Monday, October 26, 2026

තථ්‍යය අතථ්‍යය හමුවන සීමාවේ - Reality and virtuality


තථ්‍ය ලොවක තථ්‍යය යළි       හමුවී

අදිසි දැති රෝද කැරකෙනු       දිටිමී

මායා ප්‍රතිරූ විනිවිද              පෙනුණී

විභූතිමත් රූ බොල් වී              බිඳුනී


තථ්‍යය අතථ්‍යය හමුවන                  රේඛාවේ

කෙළවර සොයා යද්දියි සිත             ඉකිලෑවේ

දැනුමත් නොදැනුමත් අතරිනි මග        කීවේ

රුදු බව කෙතරම් ද නොදනිමි          මායාවේ


තථ්‍යය අතථ්‍යය හමුවන                 සීමාවේ

බොල් පිළිරූ බිඳුනු ඉතිහාසය        සැඟවේ

යළි යළි නැවුම් මායා ප්‍රතිරූ             මතුවේ

කාලය ලියයි නව මායාවක              උරුමේ


පසුබිම:

සමහර විට, අප දකින දෙය යථාර්ථය නොව, යථාර්ථය විසින් නිර්මාණය කළ අතථ්‍ය ප්‍රතිරූපයක් පමණි. සැඟවුණු යාන්ත්‍රණයක් දැකීමෙන් ප්‍රතිරූප බිඳී යයි. එහෙත් ඒ බිඳවැටීමේ ඉතිහාසය කාලයත් සමඟ සැඟවී යන අතර, පැරණි ප්‍රතිරූප වෙනුවට අලුත් ප්‍රතිරූප බිහි වෙයි. එහෙත් එතැනින් සියල්ල අවසන් නොවේ. හෙළි වූ යථාර්ථයත්, අප තවමත් නොදන්නා දේත් අතර සීමාව සොයන සිතිවිලි, ගමන ඉදිරියටම ගෙනයයි. 

එබැවින් මෙය එක් පුද්ගලයෙකු පිළිබඳ විනිශ්චයක් හෝ එක් සිදුවීමක් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් නොවේ. මෙය යථාර්ථයේ එක් කොටසක් හෙළි වූ පසු, දැනුම සහ නොදැනුම අතර ඉතිරි වන පරතරයත්, සත්‍යය සොයා යන මසිතේ නොනිමෙන ගමනත් පිළිබඳ කතිකාවකි.

Image from : https://www.pexels.com/photo/abstract-blue-liquid-metal-texture-design-29586671/

No comments:

Post a Comment

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

තථ්‍යය අතථ්‍යය හමුවන සීමාවේ - Reality and virtuality

තථ්‍ය ලොවක තථ්‍යය යළි        හමුවී අදිසි දැති රෝද කැරකෙනු       දිටිමී මායා ප්‍රතිරූ විනිවිද              පෙනුණී විභූතිමත් රූ බොල් වී       ...