Wednesday, December 16, 2009

Friday, December 11, 2009

නිදහස..


සිත ‍රැව‍ටු ප්‍රේමයක
අරුත් සුන් පැතුමන්
බිඳී ගොස් අහවරයි...
ආදරෙයි කී නමුත්...
ආදරේ නොකළ ඔබ..
රිදවුම් ම මිස සැනසුමක්
කිසිදිනක නොදුන් ඔබ..
මා දමා යන්නට ගිහින්..
සදහටම..
කිසිදාක නොවිඳි
සැමදාම විඳවූ...
ආදරේ සිර මැදිරි
විවර වී..
ඉතින් මා නිදහස්...
නිදහසේ ආදරය කරන්නට....
ඔබටම....

Tuesday, December 8, 2009

පියාණනේ මම පුංචිම කාලේ ..


මේ දවස්වල ආපහු ගෙදර යන්න ළං වෙලා නිසා අමාරුවෙන් අමතක කරල යටපත් කරගෙන හිටිය අම්මගේ තාත්තගේ ආදරේ ගෙදර මේ හැමදෙයක්ම නිතරම ආපහු මතක් වෙන්න අරන්...
ඕනම ප්‍රශ්නෙකට අම්මයි තාත්තයි ළඟ විසඳුම් තිබුනු ඒ කාලෙ මොනතරම් නම් සැහැල්ලුවෙන් ගෙවුනද..ඒ වගෙම තමයි කාලෙකට පස්සෙ ඒ දෙන්නව දකින එකත්.. අම්මගෙයි තාත්තගෙයි මුහුණෙ ඇ‍ඳෙන සිනහව මතක් වෙද්දි ආපහු පුංචි කාලෙට හිත පියාඹනව..
අපි කොච්චර ලොකු වුනත් පුංචිවුන් වගේ හුරතල් වෙන්න පුළුවන් ලෝකෙ එකම තැන
එච්චරයි නෙ...
රෝස වලාකුළු ගෙනල්ල ඉල්ලුව ඒ ලස්සන අතීතෙට ආයම එකම එක දවසක්
යන්න තියෙනව නම්..

ඉර බැස යද්දී සැන්දෑ අහසේ
රෝස වළාකුළු පාවෙනවා..
පුංචි දවස්වල නින්දට යද්දී
අහපු කතන්දර සිහිවෙනවා..

දුව ලොකු වෙනවා ඔබ සැනසෙනවා..
සිහින පැතුම් මල් පීදෙනවා..
පුංචි පා නගා පියමැන යන්නට
ඔබ දුන් වාරුව හැරයනවා..

යොදුන් ගණන් සිත පියඹා ඇවිදින්
ඔබේ තුරුල්ලේ සැනසෙනවා...
පියාණනේ මම පුංචිම කාලේ
ඔබ දුන් සෙනෙහස සිහිවෙනවා...

නුඹ මුව සිනහව දු‍ටුවම
මා සිත සහසක් අරුනළු දැල්වෙනවා..
ඉස්සර වාගෙම පුංචිම කාලෙට
ආපහු යන්නට සිත් වෙනවා...

Saturday, November 28, 2009

කඳුළු ආදරේ...











නුඹේ රිදවුම් ළඟදි..
නෙත් කෙවෙනි කඳුලකින් බොඳවුනා..
කඳුළු වැස්සක් වෙලා
මගෙ දුක නෙත් අගින්
ගිලිහුනා...
ඒ කඳුළෙ දියවෙලා බැඳි සෙනෙහෙ
සිත් මලින් සේදුනා.....

කඳුළු දුක කවි පෙළක දැවටිලා..
පත් ඉ රුව මත අකුරු මතු කළා....
නුඹ ආයෙ ආ නමුදු...
ඒ අකුරු ආයෙමත්
සිත තුළට යන්නෙ නැහැ....
සෙනෙහස වෙලා...

Monday, November 16, 2009

අම්මේ .....මට ගමට එන්න කුරුළු පිහා‍ටුවක් එවන්න...

මා ලොවට ගෙනෙන්නට නුඹ වින්ඳ දුක නම් මම දන්නෙ නෑ අම්මේ... මම ඒක දැක්කෙ නැති නිසා, මාව අතට දුන්නම තාත්තට හරියට සතු‍ටු හිතුනළු..
මට ඒක මතකත් නෑ... ඒත් මතක අතීතයෙ හැමදාම අම්මයි තාත්තයි මාව ලොකු මහත් කරන්න, මට උගන්නන්න වෙච්ච මහන්සිය නම් මට හොඳටම මතකයි...උදේ පාන්දරම නැගිටල බතුත් උයල බෙදල දීල පාරට ගිහින් ඇරලවල තමයි අම්මයි තාත්තයි වැඩට ගියේ..ඒ මහන්සියට නිගා නොකර මම ඉගෙනගත්ත.. ඒක තමයි මට දැනෙන ලොකුම සතුටත්...
අම්මයි තාත්තයි දාල ඇවිත් මෙහේ ඉ‍ඳෙද්දි නම් ඒත් පාළුයි... මම දන්නව ඒ පාළුව එහෙමම අම්මටයි තාත්තටයිත් දැනෙන්න ඇති.. ඒත් මගෙ වැඩ පාඩු වේවි කියල ගෙදර එන්න කියල කියන්න නැතිව ඇති...ඒත් මම නම් ගෙදර එන්න ලෑස්තියි ඔන්න....

ලේ කිරි උනිලු හද ඉපදුනු සෙනෙහසට...
ඒ කිරි පොවා මා හැදුවලු ඔබෙ තුරුලේ...
සිප්සත දුන්න පඬිවරු කී ලෙස පොරණේ..
මහමෙර වගෙ නුඹ උන්නා දිවිගමනේ..

පිය සෙනෙහසට කව් ගී ලියවුනේ නැතත්....
අත්වැට වුනේ නුඹෙ සවියයි දිවිමගට...
මවකට මුවා උනු නුඹෙ සවිමත්කමට...
මම සවිමත් උනා දිවිමග දිනන්නට...

පියඹා ඇවිත් ගව් සියගණනක් දුරට...
සිප්සත උගෙන එනවා නුඹෙ තුරුල්ලට...
නැතිමුත් ඔබ දෙපල සෙනෙහස ලබන්නට...
අම්මේ... ආදරෙද නුඹෙ දූ පොඩිත්තට...

ලොවක නොනිමෙන කෙනෙහිලිකම් මැද
සෙල් රුවක් සේ නොසැලී සිටින්නට
ශක්තිමත් දුවක් තැනු
ආදරණීය අම්මේ...තාත්තේ
මේ පුංචි කව් පද දෙකත්
නුඹ තැනූ දියණිගේ ශක්තියත්
නුඹට උපහාරයක් වේවා..!

Saturday, November 14, 2009

හිත රිදුන තැනක්...


සමාජයත් එක්ක ගැටෙනකොට සිත් රිදවීම් අනන්තවත් සිද්ධ වෙනව.. අපි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් දිහා බලන්නෙ ප්‍රශ්න කරදර විදියට...ඒත් එක දවසක් ඒ වගේ හිත රිද්දවගෙන ඉඳපු වෙලාවක මම මගෙ යාළුවෙකුට කිව්වම එයා ඒක ගැන අපූරු අදහසක් දුන්න...
කවදාවත්ම හිත් රිදවීමක් නොවී සමාජෙ ජීවත් වෙන්න අපිට බැහැ...ඉතින් හිතන්න ඒ වගෙ අත්දැකීමකට මූණ දෙන්නෙ කොහොමද කියල ඉගෙනගන්න ඒ වගේම තවත් අවස්ථාවක වඩාත් ශක්තිමත්ව ඒ වගේ දේකට මූණ දෙන්නෙ කොහොමද කියල පුරුදු වෙන්න අවස්ථාවක් ඔයාට නොමිලෙම ලැබිල...ඒක ඔයාට සල්ලි දීලවත් ගන්න බැහැ

ඒක දිහා තවත් අලුත් අත්දැකීමක් විදියට බලන්න... ඒක ඔයාට ශක්තිමත් වෙන්න ලැබුණු උදව්වක් කියල හිතන්න

මගේ යාලුව එහෙම කිව්ව...

එහෙම හිතද්දි මගේ වේදනාව ඉබේම අඩුවෙලා ගියා..

ප්‍රශ්නයක් දිහා බලන්න කොච්චර පැතිකඩවල් තියෙනවද කියල මට හිතුනෙ ඒ වෙලාවෙ... පුලුවන් තරම් අනුන්ගෙ හිත් නොරිද්දව ඉන්නවනම් හොඳයි.. ඒත් කවුරුහරි අතින් හිත රිදුනම ඒක දිහා අර විදියට බලන්න පුළුවන් එක ඊටත් වඩා හොඳයි කියලයි මට හිතුනෙ..

හිත රිදුන තැනක්...හිතන්නට යමක්...ඉතිරි කර ගිහින්..


පසු සටහන:
අන්තිමට මේ ටිකත් ලිව්වෙ නැත්නම් ඒක අඩුවක් කියල හිතෙනව..
මායි මගේ යාළුවයි මම හිතන්නෙ දැන් අවුරුදු එක හමාරකින් දෙකකින් විතර මුණ ගැහිල නෑ..
ඒ මදිවට අපි ඉන්නෙ කිලෝමීටර් දහස් ගනණකින් වෙන්වුණු රටවල් දෙකක..
එතකොට ඉතින් වෙලාවෙ වෙනස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..
වෙලාව රෑ දෙගොඩහරි යාමෙ...
ඒ වගේ වෙලාවක අවුරුදු ගනණකින් හමුනොවුණු යාළුවෙක් හිත රිද්දවගෙන අඬද්දි නිදිමරාගෙන අහගෙන ඉඳපු මගේ යාළුවට ගෞරවයක් විදියට මේ පසු සටහන එකතු කළේ..