Monday, February 25, 2019

මෙහෙයවන සෙනෙහස...




අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් කියවා දැන ගැනීමට සිදුවන අවස්ථාවක මම කියවා සොයාගත් තොරතුරු ටිකක් මේ.  සිදුවීම මසිත කම්පනය කළ නිසාත්, තොරතුරු කාට හෝ ප්‍රයෝජනවත් විය හැකි නිසාත් පුද්ගල අනන්‍යතාව සඟවමින් කතාව මෙහි ලියවෙනවා...

ඒ කතාව අනුව ඇය සතු ඉතාම ආදරණීය පෙම්වතෙක් සිටිනවා... ඇය ඔහුට ඉතා තදින් පෙම් කරන අතරම ඔහුත් බොහෝවිට ඇයට ඉතා තදින් පෙම් කරනවා... නමුත් ඇතැම්  අවස්ථාවලදී ඔහු ඇගේ ජීවිතයට සීමා ඉක්මවා අත පොවමින් ඇගේ අධ්‍යාපන කටයුතු පවා අවුල් කරනවා... ඇය ඔහුට පෙම් කළත් ඇතැම් බලපෑම් කළමනාකරණය කරගැනීම ඇයට ඉතා අපහසුයි... ඒ ඇගේ කතාව...ඉතාම කෙටියෙන්...

මට කිසිදා ඔහුගෙ කතාව අසන්නට ලැබෙන්නේ නෑ...

කතාව ඒක පාර්ශ්වික නමුත් ඒ විස්තර කළ ඇතැම් ලක්ෂණ හඳුනාගෙන ඇයට සහනය ලබාදීම හෝ එමගට යොමුකිරීම මගේ වගකීම වුණා...

ඒ ඇතැම් විශේෂ ලක්ෂණ පිළිබඳව අවදානය යොමු කිරීමේදී හා ඒ පිළිබඳ තොරතුරු සොයා අන්තර්ජාලය පිරික්සීමේදී ඒ තොරතුරු හා සමවන ලක්ෂණ සහිත සබඳතාවල පෙම්වතා බොහෝ විට පාලනය කිරීම හා හැසිරවීම යන චරිත ලක්ෂණ සහිත පුද්ගලයෙකු බව කියවන්නට ලැබුණා...

එහි මා දුටු ඉතාම අවදානම් සහිත ලක්ෂණය නම් එවන් පුද්ගලයන් සෑමවිටම ප්‍රචණ්ඩ ලෙස ක්‍රියා කිරීම සිදුවන්නේ නෑ...
ඔහු හෝ ඇය බොහෝවිට තමා දුර්වල බව අඟවමින් තම සහකරු භාවාත්මක මෙහෙයවීම ක නියලෙනවා... එහි අවසානය වන්නේ අනිකාට රිදවීම තම වරදක් ලෙස සලකමින් මේ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ සහකරුවන් තමා විසින් තමා වරදකරු කරගනිමින් ඉතා දැඩි මානසික පීඩනයකට ලක්වෙමින් සබඳතාවය තුළ රැඳී සිටීමයි...

ඊට අමතරව ඔවුන් තම සහකරු ඇගේ හෝ ඔහුගේ මිතුරන්ගෙන් නෑදෑයන්ගෙන් ඈත් කිරිමට ද පෙළඹෙනවා... මේ කතාව මා වෙත ගෙනා අයට ද නිවාඩුවට සිය නිවසට යාම පිළිබඳව පෙම්වතාගේ අකමැත්ත හා තදින් ගැටීමට සිදුව තිබුණා...

මේ සා විසල් ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ හැකියාව මට නොතිබුණ නිසා සිදුවීම අදාළ මගට යොමු කළත් එහි කම්පනය නිසාවෙන් හා තොරතුරු යමෙකුට ප්‍රයෝජනවත් විය හැකි නිසා සටහන් කෙරෙනවා...

Thursday, January 17, 2019

අමදින්නී...

නුපුරුදු පරිසරයෙ නුපුරුදු මිනිස්සු අතරෙ නුපුරුදු ගැහැණියක් විදියට ඈ මට මුණ ගැහුනෙ....

ඇගේ රූපය මට මතක් කළේ සුරංගනා කතාවල නපුරු මන්තරකාරිව...

මූණෙ රැවුල වැවුණු ගෑණු නපුරුයිළු...මූසලයිළු...
ඕව මම පුංචිකාලෙ ලොකු මිනිස්සු කියනව ඇහුණ කතා...

ඈ මුල්ම දවසෙ දැක්කම මට ඒ කතා මතක් වුණා...

------------------------------------------

 
මූණ බැලුවට ඈ මාත් එක්ක හිනාවුණේ නෑ...
ඒත් මම ඇරුණු ජනෙල් පියනෙන් දිගටෝම ඈ දිහා බලාන හිටියා...

මිදුල් කෑල්ල අතුපතු ගාල ඉවරයි... කුණු අස්කරන්නම ගන්න තියාගෙන තියෙන කවුදෝ අහක දාපු ඇඳඇතිරිල්ල උඩට කුණු ටික එකතු කරගෙන ගිහින් අහකට දාල,

ඈ යන්න ගියා...

-----------------------------------------

ඔවුන්ගෙ සුපවයිසර්වරයත් ගෑණු කාණ්ඩෙ වට කරගෙන සුපවයිස් කරන තණකොළ කැපිල්ලට, වත්ත සුද්ද කිරිල්ලට ගන්න කණඩායමට ඈ ඇතුළත් වෙන්නෙම නෑ... ඒ කණ්ඩායමට ඇතුළත් නොවුණදාට වෙනද ඒකට ඇතුලත් වෙන ගැහැණු සුපර්වයිසර්වරයට බනිනව...

 "මෙච්චර අතුගාන්න ඉන්නෙ අපි දෙන්නයි... සුපවයිසර් මහත්තය එතන ගෑණුටික වට කරගෙන කතාව" කියල...

කිසිම දවසක කට්ටියත් එක්ක එකතු වෙලා කාටවත් බැන බැන ඉන්නව දකින්න නොලැබෙන මේ ගැහැණියගෙ විරූපි රූපය අබිබවා ඇගේ සුහදශීලීබව මගේ හිත ගත්තෙ කාලෙ ගතවෙද්දි...

ඈ බොහොම පාන්දරින් ඇවිත්...වෙනදටත් වඩා උදෙන් ආපු මාත් එක්ක ඈ හිනා වෙන්නෙ බොහොම සුහදශීලීව...

-----------------------------------------

"මට දවසකට රුපියල් 700 ක් ම හම්බවෙනව සර්..." ඈ කෙනෙක් එක්ක දවසක් එහෙම කිව්වෙ බොහොම තෘප්තියෙන්...

ඈ සුවිශේෂියි කියල මට හිතුනෙ එදා...

------------------------------------------

Friday, January 4, 2019

අතත්‍යක් තුළ තත්‍යය අතගා...


සසර පුරාවට යන දිගු ගමනේ නෙකවර අප හමුවෙන්න ඇතී
සසර පුරුද්දට ආදර සිතිවිලි මේ භවයෙත් මතු වෙන්න ඇතී
සුපුරුදු සෙනෙහස අවදිව ආයෙම පෙමින් බැඳෙන්නට හිතෙන්නැතී
ඔබ අන්සතු බව ඒ මොහොතේදී ඔබටම අමතක වෙන්න ඇතී

පුදදෙන සෙනෙහස ළය සඟවාගෙන රකින්න මට අයිතියක් නැතී
ඔබෙ හිත වෙනුවෙන් ඔබ වෙත දෙන්නට මගෙ හිත මට හිමිකමත් නැතී
අන්සතු සෙවණක සිහිලස ගින්නේ දැවෙනා හෙයින් නිතී
ඔබෙ සිත ඔබටම ආපසු දෙන්නෙමි යනු මැන මෙයින් මිදී

Image : https://andrewblackman.net/what-people-are-saying-about-a-virtual-love/

Tuesday, January 1, 2019

After he became my life partner...

ජනවාරි මාසෙ පළමුවෙනිදා... කාලයක් තිස්සෙ නිහඬව තිබුන වියුණු සටහන් ආයෙමත් ලියන්න මට හිතිලා...





මෙච්චර දිග කාලයක් වියුණු සටහන් නිහඬ වුණේ හිත ගොළු වුණ නිසා... ප්‍රේමය දෙතොල් අගුළු දාන හැඟීමක් වෙලා නෑ කිසිම දවසක මගෙ හිතේ... මගේ වුණත් අනුන්ගෙ වුණත් ආදර හැඟුම්, අත්දැකීම් හැමදාමත් මගේ හිත ඇතුළෙ කවි වෙලා ලියවුණා...

ඒත් මල්ඵල දරපු ආදරය විවාහයක් වෙලා පෙම්වතා මට සදහටම අයිති වුණාම, ආදර හිත ගොළු වෙලා ආදරය වචන කරන්න බැරි අවුරුදු පහක් මම විවාහය ඇතුලේ ආදරේ කළා. ඒ කාලය ආදරය හා විවාහය ගැන මගේ හිතේ තිබුණු ගොඩක් අනුමාන කිරීම් ගැන නැවත හිතල බලල තීරණය කරන්න, ඇත්තටම මම මගේ විවාහය ඇතුළේ මම විදියටම ඉතිරි වුණාද කියල ආපහු නැවතිල්ලේ හිතල බලන්න ගත කළා.

විවාහයෙන් අවුරුදු පහකට පස්සේ අද මම අවබෝධ කරගෙන ඉන්නේ විවාහය කියන්නේ එකිනෙකාගේ සිහින සැබෑ කරගැනීමට යන ගමනේ මුහුණ දෙන දුක් පීඩා බෙදා ගන්න සහකරුවෙක්, හිතට දැනෙන දේ ඒ විදියටම කියන්න විශ්වාස කෙනෙක්, හැම දෙයක්ම නැතිවුණත් එන්න තැනක් තියනවා කියල දැනෙන මහා විශාල සවිමත් බවක් දෙන්න කෙනෙක් ජීවිතේට එකතු වුණා කියල.

ඒත් ඉතින් මේ විදියට දැනෙන්නේ, ජීවිතය පැය තුනක චිත්‍රපටියක් නොවෙන බව අවබෝධ කරගන්න තරම් පරිණත නම්, මට වගේම මගේ සහකරුටත් මේ විදියටම දැනෙන්න මම ජීවත් වෙන්න ඕනේ බව අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් නම්... ඔහුටත් මට වගේම දුක වේදනාව දැනෙන බව තේරුම් ගන්න තරම් කරුණාවන්ත නම් විතරයි...




Monday, November 25, 2013

මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද එදා මගේ හිත පිරිමැදපූ...




නිල් අහස පුරාවට තරු ඉහිරෙද්දි
රහස් කතා කර සිනාසුනු
ගගන එකළු කර සඳ පායද්දී
සඳ සෙවණැල්ලට මුවාවුණු
නුඹ කතා නොකර ඉන්නා එක දවසට
කල්ප කාලයක් සේ දැනුනු
මේ එදා තුරුළු වී අනන්තයට ගිය
රාත්‍රියද සිහිනය රැඳුනූ

එක නිමේෂයක දිලි දිලී මැකී යන
රන් රේඛාවක් සේ ඇඳූනු
නෙතු පියන් වැසූන එක නිමේෂයක
සිත ගෑ අඳුනක් සේ මට දැනුනු
ගල කෙටූ ලෙසින් මා හදේ නිදන් කර
සදා රකින්නට හිත රැඳුනු
මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද
එදා මගේ හිත පිරිමැදපූ

Saturday, September 7, 2013

ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනා…

 
විහඟ ගීයේ තනුව ඔබ සෙනෙහේ...
හමන පවනේ රිද්මයත් සෙනෙහේ...
සරා සඳ ‍රැස් සිහිල කීවෙත්
මිහිරි බව සෙනෙහේ..

දිලෙන තරු කැට මුමුණනා වදනේ..
දැව‍ටුනා ලූ රහස අප සෙනෙහේ...
පුළුන් වළාසළු දැවටිලා ගුවනේ..
මිමිනු වදනෙත් ‍රැඳුනි ඔබ සෙනෙහේ...
මල් කැකුළු සමනළුන්ට ද කී...
රහස ඒකළු අපට හොර රහසේ...

ඉරිතැලුන කෙම් බිමට
පොද වැස්ස වී වැ‍ටුණ
නුඹෙ නමට පණ පෙවුණු
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනාවයි මේ...

Thursday, July 18, 2013

මායාවේ ගැලෙන මිනිසා...

දෑසින් දකින ලෝකය මනසින් අර්ථ දක්වන්නෙකි මිනිසා...
මිහිතලය මත ජීවත් වන වඩාත් බුද්ධිමත්ම සත්වයා ද මිහිතලයේ එකම හිමිකරු ද ලෙස ඔහු තමා අර්ථ දක්වා ගත්තෙකි....
මිහිතලයෙන් එපිට ද දකින්නට දැල්වූ අපේක්ෂාවන්ගෙන් ඔද වැඩුනු ඔහු, සිය මසැස ඒ සඳහා ප්‍රමාණවත් පරිදි පරිණාමය නොවන කල, සිය මසැස ද මනස ද සිරුරෙන් පරිබාහිර පරිණාමයකට ලක් කරමින් දුරේක්ෂ හා පරිගණක නිපදවමින් ඒ හරහා....
මිහිතලයෙන් එපිට විශ්වය සිය දර්ශනපථය තුළට ඇතුළු කරගැනීමේ අපේක්ෂාව ඉ‍ටු කරගත්තේය...

විශ්වය දු‍ටු නමුදු, ඔහු මායාවෙන් මිදුණේ ද?

හිරු බැස යන සැඳෑවක වෙරළේ හිඳ සිටින අප හිරු සයුරේ ගිලෙනයුරු නරඹන්නෙමු... එහෙත් හිරු දෙස නොව ක්ෂිතිජ රේඛාව දෙස බලා හිඳිමින්, පෘථිවිය කැරකෙමින් හිරු අපේ දර්ශන පථයෙන් ඉවත්වන බව වටහා ගන්නට මායාවේ සුන්දරත්වය විඳින මනස සූදානම් ද?

මිහිතලයේ එක ම හිමිකරු ලෙස ස්ථාපිතවන්නට තැත් දරන මිනිසා ජාන ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් අනෙක් ජීවීන්ගේ ජාන සැකැස්මට බලපෑම් කරයි...
නිල්පාට අහිමි රෝස මලට නිල්පාට දායාද කළේ ඔහුයි...
මිහිමත ජීවත්වන ජීවීන් කොපි කළේද ඔහුයි...
තමා කැමති අයුරින් සැකසුණු, එකාකාරී ලෙස සුපිරි අනාගත පරපුරක් බිහිකරන්නට තැත් දරන්නේද ඔහුයි...

මේ මහා විශ්වය තුළ මිනිසා වන අප ජීවත්වන මිහිතලය ජීවත් කරවන හිරුගේ ස්ථානයයි මේ.......

 විසල් ක්ෂීරපථයේ තිතක්වත් ව නොපෙනෙන හිරු සෙවණේ ද අප විසල් ලොවක් නොවෙමු...

එහෙත්...
ඒ මහා විශ්වයේ අප හැර තවත් ජීවින් සොයන නමුත්...
ලොව වඩාත්ම ලස්සන ගැහැණිය ලෙස අප දකින්නිය, විශ්වයේ සුන්දරම ගැහැණිය ලෙස නම් කරන්නේ ද අපමයි...

ගහ කොළ ද ඇළ දොළ ද, අනෙක් සියළු සත්වයෝ ද සිය සුඛ විහරණය වෙනුවෙන් සියල්ල ඔහු වෙනුවෙන් බිහිවූ බව සිතමින් ඔහු යන ගමනේ කෙළවර කොහිද?

ලෝකය මිනිසාට ජීවත් වීමට ප්‍රමාණවත් නමුදු ඔහුගේ කෑදරකම සංසිඳුවීමට ප්‍රමාණවත් නැති බව ඔහු වටහාගනීවි ද?

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...