Wednesday, July 13, 2011

හචිකො - දුම්රිය පොළට ආ බල්ලා

සිය ස්වාමියා සොයා දිනපතා දුම්රිය පොළට පැමිණි ජපන් බල්ලා පිළිබඳව ඇත්තේ සුප්‍රසිද්ධ කතාවකි. සම්පූර්ණ කතාව නොවුණ ද ඒ පිළිබඳව යම් කොටසක් මා ජපානයට එන්නට පෙර ද අසා තිබිණ. බල්ලන්ට ඉතාම ප්‍රිය නිසාම ඒ කතාව මගේ මතකයේ රැඳිණ.


හචිකෝ 1923 අකිටා ප්‍රදේශයේ උපන්,  අකිටා ඉනු වර්ගයට අයත් බල්ලෙකි. (අකිටා ඉනු තරමක් විශාල ලස්සන ජපන් බල්ලන් වර්ගයකි.) ටෝක්යො විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ මහාචාර්යවරයෙක් වූ හිදෙසබුරො උඑනො, හචිකෝ ගේ ස්වාමියා විය. සෑම දිනකම සවස ස්වාමියා කැඳවාගෙන ඒමට ශිබුයා දුම්රියපොළට යාම හචිකෝගෙ දින චර්යාවට අයත් විය. හදිසියේම මහාචාර්යවරයා මිය ගියේය. මහාචාර්යවරයාගෙ මරණින් පසුත්, සිය ස්වාමියා සොයා පුරුදු නිවසටම හචිකො පැමිණියේය. එහෙත් කාලයත් සමග තවදුරටත් සිය ස්වාමියා නිවසේ නැති බව වටහාගත් හචිකො ස්වාමියා සොයා දුම්රියපොළට පැමිණෙන්නට විය. හරියටම සිය ස්වාමියා පැමිණෙන දුම්රිය, දුම්රියපොළ වෙත ළඟා වෙද්දී හචිකො එහි විය. ක්‍රමයෙන් හචිකෝ ගෙ මේ පැමිණීම අන්මගීන්ගේ අවදානයට යොමුවෙත්ම ඔවුන් හචිකො වෙනුවෙන් කෑමට යමක් ගෙනවිත් දීමට පුරුදු වූහ. මේ අතර මහාචාර්ය උඑනොගේ සිසුවෙකුගේ අවදානයට ලක්වුණ හචිකෝ පිළිබඳ පුවත, ඔහු විසින් සවිස්තරව සොයා ටෝක්යෝ අසහි පුවත්පත වෙත යොමු කිරීමත් සමග ම ජපානයේ අවදානය මේ බල්ලාගේ අපූර්ව ස්වාමිභක්තිය වෙත යොමුවිය. මෙසේ වසර නවයක් හචිකො සිය ස්වාමියා වෙනුවෙන් ශිබුයා දුම්රිය පොළ  අසල ජීවත් වූයේය. 1935 මාර්තු 8 වෙනිදා ශිබුයා හි වීදියක මියගොස් සිටි හචිකෝ ගේ සිරුර හමුවිණ.

පිළිකාවක් හේතුවෙන් මියගිය බව සැලකෙන හචිකොගේ සිරුර උඑනෝ කෞතුකාගාරයේ සංරක්ශණය කර රඳවා තිබේ.


 1934 දී ශිබුයා දුම්රියපොළ ඉදිරිපිට නිර්මාණය කර ඇති හචිකෝගේ ලෝකඩ ප්‍රතිමාව අද ද එහි යන එන දෙනෝදහකට හචිකෝ සිහිපත් කරවමින් එහි රැඳී ඇත.


සෑම වසරකම අප්‍රේල් 8 වෙනිදා බල්ලන්ට ආදරය කරන්නන් විසින් ශිබුයා දුම්රියපොළ ඉදිරිපිට ට රැස්ව හචිකෝ සිහිකෙරේ.  
සෙයිජිරෝ කෝයමා විසින් අධ්‍යක්ෂණය කරන ලද 1987 දි නිර්මාණය කරන ලද හචිකෝ මොනගටරි (Hachiko monagatari) ජපන් චිත්‍රපටය හචිකෝගේ ජීවිත කතාව ඉදිරිපත් ක‍රයි.

15 comments:

  1. කළගුණ සැලකීම සහ තවත් හොඳ දේවල් හුඟක් අපිට බල්ලන්ගෙන් ඉගෙන ගන්න තියෙනව. මිනිස්සු කරන සමහර වැඩ වලට "බලු වැඩ" කියන එක සම්පුර්ණයෙන්ම වැරදිය්

    ReplyDelete
  2. Gimhani

    බෙහෝ වෙලාවට මිනිසුන්ට වඩා බල්ලන්ට මේ ගතිගුන පිහිටා තියනවා. ඉතා හොද ලිපියක්. ස්තූති...

    ReplyDelete
  3. "හචිකෝ මොනගටරි" (Hachiko monagatari) ජපන් චිත්‍රපටයේ , නැවත නිෂ්පාදනයක් 2009 දී , ඇමරිකාව නිකුත් කලා, "Hachi: A Dog's Tale" නමින් . Internet Movie Database (IMDb) එකේ මේ ෆිල්ම් එක 8/10 ක් අරගෙන තියන නිසා හොඳ ෆිල්ම් එකක් කියල හිතනවා. 2009 ඉඳන්ම මේක බලන්න කියල හිටියට තාම බැරි වුනා.හොයාගෙන බලන්න ඕන. ස්තුතියි චේජනා මතක් කලාට.
    -露

    ReplyDelete
  4. http://en.wikipedia.org/wiki/List_of_dogs#Faithful_dogs

    ReplyDelete
  5. මම මේ කතාව අනුසාරයෙන් හදපු ෆිල්ම් එක බැලුවා නංගී . . හරිම සංවේදී කතාවක් . . .

    ReplyDelete
  6. මං මේ හචිකෝ ගැන වෙන බ්ලොග් එකක ලියල අත ගත්ත විතරයි මේක දැක්කේ. මේ ගැන හදල තියෙන චිත්‍රපට දෙකම මන් බැලුව. හචිකොගේ ප්‍රතිරුපයත් දැක්ක. චිත්‍රපටි දෙකම පලපු අවස්ථාවල අපිට අඬන්න සිදු උනා. හචිකෝ ගැන අනිත් තොරතුරු මම දන ගත්තේ ඔබේ මේ ලිපියෙන් .. ස්තුතියි.. මමත් බල්ලන්ට ආදරය කරන ගොබිලෙක් .ඇවිත් මගේ බලු කතා ටිකක් බලන්නකෝ .

    ReplyDelete
  7. මම.. මීට සමාන කතාවක් කියෙව්වා දැන් දවස් 2-3කට කලින් ලංකාදිප පත්තරේ. ඒක ලංකාවේ උන එකක්..වදුරෙක් ගැන. රජරට පැත්තේ බස් ඩ්‍රයිවර් කෙනෙක් හැමදාම වදුරෙක්ට කෑම කන්න දීලා තියෙනවා.
    මේ ලගදී ඒ ඩ්‍රයිවර් මැරිලා. වදුරා එතනට එන හැම බස් එකකටම එබි එබි ඒ ඩ්‍රයිවර් හොයන විදිය පත්තරේ ෆොටෝස් එක්කම දාලා තිබුනා. පස්සේ දවසක.. එයා.. ඒ බස් එකේ වහලට නැග‍ලා කි.මී.33ක් (ඒ වගේයි මට මතක)දුර, ඒ ඩ්‍රයිවර් හොයා ගෙන ගිහින්ලු. ඒත් එදායින් පස්සේ ඒ වදුරා ආයෙ දකින්න ලැබිලා නෑලු.

    මට ඒ ෆොටෝස් දැක්කම ඇත්තටම දුක හිතුනා.
    ඒ වගේම මනුස්සකම දැන් තියෙන්නේ සතුන් අතර නේද කියලත් හිතුනා..කෙලෙහි ගුන අද මිනිසුන්ට බොහෝ දුරට මතක නැති හන්දා.

    ReplyDelete
  8. මාත් ඔය කතාව කියවල සහ ඉංග්‍රීසි සිනමාපටය බලල තියෙනවා . ආයි බලන්නත් හැකි .'' ස්කුබි ඩු'' එකේ බ්ලැක් සමුරායි කතාවේ අන්තිමට ස්කුබිගේ පිළිමයක් හදනවා නේද හචිකොගේ වගේ ස්තුතියි මතක් කලාට

    ReplyDelete
  9. කොහොමත් මිනිසුන් ළඟ නැති යහගුණ සතුන් ළඟ ස්ථිරවම තියෙන බව මමත් දැකල තියෙනව. බල්ල නැට්ට වනල ලෙවකනවනම් හැබෑම භක්තිය තමයි. ආදරය තමයි. ආයෙ හංගගත්ත හොර හිතක් නෑ, ඒත් මිනිහ? අම්මෝ...

    ReplyDelete
  10. Hachiko කියන සිනමා පටයත් තනලා තියෙන්නෙ මේ කතාතේමාව උඩයි චේජනා. මට බලන්න ලැබුනා. තමන්ගේ ස්වාමියාට තිබෙන සෙනෙහස අපූරුවර කියන ලස්සන කතාවක්. හරිම සංවේදීයි. ස්වාමියා මිය ගිය පසුත් හචිකො දුම්රියපොළට එන විදිය නම් නෙතට කඳුළු ගෙන එනවා..... තිරිසනෙකු තුල තම ස්වාමියාට තිබෙන ලැදියාව....

    ReplyDelete
  11. මම මේ ගැන මුලින්ම කියෙවුවෙ පහ වසරෙදි විතර මම කියවපු ලමා පත්තරේකින්. කාලයත් එක්කම ඒ සිදුවීම අමතක වෙලා ගියා. මීට වසර දෙකකට පමණ පෙර ගිය රූපවාහිනි වැඩසටහනකදී මේ පිලිමය පෙන්නුවට පස්සෙ මට මේ කතාව ගැන දැනගන්න ආස හිතුනා. හැබැයි ජපන් චිත්‍රපටිය හම්බවුනේ නෑ තවම. ඉංග්‍රීසි එකනම් ලැබුණා. හරිම සංවේදී වගේම දුක හිතෙන කතාවක්. :(

    ReplyDelete
  12. හචිකෝ ගැන තියෙන චිත්‍රපට දෙකෙන් මම සම්පූර්ණයෙන්ම බැලුවෙ ජපන් එක,හචිකො මොනගටරි,

    අනික බැලුවෙ ටිකයි, Hachiko: A Dog's Story ඉංග්‍රීසි චිත්‍රපටය, චිත්‍රපටයක් විදියට හොඳයි, ඒත් මේ කතාව ජපන් චිත්‍රපටය බලද්දි වඩාත් හොඳට දැනෙනව කියල මට හිතෙන්නෙ.
    ජපන් චිත්‍රපටය යූ ටියුබ් එකේ සම්පූර්ණයෙන්ම තියෙනව,

    ReplyDelete
  13. මමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නංගි. මගේ ගෙදර කට්ටියම හරිම ආදරෙයි බල්ලන්ට. අපේ ගෙදර ඉන්නෙ බිතෝවන් කියල ඩොබමන් බල්ලෙක්. එයාගෙත් අපෙත් අතර තියෙන බැඳීම හරිම පුදුමාකාරයි. ගතිගුණ හරියට මිනිසෙක්ගෙ වගේ. හොඳට හැම දෙයම තේරෙනවා. බොහොම ස්තුතියි මේ ගැන ලීවාට.

    ReplyDelete
  14. @ චේජනා,
    ඒක නම් ඇත්ත තමයි, ඉංග්‍රීසි චිත්‍රපටයට වඩා ජපන් චිත්‍රපටයෙ ගතියක් තියනව...

    ReplyDelete
  15. බල්ලා කියන සතාගේ ඇති බැඳීම නිසාම වෙන්න ඇති මිනිසාගේ හොඳම මිතුරා කියන්නේ. කවදත් වගේ දැණුමට යමක්, ස්තුතියි නංගී.

    මෑතකදී Gulf News පුවතේ පලවූ කතාබහට ලක් වූ තවත් කතාවක්.

    Family chooses to live apart for their pets' sake

    ...when Gayani Wijeyesekera's family was forced to leave their villa in Abu Dhabi and consider abandoning their 23 cats and dog — they chose to live apart and save them instead...

    http://gulfnews.com/news/gulf/uae/society/family-chooses-to-live-apart-for-their-pets-sake-1.836633

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...