ඔහු හමුවන දින වනවිට බොහෝ යුවතියන් මෙන්ම මා ද යෞවන ප්‍රේමය අත්විඳ තිබිණ.
ප්‍රේමය යයි මා සිතූ මා පැතූ සියල්ල ප්‍රේමය නොවන බව ඉතා වේදනාත්මක අත්දැකීම්වලින් වටහා ගෙන සිටි නමුත් ඒවා වේදනාත්මක අත්දැකීම් මිස ජීවිතයට සහකරුවකු උවමනා නොවන බව සිතීමට තරම් ඒවා මසිත රිදවා, මා බිඳවා දැමූයේ නැත.
නමුත්, මට ඔහුව මුලින්ම මුණගැහුණේ ඉතාම සාම්ප්‍රදායික ලෙසින් මංගල යෝජනාවක් සමගිනි. අඳුරුපැහැ සමක් හා බැඳුනු සුන්දරත්වයට කවදත් ආශා කළ මසිත මුලින්ම ඔහුගේ රුවට ඇලුණු බව සඟවාගන්නට මට ඇවැසි නැත. රුවට බැඳෙන බාහිර ආකර්ෂණයක් ප්‍රේමයම විය යුතු නැති බව මා දන්නා නමුත් අද ද ඔහු රුවට ඇති ඇල්ම මා සිත එලෙසින්ම පවතී.
රුවට ඇළුන සිත ඔහුට බැඳුනේ, ඉතාම පැහැදිලි අයුරින් නමුත්, පුරසාරම් දෙඩවීමක් නොවන ලෙසින් ඔහු සිය අනාගත බලාපොරොත්තු මා සමග බෙදා හදාගත් මොහොතේය. සිය දිවිය මා හා, මගේ සහකරු ලෙසින් ඉදිරියට ගෙනයාමේ ඔහුගේ අප්‍රකාශිත සිතුවිලි ඔහු තුළින් මා කියවූ බැවිනි.
කවදත් ඉතා නිදහස් ලෙස ජීවත් වූ, මගේ ජීවන වියදම මා විසින් ඉපයූ මා, කිසිදින මා වෙනුවෙන් ස්වාමි පුරුෂයෙකු බලාපොරොත්තු වූයේ නැත. මා සෙවූයේ ජීවන ගමන යන්නට සහකරුවෙකි. ඔහු මා සෙවූ ජීවන ගමන යන්නට සුදුසු ම සහකරු බව ඔහු මට නිහඬවම ඒත්තු ගන්වා තිබිණ. නිදහසේ ජීවත් වීමේ මගේ ආශාව හොඳින් අවබෝධ කරගත් ඔහු මා අකමැති කිසිවක් මගේ ජිවිතය තුළ මා කළ යුතු යයි නොසිතීය.
ඔහු එතරම් දොඩමළු මිනිසෙක් නොවේ. ප්‍රේමය උත්කර්ශයට නංවා මා ආකර්ෂණය කරගත් මිනිසකු ද නොවේ. නමුත් ඔහු සහකාරියකට විය යුතු පරිද්දෙන් ආදරය හා ගෞරවය දැක්වූ මිනිසෙක් විය. ඔහු හා නොබියව තුන් මසකින් විවාහ වීමට මා පෙළඹුනේ ඇයිදැයි මා අද ද නොදන්නා නමුදු ඔහු නිහඬවම මසිත විශ්වාසය ජනිත කළ බව මම අද ද සිතමි.