Tuesday, September 1, 2026

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic


තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි.

එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස මම නොදකිමි. මිනිසුන් තොරතුරු සැකසීමේ, තීරණ ගැනීමේ සහ සමාජ පරිසරයට අනුව හැඩගැසීමේ විවිධ ආකාර අතර, තාර්කික හා විශ්ලේෂණාත්මක චින්තනය නිරන්තරයෙන් ප්‍රමුඛ කරගැනීම සාපේක්ෂව අඩු ප්‍රවණතාවක් වීම මට පෙනේ.

මිනිසාට තර්ක කළ හැකිය.

විශ්ලේෂණය කළ හැකිය.

තීරණයක් ගැනීමට පෙර වාසි අවාසි කිරා බැලිය හැකිය.

එහෙත් මිනිසා එයින් පමණක් සෑදී නැත.

සමහරවිට මිනිසාගේ වඩාත්ම සිත්ගන්නාසුලු කොටස වන්නේ, තර්කයෙන් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් ඔහු තුළ තිබීමයි.


කෙනෙකුට යම් සාකච්ඡාවක් ගැන විශේෂ උනන්දුවක් නැති වුවත්, තවත් කෙනෙකු වෙනුවෙන් එහි රැඳී සිටී.

තමන්ට අවශ්‍ය දේ සහ අනෙකාට අවශ්‍ය දේ අතර නැවත නැවතත් තම තීරණ වෙනස් කරයි.

සම්පූර්ණයෙන්ම තාර්කික තීරණයක් ගැනීමට හැකිව තිබියදීත්, මිනිසුන්ගේ හැඟීම් සලකා බලා වෙනත් තීරණයක් ගනී. 

තර්කයෙන් බැලූ විට මේවා අකාර්යක්ෂම දේවල් විය හැකිය.

නමුත් මිනිස් ලෝකය ඉදිරියට ගෙන යන්නේ මේවාදැයි මට සමහරවිට සිතේ.

මිනිසා සෑමවිටම සත්‍යය සෘජුවම කියන්නේ නැත. සෑමවිටම තමාට අවශ්‍ය දේ පමණක් කරන්නේ නැත. සෑමවිටම තමන්ට වඩාත්ම තාර්කික තීරණය ගන්නේ නැත.

සමහරවිට අනෙකා සතුටු කිරීමට තමන්ගේ තීරණය වෙනස් කරයි. සමහරවිට සමාව දෙයි. සමහරවිට ඉවසයි. සමහරවිට තමාට වේදනාවක් ඇති කළ කෙනෙකු සමඟම නැවත කතා කරයි.

මේ සියල්ලම දුර්වලතා ලෙස පමණක් දැකිය යුතුදැයි මම නොදනිමි. සමහරවිට ඒවා මිනිසාට ලැබී ඇති වෙනත් ආකාරයක හැකියාවන් විය හැකිය. මට විශේෂයෙන්ම සිත්ගන්නාසුලු වන්නේ මිනිස් හැඟීම්වල ඇති මේ පරස්පරතාවයයි.

මගේ සහකරු සමඟ මම තරහ විය හැකිය. ඒත් ඒ මොහොතේ ඔහු කෙරෙහි ඇති මගේ ආදරය නැතිවන්නේ නැත.

මිතුරෙකු සමඟ මට දැඩි ලෙස එකඟ නොවිය හැකිය. ඒත් ඒ එකඟ නොවීම නිසා මිත්‍රත්වය අවසන් විය යුතු නැත.

තර්කයෙන් බැලූ විට මේ හැඟීම් එකිනෙකට පරස්පරය. එහෙත් මිනිසා ඒ පරස්පරතා සමඟ ජීවත් වේ. 

විශ්වාසයත් එවැනි දෙයකි.

මට කෙනෙකු විශ්වාස කිරීමට හේතු තිබිය හැකිය. නමුත් අවසානයේ විශ්වාසය යනු ගණිතමය ගණනයකින් ලබාගන්නා දෙයක් නොවේ. කෙනෙකු පිළිබඳ සියලු දත්ත එකතු කර, ඔහු කිසිදා මාව රිදවන්නේ නැති බව තාර්කිකව ඔප්පු කළ පසු පමණක් මම ඔහුව විශ්වාස නොකරමි. කිසියම් අවස්ථාවක, විශ්ලේෂණය නතර කර විශ්වාස කිරීමට තීරණය කරමි.

---------------------------------------------

මිනිස් ශරීරය යනු අතිශය සංකීර්ණ පද්ධතියකි. මොළය, හෝමෝන, ස්නායු පද්ධතිය, එන්සයිම, රසායනික ක්‍රියාවලි—මේ සියල්ල එකිනෙක සම්බන්ධ වෙමින් ක්‍රියා කරන ආකාරය ගැන අපි තවමත් සම්පූර්ණයෙන් දන්නේ නැත.

මොළය තුළ Serotonin වැනි රසායනික ද්‍රව්‍යයක වෙනස්වීම් ගැන අපට කතා කළ හැකිය. ඒවා මැනිය හැකිය. ඒවා පිළිබඳ පර්යේෂණ කළ හැකිය.

නමුත් මිනිසෙකු යම් මොහොතක යම් තීරණයක් ගැනීමට හේතුව සම්පූර්ණයෙන්ම එම රසායනික ක්‍රියාවලියකට පමණක් ලඝු කර දැක්වීමට තවමත් අපට හැකි වී නැත.

මිනිසා වැනි අතිශය සංකීර්ණ ජීව විද්‍යාත්මක හා මානසික පද්ධතියක් මේ ආකාරයෙන් ගොඩනැගී තිබෙන විට, මිනිස් හැසිරීම් තුළ අපට පෙනෙන මේ පරස්පරතා කිසියම් කාර්යයක් ඉටු කරනවා විය හැකි බව මට සිතේ. 

සෑමවිටම තාර්කිකව පමණක් හැසිරෙන මනසක් තිබීම වඩා සරල විය හැකිය. සෑමවිටම සතුට පමණක් දැනෙන මිනිසෙකු වීමත් සරල විය හැකිය.

එහෙත් මිනිසාට දුක, තරහ, වරදකාරී හැඟීම, ඊර්ෂ්‍යාව, ආදරය, බිය, බැඳීම, අනුකම්පාව, සැකය, සමාව දීම වැනි පරස්පර හැඟීම් - මෙතරම් විශාල පරාසයක් තිබේ.

ඇයි?

මම ඊට පිළිතුර දන්නේ නැත.

නමුත් මට සිතෙන්නේ, සමහරවිට අපි “negative” යැයි නම් කරන හැඟීම් සහ “illogical” යැයි හඳුන්වන හැසිරීම් පවා මිනිස් පැවැත්මේ යම් වැදගත් කාර්යයක් ඉටු කරනවා ඇති බවයි.

සමහරවිට ලෝකය ඉදිරියට ගෙන යාමට තාර්කික මිනිසුන් අවශ්‍යය. ගැටලු විසඳීමට, පද්ධති ගොඩනගන්නට, තීරණ ගැනීමට, අනවශ්‍ය දේ ඉවත් කිරීමට. - නමුත් මිනිසුන් එකිනෙකා සමඟ ජීවත් වීමට තර්කය පමණක් ප්‍රමාණවත් නොවේ.

එතැනට හැඟීම් අවශ්‍ය වේ. ඉවසීම අවශ්‍ය වේ. සමාව අවශ්‍ය වේ. අනුකම්පාව අවශ්‍ය වේ. බැඳීම අවශ්‍ය වේ.

---------------------------------------

ඒ නිසාම, තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතන මිනිසුන් සංඛ්‍යාවෙන් අඩු වීම මට අහම්බයක් ලෙස පෙනෙන්නේ නැත. සමහරවිට ඔවුන් අවශ්‍යය. නමුත් සෑම කෙනෙකුම එසේ වීම අවශ්‍ය නැත. තර්කානුකූල විශ්ලේශණයට නැඹුරු කෙනෙකු වුව සෑම විටම තර්කානුකූල තීරණ ගන්නේ ද, ගත යුතුද නැත. 

උදාහරණයක් ලෙස, මම තර්කානුකූල විශ්ලේශණයට නැඹුරු මනසක් ඇති කෙනෙක් වුවත්, මගේ ජීවිතයේ වඩාත්ම වටිනා සම්බන්ධතා තර්කයෙන් පමණක් ගොඩනගාගත් ඒවා නොවේ.

මන්ද මිනිසාට අවශ්‍ය වන්නේ ගැටලු විසඳන මනසක් පමණක් නොවේ. එම ගැටලු විසඳමින් එකිනෙකා සමඟ මිනිසුන් ලෙස ජීවත් විය හැකි මනසක් අවශ්‍යය. මිනිසාගේ සම්පූර්ණත්වය තිබෙන්නේ ඔහු තර්කානුකූල වීම තුළ පමණක් නොවේ.

තර්කයෙන් පැහැදිලි කළ නොහැකි දේවල් සඳහාත් ඔහු තුළ ඉඩක් තිබීම තුළය.

මනුෂ්‍යත්වය කියන්නේ තර්කය අත්හැරීම නොවේ.

තර්කානුකූල වීමෙන් ඔබ්බෙහි, මිනිසෙකුට තවත් මිනිසෙකු අවශ්‍ය වීමයි.

Wednesday, August 26, 2026

විශ්වාසය - The Trust

කෙනෙක් වෙත තවත් කෙනෙක් තබන විශ්වාසය තාර්කිකව කිසිදිනක ලබාදිය හැක්කක් නොවේ. නමුත්, අතීත හැසිරීම් කෙරෙහි විශ්වාසය තබා, අනාගතයේ ඒ හැසිරීම් රටා එලෙසින්ම පවතිනු ඇතියි සිතමින් මිනිසුන් තව අයෙක් කෙරේ විශ්වාසය තබයි. මානවයාට ඇති ඒ අපූර්ව හැකියාව බොහොමයක් මානව සබඳතාවල අත්තිවාරම වේ. 

කෙනෙක් වෙත විශ්වාසය තැබීම හෝ නොතැබීම පිළිබඳව  තීරණය කරනු පිණිස මේ ලොව ජීවත්වන සෑම මිනිසෙකුටම තමාගේම යාන්ත්‍රණයක්/ ක්‍රමවේදයක් ඇති බව මගේ අදහසයි. බොහෝ මිනිසුන් තුළ, එය තම අභ්‍යන්තරය තුළවත්  ඉතා නිරවුල්ව ඉදිරිපත් කළ හැකි පියවර සහිත එකකට වඩා නිසර්ගයෙන්ම ක්‍රියාත්මක වනු ඇති යන්ත්‍රණයක් බව මගේ විශ්වාසයයි. 

මට නිතරම කෙනෙකුගේ අරමුණු සැක කිරීමට සිදුවන්නේ නම්, මා කියන දේ ඔහු කෙසේ භාවිතා කරයිදැයි සිතීමට සිදුවන්නේ නම්, ඔහුගේ සදාචාරය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීමට සිදුවන්නේ නම්, එය මට සැබෑ සමීපත්වයක් නොවේ. මට කෙනෙකු සමඟ සැබෑවටම ඇසුරු කළ හැක්කේ, ඔහුගෙන් මා ආරක්ෂා කරගැනීමට නිරන්තරයෙන් සිතීමට අවශ්‍ය නොවන විටය.

විශ්වාසය මට හැඟීමකට වඩා ක්‍රියාවලියකි. කෙනෙකුට සමීප වීමට පෙර, මම ඔහුගේ වචනවලට වඩා ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කරමි. ඔහු බලය ලැබූ විට කෙසේ හැසිරෙන්නේද, වැරැද්දක් කළ විට කෙසේ ප්‍රතිචාර දක්වන්නේද, තමාට වාසිදායක අවස්ථාවකදී අනෙකාට අසාධාරණයක් නොකර සිටිය හැකිද, තමන්ගේම ක්‍රියාවන් ගැන නැවත සිතා බලන්නේද—මේ සියල්ල මගේ විශ්වාසය ගොඩනඟන සාධක වේ.

ඒ නිසා මගේ විශ්වාසය යනු එකවර දෙන දෙයක් නොවේ. මගේ විශ්වාසය ලබා දීම සඳහා මා විසින් තෝරා ගත් ක්‍රමවේදයක් මට තිබේ. 

තමා සමග අභ්‍යන්තර සංවාදයක් පවතින මිනිසුන් මගේ විශ්වාසය ලබාදිය හැකි මිනිසුන් බව මේ විශ්වාසයයි. තමා සමග අභ්‍යන්තර සංවාදයක් පවත්වා ගන්නා මිනිසුන් බොහෝ විට විශ්වාසය නොබිඳින්නේ එමගින් අන්‍යයන්ට පෙර තමාට හානිවන නිසාය. උදාහරණයක් වශයෙන් මා වෙත විශ්වාසය තැබූ කෙනෙකුගේ විශ්වාසය මා නොබිඳින්නේ එවැන්නක් කළහොත් මගේ සිත මට දොස් පවරන බැවිනි.

ක්‍රියාවෙහි දක්ෂ, බුද්ධිමත් අයෙක් මගේ ඇගයීමට ලක්විය හැකි වුව ද ඒ හැකියා සදාචාරත්මක රාමුවක් තුළ ක්‍රියාත්මක නොවන විට එහි අගයක් දැකීමට මට නොහැකිය. කෙනෙකුගේ හැකියාවට වඩා මට වැදගත් වන්නේ ඔහු එම හැකියාව භාවිතා කරන ආකාරය සීමා කරන අභ්‍යන්තර ප්‍රමිතීන්යආදරය, ගෞරවය හා විශ්වාසය මට අනුව, එක්ව බිහිව එක්ව නැතිවන හැඟීම්ය. ඉන් එකක් නැතිවූ විට අනෙක්වා මගේ අභ්‍යන්තර ලොව තුළ පවත්වා ගත නොහැකිය. 

මම මිනිසුන් සියල්ලන්ම එකම මට්ටමකින් විශ්වාස නොකරමි.

මගේ සම්බන්ධතා ස්වභාවිකවම ස්ථරවලට බෙදේ.

කෙනෙකු සමඟ වෘත්තීය සම්බන්ධතාවයක් තිබිය හැකිය.

තවත් කෙනෙකු මිතුරෙකු විය හැකිය.

තවත් කෙනෙකු සමීප මිතුරෙකු විය හැකිය.

ඉතා සුළු පිරිසකට පමණක් මගේ අභ්‍යන්තර ලෝකයට සම්පූර්ණ ප්‍රවේශයක් ලැබේ.

මට සම්බන්ධතා ගණනට වඩා වැදගත් වන්නේ විශ්වාසයේ ගැඹුරයි.

එම නිසා මට පුළුල් සමාජ ජාලයක් තිබීම සහ ගැඹුරු විශ්වාසයක් තිබීම එකම දෙයක් නොවේ.

අවසානයේ, මට විශ්වාසය යනු ආරක්ෂක පද්ධතිය නිවා දැමීමට හැකි වීමයි

සමහරවිට මගේ විශ්වාසය පිළිබඳ සියලු අදහස් එකම ප්‍රශ්නයකට සාරාංශ කළ හැකිය.

“මට මේ පුද්ගලයා සමඟ සිටින විට, මම ඔහුගෙන් මාව ආරක්ෂා කරගැනීම නවත්වන්න පුළුවන්ද?”

මට විශ්වාසය ඇති වූ විට මට මගේ සිතුවිලි සඟවාගෙන සිටීමට අවශ්‍ය නැත.

මගේ දුර්වලතා සඟවාගෙන සිටීමට අවශ්‍ය නැත.

මගේ වැරදි පිළිබඳ ලැජ්ජාවෙන් සිටීමට අවශ්‍ය නැත.

උදව් අවශ්‍ය වූ විට එය පිළිගත හැකිය.

විවේචනය කළ හැකිය.

විවේචනය පිළිගත හැකිය.

බරපතළ දේවල් කතා කළ හැකිය.

ඒ අතරම සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් සිනාසෙන්නත් හැකිය.

එවිට සම්බන්ධතාවය තවදුරටත් නිරන්තරයෙන් ආරක්ෂා කළ යුතු දෙයක් නොවේ.

එය ආරක්ෂිත අවකාශයක් බවට පත්වේ.

මගේ විශ්වාසය එතැනින් ආරම්භ නොවේ.

එතැනින් එය සම්පූර්ණ වේ.


Image from:https://longmontcounselingcenter.com/

Tuesday, August 18, 2026

අභ්‍යන්තර ප්‍රමිතීන් II - Internal Standards II

මිනිසුන් සම්බන්ධයෙන්ද මේ අභ්‍යන්තර ප්‍රමිතීන් මට බලපානවා.

මා වෘත්තීය ජීවිතය පටන් ගනිද්දී...

මට යම් අවස්ථාවක කෙනෙකු සිටියා නම් හොඳ යැයි සිතුණු අවස්ථා තිබුණා.

මට යම් දෙයක් පැහැදිලි කර දුන්නා නම් හොඳ යැයි සිතුණු අවස්ථා තිබුණා.

මට බිය නොවී ප්‍රශ්න අසන්නට හැකි වූවා නම් හොඳ යැයි සිතුණු අවස්ථා තිබුණා.

එවැනි අත්දැකීම් නිසා, මට අද කෙනෙකුට යම් දෙයක් ලබා දීමට හැකි නම්, එය ලබා දීමට මම කැමතියි.

එක් අතකින්, මට ඒ මග පෙන්වීම ලබා දුන් මිනිසුන් වරින් වර මුණගැහුණා. ඔවුන් සිය කාලය හා ශ්‍රමය මා වෙනුවෙන් ආයෝජනය කළා. එය දිනෙක මා නැවත ඔවුන්ට ගෙවිය යුතු දෙයක් නොව, මට වඩා පිටුපසින් එන බාල පරපුරකට මා ගෙවිය යුතු දෙයක් ලෙස මම දකිනවා.

විශේෂයෙන්ම මිනිසුන් සමඟ කටයුතු කරන විට, ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට මම උත්සාහ කරන්නේ, මට වරක් අවශ්‍ය වූ නමුත් මට නොලැබුණු දේවල් පිළිබඳව මට මතකයක් ඇති නිසා. මට අවශ්‍ය වන්නේ ඔවුන් අඩුවෙන් රිදවීමයි.

මගේ සිතුවිලිවලට අනුව...

තනතුරක් ලැබීමෙන් කෙනෙකුට අනෙක් මිනිසුන්ට වඩා වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මම උද්ධච්ච, පුම්බාගත් අහංකාරයට දැඩි ලෙස අකමැතියි.

ශක්තිය සහ අහංකාරය එකම දෙයක් නොවෙයි. ශක්තිමත් පුද්ගලයෙකුට සෑම මොහොතකම තම ශක්තිය පෙන්වීමට අවශ්‍ය නොවෙයි. තමන් නිවැරදි බව පෙන්වීමට අනෙක් අය පහත් කිරීමට අවශ්‍ය නොවෙයි. තමන්ට වැරදුණු විට එය පිළිගැනීමට හැකියි. අවශ්‍ය විට කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමට හැකියි. ඕනෑම කෙනෙකුගේ අදහසකට සවන් දීමට හැකියි. අවශ්‍ය විට සමාව ඉල්ලීමටත් හැකියි.

මා අගය කරන්නේ එවැනි ශක්තියයි.

මා තුළ ඇති අභ්‍යන්තර ප්‍රමිතීන් මට කියා දෙන්නේ, මගේ ශක්තිය අන් අයගේ වේදනාව බවට පත් නොකළ යුතු බවයි.

මට හැකි නම්, මට වරක් අවශ්‍ය වූ දේ තවත් කෙනෙකුට ලබා දෙනවා.

මට හැකි නම්, මට ලැබුණු කරුණාව තවත් කෙනෙකු වෙත ගෙන යනවා.

එය මගේ අතීතයට මා දක්වන කෘතඥතාවයද විය හැකියි. මගේ ජීවිතයේ අසීරුම අවස්ථාවලදී මා සමඟ සිටි මිනිසුන් මට අමතක නැහැ. ඔවුන් මට දුන් දේ මම මතක තබාගෙන ඉන්නවා.

ඒ නිසාම, තවත් කෙනෙකුට අසීරු අවස්ථාවක් පැමිණි විට, මට ඔහු අසල සිටීමට හැකි නම්, මම එසේ කිරීමට උත්සාහ කරනවා.

මම එසේ කරන්නේ කෙනෙක් මගේ ඉතාමත් සමීප මිතුරෙකු නිසා පමණක් නොවෙයි.

මිනිසුන්ට හොඳ කාලවලදී බොහෝ මිනිසුන් සිටින බව මම දන්නවා.නමුත් ජීවිතය අසීරු වූ විට, බොහෝවිට ඔවුන් අසල කිසිවෙකු නොසිටිය හැකියි. ඒ මොහොතේ කෙනෙකුගේ පැමිණීම කොතරම් වැදගත්දැයි මම දන්නවා. ඒ නිසා, මට හැකි නම්, මම එම පැමිණීම තවත් කෙනෙකුට ලබා දීමට උත්සාහ කරනවා.

--------------------------------------------------------


මම බාහිර ලෝකය තුළ ජීවත් වුවත්, මගේ හැසිරීමේ මූලික තීරණ බොහෝවිට සිදුවන්නේ මගේ අභ්‍යන්තර ලෝකය තුළ. මම මගේ අභ්‍යන්තර ප්‍රමිතීන් ගොඩනගා ගන්නේ අත්දැකීම් තුළින්. 

මට සිදුවූ දේවල් මම මතක තබා ගන්නවා.

මට ලැබුණු කරුණාව මම මතක තබා ගන්නවා.

මට නොලැබුණු දේවල්ද මම මතක තබා ගන්නවා.

එය ලෝකය තුළින් ලැබෙන අත්දැකීම් ගැඹුරින් ඇතුළට ගෙන, ඒවා අර්ථයක්, ප්‍රමිතියක් සහ ජීවත්වීමේ මාර්ගයක් බවට පත් කරගන්නා ක්‍රමවේදයක්. මම ජීවත් වූ ජීවිතයෙන්, මම විඳි දේවලින්, මට ලැබුණු ආදරයෙන්, මට නොලැබුණු දේවලින්, මට හමු වූ මිනිසුන්ගෙන් සහ මම මගෙන් ම අසාගත් ප්‍රශ්නවලින්, මගේ ඇතුළත සෙමින් ගොඩනැගුණු ප්‍රමිතීන්.

ඒ නිසාම, මගේ හැසිරීම පාලනය කරන්නේ මගේ අහංකාරය නොවෙයි. බාහිර ලෝකයද නොවෙයි. බොහෝවිට එය පාලනය කරන්නේ මා තුළ නිහඬව ගොඩනැගී ඇති ඒ අභ්‍යන්තර ප්‍රමිතීන්.

--------------------------------------------------------

එසේම මට ගොඩනැගෙන්නට, මට සතුටින් ජීවත් වන්නට බොහෝ සෙයින් දායක වූ මිනිසුන් මට හමුවුණා.

මම වෙනස් යැයි දැනුණු අවස්ථාවලදීත්, මාව වෙනස් කිරීමට උත්සාහ නොකර මට ආදරය කළ මිනිසුන් මගේ ජීවිතයේ සිටියා.

මගේ නිහඬකම පිළිගත් මිනිසුන්.

මගේ වෙනස්කම් පිළිගත් මිනිසුන්.

මට මගේම ආකාරයෙන් ජීවත් වීමට ඉඩ දුන් මිනිසුන්.

මාව ඔවුන්ට පහසු ආකාරයට හැඩගස්වා ගැනීමට උත්සාහ නොකළ මිනිසුන්.

මාව වෙනස් නොකර ආදරය කළ මිනිසුන් මට වෙනස් කෙනෙකුට ආදරය කිරීමේ අර්ථය කියා දුන්නා. 

මට මගේම ආකාරයෙන් සිටීමට ඉඩ දුන් මිනිසුන් මට තවත් කෙනෙකුට ඔහුගේම ආකාරයෙන් සිටීමට ඉඩ දීමේ වටිනාකම කියා දුන්නා. 

මගේ ජීවිතයේ ඒ මිනිසුන් නිසාම, මට අද අන් අයගේ නිදහසටත් එතරම් ගරු කිරීමට හැකි වී තිබෙනවා.

ඒ නිසාම, මම අන්තඃකල්පිත මනසක් ගැන කතා කරන විට, මා කතා කරන්නේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින මනසක් ගැන නොවෙයි.

මා කතා කරන්නේ ලෝකය තුළින් දකින දේවල් තමන්ගේම අභ්‍යන්තර ලෝකයකට ගෙන ගොස්, ඒවායෙන් තමන්ගේම ප්‍රමිතීන් ගොඩනගාගෙන, අවසානයේ ඒ ප්‍රමිතීන් අනුව නැවත ලෝකය වෙත පැමිණෙන මනසක් පිළිබඳවයි.

Image from:https://www.linkedin.com/pulse/what-makes-us-introverts-extroverts-lama-issa

https://blog.powerspeaking.com/communication-skills-for-introverts

Sunday, August 16, 2026

අභ්‍යන්තර ප්‍රමිතීන් - Internal Standards

අන්තඃකල්පිත මනසක් පිළිබඳව සිතන විට, මා තුළ ඇති වඩාත්ම ප්‍රබල ලක්ෂණයක් ලෙස මා දකින්නේ මගේ හැසිරීම බාහිර ලෝකය විසින් පනවනු ලබන ප්‍රමිතීන්ට වඩා, මා තුළම ගොඩනැගී ඇති අභ්‍යන්තර ප්‍රමිතීන් විසින් පාලනය වීමයි.

මම කුමක් කරන්නේද, කෙනෙකු සමඟ කෙසේ හැසිරෙන්නේද, යම් දෙයක් පිළිබඳව කෙසේ තීරණ ගන්නේද යන්න තීරණය කිරීමේදී, බොහෝවිට මගේ පළමු ප්‍රශ්නය වන්නේ අන් අය මා පිළිබඳව කුමක් සිතනු ඇත්ද යන්න නොවෙයි.

මා නිවැරදි යැයි විශ්වාස කරන්නේ කුමක්ද?

මා විසින් පිළිගත් ප්‍රමිතිය කුමක්ද?

මගේ වගකීම නිසි ලෙස ඉටු කළ හැක්කේ කෙසේද?

මා විසින් කළ යුතු යැයි සිතන දෙය කුමක්ද?

මගේ හැසිරීම බොහෝවිට එම ප්‍රශ්නවලට මා තුළින්ම ලැබෙන පිළිතුරු අනුව හැඩ ගැහෙනවා.

ඒ නිසාම, මගේ හැසිරීම බොහෝවිට බාහිර අනුමැතිය මත රඳා පවතින්නේ නැහැ.

මට යම් තනතුරක් තිබීම, කෙනෙකුට වඩා ඉහළ තැනක සිටීම හෝ මට යම් බලයක් තිබුණු පමණින්, මම එම බලය භාවිතා කළ යුතු යැයි සිතන්නේ නැහැ. අවශ්‍ය නම් මට වඩා පහළ තනතුරක සිටින කෙනෙකු වෙත ගොස් කතා කරන්නටත්, යම් කාර්යයක් නිවැරදිව කර ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් උපකාර ඉල්ලන්නටත් මට කිසිදු අපහසුතාවයක් නැහැ.

මට අවශ්‍ය වන්නේ කාර්යය නිවැරදිව සිදුවීමයි. ඒ සඳහා කෙනෙකුගේ තනතුර මට වැදගත් නැහැ.

ඒ නිසාම, මගේ අභ්‍යන්තර ලෝකය තුළ තනතුර සහ මිනිසෙකුගේ වටිනාකම එකම දෙයක් නොවෙයි.

කෙනෙකු මට වඩා ඉහළ තනතුරක සිටීම නිසා ඔහුගේ අදහස නිවැරදි වන්නේ නැහැ. ඒ වගේම, කෙනෙකු මට වඩා පහළ තනතුරක සිටීම නිසා ඔහුගේ අදහස වැරදි වන්නේත් නැහැ.

නිවැරදි දේ නිවැරදි දේ ලෙසත්, වැරදි දේ වැරදි දේ ලෙසත් හඳුනා ගැනීමට මා උත්සාහ කරන්නේ පුද්ගලයා දෙස බලා නොව, කාරණය දෙස බලා.



ඒ නිසාම මගේ අහංකාරය හෙවත් මමත්වය (Ego) පිළිබඳව මා තුළ ඇති අවබෝධයත් කාලයත් සමඟ වෙනස් වී තිබෙනවා.

මම කලින් සිතුවේ මට මමත්වයක් නැති බවයි. පසුව මට තේරුණේ මගේ මමත්වය අඩු බව නොව, මගේ ක්‍රියාකාරී අහංකාරය අඩු බවයි.

මට වඩා වෙනස් මතයක් ඇති කෙනෙකු සමඟ වාද කළ හැකියි. මට නිවැරදි යැයි සිතන දෙයක් වෙනුවෙන් තදින් පෙනී සිටිය හැකියි. යම් කාර්යයක ප්‍රමිතිය පහළ යන විට එයට එරෙහිව දැඩිව කතා කළ හැකියි.

නමුත්, මගේ මතය වැරදි බව කරුණු මත පෙන්වා දුන් විට එය පිළිගැනීමට මට හැකියි. සත්‍යය මගේ විශ්වාසයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුවත්, එය සත්‍යයක් නම් එය පිළිගැනීමට මට හැකියි.

මගේ මතය ආරක්ෂා කර ගැනීම සඳහා සත්‍යය ප්‍රතික්ෂේප කිරීම මට අවශ්‍ය නැහැ.

එහෙත්, එය මගේ ප්‍රමිතීන් පහළ දැමීමක් නොවෙයි.

මගේ මමත්වය මගේ මතය ආරක්ෂා කිරීමට බල නොකරන නමුත්, මගේ අභ්‍යන්තර ප්‍රමිතීන් මට නිවැරදි යැයි පෙනෙන දේ වෙනුවෙන් පෙනී සිටීමට බල කරනවා. ඒ දෙක අතර වෙනස මට ඉතා වැදගත්.

-------------------------------------------------------------------------

මෙය මගේ වගකීම් සම්බන්ධයෙන්ද එසේමයි.

මම යම් වගකීමක් භාර ගත් විට එය අසාර්ථක වීම මට පහසුවෙන් පිළිගත නොහැකියි. එය ජයග්‍රහණයක් ලෙස පෙනී සිටීමට මට අවශ්‍ය නිසා නොවෙයි. මට අවශ්‍ය වන්නේ මා භාරගත් වගකීම නිවැරදිව ඉටු කිරීමයි.

යම් කාර්යයක් මා අතට ගත් විට, එය හරියට සිදුවන තුරු එය මගේ මනසින් ඉවත් වන්නේ නැහැ. එය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට නොවෙයි. එය මගේ වගකීමක් වූ බැවින් එය නිවැරදිව අවසන් කළ යුතුය යන හැඟීම නිසායි.

සමහරවිට මේ නිසාම මගේ වැඩ පිළිබඳ අභ්‍යන්තර ප්‍රමිතීන් ඉතා ඉහළයි. එහෙත්, ඒ ප්‍රමිතීන් සමඟ ජීවත් වීමේ තවත් පැත්තක් තිබෙනවා.

කෙනෙකුගෙන් කිහිප වතාවක්ම නිවැරදි කිරීම් ඉල්ලා සිටිනවාට වඩා, එය මා විසින්ම කිරීම පහසු යැයි මට බොහෝවිට සිතෙනවා. එය මට අන් අය කෙරෙහි විශ්වාසයක් නැති නිසාම නොවෙයි. මා තුළ යම් දෙයක් නිවැරදි විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණත්, එය වෙනත් කෙනෙකුට ඒ තරම්ම පැහැදිලිව වචනවලට පරිවර්තනය කර පැවරීම මට සෑමවිටම පහසු නැහැ. එවිට සිදුවන්නේ නැවත නැවතත් නිවැරදි කිරීම් කිරීමයි. ඒ ක්‍රියාවලිය මට අතිශය වෙහෙසකරයි. ඒ නිසාම සමහර අවස්ථාවල මම එය තනිවම කර අවසන් කිරීමට කැමතියි.

නමුත් මෙහිදීත් මගේ අභ්‍යන්තර ප්‍රමිතීන් මගේ මමත්වයට වඩා ඉදිරියෙන් සිටිනවා.

මට වැදගත් වන්නේ මම කවුරුන්ද යන්න පෙන්වීම නොව, මා භාරගත් දේ නිවැරදිව සිදුවීමයි.

සමහරවිට මෙය මගේ අන්තඃකල්පිත මනස සමඟ සම්බන්ධ වන්නේ මෙතැනදීයැයි මට සිතෙනවා.

මම බොහෝ දේ බාහිර ලෝකයෙන් ලැබෙන අනුමැතිය මත නොව, මගේ මනස තුළ සකස් කරගත් ප්‍රමිතීන් මත මැන බලනවා.

මට මගේම අභ්‍යන්තර මිනුම් දණ්ඩක් තිබෙනවා.

එය සෑමවිටම නිවැරදි මිනුම් දණ්ඩක් විය යුතු නැහැ. නමුත් එය මගේ මිනුම් දණ්ඩයි.

ඒ නිසාම, මට අන් අයගේ අනුමැතියට වඩා මගේම හෘද සාක්ෂිය සමඟ එකඟව ජීවත් වීම වැදගත්.

සමහරවිට අවසානයේ මගේ අන්තඃකල්පිත මනස මගෙන් අසන ප්‍රශ්නය ඉතා සරල එකක්.

“මේක නිවැරදිද?”

ඒ ප්‍රශ්නයට මට මා තුළින්ම ලැබෙන පිළිතුර අනුව මගේ හැසිරීම තීරණය වීම, සමහරවිට මගේ අන්තඃකල්පිත මනසේ වඩාත්ම ප්‍රබල ලක්ෂණයක් විය හැකියි.

Image from: https://www.jodymichael.com/blog/achieving-awareness-both-internally-and-externally/

Saturday, August 8, 2026

මම ම වන මම - Me being me

වෘත්තීයමය හෝ පෞද්ගලික සමාජ සම්බන්ධතා යන දෙවර්ගයේදීම මා තවත් කෙනෙකු සිටින ස්ථානයක හැසිරෙන විට ඒ මොහොතේ අත්විඳින මානසික සුරක්ෂිතභාවය මට මගේ හැසිරීම තීරණය කිරීමට ඉතාම වැදගත්.

එයින් අදහස් වන්නේ මට අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමට බිය නොවී සිටීමට හැකි වීමයි... අසා සිටින පුද්ගලයා අදහස සැබවින්ම අසනවා ද නැද්ද යන්න පිළිබඳ ඇති විශ්වාසයයි...

ඇතැම් පුද්ගලයන් සමහර අවස්ථාවලදී සංවාදයකට එක් වන විටම ඒ පුද්ගලයා ඊට සූදානම් නැති බව, මා හා මගේ අදහස ප්‍රතික්ෂේප කරන බව ඉරියව්වලින් සංනිවේදනය වෙනවා... එවන් අවස්ථාවලදී මගේ අදහස දැක්වීමට මම ඉතා අකමැතියි... හැකි ඉක්මනින් එතනින් ඉවත්වීම මගේ ක්‍රමයයි...

අනෙක් අතින් මා යම්කිසි ස්ථානයකට/ කාර්යාලයකට /රැස්වීමකට ඇතුළු වන මොහොතේ මා බලාපොරොත්තු නොවන පුද්ගලයන් එහි සිටියහොත් මගේ මුල්ම ප්‍රතික්‍රියාව වන්නේ එතනින් පලායාමේ අදහසයි... 

අනපේක්ෂිත අවස්ථාවලට මුහුණ දීම, පෙර සූදානමකට ඉඩ නොදී මගේ අදහස් දක්වන ලෙස ඉල්ලීම මට ඉතා අපහසු මෙන් ම මම මානසික ව ඉතා අනාරක්ෂිත හැඟීමකට ඇද දමනවා... උගැන්වීම රැකියාවක් ලෙස කරන නමුත්, ඉන් ඔබ්බෙහි වේදිකාවක් මත කතා කිරීමට මම ඉතා අකමැතියි...

මේ සියල්ල මා දකින්නේ අන්තඃකල්පිත මනසක්  හිමිවීමේ ප්‍රථිපල ලෙසයි... 

ඉතා ඉක්මනින් යම් කිසිවකට ප්‍රතිචාර දැක්වීමට අන්තඃකල්පිත මනසක් හිමි අයෙකුට අපහසුයි...ඔවුන් ට තමා සූදානම් නැති අවස්ථාවකදී තමා වෙත අවදානය යොමුවීම දරා ගැන්මට ඉතා විශාල අභ්‍යන්තර මානසික අරගලයක් කළ යුතුයි...

එලෙසම මට සූදානම් වීමට කාලයක් ලබා දී, සැබවින්ම එකිනෙකා ගේ අදහස ට ගරු කරමින්, ඇත්තෙන්ම වඩා හොඳ විසඳුමක්/ වඩා හොඳ ක්‍රියා පටිපාටියක් පිළියෙළ කිරීමේ අරමුණින් සංවාදයක් සිදු වේ නම් ඊට කාර්යක්ෂම ලෙස දායක වීමට මට හැකියි...

---------------------------------------------------------------------------

සමහර මිනිසුන් තමන්ගේ වෘත්තීයමය ප්‍රතිරූප ඉතා සූක්ෂම ලෙස ගොඩනගාගෙන තිබෙනවා... මම එසේ නොවන කෙනෙක්...මම කිසිදා මගේ ප්‍රතිරූපය කළමනාකරණය කිරීම පිළිබඳව විශේෂයෙන් උනන්දු වූ කෙනෙකු නෙවෙයි...

අවස්ථාවට අනුව හැසිරීමටත්, මගේ නැවත නැවත සිදුවන හැසිරීම් අනුව මිනිසුන්ට මා පිළිබඳව තමන්ගේම අදහසක් ගොඩනගා ගැනීමට ඉඩ දීමටත් මා කැමතියි...

මා අවට සිටින පුද්ගලයන් මට හුරුපුරුදු නම් සැහැල්ලුවෙන් නිදහසේ හැසිරීමටත්, අන් අයට මා අවට සිටීම පහසුවන පරිදි හැසිරීමටත් මම ඉගෙන ගෙන තිබෙනවා...  නමුත් මම මගේ පාඩුවේ සිටීමට කැමතියි... එය මගේ ස්වභාවයයි...

නමුත්, වෘත්තීය ලෙස එම ස්වභාවයේ හැසිරීම කළ නොහැකි නිසා, වෘත්තීය වශයෙන් මම බොහෝ දෙනාට යමක් ඇසීමට පහසුවෙන් කතා කළ හැකි පුද්ගලයෙක් ලෙස හැසිරීමට උත්සාහ දරනවා...

නුහුරු නුපුරුදු යම් පුද්ගලයෙකු මුණගැසුණු විට, මට සිනාවකින් ඔහුගේ හෝ ඇයගේ පැමිණීම/ මුණගැසීම පිළිගෙන, කීමට අර්ථවත් දෙයක් නොමැති නම්, සංවාදයකට එක් නොවී මගේ ගමන යා හැකියි... නැතිනම් නිහඬව රැඳී සිටිය හැකියි...

මම කවුදැයි අනෙක් අය සිතන්නේ කෙසේදැයි නිරන්තරයෙන් කළමනාකරණය කිරීමට මට සිදු නොවීම මට එක්තරා ආකාරයක නිදහසක්... 

ඇතැම් විටක කෙටිකාලීන ව,  කිසිවෙකු මා සහ මගේ වෘත්තීය අනන්‍යතාව නොදන්නා පරිසරයක ජීවත්වීම ට මා උත්සාහ කරනවා... මම එය දකින්නේ මා මගෙන්ම මිදීමක් ලෙසයි...

---------------------------------------------------------------------------

මානසික සුරක්ෂිතභාවය පිළිබඳ ඇති අපූරුම දෙයක් ලෙස මට දැනෙන්නේ, එය බොහෝවිට මට තේරෙන්නේ එහි නොපැවතීම අත්විඳීමෙන් පසුව වීමයි...

මම සුරක්ෂිත නොවන විට, මම සෑම දෙයක් ගැනම සවිඥානික වෙනවා.

මම මගේ වචන නිරීක්ෂණය කරනවා.

අනෙක් පුද්ගලයාගේ ප්‍රතිචාර කලින්ම ගණනය කරනවා.

මම මාව ආරක්ෂා කරගන්නවා.

යමක් ඉල්ලා සිටියහොත් එය පසුව මට එරෙහිව භාවිතා කරනු ඇත්දැයි සිතනවා.

මගේම කොටස් මම සඟවා තබා ගැනීමට ඉගෙන ගන්නවා.


නමුත් මම මානසිකව සුරක්ෂිත වූ විට, ඒ සියල්ලෙන් බොහෝ කොටසක් අතුරුදන් වෙනවා.

මම නිරීක්ෂණය කිරීම නවත්වනවා.

රඟ දැක්වීම නවත්වනවා.

මම හුදෙක් මම ම බවට පත්වෙනවා.

සමහරවිට ඒ නිසාම, වඩාත්ම සුරක්ෂිත සබඳතා පිටතින් බලන විට ඉතා සාමාන්‍ය සබඳතා ලෙස පෙනෙන්නට පුළුවන්.

එහි අතිශයෝක්තිමය ප්‍රකාශන නොතිබිය හැකියි.

චමත්කාරජනක ආදර සංර්ශන නොතිබිය හැකියි.

නිරන්තර සහතික කිරීම් නොතිබිය හැකියි.

ඒ වෙනුවට තිබෙන්නේ නැවත නැවත සිදුවන කුඩා ක්‍රියාවන් එකතුවක්.

මිනිත්තු කිහිපයක අවධානයක්.

තනිව සිටීමට ඇති නිදහස... ඉල්ලා සිටීමට ඇති නිදහස...

කෙලින්ම මා දකින දේ පැවසීමට ඇති හැකියාව.

වැරැද්දක් නිසා සබඳතාවය විනාශ නොවන බවට ඇති විශ්වාසය.

එක් දිනක බැරෑරුම් වීමටත්, ඊළඟ දවසේ සම්පූර්ණයෙන්ම සැහැල්ලු වීමටත් ඇති නිදහස.

මගේ ස්වාධීනත්වය තර්ජනයක් නොවන බව අනෙක් පුද්ගලයා තේරුම් ගැනීම.

කාලයත් සමඟ මේ කුඩා දේවල් සියල්ල එක්ව නොපෙනෙන ව්‍යුහයක් බවට පත්වෙනවා... මට මා අසල සිටින පුද්ගලයාගෙන් මාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නැති බව මට වැටහෙනවා...

මට සෑම වචනයක්ම ගණනය කළ යුතු නැහැ.

මට රඟ දැක්විය යුතු නැහැ.

මට හුදෙක් මම වී සිටිය හැකියි.

අපහසු දේවල් සිදුවන විට පවා, වැරදි අඩුපාඩු සන්නිවේදනය කරන මොහොතක පවා මට තවමත් මා ලෙසම සිටීමට තරම් සුරක්ෂිත බවක් ඇතිවෙනවා...

මම වඩාත්ම පහසුවෙන් අන්තර් පුද්ගල සබඳතා පවත්වන්නේ, මා තුළ විශ්වාසය දනවන එවන් පුද්ගලයන් සමගයි...

---------------------------------------------------------------------------

ඒ අතරිනුත් මාව පූර්ණ ලෙස දකිමින්, මගේ සියලු ස්වරූපයන් දකින මිනිසුන් මා ඉතා සංකීර්ණ ස්වරූප රැසකින් යුතු බව දකිනවා...

ඒ ස්වරූප සියල්ලෙහිම මම සැබෑවට ම ජීවත් වනවා...

විශ්ලේෂණාත්මක, බැරෑරුම් තීරණ ගන්නා මම මෙන් ම, සැහල්ලුවෙන් සිනාසෙන, කිසිවක් බැරෑරුම් ලෙස නොසලකන මම ද මා තුළම ජීවත් වෙනවා... ඒ සන්දර්භය විසින් මට අවස්ථාව ලබාදෙන පරිදියි...

කෙසේ නමුත්... අවසන මගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය මම ලෙසම ජීවත්වීමයි...

Thursday, August 6, 2026

විශ්ලේෂණයෙන් එපිට - Beyond Analysis


වඳින්නට හැකි නම් - දෙවියන් 

දෑත් බැඳ - යදින්නත් හැකි නම්


හිරු සඳු ද කඳු 

වැසි, සුළං, තුරු 

දේවතාවන් වී ...

යදින යාදිනි - අසන්නට රිසි නම් 

සිතක සැනසුම - සදන්නත් රිසි නම් 


 හිරු සඳු ද කඳු 

 දේවතාවෝ 

 පිදු පුරාණයෙ 

වරද කිම නොඅසන්...


An analytical mind is very potent when things are in order. But when that order is lost, prayer may be the only path to healing. Humanity is more powerful than analysis itself. Yet nature possesses the ultimate power to heal.



Tuesday, August 4, 2026

සබඳතාවක් තුළ නිදහස - Freedom in a relationship

මම ඔහුව විවාහ කරගන්නා විට, ජීවිතය බොහෝ සෙයින් අත්විඳ තිබුණා... වසර තුනක් දන්නා සියල්ලන්ගෙන් ඈත් ව දුරු රටක ද ගත කර සිටි මා අවබෝධයෙන් විවාහයකට එළඹෙන යුගයකත්, ආර්ථිකව ස්ථාවර යුගයකත් සිටියා... නමුත් විවාහයක් සමාජ, ආර්ථික තත්වයෙන් සම්පූර්ණ ස්වායත්ත නැහැ... අප දෙදෙනා ම සමාජ, ආර්ථික තත්වයෙන් ගැලපෙන දෙදෙනෙකු වුණා...

මට මාව නඩත්තු කරන්නට ස්වාමි පුරුෂයෙක්ව වත්, ඔහුට ඔහුගේ පෞද්ගලික කටයුතු හා නිවස බලාගැනීමට බිරිඳක් ව වත් වුවමනා වුණේ නැහැ... අපට උවමනා වුණේ අපේ ජීවිත ගමන යාමට සහකරුවන්... අද වන තුරු කිසිදා මම ඔහු මගේ ස්වාමි පුරුෂයා ලෙස දකින්නට අකමැති එනිසා යි... ඔහු මගේ ජීවන සහකරු යි... විවාහයට එළඹීමට පෙරම අප සහකරුවන් ලෙස ජීවන ගමන ගෙනයන බව සාකච්ඡා කර එකඟ වී තිබුණා...



මට සහකරුවකුගෙන් අවශ්‍ය වනුයේ කුමක් ද යන්නත් මා දැන සිටියා.. මට අවශ්‍ය වුයේ මාව ආදරයෙන් පිළිගන්නා සහකරුවෙකු පමණක් නොවෙයි... ඔහු සබඳතාවක් තුළ නිදහසේ ජීවත්වීමට හැකි අයෙකු වීම, සහ මටත් ඒ ලෙසම නිදහසේ ජීවත් වීමට ඉඩ දීම මගේ ජීවන සහකරු වීමේ මූලිකම ගුණාංගය බව මම ඒ වනවිට තේරුම් අරන් තිබුණා...

විවාහයකදී අප කැමති සියල්ල කරන, සම්පූර්ණයෙන් ම ගැලපෙන පුද්ගලයෙකු ලබාගැනීමේ හැකියාවක් නැහැ...මා කැමති සියල්ල කරන තනි පුද්ගලයෙකු මේ ලොව පහළ නොවන නිසා... කළ හැක්කේ මූලික අවශ්‍යතා සපුරන අයෙක් සමග එක්වී ඉතිරිය අවබෝධයෙන් ඉවසීමයි...මගේ මූලික අවශ්‍යතාව වූ “ආදරය තුළ නිදහස” ඔහු හඳුනා සිටි නිසාත්, සබඳතාවක් තුළ දෙදෙනෙකු එක් ව සිටීමේ මූලික අරමුණ ඒ දෙදෙනා සතුටින් සිටීම බවත් අප විශ්වාස කළ නිසා ඉතිරියට අපි හැඩ ගැහුණා...

අද ආපසු හැරී බලන විට මට වැටහෙන්නේ, මට අවශ්‍ය වූ නිදහස ඔහු මට දුන් දෙයකුත් නොවන බවයි... ඔහුත් නිදහස අගය කළ කෙනෙක්... ඔහු තම ජීවිතය පිළිබඳ වගකීම තමන්ටම තිබිය යුතු බව විශ්වාස කළා... ඔහුට ඔහුගේම ඉඩක්, ඔහුගේම තීරණ, ඔහුගේම ජීවිතයක් තිබුණා...එබැවින්, ඔහු මට දුන්නේ ඔහුටම අවශ්‍ය වූ නිදහසයි.

නමුත්, ඔහු මට ඔහු හා එක්ව සිටීමට මෙන්ම, තනිව සිටීම ට ඇති අවශ්‍යතාව හඳුනා ගත්තා... මගේ වෘත්තීය වගකීම් හා අරමුණු මට කොතරම් වැදගත් දැයි වටහා ගත්තා...ඒ විතරක් නෙවෙයි, වෘත්තිය වශයෙන් කාර්යබහුල කාලවල දී නිවසේ වගකීම තනිව දරා ගත්තා... අනෙක් අතින් මා ද ඒ සියල්ල අවශ්‍ය පරිදිම ඔහුටත් ලබා දුන්නා...

විටින් විට නොයෙකුත් හේතු, අවශ්‍යතා නිසා තනිව සිටීම ට සිදුවීම නිසා අප දෙදෙනාම අපේ ජීවිත තුළ අනෙකා කොතරම් වැදගත් ද යන්න ඉගෙන ගත්තා...

 ---------------------------------------------------------------------

මම කිසිදාක ඔහු මගේ ලොව තුළ නොමැති ජීවිතයක් ගැන සිතා නැහැ... ජීවිතය ඉතා අසීරු වූ කාලවලදී පවා දෙදෙනා එක් ව ඒ සියල්ල විසඳා ගැනීම අපේ අරමුණ වුණා...ඒ නිසා...ඔහුගේ ස්ථානය මගේ ජීවිතයේ කිසිදාක සැකයට භාජනය වූ දෙයක් නෙවෙයි...

එලෙසම, ඔහු මගේ ජීවිතයේ තමන්ට හිමි ස්ථානය පිළිබඳව ආරක්ෂිතව සිටියා... කිසිවිටක මා ඔහුගේ ස්ථානය තවත් කෙනෙකුට දෙනු ඇති බවට සැකයක් අප අතර ඇති වී නැහැ...

ඒ නිසාම මට ඉතා ළඟින් මිතුරන් ඇසුරු කිරීමේ අවස්ථාව හිමි වුණා... මිතුරියන් අඩු, මිතුරන් වැඩි මගේ ජීවන රටාව වෙත කිසිදා ඔහුගේ සැකයක් එල්ල නොවීම මට සහනයක් වුණා... සමහරවිට මට මගේ ජීවිතයේ ලැබුණු විශාලතම ආරක්ෂාව එයයි...විශාලතම විශ්වාසය ද එයයි...

අනෙක් අතින් කිසිම පුද්ගලයෙකුට අනෙකෙකුගේ සියළු මානව සබඳතාවල අවශ්‍යතාව පිරවිය හැකි යයි මා සිතන්නේ නැහැ… විශේෂයෙන්ම මගේ රැකියා ස්ථානය සම්බන්ධ ගැටළු බොහොමයක් ඔහුට අවබෝධ වන්නේ ද නැහැ... ඊට හේතුව ඔහු එහි සන්දර්භය දැන නොසිටීමයි... ඒ නිසා ඒවා සාකච්ඡා කිරීම, ඊට විසඳුම් සෙවීම ඔහුගෙන් බලාපොරොත්තු වීම මම කරන්නේ නැහැ...බොහෝ විට එම කරුණු මා සාකච්ඡා කරන්නේ විසඳුම් සොයන්නේ මගේ මිතුරන් සමගයි...

 ------------------------------------------------------------------------

අනෙක් අතින්  අප දෙදෙනා එකිනෙකාට සමාන දෙදෙනෙක් නෙවෙයි... එකිනෙකා ඉවසන දෙදෙනෙක්... ඉතා සරල උදාහරණයක් ලෙස ඔහු කිසිදා වෙරළ රළ මතට පැමිණෙන්නේ නැහැ... මුහුදු ජලයෙන් තෙමුණ දෙපා මත මුහුදු වැලි තැවරීම ඔහුට ඉවසිය නොහැකි ආපදාවක්... නමුත් මා අදටත් මුහුදු රළ මත දිවයාම ජීවිතය ලෙස සලකනවා... ඔහු මා මුහුදු රළ සමග දිව ගොස් මුහුදු වෙරළෙන් බාගයක් සමග පැමිණීම ඉවසනවා... නමුත්, ඒ මුහුදුරළ තම දෙපා මත නොගැටෙන මානයේ සිටයි...

දෙදෙනෙකුගේ වෙනස්කම් ඉවසා ඒවා සමග සාමදාන වීමට අප උගත්තේ ද අප දෙදෙනාගෙන්මයි...

නමුත් එහි තේරුම අප කිසිදා රණ්ඩු නොවුණ, නොගැටුන බව නෙවෙයි... විවාහක යුවලක් අතර ගැටුම් නැතිනම් ඔවුන් අතර බැඳීමකුත් නැති බව මම වරක් කියවා තිබෙනවා...

එහි තේරුම ගැටුම් විසඳා ගැනීමට අපි ඉගෙනගත් බවයි... අනෙක් වැදගත් ම දෙය දින ගණන් ගැටුම් මතක තබා නොගැනීම අප දෙදෙනාගේම පුරුද්දක් බවයි...

-------------------------------------------------------------

මගේ සහකරු මට දුන් විශ්වාසයේ තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා... ජීවිතයේ ප්‍රථම වරට සම්පූර්ණ විශ්වාසය යන සංකල්පය මට තේරුම් කර දුන්නේ ඔහුයි...

මට ඕනෑම දෙයක් සම්පූර්ණයෙන් ම ඔහුට තේරුම් කර පැහැදිලි කළ හැකියි...

මම යම් දෙයක් ගැන ඔහුට පැහැදිලි කළ විට, ඔහු මගේ වචන විකෘති කර වෙනත් අර්ථයක් සොයන්නේ නැහැ...

මම කියන්නේ මම ඇත්තටම කළ දෙය බව ඔහු විශ්වාස කරනවා... එම තීරණය වැරදි වී තිබුණත්, එහි ප්‍රතිඵලය නරක වී තිබුණත්, මම ගත් තීරණය ඔහුට තේරුම් ගත නොහැකි වූවත්, ඔහු මගේ අරමුණ පිළිබඳ සැකයක් ගොඩනගන්නේ නැහැ.

මම කියන දෙය විශ්වාස කිරීමට ඔහුට හැකියි.

මන්ද මට වැරදිය හැකියි.

මට ඉක්මන් තීරණයක් ගත හැකියි.

මට වැරදි ලෙස තේරුම් ගත හැකියි.

මගේ තීරණයක ප්‍රතිඵලය බලාපොරොත්තු වූ ආකාරයට නොවිය හැකියි.

එහෙත්, ඒ කිසිවක් නිසා මගේ අවංකභාවය සැකයට ලක් නොවේ.

"මම හිතුවෙ මෙහෙමයි, මේක කළේ ඒ නිසා" ලෙස කිවහැකියි... එතැන් සිට දෙදෙනා එක්ව ප්‍රශ්නයට පිළිතුර සොයනවා මිස ඔහු කිසිදා එය නොකර ඉන්නට තිබූ බව පවසා මට රිදවන්නේ නැහැ....

ඒ අවස්ථාවේදී, ඔහුට මගේ වචන විශ්වාස කළ හැකියි. මට එය විශාල ආරක්ෂාවක්.

මගේ ජීවිතයේ මට මා පිළිබඳව වඩාත්ම ආරක්ෂිතව දැනීමට උපකාර වූයේ මේ විශ්වාසය විය හැකියි.

මම කුඩා කාලයේ සිටම, මගේ සිතුවිලි වෙනස් නිසා, මගේ අවශ්‍යතා වෙනස් නිසා, මට සිදුවන සමාජීය ප්‍රතික්ෂේප වීම් විඳ දරාගෙන හැදුණු නිසා මට මෙය ඉතා වැදගත්...

මට එය විශාල ආරක්ෂාවක්...

 ---------------------------------------------------------------------

ඒ නිසා මට මගේ ජීවිතය ඔහු සමඟ බෙදා ගැනීමට හැකි වූයේ, මගේ ජීවිතය ඔහුට භාර දීමෙන් මගේ ජීවිතය අහිමි වනු ඇතැයි නොසිතා, මගේ ජීවිතය තවදුරටත් මගේ ම වී පවතිනු ඇතැයි දැනගෙන... ඔහු මා වෙනුවෙන් මට වඩා හොඳ තීරණ ගනු ඇතියි සිතමින්...


Saturday, August 1, 2026

සබඳතාවක් තුළ මට අවශ්‍ය සුරක්ෂිතභාවය - Relational security

මානව සබඳතාවක් තුළ සුරක්ෂිතභාවය පිළිබඳව මට ඇති අවශ්‍යතාවය හා මා තුළ ඊට ඇති සංවේදීභාවය අන්තඃකල්පිත මනසක්  හිමිවීමේ ප්‍රථිපලයක් ද නැත් ද යන්න මා ඇත්තෙන්ම දන්නේ නැහැ... නමුත් මානව සබඳතාවක් තුළ සුරක්ෂිතභාවය පිළිබඳව මා තුළ දැඩි අවශ්‍යතාවයක් හා සංවේදීතාවයක් පවතිනවා...

ඉතා කුඩා ක්‍රියාවකින් මා තුළ සුරක්ෂිත බව පිළිබඳ හැඟීම ඇති කළ හැකි අතරම ඉතා කුඩා ක්‍රියාවකින් එය නැති කිරීම ද කළ හැකියි...උත්කර්ෂයට නංවා පෙන්වන විසල් ක්‍රියාවකට වඩා එදිනෙදා ජීවිතයේ සිදුකරන ඉතා කුඩා  ක්‍රියා නැවත නැවත එසේම සිදුවන බවට වන විශ්වාසය මා තුළ මානසික සුරක්ෂිතභාවය තීව්‍ර කරනවා...

උදාහරණයක් වශයෙන් තමා ආදරය හා සැලකිල්ල (Care) දක්වන කෙනෙකුගේ වේදනාවක්, අවශ්‍යතාවයක් වෙනුවෙන් විනාඩි කිහිපයක් සොයා ගැනීම කෙතරම් කාර්යබහුල වුව ද  මේ ලොව කිසිම අයකුට කළ නොහැකි යයි මම විශ්වාස කරන්නේ නැහැ... දිගින් දිගටම කාර්යබහුල නිසා කාලය සොයාගත නොහැකි වන්නේ ඒ පුද්ගලයා තුළ අනෙකා වෙත සැබෑ හැඟීමක් නැති බැවිනැයි මම විශ්වාස කරනවා... ඒ නිසා එවන් පුද්ගලයන් ජීවිතයට එක් කරගත යුතු යැයි මා සිතන්නේ නැහැ...


-----------------------------------------------

ඉන් අදහස් වන්නේ මගේ සහකරු හෝ මගේ මිතුරන් මා වෙතම කැපවී සිටිය යුතු බව නොවෙයි...එය කිසිසේත්ම කළ නොහැකියි...

නිවැරදි මොහොතේ ලබා දෙන මිනිත්තු කිහිපයක්... 

වේදනාවෙන් සිටින මොහොතකට සංවේදී වීමක්...

මගේ හැඟීම් අවතක්සේරු කිරීම හෝ අධිසංවේදී ලෙස බැහැර නොකිරීමක්... මට ලැබිය යුතු බවයි... 

මා සතුටුවන මොහොතකදීට වඩා මා මානසිකව කඩා වැටුණ මොහොතක මා වෙත සිටිය යුතු බවයි...

අනෙක් අතින් මා බලාපොරොත්තු වන ආදරය හා සැලකිල්ල, මා නැවත ඔවුන් වෙත ද එලෙසම ලබාදෙනවා...

එය ද්විපාර්ශවීය සම්බන්ධතාවක්...

එය පුනරාවර්තී ක්‍රියාවලියක්...

---------------------------------------------

උදාහරණයක් ලෙස, මගේ සහකරු මට තනිව සිටීමට ඉඩ දීම ද සැලකිල්ලක් බව තේරුම් ගන්නවා... එය මා පිළිබඳව ප්‍රමාණවත් ලෙස දන්නා නිසා, මගේ තනිව සිටීමේ අවශ්‍යතාවය අපගේ සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව තේරුම් ගැනීමයි... මම ඔහුට ආදරය කරන බව නිරන්තරයෙන් ඔප්පු කිරීමට අවශ්‍ය නොවීමයි... 

එහි ප්‍රතිවිරුද්ධ අතටද එය එසේමයි... ඔහුට නිහඬ ව  නිදහසේ සිටීමට අවශ්‍ය මොහොතක එසේ සිටීමටත්, ඔහුට මා සමග අදහස් හුවමාරු කරගැනීම ට අවශ්‍ය මොහොතක එසේ කිරීමටත් නිදහස මා ලබාදෙනවා...

සමහරවිට මානසික සුරක්ෂිතභාවය පිළිබඳ වැදගත්ම දෙයක් එය විය හැකියි.

----------------------------------------------------

එසේම මට, මිතුරන් අතර වන සෑම දුරකතන ඇමතුමකට ම, සෑම කතාබහකට ම හේතුවක් අවශ්‍ය වන්නේත් නැහැ... නිතර හමුවිය නොහැකි නිසාම දුරකථන ඇමතුම් මතින් නිතොරව එකිනෙකා අමතා, සිත ඇති සියල්ල නිදහසේ පවසන මිතුරු සබඳතා කිහිපයක් ම මගේ ලොව තුළ තිබෙනවා... 

සතියකට වරක් හෝ දෙවරක්, මගේ සරසවි මිතුරිය රැකියාව අවසන් කර නිවස කරා ඇගේ රථය පදවාගෙන යන සැඳෑ කාලයන් මා, ඈ හා අපේ අනිත් මිතුරා අතර සියළු තොරතුරු හුවමාරු වන මොහොතක් බවට පත්වෙනවා...

සති අන්තයේ දිනක රාත්‍රියක, සතිය තුළ සිදුවූ සිත සතුටු වන මෙන් ම, සිත රිදවන සියල්ල හුවමාරු කරගන්නා මිතුරියක ද මට සිටිනවා...

එපමණක් නෙවෙයි... මට සිතෙන ඕනෑම මොහොතක දුරකථන ඇමතුමකින් අමතන මිතුරන් ද මට සිටිනවා....

එයින් අදහස් වන්නේ සෑම ඇමතුමකටම වහාම පිළිතුරු දිය යුතු බව නෙවෙයි.

එයින් අදහස් වන්නේ බලා සිටිය හැකි ඇමතුමක් සහ බලා සිටිය නොහැකි ඇමතුමක් අතර වෙනස හඳුනා ගැනීමයි...

මගහැරුණු ඇමතුමකට නැවත කතා කිරීමයි.

දවස ඉතා කාර්යබහුල වූ විට පසුව කතා කිරීමයි.

සමහරවිට මුළු දවසම වගකීම් අතර ගෙවී ගිය විට, නිවස බලා යන අතරතුර මට කතා කිරීමයි.

ඒ කතාබහ හදිසි නිසා නෙවෙයි...

නිවසට ගිය පසු ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ තවත් කොටසක් ආරම්භ වන බව දන්නා නිසයි...

එවැනි කුඩා ක්‍රියාවන් තුළ ගැඹුරු සහනයක් තියෙනවා... විශේෂයෙන් ම ඉතා අධික ලෙස මානසික පීඩනයක් දරන රැකියාවක් කරන කෙනෙකුට ඉන් ලැබෙන සහනය ඉතා වටිනවා...

---------------------------------------------------------------------

මට ඉතාම  වැදගත් යැයි හැඟෙන තවත් ආකාරයක මානසික සුරක්ෂිතභාවයක් තියෙනවා....

ඒ, යමක් ඉල්ලා සිටීමට ඇති සුරක්ෂිතභාවයයි...මා ශක්තිමත් නැති බව, මානසික පීඩනය දැනෙන බව... පැවසීමේ සුරක්ෂිතභාවයයි...


"මට මහන්සියි."

"මිනිත්තු කිහිපයක් මාත් එක්ක ඉන්න."

"මාත් එක්ක කතා කරන්න."

ඇතැම් විට එතනින් ඉතා ස්වල්පයක් වැඩිදුරට යමින්, " මේ අවස්ථාවේ මා ප්‍රමාණයට වඩා ඔබේ අවදානය ඉල්ලන බව මා දන්නවා, නමුත් මට එය ලබාදෙන්න" එහෙම නැත්නම්, "මට වදයක් වෙන්න ඉඩ දෙන්න"  - ඒ ඉල්ලීම ඉල්ලිය හැකි මිතුරු මිතුරියන් මට ඉන්නවා...

අනෙක් අතින් මගේ ලොව තුළ, මගේ මිතුරු කවය තුළ, සියලුම ඉල්ලීම් ඉතා ආචාරශීලී නැහැ... මම එවැන්නක් බලාපොරොත්තු වන්නේත් නැහැ... අනෙක් අතින් කෙනෙකුගේ සීමා නොහඳුනන බව ඉන් අදහස් වන්නේත් නැහැ...

------------------------------------------------------------------------

ඉතා විසල් මිතුරු කවයක් ඇතැයි සිතෙන, සබඳතා ජාලයක් ඇති මිනිසුන් මට මුණගැසී තිබෙනවා... එහෙත් යමක් අහිමි වූ විට එහි වේදනාව පවසන්නට ඒ තුළ කිසිවෙකු නැහැ... 
එවන් මානව සබඳතා මා ප්‍රතික්ෂේප කරනවා... සියල්ලන් හඳුනන, සියල්ලන් මිතුරන් ලෙස පෙන්වන නමුත්, කඩා වැටුණ මොහොතක කිසිවෙක් නොමැතිවීම ඉතා දරුණු තනිවීමක් බව මා සිතනවා...

නන්දා මාලිනිය ගයන ගීයක පද කිහිපයක් තුළ, මානව සබඳතා පිළිබඳ ව මා සිත තුළ ඇති හැඟීම් බොහොමයක් ගැබ්වී තිබෙනවා....

ලොවම එපාවී ලොවම කළකිරී තැවී දැවී හිඳිනා මොහොතේ...
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ...

බොහෝ විට ජීවිතය තුළ ඇතිවන ආර්ථික, සාමාජීය ගැටළු, ප්‍රමාණවත් කාලයක් සහ උදව් ලැබුණ විට බුද්ධියෙන් විමසා බලා විසඳා ගත හැකි බව මා සිතනවා... නමුත් ඒ කාලය ලබා ගන්නා අතරතුර මානසික ව නොවැටී සිටීම සඳහා සුරක්ෂිත මානව සබඳතා අවශ්‍ය බවත් මා සිතනවා...

එම නිසා කඩා වැටුණ මොහොතක කෙනෙකු තනි කිරීම මා කරන්නේ නැහැ... එමෙන් ම මට එවැන්නක් සිදු නොවන පරිදි සුරක්ෂිත  මානව සබඳතා තෝරා ගැනීම සහ ගොඩනගා ගැනීම මගේ වගකීමක් ලෙස මා සිතනවා...



Image from:https://www.earlyyears.tv/maslows-hierarchy-of-needs/

Tuesday, July 28, 2026

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම II - Selection of an Introvert's mind II

අන්තඃකල්පිත මනසක් හිමිවීමේ ප්‍රබලතම අවාසිය නම් ඔවුන්ගේ හැඟීම්, දැනීම් ඇතුළු සිතුවිලි හැසිරවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මනස අභ්‍යන්තරය තුළ නිසා බාහිර සමාජය බොහෝවිට දකින්නේ ඔවුන්ගේ හැසිරීමේ ඉතා කුඩා පැතිකඩක් පමණයි... එමගින් ඔවුන්ව විනිශ්චය කරන සමාජය බොහෝවිටම ඔවුන්ගේ හැඟීම්වල තීව්‍රතාවය පිළිබඳ ව අන්ධයි...

ප්‍රබල, තීරණාත්මක පෞරුෂයක් පිටුපස සංවේදී සිතක් ද තිබිය හැකි බව බොහෝවිට අරුමයක් ලෙස සැලකෙනවා... 

ශක්තිමත් පෞරුෂයක් හා ප්‍රබල තීරණ ගැනීමේ හැකියාවක් පිටුපස ඇති සංවේදී හිතක් බොහෝවිට ඔවුන්ට මග හැරෙනවා...

එහි ප්‍රථිපලය වන්නේ කිසිවකු හඳුනා නොගන්නා, කිසිවකු සංවේදී නොවන, සිත් රිදවීම්... 

ශක්තිමත් පෞරුෂයක් පිටුපස සංවේදී හිතක් තිබිය හැකි බව අන්තඃකල්පිත මනසකට පමණක් පොදු දෙයකුත් නොවෙයි... බොහෝ ශක්තිමත් පෞරුෂයන් පිටුපස සංවේදී සිත් ඇති බව මට දැනී තිබෙනවා... බොහෝ විට ස්ව‍යං ප්‍රතිරූප ගොඩ නගා ගැනීමේ ආශාවෙන් වල්මත්වුණු දුර්වල පෞරුෂයන් තුළට වඩා ශක්තිමත් පෞරුෂයන් තුළ සංවේදී, මානුෂීය සිතිවිලි සුරැකිව තිබෙනවා...

-----------------------------------------------------------------------------------------------

නමුත්, අවසන මා විසින් මට සමාජ සම්බන්ධතා සාදා ගනිද්දී ප්‍රබල තෝරා ගැනීමක් කරන්න ට මා ඉගෙන ගත්තා... මා යම් තරමකට මගේ අන්තඃකල්පිත මනස හා එහි සංවේදී ස්වභාවය හඳුනා ගැන්මෙන් පසුව මා වෙත පනවා ගත් ඉතාම වැදගත් සීමාවක් වන්නේ පළමුව වෘත්තියමය සමාජ සම්බන්ධතා හා මිතුරු සම්බන්ධතා ලෙස මගේ සමාජ සම්බන්ධතා වර්ගීකරණය කර ගැනීමයි...

පුද්ගලයන් හුරු පුරුදු වන තුරු, අත්‍යවශ්‍ය ම විටක පමණක් කතා කරන්නටත්, මිත්‍රශීලි නමුදු නිහඬ වන්නටත් මා ඉගෙන ගත්තා... වෘත්තියමය සමාජ සබඳතා තුළ දී ඉතාම පහසුවෙන් ඔවුන් අතර හැසිරෙන චරිතයක් වන්නටත් මා ඉගෙන ගත්තා... 


"I am reserved, until I'm not. I appreciate true connection."
" If we connect, you matter to me."

වෘත්තියමය  සමාජ සම්බන්ධතා හා මිතුරු සම්බන්ධතා වෙන් කර තබාගැනීමට  තරම් මම සමාජශීලී පුද්ගලයෙක් නෙවෙයි... මට මිනිසුන් මුණ ගැසෙන ප්‍රධානම ක්‍රමය වෘත්තියමය මුණ ගැසීම්... ඒ මුණ ගැසීම් අතරින් මගේ මිතුරු මිතුරියන් තෝරා ගැනීම සිදුවුණා...නමුත්, ඒ අතරින් වෘත්තියමය සමාජ සබඳතා සහ මිතුරු සබඳතා මොනවා ද යන්න මා සිත තුළ වර්ගීකරණය වී තිබෙනවා...

බාහිර සමාජය අතින් මසිත රිදවීම නතර කරගැන්මට නොහැකි වුණත් මා විසින් තෝරාගත් මගේ මිතුරු මිතුරියන් විසින් මසිත රිදවා ඉවත්ව යාම සිදු නොවන්නට තරමට මා මිතුරන් ඇසුරේදී ඉතා ඉහළ තෝරා ගැන්මක් වෙත පිවිසුණා... 

ගණනින් ඉතා කුඩා නමුත්, ගැඹුරින් අදහස් හුවමාරු කරගත හැකි මිතුරු මිතුරියන් හඳුනා ගන්නා කුමක් හෝ රටාවක් මම සොයා ගත්තා...

මසිත රිදවා බිඳ දමන මිතුරු මිතුරියන් මා ජීවිතය තුළට එක් කරගත්තේ නැහැ... එහි තේරුම මගේ මිතුරන්ට මා රිදවිය නොහැකි බව නොවෙයි... ඔවුන් මට නොරිදවා සිටීම තෝරාගත් බවයි...ශක්තිමත් සිතක් ඇති අයෙකු තුළත් සංවේදීත්වය රඳන බව පිළිගැනීමයි...

මගේ ලොව තුළ සිටින ළඟම මිතුරු මිතුරියන් සෑම දෙනාම දශකයකට වඩා කලක් මා සමග ගතකොට තිබෙනවා...

මාව ළඟින් ඇසුරු කරන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මම කුමකට හෝ සිත රිදවාගෙන හඬනු ද කවදා හෝ අත්විඳ තිබෙනවා...

ඒ නිසා මගේ මිතුරු මිතුරියන් මා ඉක්මනින් සිත රිදවා ගන්නා බව දන්නවා... ඒ නිසාම යම් කිසි අවස්ථාවකදී යම් සිදුවීමක් පිළිබඳව මා ඉල්ලන පැහැදිලි කිරීම අධිසංවේදී ලෙස බැහැර නොකරමින් මට එය පැහැදිලි කරගන්න ට ඔවුන් අවස්ථාව ලබාදෙනවා...

මිතුදමක් තුළ සුරක්ෂිත හැඟීමක් දැනීම යනු කිසිවකු අතින් කිසිදා සිත් රිදවීමක් නොවීම නෙවෙයි... මිනිසුන් ලෙස අප අතින් එකිනෙකාගේ සිත් රිදවීම් සිදුවිය හැකියි... නමුත්, හිතාමතාම එකිනෙකාගේ සිත් රිදවීම තෝරා නොගැනීමයි... තමන්ගේ වචනයකින් හෝ ක්‍රියාවකින් අනෙකාගේ සිත රිදවිය හැකි බව දැනගත් පසු, එය නොකර සිටීමට තෝරා ගැනීමයි... සිත් රිදවීමක් සිදුවූ විට එය නොසලකා හැරීම වෙනුවට, එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි...යම් මොහොතක සිදුවන සිත් රිදවීමකට වඩා, එය සිදුවූ පසු එකිනෙකා සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ විශ්වාසයක් තිබීමයි...

------------------------------------------------------------------------------------------------

අන්තඃකල්පිත මනසක් බොහෝ මිනිසුන් අතර සැරිසරමින් සතුට සොයනවාට වඩා, තෝරාගත් කිහිපදෙනෙකු සමඟ ගැඹුරු සංවාද තුළ ජීවත් වීමට කැමතියි. එවැනි මනසකට සරල ඇසුරකට වඩා, සිතුවිලි විවෘතව බෙදාගත හැකි, ප්‍රශ්න කළ හැකි, එකිනෙකාගේ අභ්‍යන්තර ලෝකයන් වෙත නිදහසේ ගමන් කළ හැකි සංවාද අවශ්‍ය විය හැකියි.

ඉන් අදහස් වන්නේ අන්තඃකල්පිත මනසක් දරන්නකුගේ මූලික අවශ්‍යතාව වන ගැඹුරු මිතුදම් කිහිපයක් සහ ඔවුන් හා නිවි සැනසිල්ලේ තනි තනිව ගැඹුරු සංවාදයක් පවත්වා ගැනීමේ හැකියාව ඇති මානව සම්බන්ධතා ගොඩනගා ගැනීම මට අවශ්‍ය බවයි...

සැබවින්ම මට මිතුරන් ඇසුර යනු යම් පිරිසක් සමඟ කාලය ගත කිරීම නොව, තමාගේ ලෝකය තුළට ඉතාමත් සුපරීක්ෂාකාරීව සහ බුද්ධිමත්ව තෝරාගත් සීමිත පිරිසකට පමණක් ඉඩ ලබා දීමයි...

මගේ මේ තෝරාගැනීම නිසා අද මට ලැබී ඇත්තේ, එකිනෙකාගේ අභ්‍යන්තර ලෝකය අගය කරන, හිතාමතා සිත් රිදවීම තෝරා නොගන්නා, සිත් රිදුණු විටත් ඒ පිළිබඳව කතා කිරීමට ඉඩ ඇති බැඳීම්......

Image from:https://nestreimagined.com/2020/05/12/a-tale-of-two-quarantines-extrovert-vs-introvert/

Saturday, July 25, 2026

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind

අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හැකියාව රඳනවා... විශේෂයෙන්ම ඉතා විකේන්ද්‍රීය අන්තඃකල්පිත මනසක් හිමි මා ලෝකය සමග ගනුදෙනු කිරීමේදි ඉතා ප්‍රබල තෝරා ගැනීමක් කරනවා...

එම ප්‍රබල තෝරා ගැනීම ඇසුරට මිතුරන් තෝරා ගැනීමේ සිට ජීවිතයට අරමුණු, ඉලක්ක තෝරා ගැනීම දක්වා, ඉතා ප්‍රබල පරාසයකට වලංගුයි... මගේ ජීවිතය තුළ සිදුවන සියල්ල තෝරාගැනීම් නොවුණත් හැකි සෑමවිටකම ඒවා තෝරාගැනීම් බවට පත් කිරීම මගේ ස්වභාවය...

නිහඬ නොගැලපීම විඳ දරාගනිමින් මා වැඩුණු පසුව, මා සිදු කළ තෝරාගැනීම් අතරින් වඩා වැදගත් තෝරා ගැනීම් දෙක මගේ ජීවිත අරමුණු තෝරා ගැනීම සහ මගේ සමාජීය ජීවිතය හැඩගැස්වෙන ආකාරය තෝරාගැනීමයි.. 

ඒ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි මගේ ප්‍රබලම තෝරා ගැනීම වුණේ මගේ අනාගත වෘත්තිමය ගමන හැඩගැස්වීමයි...

අනෙක් අය විශ්ව විද්‍යාල උපාධිය සාමාන්‍ය ලෙස හදාරද්දී මගෙ අරමුණ වුණේ ප්‍රථම පන්ති උපාධියක්... ඒ එමගින් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණ ඉටුවන නිසයි... ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටි මා වෙනත් කිසිදු අමතර සුදුසුකමක් රැස්කරන පාඨමාලාවලට සහභාගි නොවීම තෝරා ගත්තා... අනෙක් සගයන්, සියල්ල තරමක් දුරට යන සංකල්පයට යද්දී මා ප්‍රථම පන්ති උපාධිය තෝරාගත්තා... වසර හතරක් අවසන් ඒ අරමුණ සම්පූර්ණෙයෙන්ම ඉටු කරගන්නටත් සමත් වුණා...

ඉන් නොනැවතුණ මා මගේ වෘත්තිය ජීවිතය මා අරමුණු කළ ස්ථානයට පැමිණෙන තෙක්ම නොනවත්වා කටයුතු කළා...

නමුත් ජීවිතය නිමා නොවන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනක් නොවන බව මා තේරුම් ගෙන තිබුණා... ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මා කිසි දා තවත් අරමුණක් වෙත ජීවිතය ඉලක්ක කළේ නෑ.

 - - - - -- - - - - - -- - -- - -- - - -- - - - - - - - - - - -- 

මිනිසුන් බොහෝ විට ජීවිතය ගැන කතා කරන්නේ කන්දක් තරණය කිරීමක් ලෙසයි... එක් මුදුනකට ළඟා වූ පසු, ඊළඟ මුදුන සොයා යාම, තවත් ඉහළට නැගීම, කිසිදා නොනැවතීම—සාර්ථකත්වය බොහෝ විට එසේ විස්තර කෙරෙන්නේ ඒ ආකාරයටයි..

නමුත් මගේ ජීවිතය එසේ ගලා ගියේ නැහැ....

මම එක් කන්දක් තෝරාගෙන එය තරණය කළා...

ආචාර්ය උපාධිය මට හුදෙක් අධ්‍යාපනික සුදුසුකමක් වුණේ නැහැ. එය මා වසර ගණනාවක් තිස්සේ දුරින් දුටු, මට තරණය කිරීමට  අවශ්‍ය වූ එක් කන්දක්...මා දුටු සිහිනයක්...

ඒ ගමනේදී, ඒ නාඳුනනා අහස යට,  විරාමයක් ලැබුණු විට මා දුටු සොඳුරුම දර්ශනය දුරින් පෙනෙන ෆුජි කන්දයි.

ඒ එක් අවස්ථාවක මම ලිව්වේ,

ෆුජි-සන් එක විරාමෙක මා - සිත මතින් සක්මන් කළා
ගිරිහිසට පෙම්බඳින මුත් සිත - කඳු පාමුලයි මා ඉඟි කළා

මට කන්ද පෙනුණි.

නමුත් මම තවමත් සිටියේ එහි පාමුල...

කන්ද කිසිදා ෆුජි පමණක් නොවෙයි...


ඒ මා තවමත් ළඟා වී නොතිබූ, මා සිහින දුටු අනාගතයයි.

වසර ගණනාවක් තිස්සේ මා තුළ තිබූ අරමුණක්, මගේ සියලු අවධානය සහ කැපවීම යොමු වූ එක් ස්ථානයක්...

අවසානයේ, මම ඒ කන්ද තරණය කළා...


එදා මගේ අතට පැමිණියේ හුදෙක් සහතිකයක් නොවෙයි...


වසර ගණනාවක් තිස්සේ මා සිතින් දුටු කඳු  මුදුනට පැමිණීමේ හැඟීමයි.


ඒ මොහොතේ මම ලිව්වේ,

රිදී දිය මතට අහසින්
ගලාන ආ තරු එළියක
අහස දෑලවර හිමිකම්
සරි කර ආවා

අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...

ඒ වචන කාව්‍යමය අතිශයෝක්තියක් නෙවෙයි...

"ඒ මොහොතේ මට සැබවින්ම දැනුණේ මුළු විශ්වයම මගේ වූවාක් මෙනි.

මම තෝරාගත් කන්ද  මම තරණය කර තිබුණි..."

 - - - - - - - -- - - - - - - - --- - - - - - -- - - - -- - -  -  -- - -

නමුත් ජීවිතය නිමා නොවන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනක් නොවන බව මා ඒ වනවිටත් තේරුම් ගෙන තිබුණා...

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මා කිසිදා තවත් එවැනි අරමුණක් වෙත ජීවිතය ඉලක්ක කළේ නැත්තේ ඒ නිසායි...

නමුත්, ඉන් පසුව ද ජීවිතය නතර වූයේ නැහැ....

"මම වැඩ කළෙමි.

ඉගැන්වූයෙමි.

ලිව්වෙමි.

මට වැදගත් වූ දේවල් වෙනුවෙන් තවත් ගැඹුරින් කැපවුණෙමි."

නමුත් තවත් කන්දක් මා ඉදිරියේ නොතිබුණි.

- - - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - 

ඒ වෙනුවට, සුවිසල් කඳු මුදුනක් මතට නැගගත් පසු හමුවන සානුවේ අසිරිය විඳිමින් සැරිසරන ගමනක් ලෙසින් එතැන් පටන් ජීවිතය ගෙවීම මා තෝරා ගත්තෙමි. 

කන්දක් අපට උගන්වන්නේ ඉලක්කයක් වෙනුවෙන් නොනැවතී ගමන් කිරීමටය.

නමුත් සානුවක් අපට උගන්වන්නේ, මුදුනට පැමිණි පසු ජීවිතය විඳීමටය.

එදා සිට මම තවත් කන්දක් සොයමින් නොදුවමි.


නිදහසේ ජීවිතය විඳිමින් සානුව මත නිදහසේ සැරිසරමි. ඒ සානුවේද රසවිඳින්නට තරම් අපූරුත්, සිත්ගන්නාසුලුත් බොහෝ දේ තිබේ. ඉතින්, මම තවමත් එහි නිදහසේ සැරිසරමින් ඒ අසිරිය විඳිමින් සිටිමි.


Sunday, July 19, 2026

විශ්ලේෂණයෙන් එහා ගිය කෘතඥතාවයක් - Gratitude beyond analysis

කුඩා කාලයේ සිටම කඳු මට විශේෂ ආකර්ෂණයක් විය.

එදා මම දැන සිටියේ එකම දෙයකි.

ඒ කඳු අතර සිටින විට මට යම් නිදහසක්, නිහඬ සතුටක් දැනෙන බවයි.

ඒ හැඟීම පිටුපස ඇති හේතුව මම විශ්ලේෂණය කළේ නැත.

කඳු මුදුනක සිට පහළ ලෝකය දෙස බැලීම, මීදුම අතරින් දුරස්ථ දේවල් නිරීක්ෂණය කිරීම, නිහඬ පරිසරයක තනිව සිතීමට ලැබීම — මේ සියල්ල මට ස්වභාවිකවම ආකර්ෂණීය විය.

විශේෂයෙන්ම මට හපුතලේ සංචාරක ගමනාන්තයකට වඩා වැඩි දෙයක් විය.

කඳු පන්ති මගේ ඇතුළත ලෝකයට ගැළපෙන භූ දර්ශනයන් විය.

නමුත් එදා මට එය පැහැදිලි කිරීමට වචන තිබුණේ නැත.


“මේ නගරයේ ඇති විස්මයන් මට කිසිදා අවසන් නොවේ.”


පසුව, ජීවිතයේ එක් අවස්ථාවකදී, මට එවැනි අත්දැකීම් තේරුම් ගැනීමට උපකාර වන වචන සහ අදහස් හමු විය.

“Introverts love mountain holidays.”

එය එක් සරල වාක්‍යයක් පමණක් විය හැකිය.

නමුත් මට එය එසේ නොවීය.

එය මගේ ජීවිතයට අලුත් දෙයක් එකතු කළ වාක්‍යයක් නොවීය.

එය දැනටමත් මගේ ඇතුළත තිබූ දෙයක් හඳුනාගැනීමට උපකාර කළ වාක්‍යයක් විය.

මම කඳු වලට ආදරය කළේ introversion ගැන දැනගත් නිසා නොවේ.

මම introversion තේරුම් ගත්තේ, මගේ කඳු අතර තිබූ ඒ නිහඬ ආකර්ෂණයට පසුව නමක් හමු වූ නිසාය.


අද වන විට පෞරුෂය පිළිබඳ විවිධ න්‍යායන් සහ රාමු පිළිබඳව මම දනිමි. MBTI, Big Five හෝ වෙනත් ආකෘති එකිනෙකට වෙනස් ආකාරයෙන් මිනිස් වෙනස්කම් විස්තර කිරීමට උත්සාහ කරයි. ඒවායේ ශක්තීන් සහ සීමාවන් පිළිබඳව අනේක විධ මත ගැටුම් ඇත. 

නමුත්,  ඒ සියලු විශ්ලේෂණයන්ට එහා ගිය මගේ පෞද්ගලික අත්දැකීමක් තිබේ. මට MBTI යනු මිනිස් ස්වභාවය පිළිබඳ අවසාන පිළිතුරක් නොවීය. එය මට මාව තේරුම් ගැනීමට ලැබුණු පළමු භාෂාවකි. ලෝකය පුරා MBTI පිළිබඳ විවේචනය කළත්, මගේ ජීවිතයේ එයට හිමි ස්ථානය වෙනස් නොවේ. 


මම කිසිදු පෞරුෂ රාමුවක් මිනිසා සම්පූර්ණයෙන් විස්තර කළ හැකි අවසාන සත්‍යයක් ලෙස නොදකිමි.

මිනිසෙකු වර්ගීකරණයකට සීමා කළ නොහැක. එක් එක් පුද්ගලයාගේ ජීවිත අත්දැකීම්, පරිසරය, වටිනාකම් සහ තෝරාගැනීම් මිනිසෙකු සෑදීමේදී විශාල භූමිකාවක් ඉටු කරයි.

එසේම, විවිධ පෞරුෂ රාමු එකිනෙකට වෙනස් ආකාරයෙන් මිනිස් වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ කරයි. ඒවා පිළිබඳව නොයෙක් ලෙසින් විමසා බැලිය හැක. විශ්ලේෂණය කළ හැක.

නමුත්, මගේ ජීවිතයේ ඒවායේ වටිනාකම තීරණය වූයේ ඒවා පරිපූර්ණද යන්න මත නොවේ. කුමන ආකෘතිය වඩාත් නිවැරදිද යන්න මත  ද නොවේ. ඒවා මට ලබා දුන් අවබෝධය මතය.

පෞරුෂ රාමු මට මගේ ස්වභාවය නිර්මාණය කර දුන්නේ නැත. ඒවා කළේ, දැනටමත් මා තුළ තිබූ ස්වභාවය සමඟ සමාදානයකට පැමිණීමට මට උපකාර කිරීමයි. ඒ නිසාම, මේ කෘතඥතාවය විශ්ලේෂණයෙන් එහා ගිය එකකි.

Friday, July 17, 2026

මට හමු වූ භාෂාව — The language I found

කුඩා වයසේ සිටම මා සිතන පතන අයුරු වෙනස් බව දැන සිටීම ම පමණක් මට ප්‍රමාණවත් වූයේ නැත.

තමා අනෙක් මිනිසුන්ගෙන් වෙනස් බව දැනෙන විට, එම වෙනස තේරුම් ගැනීමට නොහැකි නම්, එය බොහෝ විට තනිකමක් බවට පත්විය හැකිය. මට අවශ්‍ය වූයේ මගේ වෙනස් බව පමණක් පිළිගැනීමට නොව, එයට අර්ථයක් ලබා ගැනීමටය. මට මාව තේරුම් ගැනීමටත්, මා අවට මිනිසුන් තේරුම් ගැනීමටත්, මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ ඇයිදැයි අවබෝධ කර ගැනීමටත් හේතුවක්, ඒ පිළිබඳව කතා කිරීමට මට භාෂාවක් අවශ්‍ය විය.

මන්ද, අපට නම් කළ නොහැකි දෙයක් බොහෝ විට අපට තේරුම් ගැනීමට අපහසුය.

නමුත් යම් අත්දැකීමකට, හැඟීමකට හෝ වෙනසකට වචන ලැබුණු විට, එය තවදුරටත් අපව අසරණ කරන අභිරහසක් නොව, අපට අවබෝධ කරගත හැකි දෙයක් බවට පත්වේ.

මට මුලින්ම එවැනි භාෂාවක් ලබා දුන් එක් රාමුවක් වූයේ පෞරුෂ න්‍යායන්ය.

විශේෂයෙන්ම MBTI, BIGFIVE වැනි රාමු මට ලබා දුන්නේ මිනිසෙකු සම්පූර්ණයෙන් විස්තර කරන අවසාන පිළිතුරක් නොව, මිනිස් වෙනස්කම් දෙස බැලීමට ආරම්භක සිතියමක්ය.

එය මට කියා දුන්නේ, ලෝකය අත්විඳින ආකාරය සෑම කෙනෙකුටම එක හා සමාන නොවන බවයි.

සමහර අය තනිව සිටින විට ශක්තිය ලබා ගනිති.

සමහර අය අන් අය සමඟ සම්බන්ධ වීමෙන් ශක්තිය ලබා ගනිති.

සමහර අය තර්කය තුළින් තීරණ ගනිති.

සමහර අය මිනිස් හැඟීම් සහ සබඳතාවල බලපෑම තුළින් තීරණ ගනිති.

මෙයින් එකක් හරි සහ අනෙක වැරදි නොවේ.

ඒවා මිනිස් මනස ක්‍රියා කරන විවිධ ආකාරයන්ය.

මෙම අවබෝධය මට වැදගත් වූයේ මාව වෙනස් කිරීමට නොව, මාව පිළිගැනීමට උපකාර කළ නිසාය.

අන්තඃකල්පිත මනසක් තිබීම, සමාජයෙන් ඈත් වීමක් හෝ මිනිසුන්ට ආදරය නොකිරීමක් නොවන බව තේරුම් ගැනීමට හැකි විය.

ගැඹුරු සම්බන්ධතා කිහිපයක් පමණක් ජීවිතයට ප්‍රමාණවත් විය හැකි බවත්, සෑම සම්බන්ධතාවයක්ම එකම ආකාරයෙන් ගොඩනැගිය යුතු නොවන බවත් තේරුම් ගැනීමට හැකි විය.

එසේම, ශක්තිය සහ සංවේදී බව එකිනෙකට විරුද්ධ දේවල් නොවන බවත් අවබෝධ විය.

සමාජය බොහෝ විට ශක්තිමත් පුද්ගලයන් දකින්නේ ඔවුන් සංවේදී නොවන, සිත නොරිදෙන අය ලෙසය.

නමුත් සැබෑ ශක්තිය යනු කිසිදා සංවේදී නොවීම නොවේ.

තමන්ගේ හැකියාවන්, ස්වාධීනත්වය සහ තීරණ ගැනීමේ ශක්තිය සමඟම, විශ්වාසය, ආදරය සහ සබඳතාවල වටිනාකම ගැඹුරින් අත්විඳිය හැකිවීමය..


පෞරුෂය පිළිබඳ අවබෝධය මට තවත් වැදගත් දෙයක් ඉගැන්වීය.

අපි අනෙක් මිනිසුන් දකින්නේ අපගේම මනස ක්‍රියා කරන ආකාරය තුළින්ය.

එනිසා එකම පුද්ගලයෙකු පිළිබඳව විවිධ මිනිසුන්ට ඇති අවබෝධය වෙනස් විය හැකිය.

මගේ සමහර මිතුරන් මා තුළ මුලින්ම දකින්නේ මගේ සාම්ප්‍රදායික නොවන පැත්තයි.

ඔවුන්ට මම සමහර විට සමාජයේ නොකියන නීති ගැන එතරම් අවධානයක් නොදක්වන, තමාගේම ආකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයෙකු ලෙස පෙනිය හැකිය.

නමුත් එය ඔවුන් මාව අගය නොකරන බවක් නොවේ.

ඔවුන් එම වෙනස දකිමින්ම මගේ අවංක බව, විශ්වාසවන්ත බව සහ ගැඹුරු සෙනෙහස ද දකිති.

ඔවුන් මාව තේරුම් ගන්නා ආකාරය මගේම ආකාරයට සමාන නොවුණත්, එය අප අතර ඇති මිත්‍රත්වයට බාධාවක් වී නැත.


එය මට ඉගැන්වූයේ, කෙනෙකු අපව සම්පූර්ණයෙන්ම අපගේ ආකාරයෙන් තේරුම් ගැනීම පමණක් නොව, අපගේ වෙනස් බව පිළිගෙන අපගේ වටිනාකම දකින්නට හැකි වීමද ගැඹුරු සම්බන්ධතාවයක කොටසක් බවයි.

අද වන විට මට තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ, මිනිස් වෙනස්කම් මකා දැමිය යුතු දේවල් නොවන බවයි. ඒවා තේරුම් ගත යුතු දේවල්ය.

අවබෝධය මගින් මිනිසුන් එකිනෙකාට සමාන කරන්නේ නැත.

එය කරන්නේ වෙනස් මිනිසුන් අතර පාලමක් ගොඩනැගීමයි.


මට හමු වූ එම භාෂාව තුළින්, මට මාවත්, මා අවට මිනිසුන්වත් වඩාත් කරුණාවෙන් සහ අවබෝධයෙන් දැකීමට හැකි විය.

පෞරුෂ වෙනස්කම් සහ මිනිස් හැසිරීම් අවබෝධ කරගැනීම මට මාවත් අනෙක් මිනිසුන්වත් වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාර විය. එම අවබෝධය මගේ ජීවිතයට ආරක්ෂාවත් සතුටත් රැගෙන ආවේය. 

Image from: https://www.earlyyears.tv/mbti-vs-big-five-personality-test/

Monday, July 13, 2026

නිහඬ නොගැලපීම - The silent mismatch

 අද ඉඳන් ලියන්න යන්නේ තවත් අලුත්ම පැතිකඩක් වෙත ඇරෙන මාතෘකාවක් ගැන... තමා, තමා අවට සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් බව කුඩා වයසේ ඉඳන්ම දැනෙන, හැඟෙන දරුවෙක් ගැන...

කුඩා වයසේ පටන් ම මා සිතන අයුරු ඉතා වෙනස් බව, මම අනෙක් සම වයස් දරුවන්ගෙන් වෙනස් බව මා අත්විඳ තිබුණා... මා පමණක් නොව මා අවට සමාජය ද ඒ බව යම් අයුරකින් දැන උන්නා.

ඒ දැනීම මා වටා උන් සමාජය විසින් මා පිළිගැනීම ඉතා අපහසු කරවන්නක් උනා... ඒ, මා සමවයස් මිතුරන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ට පෙනුනේ, මනසින් ශක්තිමත්, දක්ෂ නමුත්, හිතුවක්කාර සහ සම්ප්‍රදායික නොවන ලෙස ක්‍රියාකරන දරුවෙකු ලෙස නිසයි... 

අනෙක් දරුවන්ට වඩා වෙනස් දරුවෙකුට සමාජය කාරුණික වන අවස්ථා ඉතා අඩුයි... අවම වශයෙන් මගේ අත්දැකීම එයයි...

නමුත් මගේ වාසනාවකට මගේ දෙමව්පියන් මා කෙසේ හෝ නිවැරදි කළයුතු දරුවෙකු ලෙස දුටුවේ නැහැ... ඔවුන්, ඔවුන්ට ලැබුණු දරුවා සෙනෙහසින් රැක ගන්නට තරම් අවබෝධයෙන් උන්නා... නමුත්, මා කුඩා කළ මවුපියන් හා සහෝදරයා හැරුණු කොට මට යහලු යෙහෙලියන් සිටියේම නැති තරම්... යහලු යෙහෙලියන් බොහෝ විට හේතුවක් නැතිව ම මා ප්‍රතික්ෂේප කළා. වයස අවුරුදු 16 වන විට දෙවතාවක්ම මට වැටහෙන හේතුවකින් තොරව යෙහෙළියන් මා හැර යාම අත්විඳ සිටි මා බොහෝ දුරටම තනිව ඒ යොවුන් විය ගෙවා දැමුවා...



වයස අවුරුදු එකොලහේදී පමණ "ගම්පෙරළිය" නව කතාව කියවද්දී, එහි "මාතර හාමිනේ" ගේ චරිතය හඳුන්වා දෙන මොහොතේ, ඇය "තමා තුළට ම හැරෙන සිතක් ඇත්තියක" ලෙස හඳුන්වා දෙන මොහොතේ දී, කුඩා දැරියක වුණු මා, මමත් එවැනි බව තේරුම් ගැනීමට තරම් මාව දැන උන්නා. INTROVERSION නොහොත් "අන්තඃකල්පිත"  මනසක් පිළිබඳ මුල්ම අදහස මා තුලට මුලින්ම කාන්දු වුණේ එදිනයි...

නමුත්, ඒ සංකල්පය හඹා ගොස් ඒ පිළිබඳ වැඩි දුර අවබෝධ කරගැනීමට තරම් දැනුම් සම්පත් එදා ලෝකය තුළ මට සොයාගැනීමට ලැබුණේ නෑ... ඒ නිසාම කුඩා කළ ම ඒ පිළිබඳව ගවේෂණය කිරීමේ අවස්ථාව මා අතින් ගිලිහුණා...

පොත් පිටු අතර නව යොවුන් විය ගෙවා දමමින් මා වැඩුණා... දක්ෂ දරුවෙකු ලෙස සමාජය දුටු දැරිය ලෙසින්ම, ඉතා ඉහළ ලෙස උසස් පෙළ සමත්වෙමින්, පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක දොරටු මා වෙනුවෙන් විවර වුණා... ජීවිතයේ මුල්වරට යහළු හෙහෙළියන් සොයා ගැනීම මා උගත්තේත් එහිදීයි...ඇත්තෙන්ම මගේ ලොව තුළ යහළු යෙහෙලියන් සොයාගන්නා රටාව මා එහිදී හඳුනා ගත් බව කීවොත් එය වඩා නිවැරදියි...

හදවත ට ළඟින් බැඳුණු, ගැඹුරු මිතුදම් කිහිපයක් පමණක් මගේ ලොව තුළ නඩත්තු කළ හැකි බව මම එහිදී ඉගෙනගත්තා... අද වනවිට වසර 25 ක් එක්ව ගෙවා දැමූ මා සමග එකම කාමරය බෙදා හදාගත් මිතුරිය සහ අපේ අනෙක් එකම යහළුවා හා බැඳුනු අප තිදෙනා ගේ සරසවි මිතුදම් අද ද එලෙසින්ම පවතිනවා...

මගේ නිහඬ නොගැලපීම මුල්වරට බිඳ දැමුවේ ඔවුන් දෙදෙනායි... එතැන් පටන් කෙමෙන් එක් රැස් කරගත් යහළු යෙහෙළියන් අතලොස්සක් ද, කෙමෙන් ගොඩනගාගත් මා හා මගේ "අන්තඃකල්පිත"  මනස පිළිබඳ අවබෝධය ද සමගින් මා ජීවිතය ගොඩ නගා ගත්තා... "අන්තඃකල්පිත"  මනස මා වෙත තිබියදී සමාජය තුළ සංසරණය වීමට අවශ්‍ය ක්‍රමවේදය මා මට හැකි පමණින් ගොඩ නගා ගත්තා...මට අවැසි වනුයේ ගැඹුරු විශ්වාසනීය යහළු යෙහෙළියන් කිහිප දෙනෙකු පමණක් බව මා අවබෝධ කරගත්තා...

මේ කතාව පෞද්ගලිකත්වය හැකි තරම් ම වෙත රඳවා තබා ගනිමින් මෙහි සටහන් කරන්නට මා තීරණය කළේ අද වනවිට ලෝකය "අන්තඃකල්පිත  මනස" (INTROVERSION) පිළිබඳ සංකල්පය ගැන ඉතා දැනුවත් නමුත්, අද ද සමාජය තුළ හා රැකියා ස්ථානය තුල අන්තඃකල්පිත  මනසක් ඇති බොහෝ දෙනා සිය "අන්තඃකල්පිත"   ස්වභාවය නිසා අනන්ත ගැටළුවලට මුහුණ දෙන බව අත්විඳින නිසායි... 

අන්තඃකල්පිත  මනසක් හිමිවීම තෝරා ගැනීමක් නොවෙයි... එය ස්වභාවයෙන්ම රැගෙන ආවක්... එනිසා එය වෙනස් කිරීමේ හැකියාවක් ද අප සතුව නැහැ... කළ හැකි එකම දෙය, ඒ බව පිළිගෙන තම ජීවිතය තමාට පහසු පරිදි හැඩගස්වා ගැනීම පමණයි...

Image from:https://introvertspring.com/introvert-biology-behavior/might-not-say-much-4/

Wednesday, October 23, 2024

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස අවුරුදු හැට සම්පූර්ණ කරන්න ඔන්න මෙන්න... මම නවයොවුන් වියේදි, ඔහු ඉතා ආකර්ෂණීය දිදුලන තරුණ වියේ පසුවුණා... අද වගේ ලෝකයේ සියළු දේ ඇඟිලි තුඩ අගට ගෙන්වා දිය හැකි ජංගම දුරකතන එදා අපි අතේ නොතිබුණ නිසා, ඔහුගේ ඩිජිටල් ඡායාරූප එදා මම අතේ රැඳුනෙ නෑ...  පත්තරවල පලවුණ පින්තූර වගේම, පින්තූර පොස්ට්කාඩ්වල තිබුන පින්තූර එකතුවක් මා ළඟ තිබුණා... ඉතා අපහසුවෙන් සොයාගත් ඒ පින්තූරවල පෙනී සිටි ඔහු මට පෙනුනෙ තරුවක් විදියටම විතරයි...කිසිවිට ඔහුව මිනිසෙක් ලෙස පෙනෙන තරම් මම පරිණත වෙලා තිබුණෙ නෑ...

ඒ වගේම එදා වෙද්දි ඔහු අද සිටින ලෝක පූජිත නළුවා ද නෙවෙයි... මා ඔහුගේ සොඳුරු රුවට බැඳෙන විට ඔහු ප්‍රධාන නළුවා/ එනම් රිදී තිරයේ පෙම්වතා ලෙසවත් ඉතා ප්‍රබල රංගනයන් ඉදිරිපත් කර තිබුණේ නෑ... එකල ඔහු රිදී තිරයේ දුශ්ටයා ලෙස සාර්තක වුණු යුගය... 



මා යොවුන් වියේ වැඩෙන අතරතුරම ඔහු රිදී තිරයේ පෙම්වතා ලෙස අති සාර්ථක රංගනයන් ඉදිරිපත් කරන අයුරු නැරඹුවා...අදටත් ඔහු මගේ හිතේ රැඳෙන්නෙ හඬමින් සිනහසෙමින් "කුච් කුච් හෝතා හේ" හි රැඳුණ යොවුන් තරුණයා ලෙසයි.."කුච් කුච් හෝතා හේ" තිරගත වෙලා තියෙන්නෙ 1998... බොහෝ දුරට එය 1996 පමණ රූගත කෙරෙන්නට ඇති... එදා නවයොවුන් වියේ සිටි මා දුටුවේ, එවකට සිය ජීවිතයේ තුන්වන දශකයේ ඇරඹුමේ සිටි ඔහු, දඟකාර යොවුන් තරුණයෙක් ලෙස රඟපාන බව නෙවෙයි... එදා මා ඔහු  දුටුවේ "කුච් කුච් හෝතා හේ" රාහුල් ලෙස පමණයි... ඒ රංගනය සාර්ථක ව නිම කිරීම සඳහා ඔහු දරන වෙහෙස මගේ ලොව වෙතට පිවිසුණේවත් නෑ... "කුච් කුච් හෝතා හේ" රාහුල්, සිය "Happily ever after" තත්වයට යද්දි මගේ ලොවේ සිටි තරුව ද සිය සදාතනික සතුට වෙත ගිය බව සිතමින් සියල්ල සතුටින් හමාර කරන්නට මගේ සිතත් පෙළඹුණා... 

තරුවකට එහා ගිය මිනිසෙකු ලෙසින් මට ඔහුව පෙනෙන්නට පටන් ගත්තේ ඔහු වියපත් වෙද්දි... ඔහු තරුවක් නොව, සිය වෘත්තිය සාර්ථක කරගත්, නළුවෙකු වන්නට අධික වෙහෙසක් දැරූ මිනිසෙකු බව මට සිහිපත් කෙරුණේ ඔහු "Fan" චිත්‍රපටය රඟපාන කාලයේදී... "Fan"  චිත්‍රපටයේ නළුවා සහ Fan දෙදෙනාටම ද්විත්ව රංගනයක නිරත වූ ඔහු සිය වෘත්තිය කෙරෙහි ඉතා උද්යෝගිමත් නළුවෙකු ලෙස මෙන්ම ඉතා වෙහෙසක් දරා ද්විත්ව චරිත නිරූපණය කළ බව එහි අධ්‍යක්ෂවරයා පවසනු වීඩියෝවක මා දුටුවා...2016 තිරගත වුණු "Fan" චිත්‍රපටය 2014 පමණ රූගත කෙරෙන්නට ඇති...ඒ වන විට වියපත් මිනිසෙකු වූ ඔහු, Fan ලෙස රඟපාන්නට දරන්නට ඇති වෙහෙස හොඳින් අවබෝධ වන තරමට ඒ වන විට මා ද වියපත් වී තිබුණා...ඔහු තරුවක් ලෙස නොව මිනිසෙකු ලෙස දකින්නට මෙන් ම මිනිසකු ලෙස සිය වෘත්තියේ හිණි පෙත්තට නගින්නට ඔහු දැරූ වෙහෙස අගයන්නට එදා මට හැකිවුණා... 

තරුවක මහිමය විඳිමේ අසිරිය ඉක්මවා දැඩි වෙහෙසක් දරා සිය දිවි සැරිය සරන මිනිසෙකු ලෙසින් ඔහු මගේ ලොව ගෞරවයට පත් වුණේ එදා පටන්...

ඉන් පසු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස මසිත සටහන් තබන්නට සමත් වූ වෘත්තිය නළුවන් කිහිප දෙනෙක් ඉන්නවා...ඇමරිකානු නළු ලෙනාඩෝ ඩි කැප්‍රියෝ මෙන්ම චීන නළු ශියාඕ ශාන් ඒ අතර විශේෂයි... 


ඒ අතරිනුත් ශියාඕ ශාන් රඟපාන TV series කිහිපයක් නැරඹුවත් ඔහු වෙත තරුවක් ලෙසින් දැනුන ආකර්ෂණය ශාරුක් ඛාන් වෙත එදා බැඳුනු ආකර්ෂණයට සාපේක්ෂ ව නොගිනිය හැකි තරම් කුඩායි... ලොව පුරා මිලියන ගණනක් රසික හදවත් තුළ තරුවක් ලෙස රැඳුනත්, ඔහු හැඟීම් නිරූපණයේ දක්ෂ, ඉතා වෙහෙසක් දරා සාර්ථක වූ, තමා වගකීම දරන චරිතය නිරූපණය කරන වෘත්තිය නළුවකු හා ගායකයකු මිස, තරුවක් ලෙස මගේ ලොවට පායා ආවෙ නැහැ... තිරය තුළ ශියාඕ ශාන් දකින හැම මොහොතකම නැගෙනහිර ආසියාවේ විනෝදාත්මක කලා වෙළඳපොළ තුළ තරුවක් ලෙස රැඳෙන්නට, ඔහු ගෙවා එන්නට ඇති වෙහෙසකර ගමන පිළිබඳ ඉඟි සහ එහි රැඳී ඉන්නට ඒ තරු කළයුතු කැපවීම, ඔවුන් ඉතා දැඩි ස්ව‍යං විනයක් ඇති වෘත්තිකයන් බව සිහිපත් කෙරෙනවා...

ලෝකයේ බොහෝ සොඳුරු දේ පිටුපස ඇති යථාර්තය වරක් අවබෝධ කරගත් පසු එය යළිදු කිසිදා යථාවත් කළහැකි වන්නේ නෑ... ඉදින් නැවත කිසිදා රිදී තිරයේ පායන තරුවක මහිම විඳින්නට හැකිවන ලෙසින් ජීවිතය ආපසු නොහැරෙනුත් ඇති... 

Friday, August 23, 2024

Entertainment industry

ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ මේ කර්මාන්තය අසාර්ථක වීම ද එහි නියැලෙන්නන් වෘත්තිය නොවීම ද එහෙමත් නැත්නම් වෙනත් කරුණක් ද කියල මම ඇත්තටම දන්නෙ නැහැ.

මම දකින පැතිකඩ කිහිපය අතර ප්‍රධානම කරුණ, ලංකාවේ කලාකරුවන් කියල කියාගත් බොහෝ දෙනෙක් මේක කර්මාන්තයක් බව නිවැරදිව තේරුම් ගත්තෙ නෑ... ලංකාවේ ඉතාම ජනප්‍රිය වුණු ගායක ගායිකාවො කිහිපදෙනෙක් වගෙම නළුවොත් අන්තිමට තමන්ගෙ අවසාන කාලය ඉතා අසරණව ගෙවා දමන බව ජනමාධ්‍ය විසින් වාර්තා කළ අවස්ථා බොහොමයක් මම දැකලා තියෙනවා... ඒත් ඇත්තටම එය මුදල් ඉපයිය හැකි කර්මාන්තයක් නොවීමේ ගැටළුව ඇතිවුණේ කොහොමද? 

අනෙක් පැතිකඩ නළු නිළියන් යයි කියාගන්නා වෘත්තිකයන් හැර, වෘත්තිය ලෙසින් නිවැරදිව වෘත්තිය හැදෑරූ නළු නිළියන අපේ රටේ බිහි නොවන්නේ ඇයි? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළින් බිහිවන උපාධිදාරීන් අතරින් කොටසක්වත් සාර්ථක ලෙස වෘත්තියේ නියැලුණේ නැත්තේ ඇයි?



අද වනවිට එම වසර තුළ රියැලිටි තරු ලෙස බිහිවන්නන් හා අවුරුදු කුමර කුමරියන් එක්වරම මතු වී නළුවන් වී නාට්‍යයක හෝ දෙකක රඟපා එසැණින් අතුරුදන් වන ක්‍රමයක් බිහිවී තියෙනවා... ඔවුන් සමහරෙක්ට රඟපෑම සඳහා කිසිදු හැකියාවක් ඇත්තේ ද නෑ... අනික, ඉතාම කිහිප දෙනෙක් හැර නළු නිළියන් ලෙසින් ඔවුන් සිය රූ සපුව පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන බව ද පෙනෙන්නේ ද නෑ... සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන අපට වඩා වේගයෙන් ඔවුන්ගෙ රූ සපුව පිරිහෙනවා... නාට්‍යයට සම්බන්ධ වී ටික දිනකින් ඉතාම අවලස්සන ලෙස අධිකව තරබාරු වීමට පටන් ගන්නා ඔවුන් සිය තාරුණ්‍යයේ සිටියදීම එතරම් අවලස්සන ලෙස සිරුර සකසා ගන්නේ කොයි ආකාරයේ ජීවන රටාවක් ගත කිරීම නිසා දැයි මට හිතාගන්නවත් බැහැ... 

රූපවාහිනියේ පෙනී සිටීමේ ආශාව මුදුන්පත් කරගන්නා ක්‍රමයක් ලෙසින් නොව වෘත්තියක් ලෙසින් වෘත්තිකයන් ලෙසින් මේ කර්මාන්තය දැකීම අප අද හෙටම ඇරඹිය යුතුයි... එසේ නැතිනම් තව නොබෝ දිනකින් මේ කර්මාන්තය නැත්තටම නැතිවී යාම සිදු වේ යයි අපට සිතිය හැකියි...

අනෙක් අතින් ගීත කලාව ගත්විට ඉතාම හොඳ නිර්මාණ නව පරපුර විසින් බිහි කර තිබෙනවා... ඒ නිසා මේ රට තුළ හොඳ හැකියාවක් ඇති නිර්මාණකරුවන් නැති බැවින් සිදුවන්නකැයි සිතිය නොහැකියි...

Sunday, August 11, 2024

විනෝදාස්වාදය සොයායාම සහ Entertainment business

Entertainment එහෙම නැත්නම් විනෝදාස්වාදය මිනිස්සු ඉතාම ඈත අතීතයේ ඉඳලා හොයාගෙන ගිය දෙයක්... බොහොම අතීතයේ මිනිස්සු ලාම්පු, පන්දම් පත්තු කරගත්ත තාවකාලිකව පුරන්වුණ කුඹුරක හෝ කමතක හදාගත්ත වේදිකාවක් වටේ වටවෙලා, ගමේම මිනිස්සු එකතුවෙලා සංගීතය, රංගනය ආදී සියල්ල තමා විසින්ම කරගනිමින් පවත්වා ගෙන ගිය නාට්‍ය, නාඩගම්, කෝලම් ආදී රංගකලා එදා මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුවා... අද අපි නොයෙක් ආකාරයේ මති මතාන්තර දැරුවත් එදා යුගයේ පෙරහරක් වුණත් ගම්වල මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුණ අවස්ථාවක්... කොයි කවුරුත් සතුටින් ඒවාට සහභාගි වුණා...

නමුත් එදත් අදත් අතර විනෝදාස්වාදය සැපයීම හා ලබාගැනීම අතර වෙලා තියෙන වෙනස්කම් බොහොමයි... අද වෙනකොට අපි පොදු විනෝදාස්වාදය ලබාදෙන කටයුතුවලට ඒ කියන්නේ... මිනිස්සු එකතුවෙලා නාට්‍යයක් හදලා, ඒක පෙන්වන්න උවමනා කරන සියළු කටයුතුවලට මහන්සි වෙලා ලබන වින්දනය ලබන්න සූදානමක් නෑ... බොහෝ දෙනෙකුට ඊට කාලය ඇත්තෙත් නෑ... ජීවිතේ ඉතා දුෂ්කර වුණත් ගමක ඉපදීම නිසා මේ අත්දැකීම ලබන්න තරම් වාසනාවන්ත වුණ නිසා මම ඒ වගේ කටයුතුවලට සහභාගි වෙලා ලබන්න පුළුවන් වින්දනය ලබන්න වාසනාවන්ත වුණා... ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, චිත්‍රපටවලට අමතර ව ජීවිතේ එකම එක වතාවක් මම හිටිවන කවි මඩුවකුත් බලලා තියේ...

අනෙක් ප්‍රධාන කාරණාව තමයි අද වෙනකොට අපි විනෝදාස්වාදය ලබන්න කරන බොහෝ දේ ඩිජිටල් තිරය මතට ගෙනත්... ටෙලිනාට්‍ය, චිත්‍රපට විතරක් නෙවෙයි කවිමඩුවක් වුණත් දැන් ඒවායේ බලත හැකි...තුන්වෙනි කාරණාව මේ වෙනකොට විනෝදාස්වාදය ලබාගැනීම හා සැපයීම අති විශාල කර්මාන්තයක්... ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වාර්ෂික ආදායම් උපයන ව්‍යාපාර එහි මතුවෙනවා...

ඒත් දුක හිතෙන කරුණ නම් ලෝකය ඒ ව්‍යාපාරය තුළ ඉදිරියට යද්දි ලංකාව ඒ ව්‍යාපාරය තුළ පසුපසට ගමන් කිරීම... ලංකාවේ අද වෙනකොට නිෂ්පාදනය වෙන ටෙලිනාට්‍ය මගේ බුද්ධියට නිගා කරන නිසා කණගාටුවෙන් වුණත් මම ඒවා දැන් බලන්නෙම නෑ...ඒ හින්දාම හදිස්සියෙන් හැදෙන හොඳ දෙයක් වුණත් මගෑරිලාම යනවා...ඒත් ඉතින් විනෝදාස්වාදය සඳහා සුදුසු යමක් බලන්න තියෙන ආශාව නැති නොවුණ නිසා මගේ හිතේ ඇතිවුණ හිස්තැන පුරවන්න ඉංග්‍රීසි වගෙම නැගෙනහිර ආසියානු චිත්‍රපට හා ටෙලිනාට්‍ය බලන්න මම පුරුදු වෙලා...

මුලින්ම ලංකාවෙ හඬ කැවුණ කොරියානු නාට්‍ය දැකීමෙන් හරි, ඉඳලා හිටල Youtube  එකේ මතුවෙන කුඩා කොටස් නිසා හරි තමයි ඒවා මුලින්ම මගේ හිතට ඇතුල්වෙන්න ඇත්තේ...ඒත් දැන්නම් මම නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බලන්න පුරුදු වෙලා... ඒවා හැම එකක්ම හොඳ නැති වුණත් තෝරා බේරා ගෙන බලන්න තරම් ඉතාම හොඳ කලාකෘති බොහොමයක් ඒ අතර තියෙනවා... අනික් වැදගත්ම දේ මම කැමති නෑ ඒවා සිංහලෙන් හඬ කවලා අහන්න... ඒවා ඒ නොතේරෙන භාෂාවෙන් අහන ගමන් උපසිරැසි බලලා තේරුම් ගනිද්දි මට කතා රසය වැඩියි...

විශේෂයෙන්ම Fantasy, Historical වර්ගීකරණ යටතේ එන ටෙලිනාට්‍ය හා චිත්‍රපට බලන්න මම හුඟක්ම ආසයි... 


අනික ඒවා ඉතාම වෙහෙස මහන්සි වෙලා නියම විදියට අවශ්‍ය පසුතල, වේශ නිරුපණය කරලා හදල තියෙනවා...මම හිතන්නේ ඒවා සංස්කරණය කිරීමත් අමාරු කාර්යයක් වෙන්න ඇති... අඩු පිරිවැයකින් නිෂ්පාදනයට තැත් කිරීම ලාංකීය විනෝදාස්වාද කර්මාන්තය බිඳ වැටීමට හේතුවුණ බව මගේ එක් මතයක්... ඒ වරද මේ ටෙලිනාට්‍ය සිදු කරන්නෙ නැති තරම්... 

අනික මාත් ඇතුළුව මම අදහස් විමසපු මගේ බොහෝ මිතුරන් දරන අදහසක් තමයි දැන් වෙනකොට මිනිස්සු කැමති සතුටු හිතෙන අවසානයක් දකින්න... මොකද සැබෑ ජීවිතයෙ තියෙන ප්‍රශ්න මදිවට අනුන්ගෙ ප්‍රශ්නත් කරදරවලින් අවසන් වෙනවා දැකලා හිත රිදවගන්න අපිට ඕනෙ නෑ... නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය මේ ප්‍රවණතාවය හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා... අවාසනාවට හොඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට ලෙස ලංකාවෙ වර්ගීකරණය වුණ බොහොමයක් ඒවා දුක්බර අවසානයක් ගෙනාවෙ... නමුත් වර්තමාන ප්‍රේක්ෂකයන් ඊට ආකර්ෂණය වෙනව අඩු බව තේරුම් ගැනීමත් සාර්ථකත්වය සඳහා ඉතා  වැදගත්...

නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය උන්මාදයක් වගේ ලෝකය අරක්ගෙන... Netflix හරහා ලෝකය පුරා බිලියනයට වඩා නැරඹුම් වාර ලබාගත් නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බිහිවෙලා තියෙනවා... චීනය වගේ ලොකු රටක් එක්ක අපිව සංසන්දනය කරන්න බෑ තමයි... ඒත් වඩා හොඳ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බිහි වෙනව නම් අපිටත් අපේ අනන්‍යතාව රැකෙන නිර්මාණ මගින් මේ කර්මාන්තය තුළ සරන අතිවිශාල මුදලින් පොඩිකොටසක් වත් ලබාගන්න තරම් දක්ෂ නිර්මාණකරුවො නැත්තෙම නෑ කියලමයි මට හිතෙන්නේ...


Monday, July 22, 2024

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීමේ නිදහස හා සැහැල්ලුවයි... පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ නිදහස හා සැහැල්ලුව නැති කරගත් බොහෝ දෙනා මට දිනපතා මුණගැහෙනවා...විශේෂයෙන්ම රැකියා ආයතනයෙන් පිටතදීත් තමන් දරන තනතුරුවලට ගැලපෙන ලෙස ජීවත්වීමට උත්සාහ දරන විට හා රැකියාව තුළ ඉහළ යාමේ නොතිත් ආශාවෙන් ජීවත්වන බොහෝ දෙනාට තමන්ට තමන් ලෙසින් ජීවත් වීමේ සැහැල්ලුව මග හැරෙනවා... 

වර්තමානයේ තරගකාරී ජීවන රටාව තුළ අප බොහෝ දෙනකුට අමතකව ගොස් ඇති ඉතා වැදගත් කාරණාවක් වන්නේ අප රැකියාව කරන්නේ නිදහසේ සතුටින් ජීවත් වීම සඳහා මුදල් ඉපයීමට බවයි... රැකියාව කෙරෙහි ඉතා තදින් බැඳුන නමුත් අපට රැකියාව ජීවිතය කරගත හැකි වන්නේ නැහැ... අනෙක් අතින් ලබා ගන්නා වැටුපට සරිලන සේවයක් නොකරන්නේ නම් ඒ පුද්ගලයා එම රැකියාවට සුදුසු වන්නේත් නැහැ...මේ අන්ත දෙක අතර මැද සාධාරණව රැඳෙමින් රැකියාව කිරීම රැකියාවක් කිරීමේ අපේ අරමුණ ඉටු කරනු ඇති...


ඒ වගේම රැකියාව කරන අතර ම අප ජීවිතය ද ගෙවා දමන බව අමතක කළයුතු නැහැ...බොහෝවිට අප රැකියාවකින් සමුගන්නා විට වයස අවුරුදු හැටක්වත් සපිරී තිබෙනවා...ජීවිතය සතුටින් විඳීමට හැකි, සිරුර ශක්තියෙන් යුත් වයස අප ඒ වනවිට ගතකර අවසන් හෝ අවසන් කිරීමට ඉතා ළඟයි...ඒ නිසා රැකියා ඉලක්ක වෙනුවෙන් තමාට තමා නැතිකරගත් ජීවිතයක් ගත කිරීම නුවණට හුරුයයි මා සිතන්නේ නෑ... ඇතැම් පුද්ගලයන්ට රැකියා ස්ථානයේ දී තමා තමා ලෙසින්ම ජීවත්වීමේ හැකියාව හිමිවන්නේ නෑ... නමුත් රැකියාවත් ජීවිතයත් අතර වෙනස පැහැදිලිව සලකුණු කරගත්විට තමා ලෙසින් ජීවත් වීමේ හැකියාව අඩුම වශයෙන් නිවසේ දී හා තම සමීපතමයන් ඇසුරේදීවත් රඳවා ගත හැකියි...

රැකියා ඉලක්ක හෝ මුදල් ඉපයීමේ ඉලක්ක වෙනුවෙන්ම ජීවත්වීමට උත්සාහ දරන විට ඉබේම ඒ ව්‍යාජ මිනිසා තුළ සිරවී තමාට තමාව පවා අහිමිවුණ මිනිසුන් ද මා දැක තිබෙනවා...තමාට තමා අහිමි කරගෙන හෝ ඉලක්ක වෙත ළඟාවී ධනය හා බලය උපයාගත් විට සතුටු විය හැකිදැයි මා දන්නේ නෑ... නමුත් ව්‍යාජ මිනිසෙක් ලෙස, එනම් සිය පුද්ගල අනන්‍යතාව විනාශ කරගත් මිනිසෙක් ලෙස දිගු කලක් ජීවත්වීම ඉතාම පීඩාකාරි වනු ඇතැයි මට සිතෙනවා...ඒ නිසා තමාට තමා අහිමි නොකරගත් මිනිසෙක් ලෙසින් මියයාම මගේ ජීවිතයේ අරමුණයි...

Saturday, July 13, 2024

පෞද්ගලික මුල්‍ය කළමනාකරණය හා නිදහස

 

වැඩිහිටියෙකු ලෙස ජීවත්වීමේ දී වගකීම් සහගතව තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීම සඳහා තම මුල්‍යමය පැවැත්ම ඉතා වැදගත්... මුල්‍යමය අවශ්‍යතා සඳහා තවත් කෙනෙකුගෙන් යැපෙන විට අපට  නිදහසේ ජීවත්වීම අවස්ථාව බොහෝවිට ඉබේම අහිමි වෙනවා...

මුදල් ඉපයීම සම්බන්ධ ගැටළු බොහොමයක් ලාංකීය සමාජය තුළ මා දකිනවා... මුදලක් උපයන ස්වාධීන වැඩිහිටියෙක් නොවී ම තමනුත් නව පවුලක් ඇරඹීම ලාංකීය සමාජය තුළ මුල් බැසගෙන ඇති ගැටළුවක්... මුදල් උපයන්නේ නැතිව දෙමාපියන්ගෙන් යැපෙමින් නව පවුල ඇරඹීම  නිසා සිය ජීවිත කාලයටම බල පැවැත්වෙන ගැටළු ඇතිකරගත් පුද්ගලයන් මට මුණගැසී තිබෙනවා...ඔවුන් ඇතැම්විට පසුව මුල්‍යමය ස්වාධීනත්වය ළඟාකරගත්තත් එසේ නොවුණ යුගයේ පවුල් තුළ ට සිදු වූ අනවශ්‍ය අතපෙවීම් ඉවත් කරගැනීම පසුව අපහසුයි... වඩාත්ම ඛේදනීය වන්නේ කිසිදු ස්ථිර ඉපයීමක් නැති දෙමාපියන් දරුවන් තැනීමේදී දෙමාපියන් සහ දරුවන් එක්ව මුහුණ දෙන ගැටළුයි...

ඉතා ඉහළ උගත්කම් ඇති හා හොඳ ඉපයීමක් ලබන තරුණියන්ට පවා විවාහයෙන් පසු දෙමාපිය හා සහකරුගේ බලපෑම නිසා රැකියාව අත්හැර දැමීමට සිදුවීම... එපමණක් නෙවෙයි, දරුවන් රැක බලාගැනීම පිළිබඳ ගැටළු  පවා නැති ඇතැම් කාන්තාවන් ස්වාමියාගේ අකමැත්ත මත හෝ ඔහු හොඳින් උපයන නිසා නිවසේ රැඳීමට දක්වන කැමැත්ත ලාංකීය සමාජය තුළ  කාන්තාවන්ගේ මුල්‍යමය ඉපයීම් පිළිබඳ ගැටළු ඇතිකරනවා... යම්කිසි අවාසනාවන්ත සිදුවීමක දී එනම් හදිසි අනතුරකදී හෝ නිවසේ මූලික උපයන්නාට රැකියාව අහිමි වීමකදී ඔවුන් ඉතා අසරණ වනු ද මා දැක තිබෙනවා...

තමා වටා සිටින මිතුරු කවය හා අනෙකුත් නෑ මිතුරන්ට ප්‍රදර්ශනය කිරීම පිණිස තරගකාරීව කටයුතු කිරීම නිසා අනවශ්‍ය ලෙස වියදම් දරමින් සිය මුල්‍යමය පැවැත්ම විනාශ කරගැනීමත් මුල්‍යමය කළමණාකරණය පිළිබඳව සමාජය තුළ ඇති ගැටළු අපට කියාපානවා... මුල්‍ය කළමනාකරණය නරක නම් ඉපයීම කෙතරම් හොඳ වුණත් මුල්‍යමය නිදහස ලබාගැනීම ඉතා අපහසුයි...අනෙක් අතින් මධ්‍යම ප්‍රමාණයේ ඉපයීමක් මගින් වුණත් හොඳ මුල්‍යමය කළමනාකරණයක් ඇතිවිට මුල්‍යමය ස්වාධීනත්වය ලබාගැනීම පහසුයි... 

ඒ නිසා තම වැඩිහිටි ජීවිතය ඇරඹීමේ දී මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනීම මොනයම්ම ක්‍රමයකින් හෝ ලබාගැනීම සඳහා දිරිගැන්වීමක් ලාංකීය තරුණ පරපුරට අත්‍යවශ්‍යයි... ඒ සඳහා කුඩා කල පටන්ම දෙමාපියන්ට ද දායකත්වයක් ලබාදිය හැකියි...

Wednesday, July 10, 2024

Responsible Freedom

මට හමුවුන ලෝකයේ බොහෝ රටවල්වල මිනිස්සු අතරෙ අඩුවැඩි වශයෙන් තමන් තමා වෙනුවෙන් ජීවත් වීමේ ආශාව මා දැක තිබෙනවා...ඒත් ලාංකීය අපේ ජීවන රටාව තුළ මට දැනෙන විදියට තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නේ නැතිකම...ලාංකීය සමාජය තුළ දෙමාපියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සහකරු හෝ සහකාරිය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම බොහෝ අගනා කටයුත්තක් ලෙසින් සැලකුණත් කෙනෙකුට තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නට අපේ සමාජය මැලියි...

ජීවත්වන හැම මොහොතක්ම තමා වෙනුවෙන්ම ජීවත්වීම කළ නොහැකි වුණත් සෑම කෙනෙකුටම තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය තිබෙනවා... තමා කැමති දෙයක් කිරීමේ අයිතියත් තිබෙනවා... තමා අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් තිබෙනවා..කෙනෙක් ඒ අයිතීන් භාවිත කිරීම ඒ පුද්ගලයා හෙළා දැකීමට හේතුවක් නෙවෙයි...අනෙක් අතින් අපේ සමාජය තුළ තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය දිරිගන්වන්නේ නැති නිසාම දෝ අපේ තරුණ දරුවන් තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය භාවිතා කිරීමට තරම් ආත්ම විශ්වාසයක් දරන්නේත් නැහැ...


Source : https://www.psychologytoday.com/

මෙලොව ඇති සැම දෙයකම වාසි සහ අවාසි ඇති බව නියතයක්... තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය හා නිදහස භාවිතා කළ සැනින්, එතැන් පටන් තමා ගත් තීරණවල වගකීම් දැරීමට සිදුවෙනවා... නමුත් දරුවෙක් වැඩිහිටියෙක් වන්නේ ඒ හැකියාව ලබාගත් විටයි...බොහෝ තරුණ දරුවන්ගේ ජීවිත කතා තුළ තමා වෙනුවෙන් ජීවත්වීම පිළිබඳ ගැටළු අසා සිටින විට මට මේ කාරණාව බොහෝ වේදනාත්මකව සිහිපත් වෙනවා... විශ්වවිද්‍යාල සිසුන් තුළ පවා තමා වෙනුවෙන් තීරණ ගැනීමේ හා ජීවත් වීමේ නොහැකියාව මා අත්විඳ තිබෙනවා...ඉතා ප්‍රමාද වී ඒ පිළිබඳව පසුතැවීමෙන් එය නැවත නිවැරදි කළ හැකි වන්නේ නෑ...

තමා වෙනුවෙන් ජීවත්වීම දොස් පැවරීමට තරම් වරදක් නොවන බවත්... තමාට තමා කැමති ලෙසින් ජීවත් වීම අයිතිය ඇති බවත් දරුවන් වැඩිහිටියන් වන විට තේරුම් යන්නේ නම් ජීවිතය හා යෞවනය මීට වඩා සොඳුරු වනු ඇතියි මට සිතෙනවා...

මට දැනෙන පරිදි වගකීම් සහගත නිදහස නොහොත් Responsible freedom යනු ජීවිතය තුළ කෙනෙකුට අත්විඳිය හැකි හොඳම දෙයයි...


Responsible freedom

It is the freedom to experience and express the existence of my being as a unique human. It is accompanied with responsibilities to myself as a single entity as well as to existence as a whole.

Source: https://www.psychologytoday.com/

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic

තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි. එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස ම...