Running repair එකක් නෙ...ඕනෙ නම් පැය දෙකක් යයි...
මම ගරාජ් එකට යන්න එළියට බැස්සෙ එහෙම හිත හිත...
ඉරිදා දවසක්., කලින් එන බව කියල වෙලාව කතා කරගෙන තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් නෑ...
සුමිත් මම යනකොට හිටිය, බඩු වගයක් ගේන්න කොළඹ යන්න ලැස්ති වෙලා..ඉස්සෙල්ලම හදන්න ගත්තෙ මගෙ කාරෙක...
"මහත්තය, මම පොඩ්ඩක් බඩු වගයක් ගේන්න යන්න කියල, මහත්තයගෙ වැඩේ අජිත් කරල දෙයි.." එහෙම කියල සුමිත් යන්න ගියා...
අජිතුත් හොඳ මෙකැනික් කෙනෙක්...මම පැත්තකින් හිටිය... පැය එක හමාරක් දෙකක් යන්න ඇති... ඊට පස්සෙ කාරෙක හදාගන්න ආව කෙනත් ඇවිත් පැත්තක හිටිය...
වැඩේ ඉවරයි... ටෙස්ට් රන් එකකුත් දාල වාහනේ අරන් ආව එළියට...
මීටර් පන්සීයක් යන්න ඇති ඕනෙ නම්... ගියර් මාරු වෙන්නෙ නෑ... පාරෙ පැත්තක ඉඳපු මනුස්සයෙක් කෑගහල කියනව ගියර් ඔයිල් බේරෙනවලු..
මක් කරන්න ද බැස්ස එළියට...මොකද වෙලා තියෙන්න බලන්න, "ඉස්සරහ ඇක්සල් එක ලූස් වෙලා, CV joint එක හරියට fix වෙලා නෑ...
දුවගෙන ගියා ගරාජ් එකට.., ගරාජ් එකේ මිනිස්සු පුදුම වෙලා මම දිහා බලනවා... අනිත් කාරෙක හදන්නත් අරන්... විස්තරේ ඇහුව ඔක්කොමල ඒකත් එතනම නතර කරල දාල ආව...
ආපහු තල්ලු කරගෙන ආව කාරෙක ගරාජ් එකට ම... අර වැඩේ නතර කරල ආපහු මේක හැදුව...මට පස්සෙ ආව මනුස්සය බලන් ඉන්නව, මොනව කරන්නද
පැයක් ගතවුණා...
" ප්‍රශ්නයක් නෑ... දැන් හරි... " මම එන්න ආව..
මෙච්චර වෙලා ඉවසීමෙන් බලන් හිටිය අර මනුස්සය එක්කත් පොඩ්ඩක් හිනා වෙලා...
මොන... කිලෝමීටරයක් එක හමාරක් එන්න ඇති... ආයෙම... ඉස්සෙල්ල වගෙමයි...
කතා කරා ගරාජ් එක අයිතිකාරයට ...නෝ ආන්ස්වර්...
මොනව කරන්නද.. කාරෙක පාරෙ අයිනෙ තියෙද්දිම ආපහු ගරාජ් එකට... පයින් ම...
දාඩිය දාගෙන පයින්ම ගරාජ් එකට එන මාව දැක්කම මිනිස්සු පුදුම වෙලා බලනව...
අනේ අර මනුස්සය, කතාව අහගෙන ඉඳල මම දිහා බලල හිනා වුණා.., ඒ මනුස්සයට තේරෙන්න ඇති මේක අද දවසෙම ඇදෙන වැඩක් කියල...පුදුමයි පොඩ්ඩක්වත් තරහ ගත්තෙ නෑ...
ආපහු ගිහින් ගෙනත් වරද හොයල මගෙ කාරෙක හදනව... අර වැඩේ එහෙමම නැවතිලා...
වෙලාව දෙකට ත් කිට්‍ටුයි..
පැය දෙක ක වැඩේට මුළු දවසම ගත වෙලා... අර මනුස්සයගෙ කාරෙකත් හදාගෙන ගෙදර ගිහින් පැය ගානක්, මේක මෙහෙම ඇදිල ගියෙ නැත්නම්...මට ඒ මනුස්සය දිහා බැලුන ඉබේටම...
පුදුම ඉවසීමකින් මේ සිද්දිය බලාගෙන දවසම ගත කරපු මේ මනුස්සය මාත් එක්ක ටිකක් කතා කරන අතරෙ මගෙන් ඇහුවෙ...
"පුතා, අද දවස ම මහන්සි වුණානෙ, මුකුත් කෑවෙත් නෑ නෙ, මම ළඟ බත් එකක් තියෙනව... ටිකක් කමුද .. " කියල....
මට හිතුණ දේවල්...වචන කරන්නෙ කොහොමද...මේ සිද්දියෙ බලාගෙන ඉඳපු ඔහු මම වුණා නම්... මගෙ ළඟ මේ වගෙ ඉවසිල්ලක් තියේවිද...
මගෙ හිත කෑගහල මගෙන් ඇහුවා...
.......................................................................................................
ඒත් කවුද මේ ඔහු... හිතාගන්න පුළුවන් ද.....
මේ ඔහු ....
සුනිල් එදිරිසිංහයන්...
ගැඹුරු වූත් හැඟීම්බර වූත් කටහඬකින් ගයන ඔහු... සැබෑවටම....
නිර්මාණවලින් සේම සිය හැසිරීමෙනුත් සිත පිනවීම වෙනුවෙන්... ඔහු ගැන මා සිත ඉපදුන අප්‍රමාණ භක්තියෙන් මේ සටහන සටහන් කරනව... සටහනේ අවසානයට සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන, ඒත් ලෝකෙ අනෙක් කෙළවරටත් මගෙ තාත්තගෙ හඬින් ඇහෙන, සුනිල් එදිරිසිංහයන්ගේ මම කැමති ම ගීතයෙ සබැඳිය එකතු කරනව...
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...
පසු සටහන:
මේක මගේ ඉස්සෙල්ල පෝස්ට් එක බලපු මගේ යාළුවෙක් කිව් ඇත්ත කතාවක්...
සුනිල් එදිරිසිංහ කියන ගායකය ගැන නෙවෙයි, මනුස්සය ගැන...
සැබෑවට මහ මගදි මේ කලාකරුවන් මට මුණ ගැහිල තියෙනව හරි ම අඩුයි...
දවසක් මැණිකේ අත්තනායක මහත්මිය, කැම්පස් යද්දි පාරෙදි මුණ ගැහුන...ටිකක් දුරදි ම දැක පුරුද්දක් දැනුන නිසා හොඳට බලන් ඉඳල හෙමින් මගෙ යාළුවට කිව්ව " මේ ගෑනු එක්කෙනා මම කොහෙදි හරි දැකල තියෙනව " කියල, හෙමින් කිව්වට ඈට ඇහුණ... ඈ මගෙ දිහා බලල හිනාවෙලා ගියා... ගියාට පස්සෙ මගෙ යාළුව කිව්ව ඒව මෙතන කියන්න බෑ... ඒත් ඈ පදිංචි වෙලා හිටියෙ ඒ ළඟ ම නිසා ඊට පස්සෙත් මම දැක්ක ම ඈ හිනා වෙලා යනව මගෙ දිහා බලල...