අනන්යතාවය සඟවමින් ලිවීමට ඇති හැකියාව භාවිතා කරමින්, අසභ්ය වදන් ලියන නිසා මේ දිනවල නිදහසේ කෙනෙකුට අදහස් දැක්වීමට නොහැකි ලෙසින් චේජනාගේ පිටුවේ පාඨක සටහන් කොටස පාලනය කිරීමට සිදුවී තිබේ. වරින් වර එය සිදුවනු අත්දැක තිබීම නිසාම, එවන් හැසිරීම් පිටුපස ඇති මනෝවිද්යාත්මක පැහැදිලි කිරීම් පිළිබඳව සොයා බැලීමට මට සිත් විය.
ඒ ගැන සොයන විට හමුවූ තොරතුරු ද චේජනාගේ පිටුවේම ලිවීමට මට සිත්වේ.
අනන්යතාවය සඟවා අදහස් දැක්වීමට ඉඩ ලබා දීම මගින් සත්ය තොරතුරු ලබා ගැනීමට ද, කෙනෙකුට බියෙන් තොරව සිය ගැටළු හෝ අදහස් එළිදැක්වීමට ඉඩ දීම ද සිදු කළ හැක. විශේෂයෙන්ම තමා කළයුතු දේ නොව, සැබවින්ම කරන දෙය දැනගැනීමට අවශ්ය අවස්ථාවලදී, ඉතාම ප්රයෝජනවත් මෙවලමක් ලෙසින් එය භාවිතා කළ හැකිය.
නමුත්, අනෙක් බොහෝ දේ මෙන්ම, ඒ ප්රයෝජනවත් මෙවලම ද අවභාවිතා වන අයුරු පිළිබඳ ව ද බොහෝ අදහස්, කරුණු මෙන්ම මනෝවිද්යාත්මක විශ්ලේෂණයන් ද අන්තර්ජාලය තුළින්ම සොයාගත හැකිය.
සැබෑ ලෝකය තුළ මිනිසාගේ හැසිරීම පාලනය කිරීම නීතිය මගින් ද සමාජමය පිළිගැනීම මගින් ද යන කාරණා ද්විත්වයෙන් ම පාලනය වේ. නමුත්, අනන්යතාව සඟවන මොහොතේ සිය පුද්ගල වගවීම පිළිබඳ හැඟීම පහත වැටෙන නිසා විෂ සහිත පුද්ගලයෙකු තුළ මානව සහකම්පනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකිය.
සම්පූර්ණයෙන් ම නොදන්නා පුද්ගලයකු තුළ කෝපය හෝ රිදවීම ඇති කිරීම මගින් ඔවුන් බලය හා පාලනය පිළිබඳ විකෘති සතුටක් හෝ වැදගත්කමක් අත්විඳිති. අඳුරු සහගත චරිත ස්වභාව ඇති පුද්ගලයන් මේ සඳහා නැඹුරුවීම වැඩි බව කියවේ.
අන්තර්ජාලය තුළ අනන්යතාවය සඟවිය හැකි විට පමණක් නොව, සැබෑ ලොව තුළ ද අනන්තවත් විෂ සහිත පුද්ගලයන් මට මුණ ගැසී තිබේ. ඉතාම කාරුණික හා හිතවත් බව මතුපිටින් පෙන්වමින් තිරය පිටුපස දී හිරිහැර කරන්නන් ද, තමන් වැදගත් බව පෙන්වීමට අන්යයන් හෙළා දකින්නන් ද ඇතුළු බොහෝ දෙනා අයත් වන්නේ මේ ගණයටය.
එක් අතකින් අන්තර්ජාලය තුළ අනන්යතාව සඟවා අදහසක් එක් කිරීම මගින් වන හානිය සැබෑ ලොව තුළ නිහඬ ආක්රමණශීලීත්වය (Passive aggression) මගින් කරන හානියට සාපේක්ෂව නොසලකා හැරිය හැකිය. මන්ද යත්, සැබෑ ලොව තුළ, විෂ සහිත මිනිස්සු නිහඬ ආක්රමණශීලීත්වය මගින් සිදු කරන හානිය මා සියැසින් දැක ඇති බැවිනි.

No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...