Saturday, August 1, 2026

සබඳතාවක් තුළ මට අවශ්‍ය සුරක්ෂිතභාවය - Relational security

මානව සබඳතාවක් තුළ සුරක්ෂිතභාවය පිළිබඳව මට ඇති අවශ්‍යතාවය හා මා තුළ ඊට ඇති සංවේදීභාවය අන්තඃකල්පිත මනසක්  හිමිවීමේ ප්‍රථිපලයක් ද නැත් ද යන්න මා ඇත්තෙන්ම දන්නේ නැහැ... නමුත් මානව සබඳතාවක් තුළ සුරක්ෂිතභාවය පිළිබඳව මා තුළ දැඩි අවශ්‍යතාවයක් හා සංවේදීතාවයක් පවතිනවා...

ඉතා කුඩා ක්‍රියාවකින් මා තුළ සුරක්ෂිත බව පිළිබඳ හැඟීම ඇති කළ හැකි අතරම ඉතා කුඩා ක්‍රියාවකින් එය නැති කිරීම ද කළ හැකියි...උත්කර්ෂයට නංවා පෙන්වන විසල් ක්‍රියාවකට වඩා එදිනෙදා ජීවිතයේ සිදුකරන ඉතා කුඩා  ක්‍රියා නැවත නැවත එසේම සිදුවන බවට වන විශ්වාසය මා තුළ මානසික සුරක්ෂිතභාවය තීව්‍ර කරනවා...

උදාහරණයක් වශයෙන් තමා ආදරය හා සැලකිල්ල (Care) දක්වන කෙනෙකුගේ වේදනාවක්, අවශ්‍යතාවයක් වෙනුවෙන් විනාඩි කිහිපයක් සොයා ගැනීම කෙතරම් කාර්යබහුල වුව ද  මේ ලොව කිසිම අයකුට කළ නොහැකි යයි මම විශ්වාස කරන්නේ නැහැ... දිගින් දිගටම කාර්යබහුල නිසා කාලය සොයාගත නොහැකි වන්නේ ඒ පුද්ගලයා තුළ අනෙකා වෙත සැබෑ හැඟීමක් නැති බැවිනැයි මම විශ්වාස කරනවා... ඒ නිසා එවන් පුද්ගලයන් ජීවිතයට එක් කරගත යුතු යැයි මා සිතන්නේ නැහැ...


-----------------------------------------------

ඉන් අදහස් වන්නේ මගේ සහකරු හෝ මගේ මිතුරන් මා වෙතම කැපවී සිටිය යුතු බව නොවෙයි...එය කිසිසේත්ම කළ නොහැකියි...

නිවැරදි මොහොතේ ලබා දෙන මිනිත්තු කිහිපයක්... 

වේදනාවෙන් සිටින මොහොතකට සංවේදී වීමක්...

මගේ හැඟීම් අවතක්සේරු කිරීම හෝ අධිසංවේදී ලෙස බැහැර නොකිරීමක්... මට ලැබිය යුතු බවයි... 

මා සතුටුවන මොහොතකදීට වඩා මා මානසිකව කඩා වැටුණ මොහොතක මා වෙත සිටිය යුතු බවයි...

අනෙක් අතින් මා බලාපොරොත්තු වන ආදරය හා සැලකිල්ල, මා නැවත ඔවුන් වෙත ද එලෙසම ලබාදෙනවා...

එය ද්විපාර්ශවීය සම්බන්ධතාවක්...

එය පුනරාවර්තී ක්‍රියාවලියක්...

---------------------------------------------

උදාහරණයක් ලෙස, මගේ සහකරු මට තනිව සිටීමට ඉඩ දීම ද සැලකිල්ලක් බව තේරුම් ගන්නවා... එය මා පිළිබඳව ප්‍රමාණවත් ලෙස දන්නා නිසා, මගේ තනිව සිටීමේ අවශ්‍යතාවය අපගේ සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව තේරුම් ගැනීමයි... මම ඔහුට ආදරය කරන බව නිරන්තරයෙන් ඔප්පු කිරීමට අවශ්‍ය නොවීමයි... 

එහි ප්‍රතිවිරුද්ධ අතටද එය එසේමයි... ඔහුට නිහඬ ව  නිදහසේ සිටීමට අවශ්‍ය මොහොතක එසේ සිටීමටත්, ඔහුට මා සමග අදහස් හුවමාරු කරගැනීම ට අවශ්‍ය මොහොතක එසේ කිරීමටත් නිදහස මා ලබාදෙනවා...

සමහරවිට මානසික සුරක්ෂිතභාවය පිළිබඳ වැදගත්ම දෙයක් එය විය හැකියි.

----------------------------------------------------

එසේම මට, මිතුරන් අතර වන සෑම දුරකතන ඇමතුමකට ම, සෑම කතාබහකට ම හේතුවක් අවශ්‍ය වන්නේත් නැහැ... නිතර හමුවිය නොහැකි නිසාම දුරකථන ඇමතුම් මතින් නිතොරව එකිනෙකා අමතා, සිත ඇති සියල්ල නිදහසේ පවසන මිතුරු සබඳතා කිහිපයක් ම මගේ ලොව තුළ තිබෙනවා... 

සතියකට වරක් හෝ දෙවරක්, මගේ සරසවි මිතුරිය රැකියාව අවසන් කර නිවස කරා ඇගේ රථය පදවාගෙන යන සැඳෑ කාලයන් මා, ඈ හා අපේ අනිත් මිතුරා අතර සියළු තොරතුරු හුවමාරු වන මොහොතක් බවට පත්වෙනවා...

සති අන්තයේ දිනක රාත්‍රියක, සතිය තුළ සිදුවූ සිත සතුටු වන මෙන් ම, සිත රිදවන සියල්ල හුවමාරු කරගන්නා මිතුරියක ද මට සිටිනවා...

එපමණක් නෙවෙයි... මට සිතෙන ඕනෑම මොහොතක දුරකථන ඇමතුමකින් අමතන මිතුරන් ද මට සිටිනවා....

එයින් අදහස් වන්නේ සෑම ඇමතුමකටම වහාම පිළිතුරු දිය යුතු බව නෙවෙයි.

එයින් අදහස් වන්නේ බලා සිටිය හැකි ඇමතුමක් සහ බලා සිටිය නොහැකි ඇමතුමක් අතර වෙනස හඳුනා ගැනීමයි...

මගහැරුණු ඇමතුමකට නැවත කතා කිරීමයි.

දවස ඉතා කාර්යබහුල වූ විට පසුව කතා කිරීමයි.

සමහරවිට මුළු දවසම වගකීම් අතර ගෙවී ගිය විට, නිවස බලා යන අතරතුර මට කතා කිරීමයි.

ඒ කතාබහ හදිසි නිසා නෙවෙයි...

නිවසට ගිය පසු ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ තවත් කොටසක් ආරම්භ වන බව දන්නා නිසයි...

එවැනි කුඩා ක්‍රියාවන් තුළ ගැඹුරු සහනයක් තියෙනවා... විශේෂයෙන් ම ඉතා අධික ලෙස මානසික පීඩනයක් දරන රැකියාවක් කරන කෙනෙකුට ඉන් ලැබෙන සහනය ඉතා වටිනවා...

---------------------------------------------------------------------

මට ඉතාම  වැදගත් යැයි හැඟෙන තවත් ආකාරයක මානසික සුරක්ෂිතභාවයක් තියෙනවා....

ඒ, යමක් ඉල්ලා සිටීමට ඇති සුරක්ෂිතභාවයයි...මා ශක්තිමත් නැති බව, මානසික පීඩනය දැනෙන බව... පැවසීමේ සුරක්ෂිතභාවයයි...


"මට මහන්සියි."

"මිනිත්තු කිහිපයක් මාත් එක්ක ඉන්න."

"මාත් එක්ක කතා කරන්න."

ඇතැම් විට එතනින් ඉතා ස්වල්පයක් වැඩිදුරට යමින්, " මේ අවස්ථාවේ මා ප්‍රමාණයට වඩා ඔබේ අවදානය ඉල්ලන බව මා දන්නවා, නමුත් මට එය ලබාදෙන්න" එහෙම නැත්නම්, "මට වදයක් වෙන්න ඉඩ දෙන්න"  - ඒ ඉල්ලීම ඉල්ලිය හැකි මිතුරු මිතුරියන් මට ඉන්නවා...

අනෙක් අතින් මගේ ලොව තුළ, මගේ මිතුරු කවය තුළ, සියලුම ඉල්ලීම් ඉතා ආචාරශීලී නැහැ... මම එවැන්නක් බලාපොරොත්තු වන්නේත් නැහැ... අනෙක් අතින් කෙනෙකුගේ සීමා නොහඳුනන බව ඉන් අදහස් වන්නේත් නැහැ...

------------------------------------------------------------------------

ඉතා විසල් මිතුරු කවයක් ඇතැයි සිතෙන, සබඳතා ජාලයක් ඇති මිනිසුන් මට මුණගැසී තිබෙනවා... එහෙත් යමක් අහිමි වූ විට එහි වේදනාව පවසන්නට ඒ තුළ කිසිවෙකු නැහැ... 
එවන් මානව සබඳතා මා ප්‍රතික්ෂේප කරනවා... සියල්ලන් හඳුනන, සියල්ලන් මිතුරන් ලෙස පෙන්වන නමුත්, කඩා වැටුණ මොහොතක කිසිවෙක් නොමැතිවීම ඉතා දරුණු තනිවීමක් බව මා සිතනවා...

නන්දා මාලිනිය ගයන ගීයක පද කිහිපයක් තුළ, මානව සබඳතා පිළිබඳ ව මා සිත තුළ ඇති හැඟීම් බොහොමයක් ගැබ්වී තිබෙනවා....

ලොවම එපාවී ලොවම කළකිරී තැවී දැවී හිඳිනා මොහොතේ...
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ...

බොහෝ විට ජීවිතය තුළ ඇතිවන ආර්ථික, සාමාජීය ගැටළු, ප්‍රමාණවත් කාලයක් සහ උදව් ලැබුණ විට බුද්ධියෙන් විමසා බලා විසඳා ගත හැකි බව මා සිතනවා... නමුත් ඒ කාලය ලබා ගන්නා අතරතුර මානසික ව නොවැටී සිටීම සඳහා සුරක්ෂිත මානව සබඳතා අවශ්‍ය බවත් මා සිතනවා...

එම නිසා කඩා වැටුණ මොහොතක කෙනෙකු තනි කිරීම මා කරන්නේ නැහැ... එමෙන් ම මට එවැන්නක් සිදු නොවන පරිදි සුරක්ෂිත  මානව සබඳතා තෝරා ගැනීම සහ ගොඩනගා ගැනීම මගේ වගකීමක් ලෙස මා සිතනවා...



Image from:https://www.earlyyears.tv/maslows-hierarchy-of-needs/

4 comments:

  1. ඇත්තටම ලංකාවේ අපි ජීවිත සහකරුවා හෝ සහකාරිය තෝරාගන්නකොට වැඩිපුරම බලන්නේ බාහිර දේවල්. රූපය, අධ්‍යාපනය, රැකියාව, ආදායම, පවුල් පසුබිම, සමාජ තත්ත්වය වගේ දේවල් තමයි මුලින්ම අවධානයට එන්නේ. ඒවා වැදගත් නැහැ කියලා කියන්න බැහැ. එකට ජීවත් වෙන්න ඒවත් ගැළපෙන්න ඕන.

    හැබැයි සතුටින් දිගුකාලීනව එකට ජීවත් වෙන්න නම්, එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීම, ගෞරවය, විවෘත සන්නිවේදනය සහ චිත්තවේගීය ගැළපීම ඊටත් වඩා වැදගත් කියලා මම හිතනවා.

    බොහෝ බටහිර රටවල තරුණයන් කුඩා වයසේ ඉඳන්ම සම්බන්ධතා ඇති කරගෙන, සමහර විට එකට ජීවත් වෙලත්, එකිනෙකා හොඳින් අඳුනාගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔවුන් විවාහය ගැන තීරණයක් ගන්නකොට සාමාන්‍යයෙන් වයස අවුරුදු 30–35 පමණ වෙනවා. ඒ වෙනකොට එකිනෙකාගේ හොඳ නරක, පුරුදු, වටිනාකම් සහ චිත්තවේගීය ගැළපීම ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට ලැබිලා තියෙනවා.

    ඇත්ත, ඒ ක්‍රමය සෑම විටම සාර්ථකයි කියලා කියන්නත් බැහැ. බටහිර රටවලත් දික්කසාද අනුපාත ඉහළයි. නමුත් මම දැකලා තියෙන දෙයක් තමයි, සාර්ථකව එකට ඉන්න ජෝඩු අතර වයස අවුරුදු 70, 80 වුණත් තවමත් එකිනෙකාගේ අත් අල්ලගෙන ඇවිදින, ගෞරවයෙන් සහ ආදරයෙන් ජීවත් වෙන අය ඉන්නවා.

    ලංකාවේ නම් ගොඩක් වෙලාවට අපි කසාද බඳින්නේ අපිට සැබෑවටම ගැළපෙන කෙනාව හොයාගෙන නෙවෙයි. ජීවිතයේ හමුවුණු, පවුලෙන් හෝ වටපිටාවෙන් ගැළපුණු කෙනෙක් එක්කයි. ඒ නිසා විවාහයට කලින් එකිනෙකාගේ හැඟීම්, වටිනාකම් සහ ජීවිත දැක්ම ගැන කතා කරන එකට තව ටිකක් වැඩි අවධානයක් දෙනවා නම්, බොහෝ විට සතුටින් දිගුකාලීනව එකට ජීවත් වෙන පවුල් තවත් වැඩි වෙයි කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව කියාගෙන යද්දි එක වෙලාවක මගේ ජීවන සහකරුවා තෝරාගත් කතාවත් මම කියන්නම්...

      ඒත් මම දැනට කෙටියෙන් මෙහෙම කියන්නම්...
      "සබඳතාවක් තුළ නිදහස" යන සංකල්පය දන්නා බව දැනුණු මට හමුවුණ පළවෙනි කෙනා මම විවාහ කරගත්තා... හමුවෙලා ඉතා ම කෙටිකලකින්...දැන් 14 වෙනි අවුරුද්දට ඔන්න මෙන්න...

      Delete
  2. //කෙතරම් කාර්යබහුල වුව ද මේ ලොව කිසිම අයකුට කළ නොහැකි යයි මම විශ්වාස කරන්නේ නැහැ// මේවට උත්තරත් මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව ඇතුලෙමයි හොයන්න ඕන.

    මානසික නිරවුල්භාවයත් (Mindfulness), සංජානන ක්‍රියාවලිය ගැන සිහිය (Metacognition)... ඔය කියන සහකම්පනය, අනෙකා තේරුම් ගැනීම වගෙ දේවලට බලපානව. අනුන්, යහළුවන් ගැන තිය පවුලේ සමීපතමයින් ගැන සහ තමන් තමන්ගැනම බලාකියා ගන්නවාද කියන එක... අද කාලෙ ප්‍රශ්නයක්!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි... ඒ දේවල් කරන ඒ වගකීම් දරන මිනිස්සු ඉන්නවා... අපි ඒ අයව හොයාගන්න ඕනේ...ඒක එකක්... අනික කොයි දේත් හැදෙන්නෙ දීම සහ ගැනීම කියන දෙක එකතුවෙලා... ඒ නිසා මම කියන කොයි දේත් මම ලබාගන්නේ ඒ දේවල් දෙන අතරතුරම තමයි... නමුත් දුකක් කරදරයක් වෙලාවට කවුරු හරි ඉන්න එක කොයි තරම් වැදගත් ද කියල දන්න නිසා මම මට ආදරය හා සැලකිල්ල දක්වන සමාජ සබඳතා නඩත්තු කරනවා....

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

අභ්‍යන්තර ප්‍රමිතීන් II - Internal Standards II

මිනිසුන් සම්බන්ධයෙන්ද මේ අභ්‍යන්තර ප්‍රමිතීන් මට බලපානවා. මා වෘත්තීය ජීවිතය පටන් ගනිද්දී... මට යම් අවස්ථාවක කෙනෙකු සිටියා නම් හොඳ යැයි සිතුණ...