Showing posts with label පොතක පි‍ටු අතර... Show all posts
Showing posts with label පොතක පි‍ටු අතර... Show all posts

Monday, June 17, 2024

e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා හරහා වෙබ් නවකතා වෙත...

මම බාගත කරගෙන කියවිය හැකි  e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා කියවීම පටන් අරන් මම හිතන්නේ දැන් අවුරුදු 16ක් විතර ඇති කියලයි... බ්ලොග් ලිවීමට වඩා ඒ පුරුද්ද අවුරුද්දක් හෝ එකහමාරක් විතර පරණ ඇති...

Count of Monte Cristo, Morning Star වගේම She  - අදටත් මගේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන මේ පොත් තුනේම මුල් ඉංග්‍රීසි පොත් මම කියෙව්වෙ e-book විදියට...ඉංග්‍රීසි තේරීම අඩුකමයි, e-book වීමයි, ඒවයේ තියෙන අමුතු තාලෙ ඉංග්‍රීසියි එක්ක ඒව එහෙම කියවන එක කොච්චර අමාරු වුණත්, ඒවායේ සිංහල පරිවර්තන කියවල ඒවාට වහ වැටිල හිටපු මම 2008 ජපානෙ ඉගෙන ගන්න කාලෙ තිබුණ තනිකමත් එක්ක ඒවා කොහොම හරි ටික ටික කියෙව්වා... පොතක් කියවද්දි ඒකෙ අන්තිම වෙන්නෙ මොකද්ද කියල බලල පොත කියවන නරකම වර්ගයේ පාඨකයෙක් වෙන මට, සිංහල පොත් කියවපු ඒවායේ ඉංග්‍රීසි පොත් නිසා ඒ පොත්වල මම කැමති තැන් හොයාගෙන ආයෙ ආයෙ කියවන්න e-book වලින් ලැබුණේ ලොකු උදව්වක්...ඔහොම නොසැලෙන ධෛර්‍යයෙන් ඒවා කියවල ම තමයි මට ඉංග්‍රීසි නවකතා තේරෙන්න ගත්තෙත්...

ඔය අතරෙ scanned pdf  විදියට අන්තර්ජාලයේ තිබුණු සිංහල නවකතාත් මම අනන්ත ප්‍රමාණයක් කියවල ඇති...කොහොමත් පොඩි කාලෙ ඉඳලම අකුරු තියෙනව නං ඒවා කියවන එක පුරුද්දක් වුණ මට ඒවායෙ ස්වභාවය ඒ තරම් වැදගත් වුණෙත් නෑ... චාතුර්යා...සින්දූර් වගෙම තව ඔය අනන්ත මල් නවකතාත් මම ඒ දවස්වල කියවල තියෙනවා...

pdf විදියට භාගත කරගත් නවකතා කියවීමේ දී සිංහල පරිවර්තන නැතිව අලුතෙන්ම කියවපු ඉංග්‍රීසි පොත් අතරෙ මට අමතක නොවෙනම පොත් තුනම ලෝකෙ පුරාම ජනප්‍රිය වුණු නවකතා වගෙම චිත්‍රපටත් බිහිකළ Twilight series, Fifty Shades of Grey series සහ Me before You series...ඒ ඔක්කොම පොත් එකකට වඩා වැඩි ඒවා...

Fanfiction කියන ඒවා මගේ ලෝකෙට ආවෙ Twilight හරහා...මම මුලින්ම Fanfiction එකක් විදියට කියෙව්වෙ බෙලාගෙ පැත්තෙන් නවකතාවේ රචකයා (Stephenie Mayer) ලියන කතාව එඩ්වර්ඩ්ගෙ පැත්තෙන් කියන එකක්...පොත්වල මම කැමති නැති අවසානය මට ඕනෙ විදියට ලියන්න පුළුවන් කියල මම ඉගෙනගත්තා Fanfiction කියවලා... ඒකත් නියම අදහසක්... අපිට කැමති විදියට අපේ ලෝකෙ ඇතුළෙ නවකතා ප්‍රතිනිර්මාණය කරගැනීම...


වෙබ් නවකතා ලෝකෙ මුලින්ම ඇතිවුණේ 2000 දි විතර කියල අන්තර්ජාලෙයෙ තියෙනවා... ඒත් වෙබ් නවකතා මගේ ලෝකෙට ආවෙ 2018 විතර මම හිතන්නෙ...ඒ Fanfiction හරහා...

ඒත් මේ වෙනකොට වෙබ් නවකතා ලෝක සාහිත්‍යයට දැඩි බලපෑමක් කරන තත්වයට ඇවිත්... විශේෂයෙන්ම ආසියාවේ... වෙබ් නවකතා කිහිපයක්ම ඉතා සාර්ථක TV series බවට පත්වෙලා තියෙනවා...ඒ TV series ලෝකය පුරාම බිලියන ගණනක් ප්‍රේක්ශක අවධානය දිනාගෙන තවත් අති විශාල Fanfictions ගණනක් සමග තවමත් ඉදිරියට යන ගමන්...ඉලෙක්ට්‍රොනික යුගයත් එක්ක ඉදිරියට යන ලෝකෙ මින් ඉස්සරහට නවකතා ලෝකය තව දුරටත් වෙබ් නවකතා අතට පත්වේවි ද කියලත් මට හිතෙනවා...

වෙනස් වෙන ලෝකෙක හැමදෙයක් ම වෙනස් වීම විතරක් නියතයි...කොහොම වුණත් මගේ කියවීමේ පිපාසය නිවන්න වෙබ් නවකතාත් නරකම නෑ... ටිකින් ටික ඒවායේ ගුණාත්මක බවත් දියුණු වෙමින් වඩා පුළුල් පරාසයක කියවීම අත්දැකීමක් ලබාදෙන්න වෙබ් නවකතාවලටත් පුළුවන් වේවි...

https://www.forbesindia.com/article/lifes/in-asia-web-novels-are-writing-a-new-chapter-in-fiction/75807/1

Monday, May 21, 2012

සිමියොන් දවීදොව් හා ලෝරා ඉන්ගල්ස් සමගින් ගතවුණ නිවාඩු කාලය

හිම මිදිච්ච සීත කාලෙ මැද හරියෙ දවසක දවීදොව් හිම යානෙක නැගිල ගම්මානයට එමින් හිටියෙ...දවීදොව් හිටියෙ සන්තෝසෙන්... සමූහ ගොවිපොලක් හදන හීනෙ දවීදොව්ගෙ හිත පුරාම තිබුනෙ... තමන්ගෙ අරමුණ වෙනුවෙන් දවීදොව් කැපවුණා... මකාර්, අන්ද්‍රෙයි, යාකව්, ශිචුකාර් සීයා ඇතුළුව ගම්මානෙ නොයෙක් තරාතිරමෙ නොයෙක් අදහස් දරපු මුරණ්ඩු මිනිස්සු, යටහත් පහත් මිනිස්සු, දුප්පත් මිනිස්සු මේ ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්න දවීදොව් හැබෑවටම මහන්සි වුණා... දවීදොව් අස්සය පිටේ යද්දි වගෙම දවීදොව් කුඹුරු හාද්දිත් මම සතුටින් දවීදොව් දිහා බලාන උන්නා... දවීදොව් වාර්යට ආදරේ කරද්දි මගේ ඇස් සතුටින් දිලිසුනා... වාර්යා කෘශිකර්ම නිලධාරිනියක් වෙලා ඇවිත් දවීදොව් එක්ක විවාහ වෙනව දකින්න, සමූහ ගොවිපොළ දියුණු වෙලා දවීදොව්ට අකමැති වෙලා හිටපු මිනිස්සුත් දවීදොව්ට කැමති වෙනව දකින්න මට ඕනෙ වුණා...
ඒත් හීනෙ හැබෑ කර නොගෙනම දවීදොව් යන්න ගියා... වාර්යව තනිකරල... යන්නම යන්න ගියා... සීය දවීදොව් මිහිදන් කළ තැන තනියෙන් බලාගෙන උන්නා...

---------------

ඊට පස්සෙ ආවෙ ලෝරා... ලෝරා අම්මයි අප්පච්චියි මේරියි විතරක් නෙවෙයි, ඒ ගොල්ලොන්ගෙ බල්ල ජැක් එක්ක අස්ස කරත්තෙක ආවෙ... බටහිරට යන්න... ලෝරාගෙ තැනිතලාවෙ කුඩා නිවසෙ වගෙම, ඩි ස්මෙට් නගරයේ නිවසෙත් මම ලෝර එක්ක ජීවත් වුණා... රතු ඉන්දියානුවො ලෝරගෙ කුඩා නිවසට එද්දි, ලෝරලාගෙ ඉරිඟු පාන් ඔක්කොම බලහත්කාරෙන් වගෙ කාල යද්දි මාත් පැත්තකින් උන්න... ජැක් ඒ ගොල්ලොන්ට ගොරවද්දි සතුටු හිතුනත්, ලෝරට වගෙම මටත් කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ...
සීතලෙන් සීත වුණු සීත සමයෙ හිම කුණාටුවෙ මැද්දෙ සීතලෙන් ගැහි ගැහි මම තැනිතලාවෙ ඉඳන් ලෝරගෙ ගෙදර දිහා බලන් හිටියා... ලෝරා අකමැත්තෙන් අකුරු ඉගෙනගනිද්දි, ලෝරා ටීච කෙනෙක් වෙලා යද්දි ලෝර එක්ක ගියත්, මිහිරැති වසන්ත සමයෙ ලෝරා විවාහ වෙලා යද්දි මම නැවතුණා...

----------------

අවලස්සන ඇමරිකානුවගෙ ලස්සන හදවත, මාව පුදුම කළා... සර්කානුවෙක් එක්ක තමන් නිෂ්පාදනය කළ යන්ත්‍රයෙ ලාබය වංචාවක් නැතිවම බෙදා ගනිද්දි මට සතුටු හිතුන... හැබෑවටම අනිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන සැබෑ මිනිස්සු වගෙම, දූෂණය වංචාව ජීවන මාර්ගය  කරගත්තු මිනිස්සු ලෝකෙ හැම රටේමත්, හැම මොහොතකමත් ජීවත් වෙනව දැක්ක...

-----------------

ඇයි ධනුෂ්කගෙයි දේවින්දිගෙයි ජීවිතේට එබිල බල බල සූරියතැන්න වලව්වෙ ගතකළ දවස් ටික... ඒකත්  මගෙ නිවාඩුවෙ දවස්ම තමයි... අන්තිමට දන්නෙම නැතිව මේ ගොල්ලොත් එක්ක මම මුළු නිවාඩු කාලෙම ගත කරල තිබුණ... ඔන්න ඔහොම මුළු නිවාඩුවම ඉවර වුණා...

Monday, July 11, 2011

සත්‍යය පරිකල්පනයෙන් ඔපවත්ව...The man in the iron mask

 වර්ෂ 1669 ජුලි මාසයේ අග භාගය ගෙවී යයි. දහහතර වන ලුවී රජුගේ අමාත්‍ය මාර්ක්වීස් ඩි ලුවිස් වෙතින් පිග්නෙරොල් බන්ධනාගාර ප්‍රධානියා සේන්ට් මාර්ස් වෙත ලැබුණ ලිපියකි.
එස්ටාච් ඩෞගර් නම් වූ සිරකරුවෙක් ඊළඟ මාසයේ බන්ධනාගාරය වෙත ළඟාවීමට නියමිත බව හේ දන්වා එවා ඇත. බන්ධනාගාරයකට එය අමුත්තක් නොවන නමුත් ඒ සමග ඇති අනිකුත් නියෝග ඔහු තුළ තරමක විශ්මයක් ඇති කිරීමට සමත් ය. ළඟාවීමට නියමිත සිරකරු වෙනුවෙන් එකිනෙක පසුපස එකිනෙක වැසීයන දොරවල් කිහිපයකින් යුත් කුටියක් සකස් කිරීමට ඔහු අණ කරයි. පිටස්තර කිසිවෙකුට සිරකරු පවසන කිසිවක් නොඇසෙන පිණිසය ඒ.  තව ද දිනකට වරක් බන්ධනාගාර ප්‍රධානියා වන සේන්ට් මාර්ස් විසින් ම සිරකරුට ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා සැපයිය යුතුය.
ලිපිය දෙස හොඳින් බැලූවිට තවත් කරුණක් පැහැදිලි වේ. ලිපිය ලියන්නෙකු ලවා ලිය වූව ද සිරකරුගේ නම ඩි ලුවිස් අමාත්‍යවරයාගේ අත්කුරින්ම ලියවී ඇත.

---------



ඩන්කර්කෙ හි අණ දෙන නිලධාරී කැප්ටන් ඇලෙක්සන්ඩර් ඩි වෙරොයි තමා විසින්ම අත්ඩංගුවට ගත් සිරකරු ද සමග අගෝස්තු මාසයේ අග භාගයේ පිග්නෙරොල් බන්ධනාගාරය වෙත ළඟාවේ. කළු විල්ලුද රෙද්දකින් කළ මුහුණු ආවරණයකින්, බන්ධනාගාරයට රැගෙන ආ මේ විශේෂ සිරකරුගේ මුහුණ ලොවෙන් සඟවා තිබේ.

එදින සිට වසර 34 ක් සේන්ට් මාර්ස් බන්ධනාගාර පාලකවරයා යටතේම බන්ධනාගාර කිහිපයකට මාරු වෙමින් ඔහුගේ සිරකරු දිවිය ගතව ගිය අතර ඒ මාරුකිරීම් සියල්ලේදීමත් සිරකරුගේ මුහුණ ආවරණය කිරීමට පාලකයන් වගබලාගත්හ. වර්ෂ 1703 දී සිරකරු මියගියේය.

රජුගේ සොහොයුරෙක්, නීත්‍යානුකූල නොවන පුත්‍රයෙක්, ජනරාල් වරයෙක්, රහස් දැන සිටි සේවකයෙක්, ආදී බොහෝ උපකල්පන බාහිර ලෝකය තුළ කට කතා ලෙස පැතිරිණ. එහෙත් සත්‍ය වශයෙන්ම ඔහු කවරෙක් ද යන්න කිසිදා ලොවට හෙළි නොවීය.

-------------------------
මේ සත්‍ය කතාව වටා බොහෝ ප්‍රබන්ධ බිහිවිය. ඒ අතර වර්ෂ 1840 අග භාගයේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ පරිකල්පනය තුළ,  බලහත්කාරයෙන් යකඩ මුව වැස්මකින් මුහුණ ආවරණය කර, බැස්ටිල් බන්ධනාගාරයේ රඳවා තබන ලද දහහතර වන ලුවී රජතුමාගේ නිවුන් සොයුරා Philippe ලෙස ප්‍රතිනිර්මාණය වූයේ (Three Musketeers නවකතාවේ දී) ඔහුයි. 

----------------------


1909 සිට 1998 දක්වාම මේ කතාව පාදක කරගෙන කෙරුනු චිත්‍රපට හා ටෙලිනිර්මාණ බොහොමයකි.
චිත්‍රපටයත් නවකතාවත් එකට බැඳුනු කතාපුවතක් ඉදිරිපත් නොකරන නමුත්, ලෙනාඩෝ ඩි කැප්‍රියෝ නවවන ලුවිස් රජතුමාට හා ඔහුගේ නිවුන් සොයුරා Philippe ට රඟන Randall Wallace විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද  "The man in the iron mask" චිත්‍රපටය ඇලෙක්සන්ඩර් ඩූමාගේ පරිකල්පනය තුළ බිහිවූ ච‍රිත භාවිතා කරමින් වඩාත්ම මෑතක නිරමාණය වූ චිත්‍රපටයයි.

----------------------------------
 Source:
http://en.wikipedia.org/wiki/Man_in_the_Iron_Mask
http://en.wikipedia.org/wiki/The_Man_in_the_Iron_Mask_%281998_film%29
http://www.gutenberg.org/files/2759/2759-h/2759-h.htm

Tuesday, June 7, 2011

අරාබි නිසොල්ලාසය හෙවත් එක්දහස් එක් රැය (Arabian nights)

මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.?
සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත සේම වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දෑ නිර්මාණය කළ අරාබි නිසොල්ලාසය සිය ජීවිතය බේරාගන්න එක් යුවතියක් එක්දස් එක් රැයක් තිස්සෙ කිවූ අපූරු කතාමාලාවක්...

 
Illustration by H.J. Ford (1898)

මේ කතාමාලාව පර්සියන් රජකුමරෙකුට ඔහු විවාහකරගත් බිරිඳ විසින් එක්දහස් එක් රැයක් තිස්සේ කියල තියනව...
මේ කතාමාලාව හා බැඳෙන්නෙ,  පර්සියන් රජකෙනෙක් වෙන Shahryār රජතුමා සහ ඔහුට මේ කතාමාලාව කී ඈ, පසුකාලයක ඔහුගේ රැජින වුණ, Scheherazade රැජින...

සිය සොයුරාගේ බිරිඳත්, තමා බොහෝසෙයින් ආදරය කළ සිය බිරිඳත් දෙදෙනාගේම විශ්වාසඝාතක භාවය නිසා සමස්ත ස්ත්‍රීන් කෙරෙහිම කලකිරුණු මේ රජතුමා සෑම රැයකදීම එක් කන්‍යාවක් බැගින් විවාහ කරගෙන ඇය විශ්වාසඝාතකව තමා නින්දාවට පත්කිරීමට පෙර සෑම උදෑසනකම මරා දැමීමට පුරුදු වුණා... මේ විදියට ගෙවුණු වසර තුනකින් පසු මුළු රාජධානියම දුක් අඳෝනාවලින් වැසී යද්දී  දහසක් පමණ යුවතියන් මරණයට පත්වී තිබුණා... අවසන රජුට කන්‍යාවන් සැපයීම සිදුකළ අමාත්‍යයාට ඔහුගේ රූමත් උගත් දියණිය ඊළඟ රැයේ රජතුමාට බිලිදීමට සිදුවුණා...
ප්‍රඥාවන්ත කුමරියක් වූ ඈ, දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවලිය නැවැත්වීමටත් සිය ජීවිතය බේරා ගැනීමටත් අපූරු සැලැස්මක් සකස් කළා...

ඈ තමා ජීවත්වන අවසාන රැයේ තමාට බොහෝසෙයින් ආදරය කරන සිය නැගණිය ද තමා සමග නවත්වා ගැනීමට රජුගේ කැමැත්ත ලබාගත්තා...ඇගේ සැලැස්මේ පරිදි හිමිදිරි යාමයේ ඇහැරුණ නැගණිය ඈට ලස්සන කතාවක් කියන්න ඉල්ලීමක් කළා...රැයේ අවසන් හෝරාවේ සිය නැගණිය සතුටු කිරීමට රජුගේ ද අවසරයෙන් එක් සුන්දර කතාවක් කීමට පටන්ගත්තත්...

උදාවන හිමිදිරියේ කතාව අවසන් වුණේ නෑ...

කතාව අවසන්වනතුරු ඇසීමට ලොල් වූ රජතුමා එදිනට පමණක් ඇයට ජීවත්විමට ඉඩදීමට තීරණය කළා... ඊළඟ රැයේද ඒ කතාව අවසන් කර තවත් අලුත් කතාවක් පටන් ගත් ඈ හිමිදිරියේ එහි අවසන් කොටස ඉතිරි කළා... මේ විදියට ගෙවුණු එක්දහස් එක් රැයක් අවසන ඇගේ කතාත් අවසන් වුණා...

එහෙත් ඒ වනවිට, ඈ කෙරේ පෙමින් බැඳුන, වඩා කරුණාවන්ත හා දුර දක්නා මිනිසකු ද ඇගෙන් ලද පුතුන් තිදෙනෙකුගේ පියෙකු ද වී සිටි රජතුමා ඇය රැජින කරගෙන සිය ජීවිතයේ ඉතිරි කාලය ගතකිරීමට තීරණය කළා...

රාජධානියේ අවාසනාවත් කාලය අවසන්කර, සිය ජීවිතය ද රැකගත් ඈ කී මේ කතාමාලාව අරබි නිසොල්ලාසය ලෙසින් ලෝකයට එක්වුණා...

පුරාණ හා මධ්‍යතන යුගයේ ඉන්දියානු, අරාබි, ප‍ර්සියානු හා ඊජිප්තියානු ජනකතාවල ආභාශය මෙහි රැඳෙන බව කියවෙනවා... පුරාණ ලියවිලිවල මේ කතා ගැන ලියවෙන අතරෙම, 1706 දි මුල් වතාවට ඉංග්‍රීසි භාෂාවෙන් මේ කතාමාලාව මුද්‍රණය වෙලා තියෙන්නෙThe arabian nights කියල... Antoine Galland ගෙ පරිවර්තනයක් විදියට...
වියයුතු වූ පරිදිම එකිනෙක ඈඳෙන මේ කතා කතාවක ඇතුලෙ තවත් කතාවක් කියවෙන විදියට තියෙනවලු... පසුකාලීනව තවත් ජනකතාත් මේකට එකතු වෙලා තියනවලු ඒ ඒ ලේඛකයන් අතින්... ලස්සන නිර්මාණ බොහොමයකට පාදක වුණ එක්දහස් එක් රැයේ කතා මාලාවෙ රජතුමාත් රැජිනත් මෙන්න මේ විදියට හිටියලු 2000 නිර්මාණය වුණ මිනිසෙරීස් එකේ...


Mili Avital as Scheherazade and Dougray Scott as Shahryar, in the ABC/BBC Miniseries Arabian Nights (2000).

Saturday, September 18, 2010

සැප්තැම්බර්, සාහිත්‍ය මාසෙ...

සැප්තැම්බර්, සාහිත්‍ය මාසෙ...
මේ සැරේ පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 වෙනිදා අද පටන් අරගන්නවලු...

පොත්පත් කියවන කවුරුත් කොහොම හරි පොතක් දෙකක් ගන්න පෙරුම් පුරන දවස් නෙ මේ,  මමත් රස්සාවක් කරන්න ගත්තට පස්සෙ මට පුළුවන් විදියට පොතක් පතක් ගත්තෙ මේ කාලෙදි තමා...

සාහිත්‍ය මාසෙත් එක්ක බැඳුන මතකයන් කීපයක් ම තියෙනව...එකිනෙකට වෙනස් අවුරුදුවල වෙනස් මතක තමා.. ඒත් ඔක්කොම සාහිත්‍ය මාසෙට සම්බන්ධයි...

--------------------------------------------------------------------------------
සාහිත්‍ය මාසෙ ගැන මට තියෙන පරණම මතකය 

"අපිට බැරි වුණාට දරුවො ඉංග්‍රීසි ඉගෙනගනියි " කියල, දුවෙක්ද පුතෙක්ද වත් නොදන්නා කුසේ ඉන්න දරුව වෙනුවෙන් එක සැප්තැම්බර් මාසෙක අම්ම ළඟ තිබුණ සල්ලිවලට මළලසේකර ශබ්ද කෝශයක් ගත්ත මගේ අම්මා... ඒක ඇහුව වෙලාවෙ මට දැනුණෙ විස්තර කරන්න බැරි හැඟීමක් අම්ම ගැන... මොනතරම් නම් අම්මා මම වෙනුවෙන් පෙරුම් පුරන්න ඇත්ද කියල...
මේ කතාව මුලින් ම අහද්දි ඈ දුටු සිහිනය සැබෑ කරන්න තරම් මම ලොකු නෑ... ඒත් ඈ දුටු සිහිනය සැබෑ කරන්න ම ඕනෙ කියන අදහස හිත පතුලට ගියේ නම් එදා... එදා ඉඳන් හැම සාහිත්‍ය මාසෙකම මට ඒක මතක් වෙනව.... මම හිතන විදියට මේක ලියන අද නම් මම ඇගේ සිහිනය සැබෑ කරල...

මේ කතාව දවසක් මට කිව්වෙත් අම්මගෙම යාළුවෙක්... මට අවුරුදු 16 දි විතර... සමහර වෙලාවට ඒ කතාව මගේ ජීවිත ගමන වෙනස් කරන්නත් ඇති...

----------------------------------------------------------------------
සරසවියෙදි උදාවුණ සාහිත්‍ය මාස...

පොත් ප්‍රදර්ශනය බලන්න යන්න මම පුරුදු වුණේ සරසවියෙ ඉඳෙද්දි...
පුස්තකාලවලින් හොයාගෙන කියෙව් බොහොමයක් රුසියානු සාහිත්‍ය කෘති විකුණන්න තියෙනව මම දැක්කෙ එදා... ඒ අතරෙ මම පුංචි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ලස්සන බූල් බල්ලෙක් ඉන්න පින්තූර කතා පොතත් තිබුණ....

ඒත් ඒ කාලෙ මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලෙ... මට නවකතා පොත් එකක්වත් නොගෙන මට ඕනෙ ම වෙලා තිබුණ පොත් එකක් හරි දෙකක් හරි තමයි ගන්න සිද්ද වුණේ...

------------------------------------------------------------------
 2007 සැප්තැම්බර්

දෙතුන් සැරයක් ම පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා ඒ වතාවෙ...මේ කාලෙ වෙනකොට මම රස්සාවක් කරනව... කලින් වතාවල වගෙ නෙවෙ මම පොත් ගන්නව කියල හිතල ම වෙන්කර ගත්තු මුදලක් මා ළඟ තිබුණ...ඒ නිසා මම දැක්කම ගන්න ආස කරපු නව කතාපොතුත් ගත්ත මම ඒ කාලෙ... එතකොට මම රාජ්‍ය සංස්ථාවක වැඩ කළේ, සංස්ථා පුස්තකාලේ තිබුණ පොතුත් බොහොමයක් ම කියවපු ඒ පුස්තකාලෙ යාවජීව සාමාජිකයෙක් වුණ මම සංස්ථා පුස්තකාලෙට පොත් ගේන්නත් එකතු වුණා ඒ සැරේ...

ඒ ගත්තු පොත් අතරින්

රයිඩර් හැගාර්ඩ්ගෙ Morning star කෘතියෙ සිංහල පරිවර්තනය "අමෙන් දෙවියාගේ දියණිය" (චන්ද්‍රසිරි දසනායක මහතාගෙ පරිවර්තනයක්)  , ස්ටෙෆන් ලොරෙන්ට් ගෙ "හිට්ලර්ගේ සිරකරුවෙක්" මම ගොඩක් ආසාවෙන් ම කියවපු තව ගොඩක් සැරයක් වුණත් ආයෙ ආයෙ කියවන්න ආස පොත් දෙකක්...

ගොඩක් වතාවක් කියවපු නිසාම මගේ හිතට කාවදින ම තැන් දෙකක් "අමෙන් දෙවියාගෙ දියණිය" පොතෙන් ජීවිතේට ම මතක හිටින්න එකතු වුණා.., එකක් "ඔබ මනුෂ්‍ය දුවක් නිසා කරදර හා බාධකවලට මුහුණ දී ඉන් ජයගන්නවා මිස අනාගතය දෙස එබී බලන්න යන්න එපා" කියල නෙතිර් තුආ රජ කුමරියට දෙන අවවාදය...

"Why, O Queen Neter-Tua, why wouldst thou know the future? If hell yawns beneath thy feet, why wouldst thou peep through its golden doors before the time? The future is hid from mortals because, could they pierce its veil, it would crush them with its terrors. If all the woes of life and death lay open the gaze, who would dare to live and who—oh! who could dare to die?"
"Then woes await me, O thou who wast my mother?"
"How can it be otherwise? Light and darkness make the day, joy and sorrow make the life. Thou art human, be content."
( Extracted from the book- Morning star)

අනික

අද දූලි ගොඩේ වැතිර සෙල්ලම් කරන දරුවාට හෙට නුඹට වඩා බොහෝ ඉහළින් තබන ඉරණමක් හිමිව තිබිය හැකි බව මතක තබාගන්න... ඔබත් ගවයාත් පණුවාත් අප අවට ඇති මේ එකම වාතය හුස්ම ගන්නා බව මතකයේ තබාගන්න...
 
"Remember that the beggar child playing in the sand may have a destiny more high than yours when all the earthly count is reckoned. Remember that you share the air you breathe with the cattle and the worm."

( Extracted from the book- Morning star)


මේ දෙක ම මගේ ජීවිත ගමන ඉස්සරහට යද්දි ජීවිතේ දිහාවෙ උපේක්ෂාවෙනුත් තවත් කෙනෙක් දිහාවෙ ඔහු හෝ ඇයට හිමි ගෞරවයෙනුත් බලන්න උදව් වුණා කියල මට හිතෙනව... ඒකමයි මේව මගේ හිතේ නොමැකෙන්න සටහන් වෙන්න ඇත්තෙත්...

------------------------------------------------------------
ඊට පස්සෙ ආයෙම පොත් ප්‍රදර්ශනය බලන්න යන්න දවසක් ආවෙ නෑ...
ගිය වතාවෙ ලංකාවට ගියාම නම් ... පොත් ගන්න කෑදරකම තිබුණට ගේන්න බෑ නෙ, අනික යනකොට මම ඒව ආපහු ගෙනියන්නත් එපෑ කියල හිතල නුගේගොඩ සරසවියෙන් පොතක් දෙකක් අරගෙන එන්න ආව...

ඒත්
අදත් ඉඩ ලැබෙන විදියට ඊ - බුක් එකක්වත් හොයාගෙන කියවන්නත්, හිතට එන දෙයක් කොහේ හරි සිංහලෙන් ලියල තියන්නත් ආස හිතෙන්නෙ මේ පොත් කියවන, කියවපු පුරුද්ද නිසාම වෙන්න ඇති...




Thursday, August 5, 2010

මතකය වළලන සුසානයක් නැත...

මතකය වළලන
සුසානයක් නැත...
සුසානයක ඔබ
තනි කෙරුවත්...

නිහඬ නිසංසල
සුසානයේ ඔබ
සැතපේ
සමගින් අතීතයත්...

නොරිකෝ ඇවිදින් ගියා අදත්...
සුසානයේ ඔබ දකිනු රිසින්....
මිහිදන් කරනට නොරිසි හෙයින්
මතකය අරගෙන ගියා යළිත්...



මළවුන්ගේ අවුරුදු දා- OBON  ළඟ ළඟ ම එනව.. මළවුන් වෙනුවෙන් ජීවත්වන්නවුන්ගේ ආදරය හා ගෞරවය පුද දෙන මළවුන්ගේ අවුරුදු දා...ඔබොන් ලංකාවෙ අපිට දැනෙන්නෙ නම් නොරිකො සං නිසා... නොරිකො සං එදාට දෙවෙන්දරා සං එනතුරු තාමත් බලන් ඉන්නව ඇති කියල හිතෙන නිසා...

මතක පොතේ පි‍ටු අතරෙ නොරිකෝ සං ඒ තරම් තදින් සටහන් කළ ඒ මහා ගත්කතුවරයා එදිරිවීර සරච්චන්ද්‍රයනුත් මතකයෙ ජීවත් වෙයි හැමදාටම...

Wednesday, June 23, 2010

ගුරුගීතය ...



දිල් සොයුරිය අකුරු කළ අල්තිනායිගෙ ලියමන...

සේද මීඳුම් සළු ලෙහාගෙන
අනන්තය තෙක් පියඹනා ලා අඳුර
හදවතේ ගැඹුරුම තැන සොයන සඳ
සිනාසෙයි ගෙවීයන කාලය
ප්‍රේමයෙන් ඔකද උන තරුණ සමයට
ආදරණීය දුයිෂෙන්……
කෝ කොහෙද
කොතැනකද නුඹ…………

ලතවෙන්නෙමි තවම මම
සීත ගං ඉවුරු යා කෙරුව
අයිලය හැරදා යා නොහැකිව
ආදරණීය දුයිෂෙන්…
ඇහුනාද පෙණ පොදක විලාපය
අහෝ….
ඒ නොවෙද මගෙ අතීතය….

වියළුන සිත් බිම් කඩ වෙත
වස්සානයේ පහස රැගෙන
අයිලයට එනවාද දුයිෂෙන්
ලද බොළඳ පෙම්වතිය
නුඹේ අල්තීනායි
මියැදෙන්නට පෙර…

මා අකුරු කළ දුයිශෙන්ගේ ලියමන...

අයිලය හැරදා
යාගන්න
බැරි වෙලා
ලතැවෙනා අල්තිනායි...

පොප්ලර් ගස් අතර අතීතය
වල දමා
හිනා පොදකුත් ‍රැගෙන
අනාගතයට යන්න...

නුඹට හිත බැඳි
බැඳුම් එලෙසමයි...
පොප්ලර් ගස් වගෙම
නිසලයි...
සුන්දරයි...

අයිලයේ ‍රැ‍ඳෙන්නට
බෑ ඉතින් නුඹට තව
අනාගතය ට නුඹ ව
ඕනෙමයි..
මගේ සෙනෙහස
සු'පැතුම් ද ගෙන
යන්න වෙන් වී ඉතින්
ආයුබෝවන්...

මම දුයිශෙන්...


මා දු‍ටු වර්තමානය...

ටියුෂන් කඩ පිල් ඇතුලේ..
ශිල්ප සතර විකිණෙද්දිත්
දුයිශෙන් ලා මම දු‍ටුවා..
දුයිශෙන් මට මුණගැහුණා...

සරසවියේ නා නා විධ
දේශකවරු අතරමැදත්
දුයිශෙන් එක වරක් නොවේ
දෙතුන් වරක් මුණගැහුනා...

දුයිශෙන්ලා නුදු‍ටුව නුඹ
හැරී බලන් තවත්
වරක්
තාමත් දුයිශෙන් මේ ලොව
ජීවත් වෙනවා...
අල්තිනායි නොවුන මටත්
ඉඳහිටවත් හමු වෙනවා....



Photo:http://www.nwpphotoforum.com/ubbthreads/JM_Pieces/2007_Interviews/Isaac/kashmir2.jpg

Thursday, May 6, 2010

කිරුල හිමි කුමරුට පෙම් බැඳ..?



තිරය පි‍ටුපස
කිරුල දරමින්
සිහසුන් හෙබවූ
අග ‍රැජිනයි

ඈ..

නුර් ජහාන්..

දැයක කිරුළ නොව
මා සිතේ කිරුල පමණක්
හිමි කුමරු වී නම්
සහසක් ලියන් හා
බෙදා ගන්නට
නොවනු ඇති මට

ඔබව...

කිරුල නොමැතිව
ඔබ කුමට මට
ඇතොවුරට නොව
අග බිසව් ලෙස
පමණක් ම එමි
මා..

සිතන්නී ඈ..

මෝගල් අදිරද
කිරුල හිමි
ඇගේ කුමරුයි
ඔහු...

සලිම් ජහන්ජිර්

කිරුල හිමි කුමරුට පෙම් බැඳ..?




Indu Sundaresan ගේ The Twentieth Wife කෘතිය ඇසුරෙනි..
(ප්‍රේමය පමණක් නොව ධනය, බලය වෙනුවෙන් ද ඔහු හඹායන ඈ මෙන්ම, රූ සපුව නිසාම ඇය හඹා එන ඔහු ගෙ පෙම් පුරාවත: මෝගල් අදිරද Salim Jahanjir හා ඔහුගේ අග‍රැජින Nur Jahan ගේ පෙම් පුවත මේ පොතේ විස්තර කෙරෙනවා... )


Photo: http://wwwdelivery.superstock.com/WI/223/1566/X1010/PreviewComp/SuperStock_1566-048402.jpg

Sunday, March 14, 2010

නෙතීර් - තුආ..


නෙතීර් - තුආ..

අඩක් දිව්‍යමය
ඔබ වෙනුවෙන්වත්
කරදර බාධක
තොර වූ ලෝකයක්
නොමැවූ..
අමෙන් රා...වෙතින්
මා වෙනුවෙන් කරදර බාධක
නැති ලොවක් ඉල්ලීම
විහිළුවක් පමණක්මද..?








(නෙතීර් - තුආ: ඊජිප්තු මිත්‍යා ප්‍රබන්ධවල මැවුම් දෙවියා අමෙන් රා ට දාව ‍රැජිනක ලබන දියණියකි.)

H.Rider Haggard ගේ 'The morning star' කෘතිය මා සිත ඇති කළ හැඟුම

Wednesday, March 10, 2010

මගේ ගුරුතුමාට, ආදරෙන්.. "TO SIR, WITH LOVE"



මගේ එක් පෞද්ගලික ප්‍රශ්නයකදි මගේ ගුරුතුමෙක් ප්‍රශ්නය දිහා මගේ පැත්තෙන් බලල අනිත් බොහෝ දෙනෙක් මා වෙනුවෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ තීන්දුව ලබා නොදී මාව තේරුම් ගත්ත.. ඉන් මගේ හදවත තුළ ඔහු වෙනුවෙන් ගොඩනැගී තිබුනු බලවත් ගෞරවයත් ඔහු ‍රැක ගත්තා..

ඒත් ඒ සිදුවීම මාව අතීතයට ‍රැගෙන ගියා, ගොඩාක් කලෙකට ඉස්සර මම පුංචි කාලෙ කියවපු "TO SIR, WITH LOVE " කියන පොත ආපහු මගේ මතකයට ගෙන ඒමට ඒ සිදුවීම සමත් වුනා.පොත ලියල තියෙන්නෙ "E. R. Braithwaite" කියන ලේඛකයා, 1959 දි. එංගලන්තයේ පහළ මධ්‍යම පාන්තික තරමක් නොහික්මුනු සුදු දරුවන් පිරිසකට ඉගැන්වීමේ අභියෝගය බාරගත් කළු ජාතික ගුරුවරයෙක් වුනු ඔහුගේ අත්දැකීම අසුරෙන් ලියවුනු සත්‍ය කතාවක්..

ගුරු සිසු සබැඳියාව සියුම්ව ස්පර්ශ කරමින් එහි සංවේදි බව මෙන් ම එකිනෙකාට ගරු කරමින් ඒ බැඳියාව ‍රැක ගන්න අයුරු පිලිබඳ සංවේදී සිදුවීම් පෙළක් තුළින් ඔහු කතාව ඉතාම රසවත් අයුරින් ඉදිරිපත් කරනව.
ගුරුතුමා කළු ජාතිකයකුද දරුවන් සුදු ජාතික ද වීම තුළින් එවක ට එංගලන්තයේ පැවති සුදු කළු භේදය පිළිබඳ අදහසක්ද පාඨකයාට ග්‍රහණය කරගැනීමෙ අවස්ථාව හිමිවෙනව.
නවකතාවේ තේමාව ඔහු ලබාගන්නෙ වසර අවසානයේ දරුවන් ඔහුට දුන් කුඩා සිහිවටනයේ ලියා තිබෙන වැකියකින්..

1967 දී එය චිත්‍රපටයක් බවටත් පත්වෙලා තියෙනව.. එහි අවසානයේ එන හැඟුම්බර දසුන් පෙළක් ‍රැගත් කුඩා කොටසක් මේ සටහනේ අවසානය ලෙස එකතු වෙනව.


සේයා රුව: http://www.amazon.com
(මට මතක නැති සහ නොදන්නා තොරතුරු http://en.wikipedia.org/wiki/To_Sir,_with_Love වෙතින්)

මම ම වන මම - Me being me

වෘත්තීයමය හෝ පෞද්ගලික සමාජ සම්බන්ධතා යන දෙවර්ගයේදීම මා තවත් කෙනෙකු සිටින ස්ථානයක හැසිරෙන විට ඒ මොහොතේ අත්විඳින මානසික සුරක්ෂිතභාවය මට මගේ හැ...