Monday, June 27, 2011

අනාගතය දැකීමේ තැත සහ Marriage Simulator

මිනිසා වන අපට අනාගතයට කර පොවා බලන්නට වරම් නැත. එතකුදු අනාගතයට කර පොවා බැලීමේ නොතිත් ආශාවෙන් පෙළෙන මිනිසා ඒ සඳහා නානාවිධ උපක්‍රම සොයා යයි. අතීතයේදී ද එය එසේම විය. වර්තමානයේ ද එය එසේමය. අනාගතයේ ද එය එසේම වනු ඇතැයි සිතේ.

අනාගතය දැකීමේ හැකියාව මිනිසාගෙන් වසං කර ඇත්තේ ඒ දැක එය විඳ දරාගැනීමට හැකියාවක් මිනිසාට නැති බැවිනැයි මා වරක් කියවා ඇත. අනාගතය දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබුණ ද, ස්ථිර ව අනාගතය දැකිය හැකි බවක් මට නොසිතේ. නුදුරු අනාගතයේ සිදුවිය හැකි යම්සිදුවීමක් වළක්වා ගතහොත් ඉදිරිය වෙනස් වන බැවිනි. ඊට හොඳම උදාහරණයක් ලෙස මා දකින්නේ අංගුලිමාල කුමරුන් සිය මව මැරුවහොත් අපාගත වනු දකින බුදුරදුන් ඊට පෙර ඔහු හමුවට වැඩම කර ඔහු බුදුන් දැක, නිර්වාණය අවබෝධ කළ රහතන් වහන්සේ නමක් කිරීමයි.

ලාංකීය හා බොහෝ දුරට ඉන්දියානු සම්භවය හා බලපෑම ඇති රටවල්වල මිනිසා විසින්, අනාගතය දැකීමේ නොතිත් ආශාව ජ්‍යෝතිශය යොදා ගනිමින් යම් තරමකට සමහන් කරගනු පෙනේ. සාස්ත්‍ර කීම හා ඇසීම දිනෙන් දින එය කියන පුද්ගලයා ද යොදා ගන්නා උපාය මාර්ගය ද පමණක් වෙනස් වෙනස් වෙමින් අප සමග ම යයි. කෙතරම් දැනුවත් වූව ද වංචාකාරයින්ට හසුවීම ද මේ නොතිත් ආශාව නිසා ම වේ. මට වටහා ගනු නොහැකි නමුදු මේ සියල්ල බොරුවකැයි කීමට ද ඉක්මන් නොවෙමි. වටහා ගනු නොහැකි වුව ද ඒවායේ යම් යම් සත්‍යතා මම ම අත්විඳ ඇති බැවිනි.

මේ සිතිවිලි රැස අද මසිත ජනිත කළේ ජපන් කෙටි චිත්‍රපටයක් විසිනි. අනාගතය දැකීමේ කුතුහලය ඉහළම තලයේ පවතින්නේ යොවුන් වියේදී යයි මම අසා ඇත්තෙමි. මෙය ද සිය විවාහ දිවිය කෙබඳු වේදැයි බලන එවන්යොවුන් පෙම් යුවලක කතාවකි. වඩාත් සාර්ථක හා සත්‍යයට වඩා ළං වූ උපායමාර්ගවලින් අනාගතය දැකීමේ තැත පිළිබඳ විග්‍රහයකි.

ඉංග්‍රීසි උපසිරසි සහිතව යූ ටියුබ් හි නැරඹිය හැක.
http://www.youtube.com/watch?v=2EzWRPvgtP8
http://www.youtube.com/watch?v=jhgDsGgRrNs&feature=related
http://www.youtube.com/watch?v=zY9Ic0GuDEY&feature=related

Tuesday, June 21, 2011

සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී...

පෙම් සබඳතා බිඳී ගිහින්, දෙදෙනා දෙපසට ගියත් පෙම නොමියෙයි... පෙම්වතුන් ද නොමියේ... ඔවුන් තවත් කෙනෙක් හා පෙමින් බැඳී නව දිවි අරඹයි... කාලයේ වැලිතලාවේ සැඟව ගිය පෙම  තනිවුණ සංසුන් නිමේෂයක මිහිරි සුවඳක්ව සිත තුළ සුවඳ දේ...

අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුණාවේ

අතරමඟ සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ

පද රචනය රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය කරුණාරත්න දිවුල්ගනේ

ගීතය මම දැක්කෙ සිළුමිණ රසඳුනේ තිබිල... දැක්ක ගමන්ම මගේ හිතගත්ත නිසා මේ එක්කිරීම...

අහන්න සින්දුව...



Thursday, June 16, 2011

ඇගේ මළගම නොදුටු මා සිත...


එවක නව යොවුන් වියේ සිටිය ද මිතුරු මිතුරියන් හා ගත කිරීමට වඩා ඈ හා දොඩමළුව සිටිම මට ප්‍රිය විය. ඉතා රසවත්ව කෑම පිසින ඈ මා ප්‍රිය කරන කෑමක් සාදාදෙන්නට උත්සුක වූයේ මගේ ම අම්මා මෙනි. ඒ වනවිට මගේ අම්මාගේ අසීමිත ප්‍රවේශම් කිරීමෙන් හෙම්බත්ව සිටි මට ඇගේ ළඟ ජීවත් වීම සතුටක් විය. ඈ උණ හෙම්බිරිස්සාවකට බෙහෙත් අහුරු ගණන් ගිලින්නට සිදුකළේ නැත. එය ඉවසා දරා ඉන්නට හුරු කළාය. කෙටියෙන්ම ඈ ජීවිතය දරා ඉන්නට මා හුරුකළාය.

දුකක් දැනුන කළ ද සතුටක් දැනුන කළ ද එසේත් නැතිනම් හේතුවක් නැතිවම ද ඈ ළඟට ගොස් ඈ හා දොඩමළුව ඉන්නට මම ප්‍රිය කළෙමි. ඈ ද එසේමය. මට අම්මා නොවූව ද ඈ අම්මා මෙන්ම මා කියන දේ ද නොකියන දේ ද සිතන දේ ද සියල්ල වටහාගත්තාය. අප ගැන කතා කිරීමට ඇති සියල්ල කියා අවසන් වූ කළ අප දෙදෙනා පොත් පිටු අතර මැවුණ චරිත සමග ජීවත් විමට පටන් ගන්නෙමු. අප ගැන කතා කරනවාටත් වඩා එය අප දෙදෙනාටම ප්‍රිය වූ මාතෘකාවක් විය. හැමවිටම අප දෙදෙනාගේ අදහස් සම නොවූව ද කිසිවිට මතගැටුමකින් ඒ සාකච්ඡා නිමා නොවීය.

----------------------

එක්තැන් නොවුණද ඈ කෙමෙන් දුර්වල වූවාය. එවක ද ඈ පුවත්පතක හෝ යමක් කියවීමට උත්සුක වූයේ කියවීම ඈ තුළට කිඳා බැස තිබුණ හෙයිනි. කෙමෙන් තනිකම ඈ වෙළාගනු මට දැනිණ. දුර්වල වන ඈ දැකීම දුකක් වුව ද හැකි හැමවිට ඈ දැකීමට එකල ද මම ආසා කළෙමි. ඈ ද පෙර මෙන්ම සිය සිත මා ඉදිරියේ විවර කළාය.

දූ දරුවන්ට සිය යුතුකම් ඉටුකර අවසන නිදහසේ ජීවත් වූ ඈ, ඔබ මා දකින උපාසිකාවක නොවූ නමුදු බොහෝ දුරට ආත්මාර්ථය හීන කළ ආශාවන් අඩු තැනැත්තියක වූවාය. ලෝකයාට පෙනෙන්නට පින්කම් නොකළ ද, ඈ කළපින් බොහෝ විට ඔබටත් මටත් කළ නොහැකි බව නම් මම දනිමි. ඒ නිසාම ඈ සිය අවසන් කාලය ගතවන බව දැන හුන් සේම, ඒ ගැන බියක් හෝ පසුතැවිල්ලක් ද නොවින්දාය.

ඈ තවදුරටත් නැත.

ඇගේ මළගමට සහභාගී විමට මසිත ඉඩ නුදුන්නේ මන්දැයි මට අද ද සිතාගනු නොහේ. ඊට සහභාගි නොවීමට මට හේතුවක් තිබුණේ නැත. එහෙත් එහි යෑමට මා අකමැති වූ හේතුව ජීවමාන ඈ මසිත තබා ගැනීමේ ආශාව හෝ අනෙකක් වන්නට ඇත.

ඈ මෙලොව හැරගොස් මේ වනවිට වසර පහක් පමණ ගතව ගොස්ය. ඇගේ මළගම තිබුණේ කුමන මාසයේද වත් යන්න මගේ මතකයේ නැත.  එහෙත් අද උදෑසන ද ඈ නැවතත් මගේ ලෝකයේ ජීවමාන වූවාය.

සේයා රුව:
http://www.flickr.com/photos/95112192@N00/5258649391/

Monday, June 13, 2011

අඩසියවසක නිහැඬියාවකින් පසු...(චිලි ගිනිකඳු පිපිරුම)

අඩසියවසක් නිහඬව හුන් චිලි රටේ Puyehue-Cordón Caulle ගිනිකඳු පන්තිය නැවත වරක් ක්‍රියාත්මක වෙලා, ජුනි හතර වෙනිදා... උදේ වරුවේ සිදුවුණ අනතුරු හඟවන භූ කම්පා රැසකින් පස්සෙ...හවස්වරුවෙ ගිනිකන්ද පුපුරලා...රික්ටර් මාපාංක 4.0 ට වැඩි භූකම්පන 12කුත් ඇතුළුව භූ කම්පන 230 ක් විතර සිදු වුණාලු...ගිනි කඳු පිපිරුමත් සමගින් 3000 ක් පමණ දෙනා ප්‍රදේශයෙන් ඉවත් කරගන්න චිලි රජයට සිදු වුණාලු...
ගිනිකඳු පිපිරුමෙන් නිකුත්වුණ අළුවලින් සමහර ගංගා, පාරවල්, ගොවිපොළවල් වැහිල ම ගිහින්... සමහර ඒව මීටර් බාගයක් විතර ගනකම් අළු තට්ටුවකින් වැහිලා...


A view of the Nahuel Hapi lake in Bariloche, covered by ash from the Puyehue volcano. AFP PHOTO / Francisco Ramos Mejia

මෙය රූගත කරගන්නත් වීඩියො කරගන්නත් උනන්දු වුණ අය නිසාවෙන් මෙහි විශිෂ්ට ගණයේ සේයා රූ හා විඩීයෝ පට බොහොමයක් තියනව, බොහෝ වෙබ් අඩවිවල...
මේ එවැන්නකින් ලබාගත් වීඩියෝ පටයක්...



භූ ගැබ තුළ ඇති අති දැවැන්ත පීඩනය මුදාහරින ගිනිකඳු විවරය...



තරුකැට වගෙ දිලියෙන ගිනිපුළිඟු මවන සොඳුරු දසුන...
මේ ගිනිකඳු පිපීරුමක් සමග ඇතිවන විදුලි අකුණු... Volcanic lightning කියන අපූරු සංසිද්ධිය
ගිනිකඳු පිපිරුමත් එක්ක නිකුත්වන අලු, ගල් කැබලි, ලාවා එක්කම සෑහෙන අයිස් ප්‍රමාණෙකුත් එළියට එනවලු... අළුවළා තුල මේව ගැටෙද්දි සිදුවන ස්තිථි විද්‍යුත් විසර්ජනය මේ විදියට අපිට දකින්න ලැබෙන්නෙ ඒ නිසා කියල තමයි ඒ ගැන පර්යේෂණ කළ විද්‍යාඥයො කියන්නෙ...


Volcanic lightning is seen over the Puyehue volcano. (AP Photo/Francisco Negroni, AgenciaUno)

මේ වෙද්දි ගිනිකඳු පිපිරුම හීනවෙමින් පැවතුනත් එය ලෝකයට කළ බලපෑම තවම නැවතිලා නෑ...ගිනි කඳු අළු වළාකුලු පැතිරුම නිසා චිලි, ආජන්ටිනා උරුගුවේ රටවල්වල සමහර ගුවන් තොටුපලවල තාවකාලිකව වසා දමන්නත්, ඔස්ට්‍රේලියා නවසීලන්ත කලාපයේ පවා, ලොව ප්‍රධාන ගුවන් ගමන් සේවා කිහිපයකම ගුවන් ගමන් අඩාල කරන්නත් වාලුගෝලයේ රැඳුන ගිනිකඳු අළු සමත් වෙලා...

විස්තර සහ සේයා රූ...
http://www.heraldsun.com.au/news/photo-gallery/gallery-e6frf94x-1226070116594?page=1
http://bigthink.com/ideas/38754
http://en.wikipedia.org/wiki/2011_Puyehue_eruption
http://www.flickr.com/photos/cashflowchampion/5807132621/in/set-72157626780666161/

Tuesday, June 7, 2011

අරාබි නිසොල්ලාසය හෙවත් එක්දහස් එක් රැය (Arabian nights)

මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.?
සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත සේම වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දෑ නිර්මාණය කළ අරාබි නිසොල්ලාසය සිය ජීවිතය බේරාගන්න එක් යුවතියක් එක්දස් එක් රැයක් තිස්සෙ කිවූ අපූරු කතාමාලාවක්...

 
Illustration by H.J. Ford (1898)

මේ කතාමාලාව පර්සියන් රජකුමරෙකුට ඔහු විවාහකරගත් බිරිඳ විසින් එක්දහස් එක් රැයක් තිස්සේ කියල තියනව...
මේ කතාමාලාව හා බැඳෙන්නෙ,  පර්සියන් රජකෙනෙක් වෙන Shahryār රජතුමා සහ ඔහුට මේ කතාමාලාව කී ඈ, පසුකාලයක ඔහුගේ රැජින වුණ, Scheherazade රැජින...

සිය සොයුරාගේ බිරිඳත්, තමා බොහෝසෙයින් ආදරය කළ සිය බිරිඳත් දෙදෙනාගේම විශ්වාසඝාතක භාවය නිසා සමස්ත ස්ත්‍රීන් කෙරෙහිම කලකිරුණු මේ රජතුමා සෑම රැයකදීම එක් කන්‍යාවක් බැගින් විවාහ කරගෙන ඇය විශ්වාසඝාතකව තමා නින්දාවට පත්කිරීමට පෙර සෑම උදෑසනකම මරා දැමීමට පුරුදු වුණා... මේ විදියට ගෙවුණු වසර තුනකින් පසු මුළු රාජධානියම දුක් අඳෝනාවලින් වැසී යද්දී  දහසක් පමණ යුවතියන් මරණයට පත්වී තිබුණා... අවසන රජුට කන්‍යාවන් සැපයීම සිදුකළ අමාත්‍යයාට ඔහුගේ රූමත් උගත් දියණිය ඊළඟ රැයේ රජතුමාට බිලිදීමට සිදුවුණා...
ප්‍රඥාවන්ත කුමරියක් වූ ඈ, දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවලිය නැවැත්වීමටත් සිය ජීවිතය බේරා ගැනීමටත් අපූරු සැලැස්මක් සකස් කළා...

ඈ තමා ජීවත්වන අවසාන රැයේ තමාට බොහෝසෙයින් ආදරය කරන සිය නැගණිය ද තමා සමග නවත්වා ගැනීමට රජුගේ කැමැත්ත ලබාගත්තා...ඇගේ සැලැස්මේ පරිදි හිමිදිරි යාමයේ ඇහැරුණ නැගණිය ඈට ලස්සන කතාවක් කියන්න ඉල්ලීමක් කළා...රැයේ අවසන් හෝරාවේ සිය නැගණිය සතුටු කිරීමට රජුගේ ද අවසරයෙන් එක් සුන්දර කතාවක් කීමට පටන්ගත්තත්...

උදාවන හිමිදිරියේ කතාව අවසන් වුණේ නෑ...

කතාව අවසන්වනතුරු ඇසීමට ලොල් වූ රජතුමා එදිනට පමණක් ඇයට ජීවත්විමට ඉඩදීමට තීරණය කළා... ඊළඟ රැයේද ඒ කතාව අවසන් කර තවත් අලුත් කතාවක් පටන් ගත් ඈ හිමිදිරියේ එහි අවසන් කොටස ඉතිරි කළා... මේ විදියට ගෙවුණු එක්දහස් එක් රැයක් අවසන ඇගේ කතාත් අවසන් වුණා...

එහෙත් ඒ වනවිට, ඈ කෙරේ පෙමින් බැඳුන, වඩා කරුණාවන්ත හා දුර දක්නා මිනිසකු ද ඇගෙන් ලද පුතුන් තිදෙනෙකුගේ පියෙකු ද වී සිටි රජතුමා ඇය රැජින කරගෙන සිය ජීවිතයේ ඉතිරි කාලය ගතකිරීමට තීරණය කළා...

රාජධානියේ අවාසනාවත් කාලය අවසන්කර, සිය ජීවිතය ද රැකගත් ඈ කී මේ කතාමාලාව අරබි නිසොල්ලාසය ලෙසින් ලෝකයට එක්වුණා...

පුරාණ හා මධ්‍යතන යුගයේ ඉන්දියානු, අරාබි, ප‍ර්සියානු හා ඊජිප්තියානු ජනකතාවල ආභාශය මෙහි රැඳෙන බව කියවෙනවා... පුරාණ ලියවිලිවල මේ කතා ගැන ලියවෙන අතරෙම, 1706 දි මුල් වතාවට ඉංග්‍රීසි භාෂාවෙන් මේ කතාමාලාව මුද්‍රණය වෙලා තියෙන්නෙThe arabian nights කියල... Antoine Galland ගෙ පරිවර්තනයක් විදියට...
වියයුතු වූ පරිදිම එකිනෙක ඈඳෙන මේ කතා කතාවක ඇතුලෙ තවත් කතාවක් කියවෙන විදියට තියෙනවලු... පසුකාලීනව තවත් ජනකතාත් මේකට එකතු වෙලා තියනවලු ඒ ඒ ලේඛකයන් අතින්... ලස්සන නිර්මාණ බොහොමයකට පාදක වුණ එක්දහස් එක් රැයේ කතා මාලාවෙ රජතුමාත් රැජිනත් මෙන්න මේ විදියට හිටියලු 2000 නිර්මාණය වුණ මිනිසෙරීස් එකේ...


Mili Avital as Scheherazade and Dougray Scott as Shahryar, in the ABC/BBC Miniseries Arabian Nights (2000).

Wednesday, June 1, 2011

TEDDY BEARS...ටෙඩි බෙයාවෝ...

ටෙඩිබෙයාවො...කියන ඕනෙම දෙයක් හරස් ප්‍රශ්න අහන්නෙ නැතිව සාවදානව අහගෙන ඉන්න, දුක හිතිල අඬද්දි සද්ද නැතිව ළඟට වෙලා ඉන්න, තනියි කියල හිතිල ඉන්න වෙලාවට තනියට ඉන්න ටෙඩිබෙයාවො...
බබාලගෙ වගෙම බොහොමයක් ගෑණුළමයින්ගෙත් අවදානය තදින්ම යොමුවෙන, ආදරේ උදුරගන්න ටෙඩිබෙයාවො...

මේ ගොල්ලො ලෝකෙට එකතුවෙලා තියෙන්නෙත් හරිම අපූරු විදියකට...
ඒ ගොල්ලො මේ ලෝකෙට මුලින්ම එකතුවෙලා තියෙන්නෙ 1902.
එයාලට මේ නම ලැබිල තියෙන්නෙ හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් වන තියඩොර් රූස්වෙල්ට් ගෙ සුරතල් නම වුණ ටෙඩි වලින් බිඳිල ඇවිත්... Teddy's bear පස්සෙ කාලෙකදි ටෙඩිබෙයා වෙලා...
ඒ අතීත සිදිධිය කියවෙන්නෙ මෙන්න මේ විදියට...
මිසිසිපි සහ ලුසියානා ප්‍රාන්ත අතරදේශසීමා ප්‍රශ්නයක් විසඳීම වෙනුවෙන් එහි ගිය තියඩෝර් රූස්වෙල්ට් ජනපතිවරයාව, විනෝදය සඳහා වලස් දඩයමක එක්ක යන්නත් ඔහුව එහි ගෙන්වාගත් ආරාධිතයන් අමතක කරල නෑ...ඒත් ඉතාම අසාර්ථක දවසක් වුණ එදා එකම වලහෙක්වත් හම්බෙලා නෑ... ඒත් මේ අය ජනපතිවරයාව සතුටු කිරීමේ අරමුණින් කොහෙන්දෝ හොයාගත් වලස් පැටියෙක්ව ගැටගහගෙන ඇවිත්...ඒත් මේ ජනපතිවරයා ඒ වලස් පැටියට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරල...
ක්ලිෆර්ඩ් බෙරිමන් කියන කාටූන් ශිල්පියාගෙ තෙලිතුඩින් ඒ සිද්ධිය මෙන්න මේ කාටූනය බවට පත්වෙලා...


 මුලින්ම මේ සංකල්පය ලෝකෙට එකතු කරපු කාටූනය තමයි මේ... මේ කාටූනය නම් කරල තියෙන්නෙ Drawing the Line in Mississippi  කියල..

ඉතාම ආකර්ශනීය හා ජනප්‍රිය වුණ මේ කාටූනයේ හිටි වලහා නිව්යෝක් නගරයේ යුවලක් (Morris and Rose Michtom) අතින් පුලුන් පුරවපු ටෙඩි බෙයාවෙක් වෙලා... කාටූනයෙ වගේම... වාඩිවෙලා ඉන්න අහිංසක සුරතල් එක්කෙනෙක්...මේ ටෙඩිබෙයාවට තිබුණ ඉල්ලුම කොච්චර ද කියනව නම් Butler Brothers කියන නිපැයුම්කරුත් එක්ක මේ යුවල මහා පරිමාණයෙන් ටෙඩි බෙයාවො නිශ්පාදනය පටන් අරගෙන...

ඒ වෙනකොටත් පූසො, බල්ලො හාවො වගේ, පුරෝපු සුරතල් සතුන් නිශ්පාදනය කරමින් සිටි ජර්මන් ජාතික ආයතනයක් (Steiff firm)වෙනුවෙනුත් Richard Steiff මේ කාලෙදිම වලස් පැටියෙක් නිරමාණය කරල තියනව...

මේ විදියට විකාශනය වුණු නිර්මිත සුරතල් සත්තු අද වෙනකොට ලෝකයම ආක්‍රමණය කරල විතරක් නෙවෙයි, ජනප්‍රිය කාටුන් සත්තු ඇතුළුව ලෝකෙ ඉන්න හැම සතෙක්ම වගේත් මේ ගොල්ලො අතරටත් එකතු වෙලා...
මේ ජනප්‍රියම චරිත දෙකක් වෙන ටොම් සහ ජෙරී මේ අතරට එකතු වෙච්ච වෙලාවක්...
 
මේ සුරතල් සතුන් විවිධ රෙදිවර්ගවලින් මහල විවිධ දේ පුරවල හදනව... ලී කුඩු, ලී රොඩු, රෙදි කෑලි, පුළුන්, වූල් වගෙම රබර්වලින් පොලියෙස්ටර්වලින් කෘතිමව නිෂ්පාදිත (Polyester foam beads ) පුරවන ද්‍රව්‍යවලිනුත් පුරවල හදනව... හුරතලේට ළඟ තියාගන්න මෙයාල එක්කෙනෙක්ව තෝරගනිද්දි මෙයාල පුරවපු දේ වගෙම මහල තියෙන රෙද්ද ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වේවි... එහෙම නැත්නම් සමහරවිට මේවයෙ අපට අසාත්මික වෙන දේවල් තිබිල අපට හානිකර වෙන්නත් පුලුවන්...

බොහොම ආදරණීය ටෙඩිබෙයාවෙක් හරි, ජිරාෆියෙක්ව හරි හොඳට තෝරල ගත්තම ආදරෙන් හුරතලේට ළඟ ඉඳිවි...


http://www.teddybearandfriends.com/archive/articles/history.html
http://www.funkyfriendsfactory.com/2011/05/04/toy-stuffing/


මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...