Monday, March 21, 2011

අතීතය නැවතත් ජීවමානවනු දකිමින්...

බොහෝ හැලහැප්පීම් මැද ලංකාවට ළඟාවීමට තරම් වාසනාවන්ත වීමි...කිසිවක් කිරීමට සිත එකඟ කර ගත නොහැකි වූ නමුත් තවත් අයෙකුට මසිත තෙරපුන දුක් කරදර කීමෙන් ද කරදරයක් කිරීමටද නොසිතුන නිසා ලියා තැබූ සටහන් දෙකක් මේ...



භූ කම්පනයක සේයාවකුදු අපට නොදැනුන ද, එක්වරම සමුදුර බිහිසුණුව ගොඩබිමට ඇදෙමින් සිදුකළ මහා විනාශයක මතක තවමත් මසිතේ හොඳින්ම සටහන්ව ඇත. වාසනාවකට එදින නිවාඩු දිනක් වූයෙන් පුරුදු පරිදි පෙරදා රැයේම නිවස ද අම්මා ද සොයාගොස් සිටියෙන්, සිදුවීම කෙතරම් බිහිසුණු වුවද ඒ තත්ව යටතේ ජීවත්වීමට අවැසි කිසිදු වගකීමක් දැරීමට එදා මට සිදු නොවිණ.
එහෙත් අද නුහුරු පරිසරයක තනිව, අතීතය වඩාත් බිහිසුණු ලෙස නැවතත් ජීවමානවනු දැකීමට ද ඒ තත්ව යටතේ ජීවත්වීමට ද සිදුව ඇත. සිදුවූ භූමිකම්පාව හා බැඳුනු ද්වීතියික කම්පන තවමත් වරින්වර සිදුවේ. එවන්  භූකම්පන මින්පෙර ද සිදුවනු මා අත්විඳ ඇත. එදා ඒවා මසිත සසල කිරීමට සමත් නොවූවත් අද එසේ නොවේ. එදා මා සිතුවේම ඒවා වැඩිදියුණු නොවනු ඇති බවයි. එහෙත් අද කුඩා සෙලවීමක් පවා ඒවා වැඩිදියුණු වේයයි බියෙන් මසිත සසල කරවයි.
සැමදා භූකම්පන සිදුවන දේශයක ඉපිද හැදී වැඩුණු ජපන් ජාතිකයන් පවා මට වඩා විශාල වෙනසක් නම් නොවේ. ඇතැම්විට භූකම්පනයක බිහිසුණු බව මට වඩා හොඳින් අත්විඳ ඇති නිසාවෙන් විය හැක. තවත් භූකම්පනයක් සිදුවෙයිදෝ යන බියෙන් ඇලලී ගිය ඔවුන් ද අනතුරක සේයාවක් දකින බොහෝවිට අප කරන්නාක් මෙන් ආහාර රැස් කිරීම ට පටන්ගෙන ඇත. කිසිදා නොදුටු පරිදි වෙනදා බොහෝ ක්ෂණික ආහාර වර්ග පිරුණු කඩසාප්පුවල රාක්ක හිස්ව තිබෙනයුරු මා දුටිමි. මට අම්මා ද මගේ රට ද හදිසි අවස්ථා ද සිහිපත් කරවන්නේ ඒවා විසිනි.
අනෙක් අතින් මීට වඩා බොහෝ අවදානම් පෙදෙස්වල මිනිසුන් බොහෝ කරදර විඳිනු ඇත. ගෙවල් දොරවල් කැඩීබිඳී ගොස් කොතනක හෝ තාවකාලිකව පිළියෙළ වූ ස්ථානයක ජීවත්වන්නවුන් කොපමණක් ඇත් ද? මේ දිනවලත් මහා දවාලේත් සෙල්සියස් අංශක 10 ට අඩු සහ රාත්‍රියේ සෙල්සියස් අංශක 1 ට ඉතා ආසන්න වන ජපානයේ විදුලිය ඇනහිටීමෙන් අධික සීතලෙන් විඳින පීඩාව ද විඳීමට ඔවුන්ට සිදුව ඇති.
මිනිසාට වඩා සොබාදම බලවත් බව නැවතත් මතක් කරදෙමින් සිදුවන අනතුරු වැලක් එකිනෙක වාර්තාකරනු රූපාවාහිනියෙන් දිගින් දිගට ම ඇසේ.  වරින්වර නොයෙක් පෙදෙස්වලට තව තවත් කෙරෙන සුනාමි අනතුරු ඇඟවීම් ද, ගෑස් කාන්දුවීම් හේතුවෙන් තැන තැන ඇවිලෙන ගිනි ද, අවදානම් සීමාව ඉක්මවමින් ඉහළ යන විකිරණ මට්ටම ද, එකින් එක ක්‍රියාවිරහිත වන බව කියන න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකවල සිසිලන පද්ධති ද අතුරුදන්වූවන් ද තවත් බොහෝ දේද විසින් බියෙන් ඇලලී ගිය දේශයක වරක් මා දුටු අතීතය නැවත වරක් ජීවමානවනු දකින්නට මට බලකරයි. ලංකාවේ කොහේ හෝ සිටියා නම් මගේ සුපුරුදු ආරක්ෂක පිළිවෙත වූ ගෙදර බලාදිවීම කළ හැකි නමුත් අද ගෙදර යා නොහැකි බැවින් ගෙදර මේ ගැන නොදන්නා තරමටම කරදර අවම වේ.
12-03-2011

විදුලිය කපා හැරීමෙන් අඩපණ වූ දුම්රිය සේවාව ජපානය අවුල් ජාලයක් බවට පත්කර ඇත. විදුලිය ඇණහිටීමක් කිසිදා නොවිඳි වර්තමාන ජපන් ජනතාව බොහෝ සෙයින්ම කලබලව සිටිති. සැතපුම් ගණන් දිග ඉන්ධන පෝලිම් ද,  ආහාර රැස්කිරීම ද බැටරි, ලාම්පු, ඉටිපහන් රැස්කිරීම ද ඇතුළු බොහෝ දේ විසින් අවුල් කරන ලද ජපානයේ සිට සිත එකඟ කරගෙන කිසිවක් කළ නොහැකි නිසාවෙන්ම මට දැනෙන්නේ මෙහි රැඳී සිටීමේ අපහසුවකි.  හෙට දවස පිළිබඳ අවිනිශ්චිතතාව විසින් උපදවන හැඟීම් රැසකින් ඔද්දල් වූ සිත වරින් වර කළඹවන්නේ තවමත් සිදුවෙන ද්වීතියික කම්පන විසිනි. මේ සියරට නොවන බැවින් බොහෝවිට සිදුවන අයුරින් ගෙදර බලායාමේ උවමනාව මසිත දවයි.
14-03-2011





15 comments:

  1. ඔයා ලංකාවට ආ බව දැනගන්නට ලැබීම සතුටට කාරණයක්. ජපනුන් හපනුන්, ඔවුන් නැවතත් ඉහළට නඟියි හිටියාටත් වඩා දක්ෂව. ඒ අයට ඒ වැඩ ටික කරගන්න ඉඩ දීම නොදන්නා විවේචනය හා අනවශ්‍ය ආධාර දෙන්නට යෑම යන දෙකටම වඩා වැදගත්. ඔවුන් සමඟ කම්පනය බෙදාගත් ඔයාගේ අදහස් දැන ගන්න දිගටම එන්නම් කියවන්න.

    ReplyDelete
  2. ජපන්නු ස්වභාවික විපත්තීන්ට මුහුණදීමට හොඳට හුරු පිරිසක්, ඒත් මෙවර ස්චභාවධර්මයා ඉදිරියේ ඔවුන් බොහෝ අසරණ වෙලා. ඔවුන් හැකි ඉක්මනින් ගොඩ ඒවි, හිටියටත් වඩා ශක්තිමත්ව. තියෙන හදිසි තත්වය යම් දුරකට සැකසෙන තුරු ලංකාවට ආපු එක හොඳයි. පුලුවන් විදියට විස්තර ලියන්න අපිටත් දැනගන්න.

    ජපානය අපේ රටට නිතර අතදුන් මිත්‍ර රටක්. ඔවුන්ගේ දුෂ්කර තත්වයකදී පිහිට වෙන්න තරම් ශක්තියක් අපිට නැතත් ඔවුන් වෙනුවෙන් සෙත් පතන්න අපිට පුලුවනි.

    ReplyDelete
  3. ජපන් ජාතිකයන් අළු දූවිලි මතින් නැගී සිටීමට දක්ෂයන්. හැකි ඉක්මනින් ඔවුන් මේ සියල්ල යථා තත්වයට ගෙනේවි. කරදරයකින් තොරව ඔබ යලි පැමිණීම සතුටක්.
    මැණික්

    ReplyDelete
  4. නංගියේ ඔයා ලංකාවට ආව එකට සතුටුයි. ඒ ගැන එච්චර හිතන්න එපා. හැම දේම හොඳින් විසදේවි. හරිම කනගාටුයි නැති වෙච්ච අය ගැනත් වෙච්ච විනාසය ගැනත් හිතන කොට. ජීවිතේ එක් අත්දැකීමක් කියල හිත හදා ගන්න නංගි. තෙරුවන් සරණයි!.

    ReplyDelete
  5. ජපානය හැකි ඉක්මනින් සියල්ල අමතක කර නැගීසිටිවි කියල මමත් හිතනව...
    ඒත් දැන් මගේ ලෝකෙ නම් ජපානය ආපහු හීනයක් වගේ වෙලා...මොන ප්‍රශ්නෙ නිසා ආවත් ඉන්නෙ ගෙදර නිසා හරිම සතුටින්,
    ප්‍රශ්න මැද ජපානෙ ඉන්දෙදි මම ගැන හොයා බැලුව හැමෝටම ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  6. "ජපානය හැකි ඉක්මනින් සියල්ල අමතක කර නැගීසිටිවි කියල මමත් හිතනව... ඒත් දැන් මගේ ලෝකෙ නම් ජපානය ආපහු හීනයක් වගේ වෙලා..."

    ජපානය පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීවි, එය කාළය පිලිබඳව ප්‍රශ්ණයක් විතරයි. පරිහාණියට පත් වූ න්‍යශ්ඨික බලාගාර සම්බන්ධ කටයුතු ඔවුන් දැනටමත් ආරම්භ කරලා. ඔවුන් අත්ගැට ගහගෙන විවේචනයේ යෙදෙන්නන්ට වඩා අත්වැල් බැඳගෙන ඉදිරියට යන පිරිසක්.

    ස්වභාවික විපත්තියක් නිසා උද්ගතවී ඇති තත්වයන් උඩ සිදුවී ඇත්තේ ඔබේ ගමනේ පොඩි විරාමයක් (pause) වැටීම පමණයි. එම විරාමය ඉක්මනට ගෙවී ඔබේ "ගමන" ඉදිරියට පියමන් කරන්න පුලුවන් වේවි.

    "Spring is a piece of coiled wire. Each time it is pressed stores energy, bounce back firmly, regain its shape enables spring stand tall and firm. That’s resilience and motivating factor of my life." Amazing Spring
    http://amazingspring.blogspot.com/

    ReplyDelete
  7. Glad to hear that you are back.

    I hope once things are setteled down, you'll be able to return and continue your studies.

    ReplyDelete
  8. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  9. අක්කා තාම ලංකාවෙද නැත්නම් ආයෙ ගියාද?

    ReplyDelete
  10. දැන් ඔය පැත්තට මොකුත් අවුලක් නෑ නේද අක්කේ. මොකද අලුතෙන් ලිපි මොකුත් නැත්තේ.
    ප‍රිස්සමින් ඉන්න අක්කෙ එහෙනම්.

    ReplyDelete
  11. දැන් මෙහේ සෑහෙන තරමට සාමාන්‍යයි...ඉඳහිට ඇතිවෙන භූමිකම්පා ඇරුණකොට...

    ටිකක් වැඩ වැඩි වෙලා මල්ලි.. ඒකයි මේ දවස්වල බ්ලොග් එකක කමෙන්ට් එකක්වත් දාල නැත්තෙ...

    තැන්ක්ස් ඇවිත් හොයල බලල ගියාට... :)

    ReplyDelete
  12. වැඩබැරිදාසApril 24, 2011 at 12:37 PM

    ඔබතුමිය සුනාමිය වෙලාවෙ ජපානයේද? විකිරණවලින් ඇති ජීවිත අවධානම දැන් පහව ගිහින්ද?

    ReplyDelete
  13. වසන්ත පෙරේරාApril 30, 2011 at 6:10 PM

    ඇයි අපේ රජතුමා, ජපානෙට ඇමරිකානු ඩොලර් මිලියනයක් පරිත්යානග කලේ...කොච්චර වටිනවද ? ඉතින් අපි දවස ගානේ බදු ගෙවපු සල්ලිනෙ ..අපිටත් හරි සතුටුයි.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...