Tuesday, August 4, 2026

සබඳතාවක් තුළ නිදහස - Freedom in a relationship

මම ඔහුව විවාහ කරගන්නා විට, ජීවිතය බොහෝ සෙයින් අත්විඳ තිබුණා... වසර තුනක් දන්නා සියල්ලන්ගෙන් ඈත් ව දුරු රටක ද ගත කර සිටි මා අවබෝධයෙන් විවාහයකට එළඹෙන යුගයකත්, ආර්ථිකව ස්ථාවර යුගයකත් සිටියා... නමුත් විවාහයක් සමාජ, ආර්ථික තත්වයෙන් සම්පූර්ණ ස්වායත්ත නැහැ... අප දෙදෙනා ම සමාජ, ආර්ථික තත්වයෙන් ගැලපෙන දෙදෙනෙකු වුණා...

මට මාව නඩත්තු කරන්නට ස්වාමි පුරුෂයෙක්ව වත්, ඔහුට ඔහුගේ පෞද්ගලික කටයුතු හා නිවස බලාගැනීමට බිරිඳක් ව වත් වුවමනා වුණේ නැහැ... අපට උවමනා වුණේ අපේ ජීවිත ගමන යාමට සහකරුවන්... අද වන තුරු කිසිදා මම ඔහු මගේ ස්වාමි පුරුෂයා ලෙස දකින්නට අකමැති එනිසා යි... ඔහු මගේ ජීවන සහකරු යි... විවාහයට එළඹීමට පෙරම අප සහකරුවන් ලෙස ජීවන ගමන ගෙනයන බව සාකච්ඡා කර එකඟ වී තිබුණා...



මට සහකරුවකුගෙන් අවශ්‍ය වනුයේ කුමක් ද යන්නත් මා දැන සිටියා.. මට අවශ්‍ය වුයේ මාව ආදරයෙන් පිළිගන්නා සහකරුවෙකු පමණක් නොවෙයි... ඔහු සබඳතාවක් තුළ නිදහසේ ජීවත්වීමට හැකි අයෙකු වීම, සහ මටත් ඒ ලෙසම නිදහසේ ජීවත් වීමට ඉඩ දීම මගේ ජීවන සහකරු වීමේ මූලිකම ගුණාංගය බව මම ඒ වනවිට තේරුම් අරන් තිබුණා...

විවාහයකදී අප කැමති සියල්ල කරන, සම්පූර්ණයෙන් ම ගැලපෙන පුද්ගලයෙකු ලබාගැනීමේ හැකියාවක් නැහැ...මා කැමති සියල්ල කරන තනි පුද්ගලයෙකු මේ ලොව පහළ නොවන නිසා... කළ හැක්කේ මූලික අවශ්‍යතා සපුරන අයෙක් සමග එක්වී ඉතිරිය අවබෝධයෙන් ඉවසීමයි...මගේ මූලික අවශ්‍යතාව වූ “ආදරය තුළ නිදහස” ඔහු හඳුනා සිටි නිසාත්, සබඳතාවක් තුළ දෙදෙනෙකු එක් ව සිටීමේ මූලික අරමුණ ඒ දෙදෙනා සතුටින් සිටීම බවත් අප විශ්වාස කළ නිසා ඉතිරියට අපි හැඩ ගැහුණා...

අද ආපසු හැරී බලන විට මට වැටහෙන්නේ, මට අවශ්‍ය වූ නිදහස ඔහු මට දුන් දෙයකුත් නොවන බවයි... ඔහුත් නිදහස අගය කළ කෙනෙක්... ඔහු තම ජීවිතය පිළිබඳ වගකීම තමන්ටම තිබිය යුතු බව විශ්වාස කළා... ඔහුට ඔහුගේම ඉඩක්, ඔහුගේම තීරණ, ඔහුගේම ජීවිතයක් තිබුණා...එබැවින්, ඔහු මට දුන්නේ ඔහුටම අවශ්‍ය වූ නිදහසයි.

නමුත්, ඔහු මට ඔහු හා එක්ව සිටීමට මෙන්ම, තනිව සිටීම ට ඇති අවශ්‍යතාව හඳුනා ගත්තා... මගේ වෘත්තීය වගකීම් හා අරමුණු මට කොතරම් වැදගත් දැයි වටහා ගත්තා...ඒ විතරක් නෙවෙයි, වෘත්තිය වශයෙන් කාර්යබහුල කාලවල දී නිවසේ වගකීම තනිව දරා ගත්තා... අනෙක් අතින් මා ද ඒ සියල්ල අවශ්‍ය පරිදිම ඔහුටත් ලබා දුන්නා...

විටින් විට නොයෙකුත් හේතු, අවශ්‍යතා නිසා තනිව සිටීම ට සිදුවීම නිසා අප දෙදෙනාම අපේ ජීවිත තුළ අනෙකා කොතරම් වැදගත් ද යන්න ඉගෙන ගත්තා...

 ---------------------------------------------------------------------

මම කිසිදාක ඔහු මගේ ලොව තුළ නොමැති ජීවිතයක් ගැන සිතා නැහැ... ජීවිතය ඉතා අසීරු වූ කාලවලදී පවා දෙදෙනා එක් ව ඒ සියල්ල විසඳා ගැනීම අපේ අරමුණ වුණා...ඒ නිසා...ඔහුගේ ස්ථානය මගේ ජීවිතයේ කිසිදාක සැකයට භාජනය වූ දෙයක් නෙවෙයි...

එලෙසම, ඔහු මගේ ජීවිතයේ තමන්ට හිමි ස්ථානය පිළිබඳව ආරක්ෂිතව සිටියා... කිසිවිටක මා ඔහුගේ ස්ථානය තවත් කෙනෙකුට දෙනු ඇති බවට සැකයක් අප අතර ඇති වී නැහැ...

ඒ නිසාම මට ඉතා ළඟින් මිතුරන් ඇසුරු කිරීමේ අවස්ථාව හිමි වුණා... මිතුරියන් අඩු, මිතුරන් වැඩි මගේ ජීවන රටාව වෙත කිසිදා ඔහුගේ සැකයක් එල්ල නොවීම මට සහනයක් වුණා... සමහරවිට මට මගේ ජීවිතයේ ලැබුණු විශාලතම ආරක්ෂාව එයයි...විශාලතම විශ්වාසය ද එයයි...

අනෙක් අතින් කිසිම පුද්ගලයෙකුට අනෙකෙකුගේ සියළු මානව සබඳතාවල අවශ්‍යතාව පිරවිය හැකි යයි මා සිතන්නේ නැහැ… විශේෂයෙන්ම මගේ රැකියා ස්ථානය සම්බන්ධ ගැටළු බොහොමයක් ඔහුට අවබෝධ වන්නේ ද නැහැ... ඊට හේතුව ඔහු එහි සන්දර්භය දැන නොසිටීමයි... ඒ නිසා ඒවා සාකච්ඡා කිරීම, ඊට විසඳුම් සෙවීම ඔහුගෙන් බලාපොරොත්තු වීම මම කරන්නේ නැහැ...බොහෝ විට එම කරුණු මා සාකච්ඡා කරන්නේ විසඳුම් සොයන්නේ මගේ මිතුරන් සමගයි...

 ------------------------------------------------------------------------

අනෙක් අතින්  අප දෙදෙනා එකිනෙකාට සමාන දෙදෙනෙක් නෙවෙයි... එකිනෙකා ඉවසන දෙදෙනෙක්... ඉතා සරල උදාහරණයක් ලෙස ඔහු කිසිදා වෙරළ රළ මතට පැමිණෙන්නේ නැහැ... මුහුදු ජලයෙන් තෙමුණ දෙපා මත මුහුදු වැලි තැවරීම ඔහුට ඉවසිය නොහැකි ආපදාවක්... නමුත් මා අදටත් මුහුදු රළ මත දිවයාම ජීවිතය ලෙස සලකනවා... ඔහු මා මුහුදු රළ සමග දිව ගොස් මුහුදු වෙරළෙන් බාගයක් සමග පැමිණීම ඉවසනවා... නමුත්, ඒ මුහුදුරළ තම දෙපා මත නොගැටෙන මානයේ සිටයි...

දෙදෙනෙකුගේ වෙනස්කම් ඉවසා ඒවා සමග සාමදාන වීමට අප උගත්තේ ද අප දෙදෙනාගෙන්මයි...

නමුත් එහි තේරුම අප කිසිදා රණ්ඩු නොවුණ, නොගැටුන බව නෙවෙයි... විවාහක යුවලක් අතර ගැටුම් නැතිනම් ඔවුන් අතර බැඳීමකුත් නැති බව මම වරක් කියවා තිබෙනවා...

එහි තේරුම ගැටුම් විසඳා ගැනීමට අපි ඉගෙනගත් බවයි... අනෙක් වැදගත් ම දෙය දින ගණන් ගැටුම් මතක තබා නොගැනීම අප දෙදෙනාගේම පුරුද්දක් බවයි...

-------------------------------------------------------------

මගේ සහකරු මට දුන් විශ්වාසයේ තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා... ජීවිතයේ ප්‍රථම වරට සම්පූර්ණ විශ්වාසය යන සංකල්පය මට තේරුම් කර දුන්නේ ඔහුයි...

මට ඕනෑම දෙයක් සම්පූර්ණයෙන් ම ඔහුට තේරුම් කර පැහැදිලි කළ හැකියි...

මම යම් දෙයක් ගැන ඔහුට පැහැදිලි කළ විට, ඔහු මගේ වචන විකෘති කර වෙනත් අර්ථයක් සොයන්නේ නැහැ...

මම කියන්නේ මම ඇත්තටම කළ දෙය බව ඔහු විශ්වාස කරනවා... එම තීරණය වැරදි වී තිබුණත්, එහි ප්‍රතිඵලය නරක වී තිබුණත්, මම ගත් තීරණය ඔහුට තේරුම් ගත නොහැකි වූවත්, ඔහු මගේ අරමුණ පිළිබඳ සැකයක් ගොඩනගන්නේ නැහැ.

මම කියන දෙය විශ්වාස කිරීමට ඔහුට හැකියි.

මන්ද මට වැරදිය හැකියි.

මට ඉක්මන් තීරණයක් ගත හැකියි.

මට වැරදි ලෙස තේරුම් ගත හැකියි.

මගේ තීරණයක ප්‍රතිඵලය බලාපොරොත්තු වූ ආකාරයට නොවිය හැකියි.

එහෙත්, ඒ කිසිවක් නිසා මගේ අවංකභාවය සැකයට ලක් නොවේ.

"මම හිතුවෙ මෙහෙමයි, මේක කළේ ඒ නිසා" ලෙස කිවහැකියි... එතැන් සිට දෙදෙනා එක්ව ප්‍රශ්නයට පිළිතුර සොයනවා මිස ඔහු කිසිදා එය නොකර ඉන්නට තිබූ බව පවසා මට රිදවන්නේ නැහැ....

ඒ අවස්ථාවේදී, ඔහුට මගේ වචන විශ්වාස කළ හැකියි. මට එය විශාල ආරක්ෂාවක්.

මගේ ජීවිතයේ මට මා පිළිබඳව වඩාත්ම ආරක්ෂිතව දැනීමට උපකාර වූයේ මේ විශ්වාසය විය හැකියි.

මම කුඩා කාලයේ සිටම, මගේ සිතුවිලි වෙනස් නිසා, මගේ අවශ්‍යතා වෙනස් නිසා, මට සිදුවන සමාජීය ප්‍රතික්ෂේප වීම් විඳ දරාගෙන හැදුණු නිසා මට මෙය ඉතා වැදගත්...

මට එය විශාල ආරක්ෂාවක්...

 ---------------------------------------------------------------------

ඒ නිසා මට මගේ ජීවිතය ඔහු සමඟ බෙදා ගැනීමට හැකි වූයේ, මගේ ජීවිතය ඔහුට භාර දීමෙන් මගේ ජීවිතය අහිමි වනු ඇතැයි නොසිතා, මගේ ජීවිතය තවදුරටත් මගේ ම වී පවතිනු ඇතැයි දැනගෙන... ඔහු මා වෙනුවෙන් මට වඩා හොඳ තීරණ ගනු ඇතියි සිතමින්...


6 comments:

  1. මුලින්ම කියන්න ඕනේ, ඔබේ ලිපිය කියවද්දී හිතට දැනුණේ සතුටක්. ඔබ දෙදෙනා "නිදහස" කියන වටිනාකම එක ලෙසම අගය කළ නිසා ඒ සබඳතාව ලස්සන විදිහට ගොඩනැගිලා තියෙනවා කියලා පේනවා. ඒ වගේ ගැළපීමක් ලැබීම ඇත්තටම වාසනාවක්.

    හැබැයි මට මේ ගැන ටිකක් වෙනස් විදිහකට හිතෙනවා.

    මගේ කියවීම අනුව, ඔබ ජීවන සහකරුවා තෝරාගැනීමේදී "නිදහස" කියන ගුණාංගයට ඉතා ඉහළ ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. එය ඔබ දෙදෙනාට හොඳින් ගැළපුණු නිසා, එය ඔබේ සබඳතාවේ ශක්තියක් බවට පත්වෙලා තියෙනවා.

    නමුත් මගේ අත්දැකීමෙන් නම්, ජීවන සහකරුවෙක් තෝරාගැනීම කියන්නේ එකම ගුණාංගයක් මත තීරණය කළ හැකි දෙයක් නෙවෙයි. අපි ජීවිතය ඉදිරියට යද්දී ආදරය, ගෞරවය, අවංකකම, වගකීම, ඉවසීම, සංවේදී බව, සන්නිවේදනය, විශ්වාසය, පවුල් වටිනාකම්, ජීවිත අරමුණු වගේ බොහෝ දේ එකිනෙකට බැඳිලා තියෙනවා. ඒ නිසා එක් ගුණාංගයක් ප්‍රමුඛ කරගන්නකොට, තවත් වැදගත් දේවල් අපේ අවධානයෙන් මඟහැරෙන්නත් පුළුවන්.

    ඒ නිසාම තමයි ඔබගේ කලින් ලිපියටත් මම සඳහන් කළේ, ගැළපෙන ජීවන සහකරුවෙක් හොයාගන්න එක ඉතා අසීරු ක්‍රියාවලියක් කියලා. සමහර වෙලාවට ආදරය කරනවා, එකට ජීවත් වෙනවා, අභියෝගවලට මුහුණ දෙනවා, සමහර විට වෙන්වීම් පවා අත්විඳිනවා. ඒ හැම අත්දැකීමක්ම අපිට අපේම අවශ්‍යතාත්, අනෙක් කෙනාගේ ස්වභාවයත් තේරුම් ගන්න උදව් කරනවා. ඒ නිසා හොඳ ජීවන සහකරුවෙක් සොයාගැනීම බොහෝ විට එක් තීරණයකට වඩා දිගු ඉගෙනීමේ ගමනක්.

    මගේ පෞද්ගලික විශ්වාසය නම්, සබඳතාවක මුල්ම පදනම ආදරය සහ එකිනෙකාට ඇති ගෞරවයයි. ඒ දෙක සැබෑ ලෙස තිබුණොත්, නිදහසත්, විශ්වාසයත්, ඉවසීමත්, සමාව දීමත්, එකිනෙකාට ඉඩ දීමත් බොහෝ විට ස්වභාවිකවම වර්ධනය වෙනවා. නිදහස කියන්නෙත් ඒ ආදරයේ සහ විශ්වාසයේ ප්‍රතිඵලයක් මිස, එයට වෙනම විරුද්ධ දෙයක් නොවෙයි කියලා මට හිතෙනවා.

    ඒත් මේක ඔබේ අත්දැකීම නිවැරදි නැහැ කියන අදහසක් නෙවෙයි. සෑම සබඳතාවක්ම වෙනස්. ඔබ දෙදෙනාට මූලික වූ වටිනාකම නිදහස වෙන්න පුළුවන්. තවත් යුවළකට ඒක විශ්වාසය වෙන්න පුළුවන්. තවත් අයට එය ආදරය හෝ වගකීම වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ, අවසානයේ ඒ සියල්ල සමබරව එකිනෙකා තුළ ගොඩනැගීමයි.

    මේ මගේ පෞද්ගලික දැක්ම පමණයි. ඔබේ අත්දැකීම කියවන්න ලැබීමත්, ඒ ගැන මෙවැනි සංවාදයක් ඇතිවීමත් ඇත්තටම වටිනවා.
    ඇත්තෙන්ම මේක ඔබේ අත්දැකීම සමඟ තර්ක කිරීමක් නෙවෙයි. සෑම සබඳතාවක්ම අනන්‍යයි. ඔබ දෙදෙනාට සාර්ථක වූ මාර්ගය ඔබගේ ජීවිතයට ගැළපුණු එක. මම බෙදාගත්තේ ඒ ගැන මගේ පෞද්ගලික දැක්ම පමණයි.

    ReplyDelete
  2. මම ඔයත් එක්ක සම්පූර්ණයෙන් ම එකඟ වෙනවා...

    මම හිතන විදියට වගකීමෙන් විවාහයකට ඇතුළත් වෙන වයසට ආවට පස්සේ ගොඩක් අයගේ හිතේ අපිට සහකරුවෙකුගෙන් අවශ්‍ය මොනවද කියන එක ගැන අපැහැදිලිව හරි ඇඳුණු අදහසක් තියෙනවා... මගේ හිතේ ඇඳිල තිබුණේ මගේ නිදහස අගයන සහකරුවෙක් කියන එක...

    අනෙක් අතින් නිදහස අගයන දෙදෙනෙක් කොහොමටත් අනෙකාට ආදරය, ගෞරවය හා විශ්වාසය ලබාදෙන්න සූදානම් කියල මම හිතනවා... මොකද තවත් කෙනෙකුගේ නිදහස අගය කරනව කියන එක ඉතා ගැඹුරින් සිතීම අවශ්‍ය කරන ගතිගුණයක් නිසා...

    අනෙක් අතින් ඔයා කියනව වගේම මේ මගේ පෞද්ගලික අත්දැකීම... මීට වඩා ගොඩක් වෙනස් දේවල් බලාපොරොත්තු වෙන, ඒ දේවල් ලබාදෙන්න පුළුවන් සහකරුවන් හොයාගෙන සතුටින් ඉන්න මිනිස්සු ගොඩක් ඇති...

    ReplyDelete
  3. හැම තිස්සෙම දෙදෙනෙක් එකිනෙකාට වෙනස්. ගැළපීම යනු මට අනුව එකිනෙකාගේ රුචි අරුචිකම්වලට ගරුකොට නම්‍යශීලී වීමට හුරුවීමයි.

    ReplyDelete
    Replies
    1. ඒත් ගොඩාක් ම වෙනස් දෙන්නෙකුට ඒක කරන්න අමාරුයි... ඒ නිසා මම හිතන්නේ දෙන්නෙක් විවාහයෙන් බැඳෙනකොට තමන්ට අනෙකාගෙන් අත්‍යවශ්‍යම දේවල් මොනව ද කියල හොඳින් හිතල ඒ දේවල් ගැලපෙනව ද කියල කතාබහ කරල එකතු වෙනව නම් නිදහසේත් සතුටිනුත් ඉන්න පුළුවන් කියලයි මම හිතන්නේ...

      Delete
  4. අජිත් ඩී - ලන්ඩන්August 5, 2026 at 5:22 AM

    තේජාන් මල්ලි කියන දේ හරි. ඒ වගේ කටයුතු කරාම හොදයි.

    ReplyDelete
    Replies
    1. අජිත් ඩී - ලන්ඩන්August 5, 2026 at 12:35 PM

      මල්ලිව හම්බෙන්න ආසයි මට.

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

අභ්‍යන්තර ප්‍රමිතීන් II - Internal Standards II

මිනිසුන් සම්බන්ධයෙන්ද මේ අභ්‍යන්තර ප්‍රමිතීන් මට බලපානවා. මා වෘත්තීය ජීවිතය පටන් ගනිද්දී... මට යම් අවස්ථාවක කෙනෙකු සිටියා නම් හොඳ යැයි සිතුණ...