Tuesday, April 27, 2010

මඩ....





සුදු නෙලුම පිපුනෙත්
සුවඳ මා වී කරල් නැගුනෙත්
කලල් මතමයි...
බලමින් කල් යල්..

වැව ද කෙත එක් වී..
සුදු නෙලුම කිරිබත ද එක් වී
දනන් හිස් මුදුන් දී
බුදුන් අබිමුව එකම පුදසුන පිදී..
කලල් මත ඒ උපන් බව නම්
දනන් සිත නම් නොම ‍රැඳී

http://upload.wikimedia.org/wikipedia/en/6/60/SriLankaPaddyField.jpg

24 comments:

  1. ‍කලල් මඩ ගොහොරුවෙන් භක්තිය කියාපාන පියුම වගේම, කිරිබතද ඇරඹුන බව සිහිපත් වන්නේ කී දෙනාටද? ඒ වගේම තමයි මේ ලෝකෙ බොහො දේවල් වල ආරම්භය සුන්දර නෑ. ඒත් අවසානයේ එය ලබන කෙනා එහි ආරම්භය දන්නෙත් නෑ. ඒ ගැන හිතන්නෙත් නෑ.
    අදහස ලස්සනයි.

    ReplyDelete
  2. නියමයි නිර්මාණය.
    මිනිස්සු උත්කර්ෂයට නගන්නෙ ලස්සනයි කියල හිතෙන දේවල්. ඒකයි කදුලු වලට තියන තැන හොටු සහ කබ වලට නැත්තෙ. කෙනෙක් අඬද්දි කදුලුත් එක්ක හොටු ගැලුවත් කොයි කවියද ඒක කාව්‍යට නගන්නෙ.

    මිනිස්සු මතක තියාගන්නෙ .තමන් කැමති විදිහටයි. තමන්ට දකින්න ඕනෙ දේ මුලට ගිහින් හරි දකිනවා. අකමැති සහ පිළිගන්න මැලිවෙන දේවල් තමන් දකින්න කැමති විදිහට විදිනවා. හුඟක් වෙලාවට ඕකයි ස්වභාවය.

    ReplyDelete
  3. රේවන් කියාපු අදහස නම් නියමයි. මිනිස්සුන්ට මතක තියෙන්නේ සුන්දර දේවල් විතරමයි.ඒක මනුස්ස ස්වභාවය වෙන්න ඇති.ඇස් පාදපු නිර්මාණයක් චේජනා......

    ReplyDelete
  4. ඔයා ටෙක්ස්ට් ඉන් කරනවනම් පසුබිම ලා පැහැයෙනුත් අකුරු තද පැහැයෙනුත් දමන්න...කියවන්න ලේසිය් එතකොට

    ReplyDelete
  5. ලස්සන නිර්මාණයක් වේජනා අක්කේ...අර්ථයත් හරිම ලස්සනයි.

    ReplyDelete
  6. කවදහරි හිතිලා තියෙනවද.. ඔය ඕලු, නෙලුම් මානෙල් මල් මඩේ නැතිව ගොඩේ පිපුනනම් මේ තරම් කවියන් තමන්ගෙ කවි නිමිත්ත විදිහට ඔය මල් තෝරගනීවිද කියලා... මට හිතෙන්නෙ නැහැ කියලයි.

    එ වගේ වේජනා දුක් විදලා, කටු කාලා ලබන දෙයක රහ වැඩියි.අගය වැඩියි. සාර්ථක වෙච්චි මිනිස්සු හුඟදෙනෙක් පොළවේ පය ගහලා හිටිය මිනිස්සු... ඒ අය තමන්ගෙ මුල දන්නවා. මුලදි කාපු කටු දන්නවා...

    ReplyDelete
  7. ලස්සන අදහසක් පද මුතුවලින් එකිනෙකට ගොනුකර අගනා නිර්මාණයක් නංගී. විශිෂ්ඨයි.

    ReplyDelete
  8. @Raven:
    මල්ලී ඔබේ විමසුම හරි ඉහලයි. ඉන් ගෙනහැර දක්වන අදහසින් මෙ නිර්මාණයේ අගය තව තවත් වැඩිකරලා.

    ReplyDelete
  9. මගෙ උරුමය සිදාදියේ නෙවි හින්දා
    කෙතක ගොයම් මට පුරුදුයි හිත බැන්දා
    කලල් තලා 'පැල වී' එහි ඉසි හින්දා
    කලල් මතින් පැල ගොයමට පෙම් බැන්දා

    කෙතක මිහිර එහි පැලපත දකිද්දී
    කිරි වදිනා ගොයම් කරල් වැනෙද්දී
    කිරි වැදිලා කරල් බිමට නැවෙද්දී
    ගොයම් කැපුනෙ නම් හිරු ලොව දවද්දී

    අස්වනු සරුයි නව අවුරුදු එලඹෙනවා
    බුදු පුද දෙන්න කිරිබත පිස සැරසෙනවා
    අත්හල කෙතේ සුදු නෙලුමත් පුබුදිනවා
    මඩ සේදූ අතින් බුදුහිමි නමදිනවා

    කලල් මතින් කිරිබත් සුදු නෙලුම් පිපේ
    දුප්පත් අපේ දාදිය ඒ මතට හැලේ
    බුදු පුදනට මල් අරගත් මහතුන්නේ
    අපෙ දහදියයි නුඹ පුදසුන පුද දුන්නේ

    ReplyDelete
  10. කිරිවෙහෙර ළඟ මුදලට විකිනෙන මලුත් කිරිබත් පිසින සහලුත් එකම ගම්බද අපේ දහදියෙන් ඉපදුනාට පිදෙන්නෙ නම් සිදාදියෙ...ගමේ පන්සලේ නෙවෙයි... ගමේ පන්සලේ අපි පුද දෙන්නෙ හාමුදුරුවන්ට වලඳන්න ගෙන දවල් දානෙන් කුඩා කොටසක්...
    ඒත් අපේ දහදිය බුදුන්ගෙ පමණක් නෙවෙයි එකී මෙකී දෙවියන්ට පුදසුන මත පුද දෙන සිදාදියෙ මහත්වරු ලෝබ කමක් නැතිවම පූජා තියනව..
    කලල් මත ඒ ඉපදුන බව ඔවුන්ට කිසිවිටකවත් සිහිපත් වෙන්නෙ නෑ...ඒත් ඒ කලල් කල කුඹුරෙ නියර උඩින් ගෙදර යන මට ඔවුන්ගෙ දාඩිය මහන්සිය මුලු ජීවිතේම කෙතට දියවෙලා යනව නෙත ගැටෙනව...
    අනේ මහත්වරුනේ...පුදසුන මත ඔබ පුද දෙන්නෙ ඔවුන්ගේ වෙහෙස හා දුක් කම්කටොලු බවත් මොහොතකට සිහිකරන්න...

    ReplyDelete
  11. 'Outsider' ඔබ මා සිතූ දේ එලෙසම කියල...

    රේවන් මල්ලි, ඔයා දැකල තියෙන්නෙ අලුත් ම පැත්තක්.. කවිය ලියවෙද්දි මට එය සිහිවුනේ නෑ..

    දිල් මනුස්ස ස්වබාවය තමයි ඕක.. ඒත් එක වතාවක් ආපහු හැරිල බලල එහි නියම හිමිකරුවනට පුංචි වත් ගෞරවයක් කරන්න බලමු අපි..

    ඉන්දි, මම ස්තුතියි..

    මින්දද ඔයා හරි, ගොඩ මානෙල් කියල මලක් තියෙනව.. හරි ලස්සනයි ඒකත්.. ඒත් ගොඩ මානෙල් ගැන කවුරුත් කවි කියල නම් නෑ..
    ඒ වගෙම පොළවෙ පයගහල ඉන්න මිනිස්සු ගැන ඔයාගෙ අදහසටත් මම එකඟයි..ලෝකය තාම මෙහෙම වත් පවතින්නෙ පොලවෙ පයගහන මිනිස්සු නිසා (පුංචි දෙයක් මම Chejana)

    ගල්මල් අය්යෙ, ස්තුතියි ඔයාටත්..

    ReplyDelete
  12. අනේ sorry ඔයාගේ නම වැරදියට කියෙව්වට...

    ඇත්තටම මමත් කල්පනා කර කර හිටියේ මොකක්ද "වේජනා" කියන නමේ තේරුම කියලත්.. මමනේ වරදදගෙන ත්යෙන්නෙ..

    අනේ sorry චේජනා !

    ReplyDelete
  13. Sorry කියන්න ඕනෙ නෑ මින්දද, 'ව'යන්නයි 'ච' යන්නයි එක වගේ කලේ ඔයා නෙවෙයි නෙ...:)

    ReplyDelete
  14. අයියෝ අක්කේ මාත් මෙච්චර දවසක් ඔයාගෙ නම වැරදියටනේ කියවලා තියෙන්නේ...මින්දද අයියා කියද්දියි මාත් දැක්කෙ නම වේජනා නෙවෙයි චේජනා කියලා.

    ReplyDelete
  15. ඔව් නංගි, 'ව' යන්නයි 'ච' යන්නයි එකවගෙ නෙ..
    මම අද ඒ නිසාම උඩින් දැම්ම ඉංග්‍රීසියෙන්..'Chejana's web page' කියල

    ReplyDelete
  16. කවි‍යේ උඩින්ම මඩ කියලා දැක්කාම හිතුනේ අපි ගැනවත් ද ලියලා තියෙන්නේ කියලා.. පින්තූරයත් එක්ක ඔබ දාලා තියෙන පබැඳුමෙන් මතු කරන්න හදන කාරනාව එක්කම මෙහි 9 වෙනි ප්‍රතිචාරය විදියට ඔබ දාලා තියෙන කවියත් එක‍වගේ හිතට දැනුනා..

    සමහර දේවල් හිතට වදිනවා ආයාසයකින් තොරවම.අර පසුව ඔබ ලියූ කවත් මට ඒ වගේ දැනුනේ.

    බුදු පුදනට මල් අරගත් මහතුන්නේ
    අපෙ දහදියයි නුඹ පුදසුන පුද දුන්නේ

    ගුණදාස කපුගේ හිටියනම් මෙය ගීතයක් විදියට බොහොම කැමැත්තෙන් ගයාවී කියලා හිතුනා....

    -ජය

    ReplyDelete
  17. යෝගි,
    අද උදේ කමෙන්ට් ටිකට reply කරන්න ගත්තම පස්සෙ ලියපු කවි ටිකත් හිතට ආව..ඉතින් ඒ ටිකත් ලිව්ව...
    ඔයා කිව්වම තමයි මතක් වුනේ ගුණදාස කපුගේ මහත්මයගෙ කොච්චර සින්දු තියෙද ඔය වගේ කියල..
    කරණවෑමි සොහොයුරානනේ වගේ..
    ස්තුතියි කවි ටික ලස්සනයි කිව්වට යෝගි..

    ReplyDelete
  18. හෙට ඉඳල පොඩි නිවාඩුවක් තියෙනව නේද. ගෝල්ඩන් වීක් එක හිතේ හැටියට නිදහසේ ඉන්න ලැබේවා.!!!! හික්ස්!!!!!!

    ReplyDelete
  19. මල්ලි, ඔයාටත් ගෝල්ඩන් වීක් එකේ නිදහස විඳින්නට ඉඩ ලැබේවා..

    ReplyDelete
  20. ඕක හැටියක්නේ අක්කේ..... මිනිස්සුන්ට මුල අමතක වීම....... එහෙමත් නැත්නම් මිනිස්සු ඕනෙම දෙයක දකින්න, විඳින්න , මතක් කරන්න හෝ කතා කරන්න අකමැති පැත්තක් තියෙනවා.... හැමදාමත් වගේ අක්කගේ එකිනෙකට වෙනස් සිතුවිලි හරි අගෙයි........

    ReplyDelete
  21. යෝගි අයිය සින්දුවක් ගැන කිවුවයින් මට සින්දුවක් මතක් වුනා......

    " අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ......
    දෑතේ විරියෙනි රටවල් නැඟුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැඟුනේ "


    අක්කගේ සිතුවිල්ල හා සමානම නොවුනත් මේ ගීතයේ කියවෙන්නෙත් මීටම හා කරන්න පුළුවන් අර්තයක්......

    ReplyDelete
  22. බොහෝ දෙනා සිය අදහස් දක්වා ඇති බැවින් මා හට අමුතුවෙන් කීමට දෙයක් ඉතිරි වී නැත. මා හට කිව හැකි එකම දෙයනම් නිර්මාණය ඉතාමත් අනර්ඝ බව පමණය.

    ReplyDelete
  23. ඔව් නංගි, ඔයාගෙ අදහස ට නම් සම්පූර්යෙන්ම එකඟයි.. මිනිස්සු එකම දේ දෙන්නෙක් අතින් වුනාම, අවස්ථා දෙකකදි සම්පූර්ණයෙන්ම වෙනස විදියට දකිනව.. තමන්ට වාසි විදියට...
    යෝගි සින්දු ගැන කිව්වම මට මතක් වුනේ " කරණවෑමි සෝයුරානනේ.." ගීතය...
    ඔයා තවත් ලස්සන සින්දුවක් මතක් කරල.. ඒකත් මේ කියන කතාවට ම එකතු කරන්න පුළුවන් තමයි...

    ReplyDelete
  24. අනුරාධ මල්ලි, ස්තුතියි... ඔයාල ඇවිත් මොනා හරිම කියල යන නිසා තමයි ලියන්න ආස හිතෙන්නෙ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...