මගේ ජීවන සහකරුගේ මතයට අනුව මගේ මුළු ජීවිතයම සරසවියකි.
යාන්තම් විසිවිය සපුරන විට සරසවියකට ගොඩ වැදී, එතැන් පටන් විසිපස්වසරක් සරසවිවල ම ගතකළ මගේ ජීවිතය සරසවියක් ම වී ඔහුට පෙනීමේ වරදක් ද නැති බව මගේ සිත ද පිළිගනී.
ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ අසිරිමත් සලකුණක් ලෙස බුහුමන් ලබන සරසවි අද ද රටේ සුවිසල් ජනතාවකට සිහිනයක් මිස සැබෑවක් නොවේ. අධ්‍යාපනය මේ සා සුවිසල් තරගයක් ව ඇත්තේ ඒ බුහුමන් ලබන සරසවි වරම වෙනුවෙනි.
මා ලැබූ සරසවි වරම මගේ මුළු ජීවිතයම නව මානයකට රැගෙන යනු මුලින් ම මා අත්විඳ තිබේ. ඉගැන්වීම රැකියාව කරගත්, මා සරසවි වරම් ලබනු දැකීම ජිවිතයේ පරම අරමුණ කරගත් මගේ දෙමව්පියන්ගේ සතුට දැකීමම එදා දැරියක වූ මට ජීවිතයම දිනාගැන්මක් විය.
ඉන්පසු, සරසවි වරම් සිසු ජීවිත ඉතා සාර්ථක ව උඩුයටිකුරු කරනු මම බොහෝ වරක් දැක තිබේ. එක් දරුවෙකු ලබන සරසවි වරම සහෝදර සහෝදරියන් ඇතුළු මුළු පවුලක අනාගතය වෙනස් කරනු ද මා දැක තිබේ. සිය පුතු උපාධිය ලැබ පිටව යනු දැකීමේ සිහිනය කරපින්නාගත් අනන්තවත් පියවරුන් මට මුණගැසී තිබේ. පුතු උපාධිය ලැබ පිටව යන දා ඒ පියවරුන් විඳින සතුට ද මා සියැසින් දැක තිබේ.
එපමණක් ද නොව සරසවියට ඇතුළුවන දරුවන්ගේ ජීවිත කතා මගේ සමස්ත ජීවන දැක්ම වෙනස් කරනු ද මා අත්විඳ තිබේ.
මේ සටහන අද ලියවෙන්නේ ද මසිත සසල කළ එවන් අත්දැකීමක් නිසාවෙනි.
ජීවිතය හමුවේ වූ අනේක බාධක, ගැටළු හමුවේ බොහෝ දිනවල මා හා දොඩමළු වූ ඔහු මට සරසවියේ අවසන් වසරේදී මුණගැසුණ දරුවෙකි. ළමා නිවාසයක හැදුණු වැඩුණු ඔහුගේ උපාධි ප්රදානෝත්සවය ට මව්පියන් වෙනුවෙන් සහභාගී වූයේ එහි හැදී වැඩෙන දරුවන් කිහිප දෙනෙක් ද සමගින් පැමිණි එහි බාරකරු යි.
නමුත්, ඊයේ සැන්දෑවේ ඔහු අත කුඩා දියණියක සිටින සේයාරුවක් ඔහු මට එවා තිබේ.
ඒ සේයාරුව මසිත සසල කරමින් ඔහුට පවුලක් ලැබුණ බව මට සිහිපත් කර දෙයි. ඔහුගේ ජීවිතය එතැනට ගෙනයන්නට ඔහු ලැබූ සරසවි වරම හේතු වූ හැටි විස්තර සහිතව ලියන්නට සිතක් මට නැතත්, ඔහු අත සිටින දියණියට මවක ද පියකු ද සිටින බව ද ඔහුට පවුලක් ලැබුණ බව ද මසිත සංවේදී කරවයි.
ඉගැන්වීම රැකියාවක් වශයෙන් කළ මගේ අම්මා ද තාත්තා ද ළඟ අනෙක් දරුවන් රැඳෙනු දකින විට දැනුන ඊර්ෂ්‍යාව නිසාම ඉගැන්වීම රැකියාවක් ලෙස කිසිදා තෝරා නොගන්නා බව සිතූ මා ද, සරසවි අධ්‍යාපනය ලැබූ පසු ඉගැන්වීම ම රැකියාවක් ලෙස තෝරා ගැනීම දෛවය මට කළ කුරිරුම සරදමයි. සරසවියක් තුළ රැකියාව කිරීම ද ඉතාම වෙහෙසකාරී අත්දැකීමක් වුවත්, ඉඳහිට දකින මෙවන් දසුනක්, ඉගැන්වීම රැකියාව වෙනුවෙන් තෝරා ගැනීමෙන් ලැබිය හැකි සුවිසෙස් සතුට නැවත ද සිහිගන්වයි.

ළමා නිවාසෙක කෙනෙක් සහකරු විදියට සොයා ගත්තු එම නෝනාට අපගේ ප්‍රණාමය
ReplyDeleteළමා නිවාසයක හැදිලා වැඩිලා, ඒ පසුබිමෙන්ම සරසවි වරම් ලබාගෙන ඉහළට ඉගෙන ගන්න පුළුවන් වීම ඇත්තටම සතුටු වෙන්න ඕන කාරණයක්. මට සාමාන්‍යයෙන් හිතිලා තියෙන්නේ ළමා නිවාසයක හැදෙන දරුවෙකුට අධ්‍යාපනයට අවශ්‍ය පරිසරය හැමවිටම ලැබෙන්නේ නැහැ කියලයි. හැබැයි ඒක හැම අවස්ථාවකම එහෙමම නොවෙන්නත් පුළුවන්.
ReplyDeleteජීවිතයේ තියෙන අපූරු විරුද්ධාභාසයක් තමයි, තමන් අකමැති දේවල්ම කාලයක් ගියාම තමන්ට කරන්න සිදුවීම. තමන් ප්‍රතික්ෂේප කරපු දේවල්ම වෙනත් තත්ත්වයක් යටතේ තමන්ගේම ක්‍රියාවලියක් බවට පත්වීම.
දේශපාලනය පැත්තෙන් බැලුවත් මේක අපිට හොඳටම දකින්න පුළුවන්. සමහර දේශපාලනඥයන් බලයට එන්නේ ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියන අරමුණෙන්. ජනතාවගේ කැමැත්තෙන්ම බලය ලබාගන්නවා. නමුත් කාලයක් ගියාම බලය රැකගැනීම තමන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙනවා.
එතකොට තමන් බලයට ගෙනා ජනතාවම පාලනය කරන්න, විවේචනය කරන මිනිස්සු මර්දනය කරන්න, තමන්ට එරෙහි හඬවල් නිහඬ කරන්න සිදුවෙන තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.
හ්ම්ම්...
Deleteඉගැන්වීම රැකියාව විදියට තෝරගන්න අන්තිමට මම ම කැමති වුණ එක මගේ ජීවිතේ ඒ විදියට වුණ එකම දේ. ඒත් කවමදාකවත් කිසිම දරුවෙක්ට හිතා මතා රිදවීමක් නම් කරල නෑ...
මල්ලියේ නංගියේ, මට දෙන්න මගේ පුංචි කාලේ
ReplyDelete