Friday, September 7, 2012

යකා...


ගම්මානෙ සමහර මිනිස්සුන්ට පටබැඳි නම් තිබුණත් කවුරුවත් ඒව වයසට ගිය මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කළෙ නෑ... පටබැඳි නම් වයසක මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කරන එක අශීලාචාරකමක් විදියටත් සැලකුනා...
ඒත්, ඉඳහිට ඒ වගේ පටබැඳි නමක් හොර රහසෙ පාවිච්චි නොවුණාමත් නෙවෙයි... සමහර විටක වැඩිහිටියන් අතරෙ පවා... නියම විදියට නමක් නොකියවීම පටබැඳි නම හොර රහසෙම කියවුනා... එහෙම පාවිච්චි වුන පටබැඳි නමක් "යකා" …"යකා" කපු කුල්ලක් වගේ සුදු කොන්ඩයක් තිබුන තරුණ කාලෙ බොහොම ලස්සනට තිබුන රූපයක නටබුන් ඉතිරි වුණු මනුස්සයෙක්...
යකා හැරමිටියක වාරුවෙන් ගෙදර ඉස්සරහ පාරෙ එහාට මෙහාට යන එක හැම හැන්දැවෙම වගේ දකින්න ලැබුනා... ඒත් තොල් මතුර මතුර එහාට මෙහාට යන මේ මනුස්සය හැමදාම දැක්කත් ගමේ අයට මේ මනුස්සය ගැන කතා කරන්න ඕනෙ තරං දේවලුත් තිවුණ... යකා ගම්මානෙට අමුතු මනුස්සයෙක් වුණේ එහෙමයි...


---------------------------------

බොහොමත්ම අතීත කාලෙ ඒ කියන්නෙ යකා තරුණ කාලෙ දෙමව්පියො එහෙමත් ඉ‍ඳෙද්දි...
හැමදාමත් වගේ අහළ පහළ ගමක තොවිලයක් තිබුන කාලෙ, යකාගෙ ජීවිතේ ස්වර්ණමය යුගය කිව්වොත් හරි... ඇත්තටම ඒ ස්වර්ණමය යුගය අයිති වුනේ ඔහුගෙ තාත්තට කිව්වොත් වැඩියත්ම හරි...
ඒ අතීතය මතක් කරන සීය කෙනෙක්ගෙම වචනෙන් කියනව නං ඒ කාලෙ අහළ ගං හතක් සල්ලිඔලට ගන්න පුළුවන් මිනිස්සු... ඒත් ඒ ස්වර්ණමය යුගය ගැන සාක්ෂි දෙන්න දැන් ඉතිරි වෙලා තියෙන්නෙ ගේ දොර විතරයි... ඒ ගේ දොර නං මේ කතාවට ඕනෙවටත් වැඩියෙන් දෙස් දුන්න...
මේ අමුතු මනුස්සයට පටබැඳි නම “යකා” උනෙත් ඒ හින්දම තමයි... පළාතක් හොලෝගෙන හිටපු ඇදුරො නිසා... “මේ තාත්තයි පුතයි නටද්දි බොහොම ලස්සනයි... රටයකුමක් නටද්දි ගෑනු අයට ඇන්දම බොහෝමත්ම ලස්සනයි" එහෙමයි ඇහින් දු‍ටු ඇත්තො කියන්නෙ...

----------------------------------
බොහෝම ලස්සන දරුවො හිටි පවුලක්... ලොකු පුතා, ඊට පස්සෙ දුව, ඊට පස්සෙ නිවුන් පුත්තු...
ටිකෙන් ටික වැඩිවුන බීමත්කමත් එක්ක පවුල අවුල් වෙද්දි දරු පැටව්ත් අරගෙන බිරිඳ යන්න ගියා...
යකා තාත්තත් එක්ක ඒ මහා විසාල ගෙයි ඉතිරි වුනා...

"තේගිස් අප්පු ඉඳා, කාපන්... " ඉඳහිට දවාලක ගෙදර ඉස්සරහින් යන කෙනෙක්ට එහෙම ඇහුනා... ඒ යකාගෙ කටහඬ...
රෑට යන කෙනෙක්ට අහන්න ලැබුනෙ කුණුහරුප වැලක් විතරයි…

ජීවිතේ අවසාන කාලෙ යකා එක්ක තනිවෙලා හිටපු, යකාගෙ තාත්ත -ඒ වයසක මනුස්සය, තේගිස් අප්පු - ටික කාලෙකින් මේ කරදරවලිනුත් ජීවිතෙනුත් දෙකෙන්ම මිදුනා...
යකා තනිවුනා... කාලෙ ගතවෙලා ගියා... යකා දිගටම මේ දින චරියාව ඉස්සරහට අරන් ගියා...
ගමේ මිනිස්සු අතරෙ වැදගත්කමක් ‍රැකගෙන ජීවත් වුන මිනිස්සු කොල්ලො කුරුට්ටන්ගෙ විහිලුවට ඉලක්ක වුණේ ඒ කාලෙ...
කුනුහරුප කියනව අහගෙන ඉන්නම මදාවිකාර කොල්ලෙක් “යකා” කියල දවාලක ගෙදර ළඟින් කෑගහගෙන යන්න ගත්තෙත් ඔය කාලෙ...

----------------------------------
දිගින් දිගටම බීමතින් කාලෙ ගතකරපු මනුස්සය ලේ වමනෙ දාන්න අරන් ඉස්පිරිතාලෙ ගෙනියන්න සිද්ද වුණා... වැඩුනු දූ දරුවො අතරින් ලොකු පුතා තාත්තව බාර අරගෙන, තමන්ගෙ දරු පවුලත් එක්ක ඇවිත් පරණ මහගෙයි පදිංචි වුනා...

ජීවිතාශාවට වෙන්න ඇති බීම නතර කළත් යකා… හැන්දෑවට ගෙදර ඉස්සරහ පාරෙ තොල් මතුර මතුර සක්මන් කරනව.... පාර අයිනක යකා ඉන්නව දැක්කත් බොහෝමයක් දෙනෙක් යකා එක්ක කතාවක් බහක් කරනව දකින්න අමාරුයි... විශේෂයෙන්ම බවලත් උදවිය යකා එක්ක කතා කරන්නෙම නැති තරං...
ඒත් ඉඳහිටවත් ටිකක් දුරක ගිහින් ඒ ගන්න බැරුව පාරෙ අයිනක ඉන්නව හම්බුනොත් කවුරුහරි ගෙදර ළඟට ගෙනත් බස්සවල යනව...

------------------------------------

යකා එක්ක කතා නොකළට ඒ මනුස්සය පියමං කරල එන මිනිස්සු අතරෙ කසු කුසු ගෑවිලි නං පටං ගැනෙනව... ඒ අස්සෙන් " කොහොම හිටපු මිනිස්සුද " කියල වගෙම " හූනියං, දිෂ්ටි" වගේ වචනත් ඉඳහිට කණට වැටෙනව...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...