බොහෝ හැලහැප්පීම් මැද ලංකාවට ළඟාවීමට තරම් වාසනාවන්ත වීමි...කිසිවක් කිරීමට සිත එකඟ කර ගත නොහැකි වූ නමුත් තවත් අයෙකුට මසිත තෙරපුන දුක් කරදර කීමෙන් ද කරදරයක් කිරීමටද නොසිතුන නිසා ලියා තැබූ සටහන් දෙකක් මේ...
භූ කම්පනයක සේයාවකුදු අපට නොදැනුන ද, එක්වරම සමුදුර බිහිසුණුව ගොඩබිමට ඇදෙමින් සිදුකළ මහා විනාශයක මතක තවමත් මසිතේ හොඳින්ම සටහන්ව ඇත. වාසනාවකට එදින නිවාඩු දිනක් වූයෙන් පුරුදු පරිදි පෙරදා රැයේම නිවස ද අම්මා ද සොයාගොස් සිටියෙන්, සිදුවීම කෙතරම් බිහිසුණු වුවද ඒ තත්ව යටතේ ජීවත්වීමට අවැසි කිසිදු වගකීමක් දැරීමට එදා මට සිදු නොවිණ.
එහෙත් අද නුහුරු පරිසරයක තනිව, අතීතය වඩාත් බිහිසුණු ලෙස නැවතත් ජීවමානවනු දැකීමට ද ඒ තත්ව යටතේ ජීවත්වීමට ද සිදුව ඇත. සිදුවූ භූමිකම්පාව හා බැඳුනු ද්වීතියික කම්පන තවමත් වරින්වර සිදුවේ. එවන් භූකම්පන මින්පෙර ද සිදුවනු මා අත්විඳ ඇත. එදා ඒවා මසිත සසල කිරීමට සමත් නොවූවත් අද එසේ නොවේ. එදා මා සිතුවේම ඒවා වැඩිදියුණු නොවනු ඇති බවයි. එහෙත් අද කුඩා සෙලවීමක් පවා ඒවා වැඩිදියුණු වේයයි බියෙන් මසිත සසල කරවයි.
සැමදා භූකම්පන සිදුවන දේශයක ඉපිද හැදී වැඩුණු ජපන් ජාතිකයන් පවා මට වඩා විශාල වෙනසක් නම් නොවේ. ඇතැම්විට භූකම්පනයක බිහිසුණු බව මට වඩා හොඳින් අත්විඳ ඇති නිසාවෙන් විය හැක. තවත් භූකම්පනයක් සිදුවෙයිදෝ යන බියෙන් ඇලලී ගිය ඔවුන් ද අනතුරක සේයාවක් දකින බොහෝවිට අප කරන්නාක් මෙන් ආහාර රැස් කිරීම ට පටන්ගෙන ඇත. කිසිදා නොදුටු පරිදි වෙනදා බොහෝ ක්ෂණික ආහාර වර්ග පිරුණු කඩසාප්පුවල රාක්ක හිස්ව තිබෙනයුරු මා දුටිමි. මට අම්මා ද මගේ රට ද හදිසි අවස්ථා ද සිහිපත් කරවන්නේ ඒවා විසිනි.
අනෙක් අතින් මීට වඩා බොහෝ අවදානම් පෙදෙස්වල මිනිසුන් බොහෝ කරදර විඳිනු ඇත. ගෙවල් දොරවල් කැඩීබිඳී ගොස් කොතනක හෝ තාවකාලිකව පිළියෙළ වූ ස්ථානයක ජීවත්වන්නවුන් කොපමණක් ඇත් ද? මේ දිනවලත් මහා දවාලේත් සෙල්සියස් අංශක 10 ට අඩු සහ රාත්‍රියේ සෙල්සියස් අංශක 1 ට ඉතා ආසන්න වන ජපානයේ විදුලිය ඇනහිටීමෙන් අධික සීතලෙන් විඳින පීඩාව ද විඳීමට ඔවුන්ට සිදුව ඇති.
මිනිසාට වඩා සොබාදම බලවත් බව නැවතත් මතක් කරදෙමින් සිදුවන අනතුරු වැලක් එකිනෙක වාර්තාකරනු රූපාවාහිනියෙන් දිගින් දිගට ම ඇසේ. වරින්වර නොයෙක් පෙදෙස්වලට තව තවත් කෙරෙන සුනාමි අනතුරු ඇඟවීම් ද, ගෑස් කාන්දුවීම් හේතුවෙන් තැන තැන ඇවිලෙන ගිනි ද, අවදානම් සීමාව ඉක්මවමින් ඉහළ යන විකිරණ මට්ටම ද, එකින් එක ක්‍රියාවිරහිත වන බව කියන න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකවල සිසිලන පද්ධති ද අතුරුදන්වූවන් ද තවත් බොහෝ දේද විසින් බියෙන් ඇලලී ගිය දේශයක වරක් මා දුටු අතීතය නැවත වරක් ජීවමානවනු දකින්නට මට බලකරයි. ලංකාවේ කොහේ හෝ සිටියා නම් මගේ සුපුරුදු ආරක්ෂක පිළිවෙත වූ ගෙදර බලාදිවීම කළ හැකි නමුත් අද ගෙදර යා නොහැකි බැවින් ගෙදර මේ ගැන නොදන්නා තරමටම කරදර අවම වේ.
12-03-2011
විදුලිය කපා හැරීමෙන් අඩපණ වූ දුම්රිය සේවාව ජපානය අවුල් ජාලයක් බවට පත්කර ඇත. විදුලිය ඇණහිටීමක් කිසිදා නොවිඳි වර්තමාන ජපන් ජනතාව බොහෝ සෙයින්ම කලබලව සිටිති. සැතපුම් ගණන් දිග ඉන්ධන පෝලිම් ද, ආහාර රැස්කිරීම ද බැටරි, ලාම්පු, ඉටිපහන් රැස්කිරීම ද ඇතුළු බොහෝ දේ විසින් අවුල් කරන ලද ජපානයේ සිට සිත එකඟ කරගෙන කිසිවක් කළ නොහැකි නිසාවෙන්ම මට දැනෙන්නේ මෙහි රැඳී සිටීමේ අපහසුවකි. හෙට දවස පිළිබඳ අවිනිශ්චිතතාව විසින් උපදවන හැඟීම් රැසකින් ඔද්දල් වූ සිත වරින් වර කළඹවන්නේ තවමත් සිදුවෙන ද්වීතියික කම්පන විසිනි. මේ සියරට නොවන බැවින් බොහෝවිට සිදුවන අයුරින් ගෙදර බලායාමේ උවමනාව මසිත දවයි.
14-03-2011