Monday, November 25, 2013

මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද එදා මගේ හිත පිරිමැදපූ...




නිල් අහස පුරාවට තරු ඉහිරෙද්දි
රහස් කතා කර සිනාසුනු
ගගන එකළු කර සඳ පායද්දී
සඳ සෙවණැල්ලට මුවාවුණු
නුඹ කතා නොකර ඉන්නා එක දවසට
කල්ප කාලයක් සේ දැනුනු
මේ එදා තුරුළු වී අනන්තයට ගිය
රාත්‍රියද සිහිනය රැඳුනූ

එක නිමේෂයක දිලි දිලී මැකී යන
රන් රේඛාවක් සේ ඇඳූනු
නෙතු පියන් වැසූන එක නිමේෂයක
සිත ගෑ අඳුනක් සේ මට දැනුනු
ගල කෙටූ ලෙසින් මා හදේ නිදන් කර
සදා රකින්නට හිත රැඳුනු
මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද
එදා මගේ හිත පිරිමැදපූ

Saturday, September 7, 2013

ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනා…

 
විහඟ ගීයේ තනුව ඔබ සෙනෙහේ...
හමන පවනේ රිද්මයත් සෙනෙහේ...
සරා සඳ ‍රැස් සිහිල කීවෙත්
මිහිරි බව සෙනෙහේ..

දිලෙන තරු කැට මුමුණනා වදනේ..
දැව‍ටුනා ලූ රහස අප සෙනෙහේ...
පුළුන් වළාසළු දැවටිලා ගුවනේ..
මිමිනු වදනෙත් ‍රැඳුනි ඔබ සෙනෙහේ...
මල් කැකුළු සමනළුන්ට ද කී...
රහස ඒකළු අපට හොර රහසේ...

ඉරිතැලුන කෙම් බිමට
පොද වැස්ස වී වැ‍ටුණ
නුඹෙ නමට පණ පෙවුණු
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනාවයි මේ...

Thursday, July 18, 2013

මායාවේ ගැලෙන මිනිසා...

දෑසින් දකින ලෝකය මනසින් අර්ථ දක්වන්නෙකි මිනිසා...
මිහිතලය මත ජීවත් වන වඩාත් බුද්ධිමත්ම සත්වයා ද මිහිතලයේ එකම හිමිකරු ද ලෙස ඔහු තමා අර්ථ දක්වා ගත්තෙකි....
මිහිතලයෙන් එපිට ද දකින්නට දැල්වූ අපේක්ෂාවන්ගෙන් ඔද වැඩුනු ඔහු, සිය මසැස ඒ සඳහා ප්‍රමාණවත් පරිදි පරිණාමය නොවන කල, සිය මසැස ද මනස ද සිරුරෙන් පරිබාහිර පරිණාමයකට ලක් කරමින් දුරේක්ෂ හා පරිගණක නිපදවමින් ඒ හරහා....
මිහිතලයෙන් එපිට විශ්වය සිය දර්ශනපථය තුළට ඇතුළු කරගැනීමේ අපේක්ෂාව ඉ‍ටු කරගත්තේය...

විශ්වය දු‍ටු නමුදු, ඔහු මායාවෙන් මිදුණේ ද?

හිරු බැස යන සැඳෑවක වෙරළේ හිඳ සිටින අප හිරු සයුරේ ගිලෙනයුරු නරඹන්නෙමු... එහෙත් හිරු දෙස නොව ක්ෂිතිජ රේඛාව දෙස බලා හිඳිමින්, පෘථිවිය කැරකෙමින් හිරු අපේ දර්ශන පථයෙන් ඉවත්වන බව වටහා ගන්නට මායාවේ සුන්දරත්වය විඳින මනස සූදානම් ද?

මිහිතලයේ එක ම හිමිකරු ලෙස ස්ථාපිතවන්නට තැත් දරන මිනිසා ජාන ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් අනෙක් ජීවීන්ගේ ජාන සැකැස්මට බලපෑම් කරයි...
නිල්පාට අහිමි රෝස මලට නිල්පාට දායාද කළේ ඔහුයි...
මිහිමත ජීවත්වන ජීවීන් කොපි කළේද ඔහුයි...
තමා කැමති අයුරින් සැකසුණු, එකාකාරී ලෙස සුපිරි අනාගත පරපුරක් බිහිකරන්නට තැත් දරන්නේද ඔහුයි...

මේ මහා විශ්වය තුළ මිනිසා වන අප ජීවත්වන මිහිතලය ජීවත් කරවන හිරුගේ ස්ථානයයි මේ.......

 විසල් ක්ෂීරපථයේ තිතක්වත් ව නොපෙනෙන හිරු සෙවණේ ද අප විසල් ලොවක් නොවෙමු...

එහෙත්...
ඒ මහා විශ්වයේ අප හැර තවත් ජීවින් සොයන නමුත්...
ලොව වඩාත්ම ලස්සන ගැහැණිය ලෙස අප දකින්නිය, විශ්වයේ සුන්දරම ගැහැණිය ලෙස නම් කරන්නේ ද අපමයි...

ගහ කොළ ද ඇළ දොළ ද, අනෙක් සියළු සත්වයෝ ද සිය සුඛ විහරණය වෙනුවෙන් සියල්ල ඔහු වෙනුවෙන් බිහිවූ බව සිතමින් ඔහු යන ගමනේ කෙළවර කොහිද?

ලෝකය මිනිසාට ජීවත් වීමට ප්‍රමාණවත් නමුදු ඔහුගේ කෑදරකම සංසිඳුවීමට ප්‍රමාණවත් නැති බව ඔහු වටහාගනීවි ද?

Friday, May 31, 2013

එතකොට අහස අයිති...?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiS6ApjtJM9LfMdj2hSbRdi5BIv3TjdPxjQvsrKyKHnZ8R-IZBsUzYuJS_7MqYXV45adHq0zgYMZbuTjFcZKIt-r3wUnk5TAdoyvo-COCqWt4ykxd4G7029fkApPysasItu2DjIHpMOuyA/s1600/sky+and+land.jpg

සුදු වළාකුළු ලස්සන වුණාට
වැස්ස අයිති
කළු වළාකුළුවලට...

එතකොට අහස අයිති...?
සුදු වළාකුළුවලට ද...
කළු වළාකුළුවලටද.../

Friday, April 26, 2013

දෝරෙගලන සිතිවිලි ...

ලියන්නට බොහෝ දේ ඇතත් ඒ සියල්ල එකම මාතෘකාවකට ගොනු කරගන්න අපහසුයි... කම්මැලිකමත් කළකිරීමත් තවත් පුංචි පුංචි හේතුත් නිසා හිතේ එකතුවෙන සිතිවිලි පිටාර ගලන්න ඉඩ නොදුන්න නිසා හිත බරයි...ඒ හින්දා ආයෙමත් හිත ඇතුලෙ දෝරෙගලන සිතිවිලි ගොන්න පිටාර ගලන්න ඉඩ දෙන්න මට හිතිලා...

බොහෝ දේ දිහා පිටින් ඉඳන් බලද්දි අපි දකින්නෙ මායාවක්...කියවන්න කිසිම දෙයක් නැතිව ඉන්දැදි මට බ්ලොග්ස් පෙනුනෙ නිමා නොවෙන කතාවක් වගේ... ඒත් ඒ නිමා නොවෙන කතාව ඇතුළෙ තවත් කොයිතරං නොකියන කතා හැංගිල තියෙද කියල  දකිනකොට මම දුටුව මායාව මගෙ ඇස් ඉදිරිපිට බොඳවෙනව...

බොහෝ දේවල් ඇතුළෙ මායාව සැඟවිලා තියෙන්න "සියල්ල නිශ්ඵලයි" කියල හිතෙන තරමට... සියල්ල අවසන ඉතිරි වෙන්නෙ මායාවෙන් මිදුන මනස ලබාගත් අවබෝධය පමණයි...

සමහර වෙලාවට මට ලැබෙන අවබෝධය, මම අවබෝධ කරගැනීමේ තවත් අවධියක් පසුකරගෙන බවට ඉඟියක් වෙන්නත් පුළුවන්... මට වඩා ඉදිරියෙන් ගිය බොහෝ දෙනෙක් මේ අවබෝධය මට වඩා කලින් ලබාගන්නත් ඇතියි කියලත් මට ආයෙමත් හිතෙනවා...

යථාවබෝධයත් එක්ක කළකිරීමත් බිඳෙන් බිඳ එකතු වෙනවා... අවබෝධයේ අනේක පියවරයන් කාලයත් සමග සමගාමීව පසුකර එන නිසා කළකිරීමත් එකතු වෙන්නෙ බිඳෙන් බිඳ... කළකිරීම ලොකු මාත්‍රාවක් දරාගන්න අමාරු  තිත්ත බෙහෙතක් වගේ... බිඳෙන් බිඳ එකතුවෙන නිසා කළකිරීම ජීවිතයත් එහි අනෙකුත් කටයුතුත් පවත්වාගෙන යත හැකි සීමාවෙ පවතිනවා...

මම බ්ලොග් එක පාවිච්චි කරන්නෙ විවිධ අරමුණුවලට... අද මගේ අරමුණ සිතිවිලි හිත ඇතුලෙ බුබුළු දැමීම නවත්තල පිටාර ගලන්න දෙන එක...සමහර වෙලාවට හිතිවිලිවලට එහෙම පිටාරගලන්න දුන්නම කළකිරීමත් ඒත් එක්කම නැතිවෙලා යනව... හරියට වැවක් වාං දැම්මම ගං ඉවුරෙ තියෙන සේරම කුණුකන්දල් ඒත් එක්කම හේදිලා යනව වගේ...


Wednesday, February 27, 2013


අපේ සම්බන්ධෙ?

--ඒකට සම්බන්ධයක් කියන්න පුළුවන්ද? -- මම දන්නෙ නැහැ--
--ඒත් ඒකට  කියන්න වෙන නමක් මට නැහැ--

අපි ?

--අපි කියන්නෙ ඔහුයි මමයි--

අපි මුලින්ම මුණ ගැහුණෙ කවද්ද?
--මට නං මතක නැහැ--

ඔහුට...
මතක ද මම දන්නෙ නැහැ...
ඔහුත් මාත් ඒ ගැන කතා කරල නැති නිසා...

මම ගැන මුලින්ම උනන්දු උණේ නං ඔහු..,
කිසිම සැකයක් නෑ... ඔහු තමයි...
ඔහු මම ගැන උනන්දු නොවුණ නං ඔහු මගේ අවධානය දිනාගන්නෙ නෑ කිසිම දාක...

මගේ අවධානය ගන්න ඔහු එක වචනයක්වත් පාවිච්චි කළේ නෑ...
වචන පාවිච්චි නොකරම... ඔහු මගේ අවධානය දිනා ගත්ත...

ඊළඟට...

ඔහු මාත් එක්ක කතා කළා...
හිටි අඩියෙම හමාගෙන යන කුණාටුවක් වගේ...

මමත් ඔහුත් එක්ක කතා කළා...
කතා කරන්නෙ ඇයි කියල නොදැන ම...

-- ඊට පස්සෙ ඕගොල්ලො යාළුවො වුණා...??
--අපෝ නෑ...--
--ඉන්න ටිකක් කියනකං --

අපි විනාඩියක් දෙකක් කතා කළා...
ඊට පස්සෙ ඈත් වෙලා ගියා...

--ඊට පහුවෙනිද?-

අපි ආයෙම හමු වුණා...
අපි හිනාවුණේවත් කතා කළේවත් නෑ...
නාඳුනනව වගේ හිටිය...

දවස් හතරක් ගත වුණා...
මට ඔහුව එපාවේගෙන ආව...

පස්වෙනි දවසෙ ආයෙම ඔහු කුණාටුවක් වගේ මගේ හිත හරහා හමාගෙන ගියා...

හිතේ තිබිච්ච හැම දෙයක්ම සීසීකඩ විසුරුවල...
මගේ හිතේ ඉඩක් හොයාගත්තා...

පහුවෙනිද උදේ අපි ආයෙම හමුවුණා...
ඔහු හිනාවුණා...

මගේ හිත ගැස්සුනා...

ආයෙම කාලෙ අපි දෙන්න අතරෙ නතර නොවී ගලාගෙන ගියා...
චමත්කාරජනකයි...

-- ඉතිං--

-- ඉතින් ඊට පස්සෙ මුකුත් නෑ... කාලෙ තාම ගලාගෙන යනව...--

Wednesday, February 20, 2013

හදවත දොරගුලු වසාදමන්නද


කල්ප කාලයක් නොකී කතාවක්
එකම ඇසිල්ලක ඔබට කියන්නට
හෙටත් උදෑසන මා හමුවෙනවද
දෙනෝ දහක් ඇස්
                                                 නෑ නෑ තනිවම

ලෝකය නැවතුනු එකම ඇසිල්ලක
ඔබේ දෑත් තුළ මොහොතක් ඉන්නට
මැදියම් රෑ සිහිනෙක ඔබ එනවද
කාටත් නොපෙනන
                                                     මගෙ ඇසිපිය යට

මගතොට රැඳි නෙත් දහක් කතාවෙන
අසම්මතේ පෙම්වතුන් නොවෙන්නට
හදවත දොරගුලු වසාදමන්නද
මොහොතක් කලියෙන්
                                                   ඔබ එහි සිරකර

Wednesday, February 13, 2013

ආගන්තුක කුරුල්ලා...


මේ කියන දවස්වල අපේ ගෙදර නිත්‍ය සාමාජිකයො හතර දෙනෙක්... අම්මයි තාත්තයි බල්ලයි පූසයි...
"කුක්" කියන්නෙ තමන්ට බවත්, "දුප්" කියන්නෙ තමන් ඇරුණුකොට අනිත් බල්ලන්ට බවත් කුක් දැනගෙන හිටියෙ...
පූස් නං ඕනෙ වුණ වෙලාවට උම්බලකඩයි පොලුයි බතුයි ඉල්ලගෙන කන එක තමන්ගෙ අයිතිවාසිකමක් කියල හිතාගෙන හිටියෙ...
ඒ ඇරෙන්න පූස්ට වගකීම් තිබුණෙ නෑ...
හැබැයි කුක් ට එහෙම නෙවෙයි... වගකීමුත් තිබුණා.
අම්ම හරි තාත්ත හරි වත්ත පහළට යනව නං පස්සෙන් යන එක, ගිහින් එතන ලැගල ඉන්න එක වගෙම ඒ අවට ට එන අනිත් සත්තු පුළුවන් තරං එළවල දාන එකත් කුක්ගෙ වගකීම්...

-----------------------

තාත්ත වත්ත පහළ සුද්ද කරන්න ගිය මුල්ම දවසක තමයි ආගන්තුක කුරුල්ලත් ආවෙ... අයිනෙ තියෙන ලොකු කොට්ටම්බ ගහේ අත්තක වැහැව්ව...

තණකොළ ගලවනකොට දිරච්ච කෝටු කෑලි අස් කරනකොට පොඩි පොඩි පණුවො, කුරුමිණියො කොච්චරක් කියල එහෙ මෙහෙ දුවනව ද?
මුලින් මුලින් බය නිසා වැඩිය ළඟට නාවත් පුරුදු වෙනවත් එක්කම ආගන්තුක කුරුල්ලත් වත්ත පහල සුද්ද කරන්න එන්න ගත්ත...
පණුවෙක් මතු වෙනකොට ම කොට්ටම්බ අත්තෙන් පහළට ඇදිල එන්නත් ඒ සැණින්ම උඩට නගින්නත් ආගන්තුක කුරුල්ල බොහොම සූරයි...

අල්ලගන්න පණුව කොට්ටම්බ අත්තෙ දෙපාරක් විතර ගහන්න වෙන්නෙ ඌ ලොකු නං, නැත්නං එක කටට ම ගිල දාන්න පුළුවන්...

"මට පණුවො ඇහිඳන් කන්න බැරි උනා කියල ආගන්තුක කුරුල්ලෙක්ට ඉඩ දෙන්නෙ කොහොමද?"  කුක් හිතුවෙ එහෙම...

තාත්ත ටිකක් අහක බලන වෙලාවක කුක් එක කටටම ආගන්තුක කුරුල්ල අල්ලගන්න පැන්න...
බය වෙච්චි ආගන්තුක කුරුල්ල විලාප දෙන සද්දෙට තාත්ත බැලුව නිසා ආගන්තුක කුරුල්ල එදාට බේරුණා...

----------------------

ඒත් ඒකෙන් පාඩමක් ඉගෙනගන්නෙ නැතිව ආගන්තුක කුරුල්ල වත්ත පහළට විතරක් නෙවෙයි ගෙදරටත් එන්න ගත්ත...

ඊළඟ පාර ආගන්තුක කුරුල්ල අහුවුණේ පූස් ට, පූස් ආගන්තුක කුරුල්ලවත් කටට අරන් ගෙට වැදුන...
ඒත් පූස්ට වැරදුණේ මීයෙක් එක්ක වගේ ගොදුරත් එක්ක සෙල්ලම් කරන්න ගත්තම... අතෑරිය ගමන් යන්තමට අඩපණ වෙලා හිටපු කුරුල්ල දිග හොටෙන් පූස් ට කෙටුව...

ඒ සටන අහවර උනේ, පූස් මුකුත් නොදන්නව වගේ ගෙයි මුල්ලකට වෙලා ඇඟ ලෙවකකා ඉන්නවයි, ආගන්තුක කුරුල්ල ඊට ටිකක් එහයින් කබඩ් එකක් උඩ පිහාටු පුම්බගෙන ඉන්නවයි අම්ම දැක්ක වෙලාවෙ...

----------------------

ආගන්තුක කුරුල්ල වසන්තයට ගම් රටවල් බලායන කුරුළු රෑනෙන් මගෑරිච්ච, ටිකක් ලොකු හොටයක් තියෙන තරමක් ලොකු කුරුල්ලෙක්...  ඒත් ඊළඟ පාර ශිශිරයට මෙහාට ආව එයාගෙ කට්ටිය ආගන්තුක කුරුල්ලවත් එක්ක ගිහින්...

-----------------------

Wednesday, February 6, 2013

??

 සතියට දවස් පහක් දවසකට පැය තුනක් හතරක් බස් එකේ ගත කරන මට බස් ගැන, බස් කොන්දොස්තර කොළුව ගැන කතා කරන්න නැත්නං තමයි පුදුමේ... මගීන්ට කරදරයක් නැති කොන්දොස්තරවරු, මහාම කරදරයක් හිසරදයක් වුණ කොන්දොස්තරවරු වගෙම මගීන් එක්ක බොහොම සාමකාමීව සන්තෝසෙන් ගමන යන කොන්දොස්තරවරුත් අප්‍රමාණයි...

ඒ එදා කොන්දොස්තර කොළුවම තමයි... බස් එක ස්ටෑන්ඩ් එකේ... බස් එකට නගින්න මම දොර ළඟ... දොර හරස් කරගෙන කොන්දොස්තර කොළුව හිඟන ගෑනු කෙනෙක් එක්ක රණ්ඩු වෙනව... හිඟන ගෑනු කෙනත් අතාරින්නෙ නෑ... බස් එකට නගින්නමයි කල්පනාව... කොළුවත් ඒ වගෙමයි... නගින්න දෙන්නෙම නෑ... මිනිත්තු කීපෙකින් කතාව ඉවරයි... කොළුව කෑගහනව...පැරදුන හිඟන ගෑනු කෙනා ඈතට යනව... මම බස් එකට නගිනව... ඒ එදා කොන්දොස්තර කොළුවම තමයි...

මේ කොළුව බොහොම පුංචියි... Fun loving... මේ කොළුව එක්ක මට අමනාපෙකුත් නෑ.. වලියකුත් නෑ...නිතර යන එන මගීන් එක්ක බොහොම හිතවත්... මාරුසල්ලි දෙන්න බැරි වුනා කියල අමනාපයක් නෑ... අද බැරි නං හෙට හරි ඉතිරි සල්ලි ගන්න පුළුවන්... ඒ විතරක් නෙවෙයි හැන්දෑවට බස් එකේ ගමනාන්තෙ කිට්ටු වෙද්දි රුපියල් පන්සීයක් දාහක් මාරු කරගන්න වුණත් අමාරුවක් නෑ... ඒ විතරකුත් නෙවෙයි බස් එකෙන් බැහැගන්න අමාරු වයසක කෙනෙක්ට බෑග් එකක් වුණත් බිමින් තියල දෙන්න මේ කොළුව ටක් ගාල ඉදිරිපත් වෙනව...

මේ කොන්දොස්තර කොළුවට මගීන් එක්ක කිසිම ඇයි හොඳයියක් නෑ... ඉතිරි සල්ලි කීයක් හරි වංචා කරගන්න පුළුවන් නං ඒකත් කරනව... ඒකත් කමක් නෑ... ඔක්කොමට වඩා අමාරු බස් එක දුවන්නෙ පාර තමන්ගෙ වගේ... බස් එකත් තමන්ගෙ වගේ... ඩ්‍රයිවර් කෙනෙක් නෑ වගේ... කොන්දොස්තර කොළුවක් වේගෙන් යං කිව්වම වේගෙන් යනව.. කොට කොට යං කිව්වම කොට කොට යනව...

මේ හැම කොන්දොස්තර කොළුවටම හිතවතුන් ඉන්නව...හිනා වෙන්න දන්නෙම නෑ කියල හිතුවට ඉඳල හිටල හිතවතෙක් එක්ක්ක හිනාවෙවී කතා කරනව... අර මුස්පේන්තු ගති අතෑරල... බස් එකේ යන මගීන් එක්ක නිතරම රණ්ඩු වෙන්න බලාගෙන ඉන්න කොන්දොස්තර කොළුවටත් හිතවතුන් ඉනන් එකනෙ වැඩේ...

කොයි වෘත්තියට ගියත් අපිට අපේ පුද්ගලිකත්වය පුද්ගලික ගතිගුණ අතාරින්න බැරි බවද කොන්දොස්තර කොළුව මට කියන්නෙ...හිතුවක්කාර දඩබ්බර කොළුවෙක් මේ වෘත්තියට ගියාම මගීන් එක්කයි අනිත් බස් එක්කයි රණ්ඩු වේගෙන තමන්ගෙ බස් එක දුවද්දි, ඊට වඩා ටිකක් මෘදු කොළුවෙක් මේ වෘත්තියට එකතු වුණාම මගීන් එක්ක රණ්ඩු නොවෙන, මගීන්ට නොබනින  කොන්දොස්තර කොළුවෙක් වෙනවද?

කොයියම්ම වෘත්තියක්වත් එයට බැඳෙන්නාගේ පුද්ගලිකත්වයෙන් ස්වායත්ත නැද්ද? මිනිස්සු... ඒ මිනිස්සුන්ගෙ ජීවන රටා, එයාලගෙ පෞරුෂත්වයේ විවිධත්වය මේ ඔක්කොම එකතුවෙලා වෘත්තිකයා නියෝජනය කරනව...

එහෙම නං.. ඒකෙ අනිත් පැත්ත...

වෘත්තිය විසින් එය කරන්නා හික්මවනවද කියලත් ප්‍රශ්නයක් තියෙනව... වෘත්තියක් එය කරන්නාට ඇසුරට ලැබෙන මිනිස් කණ්ඩායම තීරණය කරනව බොහෝ අවස්ථාවලදි... එතකොට...

එහෙම නං හැඟීම් දැනීම්වලින් පාලනය වෙනවට වඩා මුදල් ඉපයීම හා නීතිය මගින් පාලනය වෙන රටවල්වල බොහොම ආචාරශීලී යයි හැඟෙන නමුත් යාන්ත්‍රිකව හැසිරෙන ස්තුතිවන්තවන උදව් කරන කොන්දොස්තරවරුන් රැඳෙන්නෙ රැකියා සුරක්ෂිතබව ඔහුගේ ආචාරශීලීබව මත රඳා පවතින හින්දද?
හැම බස් නැවතුමේම බහින මිනිස්සුන්ට, සල්ලි දානකොටම, "අරිගතෝ ගොසයිමස්" කියන ඔහු සිය පුද්ගලිකත්වයෙන් මිදුන වෘත්තිකයෙක්ද එහෙනං...

Friday, January 25, 2013

සංසන්දනය...

ඇත්තටම සංසන්දනය කියන්නෙ මොකටද? අපේ ගතිගුණ හරි දේපල හරි වෙනත් මොනවම හරි දෙයක් තවත් කෙනෙකුට තියෙන දේවල් එක්ක මැනල බලල සන්තෝස වීම හෝ කම්පා වීමට..?

සංසන්දනය මම අකමැතිම දෙයක්... මාව මේ ලෝකෙ වෙන කිසීම කෙනෙක් එක්ක සංසන්දනය කරනවට මම අකමැතියි... හොඳ හෝ නරක වෙනුවෙන්... නමුත් බොහොමයක් දෙනාට සංසන්දනය නොකර ඉන්න අපහසුයි, ඒ වගෙම බොහෝම දෙනෙක් සැසඳෙන්න අකමැතියි...

මම ලෝකෙ දැකපු මුල්ම සංසන්දනය මම නරක වැඩක් කරපු වෙලාවට අම්ම මාව තවත් හොඳයි කියන ළමයෙක් එක්ක කරන සංසන්දනය... ඒත් ඒ ළමය නරක වැඩක් කරපු වෙලාවට... අපේ අම්ම ඒක දකින්නෙ නෑ නෙ... දැක්කත් "එයා නරක වැඩක් කළා, ඔයා ඒක නොකළ නිසා ඔයා හොඳයි" කියල සංසන්දනය කරන්නෙත් නෑ නෙ... ඒ නිසාම මම පුංචි කාලෙම මට පුළුවන් තරමින් සංසන්දනයට විරුද්ධ වුණා...
එතනින් පටන් අරන් කී දෙනෙක් එක්ක කොයිතරම් වාර ගණනක් අපිව සංසන්දනය වෙලා ඇතිද... මාව ප්‍රධාන වශයෙන්ම සංසන්දනය වුණේ හිතුවක්කාරකමට... ඒත් ඒ හිතුවක්කාරකම ඇතුළෙ මට තිබුණ දක්ෂතා විශේෂතා, කෙටියෙන්ම කියතොත් මගේ මුළු අනන්‍යතාවයම සැඟවිලා තියෙනව... හදිස්සීයෙන්වත් මගේ අම්ම මගේ හිතුවක්කාරම බලෙන්ම නැති කරගන්න සමත් වුණා නං අද මම කියන පෞරුෂය මම තුළ නැතිවෙලා ගිහිල්ල තියෙන්නත් තිබුණා... අදත් මට හිතෙන්නෙ මම තුළ දකින නරක ගති නැති වුණා නං මම තුළ දකින අම්ම ආඩම්බර වෙන දේවලුත් ඒත් එක්කම නැති වෙලා ගිහින් බොහොම දුර්වල පෞරුෂයක් ඉතිරි වේවි කියල...

සැසඳීම සතුට ගෙනෙන වෙලාවලුත් ඉඳල හිටල ඇති වෙනව.. ඒ අනුන්ගෙ නරකක් එක්ක අපිව සංසන්දනය කරල ඔයා හරී හොඳයි කියල කෙනෙක් කිව්වම... අනිත් අතින් ඒ හොඳ තියෙනව වගේ පෙනුනට අපි ළඟ ඇත්තටම නැත් නං... එතකොට ඒ සංසන්දනයත් සතුටකට වඩා අපහසුවක් ගේනව...

සංසන්දනයෙ තියෙන අනිත් නරකම දේ අපි බොහොමයක් වෙලාවට අපිව සංසන්දනය කරගන්නෙ අපිට වඩා යමක් තියෙන මිනිස්සු එක්ක... හොඳට මතක් කරල බලන්න... කවදාවත් හිඟන්නෙක් දැකල ඒ මනුස්සයට වඩා හොඳ ජීවිතයක් මට තියෙන නිසා සතුටු වෙලා තියෙනව ද කියල... නිතරම උන්න්නතිකාමයෙන් පසුවෙන මිනිස් සිත ඒකට නුහුරුයි...

තමන්ව සංසන්දනය වෙනවට ගොඩක් අකමැති වුණාට අනුන්ව සංසන්දනය කරන්න අපි කොයිතරම් කැමතිද...

එහෙම සසඳන්න හිතෙන වෙලාවක සැසඳෙන්න තියෙන අකමැත්ත සිහි වෙනව නං...

Saturday, January 12, 2013

Graduation


කූඩුවෙන් කුරුළු පැටව් ඉගිල්ලිලා යනව වගේ තවත් බැච් එකක් සරසවියෙන් මිදිල එළියට යනව... උන් ලොකු මිනිස්සු වෙලා මේ ලෝකෙට එකතු වෙන එක ගැන දැනෙන සතුට මැද්දෙම අපෙන් ඈතට යන එක ගැන දුකකුත් හිතට දැනෙනව...සරසවියට, දරුවන්ට හිත කොයිතරම් බැඳිල ද කියල දැනෙන්න මේ වගේ වෙලාවල් එන එකත් හොඳයි...

අනිත් අතින් ජීවිතේ ඒකාකාරී වෙනවට බොහොම අප්‍රිය කරන මට මේ ජීවිතේ ඒකාකාරී නොවෙන එකම හේතුවත් ඒ වේදනා දෙන වෙනසමයි...

සරසවි බිමේ නාමල් පිපෙනව... උන් ඔක්කොම අළුත් ලෝකෙට යන සතුටට...ඔක්කොටම රස්සාවල් ලැබිල... හෙට දවසෙ විවර වෙන අනාගත ලෝකෙ ගැන බලාපොරොත්තු අස්සෙන් උන්ගෙ ඇස්වලත් කඳුළු මල් පිපිල... අතහැරල අබිනික්මන් කරන අතීත මතක වෙනුවෙන්...

උන් ඈත් වෙලා ගියාට පිපෙන නාමල් අළුත් ලෝකෙට බයෙන් බයෙන් පය තියන තවත් උන් ටිකක් පිළිගනීවි... හැමදාමත් සරසවියත් අපේ ජීවිතත් උන් එක්ක අළුත් වේවි...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...