Monday, June 28, 2010

නොහිම් සිත්තම්...


නිල් පැහැ සුවිසල් අහසත් අනන්තය දක්වා දිවෙන දසුනත් අතර ‍රැඳුන කොළ පැහැය...
රන්වන් හිරු කිරණින් නැහැවෙන...නමුණුකුල කඳු වැටි සිපගන්නා මිහිදුම් සළුව... 
බැලුබැලු අත නෙත ගැටෙන නිල් සහ කොළ එක් කර සොබාදම ඇන්ද මේ නොහිම් සිත්තම මොන තරම් නම් අපූරුද ?

ජීවිතයේ දහසකුත් කම්කටොළු මැද දැරියක් ව දිවි ගෙවූ මට මේ සියල්ල මග හැරෙන්නට ඇත. තරුණියක වූ මා පැල්පතින් රජගෙදර ට ගෙනගියේ මගේම සොඳුරු රුවයි. දු‍ටුවන් වශී කරවන රූ සපුවකින් හෙබි මා එකම ‍රැයකින් තරුවක් ද ගැහැණියක් ද වීමි.

රූගත කිරීම්වලට අනන්තවත් මේ ප්‍රදේශයේ ‍රැඳුන මා කිසිදා මේ දේවල් නුදු‍ටුවේ ඇයි?

සුන්දර යෞවනයේදී මිත්තණියකගෙ භූමිකාව ට පිවිසීමට මටත් වඩා වේශ නිරූපණ ශිල්පියා වෙහෙසුන අයුරු... මුහුණේ ‍රැළි මවන්නට ආලේප තැවරූ... ඝන නිල් කෙස් කළඹ සුදු පැහැ ගන්වන්නට වෙහෙසුණ අතීතය...
අද කිසිදු වෙහෙසක් නැතිව ම...ඒ පෙනුම...

සුන්දරත්වය ද කීර්තිය ද ධනය ද විසින් නිලංකාර කල දෑසින් මිහිබට සුරලියක ම වීමි. රිදී තිරය ඒකාලෝක කල මා රුව අස්ථිර යයි එදා නම් මට නොසිතිණ. සදාකාලික යෞවනයක සිහින අතර පාවුන සිහින කුමරිය වූ මා ඒ සිහිනයෙන් මුදාලන්නට කිසිවෙකුත් නොසමත් විණ.

එදා ද ගහකොළත් නිල් අහසත් මේ සුන්දරත්වය ම උසුලන්නට ඇත. ඒ දකින්නට තරම් නැවතිල්ලක් මට කොයින්ද? සැඳැ සාදයක මධු අතරේ මිහිර මා පියවි ලොවින් ඉවතට ගෙනගියේය.
අවන්හල්... රැඟුම්... ගැයුම්... සාද...

මුළු ලොවම මා පතද්දී කුමට කු‍ටුම්භයක සිර වෙම්ද?

දෙතොල් පුරා ලූ මධු බඳුනේ...
ජීවිතයේ මිහිරයි ‍රැඳුනේ...

මා ලවන් දැලේහී
බිඟුන් මුලා වී
‍රැ‍ඳෙන්නෙපා...
-------------------------
අද මේ සියල්ල හැර දමා එන්නට මට ම සිතුනේ ඇයි? ඒ සියල්ලෙන් මා විඳි රසය හීන වූ නිසාද? වැහැරුණ මගේ යෞවනයේ අසිරිය හීන වෙද්දී රිදී තිරය පුරා පෑයූ අළුත් තරු මගේ එළිය අභිභවා දිලෙනු දු‍ටු නිසා ද?

සදාකාලික යෞවනෝන්මාදයෙන් මත් වී සිටි මගේ ම අභිමානය මා දෙපතුළ බිඳියනු දු‍ටු නිසා ද?

ජීවිතයේ යථාර්තයෙන් පලා යා නොහැක... ජීවිතය නොනවතී.. එය ගලා යයි...
එහි නා නා යුගයන්ට ඊට ම උරුම සුන්දරත්වයක් අයිතිය. 
දිලෙන තරු තිරය මත දිලුන දෙන්... මේ මගේ ජීවිතයේ සැඳැ සමයයි. රිදී තිරය මත තරුවක් වී අතැඟිලි අතරින් ගලායන්නට ඉඩ හල ජීවිතය දැන්වත් ඉතින් අතැඟිලි අතර රඳවා ගත යුතුය.

මා තරුවක් වෙද්දී ජීවිතයේ බර උරින් ගෙන දියණියට මව ද පියා ද දෙදෙනාම  වූ ඔහු සොයා යා යුතුය.

දියණියට නුදුන් සෙනෙහස මිණිපිරියටවත් දෙන්නට මා නැවත ඔවුන් වෙත යා යුතුය. අම්මා නොවුණත් ඇගේ දියණියට මිත්තණියවත් වීම ඈ තෘප්තිමත් කරනු නොඅනුමානයි.

ගමන නොනිමෙයි...



Photo: http://media.photobucket.com/image/stage%20lights/djkdogg/Backgroundz/stage-lighting-2.jpg

9 comments:

  1. අවදිවීමක් ද පසුතැවීමක්ද.........

    ReplyDelete
  2. හේමලයා කිව්ව වගේ මට හිතෙන්නේ එක පැත්තකින් අවදි වීමක්....කල යුතුයි කියන යුතුකමේ බලාපොරොත්තුවත් එක්ක හිත අවදි වීමක්....

    තව පැත්තකින් ගෙවී ගිය කාලය පුරාවටම අතපසු උන දේ නිසා ඇති උන පසුතැවීමක්...

    අපූරුයි චේජනා

    ReplyDelete
  3. ලස්සන රචනය නංගී.
    අනිත්‍ය හැම දෙය අතර ඇති එකම නිත්‍යය -- වලකන්න බැරි වෙනස අපූරුවට පැහැදිලි කරයි.

    ReplyDelete
  4. මේ වූ කලී "ආකාසකුසුම්" ගැන විවරණයක්දැයි සිතේ....සිනමා පටය මා තවමත් විඳ නැත....නමුත් අන්තර්ගතය විචාරවලින් කියවා ඇත්තෙමි...

    නගේ මම හරිය....?????

    සුලා..

    ReplyDelete
  5. හේමලයා

    දිල් විස්තර කරල තියෙනව වගෙම පසුතැවීමක් සමග ම උනත්

    දැක දැක ඉඳපු සිහිනෙන් අවදි වීමක් ගැන තමා කියන්න හැදුවෙ නම්...

    ReplyDelete
  6. සුලා අය්යෙ,

    මම "ආකාස කුසුම්" නම් බලල නෑ...
    මේක ලියන්න හේතුව වුණෙ නම් සිළුමිණ පත්තරේ ශාස්ත්‍රීය කියන කොටසෙ කවිතා ලතා හි පල වෙලා තිබුන කවියක්..
    "නිලියේ" කියල තිබුණ ඒ කවිය සුගතපාල ද සිල්වා ශූරීන්ගේ " අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" කියන කවි පොතේ කවියක් බවත් එහි සටහන් වෙලා තිබුණ..ඒක කියෙව්වම මට හිතුණ නිළිය ට කොහොම හිතෙනව ඇද්ද කියල...

    ඒක තමා මේ ලියල තියෙන්නෙ.. ඔයා වැරදි නෑ මට එක සැරේටම මේ වගෙ දෙයක් ලියවුණේ මොකක් හරි දෙයක් දැක්ක ම කියල ඔයා තේරුම් ගත්තනෙ..

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්..
    කමක් නැහැ
    සිහිනයෙන් අවදිවෙලා
    සැබෑව දුටුවානම්
    එයයි වැදගත්
    මට සිතෙයි
    කවුරුන් වුවත්

    ReplyDelete
  8. ඇත්තෙයි.....ඒකත් එහෙමද ..?? ප්‍රසන්න විතානගේ ගෙ ඒ සම්මානනීය සිනමාපටයට වස්තුබීජය අප අතරින් වියෝ වූ සුගතපාල සිල්වානන්ගේ ඒ නිර්මාණයද කියලා හොයන්න ඕන පොඩ්ඩක්.....
    නංගියේ මම දන්නවිදිහට ඔයා ලියල තියෙන සටහන ගොඩාක්දුරට "ආකාසකුසුම්"ගේ අන්තර්ගතයට සමානයි කියලයි හිතෙන්නෙ...
    බලන්නකෝ.. එකෙත් හැටි ඈ...සංවේදී..නිර්මාණශීලී සිත් සමපාතවන හැටි...
    නංගියේ "සිතිවිලි"අති විශිෂ්ඨයි..!

    සුලා..

    ReplyDelete
  9. පොතකින් කවියක්
    නිළියේ

    ”අපූරුයි අපූරුයි
    අපූරු මැහැලියක්”

    කුමරි කල ඔබ
    හාදු දී තුරුළු කොට
    වැළඳගත් මහළු වෙස
    නිළියේ,
    අද දෙපත් නයකු සේ
    ඔබ වෙලාගෙන

    සායම් පොවා
    ගත රැළි කරගත් නිළියේ
    සායම් පොවා
    දත් කළු කරගත් නිළියේ
    සායම් පොවා
    කෙහෙ සුදු කරගත් නිළියේ
    පාරම්පරික
    උරුමය මේවද නිළියේ

    කුමරි කල ඔබ
    මහලු වෙස් ගනිද්දී
    ”අපූරුයි අපූරුයි
    අපූරු මැහැලියක්”
    කියූ ගී ගැයූ බිඟුකැල
    අද නිහඬ
    අද නිසල
    ඔබේ අනෝතත්ත නෙත්වල
    කාන්තිය මැලවෙනු දැක
    රන්ගිරි අරනේ
    තපස් වැදිලාද?


    සුගතපාල ද සිල්වා
    ”අනේ දෙව්දත් නොදුටි මොක්පුර”
    කාව්‍ය සංග්‍රහයෙනි.

    මේ ඒ කවිය...
    Link:http://www.silumina.lk/punkalasa/20100627/_art.asp?fn=ar10062713

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...