Sunday, August 15, 2010

තවත් එක දවසක...

Running repair එකක් නෙ...ඕනෙ නම් පැය දෙකක් යයි...
මම ගරාජ් එකට යන්න එළියට බැස්සෙ එහෙම හිත හිත...

ඉරිදා දවසක්., කලින් එන බව කියල වෙලාව කතා කරගෙන තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් නෑ...

සුමිත් මම යනකොට හිටිය, බඩු වගයක් ගේන්න කොළඹ යන්න ලැස්ති වෙලා..ඉස්සෙල්ලම හදන්න ගත්තෙ මගෙ කාරෙක...

"මහත්තය, මම පොඩ්ඩක් බඩු වගයක් ගේන්න යන්න කියල, මහත්තයගෙ වැඩේ අජිත් කරල දෙයි.." එහෙම කියල සුමිත් යන්න ගියා...
අජිතුත් හොඳ මෙකැනික් කෙනෙක්...මම පැත්තකින් හිටිය... පැය එක හමාරක් දෙකක් යන්න ඇති... ඊට පස්සෙ කාරෙක හදාගන්න ආව කෙනත් ඇවිත් පැත්තක හිටිය...
වැඩේ ඉවරයි... ටෙස්ට් රන් එකකුත් දාල වාහනේ අරන් ආව එළියට...

මීටර් පන්සීයක් යන්න ඇති ඕනෙ නම්... ගියර් මාරු වෙන්නෙ නෑ... පාරෙ පැත්තක ඉඳපු මනුස්සයෙක් කෑගහල කියනව ගියර් ඔයිල් බේරෙනවලු..

මක් කරන්න ද බැස්ස එළියට...මොකද වෙලා තියෙන්න බලන්න, "ඉස්සරහ ඇක්සල් එක ලූස් වෙලා, CV joint  එක හරියට fix  වෙලා නෑ...

දුවගෙන ගියා ගරාජ් එකට.., ගරාජ් එකේ මිනිස්සු පුදුම වෙලා මම දිහා බලනවා... අනිත් කාරෙක හදන්නත් අරන්... විස්තරේ ඇහුව ඔක්කොමල ඒකත් එතනම නතර කරල දාල ආව...
ආපහු තල්ලු කරගෙන ආව කාරෙක ගරාජ් එකට ම... අර වැඩේ නතර කරල ආපහු මේක හැදුව...මට පස්සෙ ආව මනුස්සය බලන් ඉන්නව, මොනව කරන්නද
පැයක් ගතවුණා...

" ප්‍රශ්නයක් නෑ... දැන් හරි... " මම එන්න ආව..
මෙච්චර වෙලා ඉවසීමෙන් බලන් හිටිය අර මනුස්සය එක්කත් පොඩ්ඩක් හිනා වෙලා...

මොන... කිලෝමීටරයක්  එක හමාරක් එන්න ඇති... ආයෙම... ඉස්සෙල්ල වගෙමයි...

කතා කරා ගරාජ් එක අයිතිකාරයට ...නෝ ආන්ස්වර්...
මොනව කරන්නද..  කාරෙක පාරෙ අයිනෙ තියෙද්දිම ආපහු ගරාජ් එකට... පයින් ම...

දාඩිය දාගෙන පයින්ම ගරාජ් එකට එන මාව දැක්කම  මිනිස්සු පුදුම වෙලා බලනව...

අනේ අර මනුස්සය, කතාව අහගෙන ඉඳල මම දිහා බලල හිනා වුණා.., ඒ මනුස්සයට තේරෙන්න ඇති මේක අද දවසෙම ඇදෙන වැඩක් කියල...පුදුමයි පොඩ්ඩක්වත් තරහ ගත්තෙ නෑ...

ආපහු ගිහින් ගෙනත් වරද හොයල මගෙ කාරෙක හදනව... අර වැඩේ එහෙමම නැවතිලා...

වෙලාව දෙකට ත් කිට්‍ටුයි..
පැය දෙක ක වැඩේට මුළු දවසම ගත වෙලා... අර මනුස්සයගෙ කාරෙකත් හදාගෙන ගෙදර ගිහින් පැය ගානක්, මේක මෙහෙම ඇදිල ගියෙ නැත්නම්...මට ඒ මනුස්සය දිහා බැලුන ඉබේටම...
පුදුම ඉවසීමකින් මේ සිද්දිය බලාගෙන දවසම ගත කරපු මේ මනුස්සය මාත් එක්ක ටිකක් කතා කරන අතරෙ මගෙන් ඇහුවෙ...
"පුතා, අද දවස ම මහන්සි වුණානෙ, මුකුත් කෑවෙත් නෑ නෙ, මම ළඟ බත් එකක් තියෙනව... ටිකක් කමුද .. " කියල....


මට හිතුණ දේවල්...වචන කරන්නෙ කොහොමද...මේ සිද්දියෙ බලාගෙන ඉඳපු ඔහු මම වුණා නම්... මගෙ ළඟ මේ වගෙ ඉවසිල්ලක් තියේවිද...

මගෙ හිත කෑගහල මගෙන් ඇහුවා...
.......................................................................................................

ඒත් කවුද මේ ඔහු... හිතාගන්න පුළුවන් ද.....

මේ ඔහු ....


 සුනිල් එදිරිසිංහයන්...

ගැඹුරු වූත් හැඟීම්බර වූත් කටහඬකින් ගයන ඔහු... සැබෑවටම....
නිර්මාණවලින් සේම සිය හැසිරීමෙනුත් සිත පිනවීම වෙනුවෙන්... ඔහු ගැන මා සිත ඉපදුන අප්‍රමාණ භක්තියෙන් මේ සටහන සටහන් කරනව... සටහනේ අවසානයට සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන, ඒත් ලෝකෙ අනෙක් කෙළවරටත් මගෙ තාත්තගෙ හඬින් ඇහෙන, සුනිල් එදිරිසිංහයන්ගේ මම කැමති ම ගීතයෙ සබැඳිය එකතු කරනව...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...

පසු සටහන:
මේක මගේ ඉස්සෙල්ල පෝස්ට් එක බලපු මගේ යාළුවෙක් කිව් ඇත්ත කතාවක්...
සුනිල් එදිරිසිංහ කියන ගායකය ගැන නෙවෙයි, මනුස්සය ගැන...

සැබෑවට මහ මගදි මේ කලාකරුවන් මට මුණ ගැහිල තියෙනව හරි ම අඩුයි...
දවසක් මැණිකේ අත්තනායක මහත්මිය, කැම්පස් යද්දි පාරෙදි මුණ ගැහුන...ටිකක් දුරදි ම දැක පුරුද්දක් දැනුන නිසා හොඳට බලන් ඉඳල හෙමින් මගෙ යාළුවට කිව්ව " මේ ගෑනු එක්කෙනා මම කොහෙදි හරි දැකල තියෙනව " කියල, හෙමින් කිව්වට ඈට ඇහුණ... ඈ මගෙ දිහා බලල හිනාවෙලා ගියා... ගියාට පස්සෙ මගෙ යාළුව කිව්ව ඒව මෙතන කියන්න බෑ... ඒත් ඈ පදිංචි වෙලා හිටියෙ ඒ ළඟ ම නිසා ඊට පස්සෙත් මම දැක්ක ම ඈ හිනා වෙලා යනව මගෙ දිහා බලල...

27 comments:

  1. අපේ දැන් ඉන්න මෙගා ස්ටාර්ස්ලාගෙ රස්නේ හැටියට මේ වගෙ මිනිස්සු දෙවිවරු වෙන්න ඕනෑ....

    ReplyDelete
  2. එහෙම මනුස්සකම් තියෙන මිනිස්සු හරිම අඩුයි. ප්‍රසිද්ද කලාකරුවන් අතර හුඟක්ම. ඒ අතින් මේ ලිපිය කියවීමත් එක්ක සුනිල් එදිරිසිංහ කියන මනුස්සය ගැන පුදුම ගවුරවයක් ඇති උනේ.

    මම මේ දැන් එතුමගේ " වන්නි වන පෙතේ " ගීතය බ්ලොග් එකේ සටහනක දාල පෝස්ට් කල පමනයි.

    ReplyDelete
  3. සුනිල් එදිරිසිංහ මහත්තය එක්ක මට කීපවිටක් කතාකරන්න අවස්ථා හම්බෙල තියනවා.බොහොම දුර්ලභ ගති ඇති මහත්මයෙක් වගෙයි පෙනුනෙ. මේ සටහනෙන් එය ස්ථිර උනා..

    ReplyDelete
  4. එක දවසක් මමයි මගෙ බිරිදයි කැලණිය පන්සලෙ ඉදන් කිරිබත්ගොඩ පැත්තට යද්දි පාර ගැන තිබ්බ චකිතයක් නිසා දිග කලිසමක් ඇදගෙන තාප්පෙක වල් ගලව ගලවා හිටපු මනුස්සයෙක්ගෙන් පාර ඇහුවා.. කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉතා පැහැදිලිව පාර කිව්වා... ස්ටාර්ට් කරනකොට නේද ඔලුවට ආවෙ යකෝ මේ සුනිල් එදිරිසිංහ මහත්තයා නේද කියලා...

    එච්චරකට සරල සුගම මිනිසෙක්...

    ReplyDelete
  5. මං කිරිබත්ගොඩ වැඩ කරන කාලේ දවසක මෙතුමා ආවා අපේ ශාඛාවට... එතකොට මං හිටියේ මුදල් අංශයේ... මතක විදිහට එතුමා ගිහින් තිබුණේ කෙලින්ම අපේ සහකාර කළමනාකරු ගාවට... එදා ටිකක් සෙනඟ වැඩි දවසක්! බැංකුව වහන්න ඔන්න මෙන්න කියල තිබ්බත් ඒ වනවිටත් මුදල් අංශයෙ සිට විහිදුණු දිගු පෝළිම් වල අඩුවක් තිබුණේ නැහැ. එතුමට හදිසියකට මුදල් ගන්න අවශ්‍ය වෙලා තිබුණා. මුදල් ආපසු ගැනීමේ පත්‍රිකාවක් පුරවලා පාස්පොතත් සමඟ අපේ සහකාර කළමනාකරුට දීල තිබුණා. අපේ එක්කෙනා ගත් කටටම කියල තියෙනවා පෝළිමට යන්න කියල... මං ඒ බව දැනගත්තේ එදා හවස... එතුමා බොහොම ඉවසීමෙන් ඉඳල අර පෝළිම් ඉවර වුණාම කවුන්ටරෙන් මුදල් අරගෙන යන්න ගියා...
    එතුමා යන්න කලින් කාටද කියල තිබුණා බැංකුවකදි කවමදාවත් එතුමට එහෙම දෙයක් වෙලා නෑ කියල...
    මට එදා අපේ අය ගැන ඇති වුණේ පුදුම කලකිරීමක් ! මේ වගේ මනුස්සයෙකුටවත් පුංචි උදව්වක් කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද ?

    ReplyDelete
  6. මටත් මෙතුමත් එක්ක කතා බහ කරන්න වාසනාව තිබුනා. ගීත වල තියෙන භාවාත්මක බව වගේමයි කතා බහත්. ඒ වගෙම විනෝද වෙන වෙලාවල් වලට පුදුම රස සාගරයක් . . . !

    ReplyDelete
  7. සැබැ කලාකරුවෝ කියන්නේ මේ අයටනේ.මල් තියලා වැන්දත් පාඩු නෑ.අර කීවත් වගේ දැන් තැනින් තැන වැටෙන ස්ටාර්ස්ලා මෙතුමන්ලා අහලකින්වත් තියන්න බෑ.

    ReplyDelete
  8. මගේ ප්‍රියතම ගායකයා...කට හඩේ පාලනය උපරිමව තියෙන අපිට සිටින ගායකය කිව්වොත් නිවැරදියි... මෙවැනි තැන්පත් පුද්ගලයෙක් ගෙන් එවැන්නක් දක්නට ලැබීම පුදුමයක් නොවෙයි.... එතුමාට නිදුක් නිරෝගි සුව පතනවා අපිට චිරාත් කාලයක් රසවින්දනය ගෙන ඒම සඳහා....

    ReplyDelete
  9. Shadow/හේමලයා
    මම කවදාවත් මෙගා ස්ටාර්ස් දැකල නම් නෑ.. ඒත් ඒ තරු හරි රස්නෙයි කියල කියනව අහල තියෙනව... ඒත් ඉතින් මේ දෙවිවරු වගෙ මිනිස්සුන්ගෙ ගී වේදිකාව ක ගයල විතරක් තියෙන රස්නෙ නෙ...

    ReplyDelete
  10. පිස්සා පලාමල්ල
    "එහෙම මනුස්සකම් තියෙන මිනිස්සු හරිම අඩුයි. ප්‍රසිද්ද කලාකරුවන් අතර හුඟක්ම."

    ඒ නිසා ම තමයි මේක ලිව්වෙ, මේ ගායකය තුළ ඉන්න මනුස්සය ගැන හිත ට දැනුන ගෞරවය නිසා...

    ReplyDelete
  11. වැම්පයර්

    මට කවදාවත් කතා කරන්න නම් ලැබිල නෑ.. ඒත් කැම්පස් එකේ ප්‍රසංගෙකට ආව වෙලාවක හැබැහින් දැකල නම් තියෙනව...

    ReplyDelete
  12. අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    ඔයත් මම වගේ කෙනෙක් ද කොහෙද... මට ත් ඔහොම කෙනෙක් ව දැක්ක ම මතක වෙන්න දැකල පුරුදුයි කියල විතරයි.. ආයෙ මට ඒ කවුද කොහෙදිද දැකල තියෙන්නෙ කියල මතක් වෙනකොට ඉතින් වැඩක් නෑ..

    ReplyDelete
  13. sansarasidu

    අපේ මිනිස්සු ඔහොම තමා මල්ලි, සල්ලිවලට විතරයි සලකන්න පුරුදු වෙලා ඉන්නෙ...

    ReplyDelete
  14. දුමී

    ඔයා ගොඩක් වාසනාවන්තයි අය්යෙ... මේ වගෙ පුද්ගලයෙක් එක්ක කතා බහ කර කර ඉන්න ලැබුන කියන්නෙ..

    ReplyDelete
  15. බොහෝම අගනා සටහනක්,, මගේත් ප්‍රියතම ගායකයා,, මම දන්න විදිහටත් එතුමා හොඳ මනුස්සයෙක් !!!

    ReplyDelete
  16. ෴ හසියා ෴
    මේ වගෙ මිනිස්සුන්ට නම් මල් තියල වඳින්න පුළුවන් හිතේ කිසිම කහටක් නැතිව.., හරියට අම්මට තාත්තට වඳිනව වගෙ...

    ReplyDelete
  17. Ishara
    "එතුමාට නිදුක් නිරෝගි සුව පතනවා අපිට චිරාත් කාලයක් රසවින්දනය ගෙන ඒම සඳහා..."

    ඔයාගෙ ප්‍රාර්තනාව ට මම ත් එකතු වෙනව ...

    ReplyDelete
  18. හරී

    මේක මගේ ඉස්සෙල්ල පෝස්ට් එක නිසා මට අහන්න ලැබුන අගනා කතාවක්...ඔහු ගැන ඉපදුන භක්තිය නිසා මෙතන සටහන් කරන්න හිතුව.

    ReplyDelete
  19. වෙනදට වගේ ඇවිත් බලල විතරක් නෙමෙයි කමෙන්ටුවකුත් නොදා යන්න හිතුනෙ නැහැ අද.. ප්‍රියතම ගායකයෙක් ගැන කියල තියෙන කොට කියවල විතරක් යන්නෙ කොහොමෙයි...

    ඉස්සර තිබුන මෙතුමාගේ වෙබ් අඩවියක්.දැන් නම් ඒක නැහැ වගේ..

    කළේ පැන් ඇත නැවුම් රහ නැත
    මොකද මන්දා ළිඳට වුයේ
    පුළුස්සා ගත් රොටිය කර විය
    මොකද මන්දා ලිපට වූයේ
    හදා ගත් ලුණු මිරිස රහ නැත
    මොකද මන්දා දිවට වූයේ

    ස්තූතියි නගේ මේ ලිපියට

    ReplyDelete
  20. මනුස්සයෙක් ගැන සටහනක් !
    ඔබේ විස්‍තරේ කියවද්දි හිතුනේ ඇත්තටම මේ ඔබේ අත්දැකීමක් කියල..
    අප්‍රමාණ සුන්දර හඬක් ඇති ගා‍යකයෙක් පමණක් නොව සුන්දර මිනිසෙක් ලෙස නැවත ඔහු දෙස බැලිය හැකියි..
    ස්තුතී ඔබට.

    -ජය

    ReplyDelete
  21. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් "නිහතමානී සරල මනුස්සයෙක් ගැන සටහනක්" මේ රචනය ගොඩාක් තාත්වික විදියට ලියලා තියෙනවා. මෙහි අන්තර්ගතය ගැන කියන්න වචන නැහැ. මෙ උතුම් පුද්ගලයා ගැන ඔහු හා කිහිපවිටක්ම කතාබහ කර ඇති කෙනෙක් මීට අවුරුදු 7කට විතර උඩදී කී කතාවක් එතුමාගේ නිහතමානීකම ගැන අප්‍රමාණ ප්‍රතිරූපයක් මා තුල ගොඩනගා තිබුණා. එය තවත් ස්ථාවර වුනා.

    ඒ ඉහල කලාකරුවා ගේ ගීත අපේ ජීවිතවලට මොනතරම් නම් සමීප ද? නිමන්ති සොයුරිය ඔබේ පෙර පොස්ට් එකට සටහනක් තබමින් පැතූ සේම තවතවත් හරවත් ගීත අප අතරට ගෙනෙමින් "හරවත් ගීත නියඟය" හමාර කරන්නට මෙ සුවිසල් නිහතමානී පුද්ගලයානන් නිදුක් නිරෝගීව දීර්ගායුෂ පතන්නෙමි.

    බොහෝ අගේ ඇති සටහනක් නංගී, සුබ පැතුම්!

    ReplyDelete
  22. wath
    සුනිල් එදිරිසිංහයන් ගෙ වෙබ් සයිට් එක දැන් වැඩ කරන්න නෑ වගෙ තමා අක්කෙ, නොලිය ගියාට, ඔයා එන බව මම දන්නව,

    ReplyDelete
  23. යෝගි, හුඟ දවසකින් ඔයා

    ReplyDelete
  24. මේක ඇහුවම මටත් ඔහු ගැන දැනුනෙ අපමණ භක්තියක්...
    "මෙ සුවිසල් නිහතමානී පුද්ගලයානන් නිදුක් නිරෝගීව දීර්ගායුෂ පතන්නෙමි." අපි එහෙම ප්‍රාර්තනා කරමු.

    ReplyDelete
  25. එච්චර ඉවසීමක් නෑත්නම් අච්චර සුන්දර සින්දු කොහොමද කියවෙන්නෙ?

    ප්‍රිය කරන චරිතයක් ගෑන ලියල තියෙන නිසා කුරුටු ගාල යන්න හිතුන

    ReplyDelete
  26. මේන් කථාව "මම කවදාවත් මෙගා ස්ටාර්ස් දැකල නම් නෑ.. ඒත් ඒ තරු හරි රස්නෙයි කියල කියනව අහල තියෙනව... ඒත් ඉතින් මේ දෙවිවරු වගෙ මිනිස්සුන්ගෙ ගී වේදිකාවක ගයල විතරක් තියෙන රස්නෙ නෙ.." හෙහ් හෙහ් එල...

    ReplyDelete
  27. Finally my experience appeared in your blog. I am really happy to read all the comments on Sunil Edirishinghe..such a down to earth person and a wonderful singer..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...