Monday, January 30, 2012

ඇසෙන කතා...(පාසල් දැරියෝ)

බටහිර අහස දිලියෙමින් හිරු සයුරේ ගිලෙන්නට තතනයි. දාවල පුරා කරව් කරමින් ගොදුරු සෙවූ කාක්කන් සමුදුරු පියවර අද්දර කොට්ටම්බා ගස් මත රාත්‍රියට ලගුම් සොයයි. ලහි ලහියේ නිවෙස් බලා ඇදෙන අප මෙන්ම ඔවුන් ද රාත්‍රිය පිළිගැනීමට සැරසෙති. රිය තුළ තෙරපෙන පාසල් දැරියන්, මුහුදු සුළඟ සිපගනිමින් සමුදුර අද්දරින් ඇදෙන රිය කවුළුවෙන් එළියට යොමුවුණ නෙතු, බස් රිය තුලට යොමන්නට බලකරයි. උදෑසන පාසල් නිල ඇඳුමෙන්ම අමතර පන්ති කරා ඇදුනු ඔවුන්ගේ පිළිසඳර සවන් යොමා අසා සිටිය යුතු ස්වරයෙන් හා හඬින් නොව බසයේ සිටින්නන්ට අසා සිටින්නට බලකරන හඬින් නැගී ඒ.

අමතර පන්ති නිමාවේ නිවෙස් බලා ඇදෙන ඔවුහු දිනයේ තොරතුරු සමාලෝචනයට සැරසේ. ගිණුම් හර කිරීම්, බැරකිරීම්,බොල් ණය ලෙජර අතරින්

" මාර අමාරුයි බං මට නං ලකුණු 30 ක් වත් තිබුනොත් ඇති"
"මටත් එහෙමයි බං, පොතක් අතින් අල්ලන්න උනෙ නෑ නෙ, "
"කොහෙද ඉතින් උඹට අකිල දැක්කම ඔක්කොම අමතකයි නෙ.." 
"ඔව් බං මට මොකක් කලත් මතක් වෙනව, "
"මටත් ඉස්සර ඔහොම තිබුන, හැබැයි  දැන් එහෙම නෑ." තවත් දැරියක් ආඩම්බරයෙන් කියයි.
"මට නං ඕනෙ කොහොමහරි ජ'පුරට යන්න... ඊට පස්සෙ කොල්ලෙකුත් හොයාගෙන...................."
ඈ සිනාසේ.

කෙමෙන් ඉදිරියට ඇදී යන පිලිසඳරට අනුව පාසල් විවේක කාලයේදී යමක් ආහාරයට ගත් පසුව තවමත් කිසිවක් නොකෑ ඔවුහු, එකිනෙකා පරයා තමාට මග හැරසිටිය හැකි වේල් ගණන පිළිබඳව උදම් අනති.
මේ සංවාදයේ චරිත දකිනු රිසින් බල කරන නෙතු වරක් ඔවුන් දෙසට හැරුණෙන් මොහොතකට එහි හඬ බාල වුවත් ලද අවසරයෙන් ඇගේ කතාවට ගැලපෙන ඉතා සිහින් සිරුරති දැරියක් දැක ගතිමි. 

"මම අද දිනුකි නංගිට කිව්ව ආයෙ එහෙම ඔය ගවුම ඇඳන් ආවොත් මම වාටිය ලිහනව කියල,"

"බලපන් බං ඇඳන් එන ගවුම්වල හැටි, කහ ගැහිල... වෙන කවුරුවත්ම අඳින්නෙ නෑ එහෙම..."

"අපි ඔක්කොම එකතු වෙලා හදනව නං ඕව හදන්න පුලුවන් බං සමහර කට්ටියන් එක එක්කෙනාගෙ පැත්ත ගන්න එක නෙ වැඩේ..."

"අපි ඉස්කෝලෙ එන්නෙත් දවස් 2 යි 3 යි, එදාටවත් ඒක හරියට කරන්න ඕනෙ..."

කෙමෙන් කෙමෙන් බස් රියෙන් සෙනග බැස යන අතරේ දැරියන් කණ්ඩායම ද එකා දෙන්නා බැගින් අසුන් ගත්තෙන්ද, බසයෙන් බැස ගියෙන්ද ඔවුනගේ සංවාදය මට නෑසෙන එකක් වුවත්... ඒ මසිත බොහෝ සිතිවිලිවලින් පුරවාලන්නට පෙර නම් නොවේ.

22 comments:

  1. ඉස්සර කොට ගවුම් ඇඳන් ගියොත් දන ගස්සෝල බලනවා. වාටිය බිම ගෑවෙන්න තියෙන්න ඕනේ...පෝනි ටේල් දාන්න දෙන්නේ කොන්ඩේ කොලර් එකේ ගෑවෙනකම් විතරයි. ඊට දිග නම් ගොතන්න ඕනේ... දැන් නම් හිනාත් යනවා ඕව මතක් උනාම. ඕව කොච්චර පොඩි දේවල්ද. :D

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි දේවල් නොකර ඉන්න අපි කොච්චර ට්‍රයි කරාද ඒ වුනාට..:)

      Delete
  2. හ්ම්ම්ම් අවුරුදු ගානක් එකතැන් වෙලා කහ ගැහුණු මතකයක් අවදි කළා. ඒ කිව්වේ මේ මගේ.

    චේජනා කොහොමද ලංකාව? අති විශිෂ්ටද?

    ReplyDelete
    Replies
    1. මට නං ලංකාවෙ ජීවිතේ අතිවිශිෂ්ටයි... ටිකක් විශේෂ හේතු නිසා...( මම ගොඩාක් කාලෙකින් ගෙදර ජීවත් වෙනව මම ආස කරපුම රස්සාව ලැබිල...)

      Delete
  3. කවුද දන්නේ නැහැ පාසල් ගවුම් සුදු පාට වෙන්න ඕන කියල නිර්දේශ කලේ . නිතර කිලිටි වෙන පාසල් ඇඳුම ටිකක් වෙනස් පාටක් වුනා නම් පහසුයි කියල මන් හැමදාම හිතුවේ . අනික දැන් සුදු සපත්තු . වැඩියම කිලිටි වෙන තැන කකුල . අහවල් එකකට සුදු දානවද . අපේ ළමයින්ගේ ඉස්කෝලේ යුනිෆෝර්ම් එකක් නැහැ . කියන්නේ පරණම ඇඳුම් අන්දලා එවන්න කියලයි . ළමයින්ට නිදහසේ දුව පනින්න කිළුටු කරගන්න . හරියට ටෝට්ටෝ චාන්ගේ ඉස්කෝලේ වගේ .

    ඉස්සර අපේම හොඳට හදපු ක්‍රියාකාරකම් වලින් කට්ටි පනින්න අපි ගත්තු මහන්සිය . ස්පෝර්ට් මීට් එකට තෝරාගන්න තිබ්බ තරඟ වලින් මග අරින්න දුවන වේගෙට පිට්ටනියේ දිව්වා නම් කප් ගහන්න තිබ්බ . ඒත් අහු නොවී පැන ගන්න එක තමයි අපිට වඩා රසවත් වුනේ .

    ReplyDelete
    Replies
    1. දැන් නං කළු සපත්තු දාන, නිල්පාට සායවල් අඳින ඉස්කෝල තියෙනව මෙහෙත්,

      මේව හගෙන ඉන්දෙදි අපි ඒ කාලෙ ඔය නීතිවලට අකීකරු වෙන්න කොච්චර නං මහන්සි වෙනවද කියලයි ශිෂ්‍ය නායිකාවො අපිව ඒවට කීකරු කරන්න කියල වින්ද කරදරෙයි දෙකම එක වගේ මතක් වෙනව...:)

      Delete
    2. රටේ අනිකුත් දේවල් වගේම මේකත් 1800 හා 1900 මුල කාලේ බ්‍රිතාන්‍ය චින්තනයේ සිරවෙලා තියෙන්නේ.

      ළඟදී සංවාදයක් ගියා අපිත් එක්ක වැඩ කරන හංගේරියානු යෙහෙලියක් එක්ක සංස්කෘතිය ගැන. එයාලාගේ රටේ [හංගේරියාව කාටවත් යටත් වී පාලනය වෙලා නැහැ. අර මොංගල් ප්‍රහාරය, පළමු ලෝක යුධ පරාජය හා රුසියානු ආක්‍රමණ වලදී ලද පරාජයන් තමයි. සමාජවාදී කාලෙත් ඔවුන් උත්සාහ කළා රුසියාවෙන් ස්වාධීන ව ඉන්න] එයාලගේම සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ කතා ඇහුවම එයා හිතන්නේ අපි තවම ඉන්නේ කොලොනියල් යුරෝපේ කියා.

      අපි අපේ දෙයක් කියා පටලාගෙන ඉන්නේ මෙන්න මෙහෙම දෙයක්.

      Delete
    3. පොඩිත්ති ව පාසලකට දාන්න ගිහින් හොඳ සිද්ධි ගොඩක් වුනා. මටත් ඕනේ එයාව දාන්න උපරිම නිදහස දෙන, සංස්කෘතිය සභ්‍යත්වය ගැන ඔල්මොරොන්දම් වලින් මොළ නොසෝදන, අලුත් විදිහට හිතන තැනකට.

      Delete
    4. අපේ ඉස්කෝලේ නම් කළු සපත්තු දාන්න පුළුවන් ඒ දවස් වලත්. මට ත් තිබුන එපාම කරපු දේ සුදු සපත්තු හෝදන එක. ඒ කම්මැලිකමට මම පස්සේ දැම්මෙම කළු සපත්තු.
      අනිත් එක සමහර ඉස්කෝලවල යුනිෆෝම් එකේ රැලි ගොඩයි. ඒවා අයන් කරන්න ගියාම පන යනවා ඇති.

      Delete
  4. අපේ ඉස්කෝලෙත් හිටියා ඔය වගේ කහ ගැහිච්චි ගවුම් ඇඳගෙන කිරි පාටින් හිනාවෙච්චි ගෑණූ ළමයි. මාත් ආයෙම ස්කෝලේ කාලෙට ගියා...

    ReplyDelete
  5. අපේ අප්පෝ චේජනාව දැක්ක කල් !!!

    ReplyDelete
    Replies
    1. දන් ආයෙ දිගටම ඉන්න තමයි හිතන්නෙ. බලමුකො...

      Delete
    2. එහෙනම් දිගටම ලියන්න චේ !!
      පරණම බ්ලොග් ලියන කෙනෙක් නේ. :)

      Delete
  6. සුන්දර පාසැල් කාලය...

    "මම අද දිනුකි නංගිට කිව්ව ආයෙ එහෙම ඔය ගවුම ඇඳන් ආවොත් මම වාටිය ලිහනව කියල,"

    එහෙම කිව්වේ ශිෂ්‍යනායිකාවක් වෙන්න ඇති, කතාවේ සංවේදීම කොටස.

    ReplyDelete
    Replies
    1. චේජනා නංගිගේ රචනයේ පටන්ගැන්ම ගොඩාක් ලස්සනට ලියා තියෙනවා, එය හුරුපුරුදු වටාපිටාවකට අරන් ගියා... බොහෝමත්ම ස්තුතියි.

      (මේ කොටස මගේ කොමන්ටුවෙ ඇතුලත් වෙලා නැහැ නොවැ...)

      Delete
    2. :)
      ඔව් ඔව් මේ ගාල්ලෙ...

      Delete
  7. ලස්සනයි. ඇත්තටම ලංකාවේ ඉස්කෝලවල ඇඳුම වෙනස් කරනවා නම් හොඳයි තමා. කාටද පුලුවන් හැමදාම සුදු අඳින්ට. මෙහෙ නම්, ශීත කාලෙට වෙන ඇඳුම්, රස්නේ කාලෙට වෙන ඇඳුම්, සෙල්ලම් කරන්ට වෙන ඇඳුම්. හැබැයි ඉතින් සුදු ඒවා වගේ ඉක්මනට කිලුටු වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ එකේක කාලෙට එකේක ඇඳුම් නං ඕනෙ නෑ නෙ, අනිත් අතින් ලා පාට ඇඳුමක් ඇන්දම තියෙන පිළිවෙලත් වෙන පාටකින් ගන්න අමාරුයි, ඉක්මනට කිලුටු වුණත්...

      Delete
    2. මන් නම් කියන්නේ සුදු ගැලපෙන්නේ නැහැ .බස් වල හිරවෙලා දාඩිය දාල යන ළමයට එක දවසයි ගවුම අඳින්න පුළුවන් . අනික කහ වුනහම වෙනස කැපිල පේනවා . ගොඩක් තද පාට අව්වට යද්දී හොඳ නැහැ . මන් කියන්නේ ලා දුඹුරු වගේ පාටක් තමයි හොඳ .

      අපේ සුදු ගවුමට රැලි ගොඩක් තිබුනේ නැහැ . ලොකු රැලි හතරයි . රැලි ගොඩක් තිබ්බ අක්කගේ ගවුම් වලට වඩා මට ගොඩක් පහසු වුනා . අපේ කාලේ නම් දුඹුරු සපත්තු දාන්නත් හැකිකම තිබුන . මට මතකයි මගේ දුඹුරු DI සපත්තු දෙක අන්තිම කාලේ අවුරුදු හතරක් විතර දැම්ම .

      Delete
    3. මම නං රැලි ගැන වැඩිය නොහිත හිටිය.. :), ඉස්කෝලෙ අඳින්න සුදුපාට හොඳ නැති උනත් ලා පාටක් නං වෙන්න ඕනෙ කියල මම හිතන්නෙ...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...