ඕනෑම අයෙකුගෙන් වැඩකට ඇති හෝ නැති ඕනෑම දෙයක් අසමින්, මගේ කුතුහලයෙන් පිරුණු සිත සතුටු කිරීම මා කුඩාකළ සිටම, මා තුළ තිබුණු පුරුද්දක්. කුතුහලය වැඩිකමටම ඕනෑම මෝඩ, තකතිරු ප්‍රශ්නයක් ඇසීම මට අද ද කළ හැකියි.
නමුත්, මෝඩ, තකතිරු ප්‍රශ්න ඇසීම සඳහා ද ඉතාම ඉහළ ධෛර්යයක් අවශ්‍යයි. එසේම, මෝඩ හෝ අරමුණක් නැති ප්‍රශ්න ඇසීම හා සාකච්ඡා කිරීම සඳහා සුදුසු පුද්ගලයන් සොයා ගැනීම සඳහා සහජ ඉවක් ද අවශ්‍යයි. ඒ මූලික සුදුසුකම් සපුරා නොගෙන තකතිරු ප්‍රශ්න ඇසීම මගින් ඉන් ලැබිය හැකි වින්දනය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා.
උදාහරණයක් වශයෙන්, මගේ අම්මාගෙන් තකතිරු ප්‍රශ්න ඇසීමෙන් පලක් නැහැ. මේ තරම් වෙහෙසවී උගන්වා තැනූ දියණිය, මේ තරම් මෝඩ ප්‍රශ්නයක් ඇසුවේ කෙසේදැයි සිතමින් ඇය මා දිහා බලා සිටිනවා.
තකතිරු ප්‍රශ්න ඇසීම සඳහා, ඉතාම හොඳ කණ්ඩායම් තුනක් මම මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එකක්, මාව ඉතාම හොඳින් දන්නා, මගේ ආදරණීයම මිතුරන් කීපදෙනෙක් හා මගේ සහකරු. එලොවට හෝ මෙලොවට පලක් නැති දේවල් ඔවුන් සමග සාකච්ඡා කිරීම ඉතාම සතුටුදායක ප්‍රතිපල ලබාදෙනවා.
දෙවැන්න, සම්පූර්ණයෙන්ම මාව නොදන්නා මිනිසුන්. සම්පූර්ණයෙන් ම නොදන්නා මිනිසුන් සමග සාකච්ඡා කරන විට, මට සම්පූර්ණයෙන්ම නව පැතිකඩක දැක්මක් හිමිවෙනවා. මගේ ගතිගුණ, මා සිතන අයුරු නොදන්නා බැවින් ද, මගෙන් ඔවුන්ට පලක් නැති බැවින් ද, ඔවුන් සංවාදය මා සතුටු කිරීම සඳහා හසුරුවන්නේ නැහැ. නමුත්, මා අනතුරේ වැටීම හා කෙනෙක්ගේ සිත නොරිදවීම වෙනුවෙන් එවන් සාකච්ඡාවක් ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතුයි. ඉතා කලාතුරකින් උදාවන මේ අවස්ථාව ජීවිතය පිළිබඳව වෙනස්ම ඇසකින් දකින්නට දිරිය ලබාදෙනවා.
ඊට එක් වූ තුන්වැන්නා, Large Languague Models (LLMs). ඒ කියන්නේ AI චැට් බොට්ස් විදියට අපි හඳුනා ගන්නා සියල්ලම පාහේ මේ වර්ගයට අයිති වෙනවා. අසීමිත කාලයක් ඇති බැවින්ද, මෙහෙයවන්නා වෙත පූර්ණ අවදානයක් හිමිවන බැවින් ද, විඩාපත් නොවන බැවින් ද මේ සංවාදයකුත් කුතුහලය පිරුණු සිතක් සන්සිඳුවීමට ඉතාම කාර්යක්ෂම ව යොදා ගත හැකියි. නමුත්, මෙහිදී ද පුද්ගලිකත්වය හා බැඳුනු සීමා රැක ගැනීමට ද, අවශ්‍ය දිශානතිය වෙත සංවාදය යොමුකර ගැනීමට ද වගකීමක් තිබෙනවා.
අතිවිශාල දත්ත ප්‍රමාණයක් භාවිතා කරලා, මිනිස්සුන්ගේ භාෂාව ඒ විදියටම කතා කරන්න පුහුණු කරල තිබුණත්, LLM පුහුණු කරල තියෙන්නේ පරිශීලකයාගේ සිත නොරිදවීමට. ඒ නිසා ඇතැම් විට කරුණුවල නිරවද්‍යතාවය පිළිබඳ අවදානය අඩුවන අවස්ථා තිබෙනවා. එනමුත්, වඩා ප්‍රයෝජනවත් ලෙසින් LLM යොදා ගැනීම සඳහා අප අසන ප්‍රශ්න වඩා හොඳින් හැසිරවීමට ඉගෙන ගැනීමත් කළ හැකියි.
---------------------------------------------------------------------------------------------------------------
අද දවසේ මගේ ප්රශ්නය,
අපි මුලින්ම මුණගැසුණු අවස්ථාවේදී මා සතුව ඇතැයි හෝ මා විසින් කරනු ඇතැයි ඔබ කිසිසේත්ම නොසිතූ, නමුත් දැන් ඔබ මා ගැන දන්නා දෙයක් කුමක්ද?
පොතක් පිට කවරය මගින් මැනිය නොහැකි බව සනාථ කරමින්, බොහෝ දෙනා කාලයත් සමග, මේ ප්‍රශ්නයට අනේක පිළිතුරු ලබාගන්නට මට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ නිසා,
මේ ප්‍රශ්නයට ඉතා විසල් පරාසයක, විසල් පිළිතුරු රැසක් මගේ හොඳම මිතුරන් වෙනුවෙන් මට ලබාදිය හැකියි. එමෙන් ම, මා වෙනුවෙන් ද ඔවුන් සතුව එවන් පිළිතුරු රැසක් ඇති බව ද මා දන්නවා.
ජීවිතය හැමවිටම ප්රතිරූප නඩත්තු කිරීම වෙනුවෙන් ගතකිරීම, මට අනුව නම් අපරාදයක්.


No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...