Wednesday, June 30, 2010

සිත ඇඳි රූ...





දිල් ලිව්ව අල්තිනායිගෙ ලියමන කියවල මගෙ හිතත් දුයිශෙන් ගැන දොඩමළු වුණා.
ඒ සටහනට ලැබුණ සුලා අය්යගෙ ප්‍රතිචාරය වුණේ "ඇහි පිල්ලමක් යට"
සුන්දර කතාවෙ රසය ගැන ඉඟියක්...

"ඇහි පිල්ලමක් යට" කතාන්තරේ මාව අරගෙන ගියේ මම නොදැකපු ඒත් බොහෝ වාරයක් අහල හිතේ මවාගෙන රස විඳි හුඟක් ඈත කාලෙක අතීත කතාවක ට...

අවුරුදු හතක පුංචි දුවගෙ කතා ඇහිමේ පිපාසය සංසිඳවන්න මුළු උම්මග්ග ජාතකය ම, කුස ජාතකය ම කතාවල් විදියට ටික ටික කිව්ව ඔහු වතාවෙන් වතාව මම ලොකු වෙනවත් එක්ක ම ටික ටික මගෙ ජීවිතාවබෝධය වැඩි කරමින් කොටසින් කොටසින් කිව්ව ඔහුගෙ ජීවිත කතාවෙ කොටසක් ඒ...

මම හිතන්නෙ මේ 1969 හැත්තෑවෙ විතර වෙන්න ඇති...
නු/බෝපත්තලාව රජයේ පාසල....
බෝපත්තලාව ගොවිපලේ සේවකයන්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩ නැගුනක්...

හැන්දෑවෙ ඩයගම යන අන්තිම බස් රථය ළිඳුල යන බස් එකේ හිටපු මට පෙනුනෙ සිරීපාදෙ යනව වගෙ..ඒ ඔහු ඔහුගෙ ජීවිත කතාව සැකසුණ පරිසරය දකින්න මාව එක්කගෙන ගිය දවසෙ...
ඒ 1993 දි විතර... 

1969 දි... මම කොහොමද මවාගන්නෙ...

ජාතික ඇඳුම ඇන්ද ඔහුත් ඒ කාලෙ තරුණයෙක් වෙන්න ඇති මේඝ වගෙම...

ගුරුනිවාසෙ ගුරුවරු 5 දෙනෙක්.. හිම වගේ සීතල වතුර... චමරියක් දාගෙන උයාගෙන කාල සති අන්තයට ගෙදර යනව කියලවත් නැතිව, මාස තුනකට වරක් නිවාඩු කාලෙට විතරක් ගෙවල්වල ගිහින් ගතකළ ජීවිත කතාව...

බෝපත්තලාවෙ කිරි ගොවිපලේ සේවකයන්ගෙත් තවත් අහල පහළ දරුවන්ගෙත් ඇස් පෑදුව කතාව ඒ...

මේඝ අත්විඳින සියල්ල ඔහුගෙ සැබෑ ලෝකෙ ඔහු අත්විඳල තියෙනව...මේ හැත්තෑ එකේ කැ‍රැල්ලෙ පසුබිම සැකසුන කාලෙ..

කතාව සවිස්තර ව කියන්න මට බෑ...අහන් ඉඳල, මගේ හිත ගත් තැන් හිතේ ඇඳගෙන රස විඳපු කතාවක් විතරක් නිසා...

ඒ කතාවෙ තවත් එකම එක සිදුවීමක් මගෙ මතකය අතරින්....
එදා ළිඳුලෙ ඉඳල එද්දි මුනගැහුන එක සිසුවෙක් .. අපි වගෙම කොළඹ එනව "උඩරට මැණිකෙ".. අපි එන්නෙ නිවාඩුව ඉවර කරල ගෙදර... ඔහු ආවෙ ‍රැකියාවට... අවුරුදු 20 කට විතර පස්සෙත් ඒ සිසුවා ඔහුට අකුරු හුරුකළ ගුරුතුමා ව අඳුනගත්ත....මේ කතාවෙ මා දු‍ටු එකම ජීවමාන සාක්ෂිය එපමණයි..

මම ආයෙ මේ සටහන තියද්දි කිසිම දෙයක් ආයෙ ම  ඇහුවෙ නෑ, මට ආස මම මවාගත් රූපය අකුරු කරන්න.. ඒක මට මතක් වුණේ "ඇහි පිල්ලමක් යට" දැක්කම... ඒක මගෙ චිත්ත රූපයට ගොඩක් සමාන නිසා...

කැඩි කැඩි ඇ‍ඳෙන මගෙ චිත්ත රූපය හුඟක් පැහැදිලි නෑ... බොඳ වෙලා... ඒත් මම ඒකට ආදරෙයි... ඒ මම වඩාත් ම ආදරේ කරන පුද්ගලයගෙ අතීතය නිසා....

"ඇහි පිල්ලමක් යට" ‍රැ‍ඳුන
ඔබේම දෙනෙතින් මා දු‍ටුව
ඔබේම අතීතයෙ
සැබෑම කතාව
හැම නවකතාවකට ම වඩා
සුන්දරයි මට...

මම දු‍ටු "ඇහි පිල්ලමක් යට"
ජීවමාන 'මේඝ' වුණු
ඔහු

මගේ ම තාත්තා...
--------------------------------------------

 Photo: http://www.tealeaftrust.com/USERIMAGES/website%20image%201.jpg

Monday, June 28, 2010

නොහිම් සිත්තම්...


නිල් පැහැ සුවිසල් අහසත් අනන්තය දක්වා දිවෙන දසුනත් අතර ‍රැඳුන කොළ පැහැය...
රන්වන් හිරු කිරණින් නැහැවෙන...නමුණුකුල කඳු වැටි සිපගන්නා මිහිදුම් සළුව... 
බැලුබැලු අත නෙත ගැටෙන නිල් සහ කොළ එක් කර සොබාදම ඇන්ද මේ නොහිම් සිත්තම මොන තරම් නම් අපූරුද ?

ජීවිතයේ දහසකුත් කම්කටොළු මැද දැරියක් ව දිවි ගෙවූ මට මේ සියල්ල මග හැරෙන්නට ඇත. තරුණියක වූ මා පැල්පතින් රජගෙදර ට ගෙනගියේ මගේම සොඳුරු රුවයි. දු‍ටුවන් වශී කරවන රූ සපුවකින් හෙබි මා එකම ‍රැයකින් තරුවක් ද ගැහැණියක් ද වීමි.

රූගත කිරීම්වලට අනන්තවත් මේ ප්‍රදේශයේ ‍රැඳුන මා කිසිදා මේ දේවල් නුදු‍ටුවේ ඇයි?

සුන්දර යෞවනයේදී මිත්තණියකගෙ භූමිකාව ට පිවිසීමට මටත් වඩා වේශ නිරූපණ ශිල්පියා වෙහෙසුන අයුරු... මුහුණේ ‍රැළි මවන්නට ආලේප තැවරූ... ඝන නිල් කෙස් කළඹ සුදු පැහැ ගන්වන්නට වෙහෙසුණ අතීතය...
අද කිසිදු වෙහෙසක් නැතිව ම...ඒ පෙනුම...

සුන්දරත්වය ද කීර්තිය ද ධනය ද විසින් නිලංකාර කල දෑසින් මිහිබට සුරලියක ම වීමි. රිදී තිරය ඒකාලෝක කල මා රුව අස්ථිර යයි එදා නම් මට නොසිතිණ. සදාකාලික යෞවනයක සිහින අතර පාවුන සිහින කුමරිය වූ මා ඒ සිහිනයෙන් මුදාලන්නට කිසිවෙකුත් නොසමත් විණ.

එදා ද ගහකොළත් නිල් අහසත් මේ සුන්දරත්වය ම උසුලන්නට ඇත. ඒ දකින්නට තරම් නැවතිල්ලක් මට කොයින්ද? සැඳැ සාදයක මධු අතරේ මිහිර මා පියවි ලොවින් ඉවතට ගෙනගියේය.
අවන්හල්... රැඟුම්... ගැයුම්... සාද...

මුළු ලොවම මා පතද්දී කුමට කු‍ටුම්භයක සිර වෙම්ද?

දෙතොල් පුරා ලූ මධු බඳුනේ...
ජීවිතයේ මිහිරයි ‍රැඳුනේ...

මා ලවන් දැලේහී
බිඟුන් මුලා වී
‍රැ‍ඳෙන්නෙපා...
-------------------------
අද මේ සියල්ල හැර දමා එන්නට මට ම සිතුනේ ඇයි? ඒ සියල්ලෙන් මා විඳි රසය හීන වූ නිසාද? වැහැරුණ මගේ යෞවනයේ අසිරිය හීන වෙද්දී රිදී තිරය පුරා පෑයූ අළුත් තරු මගේ එළිය අභිභවා දිලෙනු දු‍ටු නිසා ද?

සදාකාලික යෞවනෝන්මාදයෙන් මත් වී සිටි මගේ ම අභිමානය මා දෙපතුළ බිඳියනු දු‍ටු නිසා ද?

ජීවිතයේ යථාර්තයෙන් පලා යා නොහැක... ජීවිතය නොනවතී.. එය ගලා යයි...
එහි නා නා යුගයන්ට ඊට ම උරුම සුන්දරත්වයක් අයිතිය. 
දිලෙන තරු තිරය මත දිලුන දෙන්... මේ මගේ ජීවිතයේ සැඳැ සමයයි. රිදී තිරය මත තරුවක් වී අතැඟිලි අතරින් ගලායන්නට ඉඩ හල ජීවිතය දැන්වත් ඉතින් අතැඟිලි අතර රඳවා ගත යුතුය.

මා තරුවක් වෙද්දී ජීවිතයේ බර උරින් ගෙන දියණියට මව ද පියා ද දෙදෙනාම  වූ ඔහු සොයා යා යුතුය.

දියණියට නුදුන් සෙනෙහස මිණිපිරියටවත් දෙන්නට මා නැවත ඔවුන් වෙත යා යුතුය. අම්මා නොවුණත් ඇගේ දියණියට මිත්තණියවත් වීම ඈ තෘප්තිමත් කරනු නොඅනුමානයි.

ගමන නොනිමෙයි...



Photo: http://media.photobucket.com/image/stage%20lights/djkdogg/Backgroundz/stage-lighting-2.jpg

Friday, June 25, 2010

ඛේදාන්තයක කතාවක්..



ඛනිජ තෙල්...
මානවයා ජීවත් කරවන ඉන්ධනය එයයි...

ඛනිජ තෙල් නැති ලොවක ජීවත් වීමට මිනිසා ට නොහැකියි කීවත් එය අතිශයෝක්තියක් නම් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ...
විකල්ප බලශක්තින් සෙවීමේ පර්යේෂණ මොනතරම් කෙරුණත් තවමත් ලොව සුපිරි බලවතුන්වත් සිය අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රමාණවත් තරමින් නිපදවිය හැකි ආරක්ෂිත වෙනත් විකල්ප සොයාගෙන නෑ...

ගොඩබිම ඛනිජ තෙල් නිධි එහි නිමාවට අතවනද්දී ගැඹුරු මුහුදේ ඛනිජ තෙල් නිධි සොයා යන්න මානවයාට සිදුවුණේ එ නිසාම වෙන්න ඇති...

"Deepwater Horizon" ඒ ගමනේ ඛේදාන්තය සනි‍ටුහන් කරනව ද?

Deepwater Horizon, මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත ඛනිජ තෙල් නිධියේ, කැණීම් යන්ත්‍රයක පිපිරුම සිදුවුණ අප්‍රේල් 20 වනදා සිට අද දක්වා ම ඉන් බොරතෙල් කාන්දුවෙනවා... සාර්ථක විසඳුමක් අද දක්වාත් නැහැ..වර්ග කිලෝමීටර් 6500 ක් පමණ ප්‍රදේශයක් තෙල් තට්‍ටුවෙන් වැසිලා...
සාගර ජීවින් එහි වන්දි ගෙවනවා..ක්ෂණික ප්‍රථිපලය ලෙස..
ඒත් මිනිසා ඇතුළු අනිත් ජීවින්ටත් එහි වන්දිය ගෙවන්න සිදුවේවි... එහි ප්‍රථිපල ආහාරදාම හා පාරිසරික පද්ධති හරහා සම්ප්‍රේෂණය වෙද්දි...

ප්‍රථිපලය දකින නමුත් බොරතෙල් කැණීම නවතාලීම ගැන මොහොතකටවත් සිතිය හැකි තත්වයකට ලෝකය පැමිණී නැහැ...තවත් ස්ථානයක බොරතෙල් සෙවීමට කැණිමට අපට සිදුවේවි...
මෙවන් සිදුවීමක් සිදුවූ පසු එහි වැරදිකරුවන් සෙවීමෙන් පලක් නෑ.. සිදුවීමේ හේතු සොයා ඒවා අවම කරගැනීමට අපට හැකිනම්...එය මිහිතලයට කරන සෙතක් වේවි...

ක්ෂණික විසඳුම් නැති මේ දිහාවෙ ටිකක් අවධානයෙන් බැලුවොත්...
අවදානම නැති කරන්න බැරි වුණත් මෙවන් සිදුවීම්වල අවදානම අවම කරගැනීම දක්වාවත් යන්න මිනිසාට පුලුවන් වේවි...

Wednesday, June 23, 2010

ගුරුගීතය ...



දිල් සොයුරිය අකුරු කළ අල්තිනායිගෙ ලියමන...

සේද මීඳුම් සළු ලෙහාගෙන
අනන්තය තෙක් පියඹනා ලා අඳුර
හදවතේ ගැඹුරුම තැන සොයන සඳ
සිනාසෙයි ගෙවීයන කාලය
ප්‍රේමයෙන් ඔකද උන තරුණ සමයට
ආදරණීය දුයිෂෙන්……
කෝ කොහෙද
කොතැනකද නුඹ…………

ලතවෙන්නෙමි තවම මම
සීත ගං ඉවුරු යා කෙරුව
අයිලය හැරදා යා නොහැකිව
ආදරණීය දුයිෂෙන්…
ඇහුනාද පෙණ පොදක විලාපය
අහෝ….
ඒ නොවෙද මගෙ අතීතය….

වියළුන සිත් බිම් කඩ වෙත
වස්සානයේ පහස රැගෙන
අයිලයට එනවාද දුයිෂෙන්
ලද බොළඳ පෙම්වතිය
නුඹේ අල්තීනායි
මියැදෙන්නට පෙර…

මා අකුරු කළ දුයිශෙන්ගේ ලියමන...

අයිලය හැරදා
යාගන්න
බැරි වෙලා
ලතැවෙනා අල්තිනායි...

පොප්ලර් ගස් අතර අතීතය
වල දමා
හිනා පොදකුත් ‍රැගෙන
අනාගතයට යන්න...

නුඹට හිත බැඳි
බැඳුම් එලෙසමයි...
පොප්ලර් ගස් වගෙම
නිසලයි...
සුන්දරයි...

අයිලයේ ‍රැ‍ඳෙන්නට
බෑ ඉතින් නුඹට තව
අනාගතය ට නුඹ ව
ඕනෙමයි..
මගේ සෙනෙහස
සු'පැතුම් ද ගෙන
යන්න වෙන් වී ඉතින්
ආයුබෝවන්...

මම දුයිශෙන්...


මා දු‍ටු වර්තමානය...

ටියුෂන් කඩ පිල් ඇතුලේ..
ශිල්ප සතර විකිණෙද්දිත්
දුයිශෙන් ලා මම දු‍ටුවා..
දුයිශෙන් මට මුණගැහුණා...

සරසවියේ නා නා විධ
දේශකවරු අතරමැදත්
දුයිශෙන් එක වරක් නොවේ
දෙතුන් වරක් මුණගැහුනා...

දුයිශෙන්ලා නුදු‍ටුව නුඹ
හැරී බලන් තවත්
වරක්
තාමත් දුයිශෙන් මේ ලොව
ජීවත් වෙනවා...
අල්තිනායි නොවුන මටත්
ඉඳහිටවත් හමු වෙනවා....



Photo:http://www.nwpphotoforum.com/ubbthreads/JM_Pieces/2007_Interviews/Isaac/kashmir2.jpg

Sunday, June 20, 2010

ලොකු අය්යා


ගොඩක් ආන්දෝලනාත්මක මන්ත්‍රීවරියකගෙ චරිතයක් නිර්මාණය කරමින් 'පබා' පුංචි තිරයෙන් සමු අරන්... 'පබා' මෙගා ටෙලිනාට්‍යය අවසන්... මුලුමනින් ම පබා ටෙලිනාට්‍ය නැරඹුවෙ නැති වුණත් එහි එක් චරිතයක් (මගේ අදහස අනුව) ඉතාම සංවේදී ලෙස නිම වෙලා තිබුණ... ඒ සමගිපුර 'වසන්ත' ගෙ චරිතය...
සැබෑ ලොව ජීවත්වන එහෙත් ඔවුන්ගෙ සිතේ හැඟීම් අදහස් තේරුම් ගැනීමට අවශේෂ සමාජය උත්සාහ නොගන්නා නමුත්...
ඔවුනුත් හැඟීම් දැනීම් ඇති ඇතැම් විට උගත් උසස් යයි සම්මත සමාජයේ සාමාජිකයන්ට වඩා සිය සමීපතමයන් වෙනුවෙන් කම්පාවන,
ඔවුන්ගේ සතුට සැපත වෙනුවෙන් කැපවන..
සංවේදී මිනිසකුගේ ආත්මය සමගිපුර වසන්ත ලොකු අය්යා.. අපූරුවට ප්‍රතිනිර්මාණය කළා...

මල්ලිගේ සේවා ස්ථානය ට ගොස් සොයුරා බව සඟවන...
මව් සෙනෙහස වෙනුවෙන්.. මවගේ සතුට වෙනුවෙන්
සිය ජීවිතය ම කැප කල..
කප්පරක් වැරදි වෙනුවෙන් සිය පියාට සමාව දුන්...
ඔහු...
තමාගෙ නොවූ එහෙත් තමා වටා ‍රැඳුන සියලු සොයුරන්ගේ...
සැපත සතුට තහවුරු කළ...

සමගිපුර වසන්ත
ලොකු අය්යා...

බොහෝ සංවේදි හා ප්‍රබල ලෙසින් පුංචි තිරය
මත සටහන් වුණ චරිතයක් ලෙසමයි මට පෙනෙන්නෙ....

----------------------------------------------------

ඒ චරිතය පුංචි තිරය මත ඉතාම සංවේදී ව නිර්මාණය කළ
සරත් චන්ද්‍රසිරි කලාකරුවා, "ලොකු අය්යා" ට උපරිම සාධාරණය ඉශ්ට කළා....

ඔහුගේ සේයා රුවක් සමගින්...
පබා මෙගා ටෙලිනාට්‍ය තුළ මා දු‍ටු සංවේදී ම මිනිසා නිර්මාණය කිරීම වෙනුවෙන්..

මේ සටහන...

Tuesday, June 15, 2010

විහඟ ගී මිහිරී...

එදා





විහඟ ගීයක් ගයන්නට
තුඩගින්
මියුරු තත්සර
අතර මුහුකොට
පිපී මල් කැන්
වසන්තය ඇවිදින්
පුංචි කුරුල්ලෙක් මං
තුඩගයි ‍රැඳුනේ
පද වැල්



අද





වසන්තය ගිනිගත්
ගිම්හානය ට බියවී
එදා පිපි චෙරි මල්
මිහිරියි රතුයි
දැන් චෙරි ගස්
චෙරි රසය විඳිමින්
ගයමින් අතුඅග
‍රැ‍ඳෙන්නම් මං
පුංචි කුරුල්ලෙක් මං


හෙට




ගිම්හානයත් ඉගිලී
ශිශිරයට අතවනනා
චෙරි ඉපල් අතරේ
බෑ.. ‍රැ‍ඳෙන්නට
මොහොතක්
විහඟ ගී ගොලු වී
සමුදුර මතින් ඉගිලී
සොයා යනවා මා කෙම්බිම්
වසන්තය සමගින්
ගයන්නම් ආයෙත්
විහඟ ගී මිහිරී...




Photo:
http://media.photobucket.com/image/cedar%20waxwing/hobbsmail/CedarWaxwing1copy-1.jpg
http://www.hnhs.org/uploads/image/Waxwing%20310109%20web.jpg
http://www.funzug.com/index.php/wildlife/beautiful-wild-song-birds.html

Sunday, June 13, 2010

නිහඬ හඬ..(The silent urge...)




සුන්දර අසුන්දර
වැදගත් නොවැදගත්
ශක්තිමත් දුර්වල
වටිනා නොවටිනා

ඒ විතරක්ද..?

වඳවී යන
තර්ජනයට ලක්වුණ
රතු දත්ත

ඔය ඔක්කොම ලේබල්
අපිට ඇලෙව්වෙ
අපිත් එක්ක ම
සම උරුමයෙන්
ඉපදුන

උඹල යි
උඹලගෙ අසීමිත
තණ්හාවයි

මිනිසුනේ…


උණහපුලුවා, මැඩගස්කරයට ආවේණික සතෙක්..
ඒත් ලංකාවෙ මිනිස්සු අතරෙත් නොයෙක් අවස්ථාවලදි උණහපුලුවා කියන වචනෙ කියවෙනව මම වගෙම ඔයාලත් ඕනෙ තරම් අහල ඇති..ශාකභක්ශක අහිංසක සතෙක්.. ඒත් අපි අතරෙ උණහපුලුවා ගනන් ගැනෙන්නෙ වැදගැම්මකට නැති, අවාසනාවන්ත, කැත ඔය වගෙ විශේෂණ වෙනුවෙන්..
ලොව වඳවීයන සත්ව විශේෂ අතරට ගැනෙන මේ සත්වයා ඒ තර්ජනයට මුහුණ දෙන්නෙ මිනිසා වන අපි නිසා.. වාසභූමි විනාශය සහ දඩයම ඒ සාධක අතරෙ ප්‍රධානයි...
මිහිමත ජීවත් වීමේ අයිතිය අයදින ඒ අහිංසක සතාගෙ නිහඬ යාදින්න වචනවලට නැගුනොත් මේ වගෙ වෙයි කියල ඒ නිසාම මට හිතුන..

The silent urge for the right of living on this Earth.

We, human beings, created the nomenclature and named them as we wish..
Then, we categorized them under various categories…
And then did research and so many other things…
We were never bothered to hear their silent urge….

Finally we identified them as endangered species…
At last.. To be written in red…

Why…

Mostly because of habitat loss and hunting.

But still their silent urge is unheard..
For the right of living on this Earth.....

This is one species and there are so many more…

Photo:
Decken's Sifaka, Madagascar: http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/sifaka-madagascar/

Thursday, June 10, 2010

මම තරු කැටයක්...



පුන්සඳ අරා සිටින අහසේ
මම තරු කැටයක්...
නෙතු මායිම නො‍රැඳී
වසන් වන......

ඈත එපිට අහසේ.......
තරු මන්දාකිණියක..
මම ත් දිදුලනා
තරු රජි‍ඳෙක්..
පුන්සඳ මා
අසලකවත් නො‍රැ‍ඳෙන...

----------------------------------------
Photo : http://e4innovation.com/images/star.jpg

පසු සටහන...

සියල්ල සාපේක්ෂ වූ ලොවක ජීවත් වන අප
මිහිතලය මත සිට දකින නිශා ගගන තලයේ
පරිපූර්ණ වස්තුව වූ කලී පූර්ණ චන්ද්‍රයායි..
එහෙත්....
ඒ ගගන තලය මිහිතලයේ රාමුවෙන් මිදී නරඹන
මොහොතක මිහිතලය මත සිට අප දකින
කුඩා තාරකා වූ කලී සඳුට ආලෝකය ලබාදෙන
හිරු හා සම බලවතුන් වේ...


රාමුවකින් මිදී බලන කල අපට ද මේ යථාර්තය වලංගු බව මට සිතේ........

Monday, June 7, 2010

වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ...

වැඩ කරන අතරෙ 'මිහිල රේඩියෝව' අහගෙන ඉ‍ඳෙද්දි එහි විකාශය වුණ ගීතයක්.. මේ දවස්වල මම අතින් ගීත ගැන ලියවුණා වැඩියි කියල හිතුනත් ගීතය මගෙ හිත ඇතුලෙම ගිහින් නතර වුණ නිසා මට ඒක ගැන ලියන්න ම හිතුන...




බාහිර ලෝකෙ මොනතරම් බෙදීම් ප්‍රශ්න ගොඩ ගැහිල තිබුණ යුගයක වුණත් සරසවිය ඇතුලෙ ආදරණීය ම මිතුරු මිතුරියන් වුණ, ඒත් අද ඈත්වෙලා ගිහින් කාලෙකින් මුණ නොගැහුන සත්‍යා, උමා ඇතුලු ආදරණීයම යහළුවන් කිහිප දෙනෙක් හිත ඇතුලෙ සක්මන් කරන්න ගත්ත.. ගීතය අහද්දි..ගීය හිතේ නතර වුණෙත් ඒ හින්දම ද මන්ද..

විශේෂ අවස්ථාවක සත්‍යා ගෙ දිගු කෙස් කළඹෙ ‍රැ‍ඳෙන පිච්ච මල්දම ආපහු මැවිල පේනව ගීය අහද්දි මට...

කාලය මොනතරම් නම් දේවල් වෙනස් කරල ද..

සුනාමි ඛේදවාචකය අත්විඳි දියණියක් ගැන ගැයෙන ගීයක්.. ඒ වගෙම සිංහල දරුවෙක් ඇගේ දුකට සංවේදි වන හැටි ගැයෙන ගීතයක්..
සෝමතිලක දිසානායකයන්ගෙ ගී පද රචනය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හර්ෂණ දිසානායකගේ සහ කස්තුරි සූර්යකුමාර් ගෙ හඬින්

පිච්ච කැකුළු මල් මාලය
කොණ්ඩෙ පලන්දා සුවඳට..
වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ...
අම්ම අප්ප කොයි ගිහින්ද
ඇයි තනියම පංසලේ..
අර සුවඳ හමන පිච්ච කැකුලු කෝ අද උඹෙ කොණ්ඩයේ...

අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාලු වාඩියේ
මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
ලොකු හාමුදුරුවො අපට ඇවිත් ඉන්න කිව්ව පංසලේ..

කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
අපි බුදුසාදුට වැඳල අහමු අම්ම අප්ප ගැන නුඹේ..

මෙච්චර කල් කවදාවත් පංසලටකට නෑ ගියේ
අපි හැමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ

දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ..
අපි බුදුසාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ..

ඒ නම් මට කියාදෙන්න වඳින විදිය පංසලේ..
බුදුසාදුට පූජා කරන්න පිච්ච මලක් වෙයි අගේ..

අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
සුදු අරලියමල් පූජා කරමු ඒවත් සුවඳයි නගේ..

Saturday, June 5, 2010

ජපන් බසින් "ඉනු" කියන..

කාලය ක ඉඳල ලියන්න හිතන් හිටිය කතාවක් මේ...
ඒත් පහුවුන කාලෙම මේක ලියන්න වෙලාවක් තිබුනෙ නෑ...

ඒ තමයි ජපන් ජාතිකයන්ගෙ බලු සුරතලේ ගැන.. ගොඩක් වෙලාවට මම අහල තියෙනව සල්ලි තියෙන ගෙදරක උපදින බල්ලෙකුට වුනත් අපි දරුවෙක් හදනවට වඩා සැප දීල හදනව කියනව.... එහෙම නැත්නම් ජපානෙ බල්ලොත් විඳින්නෙ පුදුම සැපක් කියල කියනව..

ඒත් මේ කතාවෙ සැඟවුන පැත්ත විශ්ලේෂණය කරන්න අපි කවදාවත් උත්සාහ කරල තියෙනවද..? මේ බලු සුරතලේ නිතර නිතර ඇස ගැටෙනකොට මට හිතුන ටිකක් මේ ගැන හොයන්න...එහෙම ටිකක් මේ ගැන අවදානය යොමු කළාම මට ඒ ගැන හිතුනෙ මේ විදියට...

ඉහළ සේයා රුවේ පේනව ඇති බලු පැටියෙක්ගෙ මිල.. ආසන්න වශයෙන් යෙන් ලක්ශ දෙකක්.. එක අයෙක් සමහර වෙලාවට බල්ලො දෙතුන් දෙනෙක් ඇති කරනව.. අනික ඉතින් මේ ගණනට බලු පැටියෙක් අරගෙන මම හිතන්නෙ මාසෙකට යෙන් පනස්දහසක්වත් ඕනෙ ඇති මේ බලු පැටියෙක් ඇති දැඩි කරන්නත්..
අනික බල්ලො ඇති කරන අයගෙන් බොහෝ දෙනෙක් වයස්ගත ජපන් ජාතිකයන්.. මම දකින විදියට, බල්ලොත් බැඳගෙන හැන්දෑවෙ ඇවිදින්න යන ජපන් ජාතිකයන් දිහා බැලුවම වැඩි දෙනෙක් එහෙම නිසා මට එහෙමයි හිතෙන්නෙ, අනිත් අතින් වයස්ගත ජපන් ජාතිකයන් බොහෝ දෙනෙක් තමන්ගෙ තරුණ කාලෙ කළ ‍රැකියාව අහවර කරල නිවසේ ‍රැ‍ඳෙන අයත් නෙවෙයි.. තව කුමක් හෝ කුඩා ‍රැකියාවක් (Part -time) කරල මුදලක් උපයා ගන්නව.. ඔවුන්ගෙ දිවිපැවැත්ම සඳහා.... එසේ උපයන මුදලින් ජීවත්වන ඔවුන් මේ බලු සුරතලය කරන්නෙ දූ දරුවන් වෙන්වී ගොස් තනිව ජීවත්වන තම තනිකම දරාගන්න තියෙන අපහසුව නිසා කියලයි මම හිතන්නෙ..මම අත්දැකීමෙන්ම දන්නා එක ජපන් කතක් ඇති කරන බැල්ල ඈ සමග ම එක්ව ජීවත් වෙනව... ඈ මට කී දේ ඇගේම වචනයෙන් කිව්වොත් " We simply live together", ඒ ඇය බැල්ල ගැන හිතන හැටි..සංවර්ධනය හරහා පවුල කියන සමාජ ඒකකයෙ බිඳවැටීම ද මම මේ දකින්නෙ කියල මට හිතෙනව..

කොහොම වුණත් හැමදාම වගෙම මම නොදන්න සංස්කෘතියක් විවේච්ච්නය කරල තීරණ ගන්න කැමති නෑ.. ඒත් මට හිතෙනව මේ තරමක් හෝ අවධානය යොමු විය යුතු දෙයක් කියල.. නන්නාඳුනන සංස්කෘතියකින් එහි හොඳ හෝ නරක ගැන යමක් ජීවිතයට එකතු කරගෙන යෑමෙන් අඩුම ගණනේ මගේ ජීවිතේ ඒ වරද නොකර ඉන්නවත් මම ඉගෙන ගනීවි නෙ..

----------------------------------------------------------


අනිත් අතින් මමත් බල්ලන්ට ගොඩක් ආදරෙන් සලකනව.. මේ බල්ලො ඇති කිරීම මගෙ අවධානය දිනාගත් එක හේතුවකුත් ඒක වෙන්න ඇති...අනික මේ වයස්ගත ජපන් ජාතිකයින් හරි කරුණාවන්තයි.. ආසාවට ඒ බල්ලෙක්ව අල්ලන්න ද ඇහුව ම අල්ලන්න දෙනව.. :-) .. හොඳ වෙලාවට මේ බල්ලො පොඩ්ඩක්වත් නපුරුත් නෑ, අනේ මන්ද ඒ නම් මොකද කියල....

ජපන් බසින් බල්ලන්ට කියන්නෙ "ඉනු"(犬 ) කියල....

Photos: http://www.bleedingheartburgess.com/uploaded_images/dogs-784436.jpg
http://japan.fjordaan.net/med_set1/0368.jpg

-----------------------------------------------------------------

Thursday, June 3, 2010

නූල් පටින් නුඹ තැනුවෙ ජීවිතයද..

සිකුරාද හැන්දැවෙ ගෙදර යන්න බස් එකට නැග්ගම මම නගින තැනේ හැටියටත් මගේ විඩාබර මුවේ නැගෙන බලාපොරොත්තුවත් සහ තවත් මොන හේතු නිසාද මන්දා බොහෝ ගැහැනු ළමයි මගෙන් අහල තියෙනව...
ගාමන්ට් එකක නම කියල.. "............. එකේද වැඩ කරන්නෙ" කියල...

ඔවුන්ගෙ හිතේ තියෙන වේදනාව, කරදර ඔවුන් හා සමානව ඒ දුක විඳින කෙනෙක් එක්ක බෙදාහදා ගන්න බලාපොරොත්තුවෙන් අහන ඒ ප්‍රශ්නෙට නෑ.. කියල උත්තර දෙන මට කොහොමවත් හිතෙන්නෙ නෑ...ඉතින් මම ඔව් කියනව.. එතනින් එහාට ඔවුන්ගෙ දුක් බර ජීවිතය මගේ ඉස්සරහ ඔවුන් මුදා හරිනව අනන්තවත් අවස්තාවලදි...ඒක අහගෙන ඉ‍ඳෙද්දි ඒ දුක්බර ජීවිතෙන් කොටසක් බෝඩිමේ ඉඳගෙන හැම සති අන්තෙම ගෙදර යන මටත් උරුම නිසාම මම ඇය සමග බෙදා ගන්නව..

ඒ නිසා එක අතකින් මේ මගේ කතාව... තවත් මම වගෙම තවත් බොහෝ නැගණිවරුන්ගේ කතාව..
අනිත් අතින් ලෝකයෙ පැවැත්ම...

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද

අදහන්නට පුළුවන්ද...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..

---------------------------------------------------------

නූල් පටින් නුඹ තැනුවෙ ජීවිතයද..



මම ගොඩක් ආස ගීතයක් නිසා එක් කරනව මෙතනට..ගැයෙන්නේ දීපිකා ප්‍රියදර්ශනී ගේ හඬින්..

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...