Friday, September 7, 2012

යකා...


ගම්මානෙ සමහර මිනිස්සුන්ට පටබැඳි නම් තිබුණත් කවුරුවත් ඒව වයසට ගිය මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කළෙ නෑ... පටබැඳි නම් වයසක මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කරන එක අශීලාචාරකමක් විදියටත් සැලකුනා...
ඒත්, ඉඳහිට ඒ වගේ පටබැඳි නමක් හොර රහසෙ පාවිච්චි නොවුණාමත් නෙවෙයි... සමහර විටක වැඩිහිටියන් අතරෙ පවා... නියම විදියට නමක් නොකියවීම පටබැඳි නම හොර රහසෙම කියවුනා... එහෙම පාවිච්චි වුන පටබැඳි නමක් "යකා" …"යකා" කපු කුල්ලක් වගේ සුදු කොන්ඩයක් තිබුන තරුණ කාලෙ බොහොම ලස්සනට තිබුන රූපයක නටබුන් ඉතිරි වුණු මනුස්සයෙක්...
යකා හැරමිටියක වාරුවෙන් ගෙදර ඉස්සරහ පාරෙ එහාට මෙහාට යන එක හැම හැන්දැවෙම වගේ දකින්න ලැබුනා... ඒත් තොල් මතුර මතුර එහාට මෙහාට යන මේ මනුස්සය හැමදාම දැක්කත් ගමේ අයට මේ මනුස්සය ගැන කතා කරන්න ඕනෙ තරං දේවලුත් තිවුණ... යකා ගම්මානෙට අමුතු මනුස්සයෙක් වුණේ එහෙමයි...


---------------------------------

බොහොමත්ම අතීත කාලෙ ඒ කියන්නෙ යකා තරුණ කාලෙ දෙමව්පියො එහෙමත් ඉ‍ඳෙද්දි...
හැමදාමත් වගේ අහළ පහළ ගමක තොවිලයක් තිබුන කාලෙ, යකාගෙ ජීවිතේ ස්වර්ණමය යුගය කිව්වොත් හරි... ඇත්තටම ඒ ස්වර්ණමය යුගය අයිති වුනේ ඔහුගෙ තාත්තට කිව්වොත් වැඩියත්ම හරි...
ඒ අතීතය මතක් කරන සීය කෙනෙක්ගෙම වචනෙන් කියනව නං ඒ කාලෙ අහළ ගං හතක් සල්ලිඔලට ගන්න පුළුවන් මිනිස්සු... ඒත් ඒ ස්වර්ණමය යුගය ගැන සාක්ෂි දෙන්න දැන් ඉතිරි වෙලා තියෙන්නෙ ගේ දොර විතරයි... ඒ ගේ දොර නං මේ කතාවට ඕනෙවටත් වැඩියෙන් දෙස් දුන්න...
මේ අමුතු මනුස්සයට පටබැඳි නම “යකා” උනෙත් ඒ හින්දම තමයි... පළාතක් හොලෝගෙන හිටපු ඇදුරො නිසා... “මේ තාත්තයි පුතයි නටද්දි බොහොම ලස්සනයි... රටයකුමක් නටද්දි ගෑනු අයට ඇන්දම බොහෝමත්ම ලස්සනයි" එහෙමයි ඇහින් දු‍ටු ඇත්තො කියන්නෙ...

----------------------------------
බොහෝම ලස්සන දරුවො හිටි පවුලක්... ලොකු පුතා, ඊට පස්සෙ දුව, ඊට පස්සෙ නිවුන් පුත්තු...
ටිකෙන් ටික වැඩිවුන බීමත්කමත් එක්ක පවුල අවුල් වෙද්දි දරු පැටව්ත් අරගෙන බිරිඳ යන්න ගියා...
යකා තාත්තත් එක්ක ඒ මහා විසාල ගෙයි ඉතිරි වුනා...

"තේගිස් අප්පු ඉඳා, කාපන්... " ඉඳහිට දවාලක ගෙදර ඉස්සරහින් යන කෙනෙක්ට එහෙම ඇහුනා... ඒ යකාගෙ කටහඬ...
රෑට යන කෙනෙක්ට අහන්න ලැබුනෙ කුණුහරුප වැලක් විතරයි…

ජීවිතේ අවසාන කාලෙ යකා එක්ක තනිවෙලා හිටපු, යකාගෙ තාත්ත -ඒ වයසක මනුස්සය, තේගිස් අප්පු - ටික කාලෙකින් මේ කරදරවලිනුත් ජීවිතෙනුත් දෙකෙන්ම මිදුනා...
යකා තනිවුනා... කාලෙ ගතවෙලා ගියා... යකා දිගටම මේ දින චරියාව ඉස්සරහට අරන් ගියා...
ගමේ මිනිස්සු අතරෙ වැදගත්කමක් ‍රැකගෙන ජීවත් වුන මිනිස්සු කොල්ලො කුරුට්ටන්ගෙ විහිලුවට ඉලක්ක වුණේ ඒ කාලෙ...
කුනුහරුප කියනව අහගෙන ඉන්නම මදාවිකාර කොල්ලෙක් “යකා” කියල දවාලක ගෙදර ළඟින් කෑගහගෙන යන්න ගත්තෙත් ඔය කාලෙ...

----------------------------------
දිගින් දිගටම බීමතින් කාලෙ ගතකරපු මනුස්සය ලේ වමනෙ දාන්න අරන් ඉස්පිරිතාලෙ ගෙනියන්න සිද්ද වුණා... වැඩුනු දූ දරුවො අතරින් ලොකු පුතා තාත්තව බාර අරගෙන, තමන්ගෙ දරු පවුලත් එක්ක ඇවිත් පරණ මහගෙයි පදිංචි වුනා...

ජීවිතාශාවට වෙන්න ඇති බීම නතර කළත් යකා… හැන්දෑවට ගෙදර ඉස්සරහ පාරෙ තොල් මතුර මතුර සක්මන් කරනව.... පාර අයිනක යකා ඉන්නව දැක්කත් බොහෝමයක් දෙනෙක් යකා එක්ක කතාවක් බහක් කරනව දකින්න අමාරුයි... විශේෂයෙන්ම බවලත් උදවිය යකා එක්ක කතා කරන්නෙම නැති තරං...
ඒත් ඉඳහිටවත් ටිකක් දුරක ගිහින් ඒ ගන්න බැරුව පාරෙ අයිනක ඉන්නව හම්බුනොත් කවුරුහරි ගෙදර ළඟට ගෙනත් බස්සවල යනව...

------------------------------------

යකා එක්ක කතා නොකළට ඒ මනුස්සය පියමං කරල එන මිනිස්සු අතරෙ කසු කුසු ගෑවිලි නං පටං ගැනෙනව... ඒ අස්සෙන් " කොහොම හිටපු මිනිස්සුද " කියල වගෙම " හූනියං, දිෂ්ටි" වගේ වචනත් ඉඳහිට කණට වැටෙනව...

Friday, August 10, 2012

ඉඩෝර බිම තෙමාලන අකල් වැස්ස...


ඉඩෝරෙට අහුවෙච්ච මහපොළව තෙමාගෙන 
අකාලෙට නිකිණි වැස්ස වහිනවා...
වහං වෙන්න බැරි වුණ බට්ටිත්තෙක් අත්තෙන් අත්තට පනිනව...
කුසීත හැඟීමකින් වෙලුනු අහස පසුබිම කරගත්තු
ගස් කොළං හුළඟෙ කැරකෙනව...
හිතිවිලි එකිනෙක පැටලිලා හිතේ ඇඳිල මැකිල යනව...


"අකලට වට මහ වරුසාවක් සේ..."
කියල ගයපු ඇගේ ගී හඬ මුව තුලම ගොළු වෙලා...
ජීවිතේ අත්වාරුව වුන ඔහු ලොව හැර ගියාට පස්සේ...
සිරිමා බෝ හාමුදුරුවො වැඳලා ඈ ඉල්ලපු ඉල්ලීම ඉටු වුණා නං 
එහෙම වෙන එකක් නෑ, මගේ හිත කියනව...

නටුවෙන් ගිලිහුන කොළයක් අහසෙ ඉබාගාතෙ පාවෙනව...
අකල් වැස්ස වගේම ජීවිතේට එන දේවල් උපේක්ෂාවෙන් බාරගන්න
මම උත්සාහ දරනව...
අටලෝ දහමට කම්පා නොවී ඉන්න කියල වෙන කෙනෙක්ට කියන්න කලින්...

හිතට අමූතු හැඟීමක් දැනෙනව,
ඒක දුකද සතුටද බලාපොරොත්තුවද ආශාවද කියල තෝරගන්න අමාරුයි...
පුංචි දැරියකගෙ වතින් එන කෝමල කිරි සුවඳ මගේ හිත කුල්මත් කරගෙන
අපිළිවෙළ සිතිවිලි අතරෙ වල්මත් වුණ මගේ හිත
ඈ දිහාවට අදිනව...

සීරුවට ඇදහැලුන අනෝරා වැස්ස,
කැඩි කැඩි වැටෙන සිරිපොදයක් වෙලා ඉවර වෙන්න තතනනව...
විවර වුණ කවුළුවෙන් ඈත වැටෙන නිකිණි වැස්සෙ, හිතේ පිබිදෙන සිතිවිලි දමත්
ඒ එක්කම බිඳ වැටෙනව...
ආපහු පැහැදිලි අහස අස්සෙන් පොල්ගස් කරටි හිනැහෙනව...

Thursday, June 28, 2012

ආන්දෝලනාත්මක මාතෘකා...


ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන එක මම මගහරින්නෙ හිතාමතාම... වෙලාවකට මට හිතෙනව ඒක වරදක් ද කියලත්... අනිත් අතින් ඒව කතා කරන්න ගිහිල්ල ඒවට උත්තර දෙන්නත්, හිත රිදවගන්නත් මගෙ කැමැත්තක් නෑ... ආයෙම මට මෙහෙමත් හිතෙනව, ආන්දෝලනාත්මක මාතෘකා ගැන එකේක තැන කමෙන්ට් කර කර ලිය ලිය කාලෙ ගත කරනවට වඩා තමන්ගෙ තරමට, තමන්ට පුළුවන් ප්‍රමාණෙන් ඒවට උත්තරයක් හොයාගන්න ගත කරන එක ඒව ගැන ලිය ලිය ඉන්නවට වඩා හොඳයි නේද කියල...

හුඟක්ම මිනිස්සු කතා කර කර ඉන්න විතරක් කැමති මේ දේවල් ගැන අපිට කරන්න පුළුවන් දේවලුත් නැද්ද ඇත්තටම, හුඟක් වෙලාවට බුද්ධාගමට විරුද්ධව කටයුතු කරනව, බුද්ධාගම නැතිවෙන්න යනව කියල කෑගහ ගහ ඉන්නෙ නැතිව, එහෙම නැත්නං ඒ වෙලාව වැය කරල ජනප්‍රිය හාමුදුරු නමක් පස්සෙ නොයා, බුදු හාමුදුරුවො දේශනා කළා වගෙම තම තම නැණ පමණින් විමසල බලන්න බැරිද අපිට...

විශේෂයෙන්ම කිසිම ප්‍රයෝජනයක් නැතිව කාලෙ ගෙවා ගන්නත් අනිත් කෙනෙක්ට අපහාස කරන්නත් උත්සාහ කරන එක විතරක්ම කරන අන්තර්ජාලයෙ රස්තියාදු වෙන්නො කොයිතරම් ඉන්නවද කියල දැනගන්න පුළුවන් මොකක් හරි ප්‍රවෘත්තියක් ගැන කමෙන්ට් කරන්න ඉඩ දුන්න ගමන්... උඩින් තියෙන පුවතට අදාළ වෙන හරි නොවෙන හරි මොනව හරි දේවල් ටිකක් ලියල කමෙන්ට් තීරුව පුරවල තියෙනව දැක්කම ...
මිනිස්සු තමන් අවට තමන් ජීවත්වෙන ලෝකෙ සිදුවෙන දේ දැනගෙන ඉන්න ඕනෙ තමයි... ඒවගෙම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තියෙනව... ඒත් අපි මේ කරන්නෙ ඒකමද කියල තවත් වතාවක් හිතල බැලුවොත්....

ලංකාවෙ අන්තර්ජාලය බොහෝ සෙයින් භාවිතා කරන්නො බොහෝ දෙනෙක් ඒක කරන්නෙ කාර්යාලෙදි... එහෙමත් නැත්නං උසස් අධ්‍යාපන ආයතනවලදි...ඒ වගේම ඒ ගොල්ලො බොහෝ දෙනෙක් තරුණයි...එහෙමත් තියෙද්දි,  ඒ තාරුණ්‍යය මෙහෙම කාලෙ නාස්ති කරද්දි, අපි අනිත් අයටම බැන්නට සියල්ල නිවැරදි වෙයිද කියල ආයෙම හිතද්දි මට ම හිතෙනව...

Monday, May 21, 2012

සිමියොන් දවීදොව් හා ලෝරා ඉන්ගල්ස් සමගින් ගතවුණ නිවාඩු කාලය

හිම මිදිච්ච සීත කාලෙ මැද හරියෙ දවසක දවීදොව් හිම යානෙක නැගිල ගම්මානයට එමින් හිටියෙ...දවීදොව් හිටියෙ සන්තෝසෙන්... සමූහ ගොවිපොලක් හදන හීනෙ දවීදොව්ගෙ හිත පුරාම තිබුනෙ... තමන්ගෙ අරමුණ වෙනුවෙන් දවීදොව් කැපවුණා... මකාර්, අන්ද්‍රෙයි, යාකව්, ශිචුකාර් සීයා ඇතුළුව ගම්මානෙ නොයෙක් තරාතිරමෙ නොයෙක් අදහස් දරපු මුරණ්ඩු මිනිස්සු, යටහත් පහත් මිනිස්සු, දුප්පත් මිනිස්සු මේ ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්න දවීදොව් හැබෑවටම මහන්සි වුණා... දවීදොව් අස්සය පිටේ යද්දි වගෙම දවීදොව් කුඹුරු හාද්දිත් මම සතුටින් දවීදොව් දිහා බලාන උන්නා... දවීදොව් වාර්යට ආදරේ කරද්දි මගේ ඇස් සතුටින් දිලිසුනා... වාර්යා කෘශිකර්ම නිලධාරිනියක් වෙලා ඇවිත් දවීදොව් එක්ක විවාහ වෙනව දකින්න, සමූහ ගොවිපොළ දියුණු වෙලා දවීදොව්ට අකමැති වෙලා හිටපු මිනිස්සුත් දවීදොව්ට කැමති වෙනව දකින්න මට ඕනෙ වුණා...
ඒත් හීනෙ හැබෑ කර නොගෙනම දවීදොව් යන්න ගියා... වාර්යව තනිකරල... යන්නම යන්න ගියා... සීය දවීදොව් මිහිදන් කළ තැන තනියෙන් බලාගෙන උන්නා...

---------------

ඊට පස්සෙ ආවෙ ලෝරා... ලෝරා අම්මයි අප්පච්චියි මේරියි විතරක් නෙවෙයි, ඒ ගොල්ලොන්ගෙ බල්ල ජැක් එක්ක අස්ස කරත්තෙක ආවෙ... බටහිරට යන්න... ලෝරාගෙ තැනිතලාවෙ කුඩා නිවසෙ වගෙම, ඩි ස්මෙට් නගරයේ නිවසෙත් මම ලෝර එක්ක ජීවත් වුණා... රතු ඉන්දියානුවො ලෝරගෙ කුඩා නිවසට එද්දි, ලෝරලාගෙ ඉරිඟු පාන් ඔක්කොම බලහත්කාරෙන් වගෙ කාල යද්දි මාත් පැත්තකින් උන්න... ජැක් ඒ ගොල්ලොන්ට ගොරවද්දි සතුටු හිතුනත්, ලෝරට වගෙම මටත් කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ...
සීතලෙන් සීත වුණු සීත සමයෙ හිම කුණාටුවෙ මැද්දෙ සීතලෙන් ගැහි ගැහි මම තැනිතලාවෙ ඉඳන් ලෝරගෙ ගෙදර දිහා බලන් හිටියා... ලෝරා අකමැත්තෙන් අකුරු ඉගෙනගනිද්දි, ලෝරා ටීච කෙනෙක් වෙලා යද්දි ලෝර එක්ක ගියත්, මිහිරැති වසන්ත සමයෙ ලෝරා විවාහ වෙලා යද්දි මම නැවතුණා...

----------------

අවලස්සන ඇමරිකානුවගෙ ලස්සන හදවත, මාව පුදුම කළා... සර්කානුවෙක් එක්ක තමන් නිෂ්පාදනය කළ යන්ත්‍රයෙ ලාබය වංචාවක් නැතිවම බෙදා ගනිද්දි මට සතුටු හිතුන... හැබෑවටම අනිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන සැබෑ මිනිස්සු වගෙම, දූෂණය වංචාව ජීවන මාර්ගය  කරගත්තු මිනිස්සු ලෝකෙ හැම රටේමත්, හැම මොහොතකමත් ජීවත් වෙනව දැක්ක...

-----------------

ඇයි ධනුෂ්කගෙයි දේවින්දිගෙයි ජීවිතේට එබිල බල බල සූරියතැන්න වලව්වෙ ගතකළ දවස් ටික... ඒකත්  මගෙ නිවාඩුවෙ දවස්ම තමයි... අන්තිමට දන්නෙම නැතිව මේ ගොල්ලොත් එක්ක මම මුළු නිවාඩු කාලෙම ගත කරල තිබුණ... ඔන්න ඔහොම මුළු නිවාඩුවම ඉවර වුණා...

Thursday, May 10, 2012

විභාග ශාලාව...



බොහෝම ඈත අතීතෙ දවසක පුංචි එකී මුලින්ම  ලොකූ විභාග ශාලාවකට ගිය දවසෙ ... දුරින් දුරින් ඩෙස් තියල හදපු විභාග ශාලාව බොහොම ගාම්භීර විදියට පුංචි එකී දිහා බලාගෙන හිටියෙ...

වතුර බෝතලේකුයි, පැන්සල් පෙට්ටියකුයි ඈ ළඟ තිබුණ...පුංචි එකී පැන්සල් පෙට්ටිය පපුවට තුරුල් කරගෙන හිටියෙ... ඒක ඈ ළඟ තිබුන ලොකුම වස්තුවක්... විභාගෙ නිසා ඒක එළියට අරගෙන අතේ තියාගෙන හිටියට වෙන වෙලාවට ඒක තියෙන්නෙ බෑග් එකේ... මේක පියන අරින්න පුළුවන් ප්ලාස්ටික් පෙට්ටියක්... මිකී මවුස් පින්තූරයක් පෙට්ටි පියනෙ ඇඳල තිබුන... ඒත් මේ විභාගෙ තිබුනෙ අගෝස්තු නිසා ඒ වෙනකොට පෙට්ටි පියනෙ තිබුන මිකී මවුස්ගෙ පින්තූරෙ තැනින් තැන මැකිල...පෙට්ටිය ලස්සන වෙන්න පෙට්ටියෙ අඩියට රතු පාට ඊයං කොළයක් එළල තිබුණ... ඒක වෙඩින් කේක් කෑල්ලක් ඔතල තිබිල හම්බුන එකක්... ඒත් ඒකෙන් පෙට්ටියට බොහොම ලස්සන පෙනුමක් ලැබුන... පුංචි එකීට හිතුනෙ එහෙමයි...

පෙට්ටිය ඇතුලෙ පෑන් පැන්සල් මිටියක්, ඉරේසර් එකක් විතරක් නෙවෙයි කටර් එකකුත් තිබුණ...ලොකු ලොකු විභාග තියෙනවට පුංචි එකී කොහොමත් කැමතියි...පුංචි එකී හිතන විදියට ලොකු විභාග තියෙන එකේ වාසි ගොඩයි... එකක් ඇති තරං පැන්සල් පෑන් ලැබෙනව... අනික විභාග ශාලාවට යන්නෙ තාත්ත එක්ක නිසා විභාගෙ ඉවර වෙලා එනකොට සීනි බනිස් කාල ෆැන්ට බොන්න ලැබෙනව...

කොහොමින් කොහොම හරි වෙලාව ගතවුනා... විභාග ශාලාව ඇරුණ... විභාග අංකෙ අම්ම කොළ කෑල්ලක ලියල පෙට්ටියෙ දාල දීලයි තිබුණෙ... ඒක බලාගෙන ගිහින් ඉඳගත්ත...

තමන් ළඟ තියන කොළ කෑලි ඔක්කොම අයින් කරන්න කියල ටීච කියද්දි තමන් ළඟ එහෙම ඒව තියෙද කියල බලන්න පුංචි එකී පෙට්ටිය පුරාම ආයෙම අවුස්සල බැලුව... ඊට පස්සෙ සුදූම සුදුපාට කොළේක ලොකූ  ප්‍රශ්න පත්තරයක් බෙදාගෙන ගියපු ටීච විභාගෙ පටන් ගත්ත....

----------------------

කාලෙ ගත වෙලා ගියා... ආයෙම එහෙම ලොකු විභාගෙකට යන දවස් එද්දි...පැන්සල් පෙට්ටිය මාරු වෙලා තිබුණ...ඒක පුංචි එකී හීන මැවුව වගෙම තැඹිළි පාට ලස්සන, කාන්දමකින් වැහෙන පෙට්ටියක්...

----------------------

ඊළඟ පාර ලොකු විභාගයක් එද්දි ගෙනිච්ච පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියලවත් පුංචි එකීට මතක නෑ... ඒ වෙනකොට ඈ ලොකු වෙලා... පැන්සල් පෙට්ටි ගැන හීන දකිනවට වඩා... ඒ ලොකූ විභාගෙ මුළු අනාගතයම තීරණය කරන බව තේරිලා... ඈ එදා දැක්ක එකම හීනෙ සරසවිය...සරසවි සුබ සිහිනෙ බලාපොරොත්තුවෙන් හිත මුළුමනින්ම පිරිල තිබිච්ච දවසෙ පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියල පුංචි එකී කොහොම මතක තියාගන්න ද?

-----------------------

සැබෑ වුණ සරසවි හීනෙ විභාගවලට නිමාවක් ගෙනාවෙ නෑ...පුංචි එකී තවත් ලොකු ලොකු විභාග ගොඩ...කට ලිව්වා...

-----------------------

ඒ දවස් අවසානෙදි තවත් දවසක් ආවා... එදා විභාග ශාලාවට ප්‍රශ්න පත්තර අරගෙන ගියේ, ඉස්සර දවසක පැන්සල් පෙට්ටියකුයි වතුර බෝතලෙයි ගෙනිච්ච පුංචි එකීමයි...

ළමයි පිරුණ විභාග ශාලාව ඉස්සරහට ගිහින්...
" If you have any unauthorized material ..." කියද්දි මහා බලාපොරොත්තුවලින් පිරුණ ඇස් ගොඩාරියක් ඈ දිහාවට යොමු වෙලා තිබුණ...
 
ඈ ඒ ඇස්වල බලාපොරොත්තු කියවගන්න කලියෙන් ප්‍රශ්න පත්තර බෙදුණ... හිතේ පිරිච්ච බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඒ ඇසුත් එදා වගෙම ප්‍රශ්න පත්තර අතරෙ රැඳුනා... පුංචි එකී පැය තුනකට අතීත මතක අතරෙ තනිවුණා...

-----------------------

Monday, April 2, 2012

කොන්දොස්තර කොළුවා...


කොන්දොස්තර කොළුවා...

ඔහුට කොන්දොස්තර කොළුවා කිව්වෙ අමනාපෙකට එහෙම නෙවෙයි -- අමනාපයක් තිබුණ තමයි, ඒත් ඒකට කොන්දොස්තර කොළුව කියල තේරුමක් නෑ -- කොන්දොස්තර මහත්තය කියල කියන්න බැරි නිසත් නෙවෙයි -- කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව -- මම ඔහුට කොන්දොස්තර මහත්තය කිව්වම, හිතේ ඇ‍ඳෙන රූපය ගැලපෙන්නෙ නෑ...

ඒ නිසා මට ඔහුට කියන්න වෙන්නෙ කොන්දොස්තර කොළුවම තමයි... බස් එකේ දවස ගෙවන්නම හරියන, පෙනුමෙන්ම කිලිටි පාට ටී ෂර්ට් එකක් ඇඳල පාට පාට ප්ලාස්ටික් වළළු ගොඩක් අතේ දාල... අතේ ඇඟිලි කීපෙකම මුදුත් කීපයක් දාල ...

බස් එක පුරා පතුරුවන ආඥාදායක කටහඬකින් බස් ගාස්තු එකතු කරනව ඔහු...
සල්ලි අරගන්නවත් එක්කම
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" ආයෙම අර ආඥාදායක කටහඬ...
ඒක නැත්නං අපේ ඉතිරි සල්ලි දෙන්න ඔහු ලෑස්ති නෑ...

"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කිය කිය පස්සට එනව අනිත් අයගෙත් සල්ලි ගන්න...
ඒක ඉල්ලන වොයිස් එක මට කලින්ම ඇල්ලුවෙ නෑ...මම ළඟට එනකොටත් මම හිතින් වලිය පටන් අරන් හිටියෙ,
මාත් දුන්න රුපියල් විස්සක්ම... මෙන්න කියනව රුපියලක් දෙන්නලු...

ඔන්න මගේ හිත ඇතුළෙ වලිය ටිකින් ටික පිටට එන්න හදනව...ඒත් එහෙම ලේසියෙන් රණ්ඩු වෙන්නත් බෑ නෙ,
හිටපං මම දෙන්නං රුපියල් දෙකක්... හැබැයි මට ආපහු වැඩිපුර රුපියලත් එක්ක ඉතිරි නුදුන්නොත් මම බලාගන්නං...
මේ ඔක්කොම හිත ඇතුළෙ...

ඔහු ආපහු එද්දි මම දුන්න රුපියල් දෙක, වැඩිපුර රුපියලත් එක්කම ඉතිරි සල්ලි හම්බුනා මට...
හිත ඇතුළෙ කොච්චර වලියක් තිබුනත් ඒක දැන් ඉතින් එළියට දාන්නෙ කොහොමද...

-------------------

කාලෙ ගෙවිල ගියා...
උදේට මම එනකොට ටර්න් එක තියෙන බස් එක ඒක...හැමදාම මට එන්න වෙන්නෙ ඒ බස් එකේ...
මුලින් තරමක ප්‍රතිරෝධයක් තිබුණත් ටිකෙන් ටික රුපියලත් එක්කම සල්ලි දීල ඉතිරි සල්ලි ගන්න මම පුරුදු වුණා...

කාලෙත් එක්කම ඒ ප්‍රතිරෝධය අඩු වෙන්නත් හේතු තිබුණ...බොහොමයක් බස් කොන්දොස්තරවරුන්ට වඩා ඉතිරි සල්ලි දීම අතින් ඔහු අවංකයි...
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කියල අණ දුන්නට...

-------------------

" දෙවිඳුනි කතරගම, ඉහළින් ආකාසේ
පායන සඳට අවමන් කළ රන්වන් රුව ඈගේ
දුටුවම සසල වුණි හදවත පෙර හැන්දෑවේ
දැකගන්නයි දෙවොලට තව සැරයක් ආවේ "

මම බස් එකට නගිනකොටත් මහ හඬින් වාදනය වෙනව...

සෙනග හොඳටම වැඩි දවසක්... ඒ අස්සෙ කොහෙ හරි යන රස්තියාදුකාරයෙක්ව සෙට් වෙලා මට...ටිකක් දුර එද්දි සීට් එකක් හම්බුනත් කරුමෙ කියන්නෙ තවත් ඩිංගක් දුර යද්දි එතනම ඊළඟ සීට් එකත් හිස්වුණා... මම වීදුරුව පැත්තෙ අයිනට උනා... ඔන්න මගෙ ළඟින් වාඩි වෙච්ච මේ මනුස්සය මගෙන් එකේක ප්‍රශ්න අහන්න අරන්... නෑහුනා වගේ හිටියත් මේ කරදරේ දරාගන්න අමාරුයි... මට ඉබේටම බැලුනෙ කොන්දොස්තර කොළුව දිහා... හේතුව මොකක් වුණත් කොන්දොස්තර කොළුව බස් එකේ පිටිපස්සට යන්න ආව... සීට් එක අයිනට හේත්තු වුණා... මම ළඟ හිටිය කරදරකාරය නැගිටල ඉස්සරහට ගියා...

-----------------

අදත්  බස් එකේ හිටගෙනම රුපියල් විස්සක් හොයනව මම...
"වාඩිවුණාම ගම්මු…" ඔහු අර ආඥාදායක කටහඬින් නැතිව බොහොම හෙමින් කියනව...

වචනයක්වත් කතා නොකරම රුපියල් විස්ස...
ගමනාන්තෙ මතක තියාගෙන ඔහු සල්ලි ගන්නව... මං, ළඟ තියන මාරුකාසිවලින් ‍තෝරල ඔහුට දීල ඉතිරි සල්ලිත් ගන්නව, ඒ වුණාට අර ඉස්සර හිතේ තිබුන වලිය නැතිව...

-------------------

එක වචනයක්වත් කතා නොකළත්, කිසිම හැඳිනීමක්, සම්බන්ධයක් නැති වුණත් මගෙ හිතේ චමත්කාරයක් ඇතිකළා ඔහු...

ඒත් චමත්කාරය කියන එක දූවිලි අවුස්සගෙන, සින්දුවකුත් දාගෙන, දුම් වළාවකුත් පිටකරගෙන, තරගෙට දුවන, එහෙම නැත්නං කොට කොට යන ප්‍රයිවෙට් බස් එකක් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ”

පමාවෙලා හෝ අයදිමි සමා
සිතැඟි සිතුම්වල මුලා වෙලා
ඔබෙ ඇදුරිඳු වී පෙම් බැඳි වරදට
ලතැවෙන සිතින් මෙසේ...

ඒ බස් අජිත්...

ප්‍රශ්නෙට උත්තර හොයන එක පැත්තක තියල මගෙ හිත සින්දුව අහන්න සෙට් වෙනව...

අදත් ගමනාන්තෙට ඇවිත්...
ඒත් ගමන ඉවර නෑ, හෙටත් මේ බස් එකේම මේ ගමනාන්තෙටම යන්න වෙනව...

---------------------

Monday, March 26, 2012

සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්...

හුරුනැති රටක නෙක විසිතුරු මැද උන්නත්
සංවේදනා නොදැනෙන දන නෙත ගැ‍ටුණත්
කඳුළෙන් සිනාවෙන් විසිතුරු සිත තාමත්
සිතක සිතුම් කවිකර ලීවලු මෙහෙමත්

සොඳුරුම මිතුදම් ගිලිහී යද්දී නාඳුනනා නිල් අහස යටින්
කඳුළට සතුටට එක ලෙස ළංවෙන මිතුදම් අරගෙන ඔබ ඇවිදින්
සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්
සකුරා මල් මත සොඳුරු වසන්තය ආයෙම නාවත් කිමද ඉතින්

 වසන්ත ශිශිරය ගිම්හානය වී කාලය අපි පහුකරන් ගිහින්
සිතුම් අකුරු වී ලියවුණු ලියවිලි මතක අතීතයෙ ලැගුම් අරන්
ඉසිඹු වෙලාවක අතීතයේ පිටු අතරින් මතක අරන්
මේ කවි ලීවේ ඒ මිතුදමටයි ඉඳහිට තාමත් රණ්ඩු කළත්


තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic

තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි. එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස ම...