Monday, August 8, 2011

කබඩ්වල රැකෙන පිඟන් බඩු

බොහෝවිට පිඟන් භාණ්ඩ හා සමීප ම සබඳතාව ඇත්තේ නිවසක ගැහැණියටයි. ගැහැණිය හා රන් භාණ්ඩ අතර සේම ගැහැණිය හා පිඟන් භාණ්ඩ අතර ද ඒ සබඳතාව තිබේ. නිවසක ආහාර පිළියෙළ කිරීමේ සහ පිළිගැන්වීමේ වගකීම ගැහැණියක් අත පවතී. ඒ නිසාම පිඟන් භාණ්ඩ එක් රැස් කිරීමේ ආශාව ද ඈ තුළ නිතැතින්ම ඇතිවනවා විය හැක. එහෙත් මා සිතන අයුරින් නම් රන් භාණ්ඩ ප්‍රවේශමට වඩා ඇතැම් විට පිඟන් භාණ්ඩ ප්‍රවේශම අපහසුය. අපේ අම්මාට අනුව නම් පිඟන් භාණ්ඩවල වටිනාකම සම්පූර්ණ පිඟන් භාණ්ඩ කට්ටලය එකට පවතිනතුරු පමණකි. එක් පිඟානක් කෝප්පයක් බිඳුන පසු එහි වටිනකමක් නැතැයි ඈ කියන්නීය. ඒ නිසාම ඇගේ පිඟන් බඩු කට්ටල හා අන්තර් සබඳතා අවම වන තරමට ප්‍රවේශම් සහගතය.


පෝසිලේන් හා පිඟන් භාණ්ඩ කෙරේ මා සිත ද උමතු ආශාවක් ඇත. එහෙත් එය අම්මාගේ ආශාව මෙන් නොවේ. මා ආසා කරන හැඩයේ හා රටාවේ එක බඳුනක් ලබාගත් පමණින් මගේ ආශාව සන්සිඳේ. ඊට වඩා එකක්වත් මට අනවශ්‍යය. එවිට ඒවා මට කරදරයක් වන බැවිනි. මගේ මේ ආශාව නිසා තැන තැන දකින පිඟන් භාණ්ඩ ප්‍රදර්ශනවලින් බඩු මිලදී ගැනීම මට රිසිය. ලොකු සාප්පුවලින් කට්ටලයක එක බඳුනක් අලෙවි නොකරන බැවිනි. වරක් මම ආසා කරන ආකාරයේ කෝප්ප දෙකක් වර්ග දෙකකින් මිලදීගත් මට අම්මා බොහෝ දොස් පැවරුවාය. එහෙත් මම රට හැර ඒමෙන් පසු අපේ ගෙදර ගිය, ඇගේ තක්සේරුවට අනුව එක බැගින් ඇති නිසා නොවටිනා, මගේ ඒ පිඟන් කෝප්ප නිවසේ එදිනෙදා භාවිතයට එක්ව තිබෙනු මා දිටිමි.

අම්මලා එක්‍ රැස් කරන පිඟන් භාණ්ඩ ඒවායේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගෙවා දමන්නේ කබඩ්වලය. ඒවා පාවිච්චියට ගැනෙන්නේ එහෙමත් අවස්තාවක පමණි. අනිත් අතින් ලොව ඉතාම අගනා පෝසිලේන් නිෂ්පාදකයෙක් ලෙස සැලකෙන දංකොටුව පෝසිලේන් සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියෙහි කියන්නේ ද ඒ නිෂ්පාදන විශේෂිත වෙළඳපොළක් සඳහා බවයි. ඒ නිසාම මිලෙන් ද ඉතා අධික වේ.


බොහෝවිට මට ආසා හිතෙන පෝසිලේන් හා පිඟන් බඳුන් ප්‍රමාණයෙන් ඉතාම කුඩාය. මා ආසා කරන අයුරින් නන් හැඩැති එවන් බඳුන් ඇතිතරම් මා ජපානයේ දී දුටුවෙමි. කිසිදු පලකට නැතැයි අම්මා කියන, එහෙත් ඉතාම සොඳුරුයයි මට සිතෙන එවන් බඳුන් රැසක් දැන් මා සතුය. ඇතැම් විට කුමක් සඳහා භාවිතා කෙරේදැයි මා පවා නොදන්නා කුඩා බඳුන් ද මා සතුවේ. ඉතාම කුඩා එහෙත් සුන්දරම පෝසිලේන් කට්ටලයක් ජපානයේදී 'සකෙ' පිළිගැන්වීමේ දී භාවිතා කෙරේ. ජපන් පිඟන් භාණ්ඩ අතර මා වඩාත්ම ප්‍රිය කරන්නේ එයයි. ඒ හැර බත් කෑමට යොදාගන්නා කුඩා කෝප්ප ද බොහෝ හුරුබුහුටිය. හතරැස් හැඩයේ පිඟන් ද කෝපි කෝප්ප ද මා ප්‍රිය කරන පිඟන් බඩු අතරට එක්වේ. පෝසිලේන් හෝ පිඟන් මල් බඳුන් නම් මගේ හිත ගත් අවස්ථා නැති තරම්ය. මල් බඳුනක් මැටියෙන් නිමවූ විට  එය රළු වූ නමුත් මල්වල මිහිර ඊට වඩා මතුකර පෙන්නවන්නට සමත් යයි මට සිතෙන බැවිනි.

මා පිඟන් බඩු මිලදී ගන්නේ පිඟන් බඩු කබඩ්වල දමා පරෙස්සම් කිරීම සඳහා නොවේ. එදිනෙදා පාවිච්චිය සඳහාය. බඳුනට මගේ ආශාව තිබෙන තුරුම එය නිතොරවම පාවිච්චි වේ. මුලදී සුදුපැහැ පිඟන් බඩු පාවිච්චිය මට කරදරයක් වූයේ ඒවා පාවිච්චියෙන් පසු සේදුවත් ටික දිනකදී තරමක් කහට පාට වන නිසාය. එහෙත් දිනක් අහම්බෙන් ඊටද විසඳුමක් ලෙස තරමක් තනුක ක්ලෝරීන් දියරයක් ඒවා සේදීමට යොදාගත හැකි බව දැනගත්තෙමි. එහි තරමක් වේලා බහා තැබූ පසු ඒවා පෙර පරිදිම පැල්ලම්වලින් තොරව පිරිසිදු වේ. ආසාවෙන් පාවිච්චි කරන නිසාම පිඟන් බඩු මා අතින් බිඳීයනවා අඩුය. දරුණුම ජපන් භූමි කම්පාවෙන් සැලුණ ද බිඳීගොස් තිබුනේ නිවසේ තිබූ පිඟන් බඩු කිහිපයක් පමණි.

14 comments:

  1. පේන විදිහට නං ඔයාගේ අම්මා වම් මොලකාරියක්. නිසි නීති පද්ධතියකට අනුව කටයුතු කරන්නියක්. එකනේ එක බඳුනක් හරි කැඩුනොත් කට්ටලෙන්ම වැඩක් නැහැ කියන්නේ. ඔයා ඒකෙ අනික් පැත්ත. යම් කට්ටලයක අයිතිය ලබනවට වඩා නිර්මාණාත්මක එක බඳුනක හැඩ බලන්ඩ කැමති දකුණු මොලකාරියක් වීම නිසයි.

    ReplyDelete
  2. මම උදේ මේක කියෙව්වහම මටත් මතක් උනේ අපේ අම්මාවයි. ඈත් ඔයාගෙ අම්මා වාගෙම මේ වගේ මුලු සෙට් එකම එකතුකරනවා. මම නම් මේවාට තියෙන ඇල්ම ගොඩාක් අවම කරලා. මටත් මේවයෙ වටිනාකමක් දැනෙන්නේ නෑ. පුංචි ලස්සන දේවල් වලට මාත් කැමතියි. අපේ අම්මා ළඟ ලෝකයේ විවිධ රටවල පෝසිලේන් භාණ්ඩ තියෙනවා. ළගදී මම අන්තිම කැමැත්ත ලියාතබන්නට කීවා මේවා බෙදෙන අයුරු ගැන. විහිලුවට කීවේ. මම පවුලේ වැඩිමලා නිසා මට පසුවට කරදර වෙයි කියලා. හිනා උනා කට්ටියම. මොකද අම්මා එකතු කරපු බඩු ඒ තරම්ම ලස්සන ඒවා නිසා. පුංචි දෙයකින් සැනසෙන්නට මට පුලුවන් උනාට අනෙක් අයට එහෙම බැරි වෙයිද? දන්නේ නෑ.
    ක්ලෝරීන් දියරින් පිඟන් භාණ්ඩ පිරිසිදු කිරීමට පුලුවන් බව මම ඉගෙනගත්තේ සැම්බියාවේදී. ඔයාගෙ අල්පේච්චතාවය අගය කරනවා නංගී.

    ReplyDelete
  3. අපේ මිනිස්සුන්ගේ ගෙවල්වල තැන්පත්වෙලා පාවිච්චි නොවී තියෙන පිඟන් බඩු මන් හිතන්නේ රටේම මිනිස්සුන්ට කන්න දෙන්න ඇති.. මට නම ඔය කන්න ඉන්න යට අවශ්‍ය ප්‍රමාණයට තිබ්බ නම් ඇති.. අපේ හාමිනේට නම් එහෙම බැහැ.. ඔන්න ඉතින් අපිත් අර ගනයේ තමයි..

    ReplyDelete
  4. හරිම සුන්දර ලිපියක්... :)

    ReplyDelete
  5. පොත් ගුල්ලා, පිඟන් බඩුවලට තියෙන ආසාව පිටිපස්සෙ එච්ච්‍ර බරපතල වෙනසක් තියෙනව කියල මම කොහොමටත් හිතුවෙ නෑ..

    ReplyDelete
  6. මේ විස්තර කියවද්දි පරණ කාලේ පෙට්ටගම් මතක් වුනා.

    දංකොටුව පිඟන් නිෂ්පාදන ඉහළ පෙලේ සාප්පුවල වැජඹෙන උජාරුව දකින කොට ආඩම්බරයක් ඇතිවෙනවා, ඒ වගේම දුකක් ඇතිවෙන්නේ අපේ අනෙක් පිඟන් නිෂ්පාදන දියුණු නොකළේ ඇයි කියලා. දංකොටුව කම්හල පටන් ගත්තේ නොරිටාකී කියන ජපන් සමාගම හා ලක් පිඟන් හවුල් ව්‍යාපාරයක් හැටියට වගේ මතක, පසුව ජපන් සමාගම යටතට ගියත් දිගටම දංකොටුව වෙළෙඳ නම පවත්වා ගෙන යනවා.

    අරකී පුංචි පුංචි පිඟන් හා වීදුරු භාණ්ඩ වලට නම් හිත් ඇදෙනවා තමයි. ඒත් ඉතිං පරිස්සම් කරන්න ගියාම තමයි ප්‍රශ්ණය.

    තවද තනූක ක්ලෝරීන් වෙනුවට ගෙදර දොරේ පාවිච්චියට ගන්න දියර බ්ලීච් (bleach - බෙහෝවිට ක්ලෝරීන් අන්තර්ගතයි) ද පාවිච්චි කරන්න පුලුවන්.

    ReplyDelete
  7. චන්දි අක්කෙ, ඔයා සරල දේවල්වලින් සැනසෙන්න පුලුවන් කෙනෙක් කියල මට දැනිල තියෙන්නෙ ගොඩක් කල් ඉඳන්

    ReplyDelete
  8. සරත් ලංකාප්‍රිය,

    මොනව කරන්නද ආය අපි කිව්ව කියල කවුරුත් ඕව එකතු කරන එක නවත්තනව කියලයෑ, නැත්නං දැන් උත්සවේකටත් පිඟන් බඩු කුලියට ගන්නත් පුලුවන්කමත් තියෙද්දි, ගොඩක් උත්සව ගෙදරවල්වල පවත්වන්නෙ නැතිවත් තියෙද්දි පිඟන් බඩු එකතු කරන සිරිත එහෙම්ම නෙ...

    හේරත්,
    ඔය ඉතින් එකේක දවසට මතක් වෙන අපේ කියුම් කෙරුම් තමයි, :)

    ReplyDelete
  9. ගල්මල් අය්යෙ,
    ගොඩක් අරන් ඕව පරෙස්සම් කරන්න බැරි නිසානෙ එකක් ගන්නෙ, අනික ඒක කන්න බොන්න පාවිච්චි කරල බිඳිල ගියත් හිත හදාගන්න පුලුවන් නෙ, කබඩ් සරසල නෙවෙයි නෙ කියල... :)

    ReplyDelete
  10. අපේ ගෙදර උන්දැට නම් මම කියල තියෙන්න ගෙදර පාවිච්චියට ඕනැ තරම් වලං පිඟන් ගන්ටය හැබැයි පෙට්ටි වල දාල තියන්න වලං පිඟන් අරන් දෙන්ට මට බැරිය කියල... අපේ ගෙදර පිලිවෙත ඕක තමා...

    අපි පංසලක් වුනාට පස්සෙ මුලින්ම වෙනම පදිංචියට ගියේ ජෝර්දානෙ අම්මාන් වල පුංචි ස්ටුඩියෝ එකක... එහෙදි ගත්ත අපූරු පෝසිලේන් අයිස් ක්‍රීම් කප් සෙට් එකක් උන්දැ ගාව තාම තියෙනව.. ඒකෙ තියෙන පුංචි හැඳි හිටන් පෝසිලේන්..

    ReplyDelete
  11. තනුක වුවත් ඇසිඩ් ඇසිඩ්මය...
    පිට පෙනුමට "කහට" යනවා වාගේ පෙනුනට...
    ඇහැට නොපෙනෙන කුඩා සිදුරු හදනවා...
    ආයේ හදන්නම බැරි...

    ReplyDelete
  12. දෙන්න අත චේජනා ..මමත් ඔය පුංචි පුංචි බඳුන් වලට කැමතියි . මෙහෙ තියෙනවා ඒ වගේ විවිධ හැඩති එව්වා ..දේශීය නිමැවුම්..සම්ප්‍රදායික ක්‍රමවලට හදන ඒවා . වැඩි ගණන් පෝසිලෙන් අරන් පරිස්සන් කරන්න මට බැහැනේ . ගෙවල් හිමියන් සපයපු ''චයිනා බෝන්'' සෙට් එලියට එන්නේ විශේෂ අමුත්තන්ට විතරයි . ඔව්ව කැඩුනොත් ණය ගෙවන්න වෙනවනේ . බිඳෙන දේවල් අඩු වුන තරමට ලේසියි. වෙනස් දෙයක් ලියනවට ස්තුතියි

    ReplyDelete
  13. http://ycenteritworld.blogspot.com

    ReplyDelete
  14. සමහර ගෙවල්වල ළමයින්ට ගෙනා බෝනික්කන් පවා කැබිනට් වල නෙ? ඉතිං පිඟන් ගැන කවර කතාද

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...