Wednesday, March 31, 2010

සොඳුරුම මිතුදම් ගිලිහී යනවා නාඳුනනා මේ අහස යටින්



සොඳුරුම මිතුදම් ගිලිහී යනවා නාඳුනනා මේ අහස යටින්
සොඳුරු ජපානයෙ ඔබ මා ගත කළ මිහිරිම යුගයට ආයුබොවන්
කඳුලැලි මා හදවත තෙරපනවා වෙන් වී යද්දී මගේ ළඟින්
පතමි දයාබර මිතුරනි ඔබහට පැතුම් සඵලවුනු සොඳුරු හෙටක්

කඳුළු පිරි නෙතින් පැතූ සුබාසිරි සමග ඔවුන් වෙන් වෙලා ගිහින්
සොඳුරු වසන්තය ඇවිත් ජපානෙට තනිවූ මා සිත ළඟින් ඉඳින්
සකුරා මල් පෙති ගිලිහී යද්දී මගේ කඳුළු දැක සැමට හොරෙන්
ඔබට පිදුම් දුන් මිතුදම සිහිකර ඉඳහිට සිත කවි කර එවපන්

මගේ සැබෑ ලොව නෙතින් නුදු‍ටුවද සැමදාමත් මා සිතට ළඟින්
විදුලි වේගයෙන් හදවත් යා කළ සොයුරු සොයුරියනි ළඟින් ඉඳින්
බ්ලොග් අවකාශය හද ගෙත්තම් කළ බැඳුම් සුසර කර මා වෙනුවෙන්
ඔබේ දයාබර වදන් වලින් මා සනසාලනු මැන සොයුරු පෙමින්

Sunday, March 28, 2010

හිරු රජුනේ-To the Sun God...


යෝගිට මලී ගෙ ලියුම ලියන්න වුනා වගෙ මටත් දැන් යෝගියි යෝගිගෙ ලොකු අය්යයි නිසා ඉර දෙවියන්ට ලියුමක් ලියන්න වෙලා තියෙන්නෙ... යෝගියි යෝගිගෙ ලොකු අය්යයි වරු ගනන් කතා කර කර ඉන්නව,මම බලාගෙන ඉන්නව..ඒ අතරෙ මාත් ලිව්ව ඉර දෙවියන්ට මගේ ඉල්ලීම...ලියුමකින්.. කවියකින්

වැලි කතරට හැන්දෑවට
ජපානයට රෑ මැදියම..
ඉස්සර නම් මම හිතුවේ
අනේ ඉතින් අපිට මොකද?
ඒත් ඉතින් දැන් නම් මට
තේරෙනවා එහි වැ‍රැද්ද...
හැමදාමත් මම නිදද්දි
එකයි පාන්දර වෙලාව..

හිරු රජුනේ බැරිද ඉතින්
පොඩ්ඩක් මේ ගැන හිතන්න..
වැලි කතරට ජපානයට
එකම වෙලාවක් හදන්න..
අනේ ඉතින් සමාවෙලා
මේ ගැන සලකා බලන්න..
පින් සලකා මේ උදව්ව
පුළුවන් නම් කරල දෙන්න....

http://www.istyles.com/images/ATV-SUNGOD.jpg

Friday, March 26, 2010

අධිවේගී මාවතේ..


අධිවේගී මාවතේ..
දිදුලනා විදුලි බුබුළු අතරේ..
වේගයෙන් ඉගිලුනා..
දැනුණා යමක් ගිලිහී ගිය බව...
හැරී බැලුවේ නෑ..
පැරදේවි යයි සිතලා තරගය...

දිනා තරගය
හැරී බැලුමුත්..
වටිනාම දෙයක් නැතිවෙලා...
පුදුමයි...

අධිවේගී මාවතේ වැටිලා..
මගහැරී තිබුනේ....

ජීවිතය....


http://blogs.edf.org/

Tuesday, March 23, 2010

නන්නාඳුනනා දේශයේ වසන්තය අභියස...




දවසම වැඩ කරල හරිම මහන්සියි.. පාරදිගේ ඔහේ පාවි පාවි ගියා...ගිහින් ගිහින් නැවතිලා තිබුනේ ගං ඉවුරේ බැම්ම උඩ ... ඉහට ඉහළින් හඳයි තරුයි නිල් අහසයි විතරයි.. විතරම විතරයි... හඳේ ඡායාව ගං දියේ දිදුලනවා..ගං දිය ගලා බසින හඬ හැරුණුකොට මුළු පරිසරයම නිසලයි..ශිශිරයේ නටබුන් තාමත් ඉතිරි නිසා තණ තිල්ල මත නිරුවත් දෙපා තියන්න බෑ... එතකොට තමයි වසන්තය මතක් වුනේ...
සොඳුරු වසන්තයෙදි මේ තණතිල්ල ආපහු අලුත් දළු ලාවි...පුංචි පුංචි මල් පිපේවි..
පාවහන් ඉවත ලූ දෙපා මේ තණ තිල්ල මත තියල දුවගෙන යන්න පුළුවන් වේවි..මට එහෙම හිතුන..කෙහෙ ‍රැළි හුල‍ඟෙ පාවෙද්දි එහෙම දුවගෙන යන්න මම ආසයි..

ඒත්...

ඊළඟට හිතට මෝදු වුනේ දුක... වෙන මුකුත් නිසා නෙවෙයි.. මම ඉපදුන මගේ රට මතක් වෙලා...මම කොයිතරම් ආස වුනත් මේ වින්දනීය අත්දැකීම මම ඉපදුනු මගේ රටේදි ලබාගැනීමේ අයිතිය මගෙන් උදුරගෙන..මම තනියම මේ වෙලාවෙ මේ ගං ඉවුරට ආව නම් මගේ රටේදි..
මම ආපසු නොයන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩියි.....

ඉතින් මේ නන්නාඳුනනා දේශයට මගේ හිතේ ලෙංගතුකමක් මෝදු වෙන එක කොහොමද නවත්තන්නෙ...

මගේ හිත මගෙන් ඇහුව...

මට උත්තරයක් නෑ දෙන්න..

ඒත් දකුණු ආසියානු බුද්ධි ගලනයට මේ සාධකයත් බලපානවදෝ කියල ආපහු එද්දි මට හිතුන...

http://www.flitemedia.com/

Sunday, March 21, 2010

සඳ ඉකිළන රාත්‍රියක...



සඳ ඉකිළන රාත්‍රියක
වීදි සරන සමනලියේ...
කොඳ මල් කැකුලක් පිපුනේ
නුඹෙ තනියට දෝ නොදැනේ...

අඳුරු වළා සළු අතරේ..
සඳවත කිමදෝ මැකුනේ...
මේ හිරු සඳු තරු යටදිම
"පැය" ට මිලක් නියම කෙරේ...


http://www.wallpaperez.net/wallpaper/beauties/Asian-girl-384.jpg

Friday, March 19, 2010

නොරිකො සං..........


යමනොතේ ලයින් එකේ
ටෝකියෝ යද්දි
නොරිකො සං මුන ගැහුණ
අද උදේ..
මළවුන්ගේ අවුරුදු දා,
දෙවෙන්දරා සං එනකන්
බලා ඉන්නව නම් නෙවෙයි,
ගොෂු ජින් එක්ක
වැඩට යනව...
වැ‍රැද්දක් කියන්නත් බෑ.......
නොරිකො සං ජීවිතේ තනි කරල
දෙවෙන්දරා සං ජීවිතෙන් සමුගත්තට,
නොරිකො සං ජීවත් වෙන්න ඕන නෙ...

ගොෂු ජින්- Her Husband


www.edupics.com/japanese-lady-t11873.jpg

Wednesday, March 17, 2010

අම්මේ........ඔබට දීර්ඝායු වේවා...


ඔබට මතක නැති-මට අමතක නැති
ඔබේ උපන්දින සමරන මොහොතේ..
මා හද පත්ලෙන් ඔබට පතමි මම
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...

සිහින සුරවිමන් අතරේ පාවෙන
සැඳෑ සාදයක මධු අතරේ නොව
සැබෑව දිදුලන ජීවිතයක් තුළ
සතුට සොයන්නට මා දිරිගැන්වූ
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...

විනය උගත්කම දැනුම වින්දනය
එක්කොට කලතා ජීවය දුන් ඔබ
මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්
සසර සරන තුරු මටම බැ‍ඳෙන්නට
වාසනා වේවා........

අම්මේ........ඔබට දීර්ඝායු වේවා...


http://www.mcnphotography.com/images/family/mother-daughter.jpg

Locus of control

Locus of control - තම ජීවිතයේ සිදුවීම්වල ප්‍රතිඵල කෙරෙහි, තමන්ගේ බලපෑමෙන් ඔබ්බෙහි වන බාහිර බලවේගවලට වඩා තමන්ටම පාලනයක් ඇතැයි පුද්ගලයන් විශ්ව...