Saturday, July 25, 2026

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind

අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හැකියාව රඳනවා... විශේෂයෙන්ම ඉතා විකේන්ද්‍රීය අන්තඃකල්පිත මනසක් හිමි මා ලෝකය සමග ගනුදෙනු කිරීමේදි ඉතා ප්‍රබල තෝරා ගැනීමක් කරනවා...

එම ප්‍රබල තෝරා ගැනීම ඇසුරට මිතුරන් තෝරා ගැනීමේ සිට ජීවිතයට අරමුණු, ඉලක්ක තෝරා ගැනීම දක්වා, ඉතා ප්‍රබල පරාසයකට වලංගුයි... මගේ ජීවිතය තුළ සිදුවන සියල්ල තෝරාගැනීම් නොවුණත් හැකි සෑමවිටකම ඒවා තෝරාගැනීම් බවට පත් කිරීම මගේ ස්වභාවය...

නිහඬ නොගැලපීම විඳ දරාගනිමින් මා වැඩුණු පසුව, මා සිදු කළ තෝරාගැනීම් අතරින් වඩා වැදගත් තෝරා ගැනීම් දෙක මගේ ජීවිත අරමුණු තෝරා ගැනීම සහ මගේ සමාජීය ජීවිතය හැඩගැස්වෙන ආකාරය තෝරාගැනීමයි.. 

ඒ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි මගේ ප්‍රබලම තෝරා ගැනීම වුණේ මගේ අනාගත වෘත්තිමය ගමන හැඩගැස්වීමයි...

අනෙක් අය විශ්ව විද්‍යාල උපාධිය සාමාන්‍ය ලෙස හදාරද්දී මගෙ අරමුණ වුණේ ප්‍රථම පන්ති උපාධියක්... ඒ එමගින් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණ ඉටුවන නිසයි... ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටි මා වෙනත් කිසිදු අමතර සුදුසුකමක් රැස්කරන පාඨමාලාවලට සහභාගි නොවීම තෝරා ගත්තා... අනෙක් සගයන්, සියල්ල තරමක් දුරට යන සංකල්පයට යද්දී මා ප්‍රථම පන්ති උපාධිය තෝරාගත්තා... වසර හතරක් අවසන් ඒ අරමුණ සම්පූර්ණෙයෙන්ම ඉටු කරගන්නටත් සමත් වුණා...

ඉන් නොනැවතුණ මා මගේ වෘත්තිය ජීවිතය මා අරමුණු කළ ස්ථානයට පැමිණෙන තෙක්ම නොනවත්වා කටයුතු කළා...

නමුත් ජීවිතය නිමා නොවන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනක් නොවන බව මා තේරුම් ගෙන තිබුණා... ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මා කිසි දා තවත් අරමුණක් වෙත ජීවිතය ඉලක්ක කළේ නෑ.

 - - - - -- - - - - - -- - -- - -- - - -- - - - - - - - - - - -- 

මිනිසුන් බොහෝ විට ජීවිතය ගැන කතා කරන්නේ කන්දක් තරණය කිරීමක් ලෙසයි... එක් මුදුනකට ළඟා වූ පසු, ඊළඟ මුදුන සොයා යාම, තවත් ඉහළට නැගීම, කිසිදා නොනැවතීම—සාර්ථකත්වය බොහෝ විට එසේ විස්තර කෙරෙන්නේ ඒ ආකාරයටයි..

නමුත් මගේ ජීවිතය එසේ ගලා ගියේ නැහැ....

මම එක් කන්දක් තෝරාගෙන එය තරණය කළා...

ආචාර්ය උපාධිය මට හුදෙක් අධ්‍යාපනික සුදුසුකමක් වුණේ නැහැ. එය මා වසර ගණනාවක් තිස්සේ දුරින් දුටු, මට තරණය කිරීමට  අවශ්‍ය වූ එක් කන්දක්...මා දුටු සිහිනයක්...

ඒ ගමනේදී, ඒ නාඳුනනා අහස යට,  විරාමයක් ලැබුණු විට මා දුටු සොඳුරුම දර්ශනය දුරින් පෙනෙන ෆුජි කන්දයි.

ඒ එක් අවස්ථාවක මම ලිව්වේ,

ෆුජි-සන් එක විරාමෙක මා - සිත මතින් සක්මන් කළා
ගිරිහිසට පෙම්බඳින මුත් සිත - කඳු පාමුලයි මා ඉඟි කළා

මට කන්ද පෙනුණි.

නමුත් මම තවමත් සිටියේ එහි පාමුල...

කන්ද කිසිදා ෆුජි පමණක් නොවෙයි...


ඒ මා තවමත් ළඟා වී නොතිබූ, මා සිහින දුටු අනාගතයයි.

වසර ගණනාවක් තිස්සේ මා තුළ තිබූ අරමුණක්, මගේ සියලු අවධානය සහ කැපවීම යොමු වූ එක් ස්ථානයක්...

අවසානයේ, මම ඒ කන්ද තරණය කළා...


එදා මගේ අතට පැමිණියේ හුදෙක් සහතිකයක් නොවෙයි...


වසර ගණනාවක් තිස්සේ මා සිතින් දුටු කඳු  මුදුනට පැමිණීමේ හැඟීමයි.


ඒ මොහොතේ මම ලිව්වේ,

රිදී දිය මතට අහසින්
ගලාන ආ තරු එළියක
අහස දෑලවර හිමිකම්
සරි කර ආවා

අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...

ඒ වචන කාව්‍යමය අතිශයෝක්තියක් නෙවෙයි...

"ඒ මොහොතේ මට සැබවින්ම දැනුණේ මුළු විශ්වයම මගේ වූවාක් මෙනි.

මම තෝරාගත් කන්ද  මම තරණය කර තිබුණි..."

 - - - - - - - -- - - - - - - - --- - - - - - -- - - - -- - -  -  -- - -

නමුත් ජීවිතය නිමා නොවන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනක් නොවන බව මා ඒ වනවිටත් තේරුම් ගෙන තිබුණා...

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මා කිසිදා තවත් එවැනි අරමුණක් වෙත ජීවිතය ඉලක්ක කළේ නැත්තේ ඒ නිසායි...

නමුත්, ඉන් පසුව ද ජීවිතය නතර වූයේ නැහැ....

"මම වැඩ කළෙමි.

ඉගැන්වූයෙමි.

ලිව්වෙමි.

මට වැදගත් වූ දේවල් වෙනුවෙන් තවත් ගැඹුරින් කැපවුණෙමි."

නමුත් තවත් කන්දක් මා ඉදිරියේ නොතිබුණි.

- - - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - 

ඒ වෙනුවට, සුවිසල් කඳු මුදුනක් මතට නැගගත් පසු හමුවන සානුවේ අසිරිය විඳිමින් සැරිසරන ගමනක් ලෙසින් එතැන් පටන් ජීවිතය ගෙවීම මා තෝරා ගත්තෙමි. 

කන්දක් අපට උගන්වන්නේ ඉලක්කයක් වෙනුවෙන් නොනැවතී ගමන් කිරීමටය.

නමුත් සානුවක් අපට උගන්වන්නේ, මුදුනට පැමිණි පසු ජීවිතය විඳීමටය.

එදා සිට මම තවත් කන්දක් සොයමින් නොදුවමි.


නිදහසේ ජීවිතය විඳිමින් සානුව මත නිදහසේ සැරිසරමි. ඒ සානුවේද රසවිඳින්නට තරම් අපූරුත්, සිත්ගන්නාසුලුත් බොහෝ දේ තිබේ. ඉතින්, මම තවමත් එහි නිදහසේ සැරිසරමින් ඒ අසිරිය විඳිමින් සිටිමි.


Sunday, July 19, 2026

විශ්ලේෂණයෙන් එහා ගිය කෘතඥතාවයක් - Gratitude beyond analysis

කුඩා කාලයේ සිටම කඳු මට විශේෂ ආකර්ෂණයක් විය.

එදා මම දැන සිටියේ එකම දෙයකි.

ඒ කඳු අතර සිටින විට මට යම් නිදහසක්, නිහඬ සතුටක් දැනෙන බවයි.

ඒ හැඟීම පිටුපස ඇති හේතුව මම විශ්ලේෂණය කළේ නැත.

කඳු මුදුනක සිට පහළ ලෝකය දෙස බැලීම, මීදුම අතරින් දුරස්ථ දේවල් නිරීක්ෂණය කිරීම, නිහඬ පරිසරයක තනිව සිතීමට ලැබීම — මේ සියල්ල මට ස්වභාවිකවම ආකර්ෂණීය විය.

විශේෂයෙන්ම මට හපුතලේ සංචාරක ගමනාන්තයකට වඩා වැඩි දෙයක් විය.

ඒවා මගේ ඇතුළත ලෝකයට ගැළපෙන භූ දර්ශන විය.

නමුත් එදා මට එය පැහැදිලි කිරීමට වචන තිබුණේ නැත.


“මේ නගරයේ ඇති විස්මයන් මට කිසිදා අවසන් නොවේ.”


පසුව, ජීවිතයේ එක් අවස්ථාවකදී, මට එවැනි අත්දැකීම් තේරුම් ගැනීමට උපකාර වන වචන සහ අදහස් හමු විය.

“Introverts love mountain holidays.”

එය එක් සරල වාක්‍යයක් පමණක් විය හැකිය.

නමුත් මට එය එසේ නොවීය.

එය මගේ ජීවිතයට අලුත් දෙයක් එකතු කළ වාක්‍යයක් නොවීය.

එය දැනටමත් මගේ ඇතුළත තිබූ දෙයක් හඳුනාගැනීමට උපකාර කළ වාක්‍යයක් විය.

මම කඳු වලට ආදරය කළේ introversion ගැන දැනගත් නිසා නොවේ.

මම introversion තේරුම් ගත්තේ, මගේ කඳු අතර තිබූ ඒ නිහඬ ආකර්ෂණයට පසුව නමක් හමු වූ නිසාය.


අද වන විට පෞරුෂය පිළිබඳ විවිධ න්‍යායන් සහ රාමු පිළිබඳව මම දනිමි. MBTI, Big Five හෝ වෙනත් ආකෘති එකිනෙකට වෙනස් ආකාරයෙන් මිනිස් වෙනස්කම් විස්තර කිරීමට උත්සාහ කරයි. ඒවායේ ශක්තීන් සහ සීමාවන් පිළිබඳව අනේක විධ මත ගැටුම් ඇත. 

නමුත්,  ඒ සියලු විශ්ලේෂණයන්ට එහා ගිය මගේ පෞද්ගලික අත්දැකීමක් තිබේ. මට MBTI යනු මිනිස් ස්වභාවය පිළිබඳ අවසාන පිළිතුරක් නොවීය. එය මට මාව තේරුම් ගැනීමට ලැබුණු පළමු භාෂාවකි. ලෝකය පුරා MBTI පිළිබඳ විවේචනය කළත්, මගේ ජීවිතයේ එයට හිමි ස්ථානය වෙනස් නොවේ. 


මම කිසිදු පෞරුෂ රාමුවක් මිනිසා සම්පූර්ණයෙන් විස්තර කළ හැකි අවසාන සත්‍යයක් ලෙස නොදකිමි.

මිනිසෙකු වර්ගීකරණයකට සීමා කළ නොහැක. එක් එක් පුද්ගලයාගේ ජීවිත අත්දැකීම්, පරිසරය, වටිනාකම් සහ තෝරාගැනීම් මිනිසෙකු සෑදීමේදී විශාල භූමිකාවක් ඉටු කරයි.

එසේම, විවිධ පෞරුෂ රාමු එකිනෙකට වෙනස් ආකාරයෙන් මිනිස් වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ කරයි. ඒවා පිළිබඳව නොයෙක් ලෙසින් විමසා බැලිය හැක. විශ්ලේෂණය කළ හැක.

නමුත්, මගේ ජීවිතයේ ඒවායේ වටිනාකම තීරණය වූයේ ඒවා පරිපූර්ණද යන්න මත නොවේ. කුමන ආකෘතිය වඩාත් නිවැරදිද යන්න මත  ද නොවේ. ඒවා මට ලබා දුන් අවබෝධය මතය.


පෞරුෂ රාමු මට මගේ ස්වභාවය නිර්මාණය කර දුන්නේ නැත. ඒවා කළේ, දැනටමත් මා තුළ තිබූ ස්වභාවය සමඟ සමාදානයකට පැමිණීමට මට උපකාර කිරීමයි. ඒ නිසාම, මේ කෘතඥතාවය විශ්ලේෂණයෙන් එහා ගිය එකකි.


Friday, July 17, 2026

මට හමු වූ භාෂාව — The language I found

කුඩා වයසේ සිටම මා සිතන පතන අයුරු වෙනස් බව දැන සිටීම ම පමණක් මට ප්‍රමාණවත් වූයේ නැත.

තමා අනෙක් මිනිසුන්ගෙන් වෙනස් බව දැනෙන විට, එම වෙනස තේරුම් ගැනීමට නොහැකි නම්, එය බොහෝ විට තනිකමක් බවට පත්විය හැකිය. මට අවශ්‍ය වූයේ මගේ වෙනස් බව පමණක් පිළිගැනීමට නොව, එයට අර්ථයක් ලබා ගැනීමටය. මට මාව තේරුම් ගැනීමටත්, මා අවට මිනිසුන් තේරුම් ගැනීමටත්, මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ ඇයිදැයි අවබෝධ කර ගැනීමටත් හේතුවක්, ඒ පිළිබඳව කතා කිරීමට මට භාෂාවක් අවශ්‍ය විය.

මන්ද, අපට නම් කළ නොහැකි දෙයක් බොහෝ විට අපට තේරුම් ගැනීමට අපහසුය.

නමුත් යම් අත්දැකීමකට, හැඟීමකට හෝ වෙනසකට වචන ලැබුණු විට, එය තවදුරටත් අපව අසරණ කරන අභිරහසක් නොව, අපට අවබෝධ කරගත හැකි දෙයක් බවට පත්වේ.

මට මුලින්ම එවැනි භාෂාවක් ලබා දුන් එක් රාමුවක් වූයේ පෞරුෂ න්‍යායන්ය.

විශේෂයෙන්ම MBTI, BIGFIVE වැනි රාමු මට ලබා දුන්නේ මිනිසෙකු සම්පූර්ණයෙන් විස්තර කරන අවසාන පිළිතුරක් නොව, මිනිස් වෙනස්කම් දෙස බැලීමට ආරම්භක සිතියමක්ය.

එය මට කියා දුන්නේ, ලෝකය අත්විඳින ආකාරය සෑම කෙනෙකුටම එක හා සමාන නොවන බවයි.

සමහර අය තනිව සිටින විට ශක්තිය ලබා ගනිති.

සමහර අය අන් අය සමඟ සම්බන්ධ වීමෙන් ශක්තිය ලබා ගනිති.

සමහර අය තර්කය තුළින් තීරණ ගනිති.

සමහර අය මිනිස් හැඟීම් සහ සබඳතාවල බලපෑම තුළින් තීරණ ගනිති.

මෙයින් එකක් හරි සහ අනෙක වැරදි නොවේ.

ඒවා මිනිස් මනස ක්‍රියා කරන විවිධ ආකාරයන්ය.

මෙම අවබෝධය මට වැදගත් වූයේ මාව වෙනස් කිරීමට නොව, මාව පිළිගැනීමට උපකාර කළ නිසාය.

අන්තඃකල්පිත මනසක් තිබීම, සමාජයෙන් ඈත් වීමක් හෝ මිනිසුන්ට ආදරය නොකිරීමක් නොවන බව තේරුම් ගැනීමට හැකි විය.

ගැඹුරු සම්බන්ධතා කිහිපයක් පමණක් ජීවිතයට ප්‍රමාණවත් විය හැකි බවත්, සෑම සම්බන්ධතාවයක්ම එකම ආකාරයෙන් ගොඩනැගිය යුතු නොවන බවත් තේරුම් ගැනීමට හැකි විය.

එසේම, ශක්තිය සහ සංවේදී බව එකිනෙකට විරුද්ධ දේවල් නොවන බවත් අවබෝධ විය.

සමාජය බොහෝ විට ශක්තිමත් පුද්ගලයන් දකින්නේ ඔවුන් සංවේදී නොවන, සිත නොරිදෙන අය ලෙසය.

නමුත් සැබෑ ශක්තිය යනු කිසිදා සංවේදී නොවීම නොවේ.

තමන්ගේ හැකියාවන්, ස්වාධීනත්වය සහ තීරණ ගැනීමේ ශක්තිය සමඟම, විශ්වාසය, ආදරය සහ සබඳතාවල වටිනාකම ගැඹුරින් අත්විඳිය හැකිවීමය..


පෞරුෂය පිළිබඳ අවබෝධය මට තවත් වැදගත් දෙයක් ඉගැන්වීය.

අපි අනෙක් මිනිසුන් දකින්නේ අපගේම මනස ක්‍රියා කරන ආකාරය තුළින්ය.

එනිසා එකම පුද්ගලයෙකු පිළිබඳව විවිධ මිනිසුන්ට ඇති අවබෝධය වෙනස් විය හැකිය.

මගේ සමහර මිතුරන් මා තුළ මුලින්ම දකින්නේ මගේ සාම්ප්‍රදායික නොවන පැත්තයි.

ඔවුන්ට මම සමහර විට සමාජයේ නොකියන නීති ගැන එතරම් අවධානයක් නොදක්වන, තමාගේම ආකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයෙකු ලෙස පෙනිය හැකිය.

නමුත් එය ඔවුන් මාව අගය නොකරන බවක් නොවේ.

ඔවුන් එම වෙනස දකිමින්ම මගේ අවංක බව, විශ්වාසවන්ත බව සහ ගැඹුරු සෙනෙහස ද දකිති.

ඔවුන් මාව තේරුම් ගන්නා ආකාරය මගේම ආකාරයට සමාන නොවුණත්, එය අප අතර ඇති මිත්‍රත්වයට බාධාවක් වී නැත.


එය මට ඉගැන්වූයේ, කෙනෙකු අපව සම්පූර්ණයෙන්ම අපගේ ආකාරයෙන් තේරුම් ගැනීම පමණක් නොව, අපගේ වෙනස් බව පිළිගෙන අපගේ වටිනාකම දකින්නට හැකි වීමද ගැඹුරු සම්බන්ධතාවයක කොටසක් බවයි.

අද වන විට මට තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ, මිනිස් වෙනස්කම් මකා දැමිය යුතු දේවල් නොවන බවයි. ඒවා තේරුම් ගත යුතු දේවල්ය.

අවබෝධය මගින් මිනිසුන් එකිනෙකාට සමාන කරන්නේ නැත.

එය කරන්නේ වෙනස් මිනිසුන් අතර පාලමක් ගොඩනැගීමයි.


මට හමු වූ එම භාෂාව තුළින්, මට මාවත්, මා අවට මිනිසුන්වත් වඩාත් කරුණාවෙන් සහ අවබෝධයෙන් දැකීමට හැකි විය.

පෞරුෂ වෙනස්කම් සහ මිනිස් හැසිරීම් අවබෝධ කරගැනීම මට මාවත් අනෙක් මිනිසුන්වත් වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාර විය. එම අවබෝධය මගේ ජීවිතයට ආරක්ෂාවත් සතුටත් රැගෙන ආවේය. 

Image from: https://www.earlyyears.tv/mbti-vs-big-five-personality-test/

Monday, July 13, 2026

නිහඬ නොගැලපීම - The silent mismatch

 අද ඉඳන් ලියන්න යන්නේ තවත් අලුත්ම පැතිකඩක් වෙත ඇරෙන මාතෘකාවක් ගැන... තමා, තමා අවට සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් බව කුඩා වයසේ ඉඳන්ම දැනෙන, හැඟෙන දරුවෙක් ගැන...

කුඩා වයසේ පටන් ම මා සිතන අයුරු ඉතා වෙනස් බව, මම අනෙක් සම වයස් දරුවන්ගෙන් වෙනස් බව මා අත්විඳ තිබුණා... මා පමණක් නොව මා අවට සමාජය ද ඒ බව යම් අයුරකින් දැන උන්නා.

ඒ දැනීම මා වටා උන් සමාජය විසින් මා පිළිගැනීම ඉතා අපහසු කරවන්නක් උනා... ඒ, මා සමවයස් මිතුරන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ට පෙනුනේ, මනසින් ශක්තිමත්, දක්ෂ නමුත්, හිතුවක්කාර සහ සම්ප්‍රදායික නොවන ලෙස ක්‍රියාකරන දරුවෙකු ලෙස නිසයි... 

අනෙක් දරුවන්ට වඩා වෙනස් දරුවෙකුට සමාජය කාරුණික වන අවස්ථා ඉතා අඩුයි... අවම වශයෙන් මගේ අත්දැකීම එයයි...

නමුත් මගේ වාසනාවකට මගේ දෙමව්පියන් මා කෙසේ හෝ නිවැරදි කළයුතු දරුවෙකු ලෙස දුටුවේ නැහැ... ඔවුන්, ඔවුන්ට ලැබුණු දරුවා සෙනෙහසින් රැක ගන්නට තරම් අවබෝධයෙන් උන්නා... නමුත්, මා කුඩා කළ මවුපියන් හා සහෝදරයා හැරුණු කොට මට යහලු යෙහෙලියන් සිටියේම නැති තරම්... යහලු යෙහෙලියන් බොහෝ විට හේතුවක් නැතිව ම මා ප්‍රතික්ෂේප කළා. වයස අවුරුදු 16 වන විට දෙවතාවක්ම මට වැටහෙන හේතුවකින් තොරව යෙහෙළියන් මා හැර යාම අත්විඳ සිටි මා බොහෝ දුරටම තනිව ඒ යොවුන් විය ගෙවා දැමුවා...



වයස අවුරුදු එකොලහේදී පමණ "ගම්පෙරළිය" නව කතාව කියවද්දී, එහි "මාතර හාමිනේ" ගේ චරිතය හඳුන්වා දෙන මොහොතේ, ඇය "තමා තුළට ම හැරෙන සිතක් ඇත්තියක" ලෙස හඳුන්වා දෙන මොහොතේ දී, කුඩා දැරියක වුණු මා, මමත් එවැනි බව තේරුම් ගැනීමට තරම් මාව දැන උන්නා. INTROVERSION නොහොත් "අන්තඃකල්පිත"  මනසක් පිළිබඳ මුල්ම අදහස මා තුලට මුලින්ම කාන්දු වුණේ එදිනයි...

නමුත්, ඒ සංකල්පය හඹා ගොස් ඒ පිළිබඳ වැඩි දුර අවබෝධ කරගැනීමට තරම් දැනුම් සම්පත් එදා ලෝකය තුළ මට සොයාගැනීමට ලැබුණේ නෑ... ඒ නිසාම කුඩා කළ ම ඒ පිළිබඳව ගවේෂණය කිරීමේ අවස්ථාව මා අතින් ගිලිහුණා...

පොත් පිටු අතර නව යොවුන් විය ගෙවා දමමින් මා වැඩුණා... දක්ෂ දරුවෙකු ලෙස සමාජය දුටු දැරිය ලෙසින්ම, ඉතා ඉහළ ලෙස උසස් පෙළ සමත්වෙමින්, පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක දොරටු මා වෙනුවෙන් විවර වුණා... ජීවිතයේ මුල්වරට යහළු හෙහෙළියන් සොයා ගැනීම මා උගත්තේත් එහිදීයි...ඇත්තෙන්ම මගේ ලොව තුළ යහළු යෙහෙලියන් සොයාගන්නා රටාව මා එහිදී හඳුනා ගත් බව කීවොත් එය වඩා නිවැරදියි...

හදවත ට ළඟින් බැඳුණු, ගැඹුරු මිතුදම් කිහිපයක් පමණක් මගේ ලොව තුළ නඩත්තු කළ හැකි බව මම එහිදී ඉගෙනගත්තා... අද වනවිට වසර 25 ක් එක්ව ගෙවා දැමූ මා සමග එකම කාමරය බෙදා හදාගත් මිතුරිය සහ අපේ අනෙක් එකම යහළුවා හා බැඳුනු අප තිදෙනා ගේ සරසවි මිතුදම් අද ද එලෙසින්ම පවතිනවා...

මගේ නිහඬ නොගැලපීම මුල්වරට බිඳ දැමුවේ ඔවුන් දෙදෙනායි... එතැන් පටන් කෙමෙන් එක් රැස් කරගත් යහළු යෙහෙළියන් අතලොස්සක් ද, කෙමෙන් ගොඩනගාගත් මා හා මගේ "අන්තඃකල්පිත"  මනස පිළිබඳ අවබෝධය ද සමගින් මා ජීවිතය ගොඩ නගා ගත්තා... "අන්තඃකල්පිත"  මනස මා වෙත තිබියදී සමාජය තුළ සංසරණය වීමට අවශ්‍ය ක්‍රමවේදය මා මට හැකි පමණින් ගොඩ නගා ගත්තා...මට අවැසි වනුයේ ගැඹුරු විශ්වාසනීය යහළු යෙහෙළියන් කිහිප දෙනෙකු පමණක් බව මා අවබෝධ කරගත්තා...

මේ කතාව පෞද්ගලිකත්වය හැකි තරම් ම වෙත රඳවා තබා ගනිමින් මෙහි සටහන් කරන්නට මා තීරණය කළේ අද වනවිට ලෝකය "අන්තඃකල්පිත  මනස" (INTROVERSION) පිළිබඳ සංකල්පය ගැන ඉතා දැනුවත් නමුත්, අද ද සමාජය තුළ හා රැකියා ස්ථානය තුල අන්තඃකල්පිත  මනසක් ඇති බොහෝ දෙනා සිය "අන්තඃකල්පිත"   ස්වභාවය නිසා අනන්ත ගැටළුවලට මුහුණ දෙන බව අත්විඳින නිසායි... 

අන්තඃකල්පිත  මනසක් හිමිවීම තෝරා ගැනීමක් නොවෙයි... එය ස්වභාවයෙන්ම රැගෙන ආවක්... එනිසා එය වෙනස් කිරීමේ හැකියාවක් ද අප සතුව නැහැ... කළ හැකි එකම දෙය, ඒ බව පිළිගෙන තම ජීවිතය තමාට පහසු පරිදි හැඩගස්වා ගැනීම පමණයි...

Image from:https://introvertspring.com/introvert-biology-behavior/might-not-say-much-4/

Wednesday, October 23, 2024

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස අවුරුදු හැට සම්පූර්ණ කරන්න ඔන්න මෙන්න... මම නවයොවුන් වියේදි, ඔහු ඉතා ආකර්ෂණීය දිදුලන තරුණ වියේ පසුවුණා... අද වගේ ලෝකයේ සියළු දේ ඇඟිලි තුඩ අගට ගෙන්වා දිය හැකි ජංගම දුරකතන එදා අපි අතේ නොතිබුණ නිසා, ඔහුගේ ඩිජිටල් ඡායාරූප එදා මම අතේ රැඳුනෙ නෑ...  පත්තරවල පලවුණ පින්තූර වගේම, පින්තූර පොස්ට්කාඩ්වල තිබුන පින්තූර එකතුවක් මා ළඟ තිබුණා... ඉතා අපහසුවෙන් සොයාගත් ඒ පින්තූරවල පෙනී සිටි ඔහු මට පෙනුනෙ තරුවක් විදියටම විතරයි...කිසිවිට ඔහුව මිනිසෙක් ලෙස පෙනෙන තරම් මම පරිණත වෙලා තිබුණෙ නෑ...

ඒ වගේම එදා වෙද්දි ඔහු අද සිටින ලෝක පූජිත නළුවා ද නෙවෙයි... මා ඔහුගේ සොඳුරු රුවට බැඳෙන විට ඔහු ප්‍රධාන නළුවා/ එනම් රිදී තිරයේ පෙම්වතා ලෙසවත් ඉතා ප්‍රබල රංගනයන් ඉදිරිපත් කර තිබුණේ නෑ... එකල ඔහු රිදී තිරයේ දුශ්ටයා ලෙස සාර්තක වුණු යුගය... 



මා යොවුන් වියේ වැඩෙන අතරතුරම ඔහු රිදී තිරයේ පෙම්වතා ලෙස අති සාර්ථක රංගනයන් ඉදිරිපත් කරන අයුරු නැරඹුවා...අදටත් ඔහු මගේ හිතේ රැඳෙන්නෙ හඬමින් සිනහසෙමින් "කුච් කුච් හෝතා හේ" හි රැඳුණ යොවුන් තරුණයා ලෙසයි.."කුච් කුච් හෝතා හේ" තිරගත වෙලා තියෙන්නෙ 1998... බොහෝ දුරට එය 1996 පමණ රූගත කෙරෙන්නට ඇති... එදා නවයොවුන් වියේ සිටි මා දුටුවේ, එවකට සිය ජීවිතයේ තුන්වන දශකයේ ඇරඹුමේ සිටි ඔහු, දඟකාර යොවුන් තරුණයෙක් ලෙස රඟපාන බව නෙවෙයි... එදා මා ඔහු  දුටුවේ "කුච් කුච් හෝතා හේ" රාහුල් ලෙස පමණයි... ඒ රංගනය සාර්ථක ව නිම කිරීම සඳහා ඔහු දරන වෙහෙස මගේ ලොව වෙතට පිවිසුණේවත් නෑ... "කුච් කුච් හෝතා හේ" රාහුල්, සිය "Happily ever after" තත්වයට යද්දි මගේ ලොවේ සිටි තරුව ද සිය සදාතනික සතුට වෙත ගිය බව සිතමින් සියල්ල සතුටින් හමාර කරන්නට මගේ සිතත් පෙළඹුණා... 

තරුවකට එහා ගිය මිනිසෙකු ලෙසින් මට ඔහුව පෙනෙන්නට පටන් ගත්තේ ඔහු වියපත් වෙද්දි... ඔහු තරුවක් නොව, සිය වෘත්තිය සාර්ථක කරගත්, නළුවෙකු වන්නට අධික වෙහෙසක් දැරූ මිනිසෙකු බව මට සිහිපත් කෙරුණේ ඔහු "Fan" චිත්‍රපටය රඟපාන කාලයේදී... "Fan"  චිත්‍රපටයේ නළුවා සහ Fan දෙදෙනාටම ද්විත්ව රංගනයක නිරත වූ ඔහු සිය වෘත්තිය කෙරෙහි ඉතා උද්යෝගිමත් නළුවෙකු ලෙස මෙන්ම ඉතා වෙහෙසක් දරා ද්විත්ව චරිත නිරූපණය කළ බව එහි අධ්‍යක්ෂවරයා පවසනු වීඩියෝවක මා දුටුවා...2016 තිරගත වුණු "Fan" චිත්‍රපටය 2014 පමණ රූගත කෙරෙන්නට ඇති...ඒ වන විට වියපත් මිනිසෙකු වූ ඔහු, Fan ලෙස රඟපාන්නට දරන්නට ඇති වෙහෙස හොඳින් අවබෝධ වන තරමට ඒ වන විට මා ද වියපත් වී තිබුණා...ඔහු තරුවක් ලෙස නොව මිනිසෙකු ලෙස දකින්නට මෙන් ම මිනිසකු ලෙස සිය වෘත්තියේ හිණි පෙත්තට නගින්නට ඔහු දැරූ වෙහෙස අගයන්නට එදා මට හැකිවුණා... 

තරුවක මහිමය විඳිමේ අසිරිය ඉක්මවා දැඩි වෙහෙසක් දරා සිය දිවි සැරිය සරන මිනිසෙකු ලෙසින් ඔහු මගේ ලොව ගෞරවයට පත් වුණේ එදා පටන්...

ඉන් පසු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස මසිත සටහන් තබන්නට සමත් වූ වෘත්තිය නළුවන් කිහිප දෙනෙක් ඉන්නවා...ඇමරිකානු නළු ලෙනාඩෝ ඩි කැප්‍රියෝ මෙන්ම චීන නළු ශියාඕ ශාන් ඒ අතර විශේෂයි... 


ඒ අතරිනුත් ශියාඕ ශාන් රඟපාන TV series කිහිපයක් නැරඹුවත් ඔහු වෙත තරුවක් ලෙසින් දැනුන ආකර්ෂණය ශාරුක් ඛාන් වෙත එදා බැඳුනු ආකර්ෂණයට සාපේක්ෂ ව නොගිනිය හැකි තරම් කුඩායි... ලොව පුරා මිලියන ගණනක් රසික හදවත් තුළ තරුවක් ලෙස රැඳුනත්, ඔහු හැඟීම් නිරූපණයේ දක්ෂ, ඉතා වෙහෙසක් දරා සාර්ථක වූ, තමා වගකීම දරන චරිතය නිරූපණය කරන වෘත්තිය නළුවකු හා ගායකයකු මිස, තරුවක් ලෙස මගේ ලොවට පායා ආවෙ නැහැ... තිරය තුළ ශියාඕ ශාන් දකින හැම මොහොතකම නැගෙනහිර ආසියාවේ විනෝදාත්මක කලා වෙළඳපොළ තුළ තරුවක් ලෙස රැඳෙන්නට, ඔහු ගෙවා එන්නට ඇති වෙහෙසකර ගමන පිළිබඳ ඉඟි සහ එහි රැඳී ඉන්නට ඒ තරු කළයුතු කැපවීම, ඔවුන් ඉතා දැඩි ස්ව‍යං විනයක් ඇති වෘත්තිකයන් බව සිහිපත් කෙරෙනවා...

ලෝකයේ බොහෝ සොඳුරු දේ පිටුපස ඇති යථාර්තය වරක් අවබෝධ කරගත් පසු එය යළිදු කිසිදා යථාවත් කළහැකි වන්නේ නෑ... ඉදින් නැවත කිසිදා රිදී තිරයේ පායන තරුවක මහිම විඳින්නට හැකිවන ලෙසින් ජීවිතය ආපසු නොහැරෙනුත් ඇති... 

Friday, August 23, 2024

Entertainment industry

ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ මේ කර්මාන්තය අසාර්ථක වීම ද එහි නියැලෙන්නන් වෘත්තිය නොවීම ද එහෙමත් නැත්නම් වෙනත් කරුණක් ද කියල මම ඇත්තටම දන්නෙ නැහැ.

මම දකින පැතිකඩ කිහිපය අතර ප්‍රධානම කරුණ, ලංකාවේ කලාකරුවන් කියල කියාගත් බොහෝ දෙනෙක් මේක කර්මාන්තයක් බව නිවැරදිව තේරුම් ගත්තෙ නෑ... ලංකාවේ ඉතාම ජනප්‍රිය වුණු ගායක ගායිකාවො කිහිපදෙනෙක් වගෙම නළුවොත් අන්තිමට තමන්ගෙ අවසාන කාලය ඉතා අසරණව ගෙවා දමන බව ජනමාධ්‍ය විසින් වාර්තා කළ අවස්ථා බොහොමයක් මම දැකලා තියෙනවා... ඒත් ඇත්තටම එය මුදල් ඉපයිය හැකි කර්මාන්තයක් නොවීමේ ගැටළුව ඇතිවුණේ කොහොමද? 

අනෙක් පැතිකඩ නළු නිළියන් යයි කියාගන්නා වෘත්තිකයන් හැර, වෘත්තිය ලෙසින් නිවැරදිව වෘත්තිය හැදෑරූ නළු නිළියන අපේ රටේ බිහි නොවන්නේ ඇයි? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළින් බිහිවන උපාධිදාරීන් අතරින් කොටසක්වත් සාර්ථක ලෙස වෘත්තියේ නියැලුණේ නැත්තේ ඇයි?



අද වනවිට එම වසර තුළ රියැලිටි තරු ලෙස බිහිවන්නන් හා අවුරුදු කුමර කුමරියන් එක්වරම මතු වී නළුවන් වී නාට්‍යයක හෝ දෙකක රඟපා එසැණින් අතුරුදන් වන ක්‍රමයක් බිහිවී තියෙනවා... ඔවුන් සමහරෙක්ට රඟපෑම සඳහා කිසිදු හැකියාවක් ඇත්තේ ද නෑ... අනික, ඉතාම කිහිප දෙනෙක් හැර නළු නිළියන් ලෙසින් ඔවුන් සිය රූ සපුව පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන බව ද පෙනෙන්නේ ද නෑ... සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන අපට වඩා වේගයෙන් ඔවුන්ගෙ රූ සපුව පිරිහෙනවා... නාට්‍යයට සම්බන්ධ වී ටික දිනකින් ඉතාම අවලස්සන ලෙස අධිකව තරබාරු වීමට පටන් ගන්නා ඔවුන් සිය තාරුණ්‍යයේ සිටියදීම එතරම් අවලස්සන ලෙස සිරුර සකසා ගන්නේ කොයි ආකාරයේ ජීවන රටාවක් ගත කිරීම නිසා දැයි මට හිතාගන්නවත් බැහැ... 

රූපවාහිනියේ පෙනී සිටීමේ ආශාව මුදුන්පත් කරගන්නා ක්‍රමයක් ලෙසින් නොව වෘත්තියක් ලෙසින් වෘත්තිකයන් ලෙසින් මේ කර්මාන්තය දැකීම අප අද හෙටම ඇරඹිය යුතුයි... එසේ නැතිනම් තව නොබෝ දිනකින් මේ කර්මාන්තය නැත්තටම නැතිවී යාම සිදු වේ යයි අපට සිතිය හැකියි...

අනෙක් අතින් ගීත කලාව ගත්විට ඉතාම හොඳ නිර්මාණ නව පරපුර විසින් බිහි කර තිබෙනවා... ඒ නිසා මේ රට තුළ හොඳ හැකියාවක් ඇති නිර්මාණකරුවන් නැති බැවින් සිදුවන්නකැයි සිතිය නොහැකියි...

Sunday, August 11, 2024

විනෝදාස්වාදය සොයායාම සහ Entertainment business

Entertainment එහෙම නැත්නම් විනෝදාස්වාදය මිනිස්සු ඉතාම ඈත අතීතයේ ඉඳලා හොයාගෙන ගිය දෙයක්... බොහොම අතීතයේ මිනිස්සු ලාම්පු, පන්දම් පත්තු කරගත්ත තාවකාලිකව පුරන්වුණ කුඹුරක හෝ කමතක හදාගත්ත වේදිකාවක් වටේ වටවෙලා, ගමේම මිනිස්සු එකතුවෙලා සංගීතය, රංගනය ආදී සියල්ල තමා විසින්ම කරගනිමින් පවත්වා ගෙන ගිය නාට්‍ය, නාඩගම්, කෝලම් ආදී රංගකලා එදා මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුවා... අද අපි නොයෙක් ආකාරයේ මති මතාන්තර දැරුවත් එදා යුගයේ පෙරහරක් වුණත් ගම්වල මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුණ අවස්ථාවක්... කොයි කවුරුත් සතුටින් ඒවාට සහභාගි වුණා...

නමුත් එදත් අදත් අතර විනෝදාස්වාදය සැපයීම හා ලබාගැනීම අතර වෙලා තියෙන වෙනස්කම් බොහොමයි... අද වෙනකොට අපි පොදු විනෝදාස්වාදය ලබාදෙන කටයුතුවලට ඒ කියන්නේ... මිනිස්සු එකතුවෙලා නාට්‍යයක් හදලා, ඒක පෙන්වන්න උවමනා කරන සියළු කටයුතුවලට මහන්සි වෙලා ලබන වින්දනය ලබන්න සූදානමක් නෑ... බොහෝ දෙනෙකුට ඊට කාලය ඇත්තෙත් නෑ... ජීවිතේ ඉතා දුෂ්කර වුණත් ගමක ඉපදීම නිසා මේ අත්දැකීම ලබන්න තරම් වාසනාවන්ත වුණ නිසා මම ඒ වගේ කටයුතුවලට සහභාගි වෙලා ලබන්න පුළුවන් වින්දනය ලබන්න වාසනාවන්ත වුණා... ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, චිත්‍රපටවලට අමතර ව ජීවිතේ එකම එක වතාවක් මම හිටිවන කවි මඩුවකුත් බලලා තියේ...

අනෙක් ප්‍රධාන කාරණාව තමයි අද වෙනකොට අපි විනෝදාස්වාදය ලබන්න කරන බොහෝ දේ ඩිජිටල් තිරය මතට ගෙනත්... ටෙලිනාට්‍ය, චිත්‍රපට විතරක් නෙවෙයි කවිමඩුවක් වුණත් දැන් ඒවායේ බලත හැකි...තුන්වෙනි කාරණාව මේ වෙනකොට විනෝදාස්වාදය ලබාගැනීම හා සැපයීම අති විශාල කර්මාන්තයක්... ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වාර්ෂික ආදායම් උපයන ව්‍යාපාර එහි මතුවෙනවා...

ඒත් දුක හිතෙන කරුණ නම් ලෝකය ඒ ව්‍යාපාරය තුළ ඉදිරියට යද්දි ලංකාව ඒ ව්‍යාපාරය තුළ පසුපසට ගමන් කිරීම... ලංකාවේ අද වෙනකොට නිෂ්පාදනය වෙන ටෙලිනාට්‍ය මගේ බුද්ධියට නිගා කරන නිසා කණගාටුවෙන් වුණත් මම ඒවා දැන් බලන්නෙම නෑ...ඒ හින්දාම හදිස්සියෙන් හැදෙන හොඳ දෙයක් වුණත් මගෑරිලාම යනවා...ඒත් ඉතින් විනෝදාස්වාදය සඳහා සුදුසු යමක් බලන්න තියෙන ආශාව නැති නොවුණ නිසා මගේ හිතේ ඇතිවුණ හිස්තැන පුරවන්න ඉංග්‍රීසි වගෙම නැගෙනහිර ආසියානු චිත්‍රපට හා ටෙලිනාට්‍ය බලන්න මම පුරුදු වෙලා...

මුලින්ම ලංකාවෙ හඬ කැවුණ කොරියානු නාට්‍ය දැකීමෙන් හරි, ඉඳලා හිටල Youtube  එකේ මතුවෙන කුඩා කොටස් නිසා හරි තමයි ඒවා මුලින්ම මගේ හිතට ඇතුල්වෙන්න ඇත්තේ...ඒත් දැන්නම් මම නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බලන්න පුරුදු වෙලා... ඒවා හැම එකක්ම හොඳ නැති වුණත් තෝරා බේරා ගෙන බලන්න තරම් ඉතාම හොඳ කලාකෘති බොහොමයක් ඒ අතර තියෙනවා... අනික් වැදගත්ම දේ මම කැමති නෑ ඒවා සිංහලෙන් හඬ කවලා අහන්න... ඒවා ඒ නොතේරෙන භාෂාවෙන් අහන ගමන් උපසිරැසි බලලා තේරුම් ගනිද්දි මට කතා රසය වැඩියි...

විශේෂයෙන්ම Fantasy, Historical වර්ගීකරණ යටතේ එන ටෙලිනාට්‍ය හා චිත්‍රපට බලන්න මම හුඟක්ම ආසයි... 


අනික ඒවා ඉතාම වෙහෙස මහන්සි වෙලා නියම විදියට අවශ්‍ය පසුතල, වේශ නිරුපණය කරලා හදල තියෙනවා...මම හිතන්නේ ඒවා සංස්කරණය කිරීමත් අමාරු කාර්යයක් වෙන්න ඇති... අඩු පිරිවැයකින් නිෂ්පාදනයට තැත් කිරීම ලාංකීය විනෝදාස්වාද කර්මාන්තය බිඳ වැටීමට හේතුවුණ බව මගේ එක් මතයක්... ඒ වරද මේ ටෙලිනාට්‍ය සිදු කරන්නෙ නැති තරම්... 

අනික මාත් ඇතුළුව මම අදහස් විමසපු මගේ බොහෝ මිතුරන් දරන අදහසක් තමයි දැන් වෙනකොට මිනිස්සු කැමති සතුටු හිතෙන අවසානයක් දකින්න... මොකද සැබෑ ජීවිතයෙ තියෙන ප්‍රශ්න මදිවට අනුන්ගෙ ප්‍රශ්නත් කරදරවලින් අවසන් වෙනවා දැකලා හිත රිදවගන්න අපිට ඕනෙ නෑ... නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය මේ ප්‍රවණතාවය හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා... අවාසනාවට හොඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට ලෙස ලංකාවෙ වර්ගීකරණය වුණ බොහොමයක් ඒවා දුක්බර අවසානයක් ගෙනාවෙ... නමුත් වර්තමාන ප්‍රේක්ෂකයන් ඊට ආකර්ෂණය වෙනව අඩු බව තේරුම් ගැනීමත් සාර්ථකත්වය සඳහා ඉතා  වැදගත්...

නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය උන්මාදයක් වගේ ලෝකය අරක්ගෙන... Netflix හරහා ලෝකය පුරා බිලියනයට වඩා නැරඹුම් වාර ලබාගත් නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බිහිවෙලා තියෙනවා... චීනය වගේ ලොකු රටක් එක්ක අපිව සංසන්දනය කරන්න බෑ තමයි... ඒත් වඩා හොඳ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බිහි වෙනව නම් අපිටත් අපේ අනන්‍යතාව රැකෙන නිර්මාණ මගින් මේ කර්මාන්තය තුළ සරන අතිවිශාල මුදලින් පොඩිකොටසක් වත් ලබාගන්න තරම් දක්ෂ නිර්මාණකරුවො නැත්තෙම නෑ කියලමයි මට හිතෙන්නේ...


අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind

අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හ...