Saturday, July 13, 2024

පෞද්ගලික මුල්‍ය කළමනාකරණය හා නිදහස

 

වැඩිහිටියෙකු ලෙස ජීවත්වීමේ දී වගකීම් සහගතව තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීම සඳහා තම මුල්‍යමය පැවැත්ම ඉතා වැදගත්... මුල්‍යමය අවශ්‍යතා සඳහා තවත් කෙනෙකුගෙන් යැපෙන විට අපට  නිදහසේ ජීවත්වීම අවස්ථාව බොහෝවිට ඉබේම අහිමි වෙනවා...

මුදල් ඉපයීම සම්බන්ධ ගැටළු බොහොමයක් ලාංකීය සමාජය තුළ මා දකිනවා... මුදලක් උපයන ස්වාධීන වැඩිහිටියෙක් නොවී ම තමනුත් නව පවුලක් ඇරඹීම ලාංකීය සමාජය තුළ මුල් බැසගෙන ඇති ගැටළුවක්... මුදල් උපයන්නේ නැතිව දෙමාපියන්ගෙන් යැපෙමින් නව පවුල ඇරඹීම  නිසා සිය ජීවිත කාලයටම බල පැවැත්වෙන ගැටළු ඇතිකරගත් පුද්ගලයන් මට මුණගැසී තිබෙනවා...ඔවුන් ඇතැම්විට පසුව මුල්‍යමය ස්වාධීනත්වය ළඟාකරගත්තත් එසේ නොවුණ යුගයේ පවුල් තුළ ට සිදු වූ අනවශ්‍ය අතපෙවීම් ඉවත් කරගැනීම පසුව අපහසුයි... වඩාත්ම ඛේදනීය වන්නේ කිසිදු ස්ථිර ඉපයීමක් නැති දෙමාපියන් දරුවන් තැනීමේදී දෙමාපියන් සහ දරුවන් එක්ව මුහුණ දෙන ගැටළුයි...

ඉතා ඉහළ උගත්කම් ඇති හා හොඳ ඉපයීමක් ලබන තරුණියන්ට පවා විවාහයෙන් පසු දෙමාපිය හා සහකරුගේ බලපෑම නිසා රැකියාව අත්හැර දැමීමට සිදුවීම... එපමණක් නෙවෙයි, දරුවන් රැක බලාගැනීම පිළිබඳ ගැටළු  පවා නැති ඇතැම් කාන්තාවන් ස්වාමියාගේ අකමැත්ත මත හෝ ඔහු හොඳින් උපයන නිසා නිවසේ රැඳීමට දක්වන කැමැත්ත ලාංකීය සමාජය තුළ  කාන්තාවන්ගේ මුල්‍යමය ඉපයීම් පිළිබඳ ගැටළු ඇතිකරනවා... යම්කිසි අවාසනාවන්ත සිදුවීමක දී එනම් හදිසි අනතුරකදී හෝ නිවසේ මූලික උපයන්නාට රැකියාව අහිමි වීමකදී ඔවුන් ඉතා අසරණ වනු ද මා දැක තිබෙනවා...

තමා වටා සිටින මිතුරු කවය හා අනෙකුත් නෑ මිතුරන්ට ප්‍රදර්ශනය කිරීම පිණිස තරගකාරීව කටයුතු කිරීම නිසා අනවශ්‍ය ලෙස වියදම් දරමින් සිය මුල්‍යමය පැවැත්ම විනාශ කරගැනීමත් මුල්‍යමය කළමණාකරණය පිළිබඳව සමාජය තුළ ඇති ගැටළු අපට කියාපානවා... මුල්‍ය කළමනාකරණය නරක නම් ඉපයීම කෙතරම් හොඳ වුණත් මුල්‍යමය නිදහස ලබාගැනීම ඉතා අපහසුයි...අනෙක් අතින් මධ්‍යම ප්‍රමාණයේ ඉපයීමක් මගින් වුණත් හොඳ මුල්‍යමය කළමනාකරණයක් ඇතිවිට මුල්‍යමය ස්වාධීනත්වය ලබාගැනීම පහසුයි... 

ඒ නිසා තම වැඩිහිටි ජීවිතය ඇරඹීමේ දී මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනීම මොනයම්ම ක්‍රමයකින් හෝ ලබාගැනීම සඳහා දිරිගැන්වීමක් ලාංකීය තරුණ පරපුරට අත්‍යවශ්‍යයි... ඒ සඳහා කුඩා කල පටන්ම දෙමාපියන්ට ද දායකත්වයක් ලබාදිය හැකියි...

6 comments:

  1. ඒක වැඩිහිටියන්ටත් විශ්‍රාමික පරපුරටත් එකවගේ වැදගත්. ඒ හුඟදෙනෙක් ලඟ මේ දැනීම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නෙ... අඩුම ගණනෙ ඒ දැනීම නැති බව දන්නෙත් නෑ... ඒ හින්දාම ඒක ලබාගන්න ඕනෙ කියල දන්නෙත් නෑ...

      Delete
  2. තරුණ තරුණියන්ට මේ සඳහා පටන්ගැන්මක් ගන්න පුලුවන් තමන්ගෙ විවාහයෙන්ම. ලෝකෙට ණය වෙන්නෙ නැතිව තමුන්ගෙ විවාහය ගැනීමට මානසික තත්වයක් සහ පෞර්ශයක් ඇති කර ගැනීමෙන්.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒක හිතුවා... එහෙම හිතල ඒ විදියට කළත් එක්ක...

      Delete
  3. ලංකාවෙ සාමාන්‍ය අාදායමක් ලබන පුදගලයන්ගෙ ලොකුම හීනය අනෙකාට පේන්න ජීවත් වීම.

    සිංහලෙන් ඕකට කියනව

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල.

    හැබැයි සමාජයත් ඒ පැවතුම් අගය කරනව. ඒ කෙළවෙනකං විතරයි. ඊට පස්සෙ හිනා වෙනව

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... දුක හිතෙනවා...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Entertainment industry

ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ ...