මේ කියන දවස්වල අපේ ගෙදර නිත්‍ය සාමාජිකයො හතර දෙනෙක්... අම්මයි තාත්තයි බල්ලයි පූසයි...
"කුක්" කියන්නෙ තමන්ට බවත්, "දුප්" කියන්නෙ තමන් ඇරුණුකොට අනිත් බල්ලන්ට බවත් කුක් දැනගෙන හිටියෙ...
පූස් නං ඕනෙ වුණ වෙලාවට උම්බලකඩයි පොලුයි බතුයි ඉල්ලගෙන කන එක තමන්ගෙ අයිතිවාසිකමක් කියල හිතාගෙන හිටියෙ...
ඒ ඇරෙන්න පූස්ට වගකීම් තිබුණෙ නෑ...
හැබැයි කුක් ට එහෙම නෙවෙයි... වගකීමුත් තිබුණා.
අම්ම හරි තාත්ත හරි වත්ත පහළට යනව නං පස්සෙන් යන එක, ගිහින් එතන ලැගල ඉන්න එක වගෙම ඒ අවට ට එන අනිත් සත්තු පුළුවන් තරං එළවල දාන එකත් කුක්ගෙ වගකීම්...
-----------------------
තාත්ත වත්ත පහළ සුද්ද කරන්න ගිය මුල්ම දවසක තමයි ආගන්තුක කුරුල්ලත් ආවෙ... අයිනෙ තියෙන ලොකු කොට්ටම්බ ගහේ අත්තක වැහැව්ව...
තණකොළ ගලවනකොට දිරච්ච කෝටු කෑලි අස් කරනකොට පොඩි පොඩි පණුවො, කුරුමිණියො කොච්චරක් කියල එහෙ මෙහෙ දුවනව ද?
මුලින් මුලින් බය නිසා වැඩිය ළඟට නාවත් පුරුදු වෙනවත් එක්කම ආගන්තුක කුරුල්ලත් වත්ත පහල සුද්ද කරන්න එන්න ගත්ත...
පණුවෙක් මතු වෙනකොට ම කොට්ටම්බ අත්තෙන් පහළට ඇදිල එන්නත් ඒ සැණින්ම උඩට නගින්නත් ආගන්තුක කුරුල්ල බොහොම සූරයි...
අල්ලගන්න පණුව කොට්ටම්බ අත්තෙ දෙපාරක් විතර ගහන්න වෙන්නෙ ඌ ලොකු නං, නැත්නං එක කටට ම ගිල දාන්න පුළුවන්...
"මට පණුවො ඇහිඳන් කන්න බැරි උනා කියල ආගන්තුක කුරුල්ලෙක්ට ඉඩ දෙන්නෙ කොහොමද?" කුක් හිතුවෙ එහෙම...
තාත්ත ටිකක් අහක බලන වෙලාවක කුක් එක කටටම ආගන්තුක කුරුල්ල අල්ලගන්න පැන්න...
බය වෙච්චි ආගන්තුක කුරුල්ල විලාප දෙන සද්දෙට තාත්ත බැලුව නිසා ආගන්තුක කුරුල්ල එදාට බේරුණා...
----------------------
ඒත් ඒකෙන් පාඩමක් ඉගෙනගන්නෙ නැතිව ආගන්තුක කුරුල්ල වත්ත පහළට විතරක් නෙවෙයි ගෙදරටත් එන්න ගත්ත...
ඊළඟ පාර ආගන්තුක කුරුල්ල අහුවුණේ පූස් ට, පූස් ආගන්තුක කුරුල්ලවත් කටට අරන් ගෙට වැදුන...
ඒත් පූස්ට වැරදුණේ මීයෙක් එක්ක වගේ ගොදුරත් එක්ක සෙල්ලම් කරන්න ගත්තම... අතෑරිය ගමන් යන්තමට අඩපණ වෙලා හිටපු කුරුල්ල දිග හොටෙන් පූස් ට කෙටුව...
ඒ සටන අහවර උනේ, පූස් මුකුත් නොදන්නව වගේ ගෙයි මුල්ලකට වෙලා ඇඟ ලෙවකකා ඉන්නවයි, ආගන්තුක කුරුල්ල ඊට ටිකක් එහයින් කබඩ් එකක් උඩ පිහාටු පුම්බගෙන ඉන්නවයි අම්ම දැක්ක වෙලාවෙ...
----------------------
ආගන්තුක කුරුල්ල වසන්තයට ගම් රටවල් බලායන කුරුළු රෑනෙන් මගෑරිච්ච, ටිකක් ලොකු හොටයක් තියෙන තරමක් ලොකු කුරුල්ලෙක්... ඒත් ඊළඟ පාර ශිශිරයට මෙහාට ආව එයාගෙ කට්ටිය ආගන්තුක කුරුල්ලවත් එක්ක ගිහින්...
-----------------------
ආගන්තුක කුරුල්ලා කම්මැලියෙක් වගෙයි..! කොහොමවුණත් ආයෙත් එයාගෙ යාළුවොත් එක්ක යහතින් යන්න ලැබුණ එක ගැන සතුටුයි.. කුක්ගෙනුයි පූස් ගෙනුයි ගැලවිලා..
ReplyDeleteලිවීමේ රටාව.. ලස්සනයි ගොඩක්..!
කම්මැලියෙක් නෙවෙයි, එයා පුංචි පැටියෙක් ඒ කාලෙ, එයාට පියාඹන්න අමාරු නිසා රංචුවෙන් මගෑරුණු, :)
Deleteමගේ කුඩා බ්ලොග් එක ලඟ අඟර දඟර ඇයි???
ReplyDeleteබලාගෙනයි...
'කුක්' හා 'පූසා' දෙපස මග රැකන් ඉඳියි....
;-)
:D
Deleteඔය...මේ....ආගන්තුක කුරුල්ලො ඉන්නව නේද?...එහෙම ලේසියෙන් එන්නෙ නෑ ගෙවල් වලට...හැබැයි ආවොත් යන්න දෙන්නත් එපා හොඳේ......තටු කපල හරි කමක් නෑ තියාගන්න.......හෙහ්, හෙහ්,
ReplyDeleteතටු කපල තියන් මොකටද? නිදහසේ ඉගිල්ලෙන්න තියෙද්දි ඉගිල්ලිලා නොයන කුරුල්ලො විතරයි තියාගන්න ඕනෙ... :)
Deleteමං හිතන් හිටියෙ අගන්තුක කුරුල්ලා දෙපයින් ඇවිදගෙන ඇවිත් ගෙදර ඉන්න කිරිල්ලී සහේට ඉල්ලයිද කියල... බැලින්නම් මේ තටු ගහන කුරුල්ලෙක්නෙ..
ReplyDeleteදැන් මේ චූටි කාලේ ආගන්තුක කුරුල්ලෙක් හදිසියේ මතක් උනේ ඇයි?
ReplyDeleteඉස්සර නම් පූස් හරි කුක් හරි හිටියා ආගන්තුක කුරුල්ලන්ව එලවන්න . . .දැන් මොකෝ වෙන්නේ? හෙ හෙ හේ
ආගන්තුක කුරුල්ල ආයෙමත් මතක් වුණේ, ළඟදි දවසක, "නිකීතාගෙ ළමා කාලය" කියවපු නිසා...
Deleteකුක් තාමත් ඉන්නව, ඒත් දැන් වයසයි...
අපේ දිහාටත් දවසක් ආවා පිළිහුඩු පැටියෙක්...
ReplyDeleteඔය උඩ ඉන්න එකා වගේ..
ඌ නම් දවස් 2ක්ම ඉදලයි ගියේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හරිම ආදරනීයයි චේජනා. කුක් එයාගෙ රාජකාරිය කරත්දි පූස්ට එච්චර කාරියක් නෑ කිව්වට මීයන් අල්ලන්නට එපායැ.D; කතාව ලියාපු ආකාරය හරිම සුන්දරයි.
ReplyDeleteවේජනා ... අදයි ඔබේ මේ අගනා අඩවියට මා ආවේ .. හරිම සුන්දර තැනක් එන්නං දිගටම.. රෝලට දා ගත්තා මේ අඩවිය.. සුබ පැතුම්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්