Sunday, October 11, 2026

මංගල මුදුව



මීට සති කිහිපයකට පෙර සිට මට මගේ මංගල මුදුව සොයාගත නොහැකි වී තිබිණ. එය පැළඳගෙන සිටින අතරතුර, නිතර නිතර ගලවා ඇඟිලි අතර කරකවමින් සිටීම මගේ පුරුද්දකි. එනිසා, මම සාමාන්‍යයෙන් එය පැළඳගෙන සිටින්නේ නැත. එදාත් එසේම කොහේ හෝ තැනක තබා අමතක වී ඇතැයි සිතුවා මිස, එය නැති වී ඇතැයි මට සිතුණේ නැත.

නමුත්, මම ගෙදර හැම තැනකම සෙව්වෙමි. එහෙත් මුදුව හමු නොවීය. එය මංගල මුදුව වූ නිසාම මට ඇති වූ දුක සුළුපටු නොවීය. ඒ ගැන මගේ මිතුරන්ටවත් කීමට මට සිතුණේ නැත. ඔවුන්ගෙන් අසන්නට ලැබෙනු ඇතැයි සිතූ දේශනාවලට මුහුණ දීමට මට අවශ්‍ය නොවීය.

ඒ දිනවල ඔහු සිටියේ නිවසින් බැහැරවය. මම ඒ ගැන කීවේ ඔහුට පමණි.

“මට මුදුව හොයාගන්න බැහැ. ඒත් මම හිතන්නේ නැහැ ඒක නැති වෙලා කියලා.”

ඔහු කිසිවක් කීවේ නැත.

මම ගෙදර හැම තැනකම සෙවූ බවත්, තවමත් එය සොයාගත නොහැකි වූ බවත් නැවත දිනක ද කීවෙමි. ඔහු එවිටත් නිහඬව සිටියේය.

එහෙත් ඔහුගේ නිහඬකම මට නොසැලකිල්ලක් ලෙස දැනුණේ නැත. මා කළ අතපසුවීමක් ගැන ඔහු මට දොස් නොකියන බව මම දනිමි. මට මගේ දුක ඔහු ඉදිරියේ විස්තර කර කීමට අවශ්‍ය නොවීය.

සති දෙකක් පමණ නිවසින් බැහැරව සිටි ඔහු ඊයේ පස්වරු දෙක පමණ වන විට නැවත නිවසට පැමිණියේය. සවස හය පමණ වන විට ඔහු මගේ මුදුව සොයාගෙන මා වෙත ගෙනැවිත් දුන්නේය.

මට දැනුණ හැඟීම වචන කළ නොහැකිය.

ඒ කෘතඥතාවය පමණක් නොවේ. ඔහු කවුරුන්ද යන්න තවත් වරක් හදවතටම දැනුණු විට ඇතිවන ගෞරවයත්, ආදරයෙන් පිරුණු විස්මයත්, වචනවලින් කියා නිම කළ නොහැකි හැඟීමත් ඒ තුළ තිබේ.

ඔහු මුදුව සොයන්නට පටන් ගත් බවක් මට කියා තිබුණේ නැත. මා වෙනුවෙන් එය සොයා දෙන බවට පොරොන්දු වී තිබුණේ ද නැත. ඔහු නිවසට පැමිණි පසු නිහඬවම එය සොයා තිබිණි.

එය සොයාගැනීමට නොහැකි වූවා නම්, ඔහු එය සෙවූ බවක් මට කිසිදා දැනගන්නට නොලැබෙන්නට ද ඉඩ තිබිණි.

ඔහු මගේ සිත් වේදනාව හැඳින, මා සිතේ තබාගෙන සිටි දෙයක් වෙනුවෙන්, තමන්ට කළ හැකි දෙය නිහඬවම සිදු කළේය. මගේ දුක ඔහුට බැරෑරුම් ලෙස ගැනීමට, එය වචනවලින් විස්තර කරමින් සිටීමට මට අවශ්‍ය වූයේ නැත.

මම ඔහුව තදින් වැලඳගෙන නැවත නැවතත් ස්තුති කළෙමි. මට එය කොතරම් හදවතට දැනුණේදැයි ඔහුට කීවෙමි. ඔහු සුපුරුදු පරිදි නිහඬව සිටියේය.

ඒ මගේ සැමියාය.

ඔහු නිහඬ මිනිසෙකි. එහෙත් ඔහුගේ නිහඬකම මගේ හදවතට වචන මිලියන ගණනක් කතා කරයි. ඔහු මා කියන දේ අසා සිටියි. මා වෙනුවෙන් කිසිවකුට නොපෙනෙන දේවල් කරයි. ඒවායේ වටිනාකම මට දැනෙන්නේ ඒවායේ විශාලත්වය නිසා නොව, ඒවා පිටුපස ඇති ඔහුගේ සැලකිල්ල නිසාය.

අවුරුදු ගණනාවකට පෙර ඔහු සමඟ මගේ ජීවිතය බෙදාගැනීමට මා ගත් තීරණය ගැන අදත් මට සතුටු විය හැකිය. ඔහු කවුරුන්ද යන්න තව තවත් හඳුනාගන්නා විට, ඒ තීරණයේ වටිනාකම මට තව තවත් දැනෙයි. මගේ තේරීම, ජීවිතයේ ඉතාමත් සාමාන්‍ය මොහොතකදී පවා මට අසීමිත ලෙස ආදරය දැනෙන අවස්ථාවන් ලබාදෙයි.

මගේ මංගල මුදුව නැති වී ඇතැයි සිතූ මොහොතේ ඇති වූ දුක කාලයත් සමඟ පහව යනු ඇත. එහෙත්, ඔහු එය සොයාගෙන මා වෙත ගෙනැවිත් දුන් ඊයේ සවස මගේ මතකයේ රැඳෙනු ඇත. මේ වනවිට තුන්වතාවක් නැවත ද මංගල මුදුව අතට ගෙන බලා ඇති මට, බිරිඳකට මංගල මුදුව කෙතරම් වටින්නේදැයි අවබෝධ වූයේ එය නැතිවූ පසුවය. එතැන් සිට මම වෙනත් බිරින්දෑවරුන්ගේ ඇඟිලිවල පැළඳි මංගල මුදු ද දකින්නට පටන් ගත්තෙමි.

ඇත්තෙන්ම, මා මංගල මුදුව නැති කරගත් බව කිවහැකි මෙලොව වසන එකම මිනිසා ඔහුය. ඔහු මගේ ආදර කතාව නිමැවූ මිනිසාය.

4 comments:

  1. මගේ බිරිඳගේ මංගල මුදුව මීට සති කිහිපයකට පෙර අතුරුදහන් වූයේ අහම්බයකින් නොවේ. ඒ පිටුපස තිබුණේ කාටවත් හිතාගන්න බැරි මගේම රහසිගත සැලසුමක්.

    ඇත්තම කිව්වොත්, මට වෙනත් කාන්තාවක සමඟ ආදර සබඳතාවයක් තියෙනවා. ඇයත් එක්ක නිදහසේ සති ගණන් නිවසෙන් පිටත ඉන්න මට ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි බිරිඳට සැක නොහිතෙන්න නිවසින් පිටවෙලා යන්නේ කොහොමද කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ නිසා තමයි මම මේ සූක්ෂ්ම උපක්‍රමය කල්පනා කරලා සකස් කළේ.

    මම කරන්නේ ඇයට හොරෙන්ම ඇගේ ඇඟිල්ලේ තියෙන මංගල මුදුව සඟවන එකයි. තමන්ගේ පණ වගේ වටිනා මංගල මුදුව නැති වුණාම ඕනෑම බිරිඳක් මානසිකව වැටෙනවා. ඇයත් මුදුව නැති වීමේ වරදකාරී හැඟීමෙන් සහ එය සෙවීමේ වේදනාවෙන් දවස පුරාම හඬමින් පසුවුණා. මුළු නිවසම පෙරළමින් මුදුව සොයන්න ඇය වෙහෙසෙන නිසා, මගේ වෙනස්වීම් ගැන හොයන්න හෝ මම නිවසින් බැහැරව යන්නේ ඇයිද කියා මගෙන් ප්‍රශ්න කරන්න ඇයට කිසිම සිහියක් ඉතිරි වුණේ නැහැ.

    "මට බිස්නස් වැඩ වගයකට සති කිහිපයකට පිට පළාතකට යන්න වෙනවා. ඔයා පරිස්සමෙන් ඉන්න," කියලා මම ඉතාම සාමාන්‍ය විදිහට ඇයට සමුදුන්නා. බිරිඳ මුදුව නැති වුණු දුකෙන් හිටපු නිසා මම යන එක ගැන වැඩිය හිතුවේ නැහැ. මම නිවසින් පිටවෙලා ගිහින්, සති තුනක්ම මගේ අනෙක් පෙම්වතිය සමඟ ඉතාම සතුටින් කාලය ගත කළා. ඒ සති කිහිපය ඇතුළත නිවසේ සිට බිරිඳ මට කතා කරමින් කිහිප වතාවක්ම හැඬුවා. මුදුව තවමත් හමුනොවූ බව පවසමින් ඇය ලතැවුණා. මම දුරකථනයෙන් ඇයව අස්වසමින් මගේ රහසිගත සතුට විඳ ගත්තා.

    සති තුනකට පසු අද උදෑසන මම නැවත නිවසට පැමිණියෙමි. මා එනතුරු මඟ බලා සිටි ඇය, මා දුටු සැනින් දුවවිත් තවමත් මුදුව හමුනොවූ බව පවසමින් දුක් වුණා. මම ඉතා සන්සුන්ව ඇයව බදාගෙන සනසන ගමන් සාලයට කැඳවාගෙන ගියා. මම කලින්ම සැලසුම් කළ විදිහට, මගේ සාක්කුවේ දමාගෙන ආ ඇගේ මංගල මුදුව සාලයේ සෝෆා කොට්ට අස්සෙන් තැබුවා. ඇය වෙනත් දෙසක් බලන තත්පර කිහිපය ඇතුළත මම ඉතාම සූක්ෂ්ම ලෙස එය එතැනින් රඳවන්න වගබලා ගත්තා.

    ඉන්පසු මම ඇගේ මුහුණ දෙස බලා ආදරයෙන් මෙහෙම කිව්වා:
    "ඔයා ඕක හැමතැනම හෙව්වට හරියට හෙව්වේ නැහැනේ මැණික... බලන්නකෝ ඔය සාලේ කෝච් එක අස්සේ වැටිලා තියෙනවද කියලා."

    මගේ වචන ඇසුණු සැනින් ඇය දුව ගොස් සෝෆා කොට්ට අස්සට අත දමා බැලුවා. පුදුමයකට මෙන්, සති කිහිපයක් තිස්සේ ඇය දහස් වරක් සෙවූ රන් මංගල මුදුව එතැන දිලිසෙමින් තිබුණා. ඇය මුදුව අතට ගෙන සතුටු කඳුළු සලද්දී මම සිතින් සිනාසුනෙමි. මගේ මේ සූක්ෂ්ම ක්‍රමය නිසා මගේ පාවාදීම් සහ වැරදි සියල්ල ඉතා ලස්සනට වැසී යනවා. හැමදාමත් ඇගේ දුක නිවන, ප්‍රශ්න විසඳන "උත්තම පුරුෂයා" සහ "ආදරණීය ස්වාමියා" මමයි. මගේ මේ රහසිගත ක්‍රමය ඇය කිසිදාක දැනගන්නේ නැහැ කියලා මට ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. ඒක කියෙව්වම මට පුදුම හිතුණා. ඉස්සරත් මෙහෙම කතාවක අනික් පැත්ත හෝ කතාවේ ඇතුළාන්තය වෙන්න පුළුවන් විදියේ කමෙන්ට් ලියන කෙනෙක් බ්ලොග් අවකාශයේ හිටියා. හැබැයි එයා කතාව අග නමක් ලිව්වා. මට මේක දැක්ක ගමන් ම ඒක මතක් වුණා..
      කමෙන්ට් එකක් විදියට මුළු කතාවක් ම ලිව්වට ස්තුතියි.

      Delete
  2. මට නම් හිතෙන්නේ මංගල මුදුව කියන්නේ විවාහය කියන බැඳීමේ සංකේතයක් කියලයි. ආදරය, විශ්වාසය වගේම තමන් තව කෙනෙකුට බැඳිලා ඉන්නවා කියන එක ලෝකෙට දෙන නිහඬ පණිවිඩයක්නේ. 😄 මේක බටහිර සංස්කෘතියෙන් අපට ආපු සම්ප්‍රදායක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මුදුව කියන්නේ බැඳීමේ සංකේතයක් මිස බැඳීම පවත්වාගෙන යන දේ නෙමෙයිනේ. මුදුවක් නැතුවත් හොඳට පවුල් කන්න පුළුවන්. මුදුවක් දාගෙනත් පවුල් කඩාගන්න පුළුවන්! 😂

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක ඇත්ත. මංගල මුදුවක් නැතුව හොඳට පවුල් කන්න පුළුවන්. ඒත් මංගල මුදුව නැති වුණා කියල හිතුවම හරීයට දුක හිතුණා. මොකද මංගල මුද්දක් ආයේ කවදාවත් ගන්න බැරි නිසා... සමහර දේවල්වලට අපි නොහිතන තරමේ බැඳීමක් හිතේ තියෙනව. ඒක හැම වෙලේම තර්කානුකූල නෑ...
      ඔක්කොටමත් වැඩිය මගේ මංගල මුද්ද නෑ කියල හිතුණම අනෙක් බිරින්ඳන්ගෙ අතේ තියෙන මංගල මුද්ද කැපිල පේන්න ගත්තා.
      මම කොහොමත් සිරිතක් වශයෙන් මංගල මුද්ද දාන්නේ නෑ නිතරම ගලවන පුරුද්ද නිසාම නැති වෙනවට බයේ... ඒත් මේ පාර නම් හිතල ඉන්නෙ ඉඳහිට එහෙම දාන වෙලාවට දාන්නත් වෙන මුද්දක් ගන්නව කියල...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

කුතුහලය පිරුණු සිතක, ප්‍රශ්න

ඕනෑම අයෙකුගෙන් වැඩකට ඇති හෝ නැති ඕනෑම දෙයක් අසමින්, මගේ කුතුහලයෙන් පිරුණු සිත සතුටු කිරීම මා කුඩාකළ සිටම, මා තුළ තිබුණු පුරුද්දක්. කුතුහලය ව...