Wednesday, May 29, 2024

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට... සිත් විය කප් අග හිරු පායන තුරු...

ඔහු හමුවන දින වනවිට බොහෝ යුවතියන් මෙන්ම මා ද යෞවන ප්‍රේමය අත්විඳ තිබිණ.

ප්‍රේමය යයි මා සිතූ මා පැතූ සියල්ල ප්‍රේමය නොවන බව ඉතා වේදනාත්මක අත්දැකීම්වලින් වටහා ගෙන සිටි නමුත් ඒවා වේදනාත්මක අත්දැකීම් මිස ජීවිතයට සහකරුවකු උවමනා නොවන බව සිතීමට තරම් ඒවා මසිත රිදවා, මා බිඳවා දැමූයේ නැත.

නමුත්, මට ඔහුව මුලින්ම මුණගැහුණේ ඉතාම සාම්ප්‍රදායික ලෙසින් මංගල යෝජනාවක් සමගිනි. අඳුරුපැහැ සමක් හා බැඳුනු සුන්දරත්වයට කවදත් ආශා කළ මසිත මුලින්ම ඔහුගේ රුවට ඇලුණු බව සඟවාගන්නට මට ඇවැසි නැත. රුවට බැඳෙන බාහිර ආකර්ෂණයක් ප්‍රේමයම විය යුතු නැති බව මා දන්නා නමුත් අද ද ඔහු රුවට ඇති ඇල්ම මා සිත එලෙසින්ම පවතී. 

රුවට ඇළුන සිත ඔහුට බැඳුනේ, ඉතාම පැහැදිලි අයුරින් නමුත්, පුරසාරම් දෙඩවීමක් නොවන ලෙසින් ඔහු සිය අනාගත බලාපොරොත්තු මා සමග බෙදා හදාගත් මොහොතේය. සිය දිවිය මා හා, මගේ සහකරු ලෙසින් ඉදිරියට ගෙනයාමේ ඔහුගේ අප්‍රකාශිත සිතුවිලි ඔහු තුළින් මා කියවූ බැවිනි. 

කවදත් ඉතා නිදහස් ලෙස ජීවත් වූ, මගේ ජීවන වියදම මා විසින් ඉපයූ මා, කිසිදින මා වෙනුවෙන් ස්වාමි පුරුෂයෙකු බලාපොරොත්තු වූයේ නැත. මා සෙවූයේ ජීවන ගමන යන්නට සහකරුවෙකි. ඔහු මා සෙවූ ජීවන ගමන යන්නට සුදුසු ම සහකරු බව ඔහු මට නිහඬවම ඒත්තු ගන්වා තිබිණ. නිදහසේ ජීවත් වීමේ මගේ ආශාව හොඳින් අවබෝධ කරගත් ඔහු මා අකමැති කිසිවක් මගේ ජිවිතය තුළ මා කළ යුතු යයි නොසිතීය...අද ද නොසිතයි.

ඔහු එතරම් දොඩමළු මිනිසෙක් නොවේ. ප්‍රේමය උත්කර්ශයට නංවා මා ආකර්ෂණය කරගත් මිනිසකු ද නොවේ. නමුත් ඔහු සහකාරියකට විය යුතු පරිද්දෙන් ආදරය හා ගෞරවය දැක්වූ මිනිසෙක් විය. ඔහු හා නොබියව තුන් මසකින් විවාහ වීමට මා පෙළඹුනේ ඇයිදැයි මා අද ද නොදන්නා නමුදු ඔහු නිහඬවම මසිත විශ්වාසය ජනිත කළ බව මම අද ද සිතමි. 

අප හමුවූයේ මංගල යෝජනාවක ප්‍රථිඵලයක් ලෙස වුණු නමුත්, අප විවාහවන බව තීරණය කළේ එක්තරා දිනෙක තනිව හමුවූ අප දෙදෙනා විසිනි. තුන් මසක ඇසුරකින් විවාහයකට ගිය අප වෙනුවෙන් ඉන් ඉදිරියට විවාහ ජීවිතයක් ගොඩනගා ගැනීමේ දරුණු අභියෝග සහිත  කාලච්ඡේදයක් ගොඩනැගෙමින් තිබිණ. 

මාත් ඔහුත් අතර විවාහය සිදුවුණේ ඔහුගේ ජීවිතයේ විශේෂිත කාලපරිච්ඡේදයක් තුළය. ඒ වනවිට රටින් පිටව යාමේ අදහසින් සිය රැකියාවෙන් ඉල්ලා අස්වී සිටි ඔහු සිය ජීවිතයේ ආර්ථිකව අස්ථාවර කාලයක් ගතකරමින් සිටියේය. අපගේ විවාහයත් සමගින් ඒ අදහස අත්හළ ඔහුට නව රැකියාවක් සෙවීමට සිදුවිය. විවාහයෙන් දෙමසක් තුළ ඔහු නව රැකියාවක් සොයා ගත්තත් ඉතා කාර්යබහුල ජීවිතයක් ඉන් ඇරඹිණ. 

රැකියා ස්වභාවය නිසාම මසකට වරක්වත් නිවසට නො එන සහකරුවකු හා මම ජීවන ගමන ඇරඹුවේ මන්දැයි ඉන් අනතුරුව මා සිතූ වාර ගණන අනන්තය. ජීවිතය කිසි විට රෝස මල් යහනක් නොවීය. නමුත් විවාහය යනු එක් වරක් පමණක් මා ඊට ඇතුළත් විය යුත්තකැයි සිතා තිබූ මා ජීවිතය යහපත්ව ගොඩනගා ගැනීමේ අපමණ සටනට ඇතුළත් වුණෙමි. හඳුනන නොහඳුනන බොහෝ දෙනෙක් ඒ සටනට උදව් දුන් බව මා සටහන් කළ යුතුය...

නමුත් විවාහයක් ගොඩ නැගීම විවාහයකට ඇතුළත්වීමට වඩා බොහෝ අපහසු විය... එකම සැනසීම වූයේ විවාහය ගොඩනැගීමේ ලා ඔහු දැක්වූ අවංක උත්සාහය පමණි.




Tuesday, May 28, 2024

ආලය ප්‍රේමය රාගය නැති දා... මේ මනුලෝකය කෙලෙස ද පවතින්නේ...

චේජනාගේ පිටුව ඇරඹුනේ ද ජීවිතයේ එක පරිච්ඡේදයක මා තනිව ජීවිතය ගතකරන මොහොතකයි... නැවත ද ජීවිතයේ මා තනිව ගතකරන පරිච්ඡේදයක මගේ සිතුවිලි අකුරු කර නිමවන සොඳුරු මතක සටහනක් නිර්මාණය කරගැනීමේ ලා චේජනාගේ පිටුව නැවතත් ලියන්න මට සිතිලා... 

තනිව ජීවිතය ගත කිරීම එක්තරා විටෙක භාවනාවක් මෙන් ද තවත් විටෙක දුෂ්කර ක්‍රියාවක් මෙන්ද දැනෙනවා... නමුත් තනිව ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් ජීවිත ගමන ඉදිරියට යද්දී ගැටළු අභිමුව නොසැලී හිඳීමේ පන්නරය ද ලබාදෙනවා... ලොව ඇති සෑම දෙයක් මෙන්ම එයද සොබාදමේ නීතියට යටත්... එය සම්පූර්ණ්යෙන් ම ධනාත්මක නොවන අතර එය සම්පූර්ණයෙන්ම ඍනාත්මක වන්නේත් නෑ...

පාළුව, තනිකම වැනි හැඟීම් ද නිවිසැනසිල්ලේ විඳිය හැකියි... අනිත් අතින් සියළු මානව හැඟීම්වල පොදු ලක්ෂණය වන්නේ ඒවා එක් මොහොතක විඳිනු ලබන තීව්‍රතාවය කාලයත් සමග අඩුවීයාමයි... මේ හැඟීම් මෙම මෙහොතේ විඳින තීව්‍රතාවය අද සටහන් නොකළහොත් පසුව ඒවා කාලච්ඡේද ලෙස මතකයේ පවතිනු මිස එදා විඳි හැඟුම් ලෙසින් දැනී යාම නවතිනවා... 

 කෙසේ නමුත් විවාහයක් අරඹා පුරා දසවසරකටත් වඩා පවත්වා ගෙන යාමෙන් පසු මා නැවතත් තනිව... 

මා හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ ඔහු ලෝකයේ ඈත කෙළවරක තනිවත්... ඔහු හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ මා ලෝකයේ තවත් කෙළවරක තනිවත් ජීවන ගමන ගෙනයනවා...

සන්නිවේදනය බොහෝ දියුණු බැවින් එදා චේජනාගේ පිටුව අරඹන දිනවල තිබූ තනිකම අද නොදැනුනත්... ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු ළඟ නැතිවිට දැනෙන තනිකම අද මසිත වෙලාගෙන...

එසේ තනිව සිටින අනන්ත සහකාරියන් අතරින් මා එක් අයෙකු පමණයි...

එනමුත් ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු අතපොවන මානයේ නොමැති තනිකම සහ විවාහයක් පවත්වා ගෙන යාමේ රෝසමල් අතුළ මාවතක නොපැමිණි අනාගතයේ ද නොපැමිණෙන බව දන්නා ජීවන කතාවේ සටහන් මෙහි ලියවෙනවා...

හරියටම ඔහු හමුවී තුන්මසකින් මාසිත බැඳුනු ඔහු හා විවාහ වී දසවසරක් අනේක සිදුවීම් මැද ගතව ගිය විවාහ ජීවිතයක මතක සටහන් මෙහි සටහන් වනු ඇති...

අනෙක් අතින් කවදා හෝ දිනක අප නැවත එක්ව සිටින විටෙක අප වෙන්ව සිටි කාලයේ මට දැනුන තනිකම මට සිහිකරන සටහනක් ලෙසත් එය වෙබ් අවකාශයේ රෑඳී පවතිනු ඇතයි මා සිතනවා...

ඔහුත් මාත් වසර කිහිපයකට වෙන්ව සිටීම මගේ අකමැත්තෙන් ඔහු ගත් තීරණයක් නොවේ... විවාහයකින් දෙදෙනෙක් බැඳෙන නමුත් ඒ දෙදෙනා  තම ජීවිතය පිළිබඳව තවත් බලාපොරොත්තුත් ඇති දෙදෙනෙක් බව අවබෝධ කර ඔහු මා හා විවාහවීමට පෙර සිටම සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමේ කඩයිමක් ලෙස මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් සඳහා අප වෙන්ව සිටීමක් පමණයි... 

ඒ තීරණය ගැනීමේදී ඔහුට එකඟවීම හෝ නොවීමේ තීරණය ගැනීම සඳහා මට බලපෑවේ ද කරුණු දෙකක් පමණයි... ඒ මගේ වෘත්තියට ආදරය කරන මා මගේ වෘත්තීය සාර්ථකත්වය ළඟා කරගැනීමට ගත් පියරවල්වලදී ඔහු සැබෑම සහකරුවෙකු ලෙසින් මා දිරිමත් කළ බවත්... දිනෙක සිය වෘත්තීය සාර්ථකත්වය ලැබූ, ජීවිතය පිළිබඳව තෘප්තිමත් මිනිසෙකු ලෙසින් ඔහු සිය දිවිය අවසන් කරනු දැකීමේ මගේ ආශාවත්...

එබැවින් මා ගත් තීරණය පිළිබඳ පසුතැවිල්ලක් නැතත් ඉන් පාළුව තනිකම හා එහි වේදනාව නැති වන්නේ නෑ...නමුත් එය මිහිරියාවක් පිරුනු නිරන්තර වේදනාවක්...

ප්‍රේමය සැමවිටම උත්කර්ෂයට නංවා ප්‍රදර්ශනය කරන හැඟීමක් වියයුතුම නෑ... එදිනෙදා ජීවිතයේ ඉතා කුඩා ක්‍රියාවකින් හෝ එක් ආදරණීය ඇමතුමකින් ඉතා උත්කර්ශවත් යමකින් ලබාදිය නොහැකි තෘප්තිමත් බවක් කෙනෙකුට ලබාදිය හැකියි...

ප්‍රේමය වයින් වැනියයි මා කොතැනක හෝ කියවා තිබෙනවා... පරණ වන තරමට ප්‍රේමය රසවත්...



Monday, May 27, 2024

කෙලෙස අදහා ගනිම්දෝ දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන්...... දේවතා එළියෙන්......


ගොඩාක් කාලෙකින් ආපහු... තනිකම විසින් ආයෙම චේජනාගේ පිටුව ළඟට ගෙනත්...

මෑත කාලයේ මා දුටු අපූරු ගී පද රචකයෙක් විසින් රචනා කළ ගීයක්.. ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි..

මට කියන්න තියෙන හැම දෙයක්ම ගී පදවලින් කියවෙන ගීයක් නිසාවෙන් ම චේජනාගේ පිටුවේ ගීතය සටහන් වෙනවා...

දිසාපාමොක් ඇදුරුතුමනේ...

තක්සලාවෙන් යන්න අවසර...

හොඳම සිසුවිය නොවී මගහැර

රැගෙන යන්නම් කුමරි බඹසර


පුරා සූසැට කලා අබරණ 

රන් පදක්කම් දිනා ගෙල පළඳන් 

උපාධියෙ කළු කබායෙන් 

කෙසේ සඟවම් රතු පළස් මත 

තිබෙන කඩතොළු තැන්...


උපදවා බැති පෙම් හැඟුම් 

නොරිදවා ගුරුසිත අකුරු කරමින්..

කෙලෙස අදහා ගනිම්දෝ 

දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන් 

දේවතා එළියෙන්....


ගී පද සටහන් කළ පසු මට කියන්න කිසිවක්ම ඉතිරි නෑ....



Monday, February 25, 2019

මෙහෙයවන සෙනෙහස...




අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් කියවා දැන ගැනීමට සිදුවන අවස්ථාවක මම කියවා සොයාගත් තොරතුරු ටිකක් මේ.  සිදුවීම මසිත කම්පනය කළ නිසාත්, තොරතුරු කාට හෝ ප්‍රයෝජනවත් විය හැකි නිසාත් පුද්ගල අනන්‍යතාව සඟවමින් කතාව මෙහි ලියවෙනවා...

ඒ කතාව අනුව ඇය සතු ඉතාම ආදරණීය පෙම්වතෙක් සිටිනවා... ඇය ඔහුට ඉතා තදින් පෙම් කරන අතරම ඔහුත් බොහෝවිට ඇයට ඉතා තදින් පෙම් කරනවා... නමුත් ඇතැම්  අවස්ථාවලදී ඔහු ඇගේ ජීවිතයට සීමා ඉක්මවා අත පොවමින් ඇගේ අධ්‍යාපන කටයුතු පවා අවුල් කරනවා... ඇය ඔහුට පෙම් කළත් ඇතැම් බලපෑම් කළමනාකරණය කරගැනීම ඇයට ඉතා අපහසුයි... ඒ ඇගේ කතාව...ඉතාම කෙටියෙන්...

මට කිසිදා ඔහුගෙ කතාව අසන්නට ලැබෙන්නේ නෑ...

කතාව ඒක පාර්ශ්වික නමුත් ඒ විස්තර කළ ඇතැම් ලක්ෂණ හඳුනාගෙන ඇයට සහනය ලබාදීම හෝ එමගට යොමුකිරීම මගේ වගකීම වුණා...

ඒ ඇතැම් විශේෂ ලක්ෂණ පිළිබඳව අවදානය යොමු කිරීමේදී හා ඒ පිළිබඳ තොරතුරු සොයා අන්තර්ජාලය පිරික්සීමේදී ඒ තොරතුරු හා සමවන ලක්ෂණ සහිත සබඳතාවල පෙම්වතා බොහෝ විට පාලනය කිරීම හා හැසිරවීම යන චරිත ලක්ෂණ සහිත පුද්ගලයෙකු බව කියවන්නට ලැබුණා...

එහි මා දුටු ඉතාම අවදානම් සහිත ලක්ෂණය නම් එවන් පුද්ගලයන් සෑමවිටම ප්‍රචණ්ඩ ලෙස ක්‍රියා කිරීම සිදුවන්නේ නෑ...
ඔහු හෝ ඇය බොහෝවිට තමා දුර්වල බව අඟවමින් තම සහකරු භාවාත්මක මෙහෙයවීම ක නියලෙනවා... එහි අවසානය වන්නේ අනිකාට රිදවීම තම වරදක් ලෙස සලකමින් මේ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ සහකරුවන් තමා විසින් තමා වරදකරු කරගනිමින් ඉතා දැඩි මානසික පීඩනයකට ලක්වෙමින් සබඳතාවය තුළ රැඳී සිටීමයි...

ඊට අමතරව ඔවුන් තම සහකරු ඇගේ හෝ ඔහුගේ මිතුරන්ගෙන් නෑදෑයන්ගෙන් ඈත් කිරිමට ද පෙළඹෙනවා... මේ කතාව මා වෙත ගෙනා අයට ද නිවාඩුවට සිය නිවසට යාම පිළිබඳව පෙම්වතාගේ අකමැත්ත හා තදින් ගැටීමට සිදුව තිබුණා...

මේ සා විසල් ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ හැකියාව මට නොතිබුණ නිසා සිදුවීම අදාළ මගට යොමු කළත් එහි කම්පනය නිසාවෙන් හා තොරතුරු යමෙකුට ප්‍රයෝජනවත් විය හැකි නිසා සටහන් කෙරෙනවා...

Thursday, January 17, 2019

අමදින්නී...

නුපුරුදු පරිසරයෙ නුපුරුදු මිනිස්සු අතරෙ නුපුරුදු ගැහැණියක් විදියට ඈ මට මුණ ගැහුනෙ....

ඇගේ රූපය මට මතක් කළේ සුරංගනා කතාවල නපුරු මන්තරකාරිව...

මූණෙ රැවුල වැවුණු ගෑණු නපුරුයිළු...මූසලයිළු...
ඕව මම පුංචිකාලෙ ලොකු මිනිස්සු කියනව ඇහුණ කතා...

ඈ මුල්ම දවසෙ දැක්කම මට ඒ කතා මතක් වුණා...

------------------------------------------

 
මූණ බැලුවට ඈ මාත් එක්ක හිනාවුණේ නෑ...
ඒත් මම ඇරුණු ජනෙල් පියනෙන් දිගටෝම ඈ දිහා බලාන හිටියා...

මිදුල් කෑල්ල අතුපතු ගාල ඉවරයි... කුණු අස්කරන්නම ගන්න තියාගෙන තියෙන කවුදෝ අහක දාපු ඇඳඇතිරිල්ල උඩට කුණු ටික එකතු කරගෙන ගිහින් අහකට දාල,

ඈ යන්න ගියා...

-----------------------------------------

ඔවුන්ගෙ සුපවයිසර්වරයත් ගෑණු කාණ්ඩෙ වට කරගෙන සුපවයිස් කරන තණකොළ කැපිල්ලට, වත්ත සුද්ද කිරිල්ලට ගන්න කණඩායමට ඈ ඇතුළත් වෙන්නෙම නෑ... ඒ කණ්ඩායමට ඇතුළත් නොවුණදාට වෙනද ඒකට ඇතුලත් වෙන ගැහැණු සුපර්වයිසර්වරයට බනිනව...

 "මෙච්චර අතුගාන්න ඉන්නෙ අපි දෙන්නයි... සුපවයිසර් මහත්තය එතන ගෑණුටික වට කරගෙන කතාව" කියල...

කිසිම දවසක කට්ටියත් එක්ක එකතු වෙලා කාටවත් බැන බැන ඉන්නව දකින්න නොලැබෙන මේ ගැහැණියගෙ විරූපි රූපය අබිබවා ඇගේ සුහදශීලීබව මගේ හිත ගත්තෙ කාලෙ ගතවෙද්දි...

ඈ බොහොම පාන්දරින් ඇවිත්...වෙනදටත් වඩා උදෙන් ආපු මාත් එක්ක ඈ හිනා වෙන්නෙ බොහොම සුහදශීලීව...

-----------------------------------------

"මට දවසකට රුපියල් 700 ක් ම හම්බවෙනව සර්..." ඈ කෙනෙක් එක්ක දවසක් එහෙම කිව්වෙ බොහොම තෘප්තියෙන්...

ඈ සුවිශේෂියි කියල මට හිතුනෙ එදා...

------------------------------------------

Tuesday, January 1, 2019

After he became my life partner...

ජනවාරි මාසෙ පළමුවෙනිදා... කාලයක් තිස්සෙ නිහඬව තිබුන වියුණු සටහන් ආයෙමත් ලියන්න මට හිතිලා...





මෙච්චර දිග කාලයක් වියුණු සටහන් නිහඬ වුණේ හිත ගොළු වුණ නිසා... ප්‍රේමය දෙතොල් අගුළු දාන හැඟීමක් වෙලා නෑ කිසිම දවසක මගෙ හිතේ... මගේ වුණත් අනුන්ගෙ වුණත් ආදර හැඟුම්, අත්දැකීම් හැමදාමත් මගේ හිත ඇතුළෙ කවි වෙලා ලියවුණා...

ඒත් මල්ඵල දරපු ආදරය විවාහයක් වෙලා පෙම්වතා මට සදහටම අයිති වුණාම, ආදර හිත ගොළු වෙලා ආදරය වචන කරන්න බැරි අවුරුදු පහක් මම විවාහය ඇතුලේ ආදරේ කළා. ඒ කාලය ආදරය හා විවාහය ගැන මගේ හිතේ තිබුණු ගොඩක් අනුමාන කිරීම් ගැන නැවත හිතල බලල තීරණය කරන්න, ඇත්තටම මම මගේ විවාහය ඇතුළේ මම විදියටම ඉතිරි වුණාද කියල ආපහු නැවතිල්ලේ හිතල බලන්න ගත කළා.

විවාහයෙන් අවුරුදු පහකට පස්සේ අද මම අවබෝධ කරගෙන ඉන්නේ විවාහය කියන්නේ එකිනෙකාගේ සිහින සැබෑ කරගැනීමට යන ගමනේ මුහුණ දෙන දුක් පීඩා බෙදා ගන්න සහකරුවෙක්, හිතට දැනෙන දේ ඒ විදියටම කියන්න විශ්වාස කෙනෙක්, හැම දෙයක්ම නැතිවුණත් එන්න තැනක් තියනවා කියල දැනෙන මහා විශාල සවිමත් බවක් දෙන්න කෙනෙක් ජීවිතේට එකතු වුණා කියල.

ඒත් ඉතින් මේ විදියට දැනෙන්නේ, ජීවිතය පැය තුනක චිත්‍රපටියක් නොවෙන බව අවබෝධ කරගන්න තරම් පරිණත නම්, මට වගේම මගේ සහකරුටත් මේ විදියටම දැනෙන්න මම ජීවත් වෙන්න ඕනේ බව අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් නම්... ඔහුටත් මට වගේම දුක වේදනාව දැනෙන බව තේරුම් ගන්න තරම් කරුණාවන්ත නම් විතරයි...




Monday, November 25, 2013

මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද එදා මගේ හිත පිරිමැදපූ...




නිල් අහස පුරාවට තරු ඉහිරෙද්දි
රහස් කතා කර සිනාසුනු
ගගන එකළු කර සඳ පායද්දී
සඳ සෙවණැල්ලට මුවාවුණු
නුඹ කතා නොකර ඉන්නා එක දවසට
කල්ප කාලයක් සේ දැනුනු
මේ එදා තුරුළු වී අනන්තයට ගිය
රාත්‍රියද සිහිනය රැඳුනූ

එක නිමේෂයක දිලි දිලී මැකී යන
රන් රේඛාවක් සේ ඇඳූනු
නෙතු පියන් වැසූන එක නිමේෂයක
සිත ගෑ අඳුනක් සේ මට දැනුනු
ගල කෙටූ ලෙසින් මා හදේ නිදන් කර
සදා රකින්නට හිත රැඳුනු
මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද
එදා මගේ හිත පිරිමැදපූ

තර්කයෙන් ඔබ්බට - Humanity beyond logic

තාර්කිකව හා විශ්ලේෂණාත්මකව සිතීම ප්‍රමුඛ කරගන්නා මිනිසුන් සංඛ්‍යාවෙන් සාපේක්ෂව අඩු බව මම දකිමි. එය හුදෙක් අහඹු සංඛ්‍යාලේඛනික විෂමතාවක් ලෙස ම...