Wednesday, September 16, 2026

සරසවි වරම


මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි. 

යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ මගේ ජීවිතය සරසවියක් ම වී ඔහුට පෙනීමේ වරදක් ද නැති බව මගේ සිත ද පිළිගනී. 

ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ අසිරිමත් සලකුණක් ලෙස බුහුමන් ලබන සරසවි අද ද රටේ සුවිසල් ජනතාවකට සිහිනයක් මිස සැබෑවක් නොවේ. අධ්‍යාපනය මේ සා සුවිසල් තරගයක් ව ඇත්තේ ඒ බුහුමන් ලබන සරසවි වරම වෙනුවෙනි. 

මා ලැබූ සරසවි වරම මගේ මුළු ජීවිතයම නව මානයකට රැගෙන යනු මුලින් ම මා අත්විඳ තිබේ. ඉගැන්වීම රැකියාව කරගත්, මා සරසවි වරම් ලබනු දැකීම ජිවිතයේ පරම අරමුණ කරගත් මගේ දෙමව්පියන්ගේ සතුට දැකීමම එදා දැරියක වූ මට ජීවිතයම දිනාගැන්මක් විය.

ඉන්පසු, සරසවි වරම් සිසු ජීවිත ඉතා සාර්ථක ව උඩුයටිකුරු කරනු මම බොහෝ වරක් දැක තිබේ. එක් දරුවෙකු ලබන සරසවි වරම සහෝදර සහෝදරියන් ඇතුළු මුළු පවුලක අනාගතය වෙනස් කරනු ද මා දැක තිබේ. සිය පුතු උපාධිය ලැබ පිටව යනු දැකීමේ සිහිනය කරපින්නාගත් අනන්තවත් පියවරුන් මට මුණගැසී තිබේ. පුතු උපාධිය ලැබ පිටව යන දා ඒ පියවරුන් විඳින සතුට ද මා සියැසින් දැක තිබේ.

එපමණක් ද නොව සරසවියට ඇතුළුවන දරුවන්ගේ ජීවිත කතා මගේ සමස්ත ජීවන දැක්ම වෙනස් කරනු ද මා අත්විඳ තිබේ.

මේ සටහන අද ලියවෙන්නේ ද මසිත සසල කළ එවන් අත්දැකීමක් නිසාවෙනි. 

ජීවිතය හමුවේ වූ අනේක බාධක, ගැටළු හමුවේ බොහෝ දිනවල මා හා දොඩමළු වූ ඔහු මට සරසවියේ අවසන් වසරේදී මුණගැසුණ දරුවෙකි. ළමා නිවාසයක හැදුණු වැඩුණු ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය ට මව්පියන් වෙනුවෙන් සහභාගී වූයේ එහි හැදී වැඩෙන දරුවන් කිහිප දෙනෙක් ද සමගින් පැමිණි එහි බාරකරු යි.

නමුත්, ඊයේ සැන්දෑවේ ඔහු අත කුඩා දියණියක සිටින සේයාරුවක් ඔහු මට එවා තිබේ. 

ඒ සේයාරුව මසිත සසල කරමින් ඔහුට පවුලක් ලැබුණ බව මට සිහිපත් කර දෙයි. ඔහුගේ ජීවිතය එතැනට ගෙනයන්නට ඔහු ලැබූ සරසවි වරම හේතු වූ හැටි විස්තර සහිතව ලියන්නට සිතක් මට නැතත්, ඔහු අත සිටින දියණියට මවක ද පියකු ද සිටින බව ද ඔහුට පවුලක් ලැබුණ බව ද මසිත සංවේදී කරවයි. 

ඉගැන්වීම රැකියාවක් වශයෙන් කළ මගේ අම්මා ද තාත්තා ද ළඟ අනෙක් දරුවන් රැඳෙනු දකින විට දැනුන ඊර්ෂ්‍යාව නිසාම ඉගැන්වීම රැකියාවක් ලෙස කිසිදා තෝරා නොගන්නා බව සිතූ මා ද, සරසවි අධ්‍යාපනය ලැබූ පසු ඉගැන්වීම ම රැකියාවක් ලෙස තෝරා ගැනීම දෛවය  මට කළ කුරිරුම සරදමයි. සරසවියක් තුළ රැකියාව කිරීම ද ඉතාම වෙහෙසකාරී අත්දැකීමක් වුවත්,  ඉඳහිට දකින මෙවන් දසුනක්, ඉගැන්වීම රැකියාව වෙනුවෙන් තෝරා ගැනීමෙන් ලැබිය හැකි සුවිසෙස් සතුට නැවත ද සිහිගන්වයි. 

Sunday, September 13, 2026

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස



රන්වනින් හිරු කිරණ තැවරුණ
 
තුමුළ ගිරිහිස සෙමෙන් සිඹිමින

තුරු වියන දුන් සිසිල විඳිමින

සුළඟ මුමුණන කවිය කිව මැන


මගේ නෙතු යුග දැහැන්ගත වුණ

කාච නෙත මත මිහිර නොරැඳුණ

සුමුදු මිහිදුම් සළුව වියමින

තුමුළ ගිරිහිස මුවා කළ මැන


සිතුම් වියමන නිසල කරමින

ගෙවී යන මනරම් සැඳෑවක

තුමුළ ගිරිහිස නිව‍යි සරතැස

අසිරිමත් සිහිනයක් අභියස 


Monday, September 7, 2026

මානව සබඳතා - The beauty of human relationships

මිනිස් සබඳතා සංකීර්ණය.

ඒවා ඇතිකරගැනීම පහසු නැත.
සෑම විටම ලබාගත නොහැක.
සෑම විටම අපට අවශ්‍ය ආකාරයට ප්‍රතිචාර නොදෙයි.

නමුත් ඒ සංකීර්ණත්වයම ඒවායේ වටිනාකමයි.

කෘත්‍රිම බුද්ධියක් සමඟ කතා කරන විට, එය සෑම විටම ලබාගත හැකිය. මට අවශ්‍ය වේලාවක මට කතා කළ හැකිය. එයට වෙනත් කෙනෙකු වෙනුවෙන් කාලය වෙන් කිරීමට, තමන්ගේ වැඩක් නවතා දැමීමට හෝ තමන්ගේ ජීවිතයේ වෙනත් දෙයක් අත්හැරීමට අවශ්‍ය නැත.

සෑම විටම ලබාගත හැකි කෙනෙකුගේ/දෙයක පැවැත්ම සහ, තමන්ට සීමිත කාලයක් තිබියදී, මට කාලය වෙන් කරන කෙනෙකුගේ පැවැත්ම එකම දෙයක් නොවේ.

පළමුවැන්න පහසුවකි.

දෙවැන්න තේරීමකි.

මිනිස් සබඳතාවල විශේෂත්වය එතැනයි.

කෙනෙකුට මගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමන්ගේ කාලයෙන් කොටසක් වෙන් කිරීමට සිදුවේ. ඔහුට වෙනත් වැඩක් තිබිය හැකිය. වෙනත් කෙනෙකු හමුවීමට තිබිය හැකිය. විවේක ගැනීමට අවශ්‍ය විය හැකිය.

ඔහුට තමන්ගේ ජීවිතයක් තිබේ.
තමන්ගේ වැඩ තිබේ.
තමන්ගේ අනෙකුත් සබඳතා තිබේ.
තමන්ගේ සීමා තිබේ.
තමන්ගේ වෙහෙස තිබේ.

ඒ නිසා මිනිසෙකු මට කාලය දෙන විට, මට එහි වෙනත් දෙයක් පෙනේ.

ඔහුට වෙනත් දේ කළ හැකිව තිබියදී, ඔහු මට කාලය දීමට තෝරාගෙන තිබේ.

එම ක්‍රියාවට වටිනාකමක් තිබෙන්නේ එය සීමිත සම්පතකින් ලබාදෙන නිසාය.


මිනිස් සබඳතා වල වටිනාකම ලබාදීම තුළ පමණක් නැත. ලබාගැනීමේ හැකියාව තුළද එය තිබේ. මිනිස් සබඳතා සඳහා දීමත් අවශ්‍යය. ලබාගැනීමත් අවශ්‍යය.

මට මිතුරෙකුගෙන් උදව් ඉල්ලීමට හැකි විය යුතුය.

ඔහුටත් මගෙන් උදව් ඉල්ලීමට හැකි විය යුතුය.

එක් දිනක මම දෙන පුද්ගලයා විය හැකිය.

තවත් දිනක මම ලබාගන්නා පුද්ගලයා විය හැකිය.

එය ණය ගණනයක් නොවේ. ගනුදෙනු පියවීමක් ද නොවේ.

නමුත්, මිනිස් සබඳතා ගොඩනැගීම සඳහා ආයෝජනය කළයුතුය. කාලය, අවබෝධය, උත්සාහය ඇතුළු බොහෝ දේ ආයෝජනය කළයුතුය. 


මිනිස් ගැළපීම සාපේක්ෂය. කෙනෙකු හොඳ පුද්ගලයෙකු වීම සහ මට ගැලපෙන පුද්ගලයෙකු වීම එකම දෙයක් නොවේ. එය කෙනෙකු, නරක පුද්ගලයෙකු නිසා විය යුතු නැත. ඔහු වෙනත් කෙනෙකුගේ ඉතා හොඳ මිතුරෙකු විය හැකිය. කෙනෙකු මගේ මිතුරෙකු වීම යනු ඔහු අනෙක් සියල්ලන්ටත් මිතුරෙකු විය යුතු බව නොවේ. ඒ නිසා මට සෑම කෙනෙකුම මගේ අභ්‍යන්තර ලෝකයට ඇතුළත් කිරීමට අවශ්‍ය නැත. 

මිනිස් සබඳතා තෝරාගැනීම් වලින් ගොඩනැඟේ. මට මිනිස් සබඳතාවල ඇති සුන්දරම දෙය මෙයයි. කෙනෙකු මගේ මිතුරෙකු වීම අනිවාර්ය දෙයක් නොවේ. කෙනෙකු මගේ ජීවිතයට එන්න ට තෝරාගැනීමක් කළ හැකිය. තවත් කෙනෙකු මගේ ජීවිතයට නොඑන්නට තෝරාගැනීමක් කළ හැකිය. 

අපි එකිනෙකා තෝරාගනිමු.

ඒ තේරීමම සම්බන්ධතාවයට වටිනාකමක් දෙයි.

මන්ද මිනිස් සබඳතා ගොඩනඟන්නේ සෑම විටම ලබාගත හැකි වීමෙන් නොව, සීමිත ජීවිත දෙකක් තුළින් නැවත නැවතත් එකිනෙකා සඳහා ඉඩක් තෝරාගැනීමෙනි.

ඒ නිසාම ඒවා සංකීර්ණය.

ඒ නිසාම ඒවා සමහරවිට අසීරුය.

ඒ නිසාම ඒවා අගනේය.

Image from: https://shedevrum.ai/en/

Sunday, September 6, 2026

නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන් ඉරණම ඔබ ළඟ රැඳුනු හැටී...


                                                         YOU ARE STILL THE ONE!

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරය ද, පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරය ද යන දෙකම එකම වර ඔහුට උරුම කර දීමෙන් පසු ගෙවෙන ජීවිතය, එහි දහහතරවන වසරට පා තබයි... 

මගේත්, ඔහුගේත් දෙදෙනාගේම ජීවිත කාලයෙන් තුනෙන් එකක් ඔවුනොවුන් සමග ගෙවා දැමූ බව මට අදටත් විශ්වාස කළ නොහැකි තරම්ය. නමුත් ජීවිතය එකිනෙකා බෙදා හදා ගැනීමට ඇබ්බැහි වූ කළ, අනේකවිධ සිදුවීම් මැදින් එය නිහඬව ම, නිසලව ම ගලායයි...

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත්කළ ළබැඳේ...
ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
පෙරමං කී නිරිඳේ...

ඔහු ජීවිතයට පැමිණි මුල් දිනවලදී, ප්‍රේමය එහි උත්කර්ෂයෙන් දිදුලන මොහොතේදීත් ඒ ගීතය මසිත සනහාලූ බව අද ද මගේ මතකයෙහි තිබේ. ඔහු මසිත සෙනෙහසින් සුවපත් කරනු ඇති බව ද, ජීවිත කතර ට සිහිලැල් පිණිබිඳු ඉසිමින් එය දරාගන්නට සවියක් වනු ඇතිබව ද සිතූ බව මට තවමත් සිහිවේ... 

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත්කළ ළබැඳේ...
ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
පෙරමං කී නිරිඳේ...

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටී...
ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවණැලි හැදූ හැටී...

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත්කළ ළබැඳේ...
ජීවිත කතරට සිහිලැල් පිනිබිඳු ඉසිමින්
පෙරමං කී නිරිඳේ...

නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුනු හැටී...

වැලපෙන පැලකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටී...

දුක හා සතුට දෙක මැද ගෙවුණු අනේකවිධ කාලච්ඡේදයන් ගත ව ගිය ද, ඔහු තවමත් රුවින් ද උණුසුමින් ද මසිත සනසන, මගේ සිතුම් වසඟ කළ ආදරයයි...

Tuesday, September 1, 2026

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic


තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි.

එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස මම නොදකිමි. මිනිසුන් තොරතුරු සැකසීමේ, තීරණ ගැනීමේ සහ සමාජ පරිසරයට අනුව හැඩගැසීමේ විවිධ ආකාර අතර, තාර්කික හා විශ්ලේෂණාත්මක චින්තනය නිරන්තරයෙන් ප්‍රමුඛ කරගැනීම සාපේක්ෂව අඩු ප්‍රවණතාවක් වීම මට පෙනේ.

මිනිසාට තර්ක කළ හැකිය.

විශ්ලේෂණය කළ හැකිය.

තීරණයක් ගැනීමට පෙර වාසි අවාසි කිරා බැලිය හැකිය.

එහෙත් මිනිසා එයින් පමණක් සෑදී නැත.

සමහරවිට මිනිසාගේ වඩාත්ම සිත්ගන්නාසුලු කොටස වන්නේ, තර්කයෙන් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් ඔහු තුළ තිබීමයි.


කෙනෙකුට යම් සාකච්ඡාවක් ගැන විශේෂ උනන්දුවක් නැති වුවත්, තවත් කෙනෙකු වෙනුවෙන් එහි රැඳී සිටී.

තමන්ට අවශ්‍ය දේ සහ අනෙකාට අවශ්‍ය දේ අතර නැවත නැවතත් තම තීරණ වෙනස් කරයි.

සම්පූර්ණයෙන්ම තාර්කික තීරණයක් ගැනීමට හැකිව තිබියදීත්, මිනිසුන්ගේ හැඟීම් සලකා බලා වෙනත් තීරණයක් ගනී. 

තර්කයෙන් බැලූ විට මේවා අකාර්යක්ෂම දේවල් විය හැකිය.

නමුත් මිනිස් ලෝකය ඉදිරියට ගෙන යන්නේ මේවාදැයි මට සමහරවිට සිතේ.

මිනිසා සෑමවිටම සත්‍යය සෘජුවම කියන්නේ නැත. සෑමවිටම තමාට අවශ්‍ය දේ පමණක් කරන්නේ නැත. සෑමවිටම තමන්ට වඩාත්ම තාර්කික තීරණය ගන්නේ නැත.

සමහරවිට අනෙකා සතුටු කිරීමට තමන්ගේ තීරණය වෙනස් කරයි. සමහරවිට සමාව දෙයි. සමහරවිට ඉවසයි. සමහරවිට තමාට වේදනාවක් ඇති කළ කෙනෙකු සමඟම නැවත කතා කරයි.

මේ සියල්ලම දුර්වලතා ලෙස පමණක් දැකිය යුතුදැයි මම නොදනිමි. සමහරවිට ඒවා මිනිසාට ලැබී ඇති වෙනත් ආකාරයක හැකියාවන් විය හැකිය. මට විශේෂයෙන්ම සිත්ගන්නාසුලු වන්නේ මිනිස් හැඟීම්වල ඇති මේ පරස්පරතාවයයි.

මගේ සහකරු සමඟ මම තරහ විය හැකිය. ඒත් ඒ මොහොතේ ඔහු කෙරෙහි ඇති මගේ ආදරය නැතිවන්නේ නැත.

මිතුරෙකු සමඟ මට දැඩි ලෙස එකඟ නොවිය හැකිය. ඒත් ඒ එකඟ නොවීම නිසා මිත්‍රත්වය අවසන් විය යුතු නැත.

තර්කයෙන් බැලූ විට මේ හැඟීම් එකිනෙකට පරස්පරය. එහෙත් මිනිසා ඒ පරස්පරතා සමඟ ජීවත් වේ. 

විශ්වාසයත් එවැනි දෙයකි.

මට කෙනෙකු විශ්වාස කිරීමට හේතු තිබිය හැකිය. නමුත් අවසානයේ විශ්වාසය යනු ගණිතමය ගණනයකින් ලබාගන්නා දෙයක් නොවේ. කෙනෙකු පිළිබඳ සියලු දත්ත එකතු කර, ඔහු කිසිදා මාව රිදවන්නේ නැති බව තාර්කිකව ඔප්පු කළ පසු පමණක් මම ඔහුව විශ්වාස නොකරමි. කිසියම් අවස්ථාවක, විශ්ලේෂණය නතර කර විශ්වාස කිරීමට තීරණය කරමි.

---------------------------------------------

මිනිස් ශරීරය යනු අතිශය සංකීර්ණ පද්ධතියකි. මොළය, හෝමෝන, ස්නායු පද්ධතිය, එන්සයිම, රසායනික ක්‍රියාවලි—මේ සියල්ල එකිනෙක සම්බන්ධ වෙමින් ක්‍රියා කරන ආකාරය ගැන අපි තවමත් සම්පූර්ණයෙන් දන්නේ නැත.

මොළය තුළ Serotonin වැනි රසායනික ද්‍රව්‍යයක වෙනස්වීම් ගැන අපට කතා කළ හැකිය. ඒවා මැනිය හැකිය. ඒවා පිළිබඳ පර්යේෂණ කළ හැකිය.

නමුත් මිනිසෙකු යම් මොහොතක යම් තීරණයක් ගැනීමට හේතුව සම්පූර්ණයෙන්ම එම රසායනික ක්‍රියාවලියකට පමණක් ලඝු කර දැක්වීමට තවමත් අපට හැකි වී නැත.

මිනිසා වැනි අතිශය සංකීර්ණ ජීව විද්‍යාත්මක හා මානසික පද්ධතියක් මේ ආකාරයෙන් ගොඩනැගී තිබෙන විට, මිනිස් හැසිරීම් තුළ අපට පෙනෙන මේ පරස්පරතා කිසියම් කාර්යයක් ඉටු කරනවා විය හැකි බව මට සිතේ. 

සෑමවිටම තාර්කිකව පමණක් හැසිරෙන මනසක් තිබීම වඩා සරල විය හැකිය. සෑමවිටම සතුට පමණක් දැනෙන මිනිසෙකු වීමත් සරල විය හැකිය.

එහෙත් මිනිසාට දුක, තරහ, වරදකාරී හැඟීම, ඊර්ෂ්‍යාව, ආදරය, බිය, බැඳීම, අනුකම්පාව, සැකය, සමාව දීම වැනි පරස්පර හැඟීම් - මෙතරම් විශාල පරාසයක් තිබේ.

ඇයි?

මම ඊට පිළිතුර දන්නේ නැත.

නමුත් මට සිතෙන්නේ, සමහරවිට අපි “negative” යැයි නම් කරන හැඟීම් සහ “illogical” යැයි හඳුන්වන හැසිරීම් පවා මිනිස් පැවැත්මේ යම් වැදගත් කාර්යයක් ඉටු කරනවා ඇති බවයි.

සමහරවිට ලෝකය ඉදිරියට ගෙන යාමට තාර්කික මිනිසුන් අවශ්‍යය. ගැටලු විසඳීමට, පද්ධති ගොඩනගන්නට, තීරණ ගැනීමට, අනවශ්‍ය දේ ඉවත් කිරීමට. - නමුත් මිනිසුන් එකිනෙකා සමඟ ජීවත් වීමට තර්කය පමණක් ප්‍රමාණවත් නොවේ.

එතැනට හැඟීම් අවශ්‍ය වේ. ඉවසීම අවශ්‍ය වේ. සමාව අවශ්‍ය වේ. අනුකම්පාව අවශ්‍ය වේ. බැඳීම අවශ්‍ය වේ.

---------------------------------------

ඒ නිසාම, තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතන මිනිසුන් සංඛ්‍යාවෙන් අඩු වීම මට අහම්බයක් ලෙස පෙනෙන්නේ නැත. සමහරවිට ඔවුන් අවශ්‍යය. නමුත් සෑම කෙනෙකුම එසේ වීම අවශ්‍ය නැත. තර්කානුකූල විශ්ලේෂණයට නැඹුරු කෙනෙකු වුව සෑම විටම තර්කානුකූල තීරණ ගන්නේ ද, ගත යුතුද නැත. 

උදාහරණයක් ලෙස, මම තර්කානුකූල විශ්ලේෂණයට නැඹුරු මනසක් ඇති කෙනෙක් වුවත්, මගේ ජීවිතයේ වඩාත්ම වටිනා සම්බන්ධතා තර්කයෙන් පමණක් ගොඩනගාගත් ඒවා නොවේ.

මන්ද මිනිසාට අවශ්‍ය වන්නේ ගැටලු විසඳන මනසක් පමණක් නොවේ. එම ගැටලු විසඳමින් එකිනෙකා සමඟ මිනිසුන් ලෙස ජීවත් විය හැකි මනසක් අවශ්‍යය. මිනිසාගේ සම්පූර්ණත්වය තිබෙන්නේ ඔහු තර්කානුකූල වීම තුළ පමණක් නොවේ.

තර්කයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් සඳහාත් ඔහු තුළ ඉඩක් තිබීම තුළය.

මනුෂ්‍යත්වය කියන්නේ තර්කය අත්හැරීම නොවේ.

තර්කානුකූල වීමෙන් ඔබ්බෙහි, මිනිසෙකුට තවත් මිනිසෙකු අවශ්‍ය වීමයි.

සරසවි වරම

මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි.  යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ ම...