන්නත් කලින්ම පර වෙලා යනව..ඒත් වගකීමෙන් තමන්ගෙ ජීවිතය දිහා බලනව නම්....සුන්දර හෙටක් ඒ ජීවිතවලට උදා වේවි..)

Thursday, February 4, 2010

සඳ..


ගනඳුරු අඹරේ දිලෙන සරා සඳ..
මැදුරු සඳැල්ලෙන් ඔබ දකිනා සඳ..
වීදි කොනේ සිට මා දකිනා සඳ..
සැමට සමයි ඒ සොඳුරු සරා සඳ..

කවියන් කවිසිත් පුබුදන පුර හඳ..
සොඳුරියගේ මුව මවනා රෑ සඳ..
සහසක් තරුකැට මැද දිලෙනා සඳ..
සොඳුරු සිසිලසේ උපමාවයි සඳ..

බිඳුණු වීදුරුව අතරින් දු‍ටු සඳ..
වීදි සරන ලිය පාරන පුර හඳ..
රිසිද නොරිසි වූ සැම ලෝවැස්සන්..
නෙත ගැටෙනා මුදු සිසිල සරා සඳ..

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind

අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හ...