Saturday, July 24, 2010

පුංචි දුවේ...



අම්ම අප්ප නැති අතරට
කැමරාවක සටහන් වුණ
නුඹ රුව රසඳුන වුණාළු
නුඹ කිසිදා අහලත් නැති
 වෙබ් අවකාශයෙ, දිනයක

නුඹෙ ඇස් යට වාං දාන
දුක් ගින්දර පුංචි දුවේ
උන් දෑහට වහංවෙච්චි
කඩමළු ඇඳි රුව දැකලා
දෙනෝ දහක් වශී වෙච්චි

ඉන්දියානු එඬේර දැරියක්... මාර්තු මාසෙ දවසක National Geographic වෙබ් අඩවියේ දවසේ සේයා රුව ලෙස සටහන් වූවක්... සේයා රුවේ දැරියගේ අවිහිංසක බව, කුලෑටි බව සටහන් වෙලා තිබුනත් දීප්තිමත් දෑසකින් ඇය බලා සිටිනවා...

ඇය කිසිදා අසාත් නැති බොහෝ විට කිසිදා අසන්නෙ දකින්නෙත් නැති වෙබ් අවකාශයෙ මේ රුව සදහටම සටහන් වුණාට අද ඈ...කොහේ මොනව කරනව ඇතිද ? 


Photo: http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/young-india-nomad/

පසු සටහන් : 
ඩෙස්ක් ටොප් සේයා රුව වෙනස් කරන්න සේයා රුවක් සෙවීම මෙච්චර දිග ඉතිහාස කතාවක් කියන ලියමනක් වේවි කියල මට පොඩ්ඩක්වත් හිතුණෙ නෑ...


ඇගේ දෑස්වල දීප්තිය විසින් හා ලාංකික අපට හුරු පෙනුම විසින් ඈ ගැන යමක් ලියවෙන්න ඕන කියන අදහස ගෙනාවත්...සටහන මේ තරම් දිග කතාවක් හෙළි කරාවි කියල නම්....

ඒත්...

සටහන  ලියද්දි ඔහුගේ නම මගෙ අතින් නොලියවුණත්
මේ සේයා රුව ගත් ශිල්පියාත් Steve McCurry  මයි...


A Life revealed ලෙස සටහන් වන ඇෆ්ගන් ග(ර්)ල් සේයා රුවට පෙනී සිටි යුවතියගේ National Geographic  හි සටහන් වන සේයා රූ දෙක සහ එහි ලින්ක් එකත් මෙතනට ම එකතු කරනව ඒ නිසාම...

සමහර විට අනාගතයේ දවසක  Punkti කියන මේ දැරිවියගේත් තවත් සේයා රුවක්  National Geographic වලට එකතු වෙලා තවත් මේ වගෙ දිග කතාවක් ලියා විද කියල අපිට කියන්න පුළුවන්ද?













13 comments:

  1. ඇත්තටම ලෝකයෙ විශිශ්ඨතම ඡායරූප ලෙස සැලකෙන බොහොමයක් මේ අයුරින්ම ගත් ඒවායි....උද: the Afgan girl(1985 issue of National Geographic), the dying Omayra Sanchez, 1994 පුලිස්ටෙර් ත්‍යාගය දිනූ මියයමින් සිටින සුඩාන දරුවා අසල බලා ඉන්නා ගිජුලිහිනියාගේ ඡයාරූපය බොහොමත්ම කතාබහට ලක්වූ ඒවා වේ.....

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත, කොහොමටත් National Geographic වෙබ්සයිට් එකේ තියෙන පින්තූර ගොඩක් කලාත්මකයි... මේ දරුව ඉන්දියානු නිසා වෙන්න ඇති මට නිකන් අපේ රටේ වගෙ දැනුන..

    ReplyDelete
  3. ගොඩක් දේවල් හිතෙන ඡායාරෑපයක්
    ලස්සන පද ටික

    ReplyDelete
  4. ඒ ලොකු අවිහිංසක ඇස් වල
    කියා ගන්න බැරි
    දිග කතාවක්..

    කොනිති ගැසෙන්නේ
    අත ‍රැඳි
    හෙටක් ගැන
    බෝම පොඩි සිතුවිල්ලක්..

    කවදාවත්ම නොදකින
    තිරයකට වටවුන
    දෙනෝ දාහක් නුඹ දෙස
    බලා ඉඳිනතර,,

    බිය,තනිකම, දුක
    ලාවට සිතුවම් වුන ඇස් මත,
    මැකී යලි ඇ‍ඳෙයි
    අවිනිශ්චිත හෙටක සෙවනැල්ලක්....

    ReplyDelete
  5. මෙ අහිංසක දැරිවියගේ ඡායා රූපය වදන් දහස් ගනනක් කතා කරනවා නේද...

    ඇයගේ දෑස තියුණු වී ඇත්තේ සත්තු රැළ කුරිරු වන සිව්පාවන්ගෙන් රැකගන්න ඔබ මොබ වෙහෙසවා වෙන්න ඇති. නොපෙනෙන ඈත බලලා වෙන්න ඇති.

    ඒත් ඒ පුංචි දෑස යොමා නොපෙනෙන ඈතක හෙටක් ගැන මොනතරම් නම් වෙහෙසෙන්න වේවිද ඒ දැරිවියට?

    අගේ ඇති පදපෙල නංගී. ඔබේ පද සංකල්පනා යාත්‍රා කරන සීමාවන් පුළුල් වෙනවා. සුබ පැතුම්.

    ReplyDelete
  6. මිත්‍ර හේමාලයා සඳහන් කල "Afghan Girl" ඡායා රූපය 1985 දී කැමරා ඇසට හසුකරගත් ස්ටීව් මැක් ක්‍යුරී (Steve McCurry) ගේ රූපවාහිනී සාකච්චාවක් බැලුවා සති දෙකකට විතර කලින්. ඒ පින්තූරය අරන් ඇත්තේ ඇෆ්ගනිස්ථානය රුසියානු පාලනයට යටත්ව සිටි කලක. 2001 දී ඒ රට ජාත්‍යන්තර ("මිත්‍ර") හමුදා අණසකට පත් වූවාට පසුව, 2002 වසරදී National Geographic කණ්ඩායමක් ඒ "දැරිවිය" ගැන සොයා බලන්න කල උත්සාහය සාර්ථකවී ඇත. ඒය ගොඩාක් රසවත් දිග කතාවක්. පසුව National Geographic Magazine විසින් Afghan Girl නමින් ඇෆ්ගන් දැරිවියන් හා කාන්තාවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා අරමුදලක් පිහිටුවා ඇත. 2008 වසරේ දී එම අරමුදල Afghan Children's Fund නමින් වෙනස් කර අරමුදලේ සේවාව පිරිමි ලමුන් සඳහා ද සකසා දී ඇත.

    ReplyDelete
  7. 1980 දශකයේ අප්‍රිකාවේ විශේෂයෙන් ඉතියෝපියාවේ හාමතය ගෙනහැර දක්වන්න ක්‍රියා කල කැමරා ශිලිපියෙක් කෙන්යානු ජාතික මොහමඩ් අමීන් (Mohamed Amin), මොහු පසු කලෙක "Mo" ලෙස ප්‍රකට වුනා.

    මොහු ගැන රූපවාහිනී වැඩ සටහනක කියැවුනා පණ අදින ලමුන් දිහා බලබලා රූපගත කර හැටි. ඔහු එකල BBC කණ්ඩායමේ සිටි අයෙක්, ඒ වගේම යුරෝපා "කුණු" අප්‍රිකාවේ පිරවීමට විරුද්ධව ක්‍රියා කල අයෙක්. අප්‍රිකාණු සාගතය පිලිබඳව ඔහුගේ වාර්ථාවක් පලකරන්න BBCය ප්‍රතික්ෂේප කල නිසා තම රක්ෂාවෙන් පවා ඉල්ල අස්වී හඬක් ඇති කල අයෙක්. ඒ ගමනේ ප්‍රතිපලය තමා ලු ලොව විශාලතම සංගීතවේදීන් ගනනාවක් එක්ව කල We Are The World We Are the Children ප්‍රසංගය.

    ReplyDelete
  8. ඉඳ හිට වැදගත් කමැරා ශිලිපියෙකුගේ නෙත ගැටෙන පින්තූරයක් යහපතක් කරනවා වගේම බොහෝ කූට අදහස් ඇතිව කරන අවාසනාවන්ත දේවලුත් සිදුවෙනවා.

    Afghan Girl ඡායා රූපය ගැන වැඩි විස්තර:
    http://en.wikipedia.org/wiki/Afghan_Girl

    Mohamed Amin ගැන වැඩි විස්තර:
    http://en.wikipedia.org/wiki/Mohamed_Amin

    ReplyDelete
  9. හෙළයා,
    අහිංසක දැරියක්..,
    දොඩමළු ඇස්වලින් බොහෝ දේ කියන...

    ReplyDelete
  10. ජීවිතේ මල්,

    බිය,තනිකම, දුක
    ලාවට සිතුවම් වුන ඇස් මත,
    මැකී යලි ඇ‍ඳෙයි
    අවිනිශ්චිත හෙටක සෙවනැල්ලක්....

    ඔය විදියට ම මට හිතුණ ඇගේ අවිනිශ්චිත හෙට දවස ගැන නම්...
    ඒ ටික ලියලත් ආයෙ වර්තමානය අවසන් වන තැනින් කවිය නතර කළා එ වෙලෙ...

    ReplyDelete
  11. අය්යෙ,

    හේමලයා සටහන් තැබූ Afgan girl සේයා රුව ගැන වගෙම තවත් විස්තර ගොඩක් එකතු කරල මේ සටහන තුළින් ගොඩක් දේවල් සාකච්ඡා කළාට ගොඩක් ස්තුතියි... ඒ වගෙම තව ගොඩක් දේවල් සොයන්න සහ අපෙ දැනුමට එකතුකරගන්න මග පෙන්නුවට...ඔයාගෙ සටහන් නිසාම මම මේ සේයාරුව සහ Afgan girl ගැන බලල තව ටිකක් විස්තර පසු සටහනක් විදියට පොස්ට් එකට එකතු කළා...

    ඒ වගෙම මේ සේයා රුවගත් ශිල්පියාත් Steve McCurry මයි...

    ReplyDelete
  12. මීන දෙනෙත් අග..
    වි‍යළුණු කඳුළු දැක..
    උඹ වෙනුවෙන් ඉකිලන..
    හද මඟේ ගලවා..
    නුඹට පුදන්නද..??
    මං අසරණයි..
    මගෙ දුවේ....!!

    සුලා..

    ReplyDelete
  13. ඔබේ නෙතු අඟ
    රැදී දිදුලන
    කඳුළු බිඳු කැට
    හොරෙන් හෙමිහිට
    මගේ සිතමත
    අඳින ඉරි ගැන
    සිතා ගන්නත්
    නොහැකි වුනි මට.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...