Monday, January 30, 2012

ඇසෙන කතා...(පාසල් දැරියෝ)

බටහිර අහස දිලියෙමින් හිරු සයුරේ ගිලෙන්නට තතනයි. දාවල පුරා කරව් කරමින් ගොදුරු සෙවූ කාක්කන් සමුදුරු පියවර අද්දර කොට්ටම්බා ගස් මත රාත්‍රියට ලගුම් සොයයි. ලහි ලහියේ නිවෙස් බලා ඇදෙන අප මෙන්ම ඔවුන් ද රාත්‍රිය පිළිගැනීමට සැරසෙති. රිය තුළ තෙරපෙන පාසල් දැරියන්, මුහුදු සුළඟ සිපගනිමින් සමුදුර අද්දරින් ඇදෙන රිය කවුළුවෙන් එළියට යොමුවුණ නෙතු, බස් රිය තුලට යොමන්නට බලකරයි. උදෑසන පාසල් නිල ඇඳුමෙන්ම අමතර පන්ති කරා ඇදුනු ඔවුන්ගේ පිළිසඳර සවන් යොමා අසා සිටිය යුතු ස්වරයෙන් හා හඬින් නොව බසයේ සිටින්නන්ට අසා සිටින්නට බලකරන හඬින් නැගී ඒ.

අමතර පන්ති නිමාවේ නිවෙස් බලා ඇදෙන ඔවුහු දිනයේ තොරතුරු සමාලෝචනයට සැරසේ. ගිණුම් හර කිරීම්, බැරකිරීම්,බොල් ණය ලෙජර අතරින්

" මාර අමාරුයි බං මට නං ලකුණු 30 ක් වත් තිබුනොත් ඇති"
"මටත් එහෙමයි බං, පොතක් අතින් අල්ලන්න උනෙ නෑ නෙ, "
"කොහෙද ඉතින් උඹට අකිල දැක්කම ඔක්කොම අමතකයි නෙ.." 
"ඔව් බං මට මොකක් කලත් මතක් වෙනව, "
"මටත් ඉස්සර ඔහොම තිබුන, හැබැයි  දැන් එහෙම නෑ." තවත් දැරියක් ආඩම්බරයෙන් කියයි.
"මට නං ඕනෙ කොහොමහරි ජ'පුරට යන්න... ඊට පස්සෙ කොල්ලෙකුත් හොයාගෙන...................."
ඈ සිනාසේ.

කෙමෙන් ඉදිරියට ඇදී යන පිලිසඳරට අනුව පාසල් විවේක කාලයේදී යමක් ආහාරයට ගත් පසුව තවමත් කිසිවක් නොකෑ ඔවුහු, එකිනෙකා පරයා තමාට මග හැරසිටිය හැකි වේල් ගණන පිළිබඳව උදම් අනති.
මේ සංවාදයේ චරිත දකිනු රිසින් බල කරන නෙතු වරක් ඔවුන් දෙසට හැරුණෙන් මොහොතකට එහි හඬ බාල වුවත් ලද අවසරයෙන් ඇගේ කතාවට ගැලපෙන ඉතා සිහින් සිරුරති දැරියක් දැක ගතිමි. 

"මම අද දිනුකි නංගිට කිව්ව ආයෙ එහෙම ඔය ගවුම ඇඳන් ආවොත් මම වාටිය ලිහනව කියල,"

"බලපන් බං ඇඳන් එන ගවුම්වල හැටි, කහ ගැහිල... වෙන කවුරුවත්ම අඳින්නෙ නෑ එහෙම..."

"අපි ඔක්කොම එකතු වෙලා හදනව නං ඕව හදන්න පුලුවන් බං සමහර කට්ටියන් එක එක්කෙනාගෙ පැත්ත ගන්න එක නෙ වැඩේ..."

"අපි ඉස්කෝලෙ එන්නෙත් දවස් 2 යි 3 යි, එදාටවත් ඒක හරියට කරන්න ඕනෙ..."

කෙමෙන් කෙමෙන් බස් රියෙන් සෙනග බැස යන අතරේ දැරියන් කණ්ඩායම ද එකා දෙන්නා බැගින් අසුන් ගත්තෙන්ද, බසයෙන් බැස ගියෙන්ද ඔවුනගේ සංවාදය මට නෑසෙන එකක් වුවත්... ඒ මසිත බොහෝ සිතිවිලිවලින් පුරවාලන්නට පෙර නම් නොවේ.

Wednesday, December 14, 2011

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ





කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බැඳලනු ලැබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පැතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඇති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා ගිහින්.

"සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විශමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

අහම්බෙන් කණට වැටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත කාලය තුල එක් වරක් ඇසිය යුතුම බවට හිත තුළ ඒ පද පැලපදියම් වුනේ මමත් නොදැනම ද මන්දා...
ඉටුකරගැනීම අපහසු බව තේරුම් ගැනීම වැඩිවත්ම තදින් බදාගනීම වැඩිවීම හිතෙත් හැටි.
ඒ නිසාම මාව හොඳින් දන්න හැම යාලුවෙක්ම මම මේ ගීය අසන්නට පෙරුම් පුරන බව දැනන් උන්නා.
මගේ ආශාව වෙනුවෙන් "රෑ ඉර පාන" වැඩ සටහනින් මේ ගීතය ඉල්ලල දුන්න "සිතඹර" බ්ලොග් අඩවිය ලියන මගේ ආදරණීය සොයුරියටත්, මේ ගීය සොයල එහි ප්‍රචාරය කළ බන්දුල නානායක්කාරවසම් මහත්මයාටත් බොහෝමත්ම පින්.
සුන්දර පූර්විකාවක් ද සමගින් දෙරණ වෙබ් අඩවියේ සබැඳියෙන් ගිහින් මේ ගීය අහන්න පුලුවන්.

http://www.fmderana.lk/index.php?route=programs/reeirapana
Ra Ira Paana 2011-12-11 | Part 04

Saturday, October 29, 2011

පොළවෙන් අහසට...

පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පු‍ටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර සබඳතාව බිඳී යමින් පවතින නිසා දෝ වරින් වර කපා කොටමින් වුව ද කොළය මතම සටහන තබන්නට සිත් දේ. මා හිස ඔසවා බලමි. ඉදිරිපස ජනෙල් වීදුරුව මත මගේම ඡායාවක් පිළිඹිබු වේ.
කාලය විසින් ජීවිත පොතේ තවත් අළුත් පි‍ටුවක් පෙරලා ඇත. බොහෝ හැලහැප්පීම් මැද්දේ දිගු මාවතක් ඔස්සේ ගිය අධ්‍යාපනයේ ගමන තවත් නැවතුම්පළක් සොයා ගොස්ය. එය එහි සුන්දර වූද සාර්ථක වූද නිමාව දු‍ටුවෙන් මා නැවත මව්බිමට ද නිවසට ළඟාවී සිටිමි. ඉපල් මතින් ඇද හැලෙන් හිම වැස්ස නොව පොල් කරටි මතින් ඇද හැලෙන නිම්හිම් නැති මහ වැස්ස දකින සිත සතුටින් ඉපිළේ. ජපානය පසිගිය යුගයක මතක සටහනක් වී මතක පොතේ තවත් පි‍ටුවකට උරුමකම් කියයි. මගේ නෙත්මානයෙන් ඔබ්බේ ලෝකයේ ඇත ඉමක ජපානය තවමත් ජීවමාන බවද තදින් සිත බැඳුනු මිතුදම් කෙරේ ඇති ආශාව හා සබඳතා ද හැර, දමා ආ කිසිවක් කෙරේ ආශාවක් ද මගහැරුණු හෝ දමා ආ කිසිවක් ගැන පසුතැවිල්ලක් ද නොවේ.
උණුසුම් දකුණු ආසියාවේ ජීවන සුසුමක උණුසුම වඩාත් තදින් දැනෙන, ජීවිතය බදා වැළඳ ජීවත් වන මිනිසුන් අතර ජීවත් වෙමි. බස් රථය පුර පැතිරෙන රේඩියෝවක පාලනයෙන් තොර නාදය අපහසුවක් වූව ද ගමන කෙළවර නිවසට ළඟාවන හෙයින් ඒ ඉවසා දරන්නට හුරුව සිටිමි. උණුසුම් සෙනෙහස පිරුණු, තනිකම නොදැනෙන නිවසක විඳින, පොළවෙන් අහසට ඔසවා තැබුවාක් මෙන් දැනෙන, සුවිසල් සතුට හා සැනසුම අත්විඳිමින් සිටිමි. පෙරදා තනිකම අකුරු කරනට ලියූ 'චේජනාගේ පි‍ටුව' වසා දමනු නොරිසියෙන් ඉඳහිටවත් සටහනක් තබන බලාපොරොත්තුවෙන් පණපොවා මේ සටහන නිමවමි.


Thursday, September 1, 2011

බොන්සායි කුරුමිටි ගස්

අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන නිර්මාණයක් බොන්සායි, බොන්සායි ගැන කතා කරද්දි මුලින්ම කියවෙන්න ජපානය වුණත් ඒ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්නෙ චිනයටලු... චීනෙ ඉඳලා ආපු බොන්සායි කලාව ජපානයේ සෙන් බුදුදහමේ ආභාශයත් එක්ක දියුණු වෙලා... වියට්නාමයෙත් බොන්සායි කරපු ගස් හදනව කියල කියවෙනව... දැන් නම් බොන්සායි කලාව ලෝකය පුරාම ව්‍යාප්තවුණු එකක්... ඒත් බොන්සායි නිර්මාණයට යොදාගන්නා උපකරණ වැඩිදියුණු වෙලා විකාශය වෙලා තියෙන්නෙ ජපානෙදි...

බොන්සායි ගස් නිර්මාණය කිරීමේ අරමුණ ඒ ශාකය වඩාත් ළංව තබා ගැනීම සහ දකින්නා පිනවීම, ඒත් බොන්සායි නිර්මාණයක් කරන කෙනෙකුට ඒක තමන්ගෙ මහන්සියෙත් කෞශල්‍යයෙත් තෘප්තිමත් ප්‍රථිපලයක්...

බොහෝදුරට ඕනෑම බහුවාර්ෂික ශාකයක් බොන්සායි කරන්න පුළුවන්... බොන්සායි නිර්මාණයක් සම්පූර්ණ වෙන්නෙ ඒ ශාකය ඉතාම කුඩා පරිමාණයෙන් නිර්මාණය කරන අතරතුරම සම්පූර්ණයෙන් වැඩුණු ශාකයේ ස්වභාවය ගත්තම... එය දකින අයෙකුට ඒ ගස වැඩුණු ගසක් අවප්‍රමාණ කරපු විදියට පේනව නම් නිර්මාණය සාර්ථකයි...

සුදුසු ශාක විශේෂයක කුඩා පැලයක් හෝ අත්තක් තෝරගෙන මේ නිර්මාණය අරඹන්නෙ ඒ ශාකය ඉතාම කුඩා කාලෙදි, හොඳින් අතු බෙදෙන සවිමත් ලී කඳක් හැදෙන ශාක විශේෂයක් හෝ පඳුරු වර්ගයක් මේකට ගන්න පුළුවන්... බඳුනක සිටුවීමෙන් හා මුල් හා අගිස්ස කප්පාදුවෙන් පැලය කුඩාවට වවාගන්නවා...
බොහෝවිට පැතලි තැටියක් වැනි බඳුනක බොන්සායි නිර්මාණයක් කෙරෙනව... අවශ්‍ය පරිදි  දියර පොහොර හා ජලය සැපයීමෙන් පැලය රැකබලාගත යුතු වෙනවා...තද ඉර එළියක්, තද සුළඟක් නැති එළිමහනක තබා, අනවශ්‍ය අතු ඉවත්කරමින්, පැලය හැඩගන්වමින් ඉතා අවදානයෙන් වසර ගණනාවක් තිස්සේ කරන රැකබලාගැනීමක කෙළවර ලස්සන බොන්සායි නිර්මාණයක් ලැබෙනවා... ඉතා ඉවසීමෙන් කරන නිර්මාණයක්...

බොන්සායි නිර්මාණයේ පළපුරුදු වෘත්තිකයන් විසින් පවත්වාගෙන ඕමියා බොන්සායි ගම්මානය පවත්වාගෙන යනව... පුද්ගලික හිමිකරුවන් දස දෙනෙකුගේ ගෙවතුවල බොන්සායි කරනලද ගස් විශාල ලෙස මේ ගම්මානයේදි දැක බලාගත හැකියි...
ඊට අමතරව ටෝක්යෝ ආසන්නයේ තවත් සුප්‍රසිද්ධ විශාරද බොන්සායි කලාකරුවෙක් වෙන කුනිඕ කොබයශි මහත්මයාගෙ ගෙවත්තත් දැක බලාගත හැකියි...පහළ පින්තූරයෙ තියෙන්නෙ ඔහුගේ ගෙවත්තේ බොන්සායි ගස් අතරින් ප්‍රධාන වෙන වසර 800 කට වඩා පැරණි පයින් ගස... බොන්සායි නිර්මාණ අතර අග්‍රගණ්‍ය නිරමාණයක්...


මේ තවත් ප්‍රසිද්ධ බොන්සායි නිර්මාණයක්... වෝල්ටර් පෝල් මහතා විසින් නිර්මිතයි...Japanese Maple ගහක්...


විශේෂ අවස්ථාවලදි අපි මේසයක් මත මල්බඳුනකට ලබාදෙන ස්ථානය බොහෝවිට ජපානයේදී බොන්සායි ගසකට හිමිවනවා... බොන්සායි ප්‍රිය කරන්නන්ට අන්තර්ජාලය හරහා බොන්සායි ශාක නිර්මාණ අලෙවිකරණයත් හොඳින් ව්‍යාප්ත වුණු ව්‍යාපාරයක් මේ වෙනකොට...

Source:
http://www.bonsaiempire.com/
http://www.bonsaishoponline.com/bia/country/japan/omiya.shtml
http://en.wikipedia.org/wiki/Bonsai

Wednesday, August 24, 2011

Saw ASIMO at miraikan - මානව රොබෝවා දුටිමි.

ඉඳහිට රූපවාහිනියේ දකින මානව රොබෝවා "අසිමෝ" ජපානයේ "National museum of emerging science" කෙටියෙන් මිරයිකන් කියල හඳුන්වන කෞතුකාගාරෙදි සැබෑවටම දකින්න පුලුවන්. දවසට දෙවතාවක් අසිමෝ ක්‍රියාකරවල පෙන්නනව ඒ කෞතුකාගාරෙදි...

අසිමෝ සෙන්ටිමීටර් 130 ක් උසයි, කිලෝ 54 ක් බරයි... හෙල්මට් එකකින් මූණ වැහුනම වගේ පෙනුමක් තිබුණත් ඔලුවෙ තියෙන කැමරාවලින් මිනිස්සුන්ගේ සහ අනෙක් ද්‍රව්‍යවල චලන හඳුනාගන්නත්, කටහඬ හා අනෙක් ශබ්ද වෙන්කර හඳුනාගන්නත් අසිමෝට පුලුවන්... මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වන හැකියාව ඇති අසිමෝ කටහඬින් හා හිස සෙලවීමෙන් තමන්ගේ ප්‍රතිචාරය දක්වනව.. කාගෙවත් ඇඟේ නොහැපි ගමන් යන්නත් තමන්ගෙ පරෙස්සමත් බලාගෙන ඇවිදින්නත් දුවන්නත් හැකි විදියට අසිමෝ දියුණු වෙලා...

මිනිස්සුන්ට කරන්න තරමක් අමාරු ආකාරයේ දෑත් චලනයන් වගේම නටන්නත් අසිමෝට හැකියි...ඒ වගේම අපේ අංගචලන හඳුනාගත හැකි නිසා අසිමෝ කටහඬට පමණක් නොවී මිනිස්සුන්ගේ අංගචලනවලට ප්‍රතිචාර දක්වනවා...
ජපන් ගැහැණු ළමයෙක්ගේ හඬින් කතා කරන අසිමෝ මානව රොබෝව මානවයාට බොහෝ සමවන අයුරින් නිර්මාණය වෙලා කෙමෙන් දියුණුවෙන අයුරක් පේන්නේ...

හොන්ඩා සමාගමේ නිර්මාණයක් වෙන අසිමෝට ඒ නම ලැබිලා තියෙන්නෙ, "Advanced Step in Innovative MObility" කියන වචනේ මුලකුරුවලින්... ඒත් මම දැක්ක අසිමෝ කතා කළෙ නම් ජපන් භාෂාව...ජපන් ගෑණුළමයෙක්ගේ කටහඬින්...මිරයිකන්වල පෙන්වන අසිමෝගෙ ක්‍රියාකාරිත්වය සම්බන්ධ සම්පූර්ණ වීඩියෝවෙන් කොටසක් මේ... සියල්ල Youtube හි නැරඹිය හැකියි...

Friday, August 19, 2011

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ...

එළියටවත් යන්න බැරි තරම්ම වැස්ස... හරියට නිරිත දිග මෝසමට අපේ ගෙදර පැත්තට වහිනව වගේ... ඉතිරිල පැතිරිල ගංවතුර ගලල තමයි ඒ වැස්ස ඉවර වෙන්නේ... ගිම්හානය නිමා කරන්න හිතාගෙන වෙන්න ඇති ජපානෙටත් ඒ වගෙම වහිනව අද... ජපන් කාලගුණයෙ තියෙන වෙනස හිටිගමන් වෙනස් වෙන්න පුළුවන්කම. ඊයේ සෙල්සියස් අංශක 37 ඉක්මවල රත්වෙල තිබ්බ ජපානෙ අද සෙල්සියස් අංශක විසිගණන් වෙනකම්ම බහින්න හදන්නෙ. කොහොමත් හවස වෙද්දි 22 ට විතර බහියි...

කම්මැලිකමට ගෙදරට වෙලා ඉඳෙද්දි කරන්න තියෙන එක වැඩක් තමයි සිතියම් පොතින් ලෝකය බලන එක...

---------------

ලෝකෙ දේශගුණ කලාප ගැන රට රටවල්වල දේශගුණේ ගැන පොඩිකාලෙ කොච්චර ඉගැන්නුවත් ඒව ගැන මගේ දැනීමෙ කොච්චර අඩුපාඩු තියෙනවද කියල මම දැනගත්තෙ ජපානෙට ආවම... ලංකාවෙ කාලෙන් කාලෙට වෙනසක් පැහැදිලිව නැති නිසා අනිත් රටවල වෙනස්වීම් ගැනත් මගේ අවධානයක් නැති වෙන්න නැති...ඒත් ඒ වෙනස්කම් මග අරින්න බැරි තරම් තදින් දැනෙද්දි ඒ ගැන මගෙ අවධානෙත් වැඩි වුණා... ඍතු වෙනස්වීම් ගැන පුංචි පුංචි කාරණා වගෙම ලොකුම ලොකු කාරණාත් මට මග ඇරිල තිබුණ...

මම තේරුම් අරන් නොහිටපු ලොකුම කාරණේ තමයි උත්තරාර්ධගෝලයට ගිම්හානය එද්දි දක්ෂිණාර්ධගෝලයට ශිශිරය එනව කියන එක...

උතුරු අර්ධගෝලය වැඩිම ආනතියකින් හිරුට මුහුණලාන දවස හෙවත් සූර්ය නිවෘත්තිය (Solstice) සිද්ද වෙන දවස ගිම්හානයෙ ඇරඹුම විදියට සටහන් වෙනවා...එදා උතුරු අර්ධගෝලයට දිගම දවල් දවස වගෙම දක්ෂිණ අර්ධගෝලයේ කෙටිම දවසත් ශිශිරයේ ඇරඹුමත් සටහන් කරනව...

මේ අවුරුද්දේ ජුනි 22 ජපන් වෙලාවෙන් පාන්දර 02.16 ට ගිම්හාන සූර්‍යනිවෘත්තිය...
ජුනි 21 වෙනිදා උතුරු අර්ධගෝලයේ බොහෝ රටවලට වසරේ දිගම දවස...
ජපානෙට නම් ජුනි 22... පැය 14 යි මිනිත්තු 34 යි තත්පර 39 ක් දිගයි දවසේ දවල් කාලය...
ඒත් සමකය ආසන්න රටවල් වුණු අපට ඒ දවස ඒ තරම්ම දිග වෙලා නෑ, පැය 12 යි මිනිත්තු 31 යි තත්පර 32ක් එදා දවල් කාලය ලංකාවට...
 

වසන්තය හා ශරත් කාලයන් උදාවෙන දවස් විදියට සැලකෙන්නෙ විෂුවය සිදුවෙන දවස්...සමකයත් හිරුත් එකම තලයේ රැඳෙන පෘථිවිය සූර්යයා දෙසට ආනතිය අංශක 0 ක් වෙන්නේ වසරකට දින දෙකක්, ඒ දින දෙක විෂුවය සිදුවෙන දවස් දෙක...

ඉතා පැහැදිලි ඍතු වෙනස්වීමක් සෞම්‍ය කලාපීය රටවලට හිමියි. ඒත් සමකාසන්න අපට එවැන්නක් නෑ... ඒත් මට මගෑරුණු තවත් කාරණාවක් එතනත් තිබුණ...අපට ටිකක් ඉහළින් පිහිටි බංගලාදේශය වගෙ රටවලුත් ඉතා පැහැදිලි ඍතු භේදයක් නැතත් කෙටි ශිශිරයක් අත්විඳින බව...අනිත් අතින් මැදපෙරදිග කියන වචනෙ ඇහැව්වත් ගිනිගෙන දැවෙන බව මතක් වෙන රටවලුත් කෙටි ශිශිරයක් අත් විඳිද්දි බංගලාදේශයට කෙටි ශිශිරයක් තිබීම ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෙවෙයි...

------------------------

සිතියම් පොතින් දැකපු ලෝකය ගැන දේශගුණය වගෙම මගේ කුතුහලය තවමත් අවුස්සන තැනක් දේශසීමා... ඉන්දියා බංගලාදේශ සීමාවෙ ගම්මාන අතරෙ සතිපොළවල් වගෙ දවස්වලට රටවල් දෙක අතරෙ මිනිස්සු යන එන තරම් සමීප සබඳතා තියෙන ගම් තියනවලු... නෑදෑයො වෙන ඔවුන් රටවල් දෙකක හිටියට සතිපොළට ඒ දේශසීමාව විවෘත වෙනවනං, ඒක මට අපූරු අදහසක් වුණා...
ඒ නිසාම දේශසීමාවක් ළඟට ගිහින් ඒක දිහා බලන් ඉන්න මට ආසයි...

දේශසීමා ගැන යාලුවො එක්ක කතාකරන්න ලැබෙන්න කලින් දේශසීමා ගැන මගෙ කුතුහලය මුලින්ම ඇවිස්සුවෙ ස්ටිව් බිකො සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් වටවෙච්ච ලෙසොතො දේශයේ, දේශසීමාව තරණය කරල අප්‍රිකාවෙන් පැනල ගිය හැටි කියවද්දි...

ප්‍රංශ ස්විට්සර්ලන්ත දේශසීමාවෙ කණුවක්...
දේශසීමාවල මම දැක්ක ලස්සන පින්තූර එකතුවක් මෙතන තියනව...

Monday, August 15, 2011

ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න...


සුවඳ දුමින් සුවඳ කවා
ඉටි පහනින් එළිදල්වා
ගඳින් මලින් පිදුම් ලබා
ජීවත්වන දනන් අතර 
තව එක දවසක් රැඳෙන්න
මළවුන් එන දවස අදයි
පාළු සුසානයෙ සරන්න


ජීවත්වුණ අතීතයේ
සිතින් බැඳුනවුන් බලන්න
වැළලී ගිය මතක අතර 
නිසංසලේ සැරිසරන්න
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් වඳින්න
 ජීවත් වෙන දනන් ඇවිත්
පාළු සුසානයෙ සරන්න


අඳුරු රැයේ සුසානයේ නිසසල දිනයක් සසලයි
ජීවත් වෙන දනන් ඇවිත්  පාළු සුසානයෙ සරන්න...

සරසවි වරම

මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි.  යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ ම...