Friday, April 30, 2010

අනාගතයේ දවසක්...


සියල්ල දවා හළු කරන ගිනිගත් හිරු ද, ඊට ම ඔබින ගිනිගත් දුහුවිලි සුළඟ ද කිසිදු සහනයක් නොගෙනේ...

ගස් කොලං අතීතයට එක් වූවේ කවදාදැයි මට මතක නැත...

හිරු එළියේ පහස මෙන් ම ...මුහුදු රළ පහස ද ඒ ලෙසම අහිමි විය...

....................................................................................

මට ඉවසා ගත නොහැකි තනිකම ක් දැනේ...වචනයක් දෙඩීමටවත් කිසිවෙක් නැත....

ස්වාධීනත්වය සොයා ගිය තාරුණ්‍යයෙන් මත් ව සිටි මා සුපිරි තනි නිවහනක ට පැමිනි දා තිබූ සතුට අද සී සී කඩ විසිරී ගොසිනි...

...................................................................................

ගහක් කොලක් පේන මානයක නැත...

උස් ව නැගි නානාවිධ මාදිලියේ කොන්ක්‍රීට් කණු හා ගොඩනැගිලි පමණක් ම නෙත ගැටේ...

මා ද මේ ගණන නොදන්නා මහල් නිවෙස් සංකීර්ණයේ එක් මනුෂ්‍ය ප්‍රාණියෙක් පමණක් ම වේ...

...................................................................................

එකම සිතුවිලි සමුදාය මා සිත තුළ ඇතිවී නැතිවී යයි...

.....................................................................................

මරණය කෙතරම් සොඳුරු අපේක්ෂාවක් දැයි මට දැන් සිතේ..

හහ් හහ් හා..

මරණය....

මරණය...

නැත...

මා අමරණීයත්වය සොයා ගෙන ලොවෙන් ම පිදුම් ලද වසර දෙසීයක් ආයු වැළඳූ තවත් නොදන්නා කාලයක ජීවිත අපේක්ෂා ඇති ගෞරවනීය විද්‍යාඥයා වෙමි...

......................................................................

Tuesday, April 27, 2010

මඩ....





සුදු නෙලුම පිපුනෙත්
සුවඳ මා වී කරල් නැගුනෙත්
කලල් මතමයි...
බලමින් කල් යල්..

වැව ද කෙත එක් වී..
සුදු නෙලුම කිරිබත ද එක් වී
දනන් හිස් මුදුන් දී
බුදුන් අබිමුව එකම පුදසුන පිදී..
කලල් මත ඒ උපන් බව නම්
දනන් සිත නම් නොම ‍රැඳී

http://upload.wikimedia.org/wikipedia/en/6/60/SriLankaPaddyField.jpg

Sunday, April 25, 2010

ප්‍රේමය පුද දී අවසානයි..




අසම්මත බැඳුම් ලෝකය දවා හළු කරනව..ඇතැම් විට පිපෙන කැකුලු පවා....
ඒත් සොඳුරු ගීයක ගැයෙන පරිදිම සිනමා පටය මත හා සත්සර අතර එහි මිහිර හා අමිහිර කැටි කරගත් නිර්මාණ බොහෝමයක් බිහිවෙනව...සත්සර අතර ඒ සොඳුරුයි..
මේත් ඒ වගෙම අසම්මත බැඳුමක් සත්සර අතර ගැයෙන අයුරු.. එහි සංවේදී පද මාලාවත් එය ගැයෙන සංවේදි ස්වරයනුත් මසිත එයට ඇද ගත්තා..
සත්සර අතර මා විඳි ඒ මිහිර ඔබටත් විඳිය හැකිදැයි බලන්න....

ප්‍රේමය පුද දී අවසානයි..
ඔහු සතු වී කාලය බෝමයි..
නොලැබෙන මා නොපතන්න..
තහනම් සෙවණින් යන්න...

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි..
තහනම් සෙවණේ... ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න..

එක වදනක් පවසන්නම්... එය හදවත හඬවයි නම්...
මා වෙනුවෙන් නොහඬන්න... ජීවිතයට ඉඩ දෙන්න...
ඔය කී ලෙස මතු ඉන්න…. දිවුරුම් නම් බෑ දෙන්න....

ආදරයක් තියෙනව නම්.... දෙනෙතින් පිළිතුරු දෙන්නම්....
මට නොපෙනී පිට වෙන්න.... නොහඳුන කෙනෙකුන් වෙන්න...
ගත ගෙනයන්නම් දුරක.. සිත නම් බෑ ගෙනයන්න..


අහන්න මෙතනින්...



ගීතයට දායක වූවන් ගැන මා දන්නේ නෑ, සමාවෙන්න... ඔබ දනී නම් සටහන් කර යන්න..

Friday, April 23, 2010

බොඳ වූ කැඩපත....


සුපුරුදු පරිදි ම අප දොඩමළු වී සිටියෙමු..

මගේ මුවින් පිට වූ වදන් කීපයක් ඔහු කෝප ගැන්වීමට සමත් ව තිබිණ....

කෙතරම් සමාව යැද්ද ද දින දෙකක් ගත වනතුරු ද ඔහු මට සමාව දුන්නේ නැත...
දෙවන දින අවසන ඔහු මට සමාව දෙන විට සෙනෙහසේ සහ මිතුදමේ වත්කම් සියල්ල ම මා ගෙවා තිබිණ....

ඔහු මට සමාව දීම මට සතුටක් වුව ද නැවත කතා කිරීමේ ආශාවක් නම් මසිත්හි නොඉපදිණ.....

………………………………………………………

කාලය අප පසු කරමින් පියඹා යන්නට විය... කෙතරම් සෙනෙහසින් ඇමතුව ද නැවත මා නම් යථා තත්වයට පත් වූයේ නැත...

කොයි මොහොත ක හෝ නැවත මසිත පීඩාවට පත් වන බැව් ම පමණක් මගේ මතකයේ සැරිසරද්දී තමා සිය ආදරණීය යෙහෙළිය ද නැගණිය ද අහිමි කරගත් බැව් ඔහුට වැටහෙමින් තිබිණ....

එතැන් සිට ම ඔහු මසිත පිරියම් කිරීමට කැප වූ බව නම් මට මතක ය...

………………………………………………………


ඔහු ජයගත්තේය...

පළුදු නොතබා ම ඔහු මසිත පිරියම් කර පෙරදා මසිත ඔහු වෙනුවෙන් ‍රැදී තිබූ මිතු දම ද සොයුරු පෙම ද එහි රඳවා ගොස් තිබිණ...

නැවත අතීතාවර්ජනයේ යෙදෙමින් ඔහු ඒ කළ හැටි සෙවීමට සිදු වුණේ බිඳුණු කැඩපතක් පළුදු නොමැතිව පිළියම් කළනොහැකි බව මා හොඳින්ම දැන වුන් බැවිනි.


…………………………………………………………


අපේ බැඳීම නම් කැඩපතේ දසුන් බොඳ වී ගියේ එහි වීදුරුව වූ විශ්වාසය බිඳීමෙන් නොවේ...
එය කැඩපත ක් කළ රසදිය ආලේපය පළුදු වීමෙන් පමණි....

කැපවීමෙන් ඔහු එය නැවත ආලේප කර තිබිණ......පළුදු කිසිවක්ම එහි නොවිණ....


……………………………………………………………


අවසන.......
ඔහු නැවතත් මාසිත සුවපත් කළ මිතුරා ද සොයුරා ද විය...

.............................................


පසු සටහන:

මෙය නම් සැබෑම අත්දැකීමකි......එහෙත් ඔබ මා අතර නොවේ...

ඔහු බොහෝ විට මගේ ජීවිතයේ පසෙක හිඳ මගේ ජීවන ගමනට දිරිය දායාද කළ අතර සිත රිදුන තැනකදී නිදිවර ව මා වෙත ‍රැඳුනු... එහෙත් එකම වදනකින් වූ වරදට මට සමාව නොදුන් මගේම ආදරණීය සොයුරා විය...

බැඳීම්වල ට ම ලොබ බඳිමින් අන්තරජාලය හදවත් තුළ ගෙත්තම් කළ බැඳීම් යථාර්තයක් බව පසක් කරමින් ....
මව්බිම ද අබුඩාබි ද ජපානය ද එක ම රේඛාවකින් යා කළ..
නිබඳව ම සිත අසළ ‍රැ‍ඳෙන ආදරණීය සොයුරන් වන….

යෝගි, ගල්මල් හා තිස්ස අය්යලා වෙත පුදමි....

Wednesday, April 21, 2010

කිරි අම්මාවරු දනට වඩිනවා...


හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක..

" අම්මා...."
එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ...

මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්වරුන්ගේ දානයකට නොකැඳවූ බව නම් මගේ මතකයේ ඇත.....

සියල්ල එකට ගැලපුන කල ඉතිරි වන්නේ මා පිළිගැනීමට අකමැති ම තිත්ත ඇත්තද...?

කිසිදා නෑ සියන් අතර මා ඔවුන්ගේ දියණියක් ලෙස පිළිනොගැනුනේ ඒ නිසාමද..?

හිස පුපුරන තරම් වූ වේදනාව සමගින් තවත් මේ ගැන සිත් යොමු කළ නොහැකි වුව ද මේ සිතුවිලි දාමයෙන් සිත මුදා ගැනීමට ද නොහැක….

අනෙක් අතින් මා ඔවුන්ගේ දියණියක් නොවූව ද මට කළ හැක්කේ කුමක්ද..?
මතක අතීතයේ කොතැනකවත් ඔවුන්ගෙන් තොර මතකයක් නම් නොවේ..

අන් අය කෙසේ වුවද මගේ මව්පියන් මට දුන් සෙනෙහසේ අඩුවක් තිබුන බවකුත් සිහියට නගා ගත නොහැක...

සොයුරා අතින්ද කිසිදු සැලකිල්ලක් නොලබන, පීඩා පමණක් ම ලබන මව්පිය දෙදෙනා හැර යාම ද නොකළ හැක්කකි...

ඔවුන් පිදූ සෙනෙහස ට පෙරලා යමක් කළ හැක්කේ එයින් පමණකි....

.....................................................................................

එහෙත් ටික වේලාවකට පෙර සවනේ වැකි වදන් නැවතත් සවන්පත්වල දෝංකාර දේ.....

නැවතත්....

.....................................................................................

පසෙක හිඳ හිස පිරිමදින අම්මා ගේද... වේදනාත්මක දෙනෙතින් මා දෙසම බලාහිඳින තාත්තා ගේද දසුන බොඳ වූ නෙත් අතර කෙමෙන් කෙමෙන් පැහැදිලිවේ...

මේ නිමා නොවෙන දාරක ස්නේහයම ද...?

Tuesday, April 20, 2010

රතු එළි මැද...


රතු එළි වීථියේ
රතු එළි මැද...
දෛවයේ සරදමින්
යුරෝපා නීතියෙන්
නීතිගත කළ
සමනළිය...

අඩ පැයට යුරෝ පනහක් වුනේ
නුඹේ වැලපෙන සිතට
යුරෝපා නීතිය ගෙවූ
නුඹේ මානව හිමිකම්වල
වන්දියද...?


නොදන්නා සංස්කෘතියක යම් යම් දේ අපට විග්‍රහ කල නොහැකි නමුදු මේ නම් මා තදින් ම සසල කළ කතාවක්...
ලංකාවේදි වරක් මා "ඇය" දැක ඇති මුත් එදිනවත් මගේ සිත මේ තරම් නම් සසල වුනේ නෑ...
ඒත් වචනයෙන් කිව නොහැකි තරම් ලෝකය ගැන කළකිරීමක් මෙය මා සිතේ ඇති කළා...
මා හරි ද වැරදි ද නිගමනය කිරීම ඔබට බාරයි...

එහෙත් මට දැනුන දෙය එලෙසම ලිවීමට මට සිදුවුනා....බොහෝවිට කරන්නාක් මෙන් මා සසල සිත සංසුන් කරගැනීම උදෙසා.....


http://metropolitician.blogs.com/scribblings_of_the_metrop/red_light_room.jpg

Sunday, April 18, 2010

ජපන් වසන්තය...




ජපානයේ වසන්තය කිව්වම ජපානය ගැන යන්තමින්වත් දන්න කෙනෙකුට සකුරා මල් මතක් වෙන්න තරම් ප්‍රසිද්ධියක් සකුරා මල් පිපෙන ජපන් වසන්තය ට තියෙනව..ඒත් ඒ සකුරා මල් පිපෙන ජපන් වසන්තය ඇති වෙන්නෙ ජපන් ජාතිකයන්ගේ සැලකිලිමත් බවින් හා පිළිවෙලින් මිස සකුරා මලින් නෙවෙයි කිව්වොත්...
ඒකට එකඟ වෙන අය වගෙම නොවෙන අයත් ඉඳීවි... ඉතින් මට හිතෙන විදියට ජපන් වසන්තය බිහිවෙන්නෙ එහෙම තමයි...

සකුරා මල ලංකාවෙ පිපෙන සාමාන්‍ය පෙති පහේ මලක්මයි.. ඇසළ ගස්වල වගෙම ගහ පුරා ම මල් පිපෙනව... සුන්දරත්වය බිහිවෙන්නෙ ගං ඉවුරු, මංමාවත් අද්දර පේලියට පිළිවෙලට වවපු නිමා නොවෙන සකුරා ගස් බොහෝමයක සුන්දරත්වය එකට කැටි වෙන නිසා...

මේ Kudanshita, ගං ඉවුරෙ පිපෙන සකුරා මල් පෙති ගං දිය සිප ගනිද්දි ගං දිය මත ඔරු පදින ජපන් පෙම්වතුන් සමගින්..

ඒ වගෙම අදට වඩා හෙට නෙතින් දැකිය හැකි තරම් වෙනසක් පල කරන ගස්වල දලු ලෑමත් ජපන් වසන්තයෙ සුන්දරත්වයෙම කොටසක් තමයි..



වසන්තය සුන්දර කර ගැනීම සඳහා ජපන් ජාතිකයනුත් වෙහෙසෙනව... වසන්තය එද්දි දුම්රිය පොළවල, තවත් පොදු ස්ථානවල ටියුලිප් මල් ගස්, ඩැෆඩිල් මල් ගස් ඉන්දනව..





සකුරා මල් පිපෙන ජපන් වසන්තයෙ සුන්දරත්වය අතරෙ තවත් මල් ගොඩක සුන්දරත්වය සැඟවෙනව..



සකුරා මල ම පමණක්
දනන් නෙත් සිත් පැහැර ගත්ත ද

මේ ඔබ දකින්නේත්
ඒ හා සමාන
හෝ ඊටත් වඩා
උග්‍ර අරගලයක්
සිසිරය සමග දියත් කර
ජයගෙන
වසන්තයේදී
ජීවත් වීමට වෙරදරන

සිය පැවැත්ම සඳහා
වූ විශ්වීය (විශ්ව සාධාරණ) අරගලයෙන්
බිඳක් මයි..

ඉතින් මා දු‍ටු ජපන් වසන්තයෙ සොඳුරු සේයා රූ කීපයත් එක්ක ම ඇවිත් විඳින්න..... ජපන් වසන්තය...

Friday, April 16, 2010

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...සැබෑ වුණ සුබ සිහිනයයි...

අවුරුද්දට මම ගෙදර නොඒම ගැන හදවතින් තැවෙන මගේ පියාගෙ නිහඬ වේදනාව මෙන්ම....
තම දරුවන්ට යහපත් අනාගතයක් ලබාදීම සඳහාම විදේශ ගත වුනු අපේ කාලයේ පියවරුන් තම දරුවන් අවුරුද්දට වත් නොදැකීමෙන් අත්විඳින නිහඬ වේදනාවත් මට අත්විඳින්න ලැබුන පසුගිය දිනවල...

ඒ පිය සෙනෙහසේ කවි ගී පද නොබැඳුනු නිහඬ කතාව අකුරු කරන්න හිතුනෙ ඒ නිසාමයි..



නූල ගිලිහුනු සරුංගලයක් සේ ගිලිහී යන්නට නොදී අතින්...
කතරට දිය බිඳු ඉසින ලෙසින් පිය සෙනෙහස මා ලැබූ හෙයින්...
මේඝ වළාවක ලියා තබන්නෙමි පිය සෙනෙහස ගැන බැඳුන කවී...
ලිහී ගිලිහෙනා දිය බිඳු සේ ඒ කවි ඔබ සිත නිවනු ඇතී...

මව් සෙනෙහස විඳි දරුවනි අහපන්
ඒ සෙනෙහස නුඹ ලැබූ හැටී..
මහමෙර සදිසිව නැගුණු ශක්තියෙන්
මව් සිත සවිමත් කෙරුන හැටී..

වෙන්වී එද්දී පියා ළඟින්
ඒ නෙතු කඳුලින් තෙමුන හැටී..
බොඳ වුන නෙතගේ කඳුලක් සඟවා
නිහඬව සෙනෙහස පිදුන හැටී..

කවිගී නොගැයුන පිය සෙනෙහස
ඔහු හද ගැබ නිදන් ව තියෙන හැටී..
සිහිකර වඳිනෙමි සහසක් පියවරු
ඔවුන් දෙපා මුල දණින් වැටී..



http://sweetnostalgia.files.wordpress.com/2008/02/father-daughter.jpg

Wednesday, April 14, 2010

සදා හරිතව දිලෙන ලොවකට වැහි බිඳක් වාසනාවන්...


වළා සළු මුදා ලූ
නිල් අහස සොඳුරුයි...
හිරු ද සඳ තරු
ලබයි එහි අබිසෙස්..

වසා අවුරා නිල් ගුවන් තල
කළු වළාකුළු ලබන මුදු ගැරහුම්..
ලිහී ගිලිහෙන කුඩා දිය බිඳු...
දැවුණ ග්‍රහ ලොව
බිහිකළා දිවියක්..

එදා අද හෙට එ තුන් කල්හිම
සදා හරිතව දිලෙන ලොවකට
කළු වළාවක් ලිහී ගිලිහෙන
වැහි බිඳක් වාසනාවන්...


http://bovitz.com/bovitz.com/

Sunday, April 11, 2010

මා දු‍ටු ජපානයෙන්... Kobe

Akashi Kaikyo-The longest suspension bridge in the world

මේ දවස් ටිකේම දුක් ගැනවිලි ම ලියවුන නිසා අද හිතුන වෙන මොනාහරි ලියන්න ඕනෙ කියල, අද ලියන්න යන්නෙ කෝබේ කියන ජපන් නගරය සහ එහේදි දැක්ක හොන්ෂු සහ ෂිකෝකු කියන ජපන් දූපත් දෙක යා කරන අදිවේගි මාවතේ ලොව දිග ම එල්ලෙන පාලම (suspension bridge, එල්ලෙන පාලම කියන වචනෙ හරිද කියල මම හරියටම දන්නෙ නෑ..) ගැන පුංචි විස්තරයක් කියන්න...
කෝබේ කියන්නෙ ජපානයේ වෙරළබඩ වරාය නගරයක්...ජපානයේ අගනුවර Tokyo ඉඳන් 600 km විතර දුරින් තියෙන්නෙ..
මේ එක දවසක් තුළ එක පැත්තකට 600 km බැගින් 1200 km වුනු ඒ දුර ගෙවා ගිහින් මේ ගමන සම්පූර්ණ කරගන්න උදව් කළ, ඇසූ දා පටන්ම මගේ හීනයක් වුනු "Nozomi " කියන ෂින්කන්සෙන් (bullet train) දේවතාව තමයි ඉතින්..




Rokko කඳු වැටියේ කන්දක් මුදුනෙ ඉඳන් බැලුවම පේන කෝබේ නගරය හරිම දර්ශනීයයි…..අපි ගියේ තරමක් වැහිබර දවසක වුනත් ඒකත් සුන්දරත්වයක් එක් කළා..


ඒ කතාවෙ පිවිසුම... දැන් ඉතින් කතාව, අකාශි කයික්යො ලොව දිගම එල්ලෙන පාලම.. මේකට "Pearl bridge" කියලත් කියනව…. හොන්ෂු සහ ෂිකෝකු යා කරන අදිවේගි මාවතේ කොටසක්... හොන්ෂු හා අවජි Awaji දූපත යා කරමින් පාලම ඉදිකරල තියෙන්නෙ... පාලම ගැන විස්තර දැනගන්න, දැක බලාගන්න ස්ථාන දෙකක් තියෙනව.. කොබේ නගරය පැත්තෙන් පාලම ට පිවිසුම ආසන්නයේ.. එකක් Akashi Kaikyo Bridge Exihibition Center…පාලම ඉදි කිරීමේ විවිධ අවස්ථා... එය ඉදි කිරීමට පෙර ලබාගත් දත්ත ගැන විස්තර ලබාදෙනවා සේම පාලම පර්යේශනයට ලක් කළ ආකෘතිය එහි තිබෙනව තාමත්...අනික Maiko Marine Promenade.. මේක පාලම යටින් පාලමේ ඇතුල බලාගන්න ලබාදෙන පිවිසුමක්..වතුරට 50 m වගේ උඩින් තියෙන්නෙ... පාලමේ පාදමේ සිට මේක ඇතුලට යන්න පහසුකම් සලස්වල තියෙනව... අවුරුදු 20 ක භූමිකම්පා හා සුළං පිළිබඳ දත්ත එක ‍රැස් කිරීමක් හා විශ්ලේශනයක් මේ පිළිබඳව සිදුකළා කියල තමයි ඔවුන් කියන්නෙ...
ඒ විශ්මයජනක විශාලත්වයත් ඊට කැපවුනු මිනිසුන්ගේ වෙහෙසට ඇතිවුනු ගෞරවයත් නිසාම ආකාශි කයික්යො මගේ හිතේ ගෞරවයක් ඇති කළා..

යට පින්තූරවල තියෙන්නෙ ඒ මගේ හිතේ සත්තකින්ම මිනිසා ගේ හැකියාව පිළිබඳව ගෞරවයක් ඇති කළ අකාශි කයික්යො පාලම….





සොඳුරු කෝබේ වෙතින් සමුගෙන එද්දී මගේ කැමරාවෙ සටහන් වුනු තවත් ඡායා රූපයක් සටහනට එකතු කරනව...ඒ අතරෙම මාත් එක්ක මේ ගමන ගිය මගේ ආදරණීය මිතුරිය ට මගේ ස්තුතිය....



කෝබේ දුම්රියපළ..

Thursday, April 8, 2010

වරද, විනිශ්චය හා දඬුවම...


මගේම වරදින්
ආදරණීය ම අයකුගේ
සිත රිදවීමෙන් ද,
ඒ වරදට
සමාව ඉල්ලීමට
අවසරයක්වත් නොදෙමින්
කොන්දේසි විරහිතව
ගෞරවනීය ලෙස දුන්
සමාවෙන් ද,
ලොව ලැබිය හැකි
ඉහළම දඬුවම වූ
"පසු තැවීම"
මගේ හෘද සාක්ෂිය
නම් වූ
විනිසුරුගෙන් ලබා
මම ම වින්දෙමි..
මේ වරද මා විසින්ම
නැවත නොකරනු පිණිස
මෙසේ ලියා තබමි..
ඇතැම් විට මෙය දකින
හෘද සාක්ෂියක් ඇති ඔබද
මේ වරද නොකරනු ඇත...


http://businesslaw.newark.rutgers.edu/images/BooksandGavelA.jpg

Wednesday, April 7, 2010

සිතිවිල්ලක්..


ලෝකය දියුණු කළේ
විප්ලවකාරී මිනිසුන් විසින්
යැයි මම සිතමි..

එහෙත්....

ලෝකය සුන්දර කළේ නම්
සොබාදම හා සංවේදී මිනිසුන්
විසින් යැයි
මා ඉඳුරා දනිමි..
අදහමි..



http://radio-weblogs.com/

Saturday, April 3, 2010

මේ දියවන්නා පුරයයි....


දූවිලි කළුදුම් සපිරි මෙ පුරවර
සොඳුරු දසුන් මිලයට ගන්නට ඇත..
අත ඇති මුදලට සැපත අලෙවි වෙත..
සතුට අලෙවි වේදැයි මා නොදනිත..

අහස සිඹින සුව පහසු නිවාස ද
ඒ ඔබ්බෙන් ඇල අද්දර "මන්දිර"..
දෙස සුරකින මැති කැලටද මාලිග..
මේ දියවන්නා පුරට උරුම වෙත..

සුන්දර මන්දිර ඉගිලෙන පැජරෝ
නරඹා දියවන්නාව ගලා එත..
ගලනා දිය කඳ මේ අරුමය දැක
කුමක් සිතාවිද මා සිතුවේ නැත...


http://sundaytimes.lk/090208/images/WATERS-EDGEIMG.jpg