මගේ පාසල් අධ්යාපනයේ කඩඉම් ස්ථානය ශිෂ්යත්ව විභාගය සමත් වීමයි. ශිෂ්යත්ව විභාගය වෙනුවෙන් මට ප්රධාන ගුරුවරිය වුණේ ප්රාථමික ගුරුවරියක වුණ මගේ අම්මායි. ශිෂ්යත්වය සමත් වීමෙන් පසු ජනප්රිය බාලිකා පාසලක දොරටු මා වෙනුවෙන් විවර වුවත්, කුඩා වයසේදීම නිහඬව බලා සිටීමෙන් උවමනාවට වඩා දේවල් අවබෝධ වුණු මට, දෙමාපියන්ගේ සමාජ තත්වය පාසල තුළ ක්රියාකරන ආකාරය, ඔවුන්ගේ මූල්යමය හැකියාව පාසල තුළ ක්රියාකරන ආකාරය ඉතා ඉක්මනින් අවබෝධ වීම මගේ අවාසනාවකි. නමුත්, ජනප්රිය පාසල් ජනප්රියව තබා ගැනීම සඳහා විභාග ප්රථිඵල අත්යාවශ්ය වූයෙන්, අධ්යාපනය අතින් මා ඒතරම් අසාධාරණයකට ලක් නොවිණි. කෙසේ නමුත්, පාසල මට එතරම් ප්රියජනක ස්ථානයක් නොවීය. ඉතා කලාතුරකින් සෑම දරුවෙකුටම එක ලෙස සැලකූ ගුරුවරියන් සිටියත්, බොහෝ විට එය එසේ නොවුණ නිසාවෙනි. එමෙන් ම තරමක් වෙනස් ලෙස සිතන දරුවකු වෙත කාරුණික වීමට පාසල අමතක කළ බැවිනි.
ඉංග්රීසි මාධ්යය වෙත ඉගැන්වුම් මාධ්යය මාරුවීම නිසා ඇති වූ යම් යම් අපහසුතා කිහිපයකට මුහුණ දුන්නත් සරසවිය මට ප්රියජනක ස්ථානයක් විය. ගුරුවරු ලෙස මා දුටු, ගුරුවරු ලෙසින් මගේ ජීවිතයට බොහෝ දෑ එක්කළ ගුරුවරුන් මට මුණ ගැසුණේ සරසවියේදීය. පාසල් කිහිපයක වසර දහතුනක් අධ්යාපනය ලැබුව ද පාසල් ගුරුවරු කිසිවෙක් මගේ සිත තුළ එතැනට ළඟා වී නැත. පාසල් ගුරුවරයෙක් වීම පිළිබඳ මට අත්දැකීමක් නැති බැවින් ද, මට හමුනොවුණ ද කාරුණික හා ආදරණීය ගුරුවරුන් සිටින බැව් දන්නා බැවින් ද, මෙය පාසල් ගුරුවරුන් පිළිබඳ විනිශ්චයක් නොවේ. නමුත් මගේ අත්දැකීමයි.
ගුරුවරු යන වචනයත් සමග මගේ සිත තුළ සිත්තම් වන පළමු රුව මහාචාර්යවරයෙකි. ශ්රී ලාංකීය උසස් අධ්යාපන ක්ෂේත්රය තුළ පිළිගත් නමක් දැරුව ද, අද ද ඔහු හමු වුණ ඕනෑම මොහොතක එදා මෙන්ම ඉතා සැහැල්ලුවෙන් කතා කිරීමේ හැකියාව ඔහු තවමත් රඳවාගෙන සිටියි. ඔහු හා කතා කිරීම කිසිවිට වෙහෙස නොදනවන්නේ ඔහු සිය දැනුම හා අවබෝධය යන දෙකම අවියක් ලෙසින් භාවිත නොකරන බැවිනි. පශ්චාත් උපාධි අධ්යයනය වෙනුවෙන් ඔහු මට ලබාදුන් දායකත්වය කිසිදා අමතක කළ නොහැකි ලෙසින් මසිත ලියවී තිබේ.
ඉන්පසු ද ගුරුවරු යන වචනය සමග මගේ සිත තුළ සිත්තම් වන අනෙක් රූ කිහිපය ද මගේ සරසවි ජීවිතයට අයත්ය. පාසල් ගුරුවරු අතින් මගහැරුණ ද, ගුරුවරයා යන වචනය අර්ථ ගන්වමින් මගේ සිත තුළ ජීවත් වන ඒ මහාචාර්යවරු මගේ ජීවිතය සාර්ථක කරගැනීමෙහි ලා කළ බලපෑම මට නොසලකා හැරිය නොහැකිය. උසස් අධ්යාපනය අමතක කරමින්, එක් විටෙක මා විසින් මටම කරන්නට ගිය විනාශය වැළකුණේ මහාචාර්යවරියක මගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවෙන් පිටත මැදිහත් වීමෙනි.
අද ද මා ඉගෙනගත් සරසවියට යන මොහොතක මා අමතක නොකර මුණගැසෙන මිනිසුන් අතර මහාචාර්යවරු කිහිප දෙනෙක් ද, විද්යාගාර සහායකවරයෙකු ද සිටියි. පශ්චාත් උපාධි පර්යේෂණවල දී සාම්පල ගෙන ඒමට විශ්ව විද්යාලයෙන් බැහැර ව යන විට මා සමග ගිය ඔහු, එවකට එතරම් ජීවිතය ද, පරිසරය ද පිළිබඳ අවබෝධය අඩු තරුණියක වුණු මාව පියෙකු සමව සොයා බැලුවේය. අද, ඒ සරසවියට යන විට ඔහු උපාධිධාරී දියණියකගේ පියෙකු ලෙසින් සිය රැකියා ජීවිතයට සමු දීම අසලටම පැමිණ සිටියි.
අද වනවිට සරසවි කිහිපයක අධ්යාපනය ලබා ද, ඉන් එකක සේවය කර ද ඇති මට, 'මගේ සරසවි' පමා වී පැමිණි වසන්තයක් බඳුය. පමා වී පැමිණිය ද වසන්තය, වසන්තයක් ම බැවින් මසිත තුළ මැසිවිල්ලක් ඇති නොවේ. එදා මෙන්ම අද ද 'මගේ සරසවි' උණුසුම දනවන මතක අවදි කරවමින් ජීවත් කරවන බැවිනි.

No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...