Tuesday, September 1, 2026

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic


තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි.

එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස මම නොදකිමි. මිනිසුන් තොරතුරු සැකසීමේ, තීරණ ගැනීමේ සහ සමාජ පරිසරයට අනුව හැඩගැසීමේ විවිධ ආකාර අතර, තාර්කික හා විශ්ලේෂණාත්මක චින්තනය නිරන්තරයෙන් ප්‍රමුඛ කරගැනීම සාපේක්ෂව අඩු ප්‍රවණතාවක් වීම මට පෙනේ.

මිනිසා වැනි අතිශය සංකීර්ණ ජීව විද්‍යාත්මක හා මානසික පද්ධතියක් මේ ආකාරයෙන් ගොඩනැගී තිබෙන විට, මිනිස් හැසිරීම් තුළ අපට පෙනෙන මේ පරස්පරතා කිසියම් කාර්යයක් ඉටු කරනවා විය හැකි බව මට සිතේ.

මිනිසාට තර්ක කළ හැකිය.

විශ්ලේෂණය කළ හැකිය.

තීරණයක් ගැනීමට පෙර වාසි අවාසි කිරා බැලිය හැකිය.

එහෙත් මිනිසා එයින් පමණක් සෑදී නැත.

සමහරවිට මිනිසාගේ වඩාත්ම සිත්ගන්නාසුලු කොටස වන්නේ, තර්කයෙන් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් ඔහු තුළ තිබීමයි.


කෙනෙකුට යම් සාකච්ඡාවක් ගැන විශේෂ උනන්දුවක් නැති වුවත්, තවත් කෙනෙකු වෙනුවෙන් එහි රැඳී සිටී.

තමන්ට අවශ්‍ය දේ සහ අනෙකාට අවශ්‍ය දේ අතර නැවත නැවතත් තම තීරණ වෙනස් කරයි.

සම්පූර්ණයෙන්ම තාර්කික තීරණයක් ගැනීමට හැකිව තිබියදීත්, මිනිසුන්ගේ හැඟීම් සලකා බලා වෙනත් තීරණයක් ගනී. 


තර්කයෙන් බැලූ විට මේවා අකාර්යක්ෂම දේවල් විය හැකිය.

නමුත් මිනිස් ලෝකය ඉදිරියට ගෙන යන්නේ මේවාදැයි මට සමහරවිට සිතේ.

මිනිසා සෑමවිටම සත්‍යය සෘජුවම කියන්නේ නැත. සෑමවිටම තමාට අවශ්‍ය දේ පමණක් කරන්නේ නැත. සෑමවිටම තමන්ට වඩාත්ම තාර්කික තීරණය ගන්නේ නැත.

සමහරවිට අනෙකා සතුටු කිරීමට තමන්ගේ තීරණය වෙනස් කරයි. සමහරවිට සමාව දෙයි. සමහරවිට ඉවසයි. සමහරවිට තමාට වේදනාවක් ඇති කළ කෙනෙකු සමඟම නැවත කතා කරයි.

මේ සියල්ලම දුර්වලතා ලෙස පමණක් දැකිය යුතුදැයි මම නොදනිමි. සමහරවිට ඒවා මිනිසාට ලැබී ඇති වෙනත් ආකාරයක හැකියාවන් විය හැකිය. මට විශේෂයෙන්ම සිත්ගන්නාසුලු වන්නේ මිනිස් හැඟීම්වල ඇති මේ පරස්පරතාවයයි.

මගේ සහකරු සමඟ මම තරහ විය හැකිය. ඒත් ඒ මොහොතේ ඔහු කෙරෙහි ඇති මගේ ආදරය නැතිවන්නේ නැත.

මිතුරෙකු සමඟ මට දැඩි ලෙස එකඟ නොවිය හැකිය. ඒත් ඒ එකඟ නොවීම නිසා මිත්‍රත්වය අවසන් විය යුතු නැත.

තර්කයෙන් බැලූ විට මේ හැඟීම් එකිනෙකට පරස්පරය. එහෙත් මිනිසා ඒ පරස්පරතා සමඟ ජීවත් වේ. 

විශ්වාසයත් එවැනි දෙයකි.

මට කෙනෙකු විශ්වාස කිරීමට හේතු තිබිය හැකිය. නමුත් අවසානයේ විශ්වාසය යනු ගණිතමය ගණනයකින් ලබාගන්නා දෙයක් නොවේ. කෙනෙකු පිළිබඳ සියලු දත්ත එකතු කර, ඔහු කිසිදා මාව රිදවන්නේ නැති බව තාර්කිකව ඔප්පු කළ පසු පමණක් මම ඔහුව විශ්වාස නොකරමි. කිසියම් අවස්ථාවක, විශ්ලේෂණය නතර කර විශ්වාස කිරීමට තීරණය කරමි.

---------------------------------------------

මිනිස් ශරීරය යනු අතිශය සංකීර්ණ පද්ධතියකි. මොළය, හෝමෝන, ස්නායු පද්ධතිය, එන්සයිම, රසායනික ක්‍රියාවලි—මේ සියල්ල එකිනෙක සම්බන්ධ වෙමින් ක්‍රියා කරන ආකාරය ගැන අපි තවමත් සම්පූර්ණයෙන් දන්නේ නැත.

මොළය තුළ Serotonin වැනි රසායනික ද්‍රව්‍යයක වෙනස්වීම් ගැන අපට කතා කළ හැකිය. ඒවා මැනිය හැකිය. ඒවා පිළිබඳ පර්යේෂණ කළ හැකිය.

නමුත් මිනිසෙකු යම් මොහොතක යම් තීරණයක් ගැනීමට හේතුව සම්පූර්ණයෙන්ම එම රසායනික ක්‍රියාවලියකට පමණක් ලඝු කර දැක්වීමට තවමත් අපට හැකි වී නැත.

එතරම් සංකීර්ණ පද්ධතියක් ගොඩනැගී තිබෙන විට, මිනිස් හැසිරීම් තුළ අපට පෙනෙන මේ පරස්පරතා පවා කිසියම් කාර්යයක් ඉටු කරනවා විය හැකි බව මට සිතේ.

සෑමවිටම තාර්කිකව පමණක් හැසිරෙන මනසක් තිබීම වඩා සරල විය හැකිය. සෑමවිටම සතුට පමණක් දැනෙන මිනිසෙකු වීමත් සරල විය හැකිය.

එහෙත් මිනිසාට දුක, තරහ, වරදකාරී හැඟීම, ඊර්ෂ්‍යාව, ආදරය, බිය, බැඳීම, අනුකම්පාව, සැකය, සමාව දීම වැනි පරස්පර හැඟීම් - මෙතරම් විශාල පරාසයක් තිබේ.

ඇයි?

මම ඊට පිළිතුර දන්නේ නැත.

නමුත් මට සිතෙන්නේ, සමහරවිට අපි “negative” යැයි නම් කරන හැඟීම් සහ “illogical” යැයි හඳුන්වන හැසිරීම් පවා මිනිස් පැවැත්මේ යම් වැදගත් කාර්යයක් ඉටු කරනවා ඇති බවයි.

සමහරවිට ලෝකය ඉදිරියට ගෙන යාමට තාර්කික මිනිසුන් අවශ්‍යය. ගැටලු විසඳීමට, පද්ධති ගොඩනගන්නට, තීරණ ගැනීමට, අනවශ්‍ය දේ ඉවත් කිරීමට. - නමුත් මිනිසුන් එකිනෙකා සමඟ ජීවත් වීමට තර්කය පමණක් ප්‍රමාණවත් නොවේ.

එතැනට හැඟීම් අවශ්‍ය වේ. ඉවසීම අවශ්‍ය වේ. සමාව අවශ්‍ය වේ. අනුකම්පාව අවශ්‍ය වේ. බැඳීම අවශ්‍ය වේ.

----------------------------------

ඒ නිසාම, තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතන මිනිසුන් සංඛ්‍යාවෙන් අඩු වීම මට අහම්බයක් ලෙස පෙනෙන්නේ නැත. සමහරවිට ඔවුන් අවශ්‍යය. නමුත් සෑම කෙනෙකුම එසේ වීම අවශ්‍ය නැත. තර්කානුකූල විශ්ලේශණයට නැඹුරු කෙනෙකු වුව සෑම විටම තර්කානුකූල තීරණ ගන්නේ ද, ගත යුතුද නැත. 

උදාහරණයක් ලෙස, මම තර්කානුකූල විශ්ලේශණයට නැඹුරු මනසක් ඇති කෙනෙක් වුවත්, මගේ ජීවිතයේ වඩාත්ම වටිනා සම්බන්ධතා තර්කයෙන් පමණක් ගොඩනගාගත් ඒවා නොවේ.

මන්ද මිනිසාට අවශ්‍ය වන්නේ ගැටලු විසඳන මනසක් පමණක් නොවේ. එම ගැටලු විසඳමින් එකිනෙකා සමඟ මිනිසුන් ලෙස ජීවත් විය හැකි මනසක් අවශ්‍යය. මිනිසාගේ සම්පූර්ණත්වය තිබෙන්නේ ඔහු තර්කානුකූල වීම තුළ පමණක් නොවේ.

තර්කයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් සඳහාත් ඔහු තුළ ඉඩක් තිබීම තුළය.

මනුෂ්‍යත්වය කියන්නේ තර්කය අත්හැරීම නොවේ.

තර්කානුකූල වීමෙන් ඔබ්බෙහි, මිනිසෙකුට තවත් මිනිසෙකු අවශ්‍ය වීමයි.

No comments:

Post a Comment

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic

තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි. එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස ම...