Friday, April 16, 2010

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...සැබෑ වුණ සුබ සිහිනයයි...

අවුරුද්දට මම ගෙදර නොඒම ගැන හදවතින් තැවෙන මගේ පියාගෙ නිහඬ වේදනාව මෙන්ම....
තම දරුවන්ට යහපත් අනාගතයක් ලබාදීම සඳහාම විදේශ ගත වුනු අපේ කාලයේ පියවරුන් තම දරුවන් අවුරුද්දට වත් නොදැකීමෙන් අත්විඳින නිහඬ වේදනාවත් මට අත්විඳින්න ලැබුන පසුගිය දිනවල...

ඒ පිය සෙනෙහසේ කවි ගී පද නොබැඳුනු නිහඬ කතාව අකුරු කරන්න හිතුනෙ ඒ නිසාමයි..



නූල ගිලිහුනු සරුංගලයක් සේ ගිලිහී යන්නට නොදී අතින්...
කතරට දිය බිඳු ඉසින ලෙසින් පිය සෙනෙහස මා ලැබූ හෙයින්...
මේඝ වළාවක ලියා තබන්නෙමි පිය සෙනෙහස ගැන බැඳුන කවී...
ලිහී ගිලිහෙනා දිය බිඳු සේ ඒ කවි ඔබ සිත නිවනු ඇතී...

මව් සෙනෙහස විඳි දරුවනි අහපන්
ඒ සෙනෙහස නුඹ ලැබූ හැටී..
මහමෙර සදිසිව නැගුණු ශක්තියෙන්
මව් සිත සවිමත් කෙරුන හැටී..

වෙන්වී එද්දී පියා ළඟින්
ඒ නෙතු කඳුලින් තෙමුන හැටී..
බොඳ වුන නෙතගේ කඳුලක් සඟවා
නිහඬව සෙනෙහස පිදුන හැටී..

කවිගී නොගැයුන පිය සෙනෙහස
ඔහු හද ගැබ නිදන් ව තියෙන හැටී..
සිහිකර වඳිනෙමි සහසක් පියවරු
ඔවුන් දෙපා මුල දණින් වැටී..



http://sweetnostalgia.files.wordpress.com/2008/02/father-daughter.jpg

20 comments:

  1. තාත්තා ගැන හිතේ ලස්සන මතකයක් මැව්වා ඔයා.... ලස්සන කවියක්....
    සමනලීත් තාත්තාගේ ජීවිතේ වෙලා ඉන්න කෙනෙක්.... අම්මා කොයිතරම් උන්නත් තාත්තාගේ තුරුල්ලේම හුරතල් වෙච්ච කෙනෙක්... හොදම යාලුවෝ වාගේ තාත්තා එක්ක ජිවිතේ විදින කෙනෙක්....
    ඒ තාත්තාගේ රැකවරණය, සෙවනැල්ල, සෙනෙහස නැති දාක කොහොම ඉන්නදැයි සමනලීට හිතා ගන්නවත් බෑ......

    ReplyDelete
  2. බොහොම ලස්සන විදිහට කවි පද සිත්තම් කරල තියනව. මගේ තාත්තාත් මා ලග දැන් නැහැ. ඒ අඩුව ගොඩක් ම දැනෙනව සිංහල අලුත් අවුරුද්ද දවසට....

    ReplyDelete
  3. සමනලී, කවි පද නොබැදුන පිය සෙනෙහස ගැන දූල කතා කරනව නම් තාත්තල හුඟක් සතු‍ටු වෙයි..
    ඉතින් අම්මා ගැන බොහෝ සෙයින් කතා කෙරෙන මොහොතක ඒ සෙනෙහස දුන් අම්ම ළඟ සෙවනැල්ලක් වගේ නැගී සිටී තාත්ත ගැනත් අපි කතා කරමු..

    වත්, තාත්ත නැතත් මතකය ඔයා ළඟ සදාතනීයයි..නෙ..

    ReplyDelete
  4. එ හිරුයි, සඳුයි තමයි ලොකය ජිවත් කරවන්නෙ.. දැනෙනවා.. ජිවත් වෙලා උන්නත් දැනෙනවා.. ගෙදරට තාත්තා කෙනෙක් ගෙ අඩුව පුරවන්න වෙන කාටවත් බැහැ..

    ReplyDelete
  5. සංවේදී පද ගැලපුමක්.. " බොඳ වුන නෙතගේ කඳුලක් සඟවා
    නිහඬව සෙනෙහස පිදුන හැටී..."
    අපෙ අප්පච්චිත් මේ වගෙයි.අම්මා වගේ ආදරේ පෙන්නන්නේ නැති වුණාට හිතින් හුඟාක් දරුවො ගැන වද වෙනවා.

    ReplyDelete
  6. ගෙදරට තාත්ත කෙනෙක් නැති අඩුව කොහොම පුරවන්නද මල්ලි, මෙහේ තනියම ඉන්දෙදි මගේ හිතට තාත්ත නැති අඩුව පුරවන්නත් බැරිව තියෙද්දි..

    මගේ තාත්ත නම් ආදරේ පෙන්නනව.. අම්මටත් වඩා...මගේ වැඩවලට තාත්ත අම්මගෙන් බැනුම් අහන තරම්ම..:)

    ReplyDelete
  7. "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.."
    ඉතින් හැම තාත්ත කෙනෙකුටම මේ පද ටික සෑබෑම උපහාරයක් වේවි චේජනා...

    ReplyDelete
  8. ම්ම්.. නිමන්ති...ඔයා කියන දේ නම් හරි,

    "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදි.."

    ReplyDelete
  9. නංගී ඔබේ කවිසිතේ පිපුණ මෙ පුෂ්පය සෑම තාත්තා කෙනෙකුටම උපහාරයක්ම වේවා!

    අගනා පදවැලක්. පේලියෙන් පේලියට නොදෙවෙනි වන තරම් හරබර මුතු පේලියක්.

    ReplyDelete
  10. පිය ගුණ කඳ සිහිකර සොඳ..
    ලියනට කවි වැල් පද බැද..
    නොහැක ඉතින් මගේ නෙතට..
    උණන කඳුළු වැල් පිස පිස..

    ReplyDelete
  11. මගේ තාත්තා නැති වෙද්දි මට වයස 8යි. නමුත් ඒ කෙටි කාලය තුළ ඔහු කියාදීපු ජීවිත පාඩම් ගැන සිහි කරද්දි අදටත් පුදුම හිතෙනවා.

    හිතට දැනුනා මේ පදපෙළ.

    ReplyDelete
  12. ගල්මල්..අය්යෙ,
    නිහඬව සෙනෙහස පිදෙන නිසා වෙන්ම
    (ඇතැම් විට )පෙරලා දරුවන්ගෙන් සෙනෙහස
    නොලබන පිය සෙනෙහස...

    කුමාර අය්යෙ,
    මෙත් මුදිතා ගුණ සිතින් දරා..
    පෙරුම් පුරා එන සසර පුරා...

    අම්මාවරු මතු බුදුවන්නේ..
    පියවරුමයි මතු බුදුවන මවුනට
    ඒ විවරණ දෙන්නේ..

    ---දීපිකා ප්‍රියදර්ශනී ගේ හඬින්---

    නලින් මල්ලි,
    වත් ට කිව් දේ ම තමයි මට ඔයාට කියන්න තියෙන්නෙත්..

    තාත්ත සදාතනික මතකයක් ඔයාගෙ හිතේ තියලනේ...

    ReplyDelete
  13. මා-පිය උණූහුමට ලොබ බැඳන් බලා සිටින සෑම දරුවෙකුගේම සිතේ රැඳී පවතින යෝධ සෙවනැල්ලක් බඳු වූ ආදරණීය තාත්තලාට හොඳම උපහාරයක්...

    -ජය

    ReplyDelete
  14. මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි..
    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි..

    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි..
    සැබෑ වුණ සුබ සිහිනයයි..

    ---සුනිල් එදිරිසිංහයන්ගේ හඬින්----

    ReplyDelete
  15. දෙනෙතින් කඳුලු නොසැලූවට කිසිදාක
    පියවරු හැඩුවේ හදවතිනුයි..නෙතින් නොව
    මහමෙර වගේ ඉසිලුවට පවුල් බර
    සැරවෙයි මුදු මොලොක් හදවත සඟවගෙන....

    චේජනා...පිය සෙනෙහසටද..මව් සෙනෙහසට මෙන් නිමක් නෑ නේද..

    ReplyDelete
  16. පිය සෙනෙහෙසට මව් සෙනෙහසට සීමා මායිම් නිමාකිරීම් කොහොම නම් තියෙන්න ද ..
    නිමා නොවෙන නිල් අහස වගෙම තමයි..

    ReplyDelete
  17. හිතට දැනෙන පද පෙලක් අක්කේ......

    පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
    දූ දරුවන් හිනැහී ඇති දෝ......

    ReplyDelete
  18. එක ඔයාට විතරක් උරුම දෙයක් නෙමෙ... ඔනැම තාත්තෙක් දුවලට තමයි වැඩි පුරම ආදරෙ.. අම්මා පුතාලට.. ඔයාට පිරිමි සහොදරයෙක් ඉන්නවානම් ඔයා එක දැකලත් ඇති.. අම්මා දුව මරන්න එද්දි තාත්තා මැද්දට පැනලා දුවව හංගන් යන හැටි හරිම ලස්සනයි..

    තාත්තලා කොහොමත් එහෙම තමයි. එහෙම තමයි කිව්වට කොහොම තමයි ද කියලා කියන්න අමාරුයි. එකයි අපි තාත්තාට වැදුම් පිදුම් කරන්නෙ..

    ReplyDelete
  19. ඔව් විශ්මි, කියල නිමකරන්න බැරි තරම් වටින තාත්තගෙ ශක්තිය තමයි ආදරේ....


    ඔයා හරි රවා, බොහෝ විට එහෙමයි.. තාත්තල දූලට ම තමා අදරේ..ඒත් අපෙ ගෙදර පොඩි වෙනසක් තිබුන දෝ මන්ද..එයාගෙ ආදරේ හැම වෙලේම තිබුනෙ විඳින්න අත පොවන මානෙ.. අපි ඉල්ලන දේ දුන්නෙ අම්ම නෙවෙයි..තාත්ත...

    අපේ තාත්ත කිසිම දවසක් මටවත් මල්ලිටවත් තරව‍ටු කරන්නෙවත් නෑ... ඒත් කියන්න ඕනෙ දේ හරියට ම හිතට දැනෙන මොහොතෙ ජීවිතේටම අමතක නොවෙන තරම් සංවේදීව කියනව..

    ReplyDelete
  20. පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී. ඒත් ඒ අඩුව පුරවන්න ඔබ හොඳ උත්සහයක් අරන් තියෙන්නේ... නිර්මාණය ලස්සනයි සොයුරිය....

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...