අවිනිශ්චිතතාව සිය පැවැත්ම තුළ සදාකල් පවතින විචල්‍යක් ලෙසින් පැවතීම ම මානවයා ඇතුළු සියලු සත්වයන්ට ම පොදු වූවක්. අනාගතය දැකීමේ හැකියාව මිනිසාට හිමි වී නැහැ. එමෙන්ම අනාගතය දැක කිව හැකියැයි කියන කිසිදු අනාවැකියක් තර්කානුකූල ව විශ්වාස කිරීමට හැක්කේ ද නැහැ.
මම එසේ සිතන්නේ එකම එක පුද්ගලයෙක්, එකම එක පියවරක් තැබූ සැණින්, වියහැකිව තිබූ අතිමහත් ඉඩ ප්රස්ථා වෙනස් වෙන නිසා. අනෙක් අතින් එකම එක පියවරක් අයෙකු තැබූ පසු, එය නොතැබුවේ නම් සිදුවිය හැකි සිදුවීම් දාමය අපට නැවත කිසිදා දැක ගන්නට ලැබෙන්නේත් නැහැ.
නමුත්, දවසක අවසානයේ දී, දවස පිළිබඳ ව නිදහසේ ආවර්ජනය කරන විට එදා දවස තුළ මා කළ සමහර ක්‍රියා මා නොකළා නම් වියහැකිව තිබූ ප්‍රතිපල කෙතරම් වෙනස් වියහැකි දැයි සිතන දින තිබෙනවා. නමුත්, මා එය නොකළා නම් සිදුවන සිද්ධි දාමය සදහටම නවත්වා දැමූ බැවින් මට කිසිදා ඊට පිළිතුරු ලැබෙන්නේ නැහැ.
යමක් විනාශ වී යාම නවත්වා ගැනීම සඳහා යයි සිතමින් මට කළ හැකි දෙය කරන්නට මම බොහෝ අවස්තාවල පෙළඹී තිබෙනවා. නමුත්, මා මගේ පියවර තැබීම මගින් විය හැකිව තිබූ වඩා හොඳ ඉඩ ප්රස්ථා විනාශ කළේදැයි මට සිතෙන අවස්ථා ද තිබෙනවා. විශේෂයෙන්ම මා මට කළ හැකි දේ කිරීම මගින් කෙනෙක් වෙත පහසු මගක් විවෘත කරදීම මිස, හොඳම මග විවෘත වීම ට ඉඩ නොහැරීම සිදු වේ දැයි මට සැක සිතෙනවා.
නමුත්, සියළු සැක සංකා දුරු කරගැනීමෙන් පසු ක්‍රියා කිරීමේ අවස්ථාව ද කිසිවකුට හිමිවන්නේත් නැහැ. විශේෂයෙන්ම, වෙනත් කෙනෙක් මට අවබෝධ කරගත නොහැකි සිතිවිලි දාමයක් තුළ ගන්නා තීරණ විනිශ්චය කිරීමට මා නොපෙළඹෙන්නේ ඒ නිසායි.
ප්රතිවස්තුමය චින්තනය (Counterfactual thinking) ලෙසින් මනෝ විද්‍යාව තුළ හඳුනා ගන්නා මේ සිතුවිලි දාමය, යම්කිසි සිදුවීමක් ආවර්ජනය කිරීම හා එය සිදුවිය හැකිව තිබූ වෙනස් ආකාර පිළිබඳව අවධානය යොමු කිරීම හරහා අත්දැකීම් මගින් ජීවිතය ඉගෙනීමේ අවස්ථාව අපට ලබා දෙනවා. මේ සිතුවිලි දාමය, එය යොමුවන දිශානතිය අනුව, කණස්සල්ල හෝ සහනය ඇති කරන බව කියවෙනවා.
අනෙක් අතින්, ප්‍රබන්ධ සාහිත්‍යය සම්පූර්ණයෙන්ම ගොඩනැගී තිබෙන්නේ යම් කෙනෙකුගේ සිත තුළ නිර්මාණය වන මෙවන් සිතිවිලි අතරයි.
කෙසේ නමුත්, "එය එසේ වුණි නම්?", මා මගේ සිතින් අසන්නට අකමැතිම ප්‍රශ්නයක්. ඒ අතීතය මට වෙනස් කළ නොහැකි නිසා. නමුත්, මගේ අකීකරු සිත, නිතරම මගෙන් ඒ ප්රශ්නය විමසනවා.

No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...