Monday, February 25, 2019

මෙහෙයවන සෙනෙහස...




අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් කියවා දැන ගැනීමට සිදුවන අවස්ථාවක මම කියවා සොයාගත් තොරතුරු ටිකක් මේ.  සිදුවීම මසිත කම්පනය කළ නිසාත්, තොරතුරු කාට හෝ ප්‍රයෝජනවත් විය හැකි නිසාත් පුද්ගල අනන්‍යතාව සඟවමින් කතාව මෙහි ලියවෙනවා...

ඒ කතාව අනුව ඇය සතු ඉතාම ආදරණීය පෙම්වතෙක් සිටිනවා... ඇය ඔහුට ඉතා තදින් පෙම් කරන අතරම ඔහුත් බොහෝවිට ඇයට ඉතා තදින් පෙම් කරනවා... නමුත් ඇතැම්  අවස්ථාවලදී ඔහු ඇගේ ජීවිතයට සීමා ඉක්මවා අත පොවමින් ඇගේ අධ්‍යාපන කටයුතු පවා අවුල් කරනවා... ඇය ඔහුට පෙම් කළත් ඇතැම් බලපෑම් කළමනාකරණය කරගැනීම ඇයට ඉතා අපහසුයි... ඒ ඇගේ කතාව...ඉතාම කෙටියෙන්...

මට කිසිදා ඔහුගෙ කතාව අසන්නට ලැබෙන්නේ නෑ...

කතාව ඒක පාර්ශ්වික නමුත් ඒ විස්තර කළ ඇතැම් ලක්ෂණ හඳුනාගෙන ඇයට සහනය ලබාදීම හෝ එමගට යොමුකිරීම මගේ වගකීම වුණා...

ඒ ඇතැම් විශේෂ ලක්ෂණ පිළිබඳව අවදානය යොමු කිරීමේදී හා ඒ පිළිබඳ තොරතුරු සොයා අන්තර්ජාලය පිරික්සීමේදී ඒ තොරතුරු හා සමවන ලක්ෂණ සහිත සබඳතාවල පෙම්වතා බොහෝ විට පාලනය කිරීම හා හැසිරවීම යන චරිත ලක්ෂණ සහිත පුද්ගලයෙකු බව කියවන්නට ලැබුණා...

එහි මා දුටු ඉතාම අවදානම් සහිත ලක්ෂණය නම් එවන් පුද්ගලයන් සෑමවිටම ප්‍රචණ්ඩ ලෙස ක්‍රියා කිරීම සිදුවන්නේ නෑ...
ඔහු හෝ ඇය බොහෝවිට තමා දුර්වල බව අඟවමින් තම සහකරු භාවාත්මක මෙහෙයවීම ක නියලෙනවා... එහි අවසානය වන්නේ අනිකාට රිදවීම තම වරදක් ලෙස සලකමින් මේ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ සහකරුවන් තමා විසින් තමා වරදකරු කරගනිමින් ඉතා දැඩි මානසික පීඩනයකට ලක්වෙමින් සබඳතාවය තුළ රැඳී සිටීමයි...

ඊට අමතරව ඔවුන් තම සහකරු ඇගේ හෝ ඔහුගේ මිතුරන්ගෙන් නෑදෑයන්ගෙන් ඈත් කිරිමට ද පෙළඹෙනවා... මේ කතාව මා වෙත ගෙනා අයට ද නිවාඩුවට සිය නිවසට යාම පිළිබඳව පෙම්වතාගේ අකමැත්ත හා තදින් ගැටීමට සිදුව තිබුණා...

මේ සා විසල් ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ හැකියාව මට නොතිබුණ නිසා සිදුවීම අදාළ මගට යොමු කළත් එහි කම්පනය නිසාවෙන් හා තොරතුරු යමෙකුට ප්‍රයෝජනවත් විය හැකි නිසා සටහන් කෙරෙනවා...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...