Wednesday, November 24, 2010

ශිශිරය උණුසුම් වේවි අම්මගේ ආදරෙන්...


අද ලස්සන ම ලස්සන දවසක්...
මේ දවස්වල කොහොමටත් හරිම සිසිල් සුවයක් වට පිටාවෙ තියෙනව... දවසෙම ප්‍රාණවත්... ඉර ප්‍රතාපවත් වුණත් ඉර ගින්නෙ දවන්නෙ නෑ....
වටාපිටාව හරිම සුන්දරයි, කහපාට රතු පාට කොළ හැලිල, හමන පුංචි හුළඟට ත් කොළ එහෙ මෙහෙ පාවෙනව...
ඒත් ඒ තවත් ගිම්හානයක නිමාවෙ මියෙන ගහකොළවල පණ අදින කෙඳිරිය නිසා ද මන්ද... මට ශරත් සමයේ සුන්දරත්වය, වසන්තයේ සුන්දරත්වය තරම්ම සතුටක් ගේන්නෙ නෑ...
ආපහු ෆුජි කන්ද උඩට අයිසිං ඉහල වගේ... හිම හැදීගෙන එනව...ඒක දැක්කම ආයෙම ෆුජි ගිනිකන්දක් බව මට අමතක වෙලා ... උදේටයි හවසටයි දෙකටම මම ෆුජි දිහාවෙ එබිල බලනව ජනේලෙන්...
ගෙවිල යන ශරත් සමයෙ කහපාට රතු පාට දෙකෙන් හැඩ වෙච්ච වටපිටාවයි, කටුක ශීතල දරාගෙන සදාහරිත ව ජීවත් වෙන පයිනස් ගසුයි...

සකුරා ගස්



වසන්තය වගේ ම ගිම්හානය ත් නිමයි...
ශරත් සමයෙ අග භාගෙ ගෙවිල යනව...
සීතල ම ශිශිරය එලිපත්තට ම ඇවිත්...
ඒත්...
ශිශිරය උණුසුම් වේවි අම්මගේ ආදරෙන්...
මේ අවුරුද්දෙත්...



Sunday, November 14, 2010

සිත්තම් කළ සිත්...

සිත්තම් කළ සිත අන්සතු වීලලු
ආයෙත් නෑ එව්වේ...
මුදු හස‍රැල්ලක සනහස පොදි
බැඳ ඔබ පමණයි ආවේ...

සඳවත වී සිත හිමිකරගන්නයි
මා පැතුමන් ‍රැඳුනේ...
නීල ගගන තල වී ඔබ සඳවත
හිමිකරගනු නෑ දැනුනේ...

සමනළ හීනෙක දැවටී ඔබ සිත
පුරා හිඳින්නයි ආවේ...
මටත් හොරා සිත් අරණ අරා
ඔබ රැඳෙන යුරා පමණයි දුටුවේ...

ඔබ ළඟ රැඳෙනා පැතුමන් පුරවා
පිබිදෙන හෙට දවසේ..
ළයතුර සඟවා උණුසුම් සෙනෙහස
පුද දෙනු මැන සිත් සේ...


Monday, November 8, 2010

ආදර සොයුරිය මේ කවි නුඹටයි


දයාව සෙනෙහස එක ලෙස රඳවා
එදා සොයුරියක් වූව ලෙසේ
ඊයේ හවසත් නුඹගේ වදනේ ‍රැඳුනි
සෙනේ සිත පෙර විලසේ

බොහෝම කලකින් නුදු‍ටුව මුත් ඔබ
නුඹේ සතුට මා සිතට දැනේ
ආදර සොයුරිය මේ කවි නුඹටයි
නුඹ අම්මා වුණ අද දවසේ

පුතුට බැ‍ඳෙන සෙනෙහස් සිත
සමගින් සැමදා සතුටින් හිඳිනු මැනේ
හෙට දවසේ නුඹ නෙතින් දකින තුරු
මගේ පැතුම මම එවමි මෙසේ

Friday, November 5, 2010

බුර්කාවෙන් නොවැසුන නෙත රැඳුන සිතුම් කියවා
මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා


මරතෝන්දිය රටා ලියූ අත්තලයේ රඳනා
සොඳුරු රටා හිත් පොඩියෙත් රඳනවදෝ සිතුණා
'
'
'
'
'
'
'
බුර්කාවෙන් නොවැසුන නෙත රැඳුන සිතුම් කියවා
මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා

'
'
'
'
'
'
'
හීන විමන් දොරගුලු ලා හිත පතුලෙම රඳවා
පතිකුලයේ කුමරිය වී  යනු මැන සිත් තොසිනා

-------------------------------------------------------------------------------------
බුර්කාවෙන් ඇගේ සුන්දරත්වය වැහුණත්, ඉන් නොවැසුන ඇගේ නෙත් ඈ සොඳුරු බව සඟවන්නෙ නැති නිසා...ඇය අතිශයින්ම සොඳුරුයි...මම දැක්ක...
ඒ වගෙම හරිම අහිංසකයි...
නිවිහැනහිල්ලෙ ලතාවකට දොඩමළුවන ඈ...
ඈත් එක්ක දොඩමළු වුණ නිමේශයක මේ කතාව කිව්ව...
මම ඈ නම්, ඈ කළ දේ කිසිම දවසක කරන්නෑ...
ඒත් සංස්කෘතියත් ආගමත් විසින් හික්මවුණු ඈ...
ඇගේ සිහින් විමන් අගුලු ලා, දෙසතියකින් තකහනියේ පතිකුලයට ගියා...

 තකහනියේ පතිකුලයට ඈ කැඳවන නදිනා
තිගැස්සුමක් ලොවට හොරා බුර්කාවෙන් වැසුනා
වසං නොවූ නෙත් යුවලේ නොදුටු සිතුම් කියවා
මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා

සිත් පොඩියේ සොඳුරු රටා හිත පතුලෙම රඳවා
බුර්කාවෙන් සිතුම් වසා බලන්න හිරු නැගෙනා
පතිකුලයේ කුමරිය වී යන දින ඇත පැමිණා
හීන විමන් දොරගුලු ලා ඇදෙනුව සිත් තොසිනා

මගේ දෑත් මත සුන්දර මෙහ්න්දි සටහනක් තැබු ඈ
මගේ හිතේ මෙහ්න්දි සටහනකටත් වඩා තදින් නොමැකෙන කතාවක් ලිව්වා...


මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...