සැප්තැම්බර්, සාහිත්‍ය මාසෙ...
මේ සැරේ පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 වෙනිදා අද පටන් අරගන්නවලු...
පොත්පත් කියවන කවුරුත් කොහොම හරි පොතක් දෙකක් ගන්න පෙරුම් පුරන දවස් නෙ මේ, මමත් රස්සාවක් කරන්න ගත්තට පස්සෙ මට පුළුවන් විදියට පොතක් පතක් ගත්තෙ මේ කාලෙදි තමා...
සාහිත්‍ය මාසෙත් එක්ක බැඳුන මතකයන් කීපයක් ම තියෙනව...එකිනෙකට වෙනස් අවුරුදුවල වෙනස් මතක තමා.. ඒත් ඔක්කොම සාහිත්‍ය මාසෙට සම්බන්ධයි...
--------------------------------------------------------------------------------
සාහිත්‍ය මාසෙ ගැන මට තියෙන පරණම මතකය
"අපිට බැරි වුණාට දරුවො ඉංග්‍රීසි ඉගෙනගනියි " කියල, දුවෙක්ද පුතෙක්ද වත් නොදන්නා කුසේ ඉන්න දරුව වෙනුවෙන් එක සැප්තැම්බර් මාසෙක අම්ම ළඟ තිබුණ සල්ලිවලට මළලසේකර ශබ්ද කෝශයක් ගත්ත මගේ අම්මා... ඒක ඇහුව වෙලාවෙ මට දැනුණෙ විස්තර කරන්න බැරි හැඟීමක් අම්ම ගැන... මොනතරම් නම් අම්මා මම වෙනුවෙන් පෙරුම් පුරන්න ඇත්ද කියල...
මේ කතාව මුලින් ම අහද්දි ඈ දුටු සිහිනය සැබෑ කරන්න තරම් මම ලොකු නෑ... ඒත් ඈ දුටු සිහිනය සැබෑ කරන්න ම ඕනෙ කියන අදහස හිත පතුලට ගියේ නම් එදා... එදා ඉඳන් හැම සාහිත්‍ය මාසෙකම මට ඒක මතක් වෙනව.... මම හිතන විදියට මේක ලියන අද නම් මම ඇගේ සිහිනය සැබෑ කරල...
මේ කතාව දවසක් මට කිව්වෙත් අම්මගෙම යාළුවෙක්... මට අවුරුදු 16 දි විතර... සමහර වෙලාවට ඒ කතාව මගේ ජීවිත ගමන වෙනස් කරන්නත් ඇති...
----------------------------------------------------------------------
සරසවියෙදි උදාවුණ සාහිත්‍ය මාස...
පොත් ප්‍රදර්ශනය බලන්න යන්න මම පුරුදු වුණේ සරසවියෙ ඉඳෙද්දි...
පුස්තකාලවලින් හොයාගෙන කියෙව් බොහොමයක් රුසියානු සාහිත්‍ය කෘති විකුණන්න තියෙනව මම දැක්කෙ එදා... ඒ අතරෙ මම පුංචි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ලස්සන බූල් බල්ලෙක් ඉන්න පින්තූර කතා පොතත් තිබුණ....
ඒත් ඒ කාලෙ මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලෙ... මට නවකතා පොත් එකක්වත් නොගෙන මට ඕනෙ ම වෙලා තිබුණ පොත් එකක් හරි දෙකක් හරි තමයි ගන්න සිද්ද වුණේ...
------------------------------------------------------------------
2007 සැප්තැම්බර්
දෙතුන් සැරයක් ම පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා ඒ වතාවෙ...මේ කාලෙ වෙනකොට මම රස්සාවක් කරනව... කලින් වතාවල වගෙ නෙවෙ මම පොත් ගන්නව කියල හිතල ම වෙන්කර ගත්තු මුදලක් මා ළඟ තිබුණ...ඒ නිසා මම දැක්කම ගන්න ආස කරපු නව කතාපොතුත් ගත්ත මම ඒ කාලෙ... එතකොට මම රාජ්‍ය සංස්ථාවක වැඩ කළේ, සංස්ථා පුස්තකාලේ තිබුණ පොතුත් බොහොමයක් ම කියවපු ඒ පුස්තකාලෙ යාවජීව සාමාජිකයෙක් වුණ මම සංස්ථා පුස්තකාලෙට පොත් ගේන්නත් එකතු වුණා ඒ සැරේ...
ඒ ගත්තු පොත් අතරින්
රයිඩර් හැගාර්ඩ්ගෙ Morning star කෘතියෙ සිංහල පරිවර්තනය "අමෙන් දෙවියාගේ දියණිය" (චන්ද්‍රසිරි දසනායක මහතාගෙ පරිවර්තනයක්) , ස්ටෙෆන් ලොරෙන්ට් ගෙ "හිට්ලර්ගේ සිරකරුවෙක්" මම ගොඩක් ආසාවෙන් ම කියවපු තව ගොඩක් සැරයක් වුණත් ආයෙ ආයෙ කියවන්න ආස පොත් දෙකක්...
ගොඩක් වතාවක් කියවපු නිසාම මගේ හිතට කාවදින ම තැන් දෙකක් "අමෙන් දෙවියාගෙ දියණිය" පොතෙන් ජීවිතේට ම මතක හිටින්න එකතු වුණා.., එකක් "ඔබ මනුෂ්‍ය දුවක් නිසා කරදර හා බාධකවලට මුහුණ දී ඉන් ජයගන්නවා මිස අනාගතය දෙස එබී බලන්න යන්න එපා" කියල නෙතිර් තුආ රජ කුමරියට දෙන අවවාදය...
"Why, O Queen Neter-Tua, why wouldst thou know the future? If hell yawns beneath thy feet, why wouldst thou peep through its golden doors before the time? The future is hid from mortals because, could they pierce its veil, it would crush them with its terrors. If all the woes of life and death lay open the gaze, who would dare to live and who—oh! who could dare to die?"
"Then woes await me, O thou who wast my mother?"
"How can it be otherwise? Light and darkness make the day, joy and sorrow make the life. Thou art human, be content."
( Extracted from the book- Morning star)
අනික
අද දූලි ගොඩේ වැතිර සෙල්ලම් කරන දරුවාට හෙට නුඹට වඩා බොහෝ ඉහළින් තබන ඉරණමක් හිමිව තිබිය හැකි බව මතක තබාගන්න... ඔබත් ගවයාත් පණුවාත් අප අවට ඇති මේ එකම වාතය හුස්ම ගන්නා බව මතකයේ තබාගන්න...
"Remember that the beggar child playing in the sand may have a destiny more high than yours when all the earthly count is reckoned. Remember that you share the air you breathe with the cattle and the worm."
( Extracted from the book- Morning star)
මේ දෙක ම මගේ ජීවිත ගමන ඉස්සරහට යද්දි ජීවිතේ දිහාවෙ උපේක්ෂාවෙනුත් තවත් කෙනෙක් දිහාවෙ ඔහු හෝ ඇයට හිමි ගෞරවයෙනුත් බලන්න උදව් වුණා කියල මට හිතෙනව... ඒකමයි මේව මගේ හිතේ නොමැකෙන්න සටහන් වෙන්න ඇත්තෙත්...
------------------------------------------------------------
ඊට පස්සෙ ආයෙම පොත් ප්‍රදර්ශනය බලන්න යන්න දවසක් ආවෙ නෑ...
ගිය වතාවෙ ලංකාවට ගියාම නම් ... පොත් ගන්න කෑදරකම තිබුණට ගේන්න බෑ නෙ, අනික යනකොට මම ඒව ආපහු ගෙනියන්නත් එපෑ කියල හිතල නුගේගොඩ සරසවියෙන් පොතක් දෙකක් අරගෙන එන්න ආව...
ඒත්
අදත් ඉඩ ලැබෙන විදියට ඊ - බුක් එකක්වත් හොයාගෙන කියවන්නත්, හිතට එන දෙයක් කොහේ හරි සිංහලෙන් ලියල තියන්නත් ආස හිතෙන්නෙ මේ පොත් කියවන, කියවපු පුරුද්ද නිසාම වෙන්න ඇති...