අද ඉඳන් ලියන්න යන්නේ තවත් අලුත්ම පැතිකඩක් වෙත ඇරෙන මාතෘකාවක් ගැන... තමා, තමා අවට සමාජයේ ජීවත්වන අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් බව කුඩා වයසේ ඉඳන්ම දැනෙන, හැඟෙන දරුවෙක් ගැන...
කුඩා වයසේ පටන් ම මා සිතන අයුරු ඉතා වෙනස් බව, මම අනෙක් සම වයස් දරුවන්ගෙන් වෙනස් බව මා අත්විඳ තිබුණා... මා පමණක් නොව මා අවට සමාජය ද ඒ බව යම් අයුරකින් දැන උන්නා.
ඒ දැනීම මා වටා උන් සමාජය විසින් මා පිළිගැනීම ඉතා අපහසු කරවන්නක් උනා... ඒ, මා සමවයස් මිතුරන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ට පෙනුනේ, මනසින් ශක්තිමත්, දක්ෂ නමුත්, හිතුවක්කාර සහ සම්ප්‍රදායික නොවන ලෙස ක්‍රියාකරන දරුවෙකු ලෙස නිසයි...
අනෙක් දරුවන්ට වඩා වෙනස් දරුවෙකුට සමාජය කාරුණික වන අවස්ථා ඉතා අඩුයි... අවම වශයෙන් මගේ අත්දැකීම එයයි...
නමුත් මගේ වාසනාවකට මගේ දෙමව්පියන් මා කෙසේ හෝ නිවැරදි කළයුතු දරුවෙකු ලෙස දුටුවේ නැහැ... ඔවුන්, ඔවුන්ට ලැබුණු දරුවා සෙනෙහසින් රැක ගන්නට තරම් අවබෝධයෙන් උන්නා... නමුත්, මා කුඩා කළ මවුපියන් හා සහෝදරයා හැරුණු කොට මට යහලු යෙහෙලියන් සිටියේම නැති තරම්... යහලු යෙහෙලියන් බොහෝ විට හේතුවක් නැතිව ම මා ප්‍රතික්ෂේප කළා. වයස අවුරුදු 16 වන විට දෙවතාවක්ම මට වැටහෙන හේතුවකින් තොරව යෙහෙළියන් මා හැර යාම අත්විඳ සිටි මා බොහෝ දුරටම තනිව ඒ යොවුන් විය ගෙවා දැමුවා...
වයස අවුරුදු එකොලහේදී පමණ "ගම්පෙරළිය" නව කතාව කියවද්දී, එහි "මාතර හාමිනේ" ගේ චරිතය හඳුන්වා දෙන මොහොතේ, ඇය "තමා තුළට ම හැරෙන සිතක් ඇත්තියක" ලෙස හඳුන්වා දෙන මොහොතේ දී, කුඩා දැරියක වුණු මා, මමත් එවැනි බව තේරුම් ගැනීමට තරම් මාව දැන උන්නා. INTROVERSION නොහොත් "අන්තඃකල්පිත" මනසක් පිළිබඳ මුල්ම අදහස මා තුලට මුලින්ම කාන්දු වුණේ එදිනයි...
නමුත්, ඒ සංකල්පය හඹා ගොස් ඒ පිළිබඳ වැඩි දුර අවබෝධ කරගැනීමට තරම් දැනුම් සම්පත් එදා ලෝකය තුළ මට සොයාගැනීමට ලැබුණේ නෑ... ඒ නිසාම කුඩා කළ ම ඒ පිළිබඳව ගවේෂණය කිරීමේ අවස්ථාව මා අතින් ගිලිහුණා...
පොත් පිටු අතර නව යොවුන් විය ගෙවා දමමින් මා වැඩුණා... දක්ෂ දරුවෙකු ලෙස සමාජය දුටු දැරිය ලෙසින්ම, ඉතා ඉහළ ලෙස උසස් පෙළ සමත්වෙමින්, පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක දොරටු මා වෙනුවෙන් විවර වුණා... ජීවිතයේ මුල්වරට යහළු හෙහෙළියන් සොයා ගැනීම මා උගත්තේත් එහිදීයි...ඇත්තෙන්ම මගේ ලොව තුළ යහළු යෙහෙලියන් සොයාගන්නා රටාව මා එහිදී හඳුනා ගත් බව කීවොත් එය වඩා නිවැරදියි...
හදවත ට ළඟින් බැඳුණු, ගැඹුරු මිතුදම් කිහිපයක් පමණක් මගේ ලොව තුළ නඩත්තු කළ හැකි බව මම එහිදී ඉගෙනගත්තා... අද වනවිට වසර 25 ක් එක්ව ගෙවා දැමූ මා සමග එකම කාමරය බෙදා හදාගත් මිතුරිය සහ අපේ අනෙක් එකම යහළුවා හා බැඳුනු අප තිදෙනා ගේ සරසවි මිතුදම් අද ද එලෙසින්ම පවතිනවා...
මගේ නිහඬ නොගැලපීම මුල්වරට බිඳ දැමුවේ ඔවුන් දෙදෙනායි... එතැන් පටන් කෙමෙන් එක් රැස් කරගත් යහළු යෙහෙළියන් අතලොස්සක් ද, කෙමෙන් ගොඩනගාගත් මා හා මගේ "අන්තඃකල්පිත" මනස පිළිබඳ අවබෝධය ද සමගින් මා ජීවිතය ගොඩ නගා ගත්තා... "අන්තඃකල්පිත" මනස මා වෙත තිබියදී සමාජය තුළ සංසරණය වීමට අවශ්‍ය ක්‍රමවේදය මා මට හැකි පමණින් ගොඩ නගා ගත්තා...මට අවැසි වනුයේ ගැඹුරු විශ්වාසනීය යහළු යෙහෙළියන් කිහිප දෙනෙකු පමණක් බව මා අවබෝධ කරගත්තා...

මේකයි මල්ලි, මනකල්පිත රාමුවේ සිනමා අන්දරය සටහන් කීරීම වැදගත්
ReplyDeleteමේ සමාජයේ ස්ටෙන්සිල් කට් පික්චර් එකට එහා හිතන්න හොරයි. ඔවුන්ගේ ෆ්‍රේම් එකට ෆිට් වෙන්නේ නැති අය කොන් කරන්නේ ඒකයි. මං හිතනවා ඒ නෙගෙටිව් ප්‍රෙෂර් එක පුද්ගලයාට ලබා දෙන්නේ වෙනම හයියක්.
ReplyDeleteඔව් ඒක තුළින් වඩා ස්වාධීන - වඩා පිරුණු මිනිස්සු බිහි වෙන්න පුළුවන්
DeleteWow...මගේ බ්ලොග් යාලුවෝ ආපහු ඇවිත්... ස්තූතියි...!
Deleteදෙන්නටම...
කාලයක් ගත කරලා, එකතු කරලා, පිළිවෙල කරලා, හදලා ගත්ත මේ කතාව මට ලියන්න ම හිතුන එකක්... සමහර වෙලාවට මට ම කියවන්නත් එක්ක...
නමුත්, ඒ ගමන අමාරුයි... විශේෂයෙන්ම ළමයෙක් කාලේ,
Deleteඔබ ලියන්න, ඒ කාලේ වගේ නොවුනත් අදටත් බ්ලොග් කියවන අය ඉන්නවා. සමහර විට කොමන්ට් වැටෙන්නේ නැත්තේ අද බ්ලොග් කියවන මාධ්‍ය වෙනස්, ඒවායින් ලියන්න ඇති පහසුකම් මදියි, ආදිය වෙන්න පුලුවන්.
ReplyDeleteපොඩි නිවාඩුවක් තියෙන වෙලාවක් නිසා හෙමීට ලියලා තියන්න හිතුවේ අය්යේ... ඒත් මම හිතුවට වඩා කට්ටිය තාම බ්ලොග් එක කියවනවා...
Deleteමටත් යාළුවෝ නම් ගොඩක් ඉන්නවා. ඒත් ඇත්තටම හිතට දැනෙන්නේ ඒවා ගොඩක් වෙලාවට සංඛ්‍යාවක් විතරයි කියලා. මම හොයන්නේ හිතේ හැම දේම කියන්න පුළුවන්, ඕනම වෙලාවක විශ්වාසයෙන් ඉන්න පුළුවන් යාළුවෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. ඒ වගේ අය තාම මගේ ජීවිතේ අඩුයි කියලා හිතෙනවා.
ReplyDeleteහිත වැඩියෙන්ම රිදුණෙත් ඈත අය නිසා නෙවෙයි, ළඟම හිටපු අය නිසා. ඒ නිසාම ඔබේ මේ කතාව කියවන්න ලොකු ආසාවක් ඇතිවුණා. මොනවා හරි ඉගෙන ගන්නත් පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ඇත්තටම මම ඔබේ පේජ් එකට ආවේ මේ පස්වැනි සටහන කියවලා. දැන් ඉතින් කලින් ලිපි ටිකත් ටිකෙන් ටික කියවන්නයි හිතාගෙන ඉන්නේ.
ස්තුතියි... මේ කියන්නේ හෙමින් මගේ ජීවිතේ ගොඩ නගා ගත්තු කතාව...
Delete