Sunday, October 11, 2026

මංගල මුදුව



මීට සති කිහිපයකට පෙර සිට මට මගේ මංගල මුදුව සොයාගත නොහැකි වී තිබිණ. එය පැළඳගෙන සිටින අතරතුර, නිතර නිතර ගලවා ඇඟිලි අතර කරකවමින් සිටීම මගේ පුරුද්දකි. එනිසා, මම සාමාන්‍යයෙන් එය පැළඳගෙන සිටින්නේ නැත. එදාත් එසේම කොහේ හෝ තැනක තබා අමතක වී ඇතැයි සිතුවා මිස, එය නැති වී ඇතැයි මට සිතුණේ නැත.

නමුත්, මම ගෙදර හැම තැනකම සෙව්වෙමි. එහෙත් මුදුව හමු නොවීය. එය මංගල මුදුව වූ නිසාම මට ඇති වූ දුක සුළුපටු නොවීය. ඒ ගැන මගේ මිතුරන්ටවත් කීමට මට සිතුණේ නැත. ඔවුන්ගෙන් අසන්නට ලැබෙනු ඇතැයි සිතූ දේශනාවලට මුහුණ දීමට මට අවශ්‍ය නොවීය.

ඒ දිනවල ඔහු සිටියේ නිවසින් බැහැරවය. මම ඒ ගැන කීවේ ඔහුට පමණි.

“මට මුදුව හොයාගන්න බැහැ. ඒත් මම හිතන්නේ නැහැ ඒක නැති වෙලා කියලා.”

ඔහු කිසිවක් කීවේ නැත.

මම ගෙදර හැම තැනකම සෙවූ බවත්, තවමත් එය සොයාගත නොහැකි වූ බවත් නැවත දිනක ද කීවෙමි. ඔහු එවිටත් නිහඬව සිටියේය.

එහෙත් ඔහුගේ නිහඬකම මට නොසැලකිල්ලක් ලෙස දැනුණේ නැත. මා කළ අතපසුවීමක් ගැන ඔහු මට දොස් නොකියන බව මම දනිමි. මට මගේ දුක ඔහු ඉදිරියේ විස්තර කර කීමට අවශ්‍ය නොවීය.

සති දෙකක් පමණ නිවසින් බැහැරව සිටි ඔහු ඊයේ පස්වරු දෙක පමණ වන විට නැවත නිවසට පැමිණියේය. සවස හය පමණ වන විට ඔහු මගේ මුදුව සොයාගෙන මා වෙත ගෙනැවිත් දුන්නේය.

මට දැනුණ හැඟීම වචන කළ නොහැකිය.

ඒ කෘතඥතාවය පමණක් නොවේ. ඔහු කවුරුන්ද යන්න තවත් වරක් හදවතටම දැනුණු විට ඇතිවන ගෞරවයත්, ආදරයෙන් පිරුණු විස්මයත්, වචනවලින් කියා නිම කළ නොහැකි හැඟීමත් ඒ තුළ තිබේ.

ඔහු මුදුව සොයන්නට පටන් ගත් බවක් මට කියා තිබුණේ නැත. මා වෙනුවෙන් එය සොයා දෙන බවට පොරොන්දු වී තිබුණේ ද නැත. ඔහු නිවසට පැමිණි පසු නිහඬවම එය සොයා තිබිණි.

එය සොයාගැනීමට නොහැකි වූවා නම්, ඔහු එය සෙවූ බවක් මට කිසිදා දැනගන්නට නොලැබෙන්නට ද ඉඩ තිබිණි.

ඔහු මගේ සිත් වේදනාව හැඳින, මා සිතේ තබාගෙන සිටි දෙයක් වෙනුවෙන්, තමන්ට කළ හැකි දෙය නිහඬවම සිදු කළේය. මගේ දුක ඔහුට බැරෑරුම් ලෙස ගැනීමට, එය වචනවලින් විස්තර කරමින් සිටීමට මට අවශ්‍ය වූයේ නැත.

මම ඔහුව තදින් වැලඳගෙන නැවත නැවතත් ස්තුති කළෙමි. මට එය කොතරම් හදවතට දැනුණේදැයි ඔහුට කීවෙමි. ඔහු සුපුරුදු පරිදි නිහඬව සිටියේය.

ඒ මගේ සැමියාය.

ඔහු නිහඬ මිනිසෙකි. එහෙත් ඔහුගේ නිහඬකම මගේ හදවතට වචන මිලියන ගණනක් කතා කරයි. ඔහු මා කියන දේ අසා සිටියි. මා වෙනුවෙන් කිසිවකුට නොපෙනෙන දේවල් කරයි. ඒවායේ වටිනාකම මට දැනෙන්නේ ඒවායේ විශාලත්වය නිසා නොව, ඒවා පිටුපස ඇති ඔහුගේ සැලකිල්ල නිසාය.

අවුරුදු ගණනාවකට පෙර ඔහු සමඟ මගේ ජීවිතය බෙදාගැනීමට මා ගත් තීරණය ගැන අදත් මට සතුටු විය හැකිය. ඔහු කවුරුන්ද යන්න තව තවත් හඳුනාගන්නා විට, ඒ තීරණයේ වටිනාකම මට තව තවත් දැනෙයි. මගේ තේරීම, ජීවිතයේ ඉතාමත් සාමාන්‍ය මොහොතකදී පවා මට අසීමිත ලෙස ආදරය දැනෙන අවස්ථාවන් ලබාදෙයි.

මගේ මංගල මුදුව නැති වී ඇතැයි සිතූ මොහොතේ ඇති වූ දුක කාලයත් සමඟ පහව යනු ඇත. එහෙත්, ඔහු එය සොයාගෙන මා වෙත ගෙනැවිත් දුන් ඊයේ සවස මගේ මතකයේ රැඳෙනු ඇත. මේ වනවිට තුන්වතාවක් නැවත ද මංගල මුදුව අතට ගෙන බලා ඇති මට, බිරිඳකට මංගල මුදුව කෙතරම් වටින්නේදැයි අවබෝධ වූයේ එය නැතිවූ පසුවය. එතැන් සිට මම වෙනත් බිරින්දෑවරුන්ගේ ඇඟිලිවල පැළඳි මංගල මුදු ද දකින්නට පටන් ගත්තෙමි.

ඇත්තෙන්ම, මා මංගල මුදුව නැති කරගත් බව කිවහැකි මෙලොව වසන එකම මිනිසා ඔහුය. ඔහු මගේ ආදර කතාව නිමැවූ මිනිසාය.

Friday, October 9, 2026

දිය කැඩපතට ඇය අහිමි ඇති සිතුණා


අනුරාගයේ ගීය ගයනා

සොඳුරු සඳවත නුඹ ද අසනා

නුබගැබෙහි රැඳි සඳවතිය හා

දිය කැඩපත ද ප්‍රේමයෙන් බැඳුණා


නුබ ගැබට සඳ හිමිව ඇති සිතුණා

දිය කැඩපත ද සඳ හිමිව ඇත සිතනා

නුබ ගැබ ද දිය කැඩපත ද දෙදෙනා

සඳවත හිමි වු උද්දාමයෙන්  දිලුණා


අනුරාගයේ රාත්‍රිය ගෙවුණා

නුබ ගැබෙහි සඳවත සැඟව ගියෙනා

කැලඹෙනා දිය කැඩපතින් නැගෙනා

වැලපුම ද මුදු සරින් එහි ඇසුණා


නුබ ගැබෙහි රැය පහන් කර දිලෙනා

දිය කැඩපතට ඇය අහිමි ඇති සිතුණා


Tuesday, October 6, 2026

Locus of control

Locus of control - තම ජීවිතයේ සිදුවීම්වල ප්‍රතිඵල කෙරෙහි, තමන්ගේ බලපෑමෙන් ඔබ්බෙහි වන බාහිර බලවේගවලට වඩා තමන්ටම පාලනයක් ඇතැයි පුද්ගලයන් විශ්වාස කරන මට්ටම ලෙස අර්ථ ගැන්වෙයි. 


එය, අපගේ ජීවිතය හා සබැඳි සිදුවීම් හා අවස්ථා කෙරෙහි අප සතු පාලනය පිළිබඳ හැඟීම සහ අප ඒ පිළිබඳ ව භාර ගන්නා වගකීම, එසේත් නැත්නම්, අභ්‍යන්තර (තමාගේ ජීවිතය තමාටම පාලනය කළ හැකි බවට වන විශ්වාසය) හෝ බාහිර (තමාට කිසිදු බලපෑමක් කළ නොහැකි බාහිර සාධක මගින් හෝ අහඹු සිදුවීම් හෝ දෛවය මගින් ජීවිතය පාලනය වන බවට වන විශ්වාසය) ලෙස සංකල්පගත කෙරේ.

අභ්‍යන්තරව පාලනය පිළිබඳව විශ්වාසය තබන මිනිසුන් තම ජීවිතයේ සිදුවීම් පිළිබඳව වගකීම තමා අත ඇතැයි ද, එ නිසා ජය පරාජය යන දෙකම තමා විසින් කරන ලද ක්‍රියා හා එහි ප්‍රතිඵලයක් ලෙස  භාරගනී.

බාහිර පාලනය පිළිබඳ විශ්වාසය වැඩි මිනිසුන් එහි වගකීම  අනෙක් මිනිසුන් හෝ පාලනය කළ නොහැකි කාරණා වෙත භාර කරති. එය විභාගයක් අසමත් වීමේ වගකීම අනෙකෙකු වෙත පවරන තැන සිට ජීවිතය සාර්ථක කරගැනීම සඳහා නොපෙනෙන බලවේගවල පිහිට යැදීම දක්වා වන බොහෝ ක්‍රියාවන් විය හැක.

අභ්‍යන්තර පාලනය පිළිබඳ දැඩි විශ්වාසයක් දරන මා ජීවිතයේ බොහෝ අවස්ථාවල මගේ ජීවිතය හැඩගස්වා ගැනීම කෙරෙහි බලාපොරොත්තු තැබුවේ මා මතම ය. එනිසා ම යමක් වැරදුණු විට එහි වගකීම ද මා ම දැරීම ද පුරුද්දක් ම විය.  

එදා එය ශක්තිමත් බවේ සලකුණක් ලෙස දුටු මට අද ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ සිතක්  පහළ වී තිබෙයි. ඊට හේතු වී ඇත්තේ මගේ ද, මට ඉතා සමීප මිතුරන් කිහිප දෙනෙකු ගේ ද ජීවන අත්දැකීම්ය.  තමා විසින් තමා අවට සිදුවන සිදුවීම් පාලනය කිරීමට අපහසු අවස්ථා කිහිපයක් දෙසම බලා ඉන්නට අද මට  සිදුව ඇත.

මා විසින් ද වෛද්‍යවරුන් විසින් ද සිදු  කළ හැකි කිසිවක් නොමැති වූ ශාරීරික හා මානසික අපහසුතා පරිසරය විසින් සුවපත් කරනු අත්විඳීමෙන් ද, කළ හැකි කිසිවක් නොපෙනෙන මොහොතක දෙවියන් යදින සිතක් පහළ වීමෙන් ද, අභ්‍යන්තර පාලනය පිළිබඳ සංකල්පය බැහැර නොවුණ ද, බාහිර පාලනය පිළිබඳ සංකල්පය මසිත රෝපණය වන්නට පටන් ගෙන තිබෙයි.

ජීවිතය අභ්‍යන්තර පාලනය හෝ බාහිර පාලනය ලෙස වෙන් කළ හැකි දෙයක් නොව, විටින් විට වෙනස් වන, එම අන්ත දෙක අතර නිරන්තරයෙන් ගොඩනැගෙන සමතුලිතතාවක් විය හැකියයි මට සිතේ.

අභ්‍යන්තර පාලනය පිළිබඳ හැඟීම ප්‍රබල ව මසිත තිබිය දී ද, සොබාදහමේ බලය සහ එහි නීතිය පිළිබඳ හැඟීම මසිත කුඩා කල සිට ම රැඳී පැවතිණ.

මේ සා සංකීර්ණ ජෛව පද්ධතියක් නිර්මාණය කළ සොබාදමට එය පරිපූර්ණ කිරීමේ අවස්ථාව හිමිවන්නට ඇති නමුත්, එවන් පරිපූර්ණ ලොවක් තැනීම තෝරා නොගන්නට ඇති බව මට සිතිණ.

කඳු අතර පටු මගක තනිව ඇවිද යද්දී හෝ පාළු අඳුරු රාත්‍රියක අපමණ තරු ගැවසෙන සුවිසල් අහස දෙස බලා සිටියදී, මේ විසල් විශ්වය තුළ අනන්ත බලවේග විසින් සියල්ල පාලනය වනු ඇතැයි මට සිතී ඇත.

අභ්‍යන්තර පාලනය හා බාහිර පාලනය පිළිබඳ ඉතාම ගැඹුරු පාඩම මට කියා දුන්නේ, අයාලේ යන බළල් තඩියෙකි. සතියක් මා නිවසේ නොසිටීම ට දඬුවමක් වශයෙන් ඌ ද සති දෙකක් නිවස අසළින් ද ගමන් කොට, නිවසට නොපැමිණ සිට, කිසිවක් නොවුණ ලෙසින් අද උදෑසන යළිත් නිවසට පැමිණ සිටී. දින ගණනාවකට පසු නිවසට පැමිණ, තමාගේ ස්ථානය තිබූ ලෙසින්ම ඇති බව විශ්වාස කර ආහාර ද ගෙන ඌ පුරුදු පරිදි සුව සේ නිදයි. අභ්‍යන්තර පාලනය පිළිබඳ ව ඌ දරන මතය කුමක් වුවත්, සොබාදම විසින් තමා පිළිබඳව, තමාට පාලනය කළ හැකි දේ පිළිබඳව, කෙතරම් විශ්වාසයක් ඌට ලබා දී ඇති දැයි මා කල්පනා කළේ ඌට ආහාර ලබාදෙන අතරය.

අභ්‍යන්තර පාලනය හා බාහිර පාලනය අතර මගේ සිත තුළ ම සිදුවන මත ගැටුම අතරම මා සිහිපත් කරන්නේ ජීවිතය තමා විසින් පාලනය කිරීමට නම් බැඳීම් ඉතා අඩු විය යුතු බවයි. බැඳීම් වැඩිවන තරමට ඉතාම නිවැරදි යැයි සිතෙන හෝ තමාට ඉතාම පහසුව ගෙනෙන තීරණය ගැනීමේ අවස්ථාව සීමා කෙරෙයි.  

නමුත් බැඳීම් නැති ලොවක පාලනය තමන් සතුවීමට වඩා සෙනෙහසින් බැඳුණ ලොවක පාලනය අහිමි වීම ද ජීවත්වීම ම වෙයි. 

ඒ මගේ හැඟීමයි.

නමුත්, මනෝවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය තුළ අනේකවිධ පර්යේෂණයන්ට භාජනය වෙමින් අභ්‍යන්තර හා බාහිර පාලනය පිළිබඳ සංකල්පය විච්ඡේදනය වෙමින් ඉදිරියට ඇදෙයි.

Image from:https://untoday.org/the-power-equilibrium/

Thursday, October 1, 2026

Addiction



දෑඟිලි අතරේ 

යෞවනයයි දැවුණේ...

තොල්පෙති අතරින්

ජීවිතයයි මිදුණේ...



Saturday, September 26, 2026

නෙතු...



ලියා නුවන'ග
පිබිදෙනා හසකැන්
කියයි නොකියා සියක් වදනින්
කියනු බැරි හැඟුමන්

දිගු කතාවක් කෙටි කරයි
දෙනුවන්
ලියා කඳුලින්
අඩකටත් වැඩියෙන්


Wednesday, September 16, 2026

සරසවි වරම


මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි. 

යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ මගේ ජීවිතය සරසවියක් ම වී ඔහුට පෙනීමේ වරදක් ද නැති බව මගේ සිත ද පිළිගනී. 

ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ අසිරිමත් සලකුණක් ලෙස බුහුමන් ලබන සරසවි අද ද රටේ සුවිසල් ජනතාවකට සිහිනයක් මිස සැබෑවක් නොවේ. අධ්‍යාපනය මේ සා සුවිසල් තරගයක් ව ඇත්තේ ඒ බුහුමන් ලබන සරසවි වරම වෙනුවෙනි. 

මා ලැබූ සරසවි වරම මගේ මුළු ජීවිතයම නව මානයකට රැගෙන යනු මුලින් ම මා අත්විඳ තිබේ. ඉගැන්වීම රැකියාව කරගත්, මා සරසවි වරම් ලබනු දැකීම ජිවිතයේ පරම අරමුණ කරගත් මගේ දෙමව්පියන්ගේ සතුට දැකීමම එදා දැරියක වූ මට ජීවිතයම දිනාගැන්මක් විය.

ඉන්පසු, සරසවි වරම් සිසු ජීවිත ඉතා සාර්ථක ව උඩුයටිකුරු කරනු මම බොහෝ වරක් දැක තිබේ. එක් දරුවෙකු ලබන සරසවි වරම සහෝදර සහෝදරියන් ඇතුළු මුළු පවුලක අනාගතය වෙනස් කරනු ද මා දැක තිබේ. සිය පුතු උපාධිය ලැබ පිටව යනු දැකීමේ සිහිනය කරපින්නාගත් අනන්තවත් පියවරුන් මට මුණගැසී තිබේ. පුතු උපාධිය ලැබ පිටව යන දා ඒ පියවරුන් විඳින සතුට ද මා සියැසින් දැක තිබේ.

එපමණක් ද නොව සරසවියට ඇතුළුවන දරුවන්ගේ ජීවිත කතා මගේ සමස්ත ජීවන දැක්ම වෙනස් කරනු ද මා අත්විඳ තිබේ.

මේ සටහන අද ලියවෙන්නේ ද මසිත සසල කළ එවන් අත්දැකීමක් නිසාවෙනි. 

ජීවිතය හමුවේ වූ අනේක බාධක, ගැටළු හමුවේ බොහෝ දිනවල මා හා දොඩමළු වූ ඔහු මට සරසවියේ අවසන් වසරේදී මුණගැසුණ දරුවෙකි. ළමා නිවාසයක හැදුණු වැඩුණු ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය ට මව්පියන් වෙනුවෙන් සහභාගී වූයේ එහි හැදී වැඩෙන දරුවන් කිහිප දෙනෙක් ද සමගින් පැමිණි එහි බාරකරු යි.

නමුත්, ඊයේ සැන්දෑවේ ඔහු අත කුඩා දියණියක සිටින සේයාරුවක් ඔහු මට එවා තිබේ. 

ඒ සේයාරුව මසිත සසල කරමින් ඔහුට පවුලක් ලැබුණ බව මට සිහිපත් කර දෙයි. ඔහුගේ ජීවිතය එතැනට ගෙනයන්නට ඔහු ලැබූ සරසවි වරම හේතු වූ හැටි විස්තර සහිතව ලියන්නට සිතක් මට නැතත්, ඔහු අත සිටින දියණියට මවක ද පියකු ද සිටින බව ද ඔහුට පවුලක් ලැබුණ බව ද මසිත සංවේදී කරවයි. 

ඉගැන්වීම රැකියාවක් වශයෙන් කළ මගේ අම්මා ද තාත්තා ද ළඟ අනෙක් දරුවන් රැඳෙනු දකින විට දැනුන ඊර්ෂ්‍යාව නිසාම ඉගැන්වීම රැකියාවක් ලෙස කිසිදා තෝරා නොගන්නා බව සිතූ මා ද, සරසවි අධ්‍යාපනය ලැබූ පසු ඉගැන්වීම ම රැකියාවක් ලෙස තෝරා ගැනීම දෛවය  මට කළ කුරිරුම සරදමයි. සරසවියක් තුළ රැකියාව කිරීම ද ඉතාම වෙහෙසකාරී අත්දැකීමක් වුවත්,  ඉඳහිට දකින මෙවන් දසුනක්, ඉගැන්වීම රැකියාව වෙනුවෙන් තෝරා ගැනීමෙන් ලැබිය හැකි සුවිසෙස් සතුට නැවත ද සිහිගන්වයි. 

Sunday, September 13, 2026

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස



රන්වනින් හිරු කිරණ තැවරුණ
 
තුමුළ ගිරිහිස සෙමෙන් සිඹිමින

තුරු වියන දුන් සිසිල විඳිමින

සුළඟ මුමුණන කවිය කිව මැන


මගේ නෙතු යුග දැහැන්ගත වුණ

කාච නෙත මත මිහිර නොරැඳුණ

සුමුදු මිහිදුම් සළුව වියමින

තුමුළ ගිරිහිස මුවා කළ මැන


සිතුම් වියමන නිසල කරමින

ගෙවී යන මනරම් සැඳෑවක

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස

අසිරිමත් සිහිනයක් අභියස 


මංගල මුදුව

මීට සති කිහිපයකට පෙර සිට මට මගේ මංගල මුදුව සොයාගත නොහැකි වී තිබිණ. එය පැළඳගෙන සිටින අතරතුර, නිතර නිතර ගලවා ඇඟිලි අතර කරකවමින් සිටීම මගේ පුරු...