Showing posts with label ඇසෙන කතා. Show all posts
Showing posts with label ඇසෙන කතා. Show all posts

Thursday, January 17, 2019

අමදින්නී...

නුපුරුදු පරිසරයෙ නුපුරුදු මිනිස්සු අතරෙ නුපුරුදු ගැහැණියක් විදියට ඈ මට මුණ ගැහුනෙ....

ඇගේ රූපය මට මතක් කළේ සුරංගනා කතාවල නපුරු මන්තරකාරිව...

මූණෙ රැවුල වැවුණු ගෑණු නපුරුයිළු...මූසලයිළු...
ඕව මම පුංචිකාලෙ ලොකු මිනිස්සු කියනව ඇහුණ කතා...

ඈ මුල්ම දවසෙ දැක්කම මට ඒ කතා මතක් වුණා...

------------------------------------------

 
මූණ බැලුවට ඈ මාත් එක්ක හිනාවුණේ නෑ...
ඒත් මම ඇරුණු ජනෙල් පියනෙන් දිගටෝම ඈ දිහා බලාන හිටියා...

මිදුල් කෑල්ල අතුපතු ගාල ඉවරයි... කුණු අස්කරන්නම ගන්න තියාගෙන තියෙන කවුදෝ අහක දාපු ඇඳඇතිරිල්ල උඩට කුණු ටික එකතු කරගෙන ගිහින් අහකට දාල,

ඈ යන්න ගියා...

-----------------------------------------

ඔවුන්ගෙ සුපවයිසර්වරයත් ගෑණු කාණ්ඩෙ වට කරගෙන සුපවයිස් කරන තණකොළ කැපිල්ලට, වත්ත සුද්ද කිරිල්ලට ගන්න කණඩායමට ඈ ඇතුළත් වෙන්නෙම නෑ... ඒ කණ්ඩායමට ඇතුළත් නොවුණදාට වෙනද ඒකට ඇතුලත් වෙන ගැහැණු සුපර්වයිසර්වරයට බනිනව...

 "මෙච්චර අතුගාන්න ඉන්නෙ අපි දෙන්නයි... සුපවයිසර් මහත්තය එතන ගෑණුටික වට කරගෙන කතාව" කියල...

කිසිම දවසක කට්ටියත් එක්ක එකතු වෙලා කාටවත් බැන බැන ඉන්නව දකින්න නොලැබෙන මේ ගැහැණියගෙ විරූපි රූපය අබිබවා ඇගේ සුහදශීලීබව මගේ හිත ගත්තෙ කාලෙ ගතවෙද්දි...

ඈ බොහොම පාන්දරින් ඇවිත්...වෙනදටත් වඩා උදෙන් ආපු මාත් එක්ක ඈ හිනා වෙන්නෙ බොහොම සුහදශීලීව...

-----------------------------------------

"මට දවසකට රුපියල් 700 ක් ම හම්බවෙනව සර්..." ඈ කෙනෙක් එක්ක දවසක් එහෙම කිව්වෙ බොහොම තෘප්තියෙන්...

ඈ සුවිශේෂියි කියල මට හිතුනෙ එදා...

------------------------------------------

Friday, September 7, 2012

යකා...


ගම්මානෙ සමහර මිනිස්සුන්ට පටබැඳි නම් තිබුණත් කවුරුවත් ඒව වයසට ගිය මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කළෙ නෑ... පටබැඳි නම් වයසක මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කරන එක අශීලාචාරකමක් විදියටත් සැලකුනා...
ඒත්, ඉඳහිට ඒ වගේ පටබැඳි නමක් හොර රහසෙ පාවිච්චි නොවුණාමත් නෙවෙයි... සමහර විටක වැඩිහිටියන් අතරෙ පවා... නියම විදියට නමක් නොකියවීම පටබැඳි නම හොර රහසෙම කියවුනා... එහෙම පාවිච්චි වුන පටබැඳි නමක් "යකා" …"යකා" කපු කුල්ලක් වගේ සුදු කොන්ඩයක් තිබුන තරුණ කාලෙ බොහොම ලස්සනට තිබුන රූපයක නටබුන් ඉතිරි වුණු මනුස්සයෙක්...
යකා හැරමිටියක වාරුවෙන් ගෙදර ඉස්සරහ පාරෙ එහාට මෙහාට යන එක හැම හැන්දැවෙම වගේ දකින්න ලැබුනා... ඒත් තොල් මතුර මතුර එහාට මෙහාට යන මේ මනුස්සය හැමදාම දැක්කත් ගමේ අයට මේ මනුස්සය ගැන කතා කරන්න ඕනෙ තරං දේවලුත් තිවුණ... යකා ගම්මානෙට අමුතු මනුස්සයෙක් වුණේ එහෙමයි...


---------------------------------

බොහොමත්ම අතීත කාලෙ ඒ කියන්නෙ යකා තරුණ කාලෙ දෙමව්පියො එහෙමත් ඉ‍ඳෙද්දි...
හැමදාමත් වගේ අහළ පහළ ගමක තොවිලයක් තිබුන කාලෙ, යකාගෙ ජීවිතේ ස්වර්ණමය යුගය කිව්වොත් හරි... ඇත්තටම ඒ ස්වර්ණමය යුගය අයිති වුනේ ඔහුගෙ තාත්තට කිව්වොත් වැඩියත්ම හරි...
ඒ අතීතය මතක් කරන සීය කෙනෙක්ගෙම වචනෙන් කියනව නං ඒ කාලෙ අහළ ගං හතක් සල්ලිඔලට ගන්න පුළුවන් මිනිස්සු... ඒත් ඒ ස්වර්ණමය යුගය ගැන සාක්ෂි දෙන්න දැන් ඉතිරි වෙලා තියෙන්නෙ ගේ දොර විතරයි... ඒ ගේ දොර නං මේ කතාවට ඕනෙවටත් වැඩියෙන් දෙස් දුන්න...
මේ අමුතු මනුස්සයට පටබැඳි නම “යකා” උනෙත් ඒ හින්දම තමයි... පළාතක් හොලෝගෙන හිටපු ඇදුරො නිසා... “මේ තාත්තයි පුතයි නටද්දි බොහොම ලස්සනයි... රටයකුමක් නටද්දි ගෑනු අයට ඇන්දම බොහෝමත්ම ලස්සනයි" එහෙමයි ඇහින් දු‍ටු ඇත්තො කියන්නෙ...

----------------------------------
බොහෝම ලස්සන දරුවො හිටි පවුලක්... ලොකු පුතා, ඊට පස්සෙ දුව, ඊට පස්සෙ නිවුන් පුත්තු...
ටිකෙන් ටික වැඩිවුන බීමත්කමත් එක්ක පවුල අවුල් වෙද්දි දරු පැටව්ත් අරගෙන බිරිඳ යන්න ගියා...
යකා තාත්තත් එක්ක ඒ මහා විසාල ගෙයි ඉතිරි වුනා...

"තේගිස් අප්පු ඉඳා, කාපන්... " ඉඳහිට දවාලක ගෙදර ඉස්සරහින් යන කෙනෙක්ට එහෙම ඇහුනා... ඒ යකාගෙ කටහඬ...
රෑට යන කෙනෙක්ට අහන්න ලැබුනෙ කුණුහරුප වැලක් විතරයි…

ජීවිතේ අවසාන කාලෙ යකා එක්ක තනිවෙලා හිටපු, යකාගෙ තාත්ත -ඒ වයසක මනුස්සය, තේගිස් අප්පු - ටික කාලෙකින් මේ කරදරවලිනුත් ජීවිතෙනුත් දෙකෙන්ම මිදුනා...
යකා තනිවුනා... කාලෙ ගතවෙලා ගියා... යකා දිගටම මේ දින චරියාව ඉස්සරහට අරන් ගියා...
ගමේ මිනිස්සු අතරෙ වැදගත්කමක් ‍රැකගෙන ජීවත් වුන මිනිස්සු කොල්ලො කුරුට්ටන්ගෙ විහිලුවට ඉලක්ක වුණේ ඒ කාලෙ...
කුනුහරුප කියනව අහගෙන ඉන්නම මදාවිකාර කොල්ලෙක් “යකා” කියල දවාලක ගෙදර ළඟින් කෑගහගෙන යන්න ගත්තෙත් ඔය කාලෙ...

----------------------------------
දිගින් දිගටම බීමතින් කාලෙ ගතකරපු මනුස්සය ලේ වමනෙ දාන්න අරන් ඉස්පිරිතාලෙ ගෙනියන්න සිද්ද වුණා... වැඩුනු දූ දරුවො අතරින් ලොකු පුතා තාත්තව බාර අරගෙන, තමන්ගෙ දරු පවුලත් එක්ක ඇවිත් පරණ මහගෙයි පදිංචි වුනා...

ජීවිතාශාවට වෙන්න ඇති බීම නතර කළත් යකා… හැන්දෑවට ගෙදර ඉස්සරහ පාරෙ තොල් මතුර මතුර සක්මන් කරනව.... පාර අයිනක යකා ඉන්නව දැක්කත් බොහෝමයක් දෙනෙක් යකා එක්ක කතාවක් බහක් කරනව දකින්න අමාරුයි... විශේෂයෙන්ම බවලත් උදවිය යකා එක්ක කතා කරන්නෙම නැති තරං...
ඒත් ඉඳහිටවත් ටිකක් දුරක ගිහින් ඒ ගන්න බැරුව පාරෙ අයිනක ඉන්නව හම්බුනොත් කවුරුහරි ගෙදර ළඟට ගෙනත් බස්සවල යනව...

------------------------------------

යකා එක්ක කතා නොකළට ඒ මනුස්සය පියමං කරල එන මිනිස්සු අතරෙ කසු කුසු ගෑවිලි නං පටං ගැනෙනව... ඒ අස්සෙන් " කොහොම හිටපු මිනිස්සුද " කියල වගෙම " හූනියං, දිෂ්ටි" වගේ වචනත් ඉඳහිට කණට වැටෙනව...

Monday, April 2, 2012

කොන්දොස්තර කොළුවා...


කොන්දොස්තර කොළුවා...

ඔහුට කොන්දොස්තර කොළුවා කිව්වෙ අමනාපෙකට එහෙම නෙවෙයි -- අමනාපයක් තිබුණ තමයි, ඒත් ඒකට කොන්දොස්තර කොළුව කියල තේරුමක් නෑ -- කොන්දොස්තර මහත්තය කියල කියන්න බැරි නිසත් නෙවෙයි -- කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව -- මම ඔහුට කොන්දොස්තර මහත්තය කිව්වම, හිතේ ඇ‍ඳෙන රූපය ගැලපෙන්නෙ නෑ...

ඒ නිසා මට ඔහුට කියන්න වෙන්නෙ කොන්දොස්තර කොළුවම තමයි... බස් එකේ දවස ගෙවන්නම හරියන, පෙනුමෙන්ම කිලිටි පාට ටී ෂර්ට් එකක් ඇඳල පාට පාට ප්ලාස්ටික් වළළු ගොඩක් අතේ දාල... අතේ ඇඟිලි කීපෙකම මුදුත් කීපයක් දාල ...

බස් එක පුරා පතුරුවන ආඥාදායක කටහඬකින් බස් ගාස්තු එකතු කරනව ඔහු...
සල්ලි අරගන්නවත් එක්කම
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" ආයෙම අර ආඥාදායක කටහඬ...
ඒක නැත්නං අපේ ඉතිරි සල්ලි දෙන්න ඔහු ලෑස්ති නෑ...

"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කිය කිය පස්සට එනව අනිත් අයගෙත් සල්ලි ගන්න...
ඒක ඉල්ලන වොයිස් එක මට කලින්ම ඇල්ලුවෙ නෑ...මම ළඟට එනකොටත් මම හිතින් වලිය පටන් අරන් හිටියෙ,
මාත් දුන්න රුපියල් විස්සක්ම... මෙන්න කියනව රුපියලක් දෙන්නලු...

ඔන්න මගේ හිත ඇතුළෙ වලිය ටිකින් ටික පිටට එන්න හදනව...ඒත් එහෙම ලේසියෙන් රණ්ඩු වෙන්නත් බෑ නෙ,
හිටපං මම දෙන්නං රුපියල් දෙකක්... හැබැයි මට ආපහු වැඩිපුර රුපියලත් එක්ක ඉතිරි නුදුන්නොත් මම බලාගන්නං...
මේ ඔක්කොම හිත ඇතුළෙ...

ඔහු ආපහු එද්දි මම දුන්න රුපියල් දෙක, වැඩිපුර රුපියලත් එක්කම ඉතිරි සල්ලි හම්බුනා මට...
හිත ඇතුළෙ කොච්චර වලියක් තිබුනත් ඒක දැන් ඉතින් එළියට දාන්නෙ කොහොමද...

-------------------

කාලෙ ගෙවිල ගියා...
උදේට මම එනකොට ටර්න් එක තියෙන බස් එක ඒක...හැමදාම මට එන්න වෙන්නෙ ඒ බස් එකේ...
මුලින් තරමක ප්‍රතිරෝධයක් තිබුණත් ටිකෙන් ටික රුපියලත් එක්කම සල්ලි දීල ඉතිරි සල්ලි ගන්න මම පුරුදු වුණා...

කාලෙත් එක්කම ඒ ප්‍රතිරෝධය අඩු වෙන්නත් හේතු තිබුණ...බොහොමයක් බස් කොන්දොස්තරවරුන්ට වඩා ඉතිරි සල්ලි දීම අතින් ඔහු අවංකයි...
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කියල අණ දුන්නට...

-------------------

"සුරිඳුනි කතරගම, ඉහළින් ආකාසේ
පායන සඳට අවමන් කළ රුව ඈගේ
......
දැකගන්නයි දෙවොලට තව සැරයක් ආවේ"
මම බස් එකට නගිනකොටත් මහ හඬින් වාදනය වෙනව...

සෙනග හොඳටම වැඩි දවසක්... ඒ අස්සෙ කොහෙ හරි යන රස්තියාදුකාරයෙක්ව සෙට් වෙලා මට...ටිකක් දුර එද්දි සීට් එකක් හම්බුනත් කරුමෙ කියන්නෙ තවත් ඩිංගක් දුර යද්දි එතනම ඊළඟ සීට් එකත් හිස්වුණා... මම වීදුරුව පැත්තෙ අයිනට උනා... ඔන්න මගෙ ළඟින් වාඩි වෙච්ච මේ මනුස්සය මගෙන් එකේක ප්‍රශ්න අහන්න අරන්... නෑහුනා වගේ හිටියත් මේ කරදරේ දරාගන්න අමාරුයි... මට ඉබේටම බැලුනෙ කොන්දොස්තර කොළුව දිහා... හේතුව මොකක් වුණත් කොන්දොස්තර කොළුව බස් එකේ පිටිපස්සට යන්න ආව... සීට් එක අයිනට හේත්තු වුණා... මම ළඟ හිටිය කරදරකාරය නැගිටල ඉස්සරහට ගියා...

-----------------

අදත්  බස් එකේ හිටගෙනම රුපියල් විස්සක් හොයනව මම...
"වාඩිවුණාම ගම්මු…" ඔහු අර ආඥාදායක කටහඬින් නැතිව බොහොම හෙමින් කියනව...

වචනයක්වත් කතා නොකරම රුපියල් විස්ස...
ගමනාන්තෙ මතක තියාගෙන ඔහු සල්ලි ගන්නව... මං, ළඟ තියන මාරුකාසිවලින් ‍තෝරල ඔහුට දීල ඉතිරි සල්ලිත් ගන්නව, ඒ වුණාට අර ඉස්සර හිතේ තිබුන වලිය නැතිව...

-------------------

එක වචනයක්වත් කතා නොකළත්, කිසිම හැඳිනීමක්, සම්බන්ධයක් නැති වුණත් මගෙ හිතේ චමත්කාරයක් ඇතිකළා ඔහු...

ඒත් චමත්කාරය කියන එක දූවිලි අවුස්සගෙන, සින්දුවකුත් දාගෙන, දුම් වළාවකුත් පිටකරගෙන, තරගෙට දුවන, එහෙම නැත්නං කොට කොට යන ප්‍රයිවෙට් බස් එකක් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ”

පමාවෙලා හෝ අයදිමි සමා
සිතැඟි සිතුම්වල මුලා වෙලා
ඔබෙ ඇදුරිඳු වී පෙම් බැඳි වරදට
ලතැවෙන සිතින් මෙසේ...

ඒ බස් අජිත්...

ප්‍රශ්නෙට උත්තර හොයන එක පැත්තක තියල මගෙ හිත සින්දුව අහන්න සෙට් වෙනව...

අදත් ගමනාන්තෙට ඇවිත්...
ඒත් ගමන ඉවර නෑ, හෙටත් මේ බස් එකේම මේ ගමනාන්තෙටම යන්න වෙනව...

---------------------

Tuesday, February 14, 2012

මගතොට දී...

අප අවට ගැවසෙන්නන් කතා කරන දේ වටහා ගන්නට හැකිනම් ලෝකය කතා තෝතැන්නක් බව අද මට එදාටත් වඩා හොඳින් වැටහේ... ඒ අතරම වසර ගණනාවක් තිස්සේ ගම් රටවල්වල කෙමෙන් සිදුවූ වෙනස්කම් ද එකවර ග්‍රහණය කිරීම හේතුවෙන් විශාල පරිවර්තනයන් ලෙස සමහර සිදුවීම් මා තුළට ඇතුළු වේ. මා අසන දකින දේ මසිත බොහෝ සිතුවිලි ගොනු කරන්නේ එබැවිනි...


එදා මා දුටු පාසල් වෑන් රථවල ස්ථානය අද වනවිට විශාල බස්වලින්ද, කෙටිදුර පාසල් සිසුන් ප්‍රවාහනය ත්‍රීවීලර්වලින්ද අයත් කරගෙන ඇත... උදෑසන මා දකින එක ත්‍රීවීලරයක් පාසල් දරුවන් දස දෙනෙකුගේ පමණ ප්‍රවාහනය සලස්වයි... පිටුපස අසුනේ තුන් හතර දෙනෙක් හිඳුවා තවත් තුන් හතර දෙනෙක් සිටුවාගෙන ත්‍රීවිලරයේ රියදුරු අසුන අසල කොක්කක ඔවුනගේ බෑග් රඳවා, තවත් දරුවකු උකුල මත ද හිඳුවා ඔහු සිය රථය ධාවනය කරයි...වැඩි ආරක්ෂාව පතා ත්‍රීවිලරයක යවනු වෙනුවට දරුවා පොදු බස් රියක යැවේ නම් මීට වඩා ඔහු සුරක්ෂිත බව මට සිතේ...

සාමාන්‍ය පෙළ විභාග පවැත්වෙන අතරතුර ඊටත් වඩා අවදානම් දසුන් ද දක්නට ලැබිණ. ආරක්ෂිත ඉක්මන් ප්‍රවාහනය පතා, පියාගේ මෝටසයිකලය පිටුපස අසුනේ යන අතර ද පොත් පෙරළාගෙන, තවත් යමක් පාඩම් කරගන්නට තැත් දරන දියණියන් ය ඒ...  පියවරු එතරම් නොසැලකිලිමත් වූයේ කවදා දැයි මට ඒ දුටු මොහොතේ සිතට නැගිණ...

-------------------------------------------

ඒ අතරම දිනක් පාමසියේදීද එවන් තවත් සිදුවීමක් අත්වින්දෙමි. හේ මෝටසයිකලයකින් පැමිණි තරුණ පියෙකි.

"කැස්සට බොන සිරප් එකක්.. " හේ පාමසියෙන් ඉල්ලයි...

"කාට ද? "

"පොඩි ළමයෙකුට..."

"වයස කීයද?"

"අවුරුදු 3 යි"

"අවුරුදු 6 ට අඩු ළමයින්ට එහෙම දෙන්න බෑ.. දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න" පාමසිකරු තරමක් තදින් කියනු ඇසේ...

එහෙත් නැවත ද උත්සාහ කරන ඔහු එවර "වැල්මෙලික්ස්" තිබේ  දැයි  අසයි....
ඒ සංවාදයෙන් මගේ කනට වැටුණේ එපමණකි...

එහෙත් මව්පියවරුන් මෙතරම් නොසැලකිලිමත් වූයේ කවදා  දැයි මට නොතේරේ...

Monday, January 30, 2012

ඇසෙන කතා...(පාසල් දැරියෝ)

බටහිර අහස දිලියෙමින් හිරු සයුරේ ගිලෙන්නට තතනයි. දාවල පුරා කරව් කරමින් ගොදුරු සෙවූ කාක්කන් සමුදුරු පියවර අද්දර කොට්ටම්බා ගස් මත රාත්‍රියට ලගුම් සොයයි. ලහි ලහියේ නිවෙස් බලා ඇදෙන අප මෙන්ම ඔවුන් ද රාත්‍රිය පිළිගැනීමට සැරසෙති. රිය තුළ තෙරපෙන පාසල් දැරියන්, මුහුදු සුළඟ සිපගනිමින් සමුදුර අද්දරින් ඇදෙන රිය කවුළුවෙන් එළියට යොමුවුණ නෙතු, බස් රිය තුලට යොමන්නට බලකරයි. උදෑසන පාසල් නිල ඇඳුමෙන්ම අමතර පන්ති කරා ඇදුනු ඔවුන්ගේ පිළිසඳර සවන් යොමා අසා සිටිය යුතු ස්වරයෙන් හා හඬින් නොව බසයේ සිටින්නන්ට අසා සිටින්නට බලකරන හඬින් නැගී ඒ.

අමතර පන්ති නිමාවේ නිවෙස් බලා ඇදෙන ඔවුහු දිනයේ තොරතුරු සමාලෝචනයට සැරසේ. ගිණුම් හර කිරීම්, බැරකිරීම්,බොල් ණය ලෙජර අතරින්

" මාර අමාරුයි බං මට නං ලකුණු 30 ක් වත් තිබුනොත් ඇති"
"මටත් එහෙමයි බං, පොතක් අතින් අල්ලන්න උනෙ නෑ නෙ, "
"කොහෙද ඉතින් උඹට අකිල දැක්කම ඔක්කොම අමතකයි නෙ.." 
"ඔව් බං මට මොකක් කලත් මතක් වෙනව, "
"මටත් ඉස්සර ඔහොම තිබුන, හැබැයි  දැන් එහෙම නෑ." තවත් දැරියක් ආඩම්බරයෙන් කියයි.
"මට නං ඕනෙ කොහොමහරි ජ'පුරට යන්න... ඊට පස්සෙ කොල්ලෙකුත් හොයාගෙන...................."
ඈ සිනාසේ.

කෙමෙන් ඉදිරියට ඇදී යන පිලිසඳරට අනුව පාසල් විවේක කාලයේදී යමක් ආහාරයට ගත් පසුව තවමත් කිසිවක් නොකෑ ඔවුහු, එකිනෙකා පරයා තමාට මග හැරසිටිය හැකි වේල් ගණන පිළිබඳව උදම් අනති.
මේ සංවාදයේ චරිත දකිනු රිසින් බල කරන නෙතු වරක් ඔවුන් දෙසට හැරුණෙන් මොහොතකට එහි හඬ බාල වුවත් ලද අවසරයෙන් ඇගේ කතාවට ගැලපෙන ඉතා සිහින් සිරුරති දැරියක් දැක ගතිමි. 

"මම අද දිනුකි නංගිට කිව්ව ආයෙ එහෙම ඔය ගවුම ඇඳන් ආවොත් මම වාටිය ලිහනව කියල,"

"බලපන් බං ඇඳන් එන ගවුම්වල හැටි, කහ ගැහිල... වෙන කවුරුවත්ම අඳින්නෙ නෑ එහෙම..."

"අපි ඔක්කොම එකතු වෙලා හදනව නං ඕව හදන්න පුලුවන් බං සමහර කට්ටියන් එක එක්කෙනාගෙ පැත්ත ගන්න එක නෙ වැඩේ..."

"අපි ඉස්කෝලෙ එන්නෙත් දවස් 2 යි 3 යි, එදාටවත් ඒක හරියට කරන්න ඕනෙ..."

කෙමෙන් කෙමෙන් බස් රියෙන් සෙනග බැස යන අතරේ දැරියන් කණ්ඩායම ද එකා දෙන්නා බැගින් අසුන් ගත්තෙන්ද, බසයෙන් බැස ගියෙන්ද ඔවුනගේ සංවාදය මට නෑසෙන එකක් වුවත්... ඒ මසිත බොහෝ සිතිවිලිවලින් පුරවාලන්නට පෙර නම් නොවේ.

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...