Saturday, July 25, 2026

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind

අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හැකියාව රඳනවා... විශේෂයෙන්ම ඉතා විකේන්ද්‍රීය අන්තඃකල්පිත මනසක් හිමි මා ලෝකය සමග ගනුදෙනු කිරීමේදි ඉතා ප්‍රබල තෝරා ගැනීමක් කරනවා...

එම ප්‍රබල තෝරා ගැනීම ඇසුරට මිතුරන් තෝරා ගැනීමේ සිට ජීවිතයට අරමුණු, ඉලක්ක තෝරා ගැනීම දක්වා, ඉතා ප්‍රබල පරාසයකට වලංගුයි... මගේ ජීවිතය තුළ සිදුවන සියල්ල තෝරාගැනීම් නොවුණත් හැකි සෑමවිටකම ඒවා තෝරාගැනීම් බවට පත් කිරීම මගේ ස්වභාවය...

නිහඬ නොගැලපීම විඳ දරාගනිමින් මා වැඩුණු පසුව, මා සිදු කළ තෝරාගැනීම් අතරින් වඩා වැදගත් තෝරා ගැනීම් දෙක මගේ ජීවිත අරමුණු තෝරා ගැනීම සහ මගේ සමාජීය ජීවිතය හැඩගැස්වෙන ආකාරය තෝරාගැනීමයි.. 

ඒ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි මගේ ප්‍රබලම තෝරා ගැනීම වුණේ මගේ අනාගත වෘත්තිමය ගමන හැඩගැස්වීමයි...

අනෙක් අය විශ්ව විද්‍යාල උපාධිය සාමාන්‍ය ලෙස හදාරද්දී මගෙ අරමුණ වුණේ ප්‍රථම පන්ති උපාධියක්... ඒ එමගින් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණ ඉටුවන නිසයි... ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටි මා වෙනත් කිසිදු අමතර සුදුසුකමක් රැස්කරන පාඨමාලාවලට සහභාගි නොවීම තෝරා ගත්තා... අනෙක් සගයන්, සියල්ල තරමක් දුරට යන සංකල්පයට යද්දී මා ප්‍රථම පන්ති උපාධිය තෝරාගත්තා... වසර හතරක් අවසන් ඒ අරමුණ සම්පූර්ණෙයෙන්ම ඉටු කරගන්නටත් සමත් වුණා...

ඉන් නොනැවතුණ මා මගේ වෘත්තිය ජීවිතය මා අරමුණු කළ ස්ථානයට පැමිණෙන තෙක්ම නොනවත්වා කටයුතු කළා...

නමුත් ජීවිතය නිමා නොවන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනක් නොවන බව මා තේරුම් ගෙන තිබුණා... ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මා කිසි දා තවත් අරමුණක් වෙත ජීවිතය ඉලක්ක කළේ නෑ.

 - - - - -- - - - - - -- - -- - -- - - -- - - - - - - - - - - -- 

මිනිසුන් බොහෝ විට ජීවිතය ගැන කතා කරන්නේ කන්දක් තරණය කිරීමක් ලෙසයි... එක් මුදුනකට ළඟා වූ පසු, ඊළඟ මුදුන සොයා යාම, තවත් ඉහළට නැගීම, කිසිදා නොනැවතීම—සාර්ථකත්වය බොහෝ විට එසේ විස්තර කෙරෙන්නේ ඒ ආකාරයටයි..

නමුත් මගේ ජීවිතය එසේ ගලා ගියේ නැහැ....

මම එක් කන්දක් තෝරාගෙන එය තරණය කළා...

ආචාර්ය උපාධිය මට හුදෙක් අධ්‍යාපනික සුදුසුකමක් නොවීය. එය මා වසර ගණනාවක් තිස්සේ දුරින් දුටු, මා වෙත ළඟා වීමට අවශ්‍ය වූ එක් කන්දක් විය.

ඒ නාඳුනනා අහස යට,  විරාමයක් ලැබුණු විට, මා දුටු සොඳුරුම දර්ශනය දුරින් පෙනෙන ෆුජි කන්දයි.

ඒ එක් අවස්ථාවක මම ලිව්වේ,

ෆුජි-සන් එක විරාමෙක මා - සිත මතින් සක්මන් කළා
ගිරිහිසට පෙම්බඳින මුත් සිත - කඳු පාමුලයි මා ඉඟි කළා

මට කන්ද පෙනුණි.

නමුත් මම තවමත් සිටියේ එහි පාමුලය.

කන්ද කිසිදා ෆුජි පමණක් නොවීය.

එය මා තවමත් ළඟා වී නොතිබූ අනාගතය විය.

වසර ගණනාවක් තිස්සේ මා තුළ තිබූ අරමුණක්, මගේ සියලු අවධානය සහ කැපවීම යොමු වූ එක් ස්ථානයක් විය.

අවසානයේ, මම එම කන්ද තරණය කළෙමි.

එදා මගේ අතට පැමිණියේ හුදෙක් සහතිකයක් නොවේ.

වසර ගණනාවක් තිස්සේ මා සිතින් දුටු කඳු  මුදුනට පැමිණීමේ හැඟීමයි.


ඒ මොහොතේ මම ලිව්වේ,

රිදී දිය මතට අහසින්
ගලාන ආ තරු එළියක
අහස දෑලවර හිමිකම්
සරි කර ආවා

අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...

ඒ වචන කාව්‍යමය අතිශයෝක්තියක් නොවීය.

ඒ මොහොතේ මට සැබවින්ම දැනුණේ මුළු විශ්වයම මගේ වූවාක් මෙනි.

මම තෝරාගත් කන්ද  මම තරණය කර තිබුණි...

 - - - - - - - -- - - - - - - - --- - - - - - -- - - - -- - -  -  -- - -

නමුත් ජීවිතය නිමා නොවන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනක් නොවන බව මා ඒ වනවිටත් තේරුම් ගෙන තිබුණා...

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මා කිසිදා තවත් එවැනි අරමුණක් වෙත ජීවිතය ඉලක්ක කළේ නැත්තේ ඒ නිසායි...

නමුත්, ඉන් පසුව ද ජීවිතය නතර වූයේ නැහැ....

"මම වැඩ කළෙමි.

ඉගැන්වූයෙමි.

ලිව්වෙමි.

මට වැදගත් වූ දේවල් වෙනුවෙන් තවත් ගැඹුරින් කැපවුණෙමි."

නමුත් තවත් කන්දක් මා ඉදිරියේ නොතිබුණි.

- - - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - 

ඒ වෙනුවට, සුවිසල් කඳු මුදුනක් මතට නැගගත් පසු හමුවන සානුවේ අසිරිය විඳිමින් සැරිසරන ගමනක් ලෙසින් එතැන් පටන් ජීවිතය ගෙවීම මා තෝරා ගත්තෙමි. 

කන්දක් අපට උගන්වන්නේ ඉලක්කයක් වෙනුවෙන් නොනැවතී ගමන් කිරීමටය.

නමුත් සානුවක් අපට උගන්වන්නේ, මුදුනට පැමිණි පසු ජීවිතය විඳීමටය.

එදා සිට මම තවත් කන්දක් සොයමින් නොදුවමි.


නිදහසේ ජීවිතය විඳිමින් සානුව මත නිදහසේ සැරිසරමි. ඒ සානුවේද රසවිඳින්නට තරම් අපූරුත්, සිත්ගන්නාසුලුත් බොහෝ දේ තිබේ. ඉතින්, මම තවමත් එහි නිදහසේ සැරිසරමින් ඒ අසිරිය විඳිමින් සිටිමි.


No comments:

Post a Comment

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

අන්තඃකල්පිත මනසක තෝරාගැනීම - Selection of an Introvert's mind

අන්තඃකල්පිත මනසක් තුළ දකින සියල්ල, සියළු දෙනා වෙත ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. නමුත්, තෝරාගත් සියල්ල වෙනුවෙන් ඉතා ගැඹුරු අවදානයක් ලබාදීමේ හ...