Monday, May 21, 2012

සිමියොන් දවීදොව් හා ලෝරා ඉන්ගල්ස් සමගින් ගතවුණ නිවාඩු කාලය

හිම මිදිච්ච සීත කාලෙ මැද හරියෙ දවසක දවීදොව් හිම යානෙක නැගිල ගම්මානයට එමින් හිටියෙ...දවීදොව් හිටියෙ සන්තෝසෙන්... සමූහ ගොවිපොලක් හදන හීනෙ දවීදොව්ගෙ හිත පුරාම තිබුනෙ... තමන්ගෙ අරමුණ වෙනුවෙන් දවීදොව් කැපවුණා... මකාර්, අන්ද්‍රෙයි, යාකව්, ශිචුකාර් සීයා ඇතුළුව ගම්මානෙ නොයෙක් තරාතිරමෙ නොයෙක් අදහස් දරපු මුරණ්ඩු මිනිස්සු, යටහත් පහත් මිනිස්සු, දුප්පත් මිනිස්සු මේ ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්න දවීදොව් හැබෑවටම මහන්සි වුණා... දවීදොව් අස්සය පිටේ යද්දි වගෙම දවීදොව් කුඹුරු හාද්දිත් මම සතුටින් දවීදොව් දිහා බලාන උන්නා... දවීදොව් වාර්යට ආදරේ කරද්දි මගේ ඇස් සතුටින් දිලිසුනා... වාර්යා කෘශිකර්ම නිලධාරිනියක් වෙලා ඇවිත් දවීදොව් එක්ක විවාහ වෙනව දකින්න, සමූහ ගොවිපොළ දියුණු වෙලා දවීදොව්ට අකමැති වෙලා හිටපු මිනිස්සුත් දවීදොව්ට කැමති වෙනව දකින්න මට ඕනෙ වුණා...
ඒත් හීනෙ හැබෑ කර නොගෙනම දවීදොව් යන්න ගියා... වාර්යව තනිකරල... යන්නම යන්න ගියා... සීය දවීදොව් මිහිදන් කළ තැන තනියෙන් බලාගෙන උන්නා...

---------------

ඊට පස්සෙ ආවෙ ලෝරා... ලෝරා අම්මයි අප්පච්චියි මේරියි විතරක් නෙවෙයි, ඒ ගොල්ලොන්ගෙ බල්ල ජැක් එක්ක අස්ස කරත්තෙක ආවෙ... බටහිරට යන්න... ලෝරාගෙ තැනිතලාවෙ කුඩා නිවසෙ වගෙම, ඩි ස්මෙට් නගරයේ නිවසෙත් මම ලෝර එක්ක ජීවත් වුණා... රතු ඉන්දියානුවො ලෝරගෙ කුඩා නිවසට එද්දි, ලෝරලාගෙ ඉරිඟු පාන් ඔක්කොම බලහත්කාරෙන් වගෙ කාල යද්දි මාත් පැත්තකින් උන්න... ජැක් ඒ ගොල්ලොන්ට ගොරවද්දි සතුටු හිතුනත්, ලෝරට වගෙම මටත් කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ...
සීතලෙන් සීත වුණු සීත සමයෙ හිම කුණාටුවෙ මැද්දෙ සීතලෙන් ගැහි ගැහි මම තැනිතලාවෙ ඉඳන් ලෝරගෙ ගෙදර දිහා බලන් හිටියා... ලෝරා අකමැත්තෙන් අකුරු ඉගෙනගනිද්දි, ලෝරා ටීච කෙනෙක් වෙලා යද්දි ලෝර එක්ක ගියත්, මිහිරැති වසන්ත සමයෙ ලෝරා විවාහ වෙලා යද්දි මම නැවතුණා...

----------------

අවලස්සන ඇමරිකානුවගෙ ලස්සන හදවත, මාව පුදුම කළා... සර්කානුවෙක් එක්ක තමන් නිෂ්පාදනය කළ යන්ත්‍රයෙ ලාබය වංචාවක් නැතිවම බෙදා ගනිද්දි මට සතුටු හිතුන... හැබෑවටම අනිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන සැබෑ මිනිස්සු වගෙම, දූෂණය වංචාව ජීවන මාර්ගය  කරගත්තු මිනිස්සු ලෝකෙ හැම රටේමත්, හැම මොහොතකමත් ජීවත් වෙනව දැක්ක...

-----------------

ඇයි ධනුෂ්කගෙයි දේවින්දිගෙයි ජීවිතේට එබිල බල බල සූරියතැන්න වලව්වෙ ගතකළ දවස් ටික... ඒකත්  මගෙ නිවාඩුවෙ දවස්ම තමයි... අන්තිමට දන්නෙම නැතිව මේ ගොල්ලොත් එක්ක මම මුළු නිවාඩු කාලෙම ගත කරල තිබුණ... ඔන්න ඔහොම මුළු නිවාඩුවම ඉවර වුණා...

Thursday, May 10, 2012

විභාග ශාලාව...



බොහෝම ඈත අතීතෙ දවසක පුංචි එකී මුලින්ම  ලොකූ විභාග ශාලාවකට ගිය දවසෙ ... දුරින් දුරින් ඩෙස් තියල හදපු විභාග ශාලාව බොහොම ගාම්භීර විදියට පුංචි එකී දිහා බලාගෙන හිටියෙ...

වතුර බෝතලේකුයි, පැන්සල් පෙට්ටියකුයි ඈ ළඟ තිබුණ...පුංචි එකී පැන්සල් පෙට්ටිය පපුවට තුරුල් කරගෙන හිටියෙ... ඒක ඈ ළඟ තිබුන ලොකුම වස්තුවක්... විභාගෙ නිසා ඒක එළියට අරගෙන අතේ තියාගෙන හිටියට වෙන වෙලාවට ඒක තියෙන්නෙ බෑග් එකේ... මේක පියන අරින්න පුළුවන් ප්ලාස්ටික් පෙට්ටියක්... මිකී මවුස් පින්තූරයක් පෙට්ටි පියනෙ ඇඳල තිබුන... ඒත් මේ විභාගෙ තිබුනෙ අගෝස්තු නිසා ඒ වෙනකොට පෙට්ටි පියනෙ තිබුන මිකී මවුස්ගෙ පින්තූරෙ තැනින් තැන මැකිල...පෙට්ටිය ලස්සන වෙන්න පෙට්ටියෙ අඩියට රතු පාට ඊයං කොළයක් එළල තිබුණ... ඒක වෙඩින් කේක් කෑල්ලක් ඔතල තිබිල හම්බුන එකක්... ඒත් ඒකෙන් පෙට්ටියට බොහොම ලස්සන පෙනුමක් ලැබුන... පුංචි එකීට හිතුනෙ එහෙමයි...

පෙට්ටිය ඇතුලෙ පෑන් පැන්සල් මිටියක්, ඉරේසර් එකක් විතරක් නෙවෙයි කටර් එකකුත් තිබුණ...ලොකු ලොකු විභාග තියෙනවට පුංචි එකී කොහොමත් කැමතියි...පුංචි එකී හිතන විදියට ලොකු විභාග තියෙන එකේ වාසි ගොඩයි... එකක් ඇති තරං පැන්සල් පෑන් ලැබෙනව... අනික විභාග ශාලාවට යන්නෙ තාත්ත එක්ක නිසා විභාගෙ ඉවර වෙලා එනකොට සීනි බනිස් කාල ෆැන්ට බොන්න ලැබෙනව...

කොහොමින් කොහොම හරි වෙලාව ගතවුනා... විභාග ශාලාව ඇරුණ... විභාග අංකෙ අම්ම කොළ කෑල්ලක ලියල පෙට්ටියෙ දාල දීලයි තිබුණෙ... ඒක බලාගෙන ගිහින් ඉඳගත්ත...

තමන් ළඟ තියන කොළ කෑලි ඔක්කොම අයින් කරන්න කියල ටීච කියද්දි තමන් ළඟ එහෙම ඒව තියෙද කියල බලන්න පුංචි එකී පෙට්ටිය පුරාම ආයෙම අවුස්සල බැලුව... ඊට පස්සෙ සුදූම සුදුපාට කොළේක ලොකූ  ප්‍රශ්න පත්තරයක් බෙදාගෙන ගියපු ටීච විභාගෙ පටන් ගත්ත....

----------------------

කාලෙ ගත වෙලා ගියා... ආයෙම එහෙම ලොකු විභාගෙකට යන දවස් එද්දි...පැන්සල් පෙට්ටිය මාරු වෙලා තිබුණ...ඒක පුංචි එකී හීන මැවුව වගෙම තැඹිළි පාට ලස්සන, කාන්දමකින් වැහෙන පෙට්ටියක්...

----------------------

ඊළඟ පාර ලොකු විභාගයක් එද්දි ගෙනිච්ච පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියලවත් පුංචි එකීට මතක නෑ... ඒ වෙනකොට ඈ ලොකු වෙලා... පැන්සල් පෙට්ටි ගැන හීන දකිනවට වඩා... ඒ ලොකූ විභාගෙ මුළු අනාගතයම තීරණය කරන බව තේරිලා... ඈ එදා දැක්ක එකම හීනෙ සරසවිය...සරසවි සුබ සිහිනෙ බලාපොරොත්තුවෙන් හිත මුළුමනින්ම පිරිල තිබිච්ච දවසෙ පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියල පුංචි එකී කොහොම මතක තියාගන්න ද?

-----------------------

සැබෑ වුණ සරසවි හීනෙ විභාගවලට නිමාවක් ගෙනාවෙ නෑ...පුංචි එකී තවත් ලොකු ලොකු විභාග ගොඩ...කට ලිව්වා...

-----------------------

ඒ දවස් අවසානෙදි තවත් දවසක් ආවා... එදා විභාග ශාලාවට ප්‍රශ්න පත්තර අරගෙන ගියේ, ඉස්සර දවසක පැන්සල් පෙට්ටියකුයි වතුර බෝතලෙයි ගෙනිච්ච පුංචි එකීමයි...

ළමයි පිරුණ විභාග ශාලාව ඉස්සරහට ගිහින්...
" If you have any unauthorized material ..." කියද්දි මහා බලාපොරොත්තුවලින් පිරුණ ඇස් ගොඩාරියක් ඈ දිහාවට යොමු වෙලා තිබුණ...
 
ඈ ඒ ඇස්වල බලාපොරොත්තු කියවගන්න කලියෙන් ප්‍රශ්න පත්තර බෙදුණ... හිතේ පිරිච්ච බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඒ ඇසුත් එදා වගෙම ප්‍රශ්න පත්තර අතරෙ රැඳුනා... පුංචි එකී පැය තුනකට අතීත මතක අතරෙ තනිවුණා...

-----------------------

Monday, April 2, 2012

කොන්දොස්තර කොළුවා...


කොන්දොස්තර කොළුවා...

ඔහුට කොන්දොස්තර කොළුවා කිව්වෙ අමනාපෙකට එහෙම නෙවෙයි -- අමනාපයක් තිබුණ තමයි, ඒත් ඒකට කොන්දොස්තර කොළුව කියල තේරුමක් නෑ -- කොන්දොස්තර මහත්තය කියල කියන්න බැරි නිසත් නෙවෙයි -- කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව -- මම ඔහුට කොන්දොස්තර මහත්තය කිව්වම, හිතේ ඇ‍ඳෙන රූපය ගැලපෙන්නෙ නෑ...

ඒ නිසා මට ඔහුට කියන්න වෙන්නෙ කොන්දොස්තර කොළුවම තමයි... බස් එකේ දවස ගෙවන්නම හරියන, පෙනුමෙන්ම කිලිටි පාට ටී ෂර්ට් එකක් ඇඳල පාට පාට ප්ලාස්ටික් වළළු ගොඩක් අතේ දාල... අතේ ඇඟිලි කීපෙකම මුදුත් කීපයක් දාල ...

බස් එක පුරා පතුරුවන ආඥාදායක කටහඬකින් බස් ගාස්තු එකතු කරනව ඔහු...
සල්ලි අරගන්නවත් එක්කම
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" ආයෙම අර ආඥාදායක කටහඬ...
ඒක නැත්නං අපේ ඉතිරි සල්ලි දෙන්න ඔහු ලෑස්ති නෑ...

"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කිය කිය පස්සට එනව අනිත් අයගෙත් සල්ලි ගන්න...
ඒක ඉල්ලන වොයිස් එක මට කලින්ම ඇල්ලුවෙ නෑ...මම ළඟට එනකොටත් මම හිතින් වලිය පටන් අරන් හිටියෙ,
මාත් දුන්න රුපියල් විස්සක්ම... මෙන්න කියනව රුපියලක් දෙන්නලු...

ඔන්න මගේ හිත ඇතුළෙ වලිය ටිකින් ටික පිටට එන්න හදනව...ඒත් එහෙම ලේසියෙන් රණ්ඩු වෙන්නත් බෑ නෙ,
“හිටපං මම දෙන්නං රුපියල් දෙකක්... හැබැයි මට ආපහු වැඩිපුර රුපියලත් එක්ක ඉතිරි නුදුන්නොත් මම බලාගන්නං...”
මේ ඔක්කොම හිත ඇතුළෙ...

ඔහු ආපහු එද්දි මම දුන්න රුපියල් දෙක, වැඩිපුර රුපියලත් එක්කම ඉතිරි සල්ලි හම්බුනා මට...
හිත ඇතුළෙ කොච්චර වලියක් තිබුනත් ඒක දැන් ඉතින් එළියට දාන්නෙ කොහොමද...

-------------------

කාලෙ ගෙවිල ගියා...
උදේට මම එනකොට ටර්න් එක තියෙන බස් එක ඒක...හැමදාම මට එන්න වෙන්නෙ ඒ බස් එකේ...
මුලින් තරමක ප්‍රතිරෝධයක් තිබුණත් ටිකෙන් ටික රුපියලත් එක්කම සල්ලි දීල ඉතිරි සල්ලි ගන්න මම පුරුදු වුණා...

කාලෙත් එක්කම ඒ ප්‍රතිරෝධය අඩු වෙන්නත් හේතු තිබුණ...බොහොමයක් බස් කොන්දොස්තරවරුන්ට වඩා ඉතිරි සල්ලි දීම අතින් ඔහු අවංකයි...
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කියල අණ දුන්නට...

-------------------

" දෙවිඳුනි කතරගම, ඉහළින් ආකාසේ
පායන සඳට අවමන් කළ රන්වන් රුව ඈගේ
දුටුවම සසල වුණි හදවත පෙර හැන්දෑවේ
දැකගන්නයි දෙවොලට තව සැරයක් ආවේ "

මම බස් එකට නගිනකොටත් මහ හඬින් වාදනය වෙනව...

සෙනග හොඳටම වැඩි දවසක්... ඒ අස්සෙ කොහෙ හරි යන රස්තියාදුකාරයෙක්ව සෙට් වෙලා මට...ටිකක් දුර එද්දි සීට් එකක් හම්බුනත් කරුමෙ කියන්නෙ තවත් ඩිංගක් දුර යද්දි එතනම ඊළඟ සීට් එකත් හිස්වුණා... මම වීදුරුව පැත්තෙ අයිනට උනා... ඔන්න මගෙ ළඟින් වාඩි වෙච්ච මේ මනුස්සය මගෙන් එකේක ප්‍රශ්න අහන්න අරන්... නෑහුනා වගේ හිටියත් මේ කරදරේ දරාගන්න අමාරුයි... මට ඉබේටම බැලුනෙ කොන්දොස්තර කොළුව දිහා... හේතුව මොකක් වුණත් කොන්දොස්තර කොළුව බස් එකේ පිටිපස්සට යන්න ආව... සීට් එක අයිනට හේත්තු වුණා... මම ළඟ හිටිය කරදරකාරය නැගිටල ඉස්සරහට ගියා...

-----------------

අදත්  බස් එකේ හිටගෙනම රුපියල් විස්සක් හොයනව මම...
"වාඩිවුණාම ගම්මු…" ඔහු අර ආඥාදායක කටහඬින් නැතිව බොහොම හෙමින් කියනව...

වචනයක්වත් කතා නොකරම රුපියල් විස්ස...
ගමනාන්තෙ මතක තියාගෙන ඔහු සල්ලි ගන්නව... මං, ළඟ තියන මාරුකාසිවලින් ‍තෝරල ඔහුට දීල ඉතිරි සල්ලිත් ගන්නව, ඒ වුණාට අර ඉස්සර හිතේ තිබුන වලිය නැතිව...

-------------------

එක වචනයක්වත් කතා නොකළත්, කිසිම හැඳිනීමක්, සම්බන්ධයක් නැති වුණත් මගෙ හිතේ චමත්කාරයක් ඇතිකළා ඔහු...

“ඒත් චමත්කාරය කියන එක දූවිලි අවුස්සගෙන, සින්දුවකුත් දාගෙන, දුම් වළාවකුත් පිටකරගෙන, තරගෙට දුවන, එහෙම නැත්නං කොට කොට යන ප්‍රයිවෙට් බස් එකක් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ”

“පමාවෙලා හෝ අයදිමි සමා
සිතැඟි සිතුම්වල මුලා වෙලා
ඔබෙ ඇදුරිඳු වී පෙම් බැඳි වරදට
ලතැවෙන සිතින් මෙසේ...”

ඒ බස් අජිත්...

ප්‍රශ්නෙට උත්තර හොයන එක පැත්තක තියල මගෙ හිත සින්දුව අහන්න සෙට් වෙනව...

අදත් ගමනාන්තෙට ඇවිත්...
ඒත් ගමන ඉවර නෑ, හෙටත් මේ බස් එකේම මේ ගමනාන්තෙටම යන්න වෙනව...

---------------------

Monday, March 26, 2012

සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්...

හුරුනැති රටක නෙක විසිතුරු මැද උන්නත්
සංවේදනා නොදැනෙන දන නෙත ගැ‍ටුණත්
කඳුළෙන් සිනාවෙන් විසිතුරු සිත තාමත්
සිතක සිතුම් කවිකර ලීවලු මෙහෙමත්

සොඳුරුම මිතුදම් ගිලිහී යද්දී නාඳුනනා නිල් අහස යටින්
කඳුළට සතුටට එක ලෙස ළංවෙන මිතුදම් අරගෙන ඔබ ඇවිදින්
සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්
සකුරා මල් මත සොඳුරු වසන්තය ආයෙම නාවත් කිමද ඉතින්

 වසන්ත ශිශිරය ගිම්හානය වී කාලය අපි පහුකරන් ගිහින්
සිතුම් අකුරු වී ලියවුණු ලියවිලි මතක අතීතයෙ ලැගුම් අරන්
ඉසිඹු වෙලාවක අතීතයේ පිටු අතරින් මතක අරන්
මේ කවි ලීවේ ඒ මිතුදමටයි ඉඳහිට තාමත් රණ්ඩු කළත්


Tuesday, March 20, 2012

තවත් අළුත් දවසක...

එදා උපරිම නිදහසක් ද ඒ හා සබැඳුනු තනිකම ද හා විවේකය ද විසින් සතියකට වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් සටහනක් තබන්නට ද, දිනපතා බ්ලොග් කියවන්නට ද අවකාශය ලබා දුන්න ද...

අද වගකීම් ද නොතනිය ද ඒ ආශාව ද නිදහස ද උදුරාගත්තත් හැකි හැම විටම බ්ලොග් සටහන් කියවන්නටවත් උත්සාහයක් දරමි. එක්තරා දඩයක්කාරයාගේ කතාවත්, සයිබර්යාය ලියන්නට බැරි වුණ හේතුවත්, හිත තියෙන තැනත් ඇතුලුව සටහන් කිහිපයක් උදෑසනම  කියවීමි...

ජීවිතය කතාවක් ව ලියවෙන්නේ ඒ හා සබැඳි එදිනෙදා කටයුතු ද අත්දැකීම් සමුදාය ද සමගින් බව ඊයේ වඩාත් හොඳින් වටහා ගතිමි... සිසුවියක් ලෙස එදා මා දුටු ආචාර්යවරුන් අද සාර්ථක ගමනක අවසානයේ මා දකිද්දී විඳින සතුට දිටිමි...

අතීතයේ දිනෙක ඉතාමත් නුහුරු නුපුරුදු හැඟීමෙන් ද බියෙන් සැකයෙන් ද සරසවියක පහස ජීවිතයේ මුල්ම වරට වින්දෙමි. එදා සරසවියක සෙවණ ලද මා නැවත ද ජීවත් කරවන තවත් දරු පරපුරක් සරසවි සෙවණ සොයයි. ඉගෙනීමට වඩා උගැන්වීම අපහසු බව ද, ප්‍රශ්න ඇති කරගැනීමට වඩා දරුවන් ඇති කරගන්නා ප්‍රශ්න විසඳීමට ඉවසීම අවැසි බව ද, විශ්වාස කරනවාට වඩා විශ්වාසය දිනාගැනීම අපහසු බව ද ඕ දිනෙන් දින මට අවබෝධ කරවයි.

කාලය, ශ්‍රමය හා කැපවීම පමණක් නොව  ආදරය, කරුණාව හා දයාව ද අයදින තුන්වන සරසවියේ නැංගුරම් ලූ ජීවන නෞකාවේ සතුටින් රැඳෙමි....

සටහන වෙනදාටත් වඩා කෙටි හා පෞද්ගලිකව මා සිතට දැනෙන සතුට පමණක් කැටි කරන නමුත්,
මින් නිමවමි...

Thursday, February 23, 2012

තරඟ රටා සමීකරණයක රන්දා (Wave breaking)




ඉමක් සොයා නොපෙනෙන නිල් සයුර මතින්
ස්වර්ණ රටා ගෙත්තම් කළ නිල් අහසින්
ක්ෂිතිජ ඉමේ මිලාන හිරු දකින රිසින්
වෙරළ කොණේ පියමං කළ පියසටහන්

මදනළ සයුරේ ගෙත්තම් කළ තරඟ රටා
පිය සටහන් වැලි මතුයෙන් මකා දමා
සමීකරණ අමතක මතකයක දමා
රළ මතුයේ රඟයි මගේ සිතම ළමා

වැල්ලෙන් තැනු මාලිගාව සෝදා හැර වෙරළින්
ඔච්චමට සිනාසේ පෙණ කැටි බිඳෙන්ට කලියෙන්
රළ බිඳුම මකාලයි වෙරළේ ඇඳි පියසටහන්
ඒ රළ බිඳුමට වර්ගීකරණයක් ඇයි ඉතින්

දිග කඩදහියක තරඟ රටා ඇඳ
මුහුදු සීමාව සලකුණු කර ඇත
නොගැඹුරු වෙරලේ සීමාවද  ඇඳ
රළ බිඳි වේගය ගණනය කර ඇත

රළ බිඳුණේ සයුර ගැඹුරු මදි හින්දා
පෙණ නැගුණේ රළ බිඳුමේ රැඳි හින්දා
තරඟ රටා සමීකරණයක රන්දා
අවකලනය රැළි මාලාවක් බින්දා

තරඟ රටාවෝ ගෙන ආ ශක්තිය
සමීකරණයක් විසඳන්නට විය
පැය ඉවරයි දේශනය නිමාවිය
රැළි මාලාවෝ වෙරළේ තනිවිය

Tuesday, February 14, 2012

මගතොට දී...

අප අවට ගැවසෙන්නන් කතා කරන දේ වටහා ගන්නට හැකිනම් ලෝකය කතා තෝතැන්නක් බව අද මට එදාටත් වඩා හොඳින් වැටහේ... ඒ අතරම වසර ගණනාවක් තිස්සේ ගම් රටවල්වල කෙමෙන් සිදුවූ වෙනස්කම් ද එකවර ග්‍රහණය කිරීම හේතුවෙන් විශාල පරිවර්තනයන් ලෙස සමහර සිදුවීම් මා තුළට ඇතුළු වේ. මා අසන දකින දේ මසිත බොහෝ සිතුවිලි ගොනු කරන්නේ එබැවිනි...


එදා මා දුටු පාසල් වෑන් රථවල ස්ථානය අද වනවිට විශාල බස්වලින්ද, කෙටිදුර පාසල් සිසුන් ප්‍රවාහනය ත්‍රීවීලර්වලින්ද අයත් කරගෙන ඇත... උදෑසන මා දකින එක ත්‍රීවීලරයක් පාසල් දරුවන් දස දෙනෙකුගේ පමණ ප්‍රවාහනය සලස්වයි... පිටුපස අසුනේ තුන් හතර දෙනෙක් හිඳුවා තවත් තුන් හතර දෙනෙක් සිටුවාගෙන ත්‍රීවිලරයේ රියදුරු අසුන අසල කොක්කක ඔවුනගේ බෑග් රඳවා, තවත් දරුවකු උකුල මත ද හිඳුවා ඔහු සිය රථය ධාවනය කරයි...වැඩි ආරක්ෂාව පතා ත්‍රීවිලරයක යවනු වෙනුවට දරුවා පොදු බස් රියක යැවේ නම් මීට වඩා ඔහු සුරක්ෂිත බව මට සිතේ...

සාමාන්‍ය පෙළ විභාග පවැත්වෙන අතරතුර ඊටත් වඩා අවදානම් දසුන් ද දක්නට ලැබිණ. ආරක්ෂිත ඉක්මන් ප්‍රවාහනය පතා, පියාගේ මෝටසයිකලය පිටුපස අසුනේ යන අතර ද පොත් පෙරළාගෙන, තවත් යමක් පාඩම් කරගන්නට තැත් දරන දියණියන් ය ඒ...  පියවරු එතරම් නොසැලකිලිමත් වූයේ කවදා දැයි මට ඒ දුටු මොහොතේ සිතට නැගිණ...

-------------------------------------------

ඒ අතරම දිනක් පාමසියේදීද එවන් තවත් සිදුවීමක් අත්වින්දෙමි. හේ මෝටසයිකලයකින් පැමිණි තරුණ පියෙකි.

"කැස්සට බොන සිරප් එකක්.. " හේ පාමසියෙන් ඉල්ලයි...

"කාට ද? "

"පොඩි ළමයෙකුට..."

"වයස කීයද?"

"අවුරුදු 3 යි"

"අවුරුදු 6 ට අඩු ළමයින්ට එහෙම දෙන්න බෑ.. දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න" පාමසිකරු තරමක් තදින් කියනු ඇසේ...

එහෙත් නැවත ද උත්සාහ කරන ඔහු එවර "වැල්මෙලික්ස්" තිබේ  දැයි  අසයි....
ඒ සංවාදයෙන් මගේ කනට වැටුණේ එපමණකි...

එහෙත් මව්පියවරුන් මෙතරම් නොසැලකිලිමත් වූයේ කවදා  දැයි මට නොතේරේ...

නෙතු...

ලියා නුවන'ග පිබිදෙනා හසකැන් කියයි නොකියා සියක් වදනින් කියනු බැරි හැඟුමන් දිගු කතාවක් කෙටි කරයි දෙනුවන් ලියා කඳුලින් අඩකටත් වැඩියෙන්