Saturday, November 14, 2026

Fiction at its max with AI


පාත්තයන් ට බය ව්‍යාඝ්‍රයෙකු ද, ගණිතය ට පෙම් බැඳි වලහෙකු ද, වගාකිරීමට රිසි චිම්පන්සියෙකු ද, ඔවුන් සියල්ලන් හා කතා කරන කුඩා දැරියක ද සමගින් ප්‍රබන්ධය එහි උපරිම තලයේ තබන, බලා සිටීමට ඉතා ආසාවක් දනවන, කෘතිම බුද්ධිය උපයෝගී කරගෙන නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් අද මගේ දවසේ ඇරඹුම සටහන් කළා. නරඹන්නට පටන් ගත් මොහොතේ මගේ සිත ඉතා ආශාවෙන් බැඳ තබා ගත හැකි ඉතා සුන්දර රූප රාමු එහි ඇතුළත් වුණා.

කෘතිම බුද්ධිය නිර්මාණ සඳහා උපයෝගී කරගැනීම මගින් ඉතා සාර්ථක හා සුන්දර ලෙස නිමවූ දෙව් විමන් ද, දිය කිඳුරන් ද, ගිනි පිඹින මකරුන් ද, තවත් අනේක විධ තේමා ඔස්සේ ගලායන ප්‍රබන්ධ සජීවිකරණය වනු මා නොයෙක් විට නරඹා තිබෙනවා.

නමුත්, සිනමාව ප්‍රමුඛ විනෝදාස්වාදය සැපයීම සඳහා බිහිවූ සුවිසල් ව්‍යාපාර ජාලය හා එහි අනාගතයට මෙහි බලපෑම කෙසේ වනු ඇති දැයි මට සිතා ගන්නටවත් බැහැ.
 
එක් අතකින් ඉතා සාර්ථක ලෙස ප්‍රබන්ධ තිරගත කිරිමට හැකිවීම එහි වාසියක් වනු ඇති. සංස්කරණය වෙනුවෙන් ගතකළ අසීමිත කාලය ද, වෙහෙස ද අඩුවනු ඇති.

සිනමා පටයක් වෙනුවෙන් දරන්නට සිදුවන අසීමිත පිරිවැය අඩුවන නිසා කර්මාන්තය දියුණු වන්නටත් ඉඩ ඇති.

නමුත්, අනෙක් බොහෝ කර්මාන්ත හා ව්‍යාපාර පිළිබඳව ද සිදු වී ඇති පරිදි මිනිසුන්ගේ අවශ්‍යතාව ඉතා අඩුවනු ද ඇති.

නමුත්, කෘතිම බුද්ධිය උපයෝගි කරගනිමින් ඉතා කෙටි කාලයකින් නැරඹිය හැකි ලෙසින් තැනෙන කෙටි සිනමා පට, අද වනතෙක් එහි  කතා වස්තුව කෙරෙහි සැලකිය යුතු අවදානයක් යොමුකර නැහැ. ඉතා තීව්‍ර හැඟීම් ද, අභව්‍ය සිදුවීම් ද බහුල ඒ නිර්මාණ මගේ සිත දිනා නොගන්නේ ඒ නිසායි. කෙනෙකුගේ බුද්ධිය හා හැඟීම්වලට වඩා, නෙත පිනවන දසුන් වෙත පමණක්  අවදානය යොමු කෙරන ඒ නිර්මාණවල ඉලක්කය දුරකතනයකින් නරඹන ඉක්මනින් විනෝදාස්වාදය සොයන තරුණ පරපුර බව මම කියවා තිබෙනවා.

ඒ කෙසේ නමුත්, අද උදෑසන පාත්තයන්ට බය ව්‍යාඝ්‍රයා ද, ගණිත ගැටළු විසඳන වලහා සහ දැරිය ද මගේ සිත තදින් බැඳ ගත්තා. "දොස්තර හොඳ හිත " සිහි කෙරුණු ඒ ප්‍රබන්ධය මගේ සිත කෘතිම බුද්ධිය උපයෝගී කරගෙන කෙරෙන නිර්මාණ අතර විශේෂ මතකයක් ඉතිරි කළා. 

මා ජපානයේ ඉගෙන ගන්නා කාලයේ ජපන් ජාතික මහැදුරුවරයෙක් පැවසූ, එක් සංසිද්ධියක් මේ සඳහා ද අදාළයි. ඔහු පැවසුවේ, යමක් මුලින්ම ප්‍රමාණාත්මක ලෙස දියුණු වන අතර, තත්වයෙන්  දියුණුවීම සිදුවන්නේ ඉන්පසුව බවයි.  ඒ සංකල්පය  මේ සඳහා ද අදාළ වී මුලින් දහස් ගණනින් නිමවන මෙම නිර්මාණ පසුව තත්වයෙන් ද දියුණුවනු ඇතැයි මට සිතෙනවා. නමුත්, එය සිනමා කර්මාන්තයට සහ ඉන් යැපෙන වෘත්තිකයන්ට කරන බලපෑම අනාගතය විසින් තීරණය කරනු ඇති.

No comments:

Post a Comment

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

Fiction at its max with AI

පාත්තයන් ට බය ව්‍යාඝ්‍රයෙකු ද, ගණිතය ට පෙම් බැඳි වලහෙකු ද, වගාකිරීමට රිසි චිම්පන්සියෙකු ද, ඔවුන් සියල්ලන් හා කතා කරන කුඩා දැරියක ද සමගින් ප්...