Wednesday, May 25, 2011

මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්...

තිස්ස වැව්දියට රාස්සිගෙ අව්ව වැටිල...රත්තරන් පාටයි...දිලිසෙනව... 
රංචු පිටින් පීනගෙන යන කොරළි පැටව්... දැල එලන්න යන්න වෙලාව...
වැවෙන් නාල යන්න නැවතුන වන්දනා නඩ එකින් එක වාහනවලට ගොඩ වෙනව... ඉර වැටෙන්න කලියෙන් යන්න වෙන්න ඇති... 

ඒත් ඒ ඇහෙන හිනාහඬ...


තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්...
උකුළු මුකුළු සිනාහඬින් වැව්දියවර පිනා ගිහින්..
කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්
මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්...
 
හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා 
ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා 
කොරළි පැටව් රංචුපිටින් වීසි දැලෙන් පැනල ගියා 
ඈ දෙස මා නෙත්යොමාන ඔරුකඳ ඈතටම ගියා 

දිය කැටපහනට ඉහළින් පෙම් දියවර උස්ව ගියා 
මගෙ රුව ඈ නෙත ගැටුණත් සමච්චලෙන් හිනා වුණා 
ඉරුණු සරමෙ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ මැවුණ සොඳුරු හැඟුම් සොරොව්කටින් එපිට ගියා

 චාමර වීරසිංහගේ හඬින්...

Monday, May 23, 2011

මා දුටු ජපානයෙන්... අසිරිමත් පුරවර...

ජපන් භූකම්පනය හා බැඳුනු සිදුවීම් අවට ලෝකය කොයිතරම් කම්පනයට පත් කළත් නියොන් එළියෙන් දිදුලන මේ අසිරිමත් පුරවරය, ටෝක්යෝව එදා වගෙමයි...
සතිය පුරාම සිය ජීවන අරගලයේ යෙදිලා සතිඅන්තය බොහෝවිට අවන්හලකින් යමක් කා බී සතුටුවන ටෝක්යෝ වැසියන්ගෙ ජන ජීවිතයත් එහෙම්මයි...

භූ කම්පනයට සාර්තකව මුහුණ දෙමින් ලොව උසම කුළුණත් ටෝක්යෝවේ උසම ඉදිකිරීමත් වන ස්කයි ට්‍රී එහි මුළු උස ලබාගෙන..., මාර්තු 18 වෙනිදා...මීටර් 634 ක්... තවම ස්කයි ට්‍රී නරඹන්නන් සඳහා විවෘත නෑ... ඒත් ටෝක්යෝ ටව‍ර් සිට බලන විට තරමක් ඈතින් රාත්‍රී අහසේ වළාකුළු අතරින් ස්කයි ට්‍රී හි දිදුලන රතු ආලෝකය පේනව දැන්...

Sky tree

Tokyo tower

මේ එක සතිඅන්තයක ටෝක්යෝවේ මේ වනවිට ඇති දෙවන උසම ඉදිකිරීම වන ටෝක්යෝ ටවර් ඉඳන් දැකපු මේ අසිරිමත් පුරවරයේ දසුන්... වෙනදා තරම්ම නියොන් එළි නොදැල්වුණත්...


ටෝක්යෝ ටවර් සිට බලනවිට පැයවිසිහතරක් ඇතුලත වෙනස්වන දසුන... ඩිජිටල් තිරයක...


මෙහෙම බලද්දි නියොන් එළි දිදුලන අපූරුව පමණක් ම පෙනෙන මේ පුරවරයේ අපි දකින පදික වේදිකාවෙ කුඩා අවන්හල් සේම පුංචි දේවල් විකුණන කුඩා කඩ ද රාශියක් මේ නියොන් එළියෙන් සැඟවිලා ගිහින්... මේ කුඩා කඩ අතර පාවිච්චි කළ විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ ආදී දේ විකුණන කඩ සාප්පු බොහෝමයක් තියෙනව...පාවිච්චි කළ දේ විකිණීම සාමාන්‍ය දෙයක් වුණු ජපානයෙ පාවිච්චිකළ ඇඳුම් පවා විකුණන්න පුළුවන්.

ලෝකයේ වැඩිම ජීවන වියදමක් ඇති නගරයක් ලෙස පිළිගැනෙන ටෝක්යෝවෙ නවාතැන් ගාස්තු ඉතාම ඉහළ අගයක්... පැයකට යෙන් 600 සිට 1100 දක්වා වගෙ ගණනක් පාට් ටයිම්වලින් උපයන්න පුළුවන් ටෝක්යෝවෙ දි... ඒ වගෙම ටෝක්යෝව ආසන්නයෙ පවා නවාතැන් ගාස්තු අවම වශයෙන් යෙන් 50000 වගෙ වෙන විදුලිය ගෑස් වතුර සියල්ල ඉතා ඉහළ අගයක් වෙන ටෝක්යෝවෙ ජීවත් වෙන්න මාසෙකට යෙන් 100000 කිනුත් අමාරු තරම්...

ටෝක්යෝව කිසිසේත්ම මිහිබට සුරපුරයක් නෙවෙයි...

Thursday, May 19, 2011

ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!




නුදුටු ඔබ වෙනුවෙන් දෙනයන
නලියනා කඳුලක් කැටිකොට
පතන්නම් මෙලෙසින් ඔබ වෙත
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!


Wednesday, May 11, 2011

කඳුමුදුනට නැග සඳ මඬලේවත් ලියාතියන්න ද මගේ කවී...



මේඝ වළාවක ලියා එවනු බෑ
ඔබෙ සෙනෙහස ගැන කියන කවි
මගෙ සෙනෙහස ගෙන සිව් සිය ගව් දුර
මේඝ වළාවට යන්න බැරී

ෆුජි සිඹින හිරු මඬලෙ ලියනු බෑ
ඔබෙ සෙනෙහස ගැන කියන කවී
මා අමතක කර, ෆූජිට ඒ කවි
හිරු කොඳුරනු මට අසනු බැරී

අඳුරු නිශාවේ ඔබ මා දෙදෙනගෙ
නෙත විසිතුර වී නැගෙනු රිසී
සඳ මඬලේවත් කඳුමුදුනට නැග
ලියාතියන්න ද මගේ කවී

Tuesday, May 10, 2011

අනන්ත දසුනක් සැඟවී ගිය සඳ...



බිඳ බිඳ දියවෙන මේඝ වළාවක
රන් හිරුකිරණක උණුසුම් පහසක
එක්වී කැළතී වෙන්වී යන සඳ
ඉඳුදුනු මතුවිය පෙරඹර අහසක

තුරුහිස ගැයෙනා විහඟ ගීතයක
බිඳ බිඳ සැලෙනා ලතා මඩුල්ලක
සුගායනය රිද්මය මුසුවූ සඳ
රොන්සුණු තැවරිණ මඳනල ‍රැල්ලක

වසන්ත අහසේ ඇඳෙන රටාවක
සුදු මුදු සුසිනිඳු මිහිදුම් සළුවක
අනන්ත දසුනක් සැඟවී ගිය සඳ
දෙතොලග තැවරිණ මිහිරි සිනාවක

Sunday, May 8, 2011

මා දුටු ජපානයෙන්... ඕසකාවේ දවසක්...

පහුවුණ සතිය ජපානෙ ලැබෙන දිගම නිවාඩුව. Golden week...
ටොක්යෝවට පහළින් පිහිටි කන්සායි ප්‍රදේශය බලාගන්න ඒ නිවාඩුව ගත කළා අපි... ඕසකා ප්‍රාන්තයෙ අගනුවර, ඕසකා නගරය වගෙම එක රාජ්‍ය පාලන යුගයක ජපානයෙ අගනුවර වුණු ක්යෝතොවත් එක්කම...
ඕසකා හරිම නිස්කලංක වෙරළබඩ නගරයක්... ගොඩක් කාර්යබහුල වුණත් ටෝක්යෝවෙ අයට තියන කලබල ගතිය ඕසකාවේ දි අඩුයි වගේ... ඒගොල්ලො කෙනෙක්ට උදව් කරන්න ටිකක් වෙලාවක් ගත කරන්න අකමැත්තක් නෑ... සාමාන්‍ය තරමකට ඉංග්‍රීසිත් කතා කරන ඒගොල්ලො අපිට කීපවතාවකම උදව් කරන්න ඉදිරිපත් වුණා... තමන්ගෙ කැමැත්තෙන්ම...

ජපන් ජීවිතේ පළවෙනි වතාවට, පත්තරයක් බල බල පුංචි රෙස්ටුරන්ට් එකක තේ බොන මිනිස්සුන්ව ඕසකාවෙදි දැක්කම මට ආයෙම ලංකාව මතක් වුණා...මිල්ක් ටී බෝතල් නැතිව ලංකාවෙ වගෙම රසම රස කිරි තේ බොන්නත් තිබුණ එහේ...

------------------------

එහේ බලන්න දේවල් හුඟාක් තියනව... අපි එහේ ගතකළ දවස්වලින් පළවෙනි දවස ගතකළෙ ඕසකා Universal Studio එකේ... ඒ විසිතුරු අතරින් මම අරගෙන ආව මතක සටහන් ටික මේ...

Jurrasic park චිත්‍රපටයේ පසුතලය සැබෑ ලෙසම ඕසකාවෙත් නිර්මාණය කරල තියනව... ඒ පසුතලයෙ Adventure Ride එකකුත් ඕසකාවෙ ජුරාසික් පාක් එකට අයිතියි...



Backdraft, හොලිවුඩ් චිත්‍රපටවල අපි දකින අනතුරුදායක දර්ශන නිර්මාණය කරන විදිය ගැන කරන ඉදිරිපත්කිරීමක්... බොහොම පරෙස්සමින් පිළියෙළ කරපු ගෑස් නළ දිගේ එවන ගෑස් ගිනිගැනීමෙන් ඒ දර්ශන නිර්මාණය කරන අතරේම ගින්න පාලනය කරගන්න වතුර එවීමත් එවෙලෙම සිද්ද කරනව...රූගත කිරීම් අතරෙ අපට නොපෙනෙන්න... eඒත් එක්කම කඩාවැටෙන බව පෙන්නන දේවල් සියල්ල දර්ශනය නිමාවුණ ගමන් ම ආපහු යන්ත්‍රානුසාරයෙන්ම යථාතත්වෙට පත් වෙන්න ගතවෙන්නෙ සුළු වෙලාවක් විතරයි...


ඒ වගෙම 4-D studio... Sherk 4-D


Hollywood වලට බොහෝ සමානව නිර්මාණය වුණ ඕසකා Universal Studio එක රෑ වෙනකොට නම් මිහිබට සුරපුරයක් වගේ...
මේ සමහර දේවල් සේයාරුවක් විදියට එළියට අරගෙන එන්න බෑ... ඒත් දවස අවසන් කරන්න ඔවුන් ඉදිරිපත්කරන විසිතුරු Fancy Parade එක නම් මුළුමනින්ම වගේ රූගතකරගෙන එන්න පුළුවන්...

Alice in the Wonderland, Arabian Nights, Sesame street, Sinderella වගේ ජනප්‍රියම චරිත සියල්ල සැබෑවට දකින ලෝකයක් ඔවුන් නිර්මාණය කරනව. එක මොහොතකට...

සින්ඩරෙල්ලා




මම දුටු ජපානයෙ සුන්දරම මතක අතරෙ හැමදාමත් මේ මතකෙ රැඳිල තියේවි...


මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...